Open top menu
Wednesday, December 4, 2013

විය යුතු පරිදි කැටයම් චින්තක වෙඩි කා මළේ ය. ඉතාම කනගාටුවෙන් වුව ද කිව යුතුව ඇත්තේ ඔහු මිය ගිය බව ඇසීම නිදහස සහ අහිංසාව ප්‍රිය කරන බහුතරයකගේ සිත් තුළ සහනය ඇති කළ බව ය. චින්තක, සිය ජීවිතය ලෙයින් කැටයම් කළ මිනිසෙකි. ඒ සඳහා ඔහු පාවිච්චි කළේ අනුන්ගේ රුධිරයයි. කඹුරුපිටියේ මාස්‌මුල්ලේ නිවසකට කඩා වැදුනු චින්තක එහි ජීවත් වූ පොලිස්‌ නිලධාරියකු සහ ඔහුගේ බිරිය කපා කොටා වෙඩි තබා මරා එම යුවළගේ කුඩා දරුවා ඔසවා පොළොවේ ගැසීය. එය අනුන්ගේ රුධිරයෙන් සහ ජීවිතවලින් කළ සාපරාධී කැටයමකි. චින්තකගේ ජීවිතය නිමාවට පත් වන්නේ තුවක්‌කුවකින් නිකුත් වූ උණ්‌ඩ මාලාවක්‌ ඔහුගේ පපුව මත කරන ලද කැටයමකිනි. චින්තක මිය ගිය පසු ප්‍රදේශවාසී
ජනයා රතිඤ්ඤා පත්තු කළ බව දැන ගන්නට තිබේ. ප්‍රභාකරන් මියගිය විට ද මිනිස්‌සු මේ ආකාරයෙන් ම මහත් සතුටට පත්ව රතිඤ්ඤා පත්තු කළහ. ප්‍රභාකරන් යනු අහිංසාවට ගරු කළ, එයට ප්‍රිය කළ හැමටම එපා වූ කෙනෙකි. චින්තක සිටියේ ද එකී කාණ්‌ඩයේම ය. කෙනෙකු මළ විට සිවිල් සමාජය සතුටු වන්නේ නම් ඒකා ජීවත්ව සිටි කාලයේදී කටයුතු කරන්නට ඇත්තේ තිරිසනකු ලෙස ය. චින්තක ද එවැනි තිරිසනෙකි. මහ මිනිසුන්ට මොනවා කළත් පොඩි එකකු පොළවේ ගසන්නට තරම් ආත්ම ධෛර්යය ඇත්තා තිරිසනුන්ටත් නිගා දෙන එකෙකි.

ශ්‍රී ලංකාව වූ කලී සෙසු සියලු සංස්‌කෘතිකාංග සමඟ මෙන්ම සාපරාධි සංස්‌කෘතිය සමඟÊද ඉදිරියට ගිය රටකි. ඉස්‌සර මිනිසුන් ගංජා ගැසූ අතර අද සිටින මිනිස්‌සු කුඩු ගසති. ඉස්‌සර සිටි මිනිසුන් බෝර දෙකේ තුවක්‌කුවෙන් ඉලක්‌කය අල්ලා වෙඩි තැබූ අතර, අද සිටින මිනිස්‌සු තම තරහකාරයා ළඟටම ගොස්‌ මි. මී. 9 හෝ මි. මී. 4.5 පිස්‌තෝලය හිසට තබා  Point Blank range එකක සිට වෙඩි තබති. Point Blank range යනුවෙන් හැඳින්වෙන්නේ තබන වෙඩිල්ල නොවැරදීම වදින 'ආසන්න දුර' ප්‍රමාණයකට ය. කෙනෙකු තමාට මැරීමට අභිමත පුද්ගලයකු ළඟටම යන්නේ ඔහු මැරීමේ හැකියාව තමන්ට හරියටම තිබෙන විට පමණි. සිවිල් සමාජයේ සිටින අපරාධකරුවකු වූ කැටයම් චින්තක තම ඉලක්‌කය සොයා ගෙදරටම ගියේ ය. පොලිසිය සමඟ වෙඩි තබා ගනිමින් සිටියදී ඔහු කිසියම් දේශපාලනඥයකුගේ නම කියා කෑ ගැසී ය. එහෙත් ගුණසේකර නමැති එකී දේශපාලනඥයා ඔහු බේරා ගැනීමට ආවේ නැත. ඉන් පසු චින්තක තමන් අසුවල් දේශපාලනඥයාගේ ගෝලයා ය, එකී දේශපාලන ගුරුතුමා විසින් තමා බලා ගන්නවා ඇත යනාදී වශයෙන් කියමින් විලාප තබන්නට විය. එහෙත් ඒ 'බයිලා' ගැන නොතැකූ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් විය. වෙඩි උණ්‌ඩවලින් කැටයම් කැපීමේ කටයුත්ත සිදුවන්නේ ඉන් පසුව ය. අවසන් ඵලයේදී කැටයම් චින්තක හිල් පෙනේරයක්‌ බවට පත් වන්නට ඇත.

අපරාධ මර්දනය සඳහා පොලිස්‌ දෙපාර්තමේන්තුව මේ දිනවල කරගෙන යන වැඩපිළිවෙළට මේ පුවත්පත විසින් හිස නමා ආචාර කරනු ලැබේ. අපරාධකරුවන්ට අනුබල දෙන අය සුරකින ඇතැම් ඕ. අයි. සී. ලා සත පහකට ගණන් නො ගෙන, එකී අනුබල දෙන්නන් තරාතිරම නොබලා පයින් ගසා එලවීමට ආණ්‌ඩුව ද ක්‍රියා කිරීම සිවිල් ප්‍රජාවගේ හිතට මහත් සහනයකි. ආණ්‌ඩුවත් පොලිසියත් මෙහෙම සිටිනවා නම් මිනිස්‌සු ද ඔවුන් වෙනුවෙන් පෙරළා පෙනී සිටිනවා ඇත. හැමදේම එකවර කරන්නට බැරි බව අපි පිළිගනිමු. අපරාධ මර්දනය ද එසේ ටිකෙන් ටික කළ යුත්තකි. එක ත්‍රාඩකාරයෙක්‌ මැරූ විට තවත් ත්‍රාඩකාරයෝ සියයක්‌ තමන් ගිය මඟෙහි සලකුණක්‌ පවා නොතබා සැඟවෙති. උන් එකා දෙන්නා එළියට ඇද ගැනීම තුඹසට රිංගූ තලගොයා ඇද ගැනීමටත් වඩා දුෂ්කර ය. (තුඹසකට රිංගූ පසු පිටතට ඇද ගැනීමට දුෂ්කරම සතා තලගොයා ය. මේ බව දොස්‌තර ආර්. එල්. ස්‌පිටල්ගේ පොත්වල එයි.) නීතිය විසින් අපරාධකරු පිටතට අදින විට අවනීතිය විසින් අපරාධකරු ඇතුළට අදිනු ලැබේ. මෙබඳු තත්ත්වයක්‌ තුළ වුවද කැටයම් චින්තකගේ කැටයම් කල්ලියම අද සිටින්නේ අපායේ යම රජු ඉදිරිපිට ය. මේ පිරිසට කැටයම් කිරීම සඳහා කුමක්‌ පැවරිය යුතු ද යන්න යම රජුට පවා විශාල ප්‍රශ්නයක්‌ වනවා ඇත.

divaina -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. PREMADASA MARUNAWELETH SAMAHARU RATHINGNA PATHTHU KALA

    ReplyDelete

Popular Posts

Popular Posts