Header Ads

අගමැති ,ලේකම්වරුන් සහ ග්‍රිස් යකා

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතා ඉතා අවාසනාවන්ත සිද්ධියකට පසුගියදා මුහුණ දුන්නේය. ඒ අවාසනාවන්ත සිද්ධිය මොකක්දැයි කියා අනාවරණය වූයේ පාර්ලිමේන්තුවේ දී ය. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී (ජ.වි.පෙ) අනුර කුමාර දිසානායක මහතා මෙම සිද්ධිය හෙළිදරව් කළේය. ඒ ශ්‍රී ලංකාවේ දී සොයා ගන්නා ලද ආසියාවේ විශාලතම හෙරොයින් කුඩු තොගය සම්බන්ධයෙනි. එම හෙරොයින් තොගය අඩංගු කන්ටේනරය වරායේ රඳවා ගත් කාලය වෙනුවෙන් අඩු ගුදම් ගාස්තුවක් අයකර සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයක ලිපියක් ලියා අගමැතිවරයා ලේකම්වරයෙකුගේ විසින් වරාය ලොක්කෙක්ට එම ලිපිය යොමු කර තිබීම ඒ අවාසනාවන්ත සිද්ධියයි.

අනුර කුමාර දිසානායක මෙම සිද්ධිය හෙළිදරව් කළේ සියලුම සාක්ෂි අතේ තබා ගෙනය.වෙන දිනවල දී විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එරෙහිව කතා කරද්දී ඊට එරෙහිව මහා ඝෝෂා නගා කතාව කඩාකප්පල් කරන්නට නම් දරා සිටින ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන් එදා ‘හාහූවක්’ නැතිව අනුර කුමාරගේ කතාවට සවන් යොමා සිටියහ. ‘මතට තිත’ වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම තේමාවකි. එම තේමාව යටතේ ආණ්ඩුවේ අගමැතිගේ කාර්‍ය මණ්ඩලයට එරෙහිව එල්ල වූ මෙම‍ චෝදනාව ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලොව දසත පුරා ජනමාධ්‍ය හරහා පැතිරී ගියේ එසැණිනි.

අගමැති දී.මු ජයරත්න මහතා අනතුරුව පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මින් ඉදිරියට තමන්ගේ ලේකම්වරුන්ට ලියුම් ලියන්නට අවසර නොදෙන බවයි. තමන් හමුවන්නට දිනපතා පැමිණෙන විශාල ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ලිපි ලියා දීම ලේකම්වරුන්ට පවරා දී තිබුණත් මින් මත්තට ඊට අවසර නැති බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අගමැතිවරයාගේ පැත්තෙන් එතුමන් අවංකය. සාධාරණය. මෙපමණ කාලයක් දීර්ඝ දේශපාලන ගමනක යෙදී අගමැති තනතුරට ද පත් වී නමට කළු පැල්ලමක් එක්කර ගන්නට තරම් එතුමන් අඳ බාලයෙක් නොවේ. එතුමන් හමුවට පැමිණෙන රටේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ලේකම්වරුන් ලියන ලිපිවලට අත්සන් තබා ජනතාව අතට පත් කිරීම රටවැසියන්ගේ නොමඳ සතුටට කාරණාවකි. එහෙත් එතුමන්ගේ ලේකම්වරුන් යැයි කියාගත් මගෝඩියන් විසින් සිදුකර ඇත්තේ අගමැතිගේ අහිංසකකම ප්‍රයෝජනයට ගෙන එතුමන්ගේ ඇස් වසා උනුත් මඩ නාගෙන අගමැති නමටත් මඩ ගැසීමය. තමන්ගේ සෙවන යටතේ මෙවැනි තක්කඩීන් වෙසෙන බව එතුමන් නොදැන සිටීම මහා අවාසනාවකි.රාජ්‍ය ඔත්තුකරුවන්ටවත් මෙවැනි ම‍ගෝඩින් ගැන තොරතුරු අසු නොවීම වෙනම සලකා බැලිය යුතු කාරණාවකි.

අගමැතිතුමාගේ මූණේ දැළි ගෑ ආසියාවේ ලොකුම කුඩු තොගය මේ රටට ගෙන ආවේ ග්‍රීස් ටින් ගෙන්වන මුවාවෙනි. එම කුඩු තොගයේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 262කි. ග්‍රීස් ටින් ඇතුලේ ඉතා සකසුරුවමට මෙම හෙරොයින් තොගය අසුරා තිබිණ. රජයේ රස පරීක්ෂකවරයා වෙත ඒවා යැවීමෙන් ඉක්බිති එහි ශුද්ධ බර කිලෝ ග්‍රෑම් 131 ක් පමණ විය. කිලෝ ග්‍රෑම් 262 ක හෙරොයින් තොගයක් කිලෝ ග්‍රෑම් 132 ක් දක්වා පහත බැසීම නොව, වඩා වැදගත් වන්නේ මෙම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවට පැමිණි වකවානුවේ ‍රටේ පළාත් තුනක පළාත් සභා මැතිවරණයක් ආසන්න වෙමින් තිබීමයි.

එබඳු දේශපාලන වාතාවරණයක් යටතේ ඡන්දයට වියදම් කරන්නට සමහරුන්ට රුපියල් කෝටි ගාණක් අවශ්‍ය කරන බව නොරහසකි. වියදමට අවශ්‍ය මුදල් නොමසුරුව ලබා ගන්නට නම් අපරාධකරුවන්ට දේශපාලන අනුග්‍රහයක් නොමසුරුව ලබා දිය යුතු බව වත්මන් දේශපාලනඥයින්ට උගන්වා ඇත්තේ 1970 න් පසු බිහිවූ සමහර දේශපාලන අප්පා ,කුඩප්පලා සහ නැන්දලා හා මාමලයි. ඔවුන්ගේ අඩි පාරේ මොවුන් නොයාවි යැයි සක්කරයටවත් සහතිකයක් දෙන්නට බැරිය.ඒ නිසා ජන්දෙට සල්ලි හොයා ගැනීම සඳහා කුඩු කන්ටේනරය මුදා ගන්නට අගමැතිතුමාගේ ලිපි ශීර්ෂ යොදා ගන්නට ඇතැයි කිසිවකු විසින් චෝදනා කළහොත් එය සිනහවට කාරණාවක් නොවේ.

එවැනි වාතාවරණයක් රටේ පවතී. රටේ ජනාධිපතිතුමා මතට ‘තිත’ යයි මහින්ද චින්තනයෙන් ජනතාවට ප්‍රතිඥා දෙන විට රටේ අගමැතිවරයාගේ ලේකම්වරයෙක් යැයි කියනා තක්කඩියෙක් හෙරොයින් තොගයක් රේගුවෙන් මුදා ගන්නට අගමැතිතුමාගේ ලිපි ශිර්ෂ යොදා ගනිමින් ලිපි යවයි. මෙය ඉතා බිහිසුණු තත්ත්වයක් බව මා අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. රටේ දෙවැනි පුරවැසියාගේ ලේකම්වරුන් ගැන ‍රටේ ජනතාවට තඹ දොයිතුවක විශ්වාසයක් තැබිය නොහැකි බව මින් පිළිඹිබු වන අනෙක් කරුණයි . වැදගත් විදෙස් රටක නම් අග්‍රාමාත්‍යවරයාට සිය තනතුරින් ඉල්ලා අස්වන්නට වුවත් මෙම චෝදනාව සහ අපහාසය බරපතල බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් මා එසේ ලිව්වේ අගමැති දී.මු.ජයරත්න මහතාගේ සිත අබ ඇටයක් තරමින්වත් වේදනාවට පත් කරන්නට නම් නොවේ.

අගමැතිතුමාගේ ලේකම්වරුන් මේ සා විශාල අපරාධයක වග උත්තරකරුවන් වෙද්දී ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක නොවීම ගැටළු සහගත තත්ත්වයකි.‍ හෙරොයින් ජාවාරම්කරුවන්ට අගමැති ශීර්ෂයේ ලිපි ලියා දීම පමණක් නොව, අගමැතිතුමාගේ කීර්ති නාමය බරපතල ලෙස කෙළෙසා දැමීම මොවුන්ට එරෙහිව නැගිය හැකි චෝදනා රාශියෙන් කීපයකි. එබැවින් මෙම අපරාධකරුවන්ට නීතියෙන් බේරී යන්නට ඉඩක් නොදී සියලුම රාජ්‍ය බලය යොදා මොවුන් වැලිකඩ මහ උළු ගෙදරට ගාල් කළ හැකි නම් එය වඩාත් අගනේ ය.

අගමැතිතුමාගේ ලේකම්වරුන් යැයි කියා ගන්නා තක්කඩින් මෙසේ නම් රටේ සෙසු මැති ඇමැත්තන්ගේ ලේකම්වරුන් ගැන තවත් මොන කතාදැයි ජනතාව ප්‍රශ්ණ කරනු නිසැකය.

අනුර හොරේෂස් -

No comments

Powered by Blogger.