Header Ads

මහින්ද බය මහින්ද

මහින්ද වැඩියෙන්ම බය කාටද...?
මේ ප්‍රශ්නය අහපු ගමන් කටට එන උත්තරය චන්ද්‍රිකාය.
"ඇයි ශිරාණි බණ්ඩාරනායකට..."
ඒකත් ඇත්තය. ඒත් මහින්ද මේ හැමෝටම වඩා බය කෙනෙක් සිටියි.

"ඒ කවුද...?"
වෙන කවුරුවත් නොව මහින්දටමය.
"ඒක හරියට තුන් තේරවිල්ලක් වගේනේ..."

තුන් තේරවිල්ලක් වුණත් ඇත්ත ඒකය. මහින්ද, මහින්දට කොයිතරම් බයද කියන එක මුලින්ම පෙනුණේ මංගල සහ ශ්‍රී පතිව අයින් කරපු දවසේය. මහින්ද මංගල සහ ශ්‍රී පතිගෙන් දුටුවේ මහින්දට එරෙහි මහින්ද කෙනෙක්වය.

මහින්ද චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ චරිතයක් වුණේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරලාය. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයට එන තීන්දු තීරණ කැබිනට් මණ්ඩලය තුළම විවේචනය කරල පසු දින මාධ්‍යවලට දීම මහින්ද පුරුද්දක් කරගෙන සිටියේය. චන්ද්‍රිකා මහින්දට රිපෝටර් කියල නම පටබැඳුවේ ඒ නිසාය. ඇය කොයිතරම් අවවාද කළත් මහින්ද ඒ පුරුද්ද අතහැරියේ නැත. තමන්ට මාධ්‍ය අතර වීරයා වෙන්න පුළුවන් ආණ්ඩුව ඇතුළේ සටන්කාරයා වුණොත් පමණක් යැයි මහින්ද තීරණය කොට තිබිණි. ඇමැති මණ්ඩලය තුළ පමණක් නොව කම්කරු ප්‍රඥප්තිය, 2000 දේශපාලන විසඳුම් යෝජනාවලිය සම්බන්ධයෙන්ද මහින්ද එළිපිටම චන්ද්‍රිකාගේ ආණ්ඩුව විවේචනය කළේය. එපමණක් නොව වරක් මහින්ද මුදල් අමාත්‍යංශ ලේකම් ඒ.එස්. ජයවර්ධනට පහර දෙන්න ගොස් වීරයෙක් විය. ඉහළ යන බඩු මිල පාලනය කරන්න ඔහු උත්සාහයක් ගත්තේ නැතැයි කියමින් ඔහුව දැඩි විවේචනය කොට ජනතාව අතර වීරයෙක් වූ මහින්ද ඒ. එස්. ජයවර්ධන ආණ්ඩුව වට්ටවන්න යන යූ.ඇන්.පී.කාරයෙක් කියා ශ්‍රී ල.නි.ප. පාක්‍ෂිකයන් අතර වීරයෙක් විය. මහින්ද ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විවේචනය කිරීම ශ්‍රී ල.නි.ප. පාක්‍ෂිකයන්ගේ විරෝධයට ලක් නොවූයේ මහින්ද එය ආර්ට් එකට නොහොත් කලාවට කළ නිසාය.

මේ ආර්ට් එක නොහොත් කලාව හොඳින් ප්‍රගුණ කර ඇති මහින්ද ජනාධිපති වූ පසු මංගල සහ ශ්‍රී පති පසුපස පැන්නුවේ මේ දෙදෙනා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්ද ඇන්ද චරිතයට අඳින්න යන බව ඉවෙන් මෙන් දැනගෙනය. දෙදෙනා මහින්දගේ චරිතයට ඇඳගත් පසු පොරොවෙන් කපලවත් අයින් කරන්න බැරි බව දැන මහින්ද දෙදෙනාව නියපොත්තෙන් කඩල අයින් කළේය.

විමල් වීරවංශ, පී. බී. ජයසුන්දරට ගහගෙන එද්දීත්, චම්පික විදුලි බලය ගැන නාහෙට නාහන කතා කියද්දීත්, රාජිත 13 ප්ලස් ගැන වාද කරද්දීත් මහින්දට යකා නැග්ගේ මහින්දගේ ආණ්ඩුව ඇතුළේ මහින්දලා බිහිවෙන්න බැහැ කියන මතයේ හිඳිමින්ය. විමල් ගහද්දී පී.බී.ව ආරක්‍ෂා කළෙත්, චම්පිකගේ ඇමැති තටු කපල දැම්මෙත්, රාජිතට යන්න ‍ෙදාර පෙන්නුවේත් ආණ්ඩුව ඇතුළේ මහින්දලා හැදෙයි කියන බයටය.
දැන් මහින්දට හැදිලා තියෙන අලුත්ම මහින්ද බය 'අගමැති බය'ය.

මහින්ද දි.මු.ව අගමැති ලෙස නම් කළේ දේශපාලන ආත්ම ආරක්‍ෂාවටය. හේතුව චන්ද්‍රිකා තමාව අගමැති ධුරයට පත්කරන්න ගිහින් වැඩේ වරද්දා ගත් හැටි මහින්ද පුරුද්දෙන් දනී. දි.මු. අසාධ්‍ය ලෙස අසනීප වූ විට මහින්ද දි. මු.ව ඇමෙරිකාවට යවා ප්‍රතිකාර කොට ගෙන්වා ගත්තේ දි.මු.ව අගමැතිකමෙන් අයින් කළොත් මේක ඇතුළේ මහින්දලා දුසිම් ගණන් හැදෙයි කියන බයටය.

බැසිල් රාජපක්‍ෂ අගමැතිකම ලැබෙයි කියල හිතපු අයෙකි. 2010 මහ මැතිවරණයට පසු අගමැති ධුරයට තමා පත්වනු ඇතැයි ඔහු සිතා සිටියා නම් පුදුම වෙන්න දෙයක් නැත. ඒත් බැසිල් දි.මු. අගමැති වෙනවාට විරුද්ධ වූයේ නැත. හේතුව දි.මු. අගමැති වුණත් ආණ්ඩුවේ නොනිල නියෝජ්‍ය නායකයා තමාය යනුවෙන් රට තුළ තිබෙන පිළිගැනීමට දි.මු.ට අභියෝග කළ නොහැකි නිසාය.

මෛත්‍රිපාලත් අගමැතිකමට හීන මවපු අයෙකි. 2010 මහ මැතිවරණයේ මෛත්‍රිගේ සටන් පාඨය 'මෛත්‍රි යුගය' කියන සටන් පාඨය ය. මහින්දට අගමැතිකම අරන් දෙන්න චන්ද්‍රිකාගේ හිත වෙනස් කරන්න තමා ඉටුකළ කාර්යභාරය දන්නා මහින්ද තමාට අගමැති ධුරය දෙයි කියා මෛත්‍රි සිතුවේය. ඒත් මෛත්‍රිට බස් එක මිස් විය. ජේ‍යෂ්ඨත්වයෙන් ඉහළ දි. මු.ට අගමැතිකම දීම ගැන මෛත්‍රිගේත් අහිතක් නොවූයේ දි.මු.ගේ අගමැතිකමට වඩා මෛත්‍රිගේ මහලේකම්කම ලොකු නිසාය.
නිමල් සිරිපාල 'උෟවට අගමැතිකම' කියා බැනර් ගහගෙන ඡන්ද කළත් දි.මු.ට අගමැතිකම දුන් විට හිත හදා ගත්තේය.
දි.මු. අසාධ්‍ය ලෙස අසනීප වූ විට මේ හැමෝම හිතුවේ තමන්ට චාන්ස් එකක් එයි කියලාය.

බැසිල්ගේ ප්‍රශ්නය ගෙදරදී බේරාගන්න පුළුවන් වුණත් මෛත්‍රිගේ සහ නිමල් සිරිපාලගේ ප්‍රශ්නය බේරන එක ලෙහෙසි නැති බව මහින්ද දනී. නිමල්ට දුන්නොත් මෛත්‍රි තරහ වේ. මෛත්‍රිට දුන්නොත් නිමල් තරහ වේ. දෙදෙනාගෙන් කාට අගමැතිකම දුන්නත් ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මහින්දගේ චරිතයට අඳින්නේ නැතිව ඉඳියි කියා මහින්දට සහතිකයක් නැත.

පසුගිය මධ්‍යම පළාත් සභා ඡන්දයේදී දි. මු.ගේ පුතාට මහ ඇමැතිකම දුන්නේ නැහැ කියා දි.මු. සහ පුතා එයට විරෝධය පා පාක්‍ෂිකයන් එක්රැස් කොට මහනුවර පෙළපාළි ගියහ.
"අගමැති ආණ්ඩුවට එරෙහිව පෙළපාළි යනවා කියන්නේ සුළු පටු වැඩක් නෙවේ..."
හෙංචයියෙක් මහින්දගේ කනට කර කීවත් මහින්ද කලබල වුණේ නැත.
"දි.මු. අගමැතිකමේ හිටපුදෙන්..."
මහින්ද දුන්නේ ඒ උත්තරය ය.
මීට පෙර මහනායක හිමිවරු දි. මු.ට එරෙහිව මහින්දට කරුණු කීහ. මහින්ද බීරි අලියා ගානට නෑසුණා සේ සිටියේය.

දැන් දි.මු.ගේ සම්බන්ධීකාරක ලේකම් කෙනෙක් පාකිස්තාන කුඩු කන්ටේනරයක් මුදා හරින්න ලියුමක් දුන්නා කියා දි.මු.ව. අයින් කරන්න යැයි හෙළ උරුමයේ හාමුදුරුවරු හඬ නඟති.
ඒත් මහින්දට වගක් නැත. දි. මු.ව අයින් කරන්න යැයි කියන අයව මහින්දට පේන්නේ ආණ්ඩුව ඇතුළේ මහින්ද කෙනෙක්ට හැදෙන්න ගල්-පස් අදින අය වගේය.
"ඔබතුමයි ආණ්ඩුවයි දෙකම ඉවර වෙන්නේ අගමැති කෙනෙක්ගේ අතින්..."

මහින්දට ජේ‍යාතිෂවේදීන් එහෙම කීවාද දන්නේ නැත.
ලංකාවේ වසර 11ක් රට ආණ්ඩු කරපු ජනාධිපතිවරුන් දෙදෙනකුට ගෙදර යන්න වුණේ අගමැති නිසාය.
1988 තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කරන්න ජේ. ආර්. ව්‍යවස්ථාව වෙනස් කරන්න යද්දී ප්‍රේමදාසව ජනාධිපති අපේක්‍ෂකයා කරන්න යැයි ජේ. ආර්.ට පක්‍ෂය තුළින්ම බලපෑම් ආහ.

2005 චන්ද්‍රිකාට ගෙදර යන්න සිදුවූයේ මහින්ද චන්ද්‍රිකාගේ මිනිසුන්ගේම කර පිටින් ජනාධිපති අපේක්‍ෂකයා වූ නිසාය.
තෙවැනි වරට ජනාධිපතිවරණයට තරග කර නොහැකි සේ පනවා තිබූ ව්‍යවස්ථා බාධාව ඉවත් කරගත්තත් මහින්ද වගේ අගමැති කෙනකුට හැදෙන්න දුන්නොත් මහින්දට ගෙදර යන්න වන බව මහින්ද දනී.
"ඒත් දි.මු.ට හැමදාම අගමැතිකමේ ඉන්න පුළුවන්ද...?"
ඒක තීරණය වන්නේ මහින්දට තව කොච්චර කාලයක් ජනාධිපතිකමේ ඉන්න පුළුවන්ද කියන එක මතය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

1 comment:

  1. The addiction to Power is very much similar to the addiction to alcohol
    Benazeer Bootho `s untimely death indicates her addiction to Power.
    She was desperate to come to Power inspite of security threats

    ReplyDelete

Powered by Blogger.