Header Ads

මේ කියන්නේ කුණාටුවක් ගැනය... (අගමැතිගේ කුඩු නගරය)

‘ගම්පොළ පොලිසිය හා උසාවිය, නගර මධ්‍යයෙන් ඉවත් කර මහවැලි ගඟෙන් එගොඩ පිහිටි මහර ප්‍රදේශයට ගෙන ගොස්, දැනට එම ආයතන පිහිටි ඉඩම මහ පරිමාණයේ කුඩු ජාවාරම්කරුවකුට ලබා දී රුපියල් කෝටි ගණනක ‘සන්තෝසම්’ ලබා ගැනීමේ ප්‍රයත්නයක ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු නිරත වී සිටින බව උනන්විටියේ ශාන්ත භද්‍ර හිමියන් (අම්බුළුවාවේ හාමුදුරුවන්) නාගරික සංවර්ධන සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

ඊයේ (26දා) ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන පුවතින් හෙළිදරව් කළ මෙකී කාරණයෙන් ඉඟි කෙරෙන්නේ තවත් ‘චිකාගෝවක’ පෙර නිමිතිය. තවත් ‘බණ්ඩා අචේ’ ප්‍රාන්තයක පෙරනිමිතිය. ලංකාව, ආසියාවේ කුඩු ආශ්චර්යය බවට පත්කිරීම’ යනුවෙන් මෙම කුණාටුව හැඳින්විය හැකිය.

මීට පෙර ලංකාවෙන් හමුවූයේ කුඩු පැකට් ගණනිනි. ඒත් මේ කුණාටුව හමන භීම සමයේදී හමුවන්නේ කුඩු කන්ටේනර් ගණනිනි. ඒ සම්බන්ධ වන්නේ බලය ලත් ලේකම්වරයෙකි. දේශපාලනඥයකුගේ ගම්පොළ කාර්යාලයේ නිත්‍ය සාමාජිකයකු වූ නාගරික මන්ත්‍රිවරයෙකි. කසිප්පු සිරිසේනගේ ඉඩම කෙළවරේ පිහිටි වැවේ සොරොව්ව යට තිබී ගෝඩා හමුවුවත්, පොලිසිය කුදළාගෙන යන්නේ සිරිසේනවය. ඒ සැකයේ වාසිය සිරිසේනගේ පැත්තට නොසිටින නිසාය.

එහෙත් උඩප්පුවේදී කේරළ ගංජා හමුවන විටදීත්, අගමැති ලේකම් කුඩු කන්ටේනරයක් නිදහස් කර ගන්නට ලිපි නිකුත් කරන විටදීත්, සැකයේ වාසිය සිටියේ ඔවුන්ගේ පැත්තේය. එපමණකින් නොනැවතී ප්‍රධාන රාජ්‍ය ආයතන පවා තිබෙන තැන්වලින් ඉවත් කර කුඩු ජාවාරම්කරුවන්ට ඒ තැන් පවරා දෙන්නට දේශපාලනඥයන් කටයුතු කිරීම කනගාටුදායකය.

එසේම ගම්පොළ; මේ වනවිට කුඩු ආශ්චර්යයේ තෝතැන්න බවට පත් වෙමින් ඇති බව අනාවරණය කෙරෙන සාධක රැසකි. එහි ප්‍රධාන පෙළේ පන්සල් දෙකක් ඉදිකිරීමට යකඩ සහ සිමෙන්ති ලබා දී ඇත්තේ දැනට සිරගතව සිටින කුඩු ජාවාරම්කරුවෙක් බව පැවැසේ. ගම්පොළ උනම්බුව පාරේ නිවාස කිහිපයක මාරුවෙන් - මාරුවට කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිදරව් කරගෙන ඇත.

මෙතරම් සාධක තිබියදීත් ගම්පොළින් ඉහළ මිලක් ඇති වටිනා ඉඩම් කුඩු ජාවාරම්කරුවන් අතට පත්වේ. ඒ; අද වනවිට කුඩු ජාවාරමත්, දේශපාලනයත් යන දෙකම, එක පාරක යන නිසාය. චිකාගෝවේ මන්ත්‍රිවරුන් එක රැයෙන් කෝටිපතියන් වූයේත්, ලංකාවේ දේශපාලකයන් එක රැයෙන් කෝටිපතියන් වන්නේත් ඒ පාරේ එකට යන නිසාය. සිංහල රාජාවලියේ නම් සඳහන් රජවරුන් හය දෙනකු ගම්පොළ රජ කර ඇත.

ඒ නිසා මේ කුණාටුවෙන් ගම්පොළත්, රටත් ගලවා ගැනීමේ වගකීම ආණ්ඩුවට තිබේ. තමන්ගේ ඡන්ද පදනම හෝ ගෝල - බාලයන්ගේ හෙට දවස ගැන සිතා කුඩු ජාවාරම්කාරයන්ට බඩ පිනුම් ගසන්නට ඉඩ දීම වහාම නතර කළ යුතුය. තවදුරටත් මැති ඇමැතිවරුන්ගේ නමින් ලිපි නිකුත් කර කුඩු තොග නිදහස් කරගන්නා ලේකම්වරුන්ට එළියේ හිඳ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට ඉඩ නොදී, අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුය.

කසිප්පු සිරිසේනට තමන්ට එරෙහිව පරීක්ෂණ අවසන් කරන තුරු, වරද ඔප්පු වන තුරු මෙසේ එළියේ සිටිය හැකිද?
නීතිය ඉදිරියේ සියල්ලන් එක සමාන ලෙස සැලකිය යුතුවාක් මෙන්ම නීතිය අකුරටම ඉටු කිරීමද ආණ්ඩුවේ වගකීමක් වන්නේය. එසේ නොකොට නීතියේ දෙවඟන එක ඇසක් ඇර බැලීමෙන් සිදුවන්නේ කුණාටුව තවදුරටත් රට තුළම කරකැවීමය.

‘කුණාටුවලට බිය නොවන්න, මන්ද අපට යෑමට ඇත්තේද කුණාටු හරහාය’ යනුවෙන් මාඕ සේතුං පවසා තිබේ. අපටද ආණ්ඩුවට කියන්නට ඇත්තේ ඩොලර් මිටි ගණන් වීසි කළද, මේ කුණාටුව වහාම නතර කළ යුතු බවය. කොතරම් කුණාටු මැදින් වුවද ඒ ගමන යා යුතුමය. එසේ නොවුණහොත් අද මෙරටට පැමිණි කුඩු කන්ටේනරය, හෙට නැවක් වනු ඇත.

mawbima -
ගම්පොළ බේරාදෙන්න

ගම්පොළ පොලිසිය හා උසාවිය නගර මධ්‍යයෙන් ඉවත්කර මහවැලි ගඟෙන් එගොඩ පිහිටි මහර ප්‍රදේශයට ගෙන ගොස් එම ඉඩම කුඩු ජාවාරමේ මූලිකයකුට ලබාදී කෝටි ගණනක සන්තෝසම් ලබාගැනීමේ ප්‍රයත්නයක ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු උත්සාහයක යෙදී සිටින බව උනන්විටියේ ශාන්තභද්‍ර හිමි (අම්බුළුවාවේ හාමුදුරුවෝ) ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

උන්වහන්සේ ලිපියෙන් ආරක්‍ෂක ලේකම්වරයාට පෙන්වා දෙන්නේ මේ ක්‍රියාවට ඉඩ දුනහොත් ගම්පොළ ජාතියම විනාශ වී යනු ඇති බවයි.
සිංහල රාජාවලියේ රජවරුන් හයදෙනකු පමණ රජකම් කළ මේ රාජධානිය වත්මන් යුගය වනවිට අපගේ බලය සියයට දහයක්වත් නොමැති තත්ත්වයට වත්මන් දේශපාලනඥයන් පත්කර ඇති බවද ගම්පොළ හදවත වැනි දුම්රිය ස්ථානය අසල පිහිටි විශාල කුඹුරු ඉඩම පොදු අවශ්‍යතාවකට පවරා නොගෙන ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනකු එකතුවී එය ගම්පොළට පිළිලයක් බවට පත්ව ඇති පුද්ගලයකුට මිලට ගැනීමට කටයුතු කර ඔහුගෙන් විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවද, උන්වහන්සේ ආරක්‍ෂක ලේකම්වරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

ජාතික උරුමය රැකීමේ මධ්‍යස්ථානය නමින් බෝඩ් සවිකරගෙන මහර වෙල්යාය ගොඩකරමින් මේ දේශපාලනඥයන් ජාතියම වනසන බවද එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ගම්පොළ පිළිබඳ සැබෑ තත්ත්වය දන්නේ දිවියෙන් වැඩිසරිසක් ගෙවා අදත් එහි ජීවත්වන තමන් වහන්සේ බවද අමු අමුවේ ජාතිය වනසන දේශපාලනඥයන් සුදනන් කිරීමට කතාකරන හාමුදුරුවරු වන්දිභට්ට කතා කියන්නේ ඔවුන්ගෙන් වාසියක් ගැනීමට මිස රටට ආදරයෙන් නොවන බවද අම්බුළුවාවේ හාමුදුරුවෝ එම ලිපියෙහි දක්වා ඇත.

මේ ජාතික විපත ගැන රටට හඬ නඟා කී ඕමල්පේ සෝභිත මාහිමියන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු යැයිද, ගම්පොළ ජාතිවාදී විනාශයෙන් බේරාගැනීමට පොලිසිය හා උසාවි ගොඩනැඟිල්ල පිහිටි බිම් ප්‍රදේශ රජයට පවරාගෙන එම ප්‍රදේශය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසද උන්වහන්සේ සිය ලිපිය මඟින් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

1 comment:

  1. මේවා ගැන කිසිම වග විභාගයක් නැහැ. කීවට වැඩක් නැහැ. අනුග්‍රහය ලැබෙන පුද්ගලයන්ට කිසිම දෙයක් වෙන්නෙ නැහැ. අගමැතිලේකම් කරපු වැරැද්දට තවමත් සුදුහුණු ගානව ඇරෙන්න අපිට දකින්න, දැනෙන කිසිම දෙයක් උනේ නැහැ. ගොඩක් දේවල් වලට එහෙමයි. මේව දැකපුවහම දුන්න ඡන්දෙ ගැන දුක හිතෙනව. රට බේරගත්තට කොටියගෙන් දැන් සිංහල ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගෙන් දූෂණය, වංචාව සහ අක්‍රමිකතා වලක්වන්න කවුරැත් නැහැ. හය හතර නොදත් ළමයෙකුටත් තේරෙන දේ මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.

    ReplyDelete

Powered by Blogger.