Header Ads

ගමේ කැරැල්ල

"චණ්ඩි මල්ලිගේ පුතාගේ ප්‍රාදේශීය සභා අය-වැය ඡන්දෙත් පරාදයි..."
"එක පාරක් නෙවේ දෙපාරක්ම පරාදයි...."
"ඒ කියන්නේ චණ්ඩි මල්ලිගේ පුතාත් ගෙදරද....?"
"ඔව්... ගෙදර යන්නේ නැතිව අහවල් කෙංගෙඩියක් කරන්නද....?"
"ඉතින් මේක මහින්දගේම එවුන් මහින්දට කම්මුලට ගැහුවා වගේ වැඩක්නේ..."
"ඒ වගේ වැඩක් තමයි..."


"ඉතින් මහින්ද මොකුත් කරන්නේ නැද්ද...?"
"මොනව කරන්නද....? දැන් මහින්දගේ නාඩිවලට ගම අහුවෙන්නේ නැහැ..."
"ගම කියන්නේ මහින්දගේ හදවතනේ..."
"අනෙක මේක ගමේ ආණ්ඩුව කියලනේ කියන්නේ..."
"දැන් මේ ආණ්ඩුව තියෙන්නේ ගමේ නෙවේ අහසේ...."
"පාවෙනවාද...?"
"ඔව්... ගම වගේද චෝගම්....?"


"ඔහේ කිව්ව නේද ගම කියන්නේ මහින්දගේ හදවත කියල...."
"මිනිහෙක්ගෙ හදවත වැඩ කරන්නේ නැති වුණොත් මොකද වෙන්නේ. ඒකම තමයි මේ ආණ්ඩුවට වෙන්න යන්නෙත්...."
මේ ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවේ අය-වැය පරාජය වුණ දවසේ කැපුවත් නිල් පාට ශ්‍රී ලංකාකාරයන් දෙන්නෙක් අතර වුණ සංවාදයකි. ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවේ අය-වැය පරාජය වුණේ රට පුරා රැල්ලට ආණ්ඩුවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අය-වැය පරදිද්දීය.
"මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...."


යූ.ඇන්.පී.කාරයන් අවසන් වරට චූන් වෙලා ඡන්ද ප්‍රතිඵල ඇහුවේ 2001දීය. මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් කියනකොටම ගෙවල්වල රතිඤ්ඤා පත්තු විය. 2001ට පසු දැන් චූන් වෙන්නේ රැල්ලට පරදින ප්‍රාදේශීය සභා අය-වැය ගැන අහලාය.
හැබැයි රටේම අය-වැය පරාද වුණත් හරිය. චණ්ඩි මල්ලිගේ පුතාගේ පරාජයත් හරිය.


"කවුද මේ චණ්ඩි මල්ලි....?"
චණ්ඩි මල්ලි හම්බන්තොට තංගල්ලේ මහින්දගේ බලකොටුවේ හිටපු දේශපාලන හයිරන්කාරයෙකි. එම්.කේ. රංජිත් නොහොත් චණ්ඩි මල්ලි මහින්දව රැකගෙන දිනවන්න දකුණේ හම්බන්තොට පාතාලය එක්ක යුද වැදුණේය. මේ නිසාම මහින්ද ඔහුව 1999 දකුණු පළාත් සභා මැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස නම් කෙළේය. චණ්ඩි මල්ලි මන්ත්‍රි වුණේ කෙසේ හෝ හම්බන්තොට මහින්දට දිනවලා දීලාය. මහින්දගේ බල කිරීම මත එවකට ජනාධිපති චන්ද්‍රිකා චණ්ඩි මල්ලිට දකුණු පළාත් සභාවේ ඇමැතිකමක් දෙනු ලැබුවාය. පළාත් සභාවට තේරී පත්වූ විගස ඇමැති ධුරයක් ලැබූ චණ්ඩි මල්ලිගේ තටු හැලුණේ 2000 මහ මැතිවරණයේදීත් 2001 මහ මැතිවරණයේදීත් හම්බන්තොට දිස්ත්‍රික්කය යූ.ඇන්.පී.යට දිනා ගන්න සජිත් ප්‍රේමදාස සමත් වූ නිසාය. එයින් මහින්දද වැටුණි. 2001 යූ.ඇන්.පී. ආණ්ඩුව පිහිටුවූවාට පසු අපරාධ චෝදනා ගොනුකොට චණ්ඩි මල්ලිව අත්අඩංගුවට ගෙන නිදහස් කරනු ලැබීය. 2003 මැයි මාසයේදී ඔහුව කොළඹ කොටුවේ අධි ආරක්ෂිත කලාපයකදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. වෙඩි තියපු සැණින් මහින්ද එතැනට දිව ගියේය.


"රංජිත් (චණ්ඩි මල්ලි) මැරෙන්න පැය දෙකකට කලින් මාව හමුවෙන්න ආවා. විවාහ උත්සවයකට මට ආරාධනා කරන්න ඔහු තවත් පුද්ගලයෙක් එක්ක ආවා. ඔහු තේ කෝප්පයක් බීලා සී.අයි.ඩී.යට වාර්තා කරන්න තියෙනවා කියලා ගියා. මම සී.අයි.ඩී.යට අනතුරු අඟවල තිබුණා ඔහුගේ හතුරන් සී.අයි.ඩී.ය ඉදිරිපිටදී ඔහුව ඝාතනය කරන්න සැලසුමක් තියෙනවා කියලා. පොලිසිය මේ සැලසුම ව්‍යර්ථ කරන්න අසමත් වෙලා තියෙනවා....."
මේ මහින්ද 26.05.2003 දි අයිලන්ඩ් පුවත්පතට කී කතාවය. මහින්ද චණ්ඩි මල්ලි ඝාතනයෙන් කම්පාවට පත්වී සිටියේය. හැබැයි ඔහු චණ්ඩි මල්ලීට කෘතගුණ දක්වන්න ඔහුගේ පුතා එම්.කේ. අමිල දේශපාලනයට ගෙන ආවේය. ඔහු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට තරගකොට සභාපති විය. අද සභාපතිකම දීලා ගෙදර යන්න වෙලා තියෙන්නේ එහෙව් චණ්ඩි මල්ලීගේ පුතාටය.


"චණ්ඩි මල්ලිට වෙඩි තිබ්බෙ නම් යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේ. හැබැයි පුතාට ගෙදර යන්න වෙලා තියෙන්නේ මහින්දගේම ආණ්ඩුවෙන්නේ..."
අහන අය අහන්නේ එහෙමය. චණ්ඩි මල්ලිගේ පුතාව දෙපාරක් පරද්දල ගෙදර යන තැනටම වැඩේ දීලා තියෙන්නේ ශ්‍රී ලංකාකාරයන්ය.


"චණ්ඩි මල්ලිගේ පුතාව සභාපති කළේ කවුද...?"
සභාපති කළේ අන් කවුරුවත් නොව මහින්ද රාජපක්ෂය.
"ඉතින් මහින්දගේ මිනිහාව ගෙදර යවනවා කියන්නේ මහින්දට බය නැහැ කියන එකනේ...?"
චණ්ඩි මල්ලිගේ පුතා ගෙදර යවල ජනාධිපති මන්දිරයට ගමෙන් ගහන ටෙලිග්‍රෑම් එක අපි බය නැහැ කියන එකය.
මහින්දයි මහින්දගේ ආණ්ඩුවයි දැන් ඉන්නේ මේ ලෝකේ නොවේ. වෙන ලෝකෙකය. මහින්ද ඒ ලෝකෙට ගියේ රනිල්ගේ නිදිපෙත්ත ගහලාය.


"රනිල් විපක්ෂ නායකකමෙයි, යූ.ඇන්.පී. නායකකමෙයි තියා ගත්තම හරි. ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ආවාට කමක් නැහැ. ගම්වල ප්‍රශ්න හැදුණාට කමක් නැහැ. මහන්සි වෙන්න ඕනෑ නැහැ. වැඩකරන්න ඕනෑ නැහැ. ඕනෑවට වඩා දේශපාලනය කරන්න ඕනෑ නෑ. රනිල් ඉන්නතාක් ඡන්ද දින්නාම ඇති...."
මේ ආණ්ඩුව ගිලලා තියෙන රනිල් පෙත්තය.


"සර් අර ප්‍රාදේශීය සභාවේ පොඩි ගැටුමක් තියෙනවා..."
කවුරු හරි ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයට ගිහින් ඔය විදියට කිව්වොත් පක්ෂ මූලස්ථානේ නිලධාරියා දෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්ය.
"ඇයි මොකද ආණ්ඩුව පෙරළන්නද...? උන්ගෙ ප්‍රශ්න උන්ටම බලාගන්න කියනවා. රනිල් ඉන්නකන් මේ ආණ්ඩුව ශක්‍රයාටවත් වට්ටන්න බැහැ...."
මේ නිලධාරියා දෙන උත්තරයය.


"සර් අර මන්ත්‍රියා දඟලනවා වැඩියි..."
කවුරු හරි මහින්දට මෙහෙම කිව්වොත් මහින්ද දෙන්නේ මේ උත්තරයය.
"යන අයට යන්න කියනවා. මොකද එයා ගියා කියලා ආණ්ඩුව වැටෙනවායැ...."
මෙහෙම උත්තර දෙන්නේ දේශපාලන නිදි පෙති ගිල්ලාමය.


චන්ද්‍රිකාත් මේ වගේ නිදි පෙත්තක් ගිලලා හිටියේ 2001දීය. ඇගේ පක්ෂ මහලේකම් ඇමැතිවරුන් 10ක් විතර අරගෙන විපක්ෂයට යද්දී ඇයට ඇහැරුණි.
රනිල්ට මේ වගේ පෙත්තක් දුන්නේ ඉන්දියාවය. ඒ රනිල්ගේ 2001-2004 ආණ්ඩු කාලයේය. චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ කියන සහතිකයෙන් හදපු නිදි පෙත්ත ගිල්ල රනිල්ද සැපට නිදියගෙන සිටියේය. රනිල්ට ඇහැරුණේ මහ රෑ ජාමේ පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් නිවේදනය දකිනකොටය.
"ඕවා ඔය ප්‍රාදේශීය සභාවල පෞද්ගලික කෝන්තර. ඕක මට විරුද්ධ රැල්ලක් නෙවේ....."
මහින්ද එහෙම හිතාගෙන නින්දෙදි චෝගම් හීන දැක දැක චෝගම් රටවල් 54 ගණන් කර කර හිටියොත් ගමෙන් පටන් ගත් අය-වැය පරදින රැල්ල නතර වෙන්නේ පාර්ලිමේන්තුවට ඇවිත්ය.

උපුල් ජොසප් ප්‍රනාන්දු -

No comments

Powered by Blogger.