Open top menu
Friday, December 20, 2013

සුදර්ශන සමරවීර
ඔබ දිනපතා පුවත්පත් කියවන්නෙක්ද? පිළිතුර ඔව් නම් මේ රචනයේ අවධානය ඔබට පුවත්පත්වල වැඩිපුරම ගැවසෙන්නට සිදුවන කලාපයක් වෙතයි. දිනපතා පුවත්පතක ඔබ වැඩිපුරම ගැවසෙන කලාප කිහිපයක් නම් කරන්නැයි මා ඔබෙන් ඉල්ලූවොත් තත්පර කිහිපයකින් ඔබ නම් කරන තේමා අතර කාන්තා හා ළමා අපචාර එක - දෙක අතර තිබෙනු ඇත.

එහෙම නොවෙන්නේ කොහොමද? ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුවත් ආසියාවේ සෑම කාන්තාවන් හතරදෙනෙකුගෙන්ම එක් අයෙකු ජීවිතයේ එක්වරක් හෝ ලිංගිකව හිංසනයට ලක්වී තිබේ. ඉතින් ලංකාව ඒ ආසියාවේ ආශ්චර්යක් වෙන හින්දාම පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති ලංකාවේ දිනකට වාර්තා වන ළමා අපචාරවල ප‍්‍රමාණය සාමාන්‍යයෙන් විස්ස පනින බව කීම පුදුමයක්ද?

වාද භේද නැති අතවර

ලිංගික හිංසනය ලංකාවේ කිසිදු භේදයකින් තොරව සිදුවන ප‍්‍රධාන සිදුවීම්වලියකි. එනම් ලිංගික හිංසනය යන්න ලංකාවේ සෑම දිනකම, සෑම වෘත්තියකම, සෑම තරාතිරමකම කාන්තාවන්ට සහ ළමයින්ට බලපා ඇත. ලිංගික අතවරවලට වයස. විවාහ අවිවාහක තත්ත්වය, ජාතිය, ආගම, කුලය, පන්තිය, ආදායම් තත්ත්වය ආදී අදාළ නොවන බවට දිනපතා ප‍්‍රවෘත්ති සාක්ෂිකරුවෝය. මේවා අග නගරයේද, ඓතිහාසික නගරවලද, සුළු නගරවලද, ගම්නියම්ගම්වලද තරගයට මෙන් සිදුවෙයි. කාන්තාවට හා ළමයින්ට සිදුවන ලිංගික හිංසනය පැහැදිලිවම සමාජ බෙදීමක ප‍්‍රතිඵලයක් බව ද යථාර්ථයකි. එනම් බලය පිළිබඳ ධුරාවලියයි. කාන්තාවන් හා ළමයින් හිංසනයට ලක්කරන පිරිමි එසේ කරන්නේ තමන්ට හිමි ආධිපත්‍යයක් ගැනද විශ්වාසයකින් බව එදිනෙදා වාර්තාවන අතවර සිද්ධීන් ඇසුරින් පෙනේ. පෙම්වතා අතින් පෙම්වතිය දූෂණය වීම (බොහෝ විට බාලවයස්කාර පෙම්වතියන්) තාත්තා අතින් තම දියණිය දූෂණය වීම, සීයා අතින් මිණිබිරිය අතවරයට ලක්වීම, මුණුපුරා විසින් ආච්චි අතවරයට ලක්වීම ලිංගික අතවර සම්බන්ධයෙන් වඩාත්ම ඛේදජනක මුහුණතකි. එනම් සමාජයේ පුද්ගල සබඳතාවල ස්වරූපය විකාරරූපීත්වයට පැමිණීමයි. බලපුළුවන්කාර පිරිමින්ගේත්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් ඇතුළු සකල දේශපාලකයන්ගේත්, තව නොයෙක් ලොකු ලොක්කන්ගේත් ලිංගික වුවමනාවන් වෙනුවෙන් කාන්තාවන් බිලිවන විට සමාජයක් ලෙස අප පත්වී ඇති ඉරණම ගැන හඳහන් බල බලා ඉන්නවා වෙනුවට රටක් සමාජයක් ලෙස මේ තත්ත්වය බරපතළ සංවාදයට ගෙන හැකිතරම් එය අවම කර ගැනීමට මැදිහත්වීම සෑම පුරවැසියකුගේම කාලීන යුතුකමකි. එය පොලීසියට හෝ උසාවියටත් ආණ්ඩුවටත් පමණක් නතර කළ හැකි නෛතික වැඩක් නොවේ. ඉතා දීර්ඝ සහ අඛණ්ඩ සාකච්ඡුාවකට යා යුතු මේ සංවාදයට ප‍්‍රවේශයක් පිණිස උත්සාහ ගන්නා කෙටි රචනයකි මෙය.

ලිංගික හිංසනය යන්න ස්ති‍්‍රය වෙත ශාරීරික බලය යොදවා ඈ යටත් කරගෙන ලිංගිකව එකතු වීම, වරප‍්‍රසාද හෝ බලය පෙන්වා රවට්ටා ඇය සමග ලිංගික කාර්යයේ යෙදීම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවුරුදු 16ට අඩු ගැහැනු - පිරිමි ළමුන් සමග ලිංගික සබඳකම් පැවැත්වීම ආදියේ සිට අසභ්‍ය විහිළු කිරීම හා අශ්ලීල ඉ`ගිබි`ගි කිරීම දක්වාම දිගු එකකි. ඒ අර්ථයෙන් බලනවිට අපේ සමාජය මුළුමනින්ම ලිංගික අතවරයන්ගෙන් පිරුණු සමාජයකි. විශේෂයෙන්ම කාන්තාව සම්බන්ධයෙන් ගොඩනැගී ඇති සමාජ ආකල්පයම එහි හිංසනයේ පිළිබිඹුවකි. කෙසේවෙතත් ලිංගික හිංසනය පිළිබඳ වඩාත්ම සැලකිය යුතු දෙයක් නම් ලිංගික අතවරයකදී අදාළ අතවරයට ගොදුරු වන්නාට තම ශරීරය පිළිබඳ තමාට හිමි අයිතිවාසිකම කඩවී යාමයි. සීයා කෙනෙකුගෙන් තම සුරතල් මිණිබිරියට හුරතලයක් ලෙස සිදුකරන අතවරය සේම ආයතන ප‍්‍රධානියා වරප‍්‍රසාද පෙන්වා තම සේවක කාන්තාවක රවට්ටාගෙන ඈ අපයෝජනය කිරීම තුළ ද කඩවී යන්නේ ඒ තම සිරුර පිළිබඳ තමාට ඇති අයිතියයි. මෙය ඉතා බරපතළ තත්ත්වයකි. මේ සමගම අප සිතිය යුතු කාරණා වන්නේ මේ අයට කාන්තාවන් සහ ළමයින් ලිංගිකව හිංසනයට ලක්කරන්නට වුවමනා වන්නේ ඇයිද යන්න සහ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ කෙසේද යන්නයි. එනම් ලිංගික හිංසනය එන්නේ කොහෙන්ද යන්න කල්පනා කිරීමයි. සමාජයක් ලෙස අප ඉතා පුරුෂෝත්තම වීමත් කාන්තාව එහිදී හුදු උපයෝගිතාමය භාණ්ඩයක් වීමත් එක් කතාවකි. එය අපේ සමාජ ව්‍යුහය සම්බන්ධ ගැඹුරු ප‍්‍රශ්නයකි. එහෙත් අප ලිංගික හිංසනයේ සියලූ වගකීම් මේ සමාජ ව්‍යුහයට තනිව පවරා ඇගබේරා නොගෙන එහි සංකීර්ණතා සොයා යා යුතුයි. ළමා අපචාරවලට හේතුවක් ලෙස මනෝ - ලිංගික රෝගි තත්ත්වයන් හේතුවන බව තවත් කාරණයකි. කුමාරකාමය (ඵෙඩොඵිල්ලිආ නම් රෝගි තත්ත්වය එවැනි එකකි. එම රෝගි තත්ත්වයේදී රෝගියා ලිංගික තෘප්තිය ලබන්නේ ළමයින් සමග ලිංගික සබඳතා පැවැත්වීමෙන්ය. අනෙක් අතට අපචාර සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ තවත් මතයක් වී ඇත්තේ ලිංගික අපයෝජනයට ලක්වීමට වැඩි හැකියාවක් ඇති අවදානම් දරුවන් වත්මන් මන්ද මානසික දරුවන් බවයි. අපයෝජනයට ලක්වූ දරුවන්ගෙන් යම් ප‍්‍රමාණයක් එවැනි දරුවන් වන බව එදිනෙදා අප අසන තොරතුරුවලින්ද පෙනේ.

තවත් මානසික රෝගී තත්ත්වයක් වන්නේ පරපීඩා කාමුකත්වයයි. (Sඑxඋඅල් Sඅඩිස්ම්) සරලව ගත්විට වෙනත් කෙනකුට ලිංගික අඩන්තේට්ටම් කර තෘප්තිමත් වීමේ ස්වභාවයයි. මෙහි අනෙක් පැත්ත ස්වපීඩා කාමුකත්වයයි. එනම් අනුන්ගේ ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වීමෙන් තමා තෘප්තිමත් වීමේ ස්වභාවයයි. මෙවැනි හේතු නිසාද ළමා හා කාන්තා අපචාර සිදුවන්නට පුළුවන. කෙසේවෙතත් ඒ ළමා හා කාන්තාවන් සම්බන්ධයෙන් සිදුවන ලිංගික හිංසනයේ විද්‍යාත්මක කෝණයකි. අනෙක් පැත්තෙන් මේ අපචාර වැඩිවීමට අවශ්‍යතාව සහ හැකියාව නිර්මාණය වන්නේ කෙසේද යන්න අපේ සමාජ ජීවිතය ඇසුරින් ප‍්‍රශ්න කළ යුතු එකකි. එය බෙහෙවින්ම ප‍්‍රායෝගික ප‍්‍රශ්නයකි.

පුද්ගල හුදකලාභාවය

පුද්ගල හුදකලාභාවය ලිංගික හිංසනයට හේතුවක් වන්නේය යන්න තරමක් සංකීර්ණ කාරණයකි. එනම් අප ජීවත්වන සමාජයේ සැකැස්ම ආර්ථිකය මූලික කොටගත් එකක් නිසා සංස්කෘතික ජීවිතය පිළිබඳ සැලකිල්ල අඩුවීමේ අවාසනාවකි. ආර්ථිකය කේන්ද්‍රකරගෙන පුද්ගලයා - ආයතන ඇතුළු සමස්ත සමාජය හැඩගැසෙනවිට මිනිස් සම්බන්ධතාවල ස්වරූපයද වෙනස්වීම වැළැක්විය නොහැකිය. උදාහරණයක් ලෙස සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළම අපි කොයිතරම් හුදකලාවී ඇත්ද යන්න කල්පනා කරමු. ස්වාමියා සහ භාර්යාව දූ - දරුවන් අතර ගොඩනැගෙන සම්බන්ධතා බෙහෙවින්ම ද්‍රව්‍යකරණය වූ එකකි. ඒ නිසාම අහිමිවී යන සංස්කෘතික ජීවිතය මගින් අප පෙළෙන හුදකලාභාවය ලිංගික පීඩනයක් දක්වා අප තල්ලූ කිරීම අහම්බයක් නොවේ. කාන්තාවන් සහ ළමයින්ගේ අයිතිවාසිකම් අගය කරන හා සුරකින හිංසනයෙන් තොර සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන ආයතනයක් වන ‘‘කාන්තා පිහිට’‘ නමැති ආයතනයේ මනෝවිද්‍යා උපදේශිකා කුමාරි හේරත් ලිංගික අපචාරයට ලක්වූ අය සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇත්තියකි. ‘‘අපිට ගොඩාක් වෙලාවට ලැබෙන ලිංගික අතවර පැමිණිලිවලින් පේන දෙයක් තමයි මේ සමාජයේ බොහෝ අය හුදකලාවෙන් පෙළෙන එක. ආර්ථික වුවමනා පස්සෙම යනකොට අනෙක් සියල්ල අමතක වෙනවා. දරුවෝ වෙනත් වෙනත් දේවලට යොමු වෙනවා. බිරිඳ හා ස්වාමි පුරුෂයාත් එහෙම වෙන වෙනම ලෝකවල තනිවෙනවා. එදිනෙදා ජීවිතයේ තෘප්තිය හීන වුණාම දරණු විදිහට මානසිකව ඇතිවෙන හුදකලාභාවය මේ වන දේවල්වලට අපිව තල්ලූ කරන්නට පුළුවන්.’’ ඇය කියයි. ‘‘ඒ වාගේම රූපවාහිනිය වගේ දේවලූත් කරන්නේ අපිව තව තවත් හුදකලා කරන එක. දවල්ට මාපියෝ රැුකියාවලට යනවා. ළමයි පාසල් යනවා. ආයේ හවසට එනවා. ඇවිත් කරන්නේ ටීවී බලන එක. ඉස්සර වගේ පවුලේ සාමාජිකයන්ට ඔවුනොවුන්ගේ දුක සතුට ආදී හැගීම් බෙදාගන්නට වෙලාවක් නැහැ. අර ටීවී එකේ ටෙලිනාට්‍යවලත් පෙන්නන්නේ දික්කසාදය, අනියම් සම්බන්ධතා, තරුණ තරුණියන්ගේ බොළඳ පෙම් කතා, ලිංගිකත්වය හුවා දක්වන නොයෙක් දැන්වීම් ආදියනේ. එතකොට මේවා ඉතාම සාමාන්‍යකරණය වෙනවා. හුදකලා වෙච්චි මේ හිත්වල දුවන්නේ ඒවා. මේක බොහොම අවාසානාවන්ත තත්ත්වයක්.’’ මනෝවිද්‍යා උපදේශිකා කුමාරි හේරත්ගේ ප‍්‍රවේශය අප කාලාන්තරයක් තිස්සේ අසමින් තිබෙන දෙයකි. එහෙත් අප කල්පනා කළ යුත්තේ මාධ්‍ය එසේ හැසිරීමත් ලිංගික හිංසනයත් අතර අන්තර් පෝෂණයක් ඇති බවය. එක පැත්තකින් ලිංගික අතවර සහ ලිංගිකත්වය උලූප්පන දේ වාර්තා කිරීමට මාධ්‍ය දක්වන උනන්දුව බලවත් එකකි. එවැනි වාර්තාකිරීම් ඉතා සාමාන්‍යකරණය වීම සහ ලිංගිකත්වය සහ කාන්තාව විකුණන්නට හැකිවීම නිසා උද්ගතවී ඇති තත්ත්වයද අප සාකච්ඡුා කරන ලිංගික හිංසනයේම දිගුවකි.

අධ්‍යාපනයේ අවාසනාව

කාන්තාවන්ට ලිංගික හිංසන එල්ලවීමත්, ළමා අපචාර වැඩිවීමට අධ්‍යාපනය වගකිව යුතුද යන්න වැදගත් ප‍්‍රශ්නයකි. ලංකාවේ එදිනෙදා පළවන ළමා අපචාර හා කාන්තා හිංසනවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ග‍්‍රාමීය ප‍්‍රදේශවලින් වාර්තා වෙයි. විශේෂයෙන්ම වාර්තාවන බොහෝ ලිංගික හිංසනවල පසුබිම බාලවයස්කාර පෙම් සබඳතා බවද සත්‍යයකි. මේ අවාසනාවේ මුල බීජ ඇත්තේ තවමත් අපේ ගම්වල මිනිසුන් සිතන පතන ආකාරය අනුව බවද පෙනේ. පසුගිය 2012 වසරේ වැඩිපුරම ළමා අපචාර වාර්තා වී ඇත්තේ අනුරාධපුරයෙනි. මනෝවිද්‍යා උපදේශිකා කුමාරි හේරත් සිය උපදේශන කටයුතු කරන්නේ අනුරාධපුර ප‍්‍රදේශයේය. ‘මැදවච්චිය. කැකිරාව, රාජාංගණය වගේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල තමයි මේ තත්ත්වය වැඩිම. මේ අපචාරවලට ලක්වෙච්ච අය එක්ක කතා කරනකොට තේරෙනවා මේ අයට හොඳ අධ්‍යාපනයක් නැති බව. විශේෂයෙන්ම මාපියන්ගේ ආකල්පය. තවමත් අපේ ගම්වල අම්මල තාත්තලා හිතන්නේ තමන්ගේ දියණිවරු ලොකු ළමයෙක් වෙච්චි ගමන් කසාද බන්දලා දෙන්ඩ. ඉතින් එයාලාගේ මේ ආකල්පය අඩුවයස් සම්බන්ධතාවලට රුකුලක්. දැන් මේ ලිංගික හිංසනයට ප‍්‍රධාන හේතුවක් විදිහට ගොඩක් අය කියන්නේ බාලවයස්කාර දැරියන්ගේ අයථා පෙම් සම්බන්ධතානේ. හැබැයි කවුරුත් අහන්නේ නෑ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒකට ප‍්‍රධානම හේතුවක් තමයි ගම්වල අය අධ්‍යාපනයට දක්වන සැලකිල්ල. ඒ වගේම ඉස්සර කියපු හුදකලාභාවය. ගෙවල්වල තියෙන ප‍්‍රශ්න එක්ක ගම්වල දරුවන්ට ඉගෙන ගන්ඩ තියෙන ඉඩකඩ අඩුයි. ආර්ථිකයම නොමෙයි මම කියන්නේ. එයාලට වුවමනාවක් නැතිකම. විශේෂයෙන්ම කාන්තාව ගැන තියෙන ආකල්පය. ඉක්මණින් විවාහකරලා දීමේ තියෙන වුවමනාව. භෞතික විදිහට කොච්චර ගමට එක එක දේවල් ඇවිත් කිව්වත් තවම ගමේ අය හිතන විදිහ වෙනස් වෙලා නෑ. අධ්‍යාපනයට මාපිය උනන්දුව අඩුවුණාම එයාලගේ අවසරය ඇතුව හෝ නැතිව ළමයි පෙම්වතෙක් හොයා ගන්නවා. අවුරුදු 18 වෙන්ඩත් කලින් පැනලා යනවා. නැත්තං ගෙවල්වලින්ම බන්දලා දෙනවා. ළමයෙක් විදිහට තරුණියක් විදිහට ඉන්ඩ ඕන කාලේ විවාහ වෙලා ගැහැනියෙකගෙ භූමිකාව කරන්ඩ වුණාම එයාට ඉක්මණට එපා වෙනවා. පවුල් ආරවුල් වැඩිවෙනවා. පිරිමියාටත් එපා වෙනවා. මේ බාලවයස්කාර පෙම් සම්බන්ධතා හා විවාහ ඉක්මණට දෙදරනවා. අනියම් සම්බන්ධතාවලට ඉක්මණට යොමු වෙනවා. අනුරාධපුර ප‍්‍රදේශයේ අපිට එන ලිංගික අපචාර පැමිණිලිවලට ගොඩක් වෙලාවට මේ තත්ත්වය බලපාලා තියෙනවා.’ එමෙන්ම ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් තවත් නිරීක්ෂණයක් වන්නේ ඔවුන් පිරිමින් හමුවේ ඉක්මණින් රැුවටෙනසුලූ භාවයයි. සාමාන්‍ය පෙළත් අසමත්වී ගාමන්ට් කෙල්ලකගේ සිට විශ්වවිද්‍යාලයේ පළමු පෙළ සාමාර්ථයක් ලබාගන්නා උපාධිධාරිනියක දක්වාම එය පොදු තත්ත්වයකි. එහි අදහස සියලූ කාන්තාවන් එසේය යන්න නොවේ. මේ සඳහා ආර්ථික හා සමාජයීය කාරණා රාශියක් බලපාන්නට පුළුවන. ඒවා විස්තර කරන්නට මෙහි අවසර නැත. එහෙත් අවසාන විග‍්‍රහයේදී මේ රැුවටෙනසුලූ භාවයට අධ්‍යාපනයේ අවසානය සෑහෙන තරම් වගකිව යුතු බව පෙනේ.

ස්ති‍්‍රයගේ වගකීම

රත්නපුර ප‍්‍රදේශයේ රාති‍්‍ර සේවයට යමින් සිටි හෙදියකට අතවර කිරීම උසාවියක විභාග වූ අවස්ථාවක මහේස්ත‍්‍රාත්වරයකු, කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙනෙන්නට නොවන බවත්, කොල්ලන්ට පෙනෙන්නට බවත් අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන්ද ඉන්නා බවත් කියූ පුවත්පත් වාර්තාවක් පසුගිය දිනෙක පළවිය. මේ අපේ අධිකරණ විනිසුරුවරයකුගේ ප‍්‍රකාශයකි. ඉතින් අධිකරණයේත් විනිශ්චය අනුව ස්ති‍්‍රන්ගේ ඇඳුම ඔවුන්ටම එල්ල වන ලිංගික හිංසනයට හේතුවක් වී ඇති බවයි. මෙය මඳක් පළල්ව සිතනවිට අදහස් වන්නේ කාන්තාවන්ගේ එදිනෙදා කි‍්‍රයාකලාපය කාන්තා අපචාර වැඩිවන්නට හේතුවක් වන බවය. විනිසුරුවරයාගේ මේ ප‍්‍රකාශය අලූත් එකක් නොව අපේ සමාජයේ කාලාන්තරයක් තිස්සේ කාවැදී තිබෙන එකකි. කාන්තාවන් කොටට ඇඳගෙන පාරේ යනවිට ඒ දකිනා පුරුෂ ලිංග ප‍්‍රාණවත් වී එය දරාගත නොහැකිව එම කාන්තාවන්ට අතවර කරන්නට උත්සාහ කිරීම හෝ ඒ ඇවිස්සුණු අසහනය වෙනත් කෙනෙකුගෙන් හෝ පිරිමසා ගැනීමට යාම අර කාන්තාවන්ගේ හෝ කොටට ඇදීමේ ප‍්‍රශ්නයක්ද? ලිංගික අපචාරවල වගකීම ස්තී‍්‍රන්ටම පැවරීමට යාම සමාජයක් ලෙස අපේ පුරුෂෝත්තමභාවයත් චින්තනයේ දුගීබවත් හැර වෙන යමක් නොකියයි.

අවසාන වශයෙන් ඔඩුදුවමින් පවතින කාන්තා හිංසනය කාන්තාව සම්බන්ධයෙන් අපේ සමාජය තුළ ගොඩනැගී ඇති ආකල්පය හා දෘෂ්ටිවාදවලද ප‍්‍රශ්නයකි. දිනෙන් දින ඉහළ යන ළමා අපචාර එහි තවත් පැත්තක් නියෝජනය කරයි. කෙසේවෙතත් මේ තත්ත්වය තුළ අප රාජ්‍යයක් විදිහට ලංකාවේ කාන්තාවන් හා දරුවන් සම්බන්ධයෙන් සිතන්නේ කෙසේද යන්න බරපතළ ලෙස නිරන්තර අවධානයට ලක්කර ගත යුත්තකි. මේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ ධූරාවලියේ සිට නව ලිබරල් ආර්ථිකය තුළ පුද්ගලයා හුදකලා වීමේ අසහනය අපචාරයකින් පිටවීම දක්වා වූ නොයෙක් සංකීර්ණතා අඩංගුකර ගත් සමාජ මොහොතකි. ඒ මොහොත පිළිබඳ වගකීම ඇත්තේ දකින දකින තැන දරුවන් වඩා ගන්නා ලංකාව ආසියාවේ හොඳම අනාගතය කරන්නට හැකි දරුවන් හදන ආඩම්බරකාර තාත්තාටත් ඇමති නැන්දලා මාමාලාටත් පමණක් නොවේ. සිදුවන අතවර හිටුකියා වාර්තා කරන මාධ්‍යත්්, දුමින්ද සිල්වාගේ පන්සල් තෑගි ගන්නා මහනාහිමිවරුන්ගේත් සමස්ත පුරවැසියාගේත් නිරන්තර සැලකිල්ලට ලක්විය යුත්තකි. නැතිනම් මේ රටේ අනාගතය කරට ගැනීමට සිටිනවා යැයි කියන සියලූ දරුවන්ද ඔවුන් කුසදරන මව්වරුන්ද ලිංගික ගොදුරක ප‍්‍රතිඵල වීම වළක්වනු නොහැකිය. රටේ හෙට ගැන ලිංගික අපචාර ඇසුරිනුත් කල්පනාකරන්නට ආශ්චර්යයේ අධිවේගි මගේ සිටින ජාතියේ තාත්තලාත් දැන්වත් සිතට ගත යුතුය.

ravaya -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. අද ලිංගික අතවර හා හිංසන මුලු ලොවටම බලපාන පොදු ප්‍රශ්නයකි. ඒ පිළිබඳව දේශපාලන විරුද්ධවාදී මතයක නොසිට යථාර්තවාදීව බැලීම වඩාත් ඵලදාවී වේ. ලංකාව වෙනත් රටවල් හා සමග සසඳන විට හොඳ ස්ථානයක සිටී. ඊට හේතුව ආගමික සාදාචාරය යම්තරමක් තවමත් ආරක්ෂා වී තිබීමයි. නූතන සංනිවේදන ජාල හරහා සහ විවිධ මාධ්‍ය හරහා ගලා එන ජුගුප්සාජනක වූත් අප්‍රසන්නවූත් ලිංගික ප්‍රකාශන මෙම සමාජ කඩාවැටීම් වලට මූලිකම හේතුව වේ. එය කිසිදු අයුරකින් පාලනය කළ නොහැකි ලෙස සමාජ ගතවීමේ ප්‍රතිඵලය ලිංගික අපචාර පමණක් නොවේ. පවුල් ජීවිතවල කඩාවැටීම්ද ඒ හා සමග බැඳී බවතී. මේ යථාර්තය කවුරුන් වසන් කර වෙනත් අර්ථකථන දීමට යෑමෙන් සිදුවන්නේ එම ව්‍යසනයන් තවතවත් වර්ධනය වීම මිස මර්ධනය වීම නොවේ.

    ReplyDelete

Popular Posts

Popular Posts