Header Ads

‘ජාතියේ පියා’ට අත්වූ ඉරණම

මේ, තාත්තා - දුව අඳුරන්නේ නැති රටකි. සීයාට - මිනිබිරිය ලිංගික වස්තුවක් ලෙස පමණක් පෙනෙන රටකි. එහෙම රටක ජාතියේ පියා කවුද..?
ජාතියේ පියා ලෙස සැලකෙන ඩී. එස්. සේනානායක මහතාට අයත් මීරිගම බෝතලේ වලව්ව කඩා දමන්නේ ඒ නිසාය. හාල් සේරුව නොමිලයේ දීම නිසා බත් දුන් පියා ලෙස හැඳින්වුණු ඩඩ්ලි සේනානායක මහතා හැදී - වැඩුණු තැන මෙතැනය. එය ඔවුන්ට අදාළ නැත. කන්ගැට්ටා ජාතික කෞතුකාගාරය කැඩුවේ ඒකය. නිධන් හාරන්නේ ඒකය.
රටක ජාතික අභිමානය පෙන්වන ප්‍රමුඛතම සාධකයකි එහි පුරාවිද්‍යා උරුමය. ඒ උරුමය සුරකින්ට පත්වන සෑම ආණ්ඩුවක්ම බැඳී සිටී. නීත්‍යනුකූලවම මේ සියලු පුරාවිද්‍යා උරුමයන්හි අයිතිය ආණ්ඩුවට හිමිය. ආණ්ඩුව නමින් ඒ අයිතිය රකින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවය. කනගාටුවට කරුණ නම් ආණ්ඩුවේ බලධාරීන් මේ උරුමයන් තමන්ගේ උරුමයන් ලෙස හිතාගෙන කටයුතු කිරීමයි.

වර්තමානය ගොඩ නැඟෙන්නේ ඉතිහාසය තුළින්ය. ඒ අර්ථයෙන් ගත් විට අවුරුදු 2,500කට එහා ඉතිහාසය අපව පෝෂණය කරමින් සිටී. සීගිරිය ලෝකයේ පුදුමයන් අතරට එක් වන්නේත්, යෝධ ඇළේ බැස්ම බටහිර ඉන්ජිනේරුවන් මවිත කරවන්නේත් ඒකය. ඇමෙරිකාව ඇතුළු ඇතැම් බටහිර රටවල් නැති ඉතිහාසයක් මවා පෙන්වන්නට හදන්නේද මේ උරුමයේ වටිනාකම දන්නා නිසාය.
ඒත් අපේ රටේ ආණ්ඩුවේ ඉහළම තැන්වල සිට පුටු රත් කරන වගකිවයුත්තන්ට මේ වටිනාකම් අදාළ නැත. සුගලා දේවියගේ ඓතිහාසික පුරාවෘත්තය තහවුරු කරන සාක්ෂි රැසක් තිබූ පොළොන්නරුවේ ගල් කොරිය විනාශ කෙරෙන්නේ ඒ නිසාය. ඔවුන් මේ ඓතිහාසික වටිනාකම් මනින්නේ ගල් කියුබ් ගණනෙනි. මේ ගල් කොරිය පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුක්ත බවට 2004දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින්ම වාර්තාවක් සකස් කර තිබේ.
ඉතිහාසය පාසල් අධ්‍යාපන විෂය නිර්දේශයෙන් ඉවත් කළ යුතු යැයි කී ආණ්ඩු මෙරට තිබිණි. ඒත් මේ ආණ්ඩුව කියන්නේ ජාතික උරුමය සුරැකිය යුතු බවය. මේ ආණ්ඩුව ගොඩනැඟී ඇත්තේද හෙළ උරුමය ඇතුළුව තමන්ගේ උරුමය ගැන කතා කරන පාර්ශ්වයන්ගෙනි. ඒ නිසා යථාවාදී - තථාකාරී වීම ආණ්ඩුවේ වගකීමය.

ජනතාව ඉදිරියේ ජාතික උරුමයන් රකින බව කියමින්,අඹ අත යටින් නිධන් කඩන්නට ඉඩ දීම අනුමත කළ නොහැකිය. ‘අපි මේවට සම්බන්ධයි කියලා කියන්නෙ කොහොමද?’
ආණ්ඩුවට එසේ ඇසිය හැකිය. ආණ්ඩුව මේවාට සම්බන්ධ නැතුවාද විය හැකිය. ඒත් එය ඔප්පු කළ හැක්කේ වරදකරුවන් කඩිනමින් නීතිය හමුවට පැමිණවීමෙනි. එය ප්‍රමාද කිරීම යනු සියල්ල තමන්ගේ ඇඟේ ගසා ගැනීමකි.

අනෙක් අතට මේ ජාතික උරුමයන් රකින්නට කියා අමාත්‍යංශයක් නඩත්තු කළාට පමණක් වැඩක් නැත. අඩුම තරමේ එයින් පාසල් සිසුන්ට මේවායෙහි ඇති වටිනාකම පිළිබඳ හැඟීමක් ඇති කරවිය හැකිය. ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය. දැනට නම් එසේ නොවේ.

 මේ යන විදියට හෙට අනිද්දාට ජාතික කෞතුකාගාරය වෙන්දේසියේ දමා විකිණුවහොත් පුදුම වන්නට දෙයක් නැත. එමනිසා මේ තත්ත්වය කඩිනමින් වෙනස් කළ යුතුය. ජාතික උරුමයන් ගැන කියමින් බෙරිහන් දෙන මහත්තුරුත් වැඩ කරන්නට පටන් ගත යුතුය.

mawbima -

No comments

Powered by Blogger.