Header Ads

එඩ්වඩ් ස්නෝඩන්ගේ සුභ නත්තල...!

 තවත් නත්තලක් ගෙවී ගියේය. ගිරුවායේ රාජපක්ෂ රජතුමාගේ සිට හිරු නොබසින රාජ්ජයේ එළිසබෙත් මහ රැජිණ දක්වා, ජනතාවගේ මුදලින් සුදියේ ඉන්නා සියළු තක්කඩීන් නත්තල වෙනුවෙන් ජනතාවට සුභ පැතුවෝය. මහ රැජිණගේ නත්තල් දින පණිවුඩය හුදු ආගමික පණිවුඩයක් නොව සිය අධිරාජ්‍ය ආවරණය කරමින් සිදුකරන බලාධිපත්‍ය සම්බන්ධ ප්‍රකාශයකි. [බලන්න: The Queen's Christmas Message 2013] බ්‍රිතාන්‍ය චැනල්-4 නාළිකාව, රජ්ජුරුවන්ගේ සහ රැජිණියන්ගේ ව්‍යාජ සුභ පැතුම් වලට සමගාමීව, විකල්ප නත්තල් දින පණිවුඩ ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් පවත්වාගෙන එයි. 1993 දී ඇරඹි මෙම පණිවුඩය ලබා දීමට කාලීන වැදගත් කමක් ඇති චරිත භාවිතා කරන ලදී. (ලැයිස්තුව සඳහා බලන්න.) ඒ අතර මෙතෙක් සුවිශේෂීම චරිතය වූයේ Mahmoud Ahmadinejad හිටපු ඉරාන ජනාධිපතිවරය ය. (2008) එහිදී ඔහු විසින් "වර්තමානයේ ජේසුස් මහපොළොව මත සිටියා නම්, දාමරික- ව්‍යාප්තවාදී බල කඳවුරු වලට එරෙහි ජනතාවගේ පැත්තේ හිට ගනු නිසැකය." යනුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන ලදී.

මෙවර, විකල්ප නත්තල් පණිවිඩය, (අත්‍යාවශ්‍යයෙන් ම විය යුතු පරිදිම) එක්සත් ජනපදය නැමැති ගොලායත්ට එරෙහිව, ප්‍රාණ පරිත්‍යාගයෙන් සටනට පිවිසි අපේ කාලයේ ඩේවිඩ්- එඩ්වඩ් ස්නෝඩන්ගෙනි. ඇමරිකානු ආරක්ෂක ඒජන්සියෙහි (NSA) සේවය කරමින් සිට ලෝක ව්‍යාප්ත ඔත්තු බැලීමේ වැඩපිළිවෙළක් පිළිබඳ හෙළිදරව් කළ එඩ්වඩ් ස්නෝඩන් මේ වන විට රුසියාවේ, මොස්කව් නුවර තාවකාලික සරණාගත වීසා බලපත්‍ර යටතේ රැඳී සිටියි. (බලන්න: හා හා බලාගෙනයි, වොෂිංටනයේ බක-තපස් වෙස් මුහුණ ඉරා දැමූ එඩ්වඩ් ස්නෝඩන්)

මේ ස්නෝඩන්ගේ නත්තල් දින පණිවුඩයයි.


[Edward Snowden's Alternative Christmas Message 2013 | ITN]

"සුභ නත්තලක් වේවා ඔබ සැමට. ඔබ සියළු දෙනා අමතන්නට ලැබීම ගෞරවයක්.

පසුගිය කාලයෙදී අපි දැනගත්තා රාජ්‍යයන් විසින් අපේ සියළුම පුද්ගලික තොරතුරුවල ඔත්තු බැලීම සදහා ලෝක ව්‍යාප්ත වශයෙන් ක්‍රියාත්මක ඔත්තු බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන වග.

මහා බ්‍රිතාන්‍යයේ ලේඛක ජෝර්ජ් ඕවල්* විසින් මේ වගේ ඔත්තුබැලීම පිළිබදව මීට පෙර අනතුරු අඟවලා තිබෙනවා. ඕවල් විසින් සඳහන් කරන පොත්පත් වල ලියලා තියෙන තොරතුරු, මයික්‍රොෆෝන් සහ වීඩියෝ පටිගත කිරීම් වගේම අපි විසින් නරඹන රූපවාහිනී වැඩසටහන් වල අන්තර්ගත දේවල් වලින් ඔත්තු බලනවට වඩා අද ක්‍රියාත්මක ‍වෙන විධි හරිම දියුණුයි සහ සූක්ෂමයි. කොටින්ම අපි හැමවෙලාවෙම සාක්කු වල දාගෙන ඉන්න සංවේදකයක් (ජංගම දුරකථනය) හින්දා අපි යන්නේ කොහෙද ගියේ කොහෙද කියලා සජීවි තොරතුරු අත්පත් කරගන්න පුළුවන්.

සාමාන්‍ය මිනිසෙකුගේ ‍පුද්ගලික නිදහස අද පත්ව තිබෙන තත්ත්වය තේරුම් ගන්න. අද උපදින දරුවෙකු හැදී වැඩෙන්නෙ පුද්ගලිකත්වය සහ නිදහස ගැන කිසිම ආකාරයක අදහසකින් තොරව. වෙනත් තැනක සටහන් නොතැබුණු, වි‍ශ්ලේෂණගත නොවුනු පුද්ගලික සිතුම් පැතුම් ගැන කිසිම අදහසක් ඔවුනට නොමැති වේවි. පුද්ගලිකත්වය ප්‍රශ්ණගත වෙන මේ තත්ත්වය විශාල ප්‍රශ්ණයක්, මක්නිසාදයත් පෞද්ගලික නිදහස මතයි "අපි කවුද" සහ "අපි කවුරු බවට පත්වෙනවාද" කියන එක තීරණය වෙන්නෙ.

අපි වටා තිබෙන තාක්ෂණය පිළිබදව අපට ඇති විශ්වාසයත්, එය කවර ආකාරයකින් රාජ්‍යයන් විසින් හසුරුවයිද යන්නත් තීරණය කරනු ඇත්තේ අද දවසේ අපි විසින් සිදුකරන දායකත්වය මතයි. අපිට සියළුදෙනාටම එකතු වෙලා හොද සමබරතාවයක් හදාගන්න පුළුවන්වෙයි. තනි රාජ්‍යයන් විසින් කරන අති විශාල ඔත්තුබැලීමේ කටයුතු නතරකළ යුතුයි. රාජ්‍යයන්ට කියන්න ඕන, ඔය තරම්ම අපි ගැන හොයන්න අවශ්‍යනම් "අසා දැනගැනීම" හොරෙන් ඔත්තු බලනවට වඩා ලාභදායක බව.

අසා සිටින ඔබ සියළුදෙනාටම ස්තූතියි.
සුභ නත්තලක් වේවා...!"

* ජෝර්ජ් ඕවල් යනු, "1984" සහ "ඇනිමල් ෆාම්" යන සුප්‍රකට කෘතීන්හි කතෘවරයාය. රාජ්‍යයක් විසින් එහි ජනතාවගේ සියළු ක්‍රියාකාරකම් බලාසිටිමින්, මිනිස් ජීවිත පාලනය කරන ආකාරය ගැන කියැවෙන 1984 නවකතාවේ "බිග් බ්‍රදර්" යනු පුද්ගලික නිදහස ආක්‍රමණය කිරීම පිළිබදව සංකේතයකි.

පරිවර්තනය - සුමුදු තිවංක ගමගේ
බූන්දි වෙබ් අඩවිය -

No comments

Powered by Blogger.