Header Ads

තිස්ස අබේසේකරගේ ජීවිත කතා ‍පොතට බිරිඳ අසංකා විරෝධය පායි

තිස්සගේ කලින් විවාහයන්ට සම්බන්ධ අතිශයින් පෞද්ගලික කාරණා මෙසේ පළ කිරීමෙන් ඔහුගේ චරිතයට විශාල හානියක් විය හැකිව තිබුණා
- අසංකා මොණරවිල

ආචාර්ය තිස්ස අබේසේකර සූරීන්ට උපහාර පුදමින් පසුගිය 27දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අභිනන්දන උළෙ‍ලේදී මවිසින් රචනා කෙරුණු ‘තිස්ස... තිස්ස...” නමැති ග්‍රන්ථය එළිදැක්වීමට නියමිතව තිබුණත් එය එළිනුදුටුවේය.

මෙම උළෙ‍ලේ ප්‍රධාන අංගයක් ලෙස මෙහි ආරාධනා පත්‍රයෙහි පවා ඉහළින්ම සඳහන් කොට තිබුණේ මෙම ග්‍රන්ථයයි. මෙම  උළෙ‍ලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු  ජනාධිපතිතුමාට මෙම ග්‍රන්ථය  පිළිගැන්වීමට නියමිතව තිබිණි. මෙම උළෙල පැවැති දවසේ පළවූ පුවත්පත්වල පවා සඳහන්ව තිබුණේ මාගේ මෙම ග්‍රන්ථය එදින සවස් භාගයේ එළිදකින බවයි. වඩාත් හාසේ‍යාත්පාදක කාරණය වනුයේ මෙම දැවැන්ත අභිනන්දන උළෙලින් පසු එනම් එදින රාත්‍රියේ ඇතැම් ගුවන්විදුලි නාලිකාවලින් සහ පසුදා පළවූ ඇතැම් පුවත්පත්වලද පළවූයේ මාගේ මෙම ග්‍රන්ථය එළිදුටු බවයි. සත්‍යය වනුයේ එදින මෙම ග්‍රන්ථය එළිනුදුටු බවයි. එදින සිදුවූයේ කුමක්දැයි බොහෝ දෙනෙකු එහි කර්තෘ වන මගෙන් විමසන බැවින් මෙහි සත්‍යය හෙළි කිරීම එම ග්‍රන්ථයේ කර්තෘත්වය දරන මා වෙත පැවරෙන වගකීමක් වෙයි. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පමණක් නොව දහසක් ඉක්ම වූ ආරාධනා පත්‍ර හැමෙකකම සඳහන් වූ මෙම ග්‍රන්ථය එදින නොපැමිණීමට හේතු නොදැක්වීමම මාගේ කීර්තිනාමයටද හානියකි. මෙය පාඨකයා සහ මාධ්‍යද මුලාකිරීමකි.
සැබැවින්ම මෙම ග්‍රන්ථය එදින එළිනුදුටුවේ තිස්ස අබේසේකර සූරීන්ගේ තෙවැනි බිරිඳ වන අසංකා මොනරවිල මැතිනියගේ විරෝධය මතයි. මෙම අනගි ග්‍රන්ථයේ ප්‍රකාශකයා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයයි. එය ප්‍රවීණ හා ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසකගෙන් සමන්විත ගෞරවනීය ආයතනයකි. ගතවුණු දශක දෙකක කාල පරාසය තුළ ඔවුන් දියත් කළ වගකිවයුතු ව්‍යාපෘති අතර මෙම ග්‍රන්ථය ප්‍රමුඛ තැනක් ගනු ඇතැයි සිතමි. මෙම ග්‍රන්ථයේ කතුවරයා මම වෙමි. මෙය මාගේ බුද්ධිමය දේපළකි. අබේසේකර මැතිනිය මුද්‍රණාලය වෙත ගොස් ප්‍රකාශකගේ හෝ කර්තෘගේ කිසිදු අවසරයකින් තොරව මෙම ග්‍රන්ථයේ සෝදුපත් බලමින් සිටි පිටපත ගෙදර ගෙනගොස් ඇත. එය එළිදක්වන්නට නොදෙන බවට හා එලෙස එළිදැක්වුවහොත් නීතිමය පියවරකින් එය අත්හිටුවන බවට අබේසේකර මැතිනිය මුද්‍රණකරුට පවසා ඇත. ඇයගේ තර්කය වී ඇත්තේ මෙම ග්‍රන්ථය තිස්ස අබේසේකර නාමයට ඉතා හානිකර විය හැකි දෑවලින් යුක්ත බවය. ඇයගේ පාර්ශ්වයෙන් එම තර්කය ඇයට අනුව සත්‍ය විය හැකි වුවද තිස්ස අබේසේකර වියතාණන්ගේ චරිතාපදානය ලියන කවරකුට වුවද ‘තිස්ස’ නමැති සත්‍ය චරිතය වෙනස් කළ හැකි නොවේ. යමෙකුගේ සුදුපැත්ත පමණක් වර්ණනා කිරීම චරිතාපදානයකැයි ගත නොහැකිය.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිය සංවිධානයේ පළමු සභාපතිවරයා වූ තිස්ස අබේසේකරයන්ගේ චරිත කතාව ලියන්නැයි මා හට ඇරියුම් කළේ මීට වසරකට ඉහතදීය. මම එම වගකිවයුතු අභියෝගය භාර ගතිමි. එබඳු අර්ථපූර්ණ අධ්‍යයනයකට මා හට ඇරයුම් කිරීම පිළිබඳව සහ එවැන්නකට මා සුදුසු යැයි තීන්දු කිරීම ගැන එදා සේම අදත් මම ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයට කෘතවේදී වෙමි. මෙම අධ්‍යයනය සිදුකරන අන්දම ගැන පූර්ව සැලැස්මක් ඔවුන් එකල මාගෙන් අපේක්ෂා කළ අතර මෙම ග්‍රන්ථයේ දළ සැලැස්මක් සකසා ඔවුනට දුනිමි. ඒ අනුව මම මෙම දැවැන්ත චරිතය විභාග කිරීම කොටස් 4කට බෙදීමි. එනම් ඔහුගේ ජීවිතය, ඔහුගේ කලා නිර්මාණ ජීවිතය, ඔහුගේ ශාස්ත්‍රීය හා මතවාදී ජීවිතය සමග ඔහුගේ වෘත්තීය සේවා ජීවිතය යනුවෙනි.
තිස්ස අබේසේකර සූරීන්ගේ වර්තමාන බිරිඳ විසින් මුද්‍රණයට සූදානම්ව තිබියදී වාරණය කරන ලද සිය සැමියාගේ ජීවිත කතාව පිළිබඳ ඇය සිය විරෝධය පාන්නා වූ කොටස වනුයේ තිස්සගේ ජීවිතය යන කොටසෙහි එන පරිච්ජේද කිහිපයකි. මා ඉදිරිපත් කළ යෝජනාවලියෙහි “තිස්සගේ ජීවිතය” යන කොටසෙහි මා එතුමාගේ පවුල් පසුබිම, ළමා විය, සිය පෙළපත් මහගෙදර, දෙමව්පියන්, පාසල් විය හා තරුණ විය මෙන්ම සැමියකු හා පියෙකු ලෙස ඔහුගේ පවුල් ජීවිතය ගැනද සිය දරුවන් 5 දෙනා ගැනද විමර්ශනය කරන බව සඳහන් විය. එම යෝජනාවලිය මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කරන ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ඉහළින්ම පිළිගෙන අනුමත කළා පමණක් නොව එයට අබේසේකර මැතිනියද කිසිදු විරෝධතාවක් පළ නොකළාය. අනතුරුව ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය හා මා අතර අත්සන් කෙරුණු එකඟතා ගිවිසුමෙහි ද ඔවුන් මා වෙත පවරනු ලැබ ඇත්තේ “තිස්ස අබේසේකර චරිතාපදානය” ලියන ලෙසය. තිස්ස අබේසේකර වියතාණන්ගේ චරිතය සැබැවින්ම දැකීම සඳහා සිය දරුවන් පස් දෙනා ගැනද ලිවිය යුතු යැයි මා සිතුවේ එබැවිනි. ඔහුගේ විවාහ බන්ධන තුනම ගැන අධ්‍යයනය කිරීමෙන් මා වෑයම් කළේ මෙම අද්විතීය චරිතයේ ස්වභාවය සැබැවින්ම දකින්නටය. එසේ නොමැතිව මෙම මිනිසාට සුදුහුණු ගාමින් උපහාරාත්මක අභිනන්දන ග්‍රන්ථයක් යමකුට ලියන්නට පැවරුවා නම් එය ඉතා පහසුවෙන් කළ හැකි ව්‍යාජයකි. මා වැන්නකුගෙන් එවැනි ප්‍රශස්ත ගැයුම් සිදුනොවන වග දැනගත් අසංකා මොනරවිල මැතිනිය අවසන් මොහොතෙහි මෙම ග්‍රන්ථය තමා අතට ගන්නේ ඒ අනුවය.
ඇය විරෝධය දක්වන ලද්දේ මෙහි මා තිස්සගේ පෙර දරුවන් හා පෙර විවාහ ගැන වූ පරිච්ජේදවලටය. තිස්ස තම ළමා වියෙහි දුක් විඳි අන්දම විස්තර කෙරෙන පරිච්ජේදවලටය. තමා අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව කුලී ගෙවල්වල විසූ වග තිස්සම ලියා ඇත. තිස්ස තම දරුවන් පස්දෙනාටම අසීමිතව ආදරය කළේය. සිය පෙර විවාහවල දරුවන්ගේ විවාහ උත්සවවලට පවා පියා ලෙස ඔහු සහභාගි වූයේය. මිල මුදල් වස්තුවෙන් හැකි පමණින් දරුවන්ට සිය යුතුකම් ඉටු කළේය. පෙර භාර්යාවන් පවා තිස්සගේ එවැනි උතුම් ගුණ වර්ණනා කළහ. මෙබඳු සුබවාදී මෙන්ම අසුබවාදී ගති ස්වභාවද මෙම පෘථග්ජන මිනිසා තුළ ඇති වග මම සංසන්දනාත්මකව විග්‍රහ කළේ මේ අද්විතීය චරිතය මතු කෙරෙන අන්දමිනි. අසංකා මොනරවිල මහත්මිය මුද්‍රණාලයට ගොස් ඩැහැගන්නා ලද මෙම කෘතියෙන් තිස්ස අබේසේකර වියතාණන්ගේ පෙර විවාහ හා එහි දරුවන් ගැන සඳහන් පරිච්ජේද සිය සිතැඟි පරිදි සංස්කරණය කොට ඇත්තේ මහා ‍ලේඛකයකුගේ දැනුවත් බිරිඳක ලෙස නොවේ.
මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ටෙලි නිර්මාණවේදීගේ සංසදයේ උගත්, ප්‍රවීණ, ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගෙන් සැදුම් ලත් විධායක සභාව විසින් මුද්‍රණයට පෙර මෙහි මුල් පිටපත කියවා පිරික්සන ලදී. තිස්සගේ පෞද්ගලික ජීවිතයට අමතරව සිය කලා ජීවිතය, මතවාදී ජීවිතය හා වෘත්තීය ජීවිතය අරභයා තවත් පරිච්ජේද 45කි. ඒ කිසිවකට කිසිවකු අත තබා නොමැතිවීම සතුටකි. යමෙකුගේ චරිතාපදානය සිය නිවැසියන්ට වුවමනා ලෙසකට ලිවිය හැකිද?
ජෝ අබේවික්‍රම රංගවේදියාගේ ජීවිත කතාව ලියන මහාචාර්ය ආරියරත්න ඇතුගල දැව සංස්ථාවේ සභාපතිව සිටියදී මු. අරුක්ගොඩ මහතා සමග එක්ව කළ කී දෑ නම්ගම් සහිතව විස්තර කරනුයේ චරිත ඝාතනයකට නොවේ. ජෝ හෝ කිසිවෙකු ඒවාට වාරණ පැනවූයේ නැත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චරිතාපදානය ලියන මහාචාර්ය සුනිල් ආරියරත්න මේ මහා සිනමාවේදියා කලින් විවාහ වූ විදේශීය කාන්තාව ගැන සිය ග්‍රන්ථයෙහි විස්තර කරයි. ලෙස්ටර් හෝ සුමිත්‍රා පීරිස් මහත්මිය උඩපැන්නේ නැත. මන්ද යත් ඊට වඩා උතුම් යමක් ඔවුන් සතු නිසාය. අසංකා මොනරවිල මහත්මිය “තිස්ස... තිස්ස” ග්‍රන්ථයේ පිටු කපාකොටා ඇති අන්දම දුටු විට මාගේ හිත කඩාවැටුණේ ‘විරාගය’ චිත්‍රපටය එහි නිෂ්පාදිකාව විසින් කපා කොටද්දී තිස්ස තුළ හටගත් සංවේගයට සමානවමය. “ටෙලිනිස” මෙම ග්‍රන්ථය අත්පා නොමැති දරුවකු ලෙස හෝ උපද්දවන්නට දක්වන උත්සාහයට මම කෘතවේදී වෙමි. මන්ද යත් තිස්ස අයිති මුළු ලෝකයටම වන බැවිනි.


අජිත් ගලප්පත්ති

-------------------------------------------------

තිස්සගේ කලින් විවාහයන්ට සම්බන්ධ අතිශයින් පෞද්ගලික කාරණා මෙසේ පළ කිරීමෙන් ඔහුගේ චරිතයට විශාල හානියක් විය හැකිව තිබුණා
- අසංකා මොණරවිල

තිස්ස අබේසේකරයන් පිළිබඳව අජිත් ගලප්පත්ති ලියූ ‘තිස්ස...තිස්ස’ ග්‍රන්ථය පසුගියදා පැවති තිස්ස අබේසේකර උපහාර උළෙ‍ලේදී නිකුත් කිරීමට නියමිතව තිබුණත් එය සිදු වූයේ නැහැ.  එයට හේතුව ඔබ ඊට විරෝධය පළ කිරීම බවත් පැවසෙනවා? මේ කතාව ඇත්තද? 

මා එය පළ කිරීම නතර කර නැහැ. සිදුවූ දේ ‍පොත හරියටම කියවා බලා සංස්කරණය කර ගැනීමට නොහැකිවීමයි. ‍පොත හරි විදියට සකස් කර ගැනීමට තිබූ කාලවේලාව මදි නිසා බව මම කිව්වා.  එම ‍පොත නුදුරු අනාගතයේදී ප්‍රකාශ කරන බව එදා උත්සවයේදී දන්වන ලෙසත් අපි ඉල්ලා සිටියා. මට අවශ්‍ය වුණේ අජිත්ට එන්න කියල එහි අවශ්‍ය කරන දේවල් ඉතුරු කරල අනවශ්‍ය දේවල් කපා හැරල හරි විදිහට ‘කොෆි ටේබල්’ ‍පොතක් විදියට මෙය එළිදක්වන්නයි. ඒ නිසා මම මෙය සංස්කරණය කිරීමට විද්වතෙකුට බාර දෙනවා. ඒ නිසා මෙම ‍පොත එළිදැක්වීම නතරවී නැහැ. එය ඉදිරියේදී  අජිත් ගලප්පත්තිගේ ‍පොතක් ලෙසම නිකුත් වේවි.

 මෙම කෘතිය රචනා කිරීමේ යෝජනාව මුලින්ම ඉදිරිපත් වුණේ අජිත්ගේ පැත්තෙන්ද? ඔබලාගේ පැත්තෙන්ද?
මෙය ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) ට අවශ්‍ය වුණ දෙයක්. තිස්ස අබේසේකරයන් වෙනුවෙන් යම්කිසි දෙයක් කළ යුතුයි කියා තීරණය කළාට පසු ඒ අය හිතුවා ‍පොතක් කිරීමට

 ‍පොත ලිවීම අජිත්ට බාර දීමට තීරණය කළේ ටෙලිනිසයද?
ඒගොල්ල මුලින්ම තීරණය කළා කොෆි ටේබල් ‍පොතක් කරනවා කියලා. මම දන්න විදියට  ඒ ගොල්ල මේ සඳහා කර්තෘවරු කීප දෙනෙකුගේම නම් යෝජනා කළා.

 කවුද ඒ අය?
මම හිතන්නේ එක් අයෙක් නුවන් නයනජිත්

 ටෙලිනිස තුළ මේ කාර්යය භාරව කටයුතු කළේ කවුද?
එහි සභාපති වන සුරේෂ්  අබේසේකර. මගේ ගෙදරට ඇවිල්ල ඒ ගැන කතා කළේ ඩග්ලස් සිරිවර්ධනයි, සුරේෂුයි.

 ඔබ ඒ අයට කැමැත්ත පළ කළාද? 
මම එතනදී කිව්ව තිස්ස අබේසේකර ගැන ‍පොතක් ලියන්ඩ කාටවත් දෙන්න කැමැති නැති බව.

ඒ කියන්නේ එය ඔබ විසින් ලිවියයුතු යැයි කියා කල්පනා කළාද?
මට හෝ දරුවෙකුට ලියන්ඩ දෙන්ඩ පුළුවන් කියලා හිතුවා. තව ලියන්ඩ පුළුවන් දුවෙක් ඉන්නවා. එයාට හරි ලියන්ඩ දෙන්ඩ පුළුවන් කියල මම කල්පනා කළා. ඒ කෙසේ වෙතත් කාටවත් තිස්ස අබේසේකර ගැන ලියන්ඩ බෑ මගෙන් විමසලා බලන්නේ නැතුව. ඔහුගේ ජීවිතයේ වැඩිම කාලපරිච්ජේදයක් ඔහු සමග ජීවත් වුණු පුද්ගලයා මමයි.

ඒ කොයි තරම් කාලයක්ද?
අවුරුදු 30ක්. ඒක ‍පොඩි කාලයක් නමෛයි. අවුරුදු 69ක් ජීවත් වුණු එයාගේ ජීවිත කාලෙන් අවුරුදු විසි ගණනක් හිටියා මව්පියන් එක්ක.  පළමුවෙනි බිරිඳත් එක්ක හිටිය තව අවුරුදු ගණනක්. දෙවැනි බිරිඳත් එක්ක තවත් අවුරුදු ගණනක් හිටියා. එයාගේ ජීවිතේ මේ කාලපරිච්ජේද තුන හැර ඉතිරි අවුරුදු තිහම ගත කළේ මාත් එක්ක.

අජිත් ගලප්පත්ති ‍පොත ලිවීමේ කටයුත්තට සම්බන්ධ වුණේ කොහොමද?
සුමිත්‍රා පීරිස් ගැන  අජිත් ‍පොතක් ලියා තිබුණා. ඒ නිසා මේ අය අජිත් සුදුසුයි කියා තෝරාගත්තා.

අජිත්ට ‍පොත ලිවීම බාර දීමට ඔබත් කැමති වුණාද?
මම කිව්වා අජිත්ව එවන්න කතා කර ගැනීමට කියා. ඔහු සමග කතා කළ විට මම ඔහු තුළින් දැක්කා තිස්ස අබේසේකර වන්දනාවේ යන තැනැත්තෙක්ව. ඒ නිසා මම හිතුව අජිත් අතින් කවදාවත් තිස්ස අබේසේකරට අසාධාරණයක් වෙන එකක් නැහැ කියලා. ඉන්පසු ඔහු නිතර ඇවිත් කතාබහ කළා. ‍පොත ලිවීම සඳහා මගේ උපරිම සහයෝගය ලබා දුන්නා. ‍පොත්පත් පින්තූර වගේම හමුවිය යුතු පුද්ගලයන්ගේ නම් ලැයිස්තු පවා  ලියා දුන්නා.

ඒ හමුවිය යුතු පිරිස අතරින් කලින් බිරින්දෑවරු දෙදෙනාවත් හමුවන ලෙස ඔබ කිව්වාද?
ඔව් මම කිව්වා.  බිරියන් විතරක් නොවෙයි, ඒ විවාහවල දරුවන්වත් හමුවෙන්න කියා  කිව්වා.

එතකොට ප්‍රශ්නයක් පැන නැගුණේ කොතනදීද?
ප්‍රශ්නය ආවේ ‍පොත මුද්‍රණය කරන්න දුන්නටත් පස්සේ

මුද්‍රණයට කලින් අත් පිටපත ඔබට පෙන්නුවේ නැද්ද?
නැහැ කිසිම දෙයක් පෙන්නුවෙ නැහැ. නමුත් අජිත් ‍පොරොන්දු වුණා ‍පොත මුද්‍රණයට කලින් මට පෙන්වන බවට. ඔහු මට කිව්වා “අක්ක  අනුමත නොකරන දෙයක් අපි කිසි විටක පළ කරන්නේ නැහැ” කියල.

නමුත් ඔහු කියා තිබුණා ඔබ විසින් ‍පොත සංස්කරණයට ලක් කළ බව?
දවස් දෙකකින් ‍පොතක් සංස්කරණය කරන්න පුළුවන්ද?

මෙහි තේරුම ඔබට ‍පොත පෙන්වූ බව නේද?
එයා ‍පොත ගෙනත් දුන්නේ නැහැ. මම පුතාව ඇරල මුද්‍රණාලයෙන්  පිටපත ගෙන්වා ගත්තා.

මොකක්ද ඒ තුළ ඔබ දුටු බරපතළ වැරැද්ද?
‍පොතේ මුල් පිටකවරෙ තියෙන්නේ තිස්ස අබේසේකර ඔළුවෙන් හිටගෙන ඉන්න ආකාරයක්.

එයට හේතුව ලෙස ඔවුන් මොකද කිව්වේ?
තිස්ස අබේසේකර අමුතු චරිතයක්. එයා හැම තිස්සේම ඔළුවෙන් හිට ගන්නවා. ඒකයි එහෙම කළේ කියල අජිත් පිළිතුරු දී තිබෙනවා. තිස්ස අබේසේකර ඔළුවෙන් හිට ගන්න කැමැති මනුස්සයෙක් වුණාට අපිට බැහැ කකුල් දෙක උස්සල ඒ මනුස්සයව ඔළුවෙන් හිටවන්ඩ. මේ ‍පොත සම්බන්ධව ඔබ මගෙන් විතරක් අහන්ඩ එපා. තිස්ස අබේසේකරගෙ ගෝලයෝ ඉන්නවා. ඒ අයගෙනුත් අහන්න.  ඒ වගේම සුදත් රෝහණ, සෝමවීර සේනානායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ යන අයගෙනුත් අහන්න. ඔවුන් ටෙලිනිසෙත් සාමාජිකයින්. මේ ‍පොත එළියට පැමිණීමට විරුද්ධත්වය දැක්වීම මගේ තනි තීරණයක් නොවෙයි.

ඔබ නම් කියූ තිදෙනා ඔය පිටපත දුටුවාද?
එහෙන් මෙහෙන් දැකල තියෙනවා. සෝමවීර සේනානායක කියල තියෙනවා මේ ‍පොතේ පිටු දෙක දෙක ගෙනත් දෙන්න කියවල බලල අනුමැතිය දෙන්න කියලා. ඒත් වෙලා නැහැ.

ඔබ එම ‍පොතට විරුද්ධ වන්නේ මොන වගේ කාරණා නිසාද?
 තිස්ස අබේසේකරගේ විවාහ ජීවිත සම්බන්ධ අතිශයින් පෞද්ගලික දේවල් මේ ‍පොතේ තියෙනවා. එයින් සිදුවන්නේ තිස්ස අබේසේකරගේ චරිතයට විශාල හානියක්. ඔහුගේ කලින් බිරිඳක වන සුවිනීතා කියා ඇතැයි ‍පොතේ සඳහන් වන දේවල් පිළිබඳව සුවිනීතාට වුණත් නඩුමගට බැසිය හැකියි කියා මා හිතනවා. ඒ හැර ඔහු එකම දේ නැවත නැවත කියමින් ‍පොතේ පිටු ගණන වැඩි කර තිබෙනවා.

අජිත් ගලප්පත්ති පවසන්නේ යම් චරිතයක් ගැන පරිපූර්ණව කතා කිරීමේදී එහි සුදු පැත්ත පමණක් කතා කිරීමෙන් නොනැවතී කළු පැත්ත ගැනත් කතා කළ යුතු බවයි?
ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ඕනෑම කෙනෙකුගේ චරිතයක කළු පැති තිබෙන්න පුළුවන්. යම් වටිනා පුද්ගලයෙකුගේ චරිතාපදානය ලියා අප ඔහුට ගෞරව කරනවා යන්නෙන් අදහස් කරන්නේ ඔහු විසින් තමා අවට සමාජයට හෝ යම් ක්‍ෂේත්‍රයකට සිදුවුණු සේවය ගැන පෙන්වා දීමයි. ඒ අනුව තිස්ස අබේසේකරගෙන් සිනමාවට, සාහිත්‍යයට සහ කවියට වුණු සේවය ගැන කොයිතරම් කතා කළ යුතු දේ තිබෙනවාද? ඒ හැරුණු කල කෙනෙකුගේ ජීවිතය සම්බන්ධ අතිශයින්ම පෞද්ගලික දේවල් ඔහු මියගියාට පසු අපට කතා කරන්න අයිතියක් නැහැ. මොකද ඔහු ගැන කියන කතා ඇත්තද නැත්තද කියල පිළිතුරු දෙන්න ඔහු නැති නිසා. දැන් මම ඒ මනුස්සයාගේ ගෞරවය නැතිවන දෙයක් කිව්වොත් එයට පිළිතුරු දෙන්නෙ කොහොමද? විවාහ ජීවිතය වැනි පෞද්ගලික සබඳතාවයක් ගැන කියන කාරණාවලදී වැරදි දේවල් කියැවෙන්න පුළුවන්.

ඒ අනුව ඔබ විසින් එදින මෙම කෘතිය එළිදැක්වීම නතර කරනු ලැබුවේ එයින් තිස්ස අබේසේකරගේ ගෞරවයට හානියක් වන බැවින්ද?
ඔව් ඒ හැරුණු කල වෙන කිසිම අරමුණකින් නොවෙයි.

ඔබ සිතන ආකාරයට ඔහුට නිසි ගෞරවය පුද කළ යුත්තේ කොයි ආකාරයටද? 
මූලික වශයෙන් අගෞරව නොකර සිටීමෙන්. අනෙක් කාරණය තමයි. කවුරුන් හෝ ඔහුට ගෞරව පිණිස කරනු ලබන දෙයකින් සිදුවන්නේ ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් හිත් වේදනාවක් නම් එය එම කලාකරුවාට කළ ගෞරවයක් වන්නේ කොහොමද?


තිස්ස ප්‍රේමසිරි

2 comments:

  1. ඔහුගේ බිරිඳ කියන දෙයෙහි සත්‍යයක් තිබෙනවා. යමෙක් මියගිය පසු ඔහු ගැන කියන දේවල් වලට පිළිතුරු දෙන්න ඔහුට බැහැ. අනික අතිශය පෞද්ගලික දේවල් ප්‍රසිද්ධියට පත් කල යුතුත් නැහැ. අජිත් ගලප්පත්තිට පොත ලියන්න බාරදුන්නේ 'ටෙලිනිස' නම්, එය නවත්වා ඇත්තේත් ඔවුන්ම නම්, එයට වැරැද්දක් කීමට නොහැකියි.

    ReplyDelete
  2. අසංකාව උස්සපු හැටිත් ලිව්වනම් තමා හොඳ

    ReplyDelete

Powered by Blogger.