Header Ads

තවත් චිකාගෝවක් නොවන්නට නම්...

මේ යන්නේ මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය බවට පත්වන ගමනක්. ඊට අවශ්‍ය සුදුසුකම් රටක් ලෙසින් අපි ශීඝ්‍රයෙන් සපුරමින් සිටිමු. ඒ අතරේ ආණ්ඩුවේ සැලැස්ම රට ආසියාවේ ආශ්චර්යය කරන්නටය. තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය කරන්නටය. සංචාරක ක්ෂේත්‍රයේ විස්මය බවට පත්කරන්නටය. එපමණක්ද, අධ්‍යාපනයේ තෝතැන්නක් කරන්නටය.

ආණ්ඩුවේ අරමුණු යහපත්ය. එය ලංකාව, රටක් ලෙස ඉහළට ඔසවා තබන්නට සමත්ය. එහෙත් මහ පොළොවේ සිදුවන්නේ එහි අනෙක පැත්තය. පාකිස්තානයෙන් ගෙන්වූ රුපියල් කෝටි 260කට අධික වටිනාකමකින් යුතු මත්කුඩු කිලෝ ග්‍රෑම් 260ක් අත්අඩංගුවට පත්වන්නේ ඒ අනුවය. එය රේගුවෙන් නිදහස් කරගන්නට දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු සහාය දී ඇත.

හුස්මක් - කටක් ගන්නට ලැබුණේ නැත. දකුණෙන් රුපියල් කෝටි හයහමාරක් වටින ලොකුම මත්කුඩු තොගය පසුගිය (14දා) හික්කඩුවෙන් ඇල්ලුවේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මේ ඔත්තුව දෙනු ලැබ තිබුණේ අත්අඩංගුවේ සිටින ලයිබීරියානු ජාතිකයකු විසිනි.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මඟින් මන්නාරමටත්, පුත්තලමේ උඩප්පුවටත් මත්කුඩු ප්‍රවාහනය කෙරෙන බව නාවික හමුදාව කාලයක් තිස්සේ කියන කතාවකි. 2009 මැයි මාසයට කලින් මේ වැඩේ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයය. දැන් ඉන්දීය ජාතිකයන්ය.

එසේම පසුගිය කාලයේ මෙරට මත්කුඩු බෙදාහරිමින් සිටියදී ඉන්දුනීසියානු ජාතික තරුණියෝ දෙදෙනෙක්ද අත්අඩංගුවට පත්වූහ. මේ සියලු සිද්ධිවලින් පැහැදිලි වන්නේ ලංකාව මත්කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් සිටින බවය. චිකාගෝවක් බවට පත්වෙමින් තිබෙන බවය.
ඇමෙරිකාවේ චිකාගෝ නුවර කාලයකට ඉහතදී ලෝකයේ දසතින් පැමිණි නීති විරෝධී ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් විය. එහිදී ඔවුනොවුන් අතර හැඳුනුම්කම් ඇති වූ අතර ජාවාරම් ප්‍රවර්ධනයද සිදුවිය. ඉන්පසු මෙය ඉන්දුනීසියාවේ "බණ්ඩා අචේ" ප්‍රාන්තය වැනි ස්ථාන කිහිපයකට මාරු වූ අතර, එම ප්‍රදේශවල ස්ථානගත වී සිටි ත්‍රස්තවාදී සංවිධානවලට මෙම ජාවාරම් ධන උල්පත් විය. මෙරට ඇතැම් පාතාල නායකයන් සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය කළ ගනුදෙනුද මේ ජාතියේ ඒවා විය.

පාකිස්තානුවන්. ලයිබීරියානුවන්, ඉන්දියානුවන්. ඉන්දුනීසියානුවන් මෙරට මත්කුඩු වෙළෙඳපොළට සම්බන්ධ වී ඇති බව මෑතකාලීන පොලිස් වාර්තා තහවුරු කරයි. මේ අත්අඩංගුවට පත්වූවන් පිළිබඳ තොරතුරු පමණි. මෙරට මත්කුඩු ජාවාරම්කරුවන්, මෙම විදේශිකයන් රට තුළ මත්කුඩු ප්‍රවාහනයට බහුල ලෙස යොදා ගන්නා බවද බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ.

ලෝකයේ පිළිගත් අදහසක් වන්නේ දේශපාලනඥයන්ගේ සහ පොලිසියේ පිහිටෙන් මත්කුඩු ජාවාරම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බවයි. ලංකාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙම ජාවාරම්කරුවන්ගෙන් මාසික වැටුප් ලබාගෙන ඇති බවත්, දැනට සේවයේ නියුතු ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් මේ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් වාහන අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිදරව් කරගෙන තිබේ.
මෙරට ඇතැම් ඇමැතිවරුන්ගේ මැතිවරණ ව්‍යාපාරවල 'කටවුට්' වියදම මුළුමනින්ම දරා ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවන්ය. එසේම ඇතැම් දේශපාලනඥයන්ගේ සමාජ සේවා කටයුතුවලදී වියදම් දරන්නේද ඔවුන්ය. මෙය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද පොදු සාධකයන් බවට පත්වී තිබේ. එම නිසා ආණ්ඩු මාරු වුණා කියා මේ ජාවාරම්කරුවන්ට ගැටලුවක් ඇත්තේ නැත.

මෑතකාලීනව මෙම ජාවාරමේ කෙරුම්කාරයන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. එය මෙරට ආරක්ෂක අංශවල දක්ෂතාවයය. එය අගය කළ යුත්තේ දිනෙන් - දිනම මෙම ජාවාරම රට තුළ ඔඩුදුවන බව බලධාරීන්ට සිහි කැඳවන ගමන්ය.
රට යන අත වහාම තේරුම් ගත යුතුය. ජාවාරම්කරුවන්ගේ උකුලේ නැළැවෙන දේශපාලනඥයන් සහ පොලිස් නිලධාරීන් "කාලයේ සහ පැවැත්මේ වාසියට" දඬු කඳේ ගැසීම ඒ අත වෙනස් කරන්නට ප්‍රමාණවත් නැත. අවශ්‍ය වන්නේ සැබෑ අරමුණකින් කටයුතු කිරීමය. ලංකාව හෙට - අනිද්දාට චිකාගෝවක් හෝ බණ්ඩා අචේ ප්‍රාන්තයක් බවට පත්වීම වළක්වා ගත හැක්කේ එසේය. 'පක්ෂ - පාට භේද ඉවත දමා උඩුගං බලා පිහිනමු යැයි අප යෝජනා කරන්නේ එම නිසාය.

ප්අඉසප් -

No comments

Powered by Blogger.