ඔරුවක් නැති ආචාරියා?

හබලකුත් අරගෙන කැලණි ඔරුවට තමා ගොඩවන දවස වැඩි අෑතක නොවේ කියා අප ආචාර්යතුමා පවසන නමුත් ඔහුට කැලණිය දීමට විරුද්ධ වන අයද මේ ආණ්ඩුවේ සිටින බව පැහැදිලිය.
කැලණිය ශ්‍රී ලනිප සංවිධායක කමට දාන්න ඕනෑ කැලණියේම අයෙක් බව බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග ළඟදී ප්‍රකාශ කර ඇත. මර්වින් සිල්වා ඉවත් කිරීමෙන් පසු කැලණිය වැඩබලන සංවිධායක ලෙස ජනාධිපතිවරයාත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාත් තමා පත් කළ බව පවසන රණතුංග කැලණියේ ඉන්නේ උගත් බුද්ධිමත් ජනතාවක් බවද කියයි.
මේ කතාවෙන් පැහැදිලි වන්නේ කැලණියේ සංවිධායක කම මර්වින් සිල්වාට නොලැබෙන බව නොවේද?
එහෙත් ආචාර්ය මර්වින් සිල්වා නම් කියන්නේ තමා උපන්නේ බෙලිඅත්තේ බවත් කොල්ලා කාලේ සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ පීල්ලේ සිටින බවත්ය.
හැමදාම ජනාධිපතිවරයාගේ පීල්ලේ සිටි බව පවසන මර්වින් සිල්වාට කලක් රනිල් වික්‍රමසිංහගේ යූ. ඇන්. පී.යට ගොස් ලිස්සන ලෑල්ලේ සිටි බව අමතක වීම නම් කනගාටුවට කරුණකි.
අනෙකුත් ඇමැතිවරුන් මෙන් නොව හොඳට උගත් මර්වින් සිල්වා ආචාර්ය උපාධිධාරියකි. ඔහුගේ ආචාර්ය පට්ටම ලැබුණේ කුමන විශ්වවිද්‍යාලයෙන්ද කියා මෙලෝ මිනිහෙක් දන්නේ නැත.
මේ විදියට ආචාර්ය පට්ටමක් දරන කෙනකු කැලණිය සංවිධායක වීම එහි ජනතාවට කෙතරම් ආඩම්බරයක්ද?
ළඟදී පෑලියගොඩ නගර සභාවේ අය-වැය දෙවරක් පරාජය වීම නිසා එහි සභාපතිට තනතුර අහිමි විය. සභාපතිවරයා නම් කියන්නේ මේ ජංජාලයට මර්වින් සිල්වා වගකිවයුතු බවයි. ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවාසේ කැලණියේ හැම මරාලයක්ම අපේ ආචාර්යතුමාගේ පිටින් යැවීම නම් හොඳ නැත.
හෙමිජ්ජා වගේ සිටියාට පෑලියගොඩ සභාපතිගේ පට්ටම ගැලවීම පිටුපස ආචාර්යතුමා සිටියාද කියා අප නම් දන්නේ නැත.
ආචාර්ය මර්වින් සිල්වා එසේ මෙසේ මිනිසකු නොවේ. ඔය විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මඟුල සෙට් කළේද මර්වින්ය.
ඒ කාලයේ මා වැඩ කළේ 'දිනකර' පුවත්පතේය. චන්ද්‍රිකා මැඩම් දවස ගත කළේ රොස්මිඩ් වලව්වේ නොවේ. 'දිනකර' පත්‍රයේය. මර්වින් සිල්වා විජය කුමාරතුංග සමඟ 'දිනකර' පුවත්පතට පැමිණි අවස්ථා මට මතකය.
විජය එකල ජනප්‍රිය නළුවෙකි. විජය සමඟ 'දිනකර'ට එන මර්වින් සිල්වා ඔහුට චන්ද්‍රිකා සමඟ කතා කරන්නට ඉඩදී අප ළඟට එයි.
'මොකද මචං දැන් උඹ කපුකම් කරන්න පටන් ගෙනද?' අපේ යාපා කරුණාරත්න මර්වින්ගෙන් ප්‍රශ්න කරයි.
"උඹ දන්නේ නෑ මචං මේ දෙන්න කොච්චර ලව් වුණත් කපුවෙක් නැතිව මේ වැඩේ කෙරෙන්නේ නෑ. බණ්ඩානායක මැතිනිය මේකට තවම අවසර දීල නෑ. මං කරන්නේ මේ මඟුලට මැතිනිය කැමැති කරවා ගන්න එක."
"කපුවා කපෝති වේවිද දන්නේ නැහැ."
"නෑ මචං මේ මර්වින් කපුවා කවදාවත් කපෝති වෙන්නේ නෑ."
එදා එසේ කී මර්වින් ආචාර්යතුමා අද කැලණිය නැතිව දුක්වෙන අන්දම විජය කුමාරතුංග ජීවත්ව සිටියා නම් කවදාවත් අමතක කරන්නේ නැත. විජය පැනලා හොඳ ෆයිට් එක් දී ඔහුට කැලණිය ලබාදෙන එක ෂුවර්ය.
අපේ මර්වින් ඇමැතිවරයාට මෙන් ආසන ප්‍රශ්නයක් තිබූ සංවිධායකයෙක් දකුණු පළාතේ සිටියේය.
ඔහුට ආසන සංවිධායකකම නොදී වෙනත් කෙනකුට එය දීමට පක්ෂය සූදානම් විය.
"හරි වැඩේ මට වෙලා තියෙන්නේ. මං අවුරුදු දහයක් මේ ආසනේ සංවිධායක කම දැරුවා. දැන් මට කපන්නයි යන්නේ, සංවිධායකයා තම හිතවත් කාන්තාවකට කීවේය.
"ඕක මොකක්ද මං ඔයාට ඕක ලබා දෙන්නම්"
ඒ අනුව කාන්තාවගේ වචනය විශ්වාස කළ සංවිධායකයා බලාපොරොත්තු සහිතව සිටියේය.
ඡන්දය ආවේය. අර කාන්තාව හිටපු සංවිධායක හමුවිය.
"ඔන්න වැඩේ හරි මට හදිස්සියකට ලක්ෂ 10ක් ඕනෑ ඒක දෙන්න පුළුවන්ද?"
"මගේ වැඩේ කරපු ඔයාට නොදී කොහොමද?"
හිටපු සංවිධායක ඇය ඉල්ලූ ගණන දුන්නේය.
නාම යෝජනා බාරදීමේ දිනය උදාවිය. හිටපු සංවිධායකට බිංදුවය. අර කාන්තාව නාම යෝජනා භාර දුන්නාය.
දේශපාලනය කියන්නේ ඒකටය.
අපේ මර්වින් සිල්වා ඇමැතිවරයා අද පරණ යූ. ඇන්. පි.යේ සිටියා නම් රනිල් වික්‍රමසිංහගේ කැපිලි අනුව ඔහුට සිදුවන්නේ කැලණි ගඟට නොව බේරේ වැවට පනින්නටය.
බාල්දිය -
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteසමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්