Header Ads

නීති විද්‍යාලයේ විදුහල්පති ගෙදර යැවීම --- වික්ටර් අයිවන්

අගවිනිසුරුවරයා විසින් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කොට ඔහු ගෙදර යැවීමේ සිද්ධිය මහජන විමර්ශනයට ලක්විය යුතු සංකේතාත්මක වැදගත්කමක් ඇති සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය. විදුහල්පතිවරයා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිය පුතා සම්බන්ධයෙන් අනුගමනය කර ඇතැ‘යි කියන පක්ෂග‍්‍රාහී ක‍්‍රියාකලාපය (විදුහල්පතිවරයා තම පුතා විශිෂ්ට සාමාර්ථලාභියා බවට පත්කිරීම) ඔහුගේ වැඩතහනම කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවක් වී තිබෙන්නේයැ’යි කියනු ලැබේ. නව අගවිනිසුරුවරයා එම තනතුරට පත්වූයේ සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන ආකාරයකට නොව දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද මහත් විවාදයට හේතුවන ආකාරයටය. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ගෙදර යැවීමේ සිද්ධිය නව අගවිනිසුරුවරයා එම තනතුරට පත්වීමෙන් පසුව ජනප‍්‍රිය අර්ථයෙන් කරන ලද ලොකුම ක‍්‍රියාව ලෙස සැලකිය හැකිය. එහෙත් එම ක‍්‍රියාව සේ ම හිස්වූ පුරප්පාඩුව පිරවීම සඳහා තෝරාගත් පුද්ගලයා වර්තමාන පාලන අධිකාරියට ඍජු සම්බන්ධයක් නැති චන්ද්‍රිකාගේ පාලන අධිකාරියට සම්බන්ධ පුද්ගලයකු වීම යන සාධක දෙක නව අගවිනිසුරුවරයා හා ආණ්ඩුව අතර මතභේද ඇති කරන සංසිද්ධියක් බවට පත්ව තිබෙන බවද පෙනෙන්නට තිබේ.

නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය පුතාට ප‍්‍රමුඛ වැදගත්කමක් ඇති සාමාර්ථයක් ලබාදීමේ සිද්ධිය ශ‍්‍රී ලංකාවේ නීති සමාජය කුණුවී තිබෙන තරම පොදුවේත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ විභාග ක‍්‍රමය කුණුවී තිබෙන තරම විශේෂ වශයෙනුත් පෙන්නුම් කරන සංකේතාත්මක වැදගත්කමක් ඇති සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය.

පාපෝච්චාරණය

තනතුර අහිමි වූ විදුහල්පතිවරයාගෙන් ඒ ගැන කරුණු විමසීමක් කළහොත් තනතුර අහිමි කරන්නට තරම් බරපතළ වරදක් තමා අතින් සිදුවී නැති බව ඔහු අවධාරණයෙන් කියනු ඇතැ’යි සිතිය හැකිය. නීති වෘත්තියට එකතුවීමට කැමති සාමාන්‍ය මිනිසුන්ගේ දූ දරුවන් අතර ඒ සඳහා මූලික සුදුසුකම් ඇති අය තරග විභාගයකින් තෝරාගෙන ඔවුන්ට නීති වෘත්තියට එකතුවීමට අවශ්‍ය අධ්‍යාපනයක් ලබාදී අවසානයේදී ඔවුන් සඳහා තරග විභාගයක්ද පවත්වා ඉන් සමත් වන්නන් නීති වෘත්තියට එකතු කරදීම තමන් වෙත පැවරී තිබුණු රාජකාරී වගකීම බවත් එය තමා විසින් හොඳින් ඉටුකරන ලද බවත් ඔහු එහිදී කියනු ඇත. ඊට අතිරේකව නීතියෙන් නොව සම්ප‍්‍රදායයෙන් වෙනත් වගකීමක්ද තමා වෙත පැවරී තිබුණු බවත් දේශපාලන තලයේ සේ ම නීතිමය තලයේ ලොකු හා නාමධාරී පුද්ගලයන්ගේ දරුවන් අතර නීති වෘත්තියට එකතුවීමට අවශ්‍ය තරම් අධ්‍යාපනික දක්ෂතා නැති දරුවන්ට විශේෂ සැලකිලි දක්වන ප‍්‍රතිපත්තියක් මගින් ඔවුන්ට නීති වෘත්තියට එකතුවීමට අවශ්‍ය හැකියාව ලබාදීමේ වගකීමක්ද තමන්ට පැවරී තිබුණු බවත් ඒ වගකීමද තමන් මැනවින් ඉටුකරන ලද බවත් කියමින් ඒ බව සනාථ කිරීම සඳහා අසන්නන් පුදුමයට පත්වන ආකාරයේ නිදර්ශන සැලකිය යුතු සංඛ්‍යාවක් ඔහු ඉදිරිපත් කරනු ඇතැ’යිද සිතිය හැකිය.

ඔහු අවසාන වශයෙන් මෙසේ කියනු ඇතැ’යි ද සිිතිය හැකිය. ‘‘මම නීති වෘත්තියට එකතුවීමට මූලික සුදුසුකම් නොතිබුණු බලවතුන් සැලකියයුතු තරම් පිරිසකගේ දරුවන්ට විශේෂ සාමාර්ථ ලබාදෙමින් ඒ සියලූදෙනාට මහත් ගෞරවයකින් යුතුව නීති වෘත්තියට එකතුවීමේ හැකියාව ලබාදී ඇත්තෙමි. ඒ බව ඒ දරුවන්ගේ බලවත් දෙමාපියන් සේ ම නීති සමාජයේ බලවත්තුද දැන සිටියෝය. මා කරන්නේ වරදක් කියා ඒ කිසිවකු මට චෝදනා කළේ නැත. ඒ සියලූදෙනාට මා බරපතළ වරදක් කරන පුද්ගලයකු ලෙස පෙනෙන්නට වූයේ ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් මා අනුගමනය කළ විශේෂ ප‍්‍රතිපත්තිය මාගේ දරුවා සම්බන්ධයෙන් අනුගමනය කළ විටය.’’ එම කුහක පිළිවෙත සාධාරණ විය හැක්කේ කෙසේදැ’යි අවසාන වශයෙන් ඔහු ප‍්‍රශ්න කරනු ඇතැ’යි සිතිය හැකිය.

නියෝජ්‍ය විභාග කොමසාරිස්

අධ්‍යාපනයේදී තමන්ගේ දරුවන්ට මුහුණ දෙන්නට සිදුවන දුෂ්කර කඩුලූ ජයගැනීම සඳහා තමන්ට තිබෙන නිල බලය ඒ සඳහා පාවිච්චි කළ අධ්‍යාපන ඇමතිවරුන් කිහිපදෙනකු ගැනම මා විටින් විට තතු දත් විවිධ අයගෙන් අසා ඇත්තෙමි. ඒ අතුරින් මා අසා තිබෙන ලස්සනම කතාව මෙසේය. ජේ.ආර්. ජයවර්ධන පාලන යුගයේදී අධ්‍යාපන ඇමතිවරයකු උසස් පෙළ විභාගයට පෙනී සිටි සිය පුත‍්‍රයාට විභාග සාමාර්ථයක් ලබාදෙන ලෙස විභාග කොමසාරිස්වරයාගෙන් නොව ඔහුගේ දෙවැන්නාගෙන් ඉල්ලා තිබේ. තම පුත‍්‍රයා දේශීය විශ්වවිද්‍යාලයකට යැවීමට බලාපොරොත්තු නොවන නිසා විදේශ විශ්වවිද්‍යාලයකට යැවීමට අවශ්‍ය අවම ලකුණු සංඛ්‍යාව ලබාදීම ප‍්‍රමාණවත් බවද ඔහු නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාට කියා තිබේ. නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා ඇමතිවරයාගේ මේ ඉල්ලීම සලකා තිබෙනුයේ අයථා බලපෑමක් ලෙස නොව තමන්ට පෑදුණු හොඳ ඉල්ලමක් ලෙසය. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි තම පුතාගේ පමණක් නොව ඔහුට සමීප සම්බන්ධකම් තිබුණු ෆිනෑන්ස් හා කල්බදු සමාගමක අයිතිකරුගේ පුතෙකුට හා රටේ එවකට සිටි නාමධාරි විදුහල්පතිවරයකුගේ පුතෙකුටද අයථා ලෙස විභාග සාමාර්ථයන් ලබා දුන්නේය. කවර ආකාරයකින් හෝ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ මෙම අයථා ක‍්‍රියාවලිය හෙළිදරව් වීම නිසා ඔහුට තමා දරන තනතුර අහිමි වූවා පමණක් නොව ලොකු සිරදඬුවමක් විඳින්නටද සිදුවිය. මෙම නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගෙන් අයථා ලෙස උපකාර ලබාගත් අය අතුරින් ෆිනෑන්ස් සමාගමේ හිමිකරුවා ඔහු අමතක නොකළේය. නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා සිරදඬුවම සම්පූර්ණ කොට නිදහස්වීමෙන් පසුව ෆිනෑන්ස් සමාගමේ හිමිකරුවා සිය සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වී තමාට උපකාර කොට අමාරුවේ වැටුණු මිත‍්‍රයාට එම තනතුර ප‍්‍රදානය කළේය. ඒ අර්ථයෙන් ඔහු කෘතවේදී මිනිසකු ලෙස සැලකිය හැකිය. එහෙත් එම පුද්ගලයා තමාට අයථා ලෙස ආධාර කළ මිත‍්‍රයාට කෘතවේදී වුවද සිය තැන්පතුකරුවන්ට කෘතවේදී නොවීම නිසා එම ෆිනෑන්ස් සමාගම කඩා වැටුණි.

අයථා ලෙස මුදල් උපයන්නට කැමති රාජ්‍ය නිලධාරීන් දේශපාලන ඇඟිලි ගැසීම්වලට කැමතිය. එවැනි ඇඟිලි ගැසීම් ඇතිවිට එවැන්නන් උදව් ඉල්ලා සිටින දේශපාලකයාට අයථා ලෙස ආධාර දෙන විට එය මුවාවක් කරගනිමින් අයථා දේවල් කරන්නට ඔවුහුද එය අවස්ථාවක් කරගන්නෝය. නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා කළේද එයයි. නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා කරන්නට ඇත්තේද එයමය. ඒ ප‍්‍රවණතාව ගැන වැඩිදුර කතා කිරීම පසුවට තබා බලවත් පුද්ගලයකු නිසි සුදුසුකම් නොතිබුණු සිය දියණියකට සුදුසුකම් ලබාදීම සඳහා නිල බලය යොදාගත් ආකාරය පෙන්නුම් කරන ප‍්‍රබල නිදර්ශනයක් මෙසේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුකුගේ දියණියක කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළුවීමට සිහින දකිමින් සිටියද නීති පීඨයට ඇතුළුවීමට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව හිමිකර ගැනීමට ඇය අසමත් වූවාය. ඉන්පසු ඇය කළේ, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වගඋත්තරකරුවන් කරමින් කොළඹ විශ්විවද්‍යාලයේ නීති පීඨයට ඇතුළුකර නොගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බව කියමින් තමාගේ පියා සේවය කරමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන විනිශ්චය මණ්ඩලයට පෙත්සම්කාරියගේ පියා ඇතුළත්ව සිටියේ නැතත් තමන් සලකා බලන්නට යන්නේ තම සහෝදර විනිශ්චයකරුවකුගේ දරුවකුගේ ප‍්‍රශ්නයක් බව එම විනිශ්චය මණ්ඩලයට ඇතුළත්ව සිටි සියලූදෙනා නොදැන සිටියා විය නොහැකිය. පෙත්සම්කාරියට නීති පීඨයට ඇතුළුවීමට අවශ්‍ය තරම් ලකුණු නොතිබුණු බව දැන දැනම විනිශ්චය මණ්ඩලය ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් කරගැනීමට නියෝග කළේය. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සේ ම කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරියද පෙත්සම්කාරිය කාගේ කව්දැයි දැන සිටියෝය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයාද එය දැන සිටින්නට ඇති බවට සැකයක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝගය ඒ සියලූදෙනා තුළ විස්මයක් ඇති කිරීමට හේතුවී ඇතත් ඒ කිසිවෙක් ඒ නියෝගයට එරෙහිව කරුණු ඉදිරිපත් කරන තැනකට ගියේ නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය දෙන නියෝගයක් නීති විරෝධී වන අවස්ථාවකදී පවා එය අභියෝගයකට ලක් කළ හැකි ක‍්‍රමයක් නැත. ඒ සඳහා තිබෙන එකම ක‍්‍රමය නඩුව නැවත එම අධිකරණය ඉදිරියට ගෙනයෑමය. ඒ ආකාරයට නියෝගය අභියෝගයට ලක් කරන තැනකට ගොස් ඔළුව ගලේ ගසාගන්නේ ඇයිදැයි ඒ සියලූදෙනා කල්පනා කළා විය යුතුය. අඩුම වශයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය සිදුවූ අයථා ක‍්‍රියාව පාර්ලිමේන්තුවේ කතානායකට හෝ ජනාධිපතිවරයාට පැමිණිලි කළ යුතුව තිබුණි. සමහරවිට ඔවුන් එසේ නොකරන්නට ඇත්තේ ද එවැනි දේකින් කිසිදු වෙනසක් ඇති නොවනු ඇතැ’යි විශ්වාස කළා නිසා විය හැකිය. නැත්නම් එවැනි දෙයක් කරන්නට පවා ඔවුන් බියවූවා විය හැකිය.

ඉතාම වැදගත් දේ මේ අපූරු මූලික අයිතිවාසිකම් පෙත්සම හා ඊට අදාළව දෙන ලද නියෝගය කිසිදු ජනමාධ්‍යයක් විසින් වාර්තා නොකිරීමය. පෙත්සමේ සුලමුල අධිකරණ කටයුතු ආවරණය කරන ජනමාධ්‍යවේදීන් නොදැන සිටියා විය නොහැකිය. එම අපූරු පෙත්සම හා ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද නියෝගය කිසියම් ජනමාධ්‍යයක් විසින් වාර්තා කළේ නම් එය මහත් ආන්දෝලනයකට හේතුවන කතාවක් වන්නට ඉඩ තිබුණා සේ ම පෙත්සම්කාරියට වඩා වැඩියෙන් ලකුණු ලබාගෙන නීති පීඨයට ඇතුළුවීමට නොහැකි වී සිටි සියලූ ශිෂ්‍යයන් තමන්ටද ඒ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයටද ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද මෙම අපූරු නියෝගය රහසක් වන්නට ඇතැ’යි සිතිය නොහැකිය. එහෙත් එම සංගමයද නිශ්ශබ්දව සිටියා මිස ඒ ගැන කිසිවක් කතා නොකළේය. බලවත් පුද්ගලයකු විසින් බලවත් වරදක් කරන විට ඒ දේ දන්නා සියලූදෙනාද ඒ වරද සඟවන ක‍්‍රමයක් රටේ ස්ථාපිත වී තිබෙන බව ඒ ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය. ඒ ක‍්‍රමයට ජනමාධ්‍යවේදීන්ද අනුගතවී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය සැලකෙන්නේ රටේ ඉහළම හා අවසාන අධිකරණය ලෙසය. එවැනි ආයතනයක සේවය කරන විනිසුරුවරුන් පවා තමන්ට අදාළ ප‍්‍රශ්නවලදී තමන්ට ලැබී තිබෙන නිල බලය අසාධාරණ ලෙස පාවිච්චි කරන තත්ත්වයක් පවතින්නේ නම් ඒ රටේ මනා පාලනයක් තිබිය හැක්කේ කෙසේද?

නීතිපති දෙපාර්තමේන්තුව

නීති විභාගය සම්පූර්ණ කිරීමෙන් පසුව පුද්ගලයකුට නීතිඥවරයකු ලෙස අවශ්‍ය පුහුණුව ලබාගැනීමට තිබෙන ආයතන අතර තිබෙන සුපිරිම ආයතනය ලෙස සැලකිය හැක්කේ නීතිපති දෙපාර්තමේන්තුවය. එයද මහජන මුදලින් නඩත්තු කෙරෙන ආයතනයකි. එහෙත් එයට ඇතුළු කරගැනීම සඳහා තරග විභාග ක‍්‍රමයක් නැත. එය නීති ක්ෂේත‍්‍රයේ නාමධාරී හා සුපිරි පුද්ගලයන්ගේ දූදරුවන් සඳහා මහජන වියදමින් පවත්වාගෙන යන ආයතනයක් ලෙස සැලකිය හැකිය. එයද අන් හැම ආයතනයක් සේ ම අපිරිසිදු ආයතනයකි. බලවත් පුද්ගලයන්ට ඔවුන්ගේ නඩු හබවලදී පස්සා දොරෙන් ගනුදෙනු බේරාගත හැකි ක‍්‍රමයක් එහිද ක‍්‍රියාත්මක වේ. ඒ බව සනාථ කිරීම සඳහා දැක්විය හැකි සාක්ෂි අපමණය. නීතිපතිවරුන්ට රඟපාන්නට සිදුවී තිබෙන භූමිකාවද ප‍්‍රශ්නසහගතය. ජනාධිපතිවරණ පෙත්සමකදී නීතිපතිවරයා මධ්‍යස්ථ භූමිකාවක් රඟපාන්නේ නැත. ඔහු පෙනී සිටින්නේ තේරීපත්ව සිටින ජනාධිපතිවරයා වෙනුවෙනි.

ජනප‍්‍රිය පාසල්

එම අතුරු කතා දෙකෙන් පසු අපට නැවත රාජ්‍ය නිලධාරීන් වෙත එල්ල වන දේශපාලන බලපෑම් වෙත යා හැකිය. සුපිරි හෝ ජනප‍්‍රිය ගණයට වැටෙන විද්‍යාලවල විදුහල්පතිවරුන් පාසලට ළමුන් ඇතුළත් කරගැනීමේදී දේශපාලන බලපෑම් එල්ල වනවා දකින්නට සාමාන්‍යයෙන් කැමතිය. එවිට ඒ පහනෙන් ආලෝකය දැකීමේ හැකියාව ඔවුන්ටද ලැබෙන්නේය. ඔවුන් දේශපාලන බලවතුන්ගෙන් ඉදිරිපත් වන ඉල්ලීම්වලට කැමැත්තෙන් අවනත වන අතර ඒ මගින් අල්ලසට තමන් කැමති ළමුන් කිසියම් පිරිසක්ද සිය පාසලට ඇතුළත් කරගැනීමට ඒ තත්ත්වය අවස්ථාවක් කොටගත්තේය. ලැයිස්තුව එවන දේශපාලකයා බලවත් නම් ඒ ආරක්ෂාව තමන්ගේ ලැයිස්තුවට ලැබෙන බව විදුහල්පති දනී.

හොඳ පාසලක් ලබාගැනීම සඳහා තිබෙන අතිවිශාල පොරය නිසා හොර සහතික හා හොර වාර්තා නිපදවීම දැවැන්ත කර්මාන්තයක් බවට පත්ව ඇතැ‘යි කිව හැකිය. ජනප‍්‍රිය පාසල්වලට ඉදිරිපත් වන අයදුම්පත්වලින් කිසියම් ප‍්‍රමාණයක් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා වන බව විදුහල්පතිවරුද අධ්‍යාපනඥයෝ හා දේශපාලකයෝද දන්නෙහුය. ජනප‍්‍රිය පාසලක් පිහිටි කොට්ඨාසයක සිටින ග‍්‍රාමසේවකයකු පවා අයථා සහතික කිරීම් මගින් විශාල ආදායමක් උපයා ගනී. ව්‍යාජ ලේඛන සකස් කිරීම හා පාවිච්චි කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් ජනප‍්‍රිය පාසල් පොරය තුළ සිටින ජනයා තුළ ඒ ගැන කිසිදු බියක් ඇති බවක් පෙනෙන්නට නැත. ලැබෙන අයදුම්පත් විධිමත් ලෙස පරීක්ෂාවට ලක්කිරීමෙන් ව්‍යාජ ලේඛන පහසුවෙන් සොයාගත හැකි වුවත් තමන්ට වාසි ලැබෙන මෙම දූෂිත ක‍්‍රමය පවත්වාගෙනයෑමට තිබෙන කැමැත්ත නිසාම එය මර්දනය කිරීමේ වුවමනාවක් බලධාරීන්ට නැත.

ජනප‍්‍රිය පාසලක විදුහල්පතිවරයකු ජනප‍්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී සිදුවූ දූෂණ පිළිබඳව ඔහුගේ මිතුරකු අතර ඇතිවූ කතාබහකදී එම විදුහල්පතිවරයා ඒ ගැන කරුණු ඉදිරිපත් කරන ලද ආකාරය එම විදුහල්පතිගේ මිතුරා විසින් මා වෙත සැකෙවින් ප‍්‍රකාශ කළේය. එහිදී විදුහල්පතිවරයා සිය මිතුරාට පළ කළ මතය වී ඇත්තේ ජනප‍්‍රිය පාසලක විදුහල්පතිවරයකුට එම ජනප‍්‍රිය පාසලේ සමාජ වටාපිටාවට ගැළපෙන ගාම්භීර ජීවිතයක් පවත්වාගෙන යෑමට සිදුවන බවත් ලැබෙන වැටුපෙන් ඊට ගැළපෙන ජීවිතයක් පවත්වාගෙන යෑමට පුළුවන්කමක් නැති නිසා අයථා මාර්ගයෙන් මුදල් උපයන තත්ත්වයකට තල්ලූ වන්නට එවැනි විදුහල්පතිවරුන්ට සිදුවන බවය. විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් ඉහළ සමාජ පසුබිමක් ඇති අය වන විට විදුහල්පතිවරයාටද ඊට ගැළපෙන ජීවන ක‍්‍රමයක් පවත්වාගෙන යෑමට සිදුවන බවත්, විදුහල්පතිගේ නිවස ගෘහභාණ්ඩ, කන බොන දේවල් සේ ම ඇඳුම් පැළඳුම්ද, පාවිච්චි කරන මෝටර් රථයද ඒ සමාජ වටාපිටාවට ගැළපෙන තත්ත්වයක තබාගැනීමට සිදුවන බවත් ඊට ගැළපෙන වටාපිටාවක් පවත්වාගෙන යෑමට අසමත් වන විදුහල්පතිවරුන් දෙමාපියන්ගේ විශ්වාසයට හා පිළිගැනීමට හේතු නොවන තත්ත්වයක් ඇතිවීම තුළ එවැනි විදුහල්පතිවරුන්ට එම විදුහලේ පාලන කටයුතු හොඳින් කරගෙන යා නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ඒ නිසා විද්‍යාලයට ළමුන් ඇතුළත් කරගැනීමේදී කිසියම් ප‍්‍රමාණයකට අල්ලස් ගැනීම වරදක් ලෙස තමා නොසලකන බවත් ඔහු ප‍්‍රකාශ කර තිබේ.

එම විදුහල්පතිවරයා සිය මිත‍්‍රයාට කරුණු ගෙනහැර දක්වා තිබෙන ආකාරය අපූරුය. නීතියට පටහැනිව ක‍්‍රියාකරන හැම සූර මිනිසකුම තර්ක කරනු ඇත්තේද ඊට සමාන ආකාරයටය. ඒ ආශ‍්‍රයෙන් රටේ සමාජ වටාපිටාව ගල්ගැසුණු ආකාරයට සකස් වී තිබෙන ආකාරය පිළිබඳව අදහසක් ඇති කරගත හැකිය.

1 comment:

  1. මේ ලිපිය ලිවිවයි කියන උන්නැහේ පොතක් ලිවිවා චෞර රජින කියලා. ඒකේ දෙවන කලාපය දැන්ම එනවාද? නැතිනම් වෙන නමකින් ලියනවාද?

    ReplyDelete

Powered by Blogger.