Open top menu
Friday, December 27, 2013

සරත් සිල්වාගේ පුහු තර්ක ---- වික්ටර් අයිවන් 

පසුගිය සතියේ සිකුරාදා ‘සිලෝන් ටුඩේ‘පුවත්පතේ ජනමාධ්‍ය වේදියෙක් මට දුරකතනයෙන් කතා කොට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පුවත්පත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් මා ගැන සඳහන් කිරීම් කිහිපයක් කරන ලද බවත් විශේෂයෙන්ම දියවන්නා ඔය කතාව මා හා ලසන්ත වික‍්‍රමතුංග නිර්මාණය කරන ලද කතාවක් බව ඔහු කී බවත් මට කියමින් ඒ ගැන වන මගේ කතාව කීමට අවස්ථාවක් ලබාදීමට පුවත්පත කැමති බවත් ඒ සඳහා වන සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා සඳුදා දිනයේදී හමුවිය හැකිදැ’යි මගෙන් විමසා සිටියේය. පොහොය දිනය වන සඳුදා දිනයේදී මා කොළඹ නොසිටින නිසා හමුවනවා නම් හමුවිය හැක්කේ අඟහරුවාදා බව ප‍්‍රකාශ කරමින් නැවත සඳුදා දින කතා කරන ලෙස ඉල්ලා සිටියෙමි.

ඉරිදා උදේ මට දුරකතනයෙන් කතා කළ මා දන්නා හඳුනන හිටපු විනිසුරුවරයකු සරත් නන්ද සිල්වා මව්බිමට පච තොගයක් කියා ඇති බව කියා සිටියේය. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව මුළුමනින් කියවීදැ’යි විමසූ විට මුළු සම්මුඛ සාකච්ඡාවම කියවූ බවත් සම්මුඛ සාකච්ඡාවට වෙන්කර තිබෙන ඉඩ පිටු දෙකහමාරක් බවත් කියා සිටියේය.

ඉන්පසු ඉරිදා මව්බිම පුවත්පත හා එම ආයතනය විසින්ම පළකරන සිලෝන් ටුඬේ පුවත්පත ගෙන්වාගෙන කියවීමි. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සඳහා සිංහල පුවත්පත පිටු දෙකහමාරක් වෙන් කරන විට ඉංග‍්‍රීසි පුවත්පත සම්පූර්ණ පිටුවක ඉඩක් වෙන්කර තිබුණි. ඉංග‍්‍රීසි පුවත්පතේ පළවී තිබුණේ සිංහල පුවත්පතට ගන්නා ලද සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණයකි. සම්මුඛ සාකච්ඡාව තුළින් තනතුරේ සිටියදී ඔහු විසින් කරන ලද නින්දාසහගත ක‍්‍රියාවන් නිසා ඇෙඟ් තැවරී තිබුණු කැත කුණු සෝදාගැනීමට ඔහු විශාල උත්සාහයක යෙදී තිබුණු බව පෙනෙන්නට තිබුණි. එහි ඔහු මා ගැනද නොයෙකුත් දේ කියා තිබුණි.

සඳුදා සවස සිලෝන් ටුඩේ මාධ්‍යවේදියා නැවත මට කතා කොට අඟහරුවාදා දිනට යොදාගෙන ඇති සම්මුඛ සාකච්ඡාව ගැන මතක් කළේය. පුවත්පත් දෙකේම පළවී තිබූ වාර්තා මා කියවූ බවත් සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබෙන පුද්ගලයා එය සිදුකර තිබෙන ආකාරය ගැන මට එකඟවිය නොහැකි බවත්, බරපතළ වැරදි කර තිබෙන පුද්ගලයකුට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන විට එය කළයුත්තේ ප‍්‍රමාණවත් තරමේ කරුණු හැදෑරීමකින් පසුව බවත්, ඔහුට එරෙහිව එල්ල වී තිබූ බරපතළ චෝදනා පිළිබඳව ලියැවුණු පොත්පත් සේ ම දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා තිබෙන බවත්, ඒවා පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව ඇෙඟ් තැවරී තිබෙන කැත කුණු සෝදා ගැනීමට වේදිකාවක් තනාදීම යහපත් ජනමාධ්‍ය කලාවක් ලෙස සැලකිය නොහැකි බවත් කියමින්, ඒ ආකාරයෙන් කැරුණු සංවාදයක කොටස්කරුවකු වීමට මට අවශ්‍ය නොවන බවත් කියා සිටියෙමි.

ඒ කතාව අවසන් කොට තවත් ටික වේලාවකට පසුව ඔහු නැවත මට දුරකතනයෙන් කතා කළේය. මා දෙන ලද පිළිතුර තම කතුවරයාට දැනුම් දෙනු ලැබූ බවත් මා එම සම්මුඛ සාකච්ඡාව ගැන කරන ඕනෑම ප‍්‍රතිවිග‍්‍රහයක් කපා කෙටීමකින් හෝ විකෘති කිරීමකින් තොරව පළකරන බවට කතුවරයා සහතික වූ බවත් ඔහු කියා සිටියේය. ඉන්පසු සම්මුඛ සාකච්ඡාවකට මම එකඟවීමි. ඒ අනුව පසුදින එම මාධ්‍යවේදියා මගෙන් සම්මුඛ සාකච්ඡුාව ලබා ගත්තේය.

එහි පළවන්නේ කුමක් වුවද එම පුවත්පත්වල පළවූ සම්මුඛ සාකච්ඡුාව පිළිබඳව කෙටි විග‍්‍රහයක් රාවය පාඨකයන්ගේද දැනගැනීම සඳහා ලිවීම සුදුසුයැ’යි සිතුණි. සරත් නන්ද සිල්වා

සරත් නන්ද සිල්වා ඉතා වැදගත් හා බලවත් තනතුරු ගණනාවක් ඉසිලූ පුද්ගලයෙකි. ඔහු කලක් නීතිපති ධුරයද වඩා දීර්ඝ කාලයක් අගවිනිසුරු ධුරයද දැරීය. ඔහු එම තනතුරු දෙක උසුලන කාලයේදී මා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනා හා ඔහු එම තනතුරෙන් ඉවත් කරවා ගැනීම සඳහා මා දියත් කරන ලද ක‍්‍රියාමාර්ග ඔහුට සිය ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවූ ලොකුම අර්බුද වන්නට ඇති බවට සැකයක් නැත. කරුණු නොදන්නා සාමාන්‍ය මිනිසුන් අතර ආගමට බර තබා ක‍්‍රියාකරන සැදැහැවත් ධර්ම දේශකයකුගේ තත්ත්වය පවත්වාගෙන යන්නට ඔහු සමත්ව ඇතත් කරුණු හොඳින් දන්නා අය අතර දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඔහු ගැන ඇත්තේ අතිවිශාල පිළිකුලකි.

ශ‍්‍රී ලංකාවේ අධිකරණයට තිබූ ගෞරවය හා අභිමානය නැත්තටම නැති කළ පුද්ගලයා ඔහුය. අධිකරණයේ තිබූ ඉදිරිගාමී ගමන ආපස්සට හරවනු ලැබූ පුද්ගලයාද ඔහුය. ආණ්ඩුක‍්‍රමයේ තිබූ අවුල් උග‍්‍ර කළ පුද්ගලයාද ඔහුය. ඔහු රාජ්‍යයේ අත්තනෝමතිකභාවය ශක්තිමත් කළේය. විපක්ෂයේ පැවැත්ම නැත්තටම නැති කළේය. යුරෝපා සංගමයෙන් ලැබෙමින් තිබූ ජීඑස්පී ප්ලස් සහනය ශ‍්‍රී ලංකාවට අහිමි කිරීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ පුද්ගලයා ලෙසද ඔහු සැලකිය හැකිය. යුක්තිය හා පොදු යහපත පිණිස මා මාගේ ජීවිතයේදී විවිධ අරගලවල යෙදී ඇතත්, ඒ සියලූ අරගල අතුරින් මා වැඩිම අවදානමක් බාරගනිමින් කරන ලද දුෂ්කරම හා සංකීර්ණම අරගලයද ඔහුට එරෙහිව කරන ලද අරගලය වීයැ’යි කිව හැකිය. එය මා විසින් කරන ලද සියලූ අරගල අතුරින් ගතවූ කාලය අනුව දීර්ඝතම අරගලය ලෙසද සැලකිය හැකිය. මා එම අරගලයෙන් ජයගත්තේ නැතත් පරාජය වූයේද නැත. එහෙත් මා එම අරගලයෙන් සමාජය හා රටේ ආයතන ක‍්‍රමය පිළිබඳව ඉගෙනගත් ප‍්‍රමාණය වෙනත් කිසිදු අරගලයකින් ඉගෙනගත් ප‍්‍රමාණයට වඩා වැඩිය.

එහෙත් ඔහුට එරෙහිව කරන ලද අරගලය යුක්තිසහගත හේතු මත කරන ලද සාධාරණ අරගලයක් වූවා මිස පරණ කෝන්තරයක් නිසා කරන ලද දෙයක් නොවීය. එම දුෂ්කර අරගලය තුළ මට විනාශ නොවී පවතින්නට හැකිවූයේද ඒ නිසාය. ඒ බව ඔහුද දැන සිටියේය. ඔහු ඉතාමත් දූෂිත හා කෲර මිනිසකු වුවත් අංශුමාත‍්‍රයක හෝ හෘදය සාක්ෂියක් ඔහුට තිබුණේය. ඔහුට අභියෝග කරන්නට ආ බලවත් අයට පවා ඔහු සිය නිල බලය යොදා පහර දුන්නේය. ඔවුන්ට හිරබත් කන තැනට වැඩ සැලැස්සුවේය. එහෙත් ඔහු මා සම්බන්ධයෙන් එවැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළේ මා හැප්පුණේ ආවේගයෙන් නොව බුද්ධියෙන් වන නිසාත් ඒ හැප්පීමට බලපෑ හේතු ඔහුගේ හෘදය සාක්ෂියට වද දෙන ප‍්‍රශ්න ඒවා වීමත් නිසාය.

71 කැරැල්ලේ නඩුව

එහෙත් ඔහු මෙම පුවත්පත් දෙකට දෙන ලද සාකච්ඡාවේදී අඟවන්නට උත්සාහ දරා තිබෙන්නේ මට සිරදඬුවම් නියම වූ කැරැල්ලේ නඩුව ඔහු මෙහෙයවන ලද නිසා මා ඔහු කෙරෙහි ඇති කරගත් වෛරයකින් ක‍්‍රියා කළ බවය.

ඔහු දී තිබෙන අර්ථකථනයේ අල්පමාත‍්‍ර වශයෙන් හෝ සත්‍යයක් නැත. කැරැල්ලේ එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා යොදාගත් රජයේ නීතිඥ කණ්ඩායමට පුද්ගලයෝ පස්දෙනෙක් අයත් වූහ. එම කණ්ඩායමේ ප‍්‍රධානියා වූයේ වික්ටර් තෙන්නකෝන්ය. දෙවැනියා වූයේ කොලින් තෝමේය. රංජිත් අබේසූරිය තුන්වැනියා විය. තිලක් මාරපන එම කණ්ඩායමේ සිව්වැන්නා විය. කණ්ඩායමේ අන්තිමයා හෙවත් කනිෂ්ඨම පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය.

වික්ටර් තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු පැමිණිල්ලේ නඩුව මෙහෙයවන ලද්දේ කොලින් තෝමේය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් පසුව නඩුව මෙහෙයවන ලද්දේ රංජිත් අබේසූරියයි. එතැන් සිට නඩු තීන්දුව දෙන අවස්ථාව දක්වා පැමිණිල්ල මෙහෙයවූ ප‍්‍රධානියාද ඔහු විය. සරත් නන්ද සිල්වා එම කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් අඩුම වැදගත්කමක් ලැබුණු පුද්ගලයා විය. විනිසුරු කොලින් තෝමේ විශ‍්‍රාමයෑමෙන් පසු හා මා රාවය ආරම්භ කිරීමෙන් පසු අප දෙදෙනා අතර යම් පමණක ඇසුරක් හා මිතුරුකමක් තිබුණේයැ’යි කිව හැකිය. වෛර කරනවා නම් මා වෛර කළයුත්තේ සරත් නන්ද සිල්වාට නොව රංජිත් අබේසූරියටය. එහෙත් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මාගේ වැදගත් නඩු දෙකක් වෙනුවෙන් නොමිලේ පෙනී සිටියේය. ඉන් එකක් සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව පවරන ලද නඩුව වූ අතර එය දිග්ගැසුණු නඩුවක් විය. කැරැුල්ලේ නඩුව මෙහෙයවන ලද පුද්ගලයන් හා මා අතර අගතිගාමී හැඟීම් තිබුණේ වී නම් මා ඔහුගෙන් ආධාර ලබන හෝ ඔහු මට ආධාර කරන තත්ත්වයක් හෝ ඇතිවිය නොහැකිය. එම නඩුව ආශ‍්‍රයෙන් ඔහු පිළිබඳව මා තුළ ඇති කරගත් අගතියක් තිබුණේය, ඒ අගතිය මත අන් සියලූ දේ සිදුවීය කියන තර්කයේ කිසිදු සත්‍ය පදනමක් නැති බව ඉන් පෙනීයයි.

1992දී හෝ 1993දී නීති විද්‍යාලය විසින් මා වෙත මාගේ මාධ්‍ය භාවිතාව වෙනුවෙන් සම්මානයක් පිරිනමනු ලැබීය. නාට්‍ය භාවිතය සඳහා ධර්මසිරි බණ්ඩාරනායකටද සම්මානයක් පිරිනමනු ලැබීය. ඒ වන විට සරත් නන්ද සිල්වා අභියාචනාධිකරණයේ ප‍්‍රධානියා විය. අපට සම්මාන පිරිනැමීම සඳහා තෝරාගෙන තිබුණේ ඔහුය. මට සම්මානය ලබාගන්නට සිදුවූයේ ඔහු අතිනි. සම්මාන පිරිනැමෙන අවස්ථාවේදී එහි සිටි ඡායාරූප ශිල්පීන් ඡායාරූප ගත්තා වුවද උත්සවය අවසන්වීමෙන් පසු මා සමග එක්ව ඡායාරූපයක් ගන්නා ලෙස ඔහු එහි සිටි ඡායාරූප ශිල්පියකුගෙන් ඉල්ලා සිටියේය. මමද ඔහුගේ ඉල්ලීමට එකඟ වීමි. මා තුළ ඔහු පිළිබඳව කිසිදු තරහක් තිබුණේ නම් මා ඒ යෝජනාවට එකඟවන්නේ නැත.

නීතිපතිට එරෙහිව නඩු පැවරීම

කැරැල්ලේ නඩුව ආශ‍්‍රයෙන් මා තුළ තරහක් තිබුණු බව පෙන්වන්නට ඔහු ඇඟටපතට නොදෙනී ඉදිරිපත් කර තිබෙන තවත් කතාවක් වනුයේ ඔහු නීතිපති ධුරයට පත්වූ පසුවද මා ඔහුට එරෙහිව නඩු පැවරූ බවය. එය ඇත්තකි. එසේ කළේද ඔහු කෙරෙහි වන විශේෂ තරහක් තිබූ නිසා නොව නීතිපති වශයෙන් ඔහු හා ඔහුගේ පූර්වගාමීන් මා සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබූ මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරන ප‍්‍රතිපත්තියට එරෙහිව මා කරමින් සිටි අරගලය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට එසේ කිරීමට අවශ්‍ය වූ නිසාය.

සාපරාධී අපහාස නීතියෙන් වැඩියෙන්ම බැටකෑ ජනමාධ්‍යවේදියා මාය. සරත් නන්ද සිල්වා සේ ම ඔහුගේ පූර්වගාමී නීතිපතිවරුන් සාපරාධී අපහාස නීතිය මට එරෙහිව සේම වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිවද යොදා ගනිමින් තිබුණේ නීතියට පටහැනිව හිතුවක්කාරී ආකාරයකටය. මට එරෙහිව සාපරාධී අපහාස නීතිය පාවිච්චි කරන්නට පෙර පාවිච්චි කැරුණේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතියයි. එම නීතිය අභියෝගයට ලක් කරන්නට මට සිදුවූ අතර එම අභියෝගය ඉදිරියේ මට එරෙහිව පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය භාවිත කිරීම අත්හරින්නට එවකට පැවති පේ‍්‍රමදාස ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු ඒ වෙනුවට මට එරෙහිව බහුල ලෙස යොදාගන්නට වූයේ සාපරාධී අපහාස නීතියයි.

සාපරාධී අපහාස නීතියේදී සාමාන්‍යයෙන් ඒ යටතේ නඩු පැවරෙන පුද්ගලයකුට අධිචෝදනා ඉදිරිපත් කෙරුණේ මහේස්ත‍්‍රාත් උසාවියකදී සිදුකෙරෙන මූලික පරීක්ෂණයකදී චෝදනා සනාථ වුවහොත් පමණය. ඒ සාමාන්‍ය ක‍්‍රමය වෙනුවට මට එරෙහිව යොදාගනු ලැබුවේ විශේෂ ක‍්‍රමයකි. එනම් මහේස්ත‍්‍රාත් උසාවියේ මූලික පරීක්ෂණයකට ඉඩ නොදී මහාධිකරණය ඉදිරියේ කෙළින්ම අධිචෝදනා ඉදිරිපත් කිරීමය. නීතිපතිට එවැනි බලයක් තිබුණද අභිමත බලය පාවිච්චි කරමින් අධිචෝදනා ඉදිරිපත් කරන්නේ නම් ඒ ආකාරයෙන් කරන නඩු පැවරීමකට පෙර අධිචෝදනා ඉදිරිපත් කරන්නට තරම් බරපතළ වරදක් මා අතින් සිදුවීද යන්න නීතිපති හොඳින් සොයා බැලිය යුතුව තිබුණි. එහෙත් මට එරෙහිව සේ ම අන් ජනමාධ්‍යවේදීන්ට එරෙහිවද නීතිපතිවරුන් තමන්ට ලැබී තිබෙන අභිමත බලය පාවිච්චි කරමින් තිබුණේ හිතුවක්කාරී හා පීඩාකාරී ලෙසය. වෙනත් ජනමාධ්‍යවේදීන් ඒ තත්ත්වය පිළිගෙන නඩුවලට මුහුණ දෙන විට මා එම තත්ත්වය පිළිනොගෙන නඩු පවරන ක‍්‍රමයට අභියෝග කරමින් මට එරෙහිව පවරන නඩුවලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන පිළිවෙතක් අනුගමනය කළෙමි. ඉන්පසු මා කළේ ඒ සියලූ නඩු එකට ගෙන නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමය. එය ඒ ආකාරයෙන් නීතිපතිවරයෙකුට එරෙහිව පවරන ලද පළමු නඩුව විය. පෙත්සම විභාගයට ගැනුණේ මාර්ක් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. නීතිපති වෙනුවෙන් පෙනීසිටියේ නීතිපතිගේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ කමලසබේසන්ය. නීතිපතිට එරෙහිව මේ ආකාරයට නඩු පවරන ප‍්‍රතිපත්තියකට ඉඩ දුනහොත් නීතිපති දෙපාර්තමේන්තුව සිය කටයුතු කරගෙන යෑමට බැරි තත්ත්වයක් ඇතිවනු ඇති බවට කමලසබේසන් තර්ක කළේය. එහෙත් මාර්ක් ප‍්‍රනාන්දු කමලසබේසන්ගේ එම තර්කය පිළිගත්තේ නැත. නීතිපති තමාට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව කෙනෙකුට එරෙහිව පීඩාකාරී ලෙස පාවිච්චි කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නීතිපතිට එරෙහිව නඩු පැවරීමේ අයිතියක් ඒ පුද්ගලයාට තිබෙන බව මාර්ක් ප‍්‍රනාන්දු එහිදී පළකළ මතය විය. එම නඩුවේදී මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා නීතිපතිට එරෙහිව නඩු පැවරීමට මට තිබෙන අයිතිය පිළිගත්තද නීතිපති මට එරෙහිව තමාට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව පීඩාකාරී ලෙස පාවිච්චි කර තිබෙන බව පිළිනොගත්තේය.

ජිනීවා නඩුව

මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයාගේ තීන්දු අර්ධ විප්ලවකාරී වුවද එය මාගේ පිළිගැනීමට හේතු නොවීය. ඔහු මගේ නඩුව අවශ්‍ය තරමට පුළුල් කෝණයකින් සලකා නොබැලීය යන්න මගේ මතය විය. එම තීන්දුව ප‍්‍රකාශ කළ දිනයේදී ඒ ගැන වන මගේ මතය ජනමාධ්‍යවේදීන් විමසූ අතර මම එම තීන්දුව නොපිළිගන්නා බවත් තීන්දුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරමින් සාපරාධී අපහාස නීතියට එරෙහිව කරන මගේ සටන තවදුරටත් ඉදිරියට ගෙනයන බවත් ප‍්‍රකාශ කළෙමි.

ඒ අනුව මාගේ නඩුව ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළෙමි. කමිටුව මගේ පැමිණිල්ල විභාගයට ගැනීමට තීන්දු කළේය. ලංකා ආණ්ඩුව ඊට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය. පළමුවෙන් එය සලකා බලන ලද අතර මූලික විරෝධයට එරෙහිව මගේ පැත්තෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත සැලකිරීම් පිළිගනිමින් ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධය නිෂ්ප‍්‍රභ කරමින් මාගේ පැමිණිල්ල විභාගයට ගත්තේය. නඩු විභාගය ඒකපාක්ෂික එකක් නොවීය. ලංකා ආණ්ඩුවද විධිමත් ලෙස ලිඛිතව කරුණු ඉදිරිපත් කළේය. අවසානයේ කමිටුව මගේ පැත්තෙන් ඉදිරිපත් කළ තර්ක පිළිගනිමින් ලංකා ආණ්ඩුව මේ නඩු පැවරීම් මගින් මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කරමින් ඒ මගින් මට සිදුවී තිබෙන පීඩාවට ප‍්‍රමාණවත් වන්දියක් ගෙවන ලෙස නියම කළේය. එය මට පමණක් නොව ලංකාවේ වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව බහුල වශයෙන් පාවිච්චි කරනු ලැබූ පීඩාකාරී නීතියකට එරෙහිව කරන ලද දිග්ගැසුණු නෛතික සටනකින් මා ලැබූ ජයග‍්‍රහණයක් විය.

ඉතා වැදගත් දේ ජිනීවා නඩුව සඳහා මා පාදක කොටගත්තේ ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු දෙන ලද තීන්දුවයි. එය ඔහු විසින් දෙනු ලැබූ තීන්දුවක් වඩා බලවත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ අභියෝගයකට ලක්කෙරුණු අවස්ථාවක් විය. ඒ තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය විසින් පළකරන “ශ්‍රී ලංකා ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ” නමැති සඟරාවට එම තීන්දුව විවරණය කරන ලිපියක් ලීවේය. එහි මාතෘකාව වූයේ “වික්ටර් අයිවන් Vස්. ශ්‍රී ලංකා - ඩිසිෂන් ඉට් ස් ඉම්පැක්ට් ඔන් හියුමන් රයිට්ස්” යන්නයි. ඔහු එම විචාරයෙන් මානව හිමිකම් කමිටුව දී තිබෙන තීන්දුවේ වැදගත්කම පිළිගනිමින් එම තීන්දුව ලංකාවේ මානව අයිතිවාසිකම්වලට නව මානයක් ලබාදී තිබෙන බව ප‍්‍රකාශ කර තිබුණි. මා ඒ වෙනුවෙන් කරන ලද අරගලය කිසිදු පදනමක් නැතිව කරන ලද බොරු අරගලයක් නොවන බව ඉන් පෙනීයයි. නීතිපති සමග ගැටුමක් ඇතිකර ගැනීම

මා නීතිපති සරත් නන්ද සිල්වා සමග ගැටුමකට එළැඹෙන්නේ මහේස්ත‍්‍රාත්වරයකු තමා ඉදිරියේ ඇසෙන නඩුවක වගඋත්තරකාරියක අපහරණය කිරීමේ සිද්ධියක් පිළිබඳව මා කරන ලද හෙළිදරව්වකින් පසුව ඒ පිළිබඳව කෙරුණු පරීක්ෂණයෙන් ඒ බව සනාථ වී තිබියදීත් පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත ලැබීමෙන් පසු නීතිපති වශයෙන් ඔහු එම දූෂිත මහේස්ත‍්‍රාත්වරයා ආරක්ෂා කිරීමේ සිද්ධිය නිසාය. ඒ ආශ‍්‍රයෙන් ඉන්පසු ඇතිවූ දේවල් මා ලියා ඇති බැවින් මා මෙහිදී ඒ ගැන කිසිවක් කතා කරන්නේ නැත.

ඔහු අගවිනිසුරු ධුරයට පත්වූ අවස්ථාවේදී එම පත්කිරීම මා අභියෝගයට ලක් කළේද ඒ සඳහා වන ශක්තිමත් හා යුක්තිසහගත පදනමක පිිහිටාය. මා විනිශ්චයකාරවරුන් දෙදෙනකුට එරෙහිව ප‍්‍රසිද්ධ චෝදනා ඉදිරිපත් කර තිබුණි. ලෙනින් රත්නායක එක් අයකු වන විට උපාලි අබේරත්න ඊළඟ විනිසුරුවරයා විය. ඒ ගැන මා දිගින් දිගට කරන ලද හඬනැගීම නිසා මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කරන ලද චෝදනා පිළිබඳව කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා අගවිනිසුරු ජීපීඑස් ද සිල්වා විසින් අභියාචනාධි කරණයේ විනිසුරු වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කළේය. මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධිකරණයේ හෙක්ටර් යාපා, අශෝක ද සිල්වා හා ටීබී වීරසූරිය යන විනිසුරුවරුන්ගෙනි. දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධි කරණයේ අමීර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී එදුස්සූරිය යන විනිසුරු වරුන්ගෙනි. මේ කමිටු දෙක විසින් ඒ ගැන පවත්වන ලද පරීක්ෂණයකින් පසුව මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කර තිබුණු චෝදනාවලට එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය. ඒ තීන්දු විසින් එතෙක් මා නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව කරමින් තිබූ අරගලයට ශක්තිමත් නෛතික පදනමක් ලැබුණි. විවිධ හේතු මත (ලෙනින් රත්නායක සරත් නන්ද සිල්වාගේ ඥාතියෙක් විය. උපාලි අබේරත්න සරත් නන්ද සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් ජයසේකර පවරන ලද නඩුවේදී නීතියට පටහැනිව සරත් නන්ද සිල්වාගේ වාසිය පිණිස නීතියට පටහැනිව ක‍්‍රියාකළ විනිසුරුවරයා විය.) මෙම විනිසුරුවරුන් දෙදෙනා ආරක්ෂා කළේ නීතිපතිය. පරීක්ෂණ දෙකේ තීන්දුවෙන් පසු නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව මම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළෙමි. මාගේ පැමිණිල්ල මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ මා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහසුවෙන් ඉවත දැමිය නොහැකි ශක්තිමත් පදනමක පිහිටා තිබූ බැවිනි. එම තීරණය ගන්නා ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරුන් එකට එකතු වී ඒ ගැන කරන ලද සාකච්ඡාවකින් පසුවය. පරීක්ෂණයක් ආරම්භ කරනවාට විනිසුරුවරුන් තිදෙනකු (ප‍්‍රියන්ත පෙරේරා, ඞීපීඑස් ගුණසේකර හා එල්ජීඑච් ධීරසේකර යන විනිසුරුවරුන්) විරුද්ධ වූ අතර අන් සියලූදෙනා පක්ෂ වූහ. මාගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ අමීර් ඉස්මයිල් මහතාටය. ජයසේකරගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ ශිරානි බණ්ඩාරනායක මහත්මියටය. මෙම පරීක්ෂණ දෙක භාරව ක‍්‍රියා කළේ මාර්ක් ප‍්‍රනාන්දු මහතාය.

ජනාධිපතිනිය විසින් බෙල්ල හිරවන තත්ත්වයකට පත්ව සිටි චෝදනාලාභී සිය මිතුරා අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ මගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරව ක‍්‍රියා කළ විනිසුරු අමීර් ඉස්මයිල් මහතා සරත් නන්ද සිල්වාගෙන් ලිඛිතව නිදහසට කරුණු විමසීමක්ද කර තිබියදීය.

සරත් නන්ද සිල්වා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා පළකිරීම ගැන සරත් සිල්වා කියා තිබුණේ ඒ මගින් ඔහු පමණක් නොව රටේ ජනාධිපතිනියද මා විසින් ඔළුවෙන් සිටුවූ බවය. එය ඇත්තය. ඒ අවස්ථාවේදී මගේ විරෝධයට හේතුවූයේ සරත් නන්ද සිල්වා පමණක් නොවේ. ඒ නොමනා පත්කිරීම සිදුකළ ජනාධිපතිනියද මගේ විරෝධයට හේතුවී තිබුණි. මට ඒ අවස්ථාවේදී ඉතාමත් බලවත් ලෙස විරෝධය පළකිරීමට තිබුණු එකම මාර්ගයද එයවීයැ’යි කිව හැකිය.

සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අවස්ථාවක ඔහු මෙම තනතුරට පත්කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ ප‍්‍රධාන නීති උපදේශක වශයෙන් ක‍්‍රියා කළ එච්එල් ද සිල්වාද ජනාධිපතිනියට ප‍්‍රකාශ කර තිබුණි. මෙම නොමනා පත්කිරීම කරනු ලැබූ අවස්ථාවේදී, අධිකරණයේ විනිසුරුවරුන් හා නීතිඥයන් පිළිබඳ විෂය භාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන නිලධාරියා වශයෙන් ක‍්‍රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතාද ශ‍්‍රී ලංකාවට පැමිණ එය නොමනා පත්කිරීමක් බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළේය. අඩුම වශයෙන් පරීක්ෂණය අවසන් වනතෙක් වැඩබලන අගවිනිසුරුවරයකු පත් කළ යුතුව තිබුණු බව ඔහු ප‍්‍රකාශ කළේය.

ඒ සියල්ලෙන්ද පෙනීයන්නේ ඔහුගේ පත්කිරීමට එරෙහිව මා පළ කළ විරෝධය තර්කානුකූල ශක්තිමත් පදනමක් තිබූ එකක් මිස පුහු විරෝධයක් නොවන බවය.

(ඉතිරි කොටස ලබන සතියේ)

සරත් සිල්වාගේ පුහු තර්ක ---   වික්ටර් අයිවන් December 22, 2013 


සරත් සිල්වාගේ තර්කය -- 

සරත් සිල්වා ගැන වැඩිදුරටත්

වික්ටර් අයිවන්
මම පසුගිය කලාපයෙන් මව්බිම හා සිලෝන්ටුඬේ යන පුවත්පත් දෙක ඔස්සේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පළකර තිබූ අදහස් විවේචනයට ලක්කරමින් ප‍්‍රතිවිවේචනයක් ලියන ලද්දේ මා සම්බන්ධයෙන් පළකර තිබූ අදහස් පිළිබඳව සිලෝන් ටුඬේ පුවත්පත විසින් මගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ලබාගෙන තිබියදීය. මා එසේ කරන ලද්දේ එය ඔවුන් විසින් පළ කළත් නැතත් ඒ ගැන මාගේ අදහස් රාවය මගින් පළකළ යුතුයැ’යි කියන අදහසේ පිහිටාය. කොහොමටත් මෙම පුවත්පත් දෙකම එකම ආයතනයකින් පළකෙරෙන පුවත් පත් වීම හා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡුාව රටට විශාල විනාශයක් කරන ලද පුද්ගලයකු සාධාරණ ලෙස ප‍්‍රශ්න කිරීමකට ලක් නොකොට ගැලවුම්කාර වේෂයක් ආරෝපණය කිරීමට හේතුවන ආකාරයට කර තිබීම යන කාරණා මා ඇති කරගෙන තිබූ විචිකිච්ඡුාව කෙරෙහි බලපෑවේය. ඊට අතිරේකව සම්මුඛ සාකච්ඡුාව පවත්වා තිබෙන්නේ මව්බිම පුවත්පත වීම හා සිලෝන් ටුඬේ පුවත්පතේ පළවූයේ මව්බිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡුාවේ සාරාංශයක් පමණක් වීම හා එසේ තිබියදී මාගෙන් ප‍්‍රතිචාරයක් මව්බිම පුවත්පත විසින් ලබාගන්නවා වෙනුවට සිලෝන් ටුඬේ පුවත්පත විසින් ලබාගැනීම යන කාරණාද මා තුළ ඇතිව තිබූ එම විචිකිච්ඡුාව කෙරෙහි බලපා තිබුණි.

එම සම්මුඛ සාකච්ඡුාවේදී සරත් නන්ද සිල්වා මා පිළිබඳව පළකරන ලද අදහස් පිළිබඳව මාගේ ප‍්‍රතිචාරය සඳහා වන සම්මුඛ සාකච්ඡුාවක් සිලෝන් ටුඬේ පුවත්පත ඉල්ලා සිටි විට එම සාකච්ඡුාවෙන් පළවන දර්ශනයට මා එකඟ නොවන නිසා හා එම සම්මුඛ සාකච්ඡුාවෙන් සිදුකර තිබෙන්නේ මහා විනාශයක් සිදුකළ පුද්ගලයකුට ගැලවුම්කාරයකුගේ පෙනුම ලබාදීම බව ප‍්‍රකාශ කරමින් මම ඒ ආකාරයෙන් කෙරෙන සංවාදයක කොටස්කරුවකු වීමට කැමති නැති බව කීවෙමි. මා පළකරන ලද දෝෂාරෝපණයට ඇහුම්කන් දුන් ජනමාධ්‍යවේදියා ඔහු පසුව පළ කළ ආකාරයට පුවත්පතේ කතුවරයාට ඒ බව දැනුම්දීමෙන් පසු මගෙන් ලබාගන්නා සම්මුඛ සාකච්ඡුාව කිසිදු විකෘති කිරීමකින් තොරව හා කපා කෙටීමකින් තොරව පළකරන බවට කතුවරයා පොරොන්දු වූ බව දැනුම්දීමෙන් පසුව සම්මුඛ සාකච්ඡුාවක් ලබාදීමට මම එකඟවීමි. මේ වගේ දූෂිත පුද්ගලයන් හෙළිදරව් කිරීම තම යුතුකමක් බවද සම්මුඛ සාකච්ඡුාව පවත්වන ලද අතරවාරයේදී සම්මුඛ සාකච්ඡුාව ලබාගත් ජනමාධ්‍යවේදියා ගම්භිර ස්වරයකින් ප‍්‍රකාශ කළ බවද මට මතකය. සම්මුඛ සාකච්ඡුාව මාගෙන් ලබාගත් පුද්ගලයා සාකච්ඡුාව අවසානයේදී මගෙන් සමුගත්තේද මා එහිදී පළකරන ලද අදහස් කිසිදු කප්පාදුවකින් තොරව පළ කරන බවටද සහතිකවෙමිනි. එහෙත් එය එසේ සිදු නොවීය. එය එසේ වූයේ ඇයිද යන්නද මම නොදනිමි.

පස්සා දොරෙන් සිදුවූ ගනුදෙනු

මා මීට පෙරද විටින් විට ප‍්‍රකාශ කර ඇති පරිදි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම ධුරයේ සිටියදී රටට හා සමාජයට මහා විනාශයක් කරන ලද පුද්ගලයකු වී සිටියදී ඔහු සිදුකර තිබුණු විනාශය ආශ‍්‍රයෙන් මතුව තිබූ අර්බුදයේදී ඔහුගෙන් විශාල ඵලප‍්‍රයෝජන ලැබූ බලවත් සුළු පිරිසක්ද රටේ සිටියෝය. සමහර දේශපාලන පක්ෂ ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන ක‍්‍රමයක් මගින් එම පක්ෂවලට කීර්තියක් ලබාදීමට හේතුවන නඩු තීන්දු ලබාගත්තේය. ඒ විශේෂ අවස්ථාවේදී ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කළ අය අතර සමහර ජනමාධ්‍යවේදීහු සේ ම ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවෝද සිටියෝය. ඒ විශේෂ මොහොතේදී ඔහුට ඒ සියලූදෙනාගේ සහාය අවශ්‍ය වී තිබුණි. එහිදී ඔහු ඔවුන්ට පහසුවෙන් අමතක කළ නොහැකි තරමේ විශේෂ විශාල හා තීරණාත්මක උදව් ලබා දුන්නේය. එසේ ඔහුගෙන් ඒ මොහොතේ විශේෂ හා විශාල ප‍්‍රමාණයෙන් උදව් ලබාගත්තවුන් අතර අද දක්වාම ඔහු කෙරෙහි ඇති කරගත් කෘතවේදී හැඟීමකින් යුතුව ඔහුට ප‍්‍රතිඋපකාර දක්වන ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේයැ’යි කිව හැකිය. 

රටේ තිබුණු අධිකරණ ක‍්‍රමය මුළුමනින් විනාශ කළ පුද්ගලයකුට ඔහු විසින් එම මහා විනාශය සිදුකරන කාලයේදීම ඔහුගෙන් අයථා ලෙස උපකාර ලැබූ රටේ ප‍්‍රබලයන් පිරිසක් ඔහු විශ‍්‍රාම ගැනීමෙන් පසු ඔහුට නැවත ප‍්‍රබල තත්ත්වයක් ලබාදීමට දක්වන අනුග‍්‍රහයද රටේ තිබෙන අවුල උග‍්‍ර කිරීමට බලපා තිබෙන වැදගත් අතිරේක සාධකයක් ලෙස ක‍්‍රියාකරමින් තිබෙන බව දැකිය හැකිය. සරත් ෆොන්සේකා කරළියට එන්නට පෙර රට ගලවාගැනීමේ භූමිකාව රඟපෑම සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරියට එන්නට නියමිතව සිටියේ සරත් නන්ද සිල්වාය. සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ඒම නිසා එම සිහිනය බිඳ වැටුණි. එහෙත් ඒ නිසා ඔහුට ලැබී තිබුණු වැදගත්කම මුළුමනින් බිඳ වැටුණේ නැත. සරත් ෆොන්සේකාගේ ජයග‍්‍රහණයෙන් පසුව නව ආණ්ඩුක‍්‍රමයක් ඇති කිරීමේ වගකීම පැවරී තිබුණු ප‍්‍රධාන පුද්ගලයා ඔහුය. තාමත් ඔහුගේ හොල්මන මුළුමනින් වියැකී නැත. තාමත් ඔහු පුම්බන ජනමාධ්‍ය හරහා ඔහු කියන්නේ රට වෙනුවෙන් ඉටු කරන්නට වැදගත් කාර්යභාරයක් තමාට තිබෙන බවය. රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීම, රට ඉදිරියේ තිබෙන හා ප‍්‍රමුඛ හා වැදගත්ම කාර්යභාරය බවත් ඒ වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීම තම අපේක්ෂාව බවත් ඔහු ගම්භිර සේ ම ධාර්මික ස්වරයකින් එම ජනමාධ්‍ය ඔස්සේ පුන පුනා රටට කියනු ලබයි. මෙම අර්බුදය තුළ ගැලවුම්කාරයකු වශයෙන් ඔහුට ලැබී තිබෙන හෝ ලබාදී තිබෙන වැදගත්කමේ තරම රට මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එහි නියම ස්වභාවය විකාරරූපී ස්වරූපයකින් පිළිබිඹු කරන්නේයැ’යි කිව හැකිය.

සරත් සිල්වාට ලැබෙන වැදගත්කම

මට සරත් නන්ද සිල්වා වැදගත් වනුයේ ඔහු අගවිනිසුරු ධුරයේ සිටියදී ඔහුගේ දූෂිත ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයක මා ප‍්‍රධාන කොටස්කරුවකු වීම නිසා නොවේ. රටේ තිබෙන දූෂිත දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරම හොඳින්ම පිළිබිඹු කරන ලද පුද්ගලයා ඔහු වීම නිසාය. මා මේ රටේ තිබෙන දූෂිත දේශපාලන ක‍්‍රමයේ දැති රෝද කැරකෙන ආකාරය වැඩියෙන්ම තේරුම්ගත්තේ ඔහු පිළිබඳව කරන සොයා බැලීම් ආශ‍්‍රයෙනි. අන් සියලූ දේට වඩා යහපාලනයක් සඳහා අධිකරණය වැදගත්ය. කොතරම් හොඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබුණද රටේ තිබෙන අධිකරණ ක‍්‍රමය දූෂිත නම් රටේ යහපාලනයක් තිබිය නොහැකිය. අනෙක් අතට රටේ තිබෙන්නේ නරකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වුවත් රටේ හොඳ අධිකරණයක් තිබේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නරක වුවත් කිසියම් විශාල ප‍්‍රමාණයකට පාලනය කළ හැකිය. ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු සැලකිය යුත්තේ මේ ධර්මතාව වඩාත් හොඳින් ක‍්‍රියාවෙන් පෙන්නුම් කළ විනිසුරුවරයා වශයෙනි.

එක් අවස්ථාවකදී ජනාධිපතිනිය ඡුන්ද පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් සභා කිහිපයක ඡුන්දය පැවැත්වීම හදිසි නීතිය යටතේ කල් තබන ලදි. ඊට එරෙහිව කිසියම් පුරවැසියකු අධිකරණය ඉදිරියට ගියේය. ඡුන්ද පැවැත්වීමට බැරිතරමේ බරපතළ තත්ත්වයක් එම පළාත්වල හෝ රටේ නොපවත්නා බවත් ඉතාමත් බිහිසුණු තත්ත්වයක් රටේ පැවති අවස්ථාවල පවා ඡුන්ද පවත්වා තිබෙන බවත් ඒ නිසා හදිසි නීතිය යටතේ ඡුන්ද කල්දැමීම සඳහා ජනාධිපති විසින් දී තිබෙන නියෝග නීතියට පටහැනි බවත් ඔහු තර්කානුකූලව අධිකරණයට පෙන්වා දුන්නේය. මාර්ක් ප‍්‍රනාන්දු ජනාධිපතිනියගේ ඡුන්ද කල්ගැනීමේ නියෝගය නීති විරෝධී බව ප‍්‍රකාශ කරමින් එම පළාත් සභා දෙකේ ඡුන්ද පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළේය. ඉනුත් පසු පළාත් සභා මැතිවරණ කිහිපයක් මුව විට තිබෙන අවස්ථාවකදී තවත් පුරවැසියන් දෙදෙනකු අධිකරණය ඉදිරියට යමින් වයඹ පැවති ඡුන්ද කොල්ලය නිදර්ශනයට ගනිමින් මැතිවරණ පැවැත්වීමට නියමිත පළාත් සභාවලද ඒ හා සමාන තත්ත්වයක් ඇතිවිය හැකි බව ප‍්‍රකාශ කරමින් ඒ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ආසන්න තත්ත්වයක තිබෙන බවට තර්ක කළේය. ඒ අවස්ථාවේ මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා ඓතිහාසික වැදගත්කමක් ඇති තීන්දුවක් දුන්නේය. ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය අදහස් පළකිරීමේ නිදහසින් වෙන්කළ නොහැකි එකට යාවී තිබෙන දෙයක් බව අධිකරණය විසින් ප‍්‍රකාශ කරන ලද්දේ එහිදීය. ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය පිළිබඳව ඊට සමාන අර්ථකථනයක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඊට පෙර ලබාදී තිබුණි. මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා ආදර්ශයට ගත් බව පෙනෙන්නේ එම නඩු තීන්දුවය. අධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියට කැඳවා නිදහස් හා සාධාරණ ඡුන්දයක් සහතික කිරීමට හේතුවන වැඩපිළිවෙළක් සංවිධානය කොට එය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඒ දෙදෙනාගෙන් ඉල්ලා සිටියේය. 1977න් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවති එකම අවස්ථාව එය ලෙස සැලකිය හැකිය. මීට පෙර ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ප‍්‍රසිද්ධියේ කෙරෙන දෙයක් බවට පත්ව තිබුණේය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මැතිවරණවලදී මැතිවරණ කටයුතු සඳහා රජයේ නිලධාරීන් හා සම්පත් යොදා ගැනීමද වැළැක්විය නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණේය. ඒ කිසිවෙක් මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග තුට්ටුවකටවත් ගණන් නොගත්තේය. එහෙත් එම මැතිවරණයේදී පමණක් චිත‍්‍රය මුළුමනින් වෙනස් විය. නීතියට පටහැනිව ක‍්‍රියාකළහොත් එය අධිකරණයට එරෙහිව කරන ලද අපහාසයක් ලෙස සලකා තමන්ට දඬුවම් කරනු ඇතැ’යි කියන බිය නිසා වෙනදා නීතිය තුට්ටුවකුටවත් ගණන් නොගෙන හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකළ සියලූදෙනා නීතියට අනුකූලව ක‍්‍රියාකරන තත්ත්වයකට තල්ලූ වූහ. එය යහපාලනයක් සඳහා අධිකරණයට තිබෙන බලමහිමය අධිකරණය විසින් ඉතා බලවත් ලෙස පෙන්නුම් කළ අවස්ථාවක් විය.

සරත් නන්ද සිල්වා විසින් ආපස්සට හරවන ලද්දේ අධිකරණය ගමන් ගනිමින් තිබූ එම ඉදිරිගාමී මාවතය. ඔහු අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුද මැතිවරණවලදී විවිධ පුරවැසියෝ නිදහස් හා සාධාරණ තත්ත්වයක් දිනාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියෝය. ඔවුන්ට ආපසු එන්නට සිදුවූයේ හිස් අතිනි. එවැනි සමහර අයට එරෙහිව අවවාද කෙරුණු අවස්ථාද තිබුණි. කරු ජයසූරියද මැතිවරණයකදී ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේය. පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරුණේ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනයෙන් පසු දිනකය. එය නීති උල්ලංඝනය කරන්නන්ට ආණ්ඩු පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් බිය නැතිව නීති උල්ලංඝනය කිරීමට දෙන ලද ප‍්‍රබල සංඥාවක් විය. මේ ආකාරයට කිසියම් ප‍්‍රමාණයක ඉදිරිගාමී තත්ත්වයක තිබූ අධිකරණය ආණ්ඩු පක්ෂයේ දේශපාලන අතකොලූවක් බවට පත් කළේ සරත් නන්ද සිල්වාය. සරත් නන්ද සිල්වා පුම්බන්නට වලිකන ජනමාධ්‍ය ජනතාවට වසන් කරන්නට යන්නේද එම ඉතිහාසයයි.

අධිකරණ ක‍්‍රමයට ලැබෙන වැදගත්කම

දේශපාලන ක‍්‍රමය හෙවත් විධායක ජනාධිපති ක‍්‍රමය පරාජය කළ යුතුව තිබෙන ප‍්‍රධාන පොදු සතුරා බවට පත්වන තත්ත්වයක් ඇතිවෙමින් තිබීම ගැන සතුටු විය හැකිය. එහෙත් එම විවාදය තාමත් තිබෙන්නේ මතුපිටින් අතපත ගාන තත්ත්වයකය. එහි ගැඹුරු හරය සලකා බලන තත්ත්වයකට තවමත් රට යොමුවී නැත. ඇති කරන්නට යන ඕනෑම වෙනසකදී වෙනස් කිරීමට ඉතාමත් අමාරු සංකීර්ණ දේ වනු ඇත්තේද අධිකරණයයි. එය උපරිම මට්ටමෙන් දූෂණයෙන් කුණුවූ ආයතන ක‍්‍රමයක තත්ත්වයට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ තත්ත්වයෙහි ඵලදායක හා ගැඹුරු වෙනසක් ඇතිකර ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය බැ?රුම් ලෙස සාකච්ඡුාවට ලක් කරන තත්ත්වයක් තවමත් මතුවී නැත. දූෂණයෙන් කුණුවී තිබෙන අධිකරණ ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති නොකරන කවර වෙනසකටවත් අර්ථවත් වෙනසක් වීමේ හැකියාවක් නැත. ඇති කෙරෙන එම වෙනසේ මහ මොළකාරයන් ලෙස ක‍්‍රියාකරන්නට යන්නේ සරත් සිල්වා වැනි අන්ත දූෂිත පුද්ගලයන් නම් වෙනසක් ඇතිවනවාට වඩා වෙනසක් ඇති නොවී තිබීම යහපත්ය. එවිට විය හැක්කේ මජර ගලන තරමට කුණුවී තිබෙන අන්තර්ගතය එහි මතුපිටින් අයිසින්වලින් ලස්සන කිරීමක් පමණය.

අධිකරණ ප‍්‍රතිසංස් කරණයකදී මුහුණ දෙන්නට සිදුවන බරපතළම ප‍්‍රශ්නය වනුයේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් අතර ඇතිවී තිබෙන බුද්ධිමය හා සදාචාරමය පරිහානිය ජයගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. ඒ සඳහා වන අධ්‍යාශයක් හෝ පුරෝගාමී ශක්තියක් ඇති අය ඉහළ නිලතල දරන්නන් අතර සිටින්නේද යන්න ප‍්‍රශ්නයකි. අධිකරණය විසින් සිය ඉතිහාසය තුළ ලබාදී තිබෙන සමහර වැදගත් තීන්දු නීතියට පටහැනිවනවා පමණක් නොව ඉතාමත් පසුගාමී හා ප‍්‍රතිගාමී වන බවද කිව යුතුය. පක්ෂ මාරුව සඳහා ලබාදී තිබෙන තීන්දු ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයක් පමණය.

සරත් නන්ද සිල්වා අධිකරණයේ තමන්ගේ පාලන කාලය තුළ තමන් දෙන ලද තීන්දු ගැනද මෙම සම්මුඛ සාකච්ඡුාවේදී මහා උජාරුවකින් කතා කර තිබුණි. ඔහු පුම්බන්නට හදන ජනමාධ්‍ය එහිදී මුළුමනින් අමතක කර තිබෙන වැදගත් කාරණයක් වනුයේ ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් විමර්ශනය කොට ලංකාවට එරෙහිව දෙන ලද තීරණ හයෙන් හතරක්ම සරත් නන්ද සිල්වාගේ අධිකරණ තීන්දුවලට එරෙහිව දෙන ලද තීරණ වන බවය.

ඔහු එස්.බී. දිසානායකගේ නඩුව ගැන පුරාජේරු ස්වරයකින් කතා කර තිබුණි. ඒ ගැන ඔහුගෙන් ප‍්‍රශ්න කළ ජනමාධ්‍යවේදියා අමතක කරන ලද කරුණක් වනුයේ එස්.බී. දිසානායකට අදාළව ඔහු විසින් දෙන ලද නඩු තීන්දුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඓතිහාසික වැදගත්කමක් ඇති නඩු තීන්දුවක් ලබාදී තිබෙන බවය. ඒ නඩු තීන්දුව පමණක් නොව ටෝනි එම්මානුවෙල්ට උසාවි අපහාස නීතිය යටතේ සිරදඬුවමක් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන්ද එම මානව හිමිකම් කමිටුව ලබාදී තිබෙන තීන්දු උසාවි අපහාස නීතිය ලංකාවේ ක‍්‍රියාත්මක වන හිතුවක්කාරී හා නීති විරෝධී ස්වභාවය පෙන්නුම් කරන්නක් ලෙස සැලකිය හැකිය. සරත් නන්ද සිල්වා මෙම සම්මුඛ සාකච්ඡුාවේදී නරක විනිසුරුවරුන්ට එරෙහිව තමන් පවත්වාගෙන ගිය දැඩි ප‍්‍රතිපත්තිය ගැනද පුරාජේරු කතා කර තිබුණි. මා දන්නා තරමින් අධිකරණයේ සිටි නරකම විනිසුරුවරයා සරත් නන්ද සිල්වාය. ඔහු තමන්ගේ නඩු තමන්ම අසා තීන්දු දුන්නේය. දේශපාලන පක්ෂ සතුටුකිරීම සඳහා ඔවුන්ට නඩු නිමිති හදාදී ඒ සඳහා වන පෙත්සම් සකස් කළ යුතු ආකාරයද කියාදී ඒ පෙත්සම් තමා ඉදිරියේ විභාගයට ගෙන එම දේශපාලන පක්ෂවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබා දුන්නේය. නඩු කියන්නන් අතර ඔහුගේ සිත්ගත් කාන්තාවන් සිටින අවස්ථාවලදී එවැනි සමහර කාන්තාවන් ලිංගික වශයෙන් අපහරණය කොට ඒ වෙනුවෙන් ගෙවන වන්දියක් වශයෙන් ඔවුන්ට වාසිදායක නඩු තීන්දු ලබා දුන්නේය. ඔහු තමන්ට තිබෙන අධිකරණ බලය තමන් නොකැමති අයගෙන් පළිගැනීමට හා පීඩාවට පත්කිරීමට යොදා ගත්තේය. ඔහු එක් අවස්ථාවකදී සැකයට හේතුවී සිටි රූපවාහිනී ආයතනයක හිමිකරුවකුට, රජය විසින් තහනම් කොට තිබූ එම ආයතනය වෙනත් ගැනුම්කරුවකුට විකිණීමට ඉඩදී ඒ වෙනුවෙන් ඔහුගෙන් තමන් සඳහා රූපවාහිනී නාලිකාවක් ලබාගත්තේය. එවැනි අධම තත්ත්වයක ලා සැලකිය හැකි අධිකරණ නායකයකු විනිශ්චයකරුවන්ගේ විනය ගැන කතා කරන විට අප සිනාසිය යුත්තේ කවර මුඛයෙන්දැ’යි ඔහු අපට කියා දිය යුතුය.

ටෝනි එම්මානුවෙල්

ඔහුගේ බිහිසුණු හා අධම ගණයෙහිලා සැලකිය හැකි නඩු තීන්දු අතර ඔහුගේ අගතිගාමී හා අධම ස්වභාවය උපරිම මට්ටමකින් පෙන්නුම් කරන නඩු තීන්දුව ටෝනි එම්මානුවෙල් සම්බන්ධයෙන් දී තිබෙන නඩු තීන්දුව ලෙස සැලකිය හැකිය. ටෝනි ඉංග‍්‍රීසි ටියුෂන් ගුරුවරයෙකි. ඔහු කලක් පෞද්ගලික ආයතනයක සේවය කොට එම ආයතනය සමග ඇති කරගත් ආරාවුලක් මත එම ආයතනයට එරෙහිව කම්කරු උසාවියේ නඩු කී පුද්ගලයෙකි. තමාගේ නඩුවට අදාළ උසාවි වාර්තා ලබාගැනීමට අවශ්‍ය වී ඒ සඳහා දරන ලද උත්සාහයන් ගණනාවක් අසාර්ථක වීමෙන් පසු ඒ ගැන අධිකරණ සේවා කොමිසමට ලිඛිතව පැමිණිලි කරමින් එම නඩු වාර්තා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහු එක වරක් නොව කිහිප වරක්ම අධිකරණ සේවා කොමිසමට ඒ ගැන ලීවේය. කිසිදු සාධාරණ පිළිතුරක් ලබාගැනීමට නොහැකි වූ කල ඔහු අධිකරණ සේවා කොමිසමේ සභාපති (අගවිනිසුරු සරත් එන්. සිල්වා* හා එහි අනෙකුත් සමාජිකයන් දෙදෙනා (ඔවුන්ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු වූහ.) වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ නඩුව නඩුවේ වගඋත්තරකරුවකු වූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප‍්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ අසන්නට නියම කර තිබෙන බව දැනගන්නට ලැබුණු විට ඔහු මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණ සේවා කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් තම පෙත්සමේ වගඋත්තරකරුවන් වන නිසා කොමිසමේ සාමාජිකයන් ඇතුළත් නොවන විනිශ්චය මණ්ඩලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ කිසිවක් නොසැලකූ සරත් නන්ද සිල්වා ඒ නඩුව තමාද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන ටෝනි අධිකරණයට අපහාස කළේයැ’යි තීන්දු කොට ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් නියම කළේය. ටෝනිගේ නඩුව වෙනුවෙන් නීතිඥයෝ පෙනී නොසිටියෝය. නඩුව කතා කළේ ඔහුමය. අවසානයේ ගෙදර යන්න බලාගෙන අධිකරණය ඉදිරියට පැමිණි ටෝනිට පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසු හිරේ යන්නට සිදුවිය. ටෝනිගේ ප‍්‍රශ්නය ඉන් අවසන් වූයේය. ඔහු කරන ලද ඊනියා වරද වෙනුවෙන් ඔහුට දෙවැනි දඬුවමක්ද විඳින්නට සිදුවූයේය. හිරගෙදර ගිය වහාම බන්ධනාගාර නිලධාරීන් ඔහුට ඔහුගේ අතපය කැඩෙන තෙක් පහර දුන්නේය. ඒ නිසා ඔහුට දීර්ඝ කලක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ගන්නට සිදුවූ අතර මෙම දුෂ්ඨ ක‍්‍රියාදාමයේ බරපතළකම කොතරම් විශාලවීද කියනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිඥයන් විනිසුරුවරුන් පිළිබඳ විෂය භාර ප‍්‍රධාන නිලධාරියා ලෙස සැලකිය හැකි ඩාටෝ පරම්කුමාරස්වාමි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ටෝනි බලන්නට ශ‍්‍රී ලංකාවට ආවේය. ඔහු ආපසු ලංකාවෙන් යන්නට පෙර ටාජ් සමුද්‍ර හෝටලයේදී පුවත්පත් සාකච්ඡුාවක් පවත්වන ලද අතර ටෝනි සම්බන්ධයෙන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා අනුගමනය කර තිබෙන අගතිගාමී ප‍්‍රතිපත්තිය විවේචනයට ලක්කරමින් ටෝනි නිදහස් කරගැනීම සඳහා නැවත අධිකරණය වෙත ප‍්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගමයෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. ලංකාවේ නීතිඥ සංගමයද මෙම සාහසික සිද්ධියේදී ඇස් වසාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා මිස ටෝනිට සිදුකර තිබුණු අසාධාරණය ගැන එකම වචනයක්වත් කතා නොකළේය.

ටෝනිට දඬුවම් කරන ලැබූ අවස්ථාවේදී එම නඩු තීන්දුව ගැන මා කතුවැකියක් ලීවා මට මතකය. එය මාගේ පැවැත්ම පරදුවට තබා ලියන ලද බිහිසුණු කතුවැකියක් වීයැ’යි කිව හැකිය. මා ඉන් කියා සිටියේ රටේ නීතියක් තිබෙනවා නම් හිරේ යැවිය යුත්තේ අගවිනිසුරුවයා මිස ටෝනි නොවන බවය. ටෝනිගේ ඛේදවාචකය ඉන් අවසන් වන්නේ නැත. ඔහු සිරදඬුවම් සම්පූර්ණ කොට නිදහස් ලෝකයට එකතුවීමෙන් දින කිහිපයකට පසුව වෑන් රථයකින් පැමිණි සාහසික පිරිසක් ඔහු පැහැරගෙන යෑමට දරන ලද උත්සාහයකින් බේරී පලායෑමට ඔහු සමත් විය. ඒ නිසා ඇතිවූ කම්පනය ඔහුගේ සමස්ත ජීවිතය කෙරෙහිම බලපෑවේය. ටෝනිට ආරක්ෂාව ලබාදී ඒ ගැන වාර්තා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එම සිද්ධියෙන් පසුව ලංකා ආණ්ඩුවට දැනුම් දෙනු ලැබූවත් ජනාධිපතිනිය අතින් ඒ සඳහා වන ඵලදායි කිසිවක් සිදු නොවීය. මරණ බියෙන් තැතිගෙන සිටි ටෝනි කිසියම් කලක් ලංකාවේ සැඟවී සිට ආරක්ෂාව සඳහා හොංකොංවලට පලා ගොස් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම නිසා කැනඩාවේ දේශපාලන රැුකවරණ ලබාගත්තේය.

අදත් ඔහුගේ බිරිඳ හා දරුවන් ජීවත්වන්නේ කැනඩාවේය. ඉඳහිට ඔහුගේ බිරිඳද තවත් සමහර අවස්ථාවලදී ටෝනිද මට දුරකතනයෙන් කතා කරයි. ඒ සිද්ධි දාමයෙන් ඔහු තුළ ඇතිවී තිබෙන බිය තවමත් මුළුමනින් පහවී නැත. ඔහු සදාකාලික මානසික රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇතැ’යි කිව හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ටෝනිගේ පෙත්සම විභාගයට ගෙන සරත් නන්ද සිල්වාගේ නඩු තීන්දුව අභියෝගයට ලක් කෙරෙන තීන්දුවක් ලබාදෙමින් ටෝනිට සිරදඬුවම් පමුණුවන ලද නඩු තීන්දුව මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බැවින් ඔහුට සාධාරණ වන්දියක් ගෙවන ලෙස නියම කරමින් ලංකාවේ භාවිත කරන උසාවි අපහාස නීතිය මානව හිමිකම් උල්ලංඝනයන්ට ඉඩ නොලැබෙන පරිදි සංශෝධනය කොට එය මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කරන ලෙස ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂදර්ශනයට ලක්වීම ආරම්භවන්නේ එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධය අවසන්වීමෙන් පසුව නොව එය සරත් නන්ද සිල්වාගේ අධිකරණ පාලන කාලයේ සිටම ඔහුගේ අගතිගාමී නඩු තීන්දු මුල් කොටගෙන ඇතිව තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.


සරත් සිල්වා ගැන වැඩිදුරටත් --- වික්ටර් අයිවන් December 29, 2013


Tagged
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Recent Posts

Popular Posts

Popular Posts