Header Ads

ජනමාධ්‍ය හැසිරීම ගැන (වික්ටර් අයිවන්)

මා විසින් ලියන ලද එක පොතක් පිළිබඳව වර්තමානයේ මා තුළ පවා නැති අතිවිශාල උනන්දුවක් ඇති අපූරු මිතුරෙක් මට සිටින්නේය. ඒ පොතේ සිංහල පිටපත සේ ම ඉංග‍්‍රීසි පිටපතද එකවරක් නොව කිහිප වරක්ම ඔහු කියවා තිබෙන්නේය. ඒ පොතේ එන හැම වැදගත් සිද්ධියක් ගැනම හා සමහර සිද්ධීන්වල ඇති වැදගත් අගුකොන් ගැන ඔහුට දැන් මට වඩා සියුම් අවබෝධයක් තිබෙන්නේයැ’යි ද කිව හැකිය.

පොතක් පසුපස හඹා යන මිත‍්‍රයා

මේ පොත ලියා පළකෙරුණු අවස්ථාවේදී පිටපත් 10ක් පමණ මිලදී ගෙන එය මිතුරන් අතර විකුණා දෙන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු පිටපතක් මිලදීගෙන කියවා ඔහුගේ මුදලින් පොත් 50ක් හෝ 100ක් මිලදී ගෙන රටේ කැබිනට් ඇමතිවරුන් ඇතුළු තෝරාගත් නාමලේඛනයකට තමන්ගේ නාම කාඞ්පතද පොත ඇතුළට දමා තැපැල් කොට යැවීය. පොත ලැබුණු අයගෙන් කිහිපදෙනකු හෝ ඔහුට කතා කළාදැ’යි මම නොදනිමි. එහෙත් ඔහුගේ කාර්යභාරය එතනින් අවසන් වූ බවක් පෙනෙන්නට නැත. ඒ පොතේ එන සමහර සිද්ධීන් පිළිබඳව ඔහුගේ විවිධ නිරීක්ෂණ දැන් අවුරුදු ගණනක් තිස්සේම විටින් විට මා අමතා කියන්නේය. මේ පොතේ එන සමහර සිද්ධීන් ගැන කරුණු දන්නා අයද විටින් විට ඔහුට හමුවී තිබෙන අතර එවැනි අවස්ථාවලදී ඔවුන්ගෙන් අසන්නට ලැබුණු කතාද මට කියන්නේය.

මේ පොතේ පිටපත් කොපමණ සංඛ්‍යාවක් විකිණෙන්නට ඇත්දැ’යි ඔහු සමහරවිට මගෙන් අසන්නේය. ඒ ප‍්‍රශ්නය ඔහු මගෙන් එක වරක් නොව කිහිපවරක්ම අසා තිබෙන ප‍්‍රශ්නයකි. මා ඒ හැමවිටම ඔහුට දෙන ලද පිළිතුරද එක සමානය. සිංහල හා ඉංග‍්‍රීසි යන පොත් දෙකම එකට ගතහොත් පිටපත් 5000ක් පමණ අලෙවි වන්නට ඇති බව මම යාන්ත‍්‍රික ලෙස කියන්නෙමි. ඔහු එවිට සිරිතක් ලෙස කියන්නේ මිනිසුන් අතරට ගොස් තිබෙන පිටපත් සංඛ්‍යාව හොඳටම මදි බවය. එවැනි විශේෂ කතාවක් මිනිසුන් ලක්ෂ ගණන් අතරට යායුතු බව ඔහු කියන්නේය. ඔහු මෑත දිනකදී ඒ ගැන අලූත් කතාවක් මට කීවේය. තමාගේ දේපළක් විකුණන්නට සැලසුම් කර තිබෙන බවත් අපේ්ක්ෂා කරන මිල ලබාගැනීමට සමත් වුවහොත් මේ පොතේ එන කතාව පදනම් කොටගෙන තමා චිත‍්‍රපටයක් නිපදවන බවත්ය. ඊට ලොකු වියදමක් ගියත් ඒ වියදම ආපසු උපයාගත හැකි වනු ඇති බවත් ඒ මගින් මේ කතාව වඩා විශාල ජනතාවකට දැනගන්නට ලැබෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ පොත ගැන කතා කළ මෑත දිනකදී එහි එන සිද්ධියක් ආශ‍්‍රයෙන් මා තිගැස්මට හේතුවන බිහිසුණු නිරීක්ෂණයක් ඔහු මා වෙත ඉදිරිපත් කළේය. ඒ ජනමාධ්‍ය පිළිබඳවය. එය මගේ පවා නිරීක්ෂණයට හසු නොවී තිබූ කරුණක් බව කිව යුතුය.

ඔහුගේ උනන්දුවට හේතුවී තිබුණේ මාගේ ‘නොනිමි අරගලය’ නමැති කෘතියයි. මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක එහි එන ප‍්‍රධාන චරිතයකි. ව්‍යාජ රන් භාණ්ඩ නිපදවා බැංකුවලට උගස් කොට මුදල් ලබාගන්නා ජාවාරමක නිරත ජෝඩුවක් පිළිබඳව නඩුවක් ඔහු ඉදිරියේ ඇසෙමින් තිබුණි. ඔහු මේ ජෝඩුවට අයත් තරුණ බිරිඳට පමණක් ඇපදී ඇගේ ස්වාමිපුරුෂයාට ඇප ප‍්‍රතික්ෂේප කරමින් නීති විරෝධී ලෙස රිමාන්ඞ් භාරයේ රඳවාගෙන සිටියේය. මහේස්ත‍්‍රාත්වරයා මෙම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ සහායද ලබාගනිමින් ප‍්‍රධාන විත්තිකරුවාගේ තරුණ බිරිඳ (ඇය ඒ වනවිට එක් දරු මවක් විය.) තමා වෙත ගෙන්වා ගනිමින් ඇය ගම්පොළ තානායමට රැුගෙන ගොස් එදින රාත‍්‍රියේදී ඇය කිහිපවරක් අපයෝජනය කර තිබුණි.

එම අවලස්සන සිද්ධියෙන් පසු රිමාන්ඞ් සිරකරුවා උසාවියට ගෙනා පළමු දිනයේදී ඇය ස්වාමි පුරුෂයා බලන්නට ආවේය. වෙනදා දක්නට නොලැබෙන කිසියම් වෙනසක් සිය බිරිඳ තුළ දකින්නට ලැබී ඔහු සිය බිරිඳට කෝපයෙන් පහර දුන්නේය. මහේස්ත‍්‍රාත්වරයා සිය බිරිඳට ඇස ගසාගෙන සිටි බව ඔහු දැන සිටියා විය හැකිය. ඔහුගෙන් පහර කෑ බිරිඳ මහේස්ත‍්‍රාත්වරයා විසින් තමා තානායමකට රැුගෙන ගොස් අපයෝජනය කිරීමේ සිද්ධිය සිය ස්වාමිපුරුෂයාට කීවාය. ඒ ඇසූ රිමාන්ඞ් සිරකරුවා තුළ මහේස්ත‍්‍රාත්වරයා පිළිබඳ දරුණු කෝපයක් ඇතිවූවා විය හැකිය. ඔහු ඊළඟ නඩු දිනයේදී උසාවියට ආවේ පොලිතීන් කවරවල බහාලූ අසූචි බෑග් දෙකක්ද සඟවාගෙනය. ඔහු නම කැඳවන විට විත්ති කූඩුවට නැග්ගේ සාක්කුවේ තිබූ අසූචි බෑග් දෙකද සමගය. සාක්කුවට අත යැවූ විට ඔහුගේ නියපොත්ත වැදී එක් අසූචි බෑගයක් හිල්වී උසාවියට දැනෙන ලෙස එහි දුගඳ හමන්නට වී තිබේ. දැන් කොහොමටත් පහර දෙනවා හැරෙන්නට තෝරාගැනීමට වෙනත් විකල්පයක් නැති බව තේරුම්ගත් ඔහු ඇසිල්ලකින් විත්තිකූඩුවෙන් බිමට බැස මහේස්ත‍්‍රාත්වරයා සිටින දිසාවට හිල්වූ අසූචි බෑගය විසිකර ඇතත් මහේස්ත‍්‍රාත්වරයා වෙත විසිකරන ලද අසූචි බෑගය උසාවියේ කැරකෙමින් තිබූ විදුලි පංකාවක වැදී එහි එතී කැරකෙන්නට වීම නිසා උසාවි ශාලාවෙන් වැඩි කොටසක් අසූචිවලින් නැහැවෙන තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් විත්තිකරු මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියට දිව ගොස් අනෙක් අසූචි බෑගයෙන් මහේස්ත‍්‍රාත්වරයාගේ ඔළුවට පහර දී තිබේ.

ඉන්පසු සිදුවී තිබෙන්නේ උසාවි කටයුතු නැවතී උසාවි සේවකයන්ද බන්ධනාගාර නිලධාරීන්ද එකට එකතුවී මහේස්ත‍්‍රාත්වරයාට අසූචිවලින් පහර දුන් වගඋත්තරකරුට ඔහුගේ අතපය කැඩෙන තෙක් පහරදීමය. අසූචිවලින් පහරකෑ මහේස්ත‍්‍රාත්වරයාද වහාම සිය නිවසට ගොස් නාගෙන ඇඳුම් මාරු කොටගෙන මේ ස්ථානයට පැමිණ එම ම්ලේච්ඡු පහරදීමට ක‍්‍රියාකාරී ලෙස දායක වී තිබේ. මේ අතරතුර මහේස්ත‍්‍රාත්වරයා ඒ පහරදීමේ ක‍්‍රියාවලිය බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා උසාවියේ කටයුතු පසුදිනට කල් දමා එස්ටීඑෆ් භට කණ්ඩායමක් කැඳවාගෙන උසාවියට එන පාරද වසා තිබේ.

තියුණු නිරීක්ෂණයක්

තුවාලකරු බෝගම්බර බන්ධනාගාරයට යැවීමෙන් පසු ඔහු අසාධ්‍ය තත්ත්වයක ඉඳීම නිසා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තුවාලකරු පහර දුන් අය හෝ පහරකෑම කෙරෙහි බලපෑ හේතු වෛද්‍යවරයාට කියන ලදුව ඔහුගෙන් අසන්නට ලැබෙන කතාව වෛද්‍යවරයාගේ විස්මයට හේතුවී වෛද්‍යවරයා විසින් ඒ ගැන මානව හිමිකම් කොමිසමේ (එකල ක‍්‍රියාත්මක වූ මානව හිමිකම් කොමිසම වර්තමාන මානව හිමිකම් කොමිසම නොවීය.) මහනුවර ශාඛාවේ ප‍්‍රධානියාට දැනුම් දී තිබේ. මානව හිමිකම් කොමිසම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මානව හිමිකම් කොමිසම තුවාලකරුගෙන්ද, ඔහුගේ බිරිඳගෙන්ද කටඋත්තර ලබාගෙන තිබුණු අතර මහේස්ත‍්‍රාත්වරයා මෙම කාන්තාව සමග ගම්පළ තානායමට පැමිණ තානායමේ රාත‍්‍රියක් ගතකර තිබුණේද යන කරුණ ගැනද එම තානායමට ගොස් ඒ ගැන කරුණු සොයා බැලීමක්ද කර තිබුණි. ඊට අතිරේකව මෙම කාන්තාව සිද්ධිය නීතිඥ කල්‍යානන්ද තිරාණගම වෙත පැමිණිලි කරන ලදුව ඔහු විසින් ඒ ගැන එවකට සිටි අගවිනිසුරුවරයා වෙත (එකල අගවිනිසුරු ධුරය හොබවන ලද්දේ ජී.පී.එස්. ද සිල්වා මහතාය.) ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණි. තමා කරන පරීක්ෂණයෙන් ඉක්මන් සාධාරණයක් ඉටුවේදැ’යි කිව නොහැකි බැවින් රාවයට ගොස් මේ කතාව මට කියන ලෙස කාන්තාවට උපදෙස් දී තිබුණේද පරීක්ෂණය භාරව ක‍්‍රියා කළ මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප‍්‍රධානියා විසිනි.

මාගේ මිතුරා ජනමාධ්‍යවලට අදාළව නගන ලද බිහිසුණු ප‍්‍රශ්නය වනුයේ නිකවැරටිය උසාවියේදී උසාවි දිනකදී රිමාන්ඞ් සිරකරුවකු විසින් මහේස්ත‍්‍රාත්වරයාට අසූචි බෑගයකින් පහරදීමේ සිද්ධිය හා ඉන්පසු ඒ ආශ‍්‍රයෙන් ඇතිවූ අනෙක් සිද්ධීන් මොනම ජනමාධ්‍යයක් විසින්වත් වාර්තා නොකළේ ඇයිද යන්නයි. සාමාන්‍යයෙන් ඕනෑම ප‍්‍රාදේශීය උසාවියක උසාවි කටයුතු වාර්තා කිරීම සඳහා ජනමාධ්‍ය ආයතනවල ප‍්‍රාදේශීය වාර්තාකරුවෝ් සිටින්නෝය. නිකවැරටිය උසාවියේ සිදුවී ඇති මෙම අසාමාන්‍ය සිද්ධිය ජනමාධ්‍යවලට ලොකු හා රසවත් කතාවක් වන්නේය. රාවය ප‍්‍රාදේශීය උසාවි කටයුතු වාර්තා කරන පුවත්පතක් නොවන නිසා සිද්ධිය හුඟාක් කලකට පසුව දැනගන්නට ලැබීම සාධාරණය. එහෙත් කිසිම ජනමාධ්‍යයක් ඒ සිද්ධිය වාර්තා නොකළේ ඇයි? මෙම සමස්ත සිද්ධියේදී ලෙනින් රත්නායක හා සරත් නන්ද සිල්වා මුල්කොටගෙන දිගහැරුණු සිද්ධිදාමය ආශ‍්‍රයෙන් ජනමාධ්‍ය ක‍්‍රියාකළ අගතිගාමී ක‍්‍රියාකලාප ගැන මට විශාල විවේචනයක් තිබුණද නිකවැරටිය උසාවියේ දිගහැරෙන මේ සිද්ධිය පිළිබඳව ජනමාධ්‍යවල වාර්තා නොවූයේ ඇයිද යන ප‍්‍රශ්නය පළමුවරට මාගේ අවධානයට යොමුවූයේ මාගේ මිතුරා ඒ ගැන මගේ අවධානය යොමුකිරීමෙන් පසුවය.

නිකවැරටිය උසාවියේ වූ සිද්ධිය වාර්තා කිරීමෙන් වැළකී සිටින්නැ’යි අසූචිවලින් පහර කෑ මහේස්ත‍්‍රාත්වරයා විසින් උසාවි කටයුතු වාර්තා කිරීමට එන ප‍්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නට ඇති අතර මහේස්ත‍්‍රාත්වරයාට අවනත වීමෙන් සලසා ගතහැකි වාසි සලකා සියලූම ප‍්‍රාදේශීය වාර්තාකරුවන් එය වාර්තා කිරීමෙන් වැළකී සිටින්නට ඇතැ’යි සිතිය හැකිය. එක පුද්ගලයකු හෝ එම සිද්ධිය වාර්තා කළේ නම් එය ආන්දෝලනාත්මක පුවතක් වන්ට ඉඩ තිබුණා සේ ම සමහරවිට ඒ නිසාම බලධාරීන් ඒ ගැන සොයා බලන තත්ත්වයක් ඇතිවන්නටද ඉඩ තිබුණි. ඉන් පෙනෙන්නේ රටේ සිදුවන ලොකු වැදගත් සමහර සිද්ධීන් පවා ජනමාධ්‍යවේදීන් වාර්තා කිරීමෙන් වැළකී සිටින බව හා ඒ නිසා මහජනයාට කොහෙත්ම දැනගන්නට නොලැබෙන වැදගත් සිද්ධීන්ද කොතෙකුත් තිබෙන බවය.

ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය

ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය තුළ සමාජ වගකීමකින් යුතුව දේවල් අවංක ලෙස වාර්තා කරන සම්ප‍්‍රදායයක් නැතිකම ලංකාව මුහුණදී තිබෙන අර්බුදය උග‍්‍රකිරීමට හේතුවී තිබෙන ප‍්‍රධාන සාධකයක් ලෙස සැලකිය හැකිය. රටේ ගොඩනැගී තිබෙන ජනමාධ්‍ය සංස්කෘතිය රටේ ගොඩනැගී තිබෙන දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිතය. දේශපාලකයන්ට සමාජ වගකීම වැදගත් සාධකයක් වන්නේ නැත. ඔවුන්ට වැදගත්වන්නේ පොදු යහපත නොව පුද්ගලික යහපතය. දේශපාලනයෙන් තමන්ට ලැබී තිබෙන බලය උපරිම ලෙස, අයථා ලෙස ධනය උපයාගැනීම සඳහා යොදාගැනීම ශ‍්‍රී ලංකාවේ දේශපාලකයන්ට ආවේණික සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්වී තිබේ. ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට ආවේණික මෙම ගතික ලක්ෂණ ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතියටද ආවේණිකය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා පිළිබඳ ප‍්‍රශ්නයේදී මා මගේ පැවැත්ම පරදුවට තබා සටන් කරන තැනකට ගියේ ඔහු මුල් කොටගෙන අධිකරණයේ ඇතිවී තිබුණු වැරදි නැඹුරුව පරාජය කිරීමට හැකිවේ නම් දේශපාලන ගැතියාවෙන් තොරව ස්වාධීනව ක‍්‍රියාකරන අධිකරණයක් ඇතිකරගැනීමට හැකිවීම මගින් නරකම ව්‍යවස්ථාවක් තිබියදී වුවද අධිකරණයෙන් එල්ල වන පීඩනය නිසා එක්තරා විශාල ප‍්‍රමාණයක යහපාලනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැ’යි කියන විශ්වාසයකින් යුතුවය. අධිකරණයට අවශ්‍ය නම් කළහැකි බලපෑමේ තරම කොතරම්දැ’යි විනිසුරු ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු තම තීන්දු මගින් රටට පෙන්වා දී තිබුණි. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය වූයේ එම තත්ත්වය කණපිට හැරවීමටය. සරත් නන්ද සිල්වා ඒ සඳහා පාවිච්චි කෙරුණු තුරුම්පුව විය. සරත් නන්ද සිල්වාට එරෙහිව මා විසින් මතුකරනු ලැබ බොහෝදුරට තහවුරු වී තිබුණු චෝදනා මත ඔහුට එරෙහිව කරන අරගලයකින් ඔහුගේ තනතුර අහිමි කොට නැවත අධිකරණය පෙර තිබූ ඉදිරිගාමී තත්ත්වයට ගැනීමට හැකිවනු ඇතැ’යි මම විශ්වාස කළෙමි. එය එසේ වී නම් ශ‍්‍රී ලංකාවේ කතාව මීට වෙනස් වන්නටද ඉඩ තිබුණි.

එම අවුලේදී මා සිටියේ ඉතාමත් ශක්තිමත් තැනකය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා සිටියේ ඉතාමත් දුර්වල තැනකය. මා මීට පෙරද ප‍්‍රකාශ කර තිබෙන පරිදි ජනමාධ්‍ය මට උදව් නොකොට පැත්තකට වී නිශ්ශබ්දව බලා සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා වුවද ඒ සටනින් ජයගැනීමේ හැකියාව මට තිබුණි. එහෙත් සමහර ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන එම අර්බුදයෙන් තමන්ට පුද්ගලිකව ලබාගත හැකි වාසි සලකා ප‍්‍රතිපත්ති විරහිතව අගවිනිසුරුට ආධාර කරන දැඩි ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ජයගත හැකි තත්ත්වයක තිබූ සටනක් ජය පරාජයෙන් තොර තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. ඒ මගින් රට ඝන අන්ධකාරයකට තල්ලූ කරනු ලැබුවද ඒ මගින් එම ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් උපයා ගනු ලැබූ ලාභය දැවැන්තය. නඩු හබ විෂයයේදී අගවිනිසුරුවරයකුට කළ හැකි දේවල් ප‍්‍රමාණය අසමසමය. නඩු හබ ඇති ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවෝ තමන්ට වාසිදායක තීන්දු ලබාගැනීම සඳහා එම අර්බුදය ස්වර්ණමය අවස්ථාවක් බවට පත්කර ගත්තෝය. අගවිනිසුරුට එම විශේෂ හෝරාවේදී සිය පැවැත්ම රැුකගැනීම සඳහා ජනමාධ්‍යවල සහාය අත්‍යවශ්‍ය විය. ලොකු නඩු හබ තිබෙන ජනමාධ්‍යවල හිමිකරුවෝ අගවිනිසුරුට උපරිම ලෙස ආධාර කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් අගවිනිසුරුගෙන් තමන්ට වාසිදායක නඩු තීන්දු ලබාගත්තෝය.

මේ අර්බුදයේදී දේවල් සිදුවූ ආකාරය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් අතුරු කතාවක් මෙසේය. එය එම අර්බුදයේදී දේවල් සිදුවූ ආකාරය පමණක් නොව රටේ පොදුවේ දේවල් සිදුවන ආකාරයද තේරුම් ගැනීමට පාඨකයන්ට ප‍්‍රයෝජනවත් වනු ඇතැ’යි විශ්වාස කරමි.

අවලස්සන අත්දැකීමක්

කලක් අධිකරණයේ උපලේඛනගත නිලධාරියකු ලෙස ක‍්‍රියාකළ පුද්ගලයකු වයස සම්පූර්ණ වීමට ප‍්‍රථම විශ‍්‍රාම ගොස් ජනමාධ්‍යවේදියකු ලෙස වැඩ කරන තැනට ආවේය. ඔහු කලක් රාවය පුවත්පතේද නිදහස් ජනමාධ්‍යවේදියකු ලෙස සේවය කළේය. පසුව ජනප‍්‍රිය රූපවාහිනී නාලිකාවකට එකතු වී එහි උසාවි වාර්තාකරු ලෙස සේවය කළේය. ඔහුට ලෙනින් රත්නායක ආරාවුල ගැන සේ ම සරත් සිල්වා ආරාවුල ගැනද හොඳ වැටහීමක් තිබුණි. එහෙත් මේ නාලිකාවට එකතුවීමෙන් පසු ඔහු පළකළ සමහර වාර්තාවලින් අගවිනිසුරු සරත් සිල්වාගේ ප‍්‍රතිරූපය පුම්බන පිළිවෙතක් අනුගමනය කරමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු අතර එය මාගේ විස්මයට සේ ම කම්පනයටද හේතුවී තිබුණි. මා ඔහුට දුරකතනයෙන් කතා කොට ඔහු අනුගමනය කරමින් තිබුණු ප‍්‍රතිපත්තිය දෝෂාරෝපණයට ලක් කළෙමි. මේ අවුලේ අග මුල හොඳින් දන්නා හඳුනන පුද්ගලයකු වශයෙන් අගවිනිසුරුට එරෙහිව සාධාරණ අරගලයක් කෙරෙන අවස්ථාවකදී එම අරගලයට හානි ඇති කරන ආකාරයට අගවිනිසුරුගේ ප‍්‍රතිරූපය පුම්බන පිළිවෙතක පිහිටා ක‍්‍රියාකරන්නේ ඇයිදැ’යි මම ඔහුගෙන් ප‍්‍රශ්න කළෙමි. මා ඔහුට දෝෂාරෝපණය කෙරෙන ස්වරයකින් කතා කළා විය හැකි වුවත් බැණ වැදීමක් කළේ නැත. එහෙත් මා ඔහුට දුරකතනයෙන් බැණ වැදුණු බව ඔහු අගවිනිසුරුට පැමිණිලි කර තිබෙන බව අසන්නට ලැබුණි. ඔහු අගවිනිසුරුගේ පුද්ගලික උදව් පදව් ලබාගන්නා තත්ත්වයකට පත්ව සිටින බවද විටින් විට අසන්නට ලැබුණි. මේ දුරකතන කතාවෙන් පසු අප දෙදෙනා අතර සුහද සම්බන්ධයක් තිබුණේ නම් එය බිඳ වැටුණේයැ’යි කිව හැකිය. කාලය ගෙවී ගියේය. තවත් දීර්ඝ කාලයකට පසුව ඔහු මට කොහේදී හෝ හමුවිය. පරණ සුහදත්වයෙන් යුතුව ඔහු මට කතා කළේය. ඒ වනවිට ඔහු එම රූපවාහිනී නාලිකාවේ වැඩ කළේ නැත. ඒ වන විට අගවිනිසුරු සරත් සිල්වාද විශ‍්‍රාම ගොස් සිටියේය.

මා මේ පුද්ගලයා ගැන ඔහු රාවයට එන්නට පෙර සිටම දැන සිටියෙමි. මට උසාවියේ නඩු හබ ගොඩ ගැසී තිබුණු කාලයේදී උපලේඛනගත නිලධාරියකු ලෙස ඔහු සේවය කළේ අධිකරණයේය. මා ඔහු සමග දැන හැඳුනුම්කම් ඇති කරගෙන තිබුණේ ඒ කාලයේදීය. ඔහු අහිංසක ප‍්‍රියජනක පුද්ගලයෙක් විය. මේ හමුවේදී ඔහු මා සමග කතා කළේ සුහද මිත‍්‍රයකු ලෙසය. ඔහු තමා වැඩ කළ නාලිකාවේ අයිතිකරු වෙනුවෙන් ඉටුකරන ලද කාර්යභාරය මට විස්තර කළේය. ඔහුට අනුව එම නාලිකාවේ හිමිකරුට ඔහු සම්බන්ධ ව්‍යාපාරවලට අදාළ නඩු විශාල සංඛ්‍යාවක් තිබුණි. එක් නඩුවක් අන්තර්ජාතික වැදගත්කමක් තිබූ ව්‍යාපාර නාමය පිළිබඳව වන දැවැන්ත නඩුවක් විය. ඒ සියලූ නඩු නාලිකාවේ හිමිකරුගේ වාසියට හේතුවන ලෙස විසඳාදීමේදී හිමිකරු හා අගවිනිසුරු අතර අතරමැදියා ලෙස ක‍්‍රියා කළේ ඔහුය. ඒ මගින් ඔහු නාලිකාවේ හිමිකරුවාට ලබාදෙන ලද ආර්ථික වටිනාකම රුපියල් කෝටි ගණනක් විය හැකිය. එසේ කර තිබියදීත් නාලිකාවේ හිමිකරුවා තමාට අකෘතඥ වූ බවත් තමා සේවයෙන් පහකළ බවත් දැන් තමා හිමිකරුවාට එරෙහිව කම්කරු උසාවියේ නඩු පවරා තිබෙන බවත් එම නඩුවේ කතාවට එම කතාවද ඇතුළත් වන බවත් ඔහු කියා සිටියේය. ඔහු කළ එම කතාවට මා සවන් දුන්නේ මාගේ උනන්දුවට හේතුවූ චිත‍්‍රපටයක් බලන විට මා තුළ ඇතිවන උනන්දුවට සමාන උනන්දුවකිනි. එය චිත‍්‍රපටියක් නොවූවත් ඔහු කරන කතාවේ සමහර රූප රාමු මගේ මනසේ ඇඳුණේයැ’යිද කිව හැකිය. එම කතාවෙන් පසු අද දක්වා ඔහු මට හමුවී නැත. ඔහු මා වෙතින් නික්මයෑමෙන් පසුව ජනමාධ්‍යවේදියකු වශයෙන් ඔහු විසින්ද, රූපවාහිනී නාලිකාවක හිමිකරුවකු වශයෙන් ඔහුගේ ස්වාමියා විසින්ද, අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින්ද රඟපාන ලද භූමිකාවන් ගැන සාධාරණ තක්සේරුවක් ඇතිකර ගැනීමට මම උත්සාහ කළෙමි.

ජනමාධ්‍යවේදියකු බවට පත්ව සිටි අධිකරණයේ උපලේඛනගත නිලධාරියාට මා සමගත් රාවය සමගත් සජීවී සම්බන්ධයක් තිබුණි. ඔහු අහිංසක ප‍්‍රියජනක, පහළ තත්්ත්වයක සිට ඉහළ තත්ත්වයකට ඉහළනැගීමේ උන්නතිකාමී ආශාවන්ගෙන් යුතු පුද්ගලයෙක් වීයැ’යිද කිව හැකිය. රූපවාහිනී නාලිකාවට එකතුවීමෙන් පසු අගවිනිසුරු මුහුණ දී සිටි අර්බුදය ගැනත්, රූපවාහිනී නාලිකාවේ හිමිකරු නඩු ආශ‍්‍රයෙන් මුහුණ දී තිබුණු අර්බුදය ගැනත් කරුණු දන්නා පුද්ගලයකු වශයෙන් ඒ දෙදෙනාටම ප‍්‍රයෝජනවත් අතරමැදි කාර්යයක් ඉටුකිරීමට තිබෙන හැකියාව ඔහුට කිසියම් මොහොතකදී පෙනෙන්නට ඇතැ’යි කිව හැකිය. ඔහුට එම තත්ත්වය පෙනෙන්නට ඇත්තේ තමා ඉදිරියේ පහළ වී තිබෙන රන් ඉල්ලමක් වශයෙනි. ජනමාධ්‍ය සදාචාරයට හා හෘදය සාක්ෂියට අදාළ මොන මොන ප‍්‍රශ්න තිබුණද තමන් ඉදිරියේ විවර වී තිබූ එම අවස්ථාවෙන් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගතයුතුයැ’යි ඔහු කල්පනා කරන්නට ඇත. ඒ මගින් ලබාගත හැකි ඵල ප‍්‍රයෝජනවල වටිනාකම ගැනද ඔහු ගණන් බලන්නට ඇත.

රූපවාහිනී නාලිකාවේ හිමිකරුවා කල්පනා කරන්නට හා ගණන් බලන්නට ඇත්තේද ඊට සමාන ආකාරයකටය. අධිකරණය ඉදිරියේ තිබෙන නඩු තමාගේ වාසියට හේතුවන ලෙස විසඳාගත හැකි නම් ඒ වෙනුවෙන් අගවිනිසුරුට නාලිකාවෙන් සහාය ලබාදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම වරදක් වන්නේ කෙසේදැ’යි ඔහු කල්පනා කරන්නට ඇත. ඒ මගින් ඔහුට ලැබෙන ඵලප‍්‍රයෝජනවල වටිනාකම ඔහු ගණන් බලන්නට ඇත. අගවිනිසුරු සරත් නන්ද සිල්වා කල්පනා කරන්නට ඇත්තේද ජනමාධ්‍යවේදියා හා රූපවාහිනී නාලිකාවේ හිමිකරුවා කල්පනා කරන ලද ආකාරයට සමාන ආකාරයකටය. එම දුෂ්කර අවස්ථාවේදී ඔහුට ඔහුගේ පැවැත්ම රැුකගැනීම සඳහා ජනමාධ්‍යවල සහාය අත්‍යවශ්‍ය කොන්දේසියක් ව තිබුණේය. ඒ සඳහා මේ නාලිකාවේ සහාය තමාට ලබාගත හැකි නම් නාලිකාවේ හිමිකරුට අදාළ සියලූ නඩු ඔහුගේ වාසියට බේරුම් කරදීම වාසිදායක ගනුදෙනුවක් වේයැ’යි ඔහු කල්පනා කරන්නට ඇත.

අවසානයේ මේ ගනුදෙනුව ඊට සම්බන්ධ පුද්ගලයන් තිදෙනාගේම වාසියට හේතුවූ ගනුදෙනුවක් බවට පත්විය. අලාභයක් වූවා නම් වූයේ මුළු රටටමය. රටේ අධිකරණයටය. මෙය ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව මට තිබෙන එකම අත්දැකීම නොවන බව කිව යුතුය. සමහර අත්දැකීම් මීටත් වඩා අප‍්‍රසන්න හා අවලස්සන බව කිව යුතුය. රටක ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් මේ තරම්ම අවලස්සන තත්ත්වයකට පත්වූ විට ඒ රටද අවලස්සන රටක් බවට පත්වන්නේය. එහෙත් මේ තත්ත්වය රටේ ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන්ට පමණක් ආවේණික විශේෂ තත්ත්වයක් නොවන බවද කිව යුතුය. එය රටේ අන් හැම තැනකමත් එනම් ආගමික පුද්ගලයන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයන් අතරද පොදුවේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුය. මට පෙනෙන අන්දමට පරිහානියේ මුල තිබෙන්නේ මෙතැනය. පරාර්ථකාමය වෙනුවට ආත්මාර්ථකාමය රජ කරන තත්ත්වයක් ගොඩනැගී තිබේ. හොඳ මිනිසුන් ඇති කරන සමාජ ව්‍යාපාරයකින් තොරව රටට ගැලවීමක් නැතැ’යි කියන්නට සිදුවී තිබෙන්නේද ඒ නිසාය.

වික්ටර් අයිවන්

1 comment:

  1. දැන් දැන් නා පරම්පාරවන් අන්තර්ජාලය හා අන්තර්සම්භන්ධතාවය වැඩි වෙන නිසා ඉදිරියේදී මේ ජනමාධය කලාවන්ට වඩා වෙබ් අඩවි බ්ලොග් සමාජගත නෙට්වර්ක් වඩා ජනප්‍රිය වේවි...එතනදී මේ සම්ප්‍රධායී ජනමාධය වලට ඇස් කන් වසා සිටින තත්වය දිගටම තියා ගෙන ඉන්න බැරි වේවි

    ReplyDelete

Powered by Blogger.