Open top menu
Monday, December 16, 2013

අපේ තරුණ පරපුර අද යන මාවත කුමක්ද? ප‍්‍රවීණ දේශකවරයකු වන ඔහුට තරුණ පරපුර ගෙන එන දුක් ගැනවිලි මොනවාද? උපකාරක පංති ආචාර්ය වරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ කළ පිළිසඳරකි මේ.


‘‘කටුක දුක් විරහ මැද,  අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු, අපේ ජීවිතවලට...
කියාදෙමු පියඹන්න, අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණු, කුරුල්ලන් වී දිනෙක...’’


කාත් කවුරුත් නැතුව අතරමං වී ගියද, කාත් කවුරුත් නැතුව මග හසර වැරදුනද අනාදරයෙන් හැර දැමිය හැකිවෙත්ද ජීවිතය... වැරදී වැරදී ලියන පෙරවදන් අබිමුවේත් පැටලි පැටලී යනෙන මහා දුර ගමනේදීත් ජීවිතය සොඳුරු බව යටි හිතට කොඳුරමින් අපි තවමත් අපේ ජීවිතවලට පෙම් කරන්නේද එනයිනි.
ඔබ ... අද දවසේ මේ රටේ තරුණ පරම්පරාවේ එක් අයිතිකාරයෙක් නම් අප මේ කතා කරන්නේ ඔබේ හදවතටය. හදවතේ ගැඹුරුම ඉසව්වකටය. ඒ ඔබේ ප‍්‍රශ්න අපේ ප‍්‍රශ්න බවට පෙරළාගත් ඉඩහසරකදීය.
එහෙයින් එන්න, අහන්න, ඇහුම්කන්දෙන්න යැයි අපි ඔබට කියමු. මේ අපට දැනෙන ඔබ ගැන කතාබහකි.
ආදරය, ජීවිතය, ලිංගිකත්වය. හැඟීම්, අධ්‍යාපනය, ආර්ථිකය, දේශපාලනය, ආගම, සංස්කෘතිය සැකෙවින්ම මේ සියලූ කාරණාවන්ගෙන් සැදුම්ලත් සමාජය ඇතුළත සමාජයත් එක්ක ඔබට තියෙන ගැළපීම්, පරස්පරයන්, එකඟවීම් හා නොවීම් ගැටලූ සැබවින්ම බොහෝ විට සංවාදාත්මක නොවුණත් එය එසේ විය යුතුයි. අපි එලෙස සිතමු සහ විශ්වාස කරමු.
අපේ මවුපියන්ගේ පරම්පරාවත්, අපත් අතර තිබුණු පරතරයට වඩා අද තරුණ පරම්පරාවත් ඔවුන්ගේ මවුපියනුත් අතර වන පතතරයේ විශාල ඉඩක් පවතී. අපේ මවුපියන් සහ අප ඇඳි ඇඳුම් අතර පවා මහා වෙනසක් නොතිබුණි. අපේ මවුපියන් සහ ඔවුන්ගේ මවුපියන් හැඳි ඇඳුම් අතර ඒ තරම්වත් පරතරයක් තිබුණේ නැත. උදාහරණයක් ලෙස ඒ පරම්පරාවල පිය-පුතු දෙදෙනාම ඇන්දේ එකම මෝස්තරයේ සරමය. මවත්-දුවත් දෙදෙනාම ඇන්දේ චීත්තයයි. එහෙත් ඊට පසු පරම්පරාවේ එනම් අපේ පරම්පරාවේ දරුවන් ඒ අයුරින් සරමටවත් චීත්තයටවත් හුරු වූයේ නැත.
පරතරයක් නැති, යම් පරතරයක් තිබූ යන වර්ගීකරණයෙන් හුවා දැක්විය හැකි මේ පරම්පරා පරතරය අද වනවිට අහසත් පොළොවත් තරම් යා කළ නොහැකි මට්ටමක පවතී යැයි කීවොත්..... ඔව්.  එය එසේ වෙයි.
අද මවුපියන්ට විශාල ගැටලූවක් වී ඇත්තේ තම ලෙයින් කිරෙන් තැනූ දරුවන් තමන්ට තේරුම් ගන්නට නොහැකිවීමය. ඔවුන් ජාතක කළ ලෙය තමන්ගේය. උන්ගේ සිරුරට පණදුන් කිරෙහි උරුමය තමන්ගේය. උන්ට පොළොවේ කෙළින් පය ගසා ඇවිදින්නට දිගු කළ දෑත් තමන්ගේය. ඒත් උන් අපේමද? අපේ වුණත් උන් අපිට වඩා මේ තරම් වෙනස් ඇයි? උන් හිතන පතන අඳින කන බොන කතාකරන ගනුදෙනු කරන ඉල්ලා හිඳිනා සියල්ල අපට වඩා වෙනස් ඇයි? මේ වෙනසට හේතුව මොකක්ද? කොටින්ම අපේ වුණත්, අපේමද කියලත් හිතන, ඒත් අන්තිමේදී ඔව් අපේමයි කියලා අප හිතන අපේ පැටවු අපට හරියට තේරුම් ගන්න බැරි මොකද? මේ අද බහුතරයක් අම්මලා තාත්තලාට තම දරුවන් පිළිබඳව ඇති ඇත්තම ප‍්‍රශ්නයයි.
අද මවුපිය දු දරු පරතරයේ හිඩැස යා කළ නොහැකි තරම් දුරක් දරයි. ගං දෑළ දෙපස එක් පසෙක මවුපියන්ය. අනෙක් පස දරුවන්ය. ගඟ ගලා බසී. සිතුවිලි ගල් පර ගඟ දිය දෙබෑකරගෙන මතුව තිබේ. පේ‍්‍රමය, ජීවිතය, ලිංගිකත්වය කී නොකී සියලූ සංවේදනාවන්, ප‍්‍රස්තුත, නොපෑහී යා නොවී ප‍්‍රශ්නාර්ථයෙන් බලා සිටී.
මුන්ට මොකද වෙලා තියෙන්නේ. ඒ අම්මලාගේ තාත්තලාගේ ප‍්‍රශ්නයයි.
ඇයි අපව තේරෙන් නැත්තේ... තේරුම්ගන් නැත්තේ. ඒ දරුවන් අම්මාගෙන් තාත්තාගෙන් අහන ප‍්‍රශ්නයයි.
මේ පරම්පරා ගැටුම අද දරුවන්ට අති විශාල පීඩාකාරී ගැටලූවකි. එය නිරාකරණය වීමට නම් දරුවනගේ ලෝකයට විවෘත මනසින් අම්මා තාත්තා එබිකම් කළ යුතුය. නොඑසේනම් සියල්ල හැර පියා මවුපියන්ගේ ලෝකයට දරුවන් අනුගත විය යුතුය. ඒ කැපකිරීම කවුරුන් හෝ කළ යුතුය. එහෙත් විශ්වය ඔබ සහ හෙට දවස යන න්‍යාය තුළ වඩා ප‍්‍රායෝගික වන්නේ අම්මාxතාත්තා පමණ ඉක්මවූ සම්ප‍්‍රදායේ සහ ගෝත‍්‍රිකවාදයේ මිරිවැඩි සඟල පසෙක තබා නිරාවරණ දෙපතුළින් තම පැටවුන්ගේ ලෝකයට අඩිය තබා ඇරුණු හිතින් ඔවුන්ගේ ලෝකයේ අහුමුලූ පිරික්සා බැලීමය. එසේ පිරික්සමින් අවශ්‍ය තැනදී ඔවුන් හැසිරවීමේ දුරස්ථපාලකය සියතට ගැනීමය.

මීට පරම්පරා ගණනකට පෙර දරුවන් හැදුනේ සරලව කීවොත් කැලේට-කොලේටය. සිතුනොත් පැසල් ගියේය. නැත්නම් කට්ටි පැන්නේය. ඇළේ දොලේ නාන්නට ගියේය. එහෙත් මේ සියල්ල මත ඔවුන් නාහෙට නාහන හිතුවක්කාරයන් වූයේද නැත. ඉදෙන දෙයකින් බඩගින්දර නිවාගෙන කොල්ලන්-කෙල්ලන් කාලයත් සමඟ ඉලන්දාරින් සහ ගැටිස්සියන් බවට පත්වූයේය. ඉබේ හැදෙන අහක දමන ඇටයකින් පැළවෙන ගහක් වැලක් සේ කරදඬු උස්වී හැදී වැඩුණේය.
එහෙත් අද දරුවන් එදා දරුවන් සේ හැදෙන්නේ නැත. අද දරුවන් හැදිය යුතුය. ඔවුන්ට විධිමත් ලෙස නිවැරදිව නියපොත්ත කපා ගැනීමේ සිට සියල්ල ඉගැන්විය යුතුය. ඉගෙන ගැනීමට මග පෙන්විය යුතුය.
අද නාගරික සමාජයේ වයස අවුරුදු තිහ-තිස්පහ වන වයස් මට්ටමේ පරපුර අතරද තවමත් මවුපියන් තවදුරටත් හැදිය යුතු මට්ටමක පුද්ගලයෝ සිටිති. මේ හැදීම තව දුරටත් විග‍්‍රහ කරන්නේනම් එය දරුවා නිර්මාණය කිරීමකි. මෙය කාලයට සාපේක්ෂව සිදුවූ දෙයකි.
අපේ පරපුරේ දරුවන් මවුපියන් සමඟ ගුවන්විදුලි යන්ත‍්‍රයේ මුවන් පැලැස්ස ඇසුවේය. චිත‍්‍රපටියක් බලන්නට කලාතුරකින් ගියේය. ගෙදරට ගෙනා පුවත්පත මවුපියන් හා දරුවන් දෙපාර්ශ්වයම කියැවූයේය. අපේ සන්නිවේදනය හා ලෝකය සමග තිබූ සම්බන්ධතාවේ පරාසයන් මේ සියල්ල මත කේන්ද්‍රගත වී තිබුණි.
අද දරුවන් ඉපදෙන්නේ ඩිජිටල් ලෝකයකය. අද පාසල් නොයන වියේ දරුවන් ජංගම දුරකථනය පරිහරණය කිරීමේ දැනුමින් යුක්තය. දරුවා පරිගණකයෙන් ක‍්‍රීඩා කරයි. එදා දරුවන් හැදුනේ සොබාදහම සහ සෞන්දර්ය සමඟ යාවජීව හිතවත්කමකිනි. ඔවුහු සොබාදහමේ අපූර්ත්වය සමග නන්වෙසින් ගනුදෙනු කළහ. කැලේ පැන දං හිඹුටු මාදං ගස් අතර සරමින් කුරුම්බැට්ටියෙන් සෙල්ලම් කළේය. ඇඟිලි තුඩුවලින් මැටි අනමින් සෙල්ලම් ගෙවල් හදමින්, බට්ටා පනිමින් සෙල්ලම් කළේද මහපොළොව සමග හැප්පීගෙනය. එය දරුවාගේ චින්තනය වඩා නිර්මාණශීලීව හැඩගැස්වීමට රුකුලක්විය.
එහෙත් අද දරුවන් ඒ නිර්මාණාත්මක ගනුදෙනුවෙන් ඈත්වී හුදෙකලා ලෝකයක පරිගණකය සමග සියලූ ගනුදෙනු සිදුකරන රොබෝ කෙනෙකුගේ තත්ත්වයට පත්ව ඇත. හැඟීම් විරහිත මිනිස් යන්ත‍්‍ර බවට අනාගතයේ දරුවන් පත්වීමට මේ පසුබිම බලපානු ඇත. එහෙත් මේ දරුවන් අපරාධකරුවන් වන්නේ නැත. ඇත්තම තත්්ත්වය නම් අපරාධ කරන්නේ වැඩිහිටියන්ය. අන්තර්ජාලයේ සැරිසරන ඉංග‍්‍රීසි ගීයක රූප රචනය නරඹන අද පරපුරට අඩු නිරුවත් ස්ත‍්‍රී රූපයක් යනු අරුමයක් නොවේ. එහෙත් වැඩිහිටියකුට එය විජ්ජාවකි. ඔවුන් තුළ වන ආකල්පය අපට අහිමි ලෝකය මුන්ට තිබෙනවා වැන්නකි. අද පරම්පරාව ස්තී‍්‍ර පයෝධරයක්, ස්ත‍්‍රී ශරීරයක් දුටු පමණින් උන්මාදයට පත්නොවන්නේ අන්තර්ජාලය තුළ සැරිසරන ඔවුන්ට ඒ සියල්ල සාමාන්‍යකරණය වූ පසුබිමකදීය. එහෙත් වැඩිහිටියන් ඒ දසුන් හමුවේ ‘‘කුලප්පු’’ වූ තත්ත්වයකට පත්වේ.
එයට හේතුවක් තිබේ. එදා වැඩිහිටියන් ලිංගිකත්වය අත්වින්දත් එය අත්වින්දේ පහන නිවා දමා කළුවරේය. සියලූ ගනුදෙනු සිදුවූයේ කළුවරේදීය. පූර්ණ වශයෙන් ස්ත‍්‍රී සෞන්දර්ය රස විඳින්නට නිදියහනේදීත් සම්ප‍්‍රදායික මත වලින් නිදහස් නොවුණු ඒ හිස්වලට හැකියාවක් ලැබුණේ නැත.
එදා ඔවුන් කළුවරේදී දුටු දේ අද දරුවෝ ආලෝකය තුළම නරඹති. සරලවම කීවොත් ඔවුන්ට ඒ කිසිදෙයක් තුළ ‘‘මැජික්’ එකක් නැත. අද පරම්පරාව බලන පතපොත, ඔවුන්ගේ කියවීම, රසවින්දනය මේ සියල්ල වැඩිහිටි පරම්පරාවේ කියවීමට හා වින්දනයට වඩා බොහෝ සෙයින් වෙනස් වේ. අද තරුණ පරපුර චිත‍්‍රපට නැරඹීම කෙරේ දැඩි නැඹුරුවක් දක්වයි. ඒ අන්තර් ජාලය හරහාය.
ඒ ඔස්සේ ඔවුහු විශිෂ්ට ගණයේ චිත‍්‍රපටි නරඹති. ඔවුහු චිත‍්‍රපටි බලනවා නොව චිත‍්‍රපටි කියවති. ජීවිතය කියවති. ඒ පරම්පරාව නිදහස් මානසිකත්වයකින් ලොව පිරික්සති. ලොව දෙස බලති.
අද දරුවන්ට ජාති, ආගම්, කුල භේද පිළිබඳව ගැටලූවක් නැත. බොහෝ විට ජාතිය යනු කුමක්දැයි අර්ථ දක්වන්නට තරම්වත් ඔවුන්ට මේ පිළිබඳව හැගීමක් නැත. උඩරට, පහතරට, කළු, සුදු, ආගම්, සංස්කෘතික මේ කිසිඳු භේදයක් පරතරයක් ඔවුන් අතර නැත. ඉතා නිදහස්කාමී, ලිබරල්වාදී චින්තනයක් සහිත පරපුරක් අද ලංකාවේ සිටිති. එහෙත් වැඩිහිටියන් දරුවන්ට ජාතිවාදී, ආගම්වාදී හැඟීම් සිත්සතන්්තුළට කවන තරමට මේ පසුබිම වෙනස්වීමේ අවකාශ පවතින බවද අපි අමතක නොකළ යුත්තකි.
එහෙත් මේ පරපුර දේශපේ‍්‍රමී නැත. ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ මේ රට හැරයාමටය. පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තම ජීවිතය සොයාගෙන විශ්වයට යා යුතුයි යන ආකල්පය අති බහුතරයක් දරුවන් තුළ මුල් බැස ඇත. විදේශයකට යාමට නොහැකිනම් ගමෙන් කොළඹට පැමිණ හෝ ස්වාධීන ජීවිතයක් ගතකිරීමට ඔවුහු අපේක්ෂා කරති. ගැහැනු-පිරිමි භේදයකින් තොරව ඉතා ළාබාල වියේදීම තනිවම ස්වාධීනව ජීවිතයට මුහුණදීමේ නොතිත් වුවමනාව අද තරුණ පරපුර තුළ තිබේ.

අද පරපුර දේශපානඥයන්ට මුලා කළ නොහැකි පරපුරකි. ඔවුහු දේශපාලනඥයන්ට සිනාසෙති. මීට පෙර පරපුරකට වීරයන් වූවෝ අද පරපුරට වීරයන් නොවේ. තාප්පයක් ගානේ ඇලවෙන දේශපාලනඥයන් අද පරපුරට රසවත් අතුරුපසකි. සරල වචනයෙන් කීවොත් ‘‘මරු බයිට්’’ එකකි. අද දේශපාලනඥයන් සිතනවානම් ඔවුන් අද දරුවන්ගේ වීරයන්යැයි නැත. කිවහැක්කේ ඔබ ඔවුන්ගේ අතුරුපස බවය.
තරුණ පරපුරේ බහුතරය, විශේෂයෙන් නාගරිකබද තරුණ පුරපුරට සිංහල භාෂාවට වඩා කටට හුරුව ඇත්තේ ඉංග‍්‍රීසි භාෂාවය. එහෙත් මේ තත්ත්වය ලංකාව පුරා විසිර සිටින සියලූ දරුවන්ට අදාළ තත්ත්වයක් නොවේ. අදටත් වැඩවසම්වාදී චින්තනයක, ගෝත‍්‍රිකවාදී ආකල්ප තුළ සිරකර තැබූ ග‍්‍රාමීය දරුවෝ කොටසක්ද ලංකාවේ සිටිති. ඒ දරුවන්ට නගරයේ දරුවන්ට මෙන් ඉංග‍්‍රීසි හුරු නැත. එහෙත් ග‍්‍රාමීය තරුණ පරපුරට නාගරික තරුණ පරපුර නුඹලත් මෙහෙම වෙයල්ලා යන බලපෑම කරමින් සිටියි. රැකියාව තුරුම්පුවක් කරගෙන අද ගම්වල දරුවන් නගරය කරා ඇදී ඒමේ ප‍්‍රවණතාව වඩාත් තීව‍්‍රර වී ඇත.
අද පරපුර ඉංග‍්‍රීසි ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉගෙනීම තුළ කිසිඳු වරදක් නැත. එහෙත් සිංහලයෙන් ඈත්වී ඉංග‍්‍රීසියට පමණක් කොටුවීම මත ගැටලූවක් ඇත. ඒ මිනිසා චින්තනය කරා නැඹුරුවන්නේ තම මවු බස ඔස්සේ වීමය. ග‍්‍රාමීය දරුවන්ට සිංහලය පිළිබඳ ගැටලූවක් නැතත් ඔවුන්ට ඉංග‍්‍රීසි නොදැනීම ගමෙන් නගරයට සේන්දු වුවත් එය නගරයේ සීමා අතික‍්‍රමණය කරගෙන යාමට විශාල බාධාවකි. ඒ අද ඉංග‍්‍රීසි භාෂාවට අප රටේ හිමිව ඇති ප‍්‍රමුඛස්ථානය මතය. පවතින අධ්‍යාපන ක‍්‍රමය අනුව තරුණ දරුවෝ අද විශාල කලකිරීමකට පත්ව සිටිති. විභාග ක‍්‍රමයේ පවතින සංකීර්ණබව ඊට ප‍්‍රබලම හේතුවයි. පහේ ශිෂ්‍යත්ව විභාගයේ සිටම විභාග ක‍්‍රමය සහ ප‍්‍රශ්න පත්තර සංකීර්ණය. මෙරට අධ්‍යාපන බලධාරින් අදටත් දරුවාගේ දෘෂ්ටිකෝණයෙන් මේ ප‍්‍රශ්න පත‍්‍ර දෙස බලන්නේ නැත.
එදා තරුණයන් හොරෙන් සිගරැුට්ටුවක් බීම අපූරු රසවින්දනයක් ලෙස සිතුවත් අද බහුතර තරුණ පරපුර දුම්වැටියෙන් හා මත්පැනින් බොහෝදුරට ඈත්වී සිටිති. අද ඔවුන් තුළ ඉන් එහා ගිය සෞඛ්‍යමය නැඹුරුවක් ඇත. පවිත‍්‍රත්වය යන සාධකයට මුල්තැනක් අද තරුණ පරපුරට ඇත. උකුණන් සහිත සිරසක් සහිත යුවතියක් සොයා ගන්නට අමාරුය. තරුණ පරපුරේ පිළිවෙත් සහ පරමාදර්ශ අද සැලකිය යුතු මට්ටමමේ වෙනසකට බඳුන්වී තිබේ.
එහෙත් අද තරුණ පරපුර පේ‍්‍රමය ලෙස වරදවා හඳුනා ගන්නේ ලිංගිකත්වයයි. ජීවිතයේ හැගීම් සමග කරුණු වඩා සොඳුරු සහ සංවේදී විය යුතු ගනුදෙනුවලදී එසේ වූ චමත්කාර මානසිකත්වයකින් වියුක්තව රොබෝ මානසිකත්වයකින් හැසිරෙන බහුතර තරුණ පරපුරක් අද අපි දකිමු. හැඟුම්බර සසැලෙන ඇස් පිහාටුවකින් පවා පේ‍්‍රමය පිළිබඳව හැඟුම් ධ්වනිත කරන පේ‍්‍රමය ඔවුන්ට හුරු නැත.
‘‘ගම්පෙරළිය, ගොළු හදවත වැනි පේ‍්‍රම කතාන්දර ළඟ අප්පච්චිලාට පිස්සුද  ඕකද පේ‍්‍රමය කියන්නේ...’’ පේ‍්‍රමයනම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයයි කීවේ....... ඇයි අපිට නෂ්ඨකාමයදැයි අසන මානසිකත්වයෙන් බොහෝ තරුණ තරුණියෝ සිටිති.
පේ‍්‍රමය යන විෂයය ඔවුහු නොහඳුනති. එදා තරුණයෙක් තරුණියකගේ අතකින් ඇල්ලීම පවා බොහෙවින් රහස්‍ය හැඟීම්බර දෙයක් විය. එහෙත් අද පේ‍්‍රම බන්ධනයක් ආරම්භ කළ දිනට පසුදින පටන් සිදුවන්නේ කාමරතුළට කොටුවූ ලිංගිකමය ශරීර ගනුදෙනුය. එය පේ‍්‍රමයේ සොඳුරු බව වින්දනය කිරීමෙන් තරුණ පරපුර බැහැර වීමකි.
එදා සුවඳ කැවූ කොළ තුළ අධ්‍යාත්මික පේ‍්‍රමය වචනයෙන් වචනයෙන් ගැළපීම තුළ මැවුනු පෙම්හසුන් ආදරය පිළිබඳව අනෙකාට මනෝ විද්‍යාත්මක ඉඟි සැපයුයේය. එහෙත් අද එස්.එම්.එස්. (කෙටි පණිවිඩ) පේ‍්‍රම කතා තුළ ඒ සුන්දරත්වය නැත. මරණය තෙක් පෙම් හසුන් ළඟ තබා ගත්තත් අනෙක් කෙටි පණිවිඩය එනවිට මුලින් ආ කෙටි පණිවිඩය මකා දැමූ පෙම් පණිවිඩයක් පමණි.
අද පේ‍්‍රමය හුදු තාක්ෂණික ගනුදෙනුවකි. එහෙයින්ම පේ‍්‍රම සබඳතා බිඳ වැටුනුවිට ඔවුන් අධ්‍යත්මිකව ප‍්‍රකම්පනයකට පත්වන්නේද නැත. මචං ඒ චැප්ටර් එක ක්ලෝස් කළා. ඒ ඔවුන්ගේ පේ‍්‍රමය හමාර කිරීම පිළිබඳ සන්නිවේදනයයි.
අද දික්කසාදවීමේ ප‍්‍රතිශතය ඉතා ඉහළ ප‍්‍රවනතාවක් ගනී. විවාහවලින් සියයට හැත්තෑවක් දික්කසාද වීම් සිදුවන්නේ පේ‍්‍රම සබඳතා මත සිදුවූ විවාහවීම්ය. ඒ ඇයි? තාක්ෂණික මෙවලම් මතින් අධ්‍යාත්මික අවබෝධතාවලින් තොරව දියත් කළ පේ‍්‍රම යාත‍්‍රාවල අත්තිවාරම ශක්තිමත් නොවීම මේ දික්කසාදවීම්වල මූලික හේතුවයි. අද බොහෝ විට ඇතිවන්නේ අන්තර්ජාල ෆේස් බුක්, ජංගම දුරථන, පේ‍්‍රම කතාන්දර සහ විවාහවීම් වීම, විවාහ ඉක්මනින් බිඳවැටීමේ හේතුව බවට පත්වී ඇත.

එමෙන්ම විවාහය මත සියලූ දුක් පීඩා විඳ දරාගනිමින් විඳවන පරම්පරාවක්ද අද දකින්නට නැත. විඳීම පිණිස මිස විඳවීම පිණිස නොවන ජීවිතය පිළිබඳව ඒ දැක්ම සුබදායකය. දරුවන්ගේ ප‍්‍රශ්නවලදී  දරුවන්ගේ පැත්තේ සිට මවුපියන්ගේ පැත්තෙන් ඒ ප‍්‍රශ්න දෙස නොබලන්නට තරම් මවුපියන් ඥානාත්විය යුතුය.
එමෙන්ම අම්මාxතාත්තා කියන දේ අසන්නයැයි අප දරුවන්ට යෝජනා කළ යුතුය. ඒ දරුවන්ට වඩා ජීවිතය පිළිබඳව අත්දැකීමක් හා පරිණත බවක් අම්මා තාත්තා තුළ ඇතිහෙයිනි.
ලංකාවේ කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ පුවත්පත වත්මන් තරුණ පරපුර අවශෝෂණය කරගෙන නැත. වත්මන් තරුණ පරපුර බහුතරය තුළ ස්වාධීනත්වයක්, සහේතුක ආඩම්බරයක් සහ බිය නොවන ගතියක් ඇත. අද සාහසික කියවීමකට යොමු වූ දැනුමින් සන්නද්ධ එහෙත් ජනප‍්‍රියවීමට අකමැති ස්ථරයක් ද මේ සමාජයේ වැඩෙමින් පවතී. වෙනම අධ්‍යයනයකින් යුතු ඒ පරම්පරාව අනාගතයේදී සමාජ බලපෑම් කණ්ඩායමක් බවට පත්විය හැකි ඉඟි පෙන්වන සමාජ ගවේෂකයන් බව අප හැඟීමයි.සංස්කෘතිකවාදී, ආගම්වාදී නොවන මේ ස්ථරය ජාති, කල භේදවලින් තොරව විශ්වීය දැනුමකින් යුතුව සහාසික කියවීමකට හා නැරඹීමකට යොමුව සිටිති. ජාතිවාදයට, ආගම්වාදයට සිනාසෙන, දේශපානඥයන්ට සිනාසෙන මේ ස්ථරය බහු සමාජයට බලපෑම් කණ්ඩායමක් වීමේ ඉඟි ඉස්මතු වෙමින් පවතී. ඔවුන් ඔවුන්ගේ හෘද සාක්ෂියට අනුව වැරදි නොකරයි. ඔවුන් තමන්ගේ හදවත නම් අධිකරණය ඉදිරියේ නිවැරදිකරුවන් වෙයි. එහෙත් ඔවුන් තම ආගමට හා නීතියට අනුව වැරදි නොකරන්නන් නොවේ.
එහෙත් තවදුරටත් ගතානුගතික, ගෝත‍්‍රික ආකල්ප සිරස දරනා ඒවා මහා ප‍්‍රශ්න බවට පත්කර ගත් තරුණ පිරිසක්ද මේ සමාජය තුළම ජීවත්වෙති. අදටත් යුවතියකගේ කන්‍යාභාවය මත ඇගේ චරිතය තීරණය කරන මානසිකත්වය ඇත්තේ ඒ පිරිසටය.
සියක් මල් ස්පර්ශ කළ අතින් අවසානයේ ලිංගිකත්වය හා පේ‍්‍රමය පිළිබඳව අතිශය ප‍්‍රාථමික අදහස් දරන මනෝභාවයන් අනුව ක‍්‍රියාකරන්නේ ඒ තරුණ පරපුරය. අප ඉහත කී සුබදායී සමාජ ස්ථරය වැඩෙමින් පවතින්නේද මෙකී වූ ගෝත‍්‍රිකවාදී වහල් සමාජ දේහය තුළමය. ගතානුගතික සාම්ප‍්‍රදායික  ඕලාරික ශිෂ්ටලෝකයට නොගැළපෙන මත දරන කොල්ලන්-කෙල්ලන් සිටින්නේද ගතානුගතිකත්වයට එරෙහිව කැරලි ගසන ලිබරල්වාදී සුබවාදී ලෝකය ගැන අලූත් විදිහට හිතන-දකින-ආදරයකරන තරුණ පරපුර අතරමය. ඒ නව ස්ථරයට වනස්පති ලෙස සමාජය නම් වනාන්තරය තුළ නැගී හිඳින්නට දර දිය ඇදිය යුතු බව අප හැඟීමය.

සංජීවිකා සමරතුංග -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts