Open top menu
Saturday, December 27, 2014
පාප් වහන්සේ එද්දී පුටුවේ ඉන්නේ කවුද?

1999 බස්නාහිර පළාත් සභා තියන්න එකල ජනාධිපතිනි චන්ද්‍රිකා තීරණය කළේ අප්‍රේල් මාසයේය. අප්‍රේල් කියන්නේ කතෝලිකයන් පාස්කු උත්සවය සමරන මාසයය. චන්ද්‍රිකා ජේ‍යාතිෂ උපදෙස් මත දිනය තීන්දු කළේ පාස්කු උත්සව සමයේය. එවකට කතෝලික පල්ලියේ අගරදගුරුව සිටියේ නිකලස් මාකස් හිමිය. එහිමි ඡන්දය කල් දමන ලෙස චන්ද්‍රිකාට කීවත් ඇය අදිමදි කළාය. අගරදගුරු කතෝලික ඉතිහාසයේ පළමු වරට පල්ලිවල පූජකයන්ට කතා කොට
Read more
Wednesday, December 10, 2014
රාජපක්ෂගේ වශී තෙල

- නිලන්ත ඉලංගමුව
වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත් දෑ කරළියට ආවේය. ආණ්ඩුවට තිබු ප්‍රභලතම අභියෝගය වූයේ අවුන් සාන් සූ කීගේ දේශපාලනයය.
මොණරා, ඇය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ ලීගයේ සංඛේතය විය. මිලිටරි ආණ්ඩුවේ ජෝතිර්වේදියාට අනුව අදාළ සංඛේතයට එරෙහිව හූනියම් කිරීමෙන් අදාළ පක්ෂයේ බලය හීන කළ හැකිය. ඒ අනුව අදාළ මිලිටරි ආණ්ඩුවේ නායකයින්ට යකදුරා කියා සිටියේ ඉටි වලින් තැනු මොණරෙකු අව්වේ තබා එම ඉටි රුව ඉර එළියට දිය වෙන තුරු යාග හෝම පවත්වන ලෙසයි.
යාගය පවත්වන දිනය උදා විය. ආණ්ඩුව ඉටි මොණරාද සමඟ අදාළ යාගයට සූදානම් විය. නමුත් දිනය පුරාම වර්ෂාව පතිත විය.යාගය මුළුමනින්ම අසාර්ථක විය.

ඉන් පසු අදාළ යකදුරා කියා සිටියේ මඩවලින් මොණරෙකු නිර්මාණය කරණ ලෙසත් එම මඩවලින් තැනු මොණරා ස්වභාවික වර්ෂාවට දියවන තෙක් පූජා පවත්වන ලෙසත්ය. දිනය උදා විය. පෙර දින කිහිපය පුරාම ඇදහැළුණු වර්ෂාව ක්‍ෂණිකව නතර විය. මිලිටරි ආණ්ඩුවේ තම දෙවන හූනියම් උත්සාහයද මුළුමනින්ම අසාර්ථක විය. මෙම සිදු වීම රටේ සෑම තැනකම ක්‍ෂණයෙන් පැතිර ගිය අතර එය මිලිටරි ආණ්ඩුවට එරෙහිව තිබු මතවාදය තවත් ශක්තිමත් කළා පමණක් නොව මිලිටරි ආණ්ඩුව හාස්‍යයට ලක්විය.

ඊයේ ( දෙසැම්බර් 08) දිනයේදී රාජපක්‍ෂ හූනියම් කරනු ලැබූ තෛලයක් තම අතෙහි තවරාගෙන ගිය බවත් එහි අරමුණ මෛත්‍රීපාල සිරිසේනගේ අතෙහි තැවරීම බවත් වාර්තා විය. නමුත් මෛත්‍රීපාල තම අත රාජපක්ෂට දීම හිතාමාතම ප්‍රතික්ෂේප කරනු ලැබීය. එය ආණ්ඩුවේ නාලිකාවල පවා විකාශය කෙරුණු දසුන් වලින් ඉතා පැහැදිලව නිරීක්ෂණය කළ හැකි විය.

මෛත්‍රීපාල, රාජපක්ෂට අතට අත දීම ප්‍රතික්ෂේප කළද ඔහු පෙරළා නිමල් සිරිපාලට දීමෙන් එය වඩාත් පැහැදිලිව දක්නට ලැබේ. රාජපක්ෂ වෙලී විටින මෝහය සහ එමඟින් ඔහු ව්‍යාකූල අයෙකු බවට පත්කොට ඇති ආකාරය දැකීමට තරම් මෙරට ජනතාව වාසනාවන්ත වීම සැබවින්ම වැදගත්ය. කලක් තිස්සේ සඟවාගෙන සිටි ගති මතුපිටට පැමිණ අප්‍රසන්න ලෙස සෙල්ලම් කරන විට රටේ ජනතාවට තීරණ ගැනීම සඳහා පහසු මාවතක් සකස්කර දෙනු ලබයි. එසේම එමඟින් කියෙවන අභියෝගයේ ප්‍රමාණයද වඩාත් වැදගත්ය. යකුන් එළවීම පහසු නැත.

හූනියම්වලට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතිබව අපි සියල්ලෝම දනිති. විශේෂයෙන් සාතන් පිදීම හෙවත් යකුන් පිදීම නමින් ප්‍රකට වූ මෙය සෑම ජන කොටසකම අංගයක් බවට පත් විය. අපට නිවැරදිව ග්‍රහණය කළ නොහැකි නොදන්නා දෙයක් තිබෙන තාක් දුරට ඊට අපගේ සිතුම් පැතුම් පවා පාලනය කිරීමට හැකියාව ඇතැයි විශ්වාස කිරීම සහ ඒ අනුව තම වත්පිළිවෙත් හැඩගසා ගැනීම, විශ්වාසය මූලික න්‍යාය කරගනිමින් තැනුණු බොහෝ ඇදහිලි වල පදනම වේ. මෙය කදිම වෙළඳ භාණ්ඩයක්ද වේ. බෞද්ධ ධර්මය ඉතා තර්කානුකූලව විස්තර කරනු ලැබුවේ සහ මෝහයෙන් මෙන්ම අවිද්‍යාවෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය ප්‍රඥාවට ඇති මාර්ගය කියාදෙනු ලැබුවේ එම පැළපදියම් වූ විෂට එරෙහිවය.

රාජපක්‍ෂ හූනියම් වලට කැමතිය. ඉන් ඔහු අසීමිත සතුටක් ලබන්නේය. පසුගිය වසර කිහිපය පුරාම, රටේ දේශපාලනය තීරණය කරණු ලැබුවේ රාජපක්‍ෂගේ හූනියම් වලින් යැයි ඔහුට ප්‍රභල විශ්වාසයක් තිබේ. රාජපක්ෂ ඊයේ දින නාම යෝජනා භාරදීමෙන් පසු වහාම තම යාග හෝම පැවැත්වීම සඳහා ඉන්දියාවට ගියේද මෙහි ඇති වැදගත්කම නිසාය. එහි ගොස් ඉටිවලින් හෝ මඩින් හංසයෙකු තනා, හංසයාට එරෙහිව යාග හෝම පවත්වන්නේ දැයි දන්නේ නැත. නමුත් මේ වන විට නිරුවතින් හෝ සිටිමින් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ හැකි උපරිමය යකුන් ඉදිරියේදී කරනු ඇත. යකාගේ පදයට නටනු ඇත.

රටේ නායකයා එනම් මෙරට මිලියන 22 කට ආසන්න ජනතාවක් පාලනය කරනු ලබන ප්‍රධානියා හැසිරෙන්නේ මෙලෙසය. දෙවියන්ට වඩා වැඩි ඉඩක් යකුන්ට ලැබී ඇති, පිං වලට වඩා වැඩි ඉඩක් පව් වලට ලැබී ඇති මේ භූමියේ ඇති අවුල කුමක්ද? රටේ නායකයින් මේ ආකාරයෙන් නාඩගම් නටන්නේ කුමන හේතුවකට දැයි යන්න සිතීම පවා අප්‍රසන්නය. මෙවැනි මිත්‍යා-දුෂ්ඨිකයෙක් රටේ නායකයා යැයි වෙනත් අයෙකු ඉදිරියේ ප්‍රකාශකිරීමට හෝ හැකියාවක් මෙන්ම ශක්තියක් තිබේද?

රාජපක්‍ෂ තම යකුන් පිදීම සඳහා තම වැය මුදලෙන් විශාල ප්‍රමාණයක් වියදම් කරන්නේය. රාජපක්ෂ, වශී බෝල පමණක් නොව වශී තෙල් සේම වශී අසූචිත තම බලය රැක ගැනීම වෙනුවෙන් අනුභව කරන සැටියෙකි. එපමණකට ඔහුට බලය රැකගැනීම වැදගත්ය. මන්ද සැඟවීමට සහ තවදුරටත් ව්‍යාකූල කිරීමට ඇති දෑ බොහෝය.

මේ අනුව අප ඉදිරියේ ඇති, සමීකරණය ඉතා පැහැදිලිය. රාජපක්ෂ රටට හූනියම් කරන්නේය. රට ඉන් මිදීමටනම් රාජපක්‍ෂට හූනියම් කළ යුතුව ඇත්තේය. මෙහි එකම ගැලවුම් මාර්ගය වන්නේ එයයි. නමුත් රටට රාජපක්‍ෂමෙන් යකුන් සමඟ නැටීමට තබා සිතීමටවත් කාලයක් නැත. රටේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ යකුන් සමඟ නටන අයවලුන් නොව මිනිසුන් සමඟ වැඩ කිරීමට හැකි මිනිසුන්ගේ ගැටලු අවබෝධවන මනුෂ්‍යයින්ට රටේ අනාගතය භාරදීමය.

රටට සහ එරට ජනතාවට කළ හැකි රාජපක්ෂට එරෙහිව කළ හැකි හොඳම හූනියම වනාහී ඔහු නෙරපීම සඳහා තම මුලික අයිතිය ප්‍රයෝජනයට ගැනීමය. එසේම ඔහු පරාජය කළ පසු, ඔහු ආරකෂා කර ගනිමින් පසුගිය වසර කිහිපය පුරා සිදු වූ අක්‍රමිකතා සියල්ලම නිවැරදිව ලේඛනගත කිරීම සහ රාජපක්ෂලාගේ සැබෑ ඉතිහාසය ලිවීමය. එමඟින් රාජපක්ෂ තම “දේශප්‍රේමයට” මුවා වී කළ සියලුම නාඩගම් වල තරම රටට හෙළිදරව් වනු ඇත. එමඟින් රට මුහුණ දී ඇති සැබෑ ගැටලු හඳුනා ගත හැකිය. රට පත් වී ඇති අඳුරු අඝාදයෙන් මිදීමේ මාර්ගය ලියවී ඇත්තේ ඒ ඔස්සේය.

සතුරා පරාජය කිරීම සහ පරාජිත සතුරා නීතියට අනුකූලව රැක ගැනීම, දේශපාලනයේ සැබෑ විප්ලවයක මූලික අවශ්‍යතාවයක් බව සිහියේ තබා ගත යුතුව ඇත්තේය.
Read more
Saturday, November 1, 2014
අවි විරෝධියාගේ ගෙදර තුවක්කුව පත්තු වීම හෙවත් තණ්හා රති රගා දේශපාලනය

විමලනාත් වීරරත්න -
මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කිහිපය පුරා පාරවල් ගානේ කිරිබත් කෑමේ මජරකමක් එදා පෙනුණේ නැත. මජරකම පෙනුණේ වසර 4-5ක් ගතවෙද්දීය. සතුරෙක් නැති රට තනි ඒකාධිකාරී පාලනයක භුක්තියට සවිවෙද්දීය. අනෙක් අතට දිගු කාලයක් පැවති යුද්ධයෙන් අනතුරුව රට ආයුධ පරිහරණය කැරෙන සංස්කෘතියකට නතු විය. මේ දෙකම බරපතළ කාරණා ලෙස කිරිබත් කන වෙලාවේ නොදැනුණත් දැන් දැනෙමින් තිබේ. සිනමාවේදී නිලේන්ද්‍ර දේශපි‍්‍රයගේ තණ්හා රතී ර`ගා චිත‍්‍රපටය තිරගත වන්නට පටන් ගන්නේ ඉහත ප‍්‍රශ්න දෙකම වඩ වඩා සමාජයට දැනෙමින් තිබෙන මොහොතකදීය. නිලේන්ද්‍ර එහිදී තේමාත්මකව තවත් වැදගත් කාරණයක් ඉස්මතු වෙයි. එය නම් පශ්චාත් යුද සමය වෙනදා මෙන්ම පීඩිතයන් පීඩාවට පත්වන යුගයක් බවත් එම පිරිස හුදෙක් ගොදුරු ලෙස තවදුරටත් මේ සමාජය තුළ සංසරණය වන බවත්ය. ඔවුන් ගොදුරු නම් එම ගොදුරු ඩැහැ ගන්නා ගොදුරු කාරකයක්ද සමාජය තුළ තිබිය යුතුය.

ගොදුරු කාරකය

යුද්ධය පැවති සමයේ උතුරින් දකුණට සංසරණය වන ආයුධවලට දකුණේ වෙළෙඳපොළක් තිබුණි. දකුණින් පැහැර ගත් වාහන උතුරට විකිණීම ප‍්‍රමුඛව ජාවාරමක් විය. එමෙන්ම කොටි සංවිධානය මුදල්වලට ගත් දකුණේ නියෝජිතයෝ සිටියහ. මේ සමහර දේවල්වලට සම්බන්ධ වූයේ සමාජයේ යම් බලයක් අත්පත් කර ගත් පිරිස්ය. ඔවුහු ජාවාරම් මගින් තම කළු ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගත්හ. උක්ත කි‍්‍රයාවලියෙහි නියමුවන් කිසිදාක හඳුනාගත නොහැකි වූ අතර කි‍්‍රයාවලියෙහි ඇන මුරිච්චි වූවෝ බලි බිලි බවට පත්වූහ. කිසිසේත්ම සම්බන්ධයක් නැති අය ජාවාරම්කාර යාන්ත‍්‍රණයේ ගොදුරු වූ අවස්ථා තිබුණි. තණ්හා රතී ර`ගා එවැනි අවස්ථාවක් පාදක කර ගන්නා අතර එය අහඹු ලෙස සිදුවන්නක්ද නොවේ යන්න තහවුරු වන්නේ මහ දේශපාලන යාන්ත‍්‍රණය විසින් චූල කතිකාවන් හා සමාජයේ පරිවාරය දිනෙන් දිනම පාවිච්චි කර ඉවත දමන සාධක ලෙස පවත්වා ගැනීම නිසාය. මානුෂික යුද්ධ නැත කියන විට සිදුවූයේ මානුෂික මෙහෙයුම්ය යන්න හිංසාව වසාගෙන වර නැගේ. දකුණට අවි ගෙනෙන විකුණන සැබෑ විත්තිකරුවන් වෙනුවට ඊට අසම්බන්ධ අය මුලින් සැකකරුවන් බවට පත්ව අනතුරුව නියම සාක්ෂි ඇතුව හෝ නැතුව වැරදිකරුවන් කර ද`ඩුවමට පාත‍්‍ර කෙරේ. පීඩිතයාට එරෙහිව නීතිය අර්ථ දැක්වීම හරි පහසුය. තණ්හා රතී ර`ගා චිත‍්‍රපටයේ සිරීගෙන් රහස් පොලිිසිය දරුවා සහ කොටි ගැන අසන ප‍්‍රශ්න ඒකමානීය. විචක්ෂණශීලි නැත. එය එක්තරා වුවමනාවකි.

මිනිස් සබඳතා

අපට ඇත්තේ සංස්කෘතිය හා භක්තිය යන දෙකෙහිම අභ්‍යන්තරයේ නොමැතිව සංස්කෘතික වන්නටත්, ව්‍යාජ ලෙස ආගමික වන්නටත් තතනන සමාජයකි. තණ්හා රතී ර`ගා මේ කාරණය ප‍්‍රබලව මතු කරයි. උතුර නිදහස් කර ගැනීමෙන් පසු විමලේ සිරි සහ සුරාජ් උතුරට විනෝද චාරිකාවක් ගියාට එය විනෝදය අහිමි චාරිකාවක් බවට පත්වෙයි. එය සිදුවන්නේ ගමනේ ඒකායන අරමුණින් විතැන්වීමේ සිටය. එසේ විතැන් වන්නේ ඇයි? උතුරට යන විට හමුවන හැම චෛත්‍යයක් ළ`ගම වැඳගෙන තාවර වුණාට ධර්මය හා දෘඩ සහජීවනය අභ්‍යන්තරයේ නැත. විනෝද සංස්කෘතිය පිස්තෝලයක් නොව මුදල් පොදියක් ලැබුණත් වෙනස් විය නොහැකිය. වෙනස් වන්නේ අප අසංස්කෘතික නම්ය. චලෙයි වෙරළේදී විමලේට කොටින් සැ`ගවූ පිස්තෝලයක් හමුවන්නේ පෙර දින හමුවී දැනහඳුනාගත් පෙම්වතිය සමග දුරකථනයෙන් ප‍්‍රථම පේ‍්‍රම සල්ලාපයේ යෙදෙනවිටය. එය හරිනම් පිස්තෝලයක් පත්තු වුවත් අවධානය නොබිඳෙන මොහොතක් විය හැකිය. එහෙත් පිස්තෝලය ඇස ගැටීමත් සමග ඔහුට පෙම්වතියගේ අවධානය ගිලිහෙයි. දුරකථනය අතහැර හෙතෙම පිස්තෝලය ස`ගවා ගැනීමේ ප‍්‍රයත්නයක යෙදෙයි.
තී‍්‍රවිලරයේ පෙට‍්‍රල් අවසන් වූ අවස්ථාවකදී පෙට‍්‍රල් රැුගෙන ඒමට යන්නේ සිරීය. ඔහු තම මිතුරන් දෙදෙනා පිස්තෝලයක් අහුලාගෙන ඒම ගැන විරුද්ධය. සිරි හමුදා රථයකින් පෙට‍්‍රල් රැුගෙන එනවිට පිස්තෝලය ගැන ඔත්තුව දුන්නා යැයි සැකකොට විමලේ බිම්බෝම්බ අනතුරු සහිත පෙදෙසක් මතින් දිවයයි. පසුව මිතුරා දිවූ කාරණය තේරුම් ගන්නා සිරී විමලේට කියන්නේ ‘කැත විදියට හිතන්න එපා මිනිහෝ’ යනුවෙනි. මිනිස් සබඳතා පළුදු කරන්නේ මේ අසංස්කෘතික සිතීමය. පිස්තෝලය ඇස ගැටුණු සැණින් විමලේට සිය පෙම්වතිය ගැන වූයේද එබඳු නොකල්පනාවකි. නැතහොත් ක්ෂණික අත්හැර දැමීමකි. එය විනෝද චාරිකාවක් ගොස් එහි වින්දනය අහිමිකර ගැනීම හා සමානය.

අඹ මිදි ජාතිවාදය

කොහෙන්ද යාපනෙන්ද මිදි ගෙනාවේ? චාරිකාවෙන් පසු දින සුරාජ්ගේ පෙම්වතිය මිදි ගෙඩියක රස බලන ගමන් ඔහුගෙන් අසයි. ඔහු ඔව් කියයි. හරි ෂෝක් අනේ ඇය පිළිවදන් දෙයි. විමලේ අම්මාටත් සිරි, බිරිඳට හා දරුවන්ට කියන්නේත් යාපනයෙන් මිදි හා අඹ රැුගෙන ආ බවය. ඒවා ඔවුන් මිලදී ගත්තේ කොළඹ නගරයෙනි. මේ රැුවටීම හා රවටා ගැනීම මිනිස් ආධ්‍යාත්මය පුරා ඔඩුදුවා ඇති සෙයකි. යාපනේ නෙවෙයි නම් ඒ මිදි හෝ අඹවලට ඒසා වටිනාකමක් ඔවුන් කිසිවෙක් දෙන්නේ නැත. අඹ මිදි සේම යුද්ධයෙන් පසු ඇති වූ බහුතරයකගේ දේශපේ‍්‍රමයත් ඇත්තටම උතුරේ යුද්ධය නිසා හෝ ඒ ජයෙන් පැනනැගුණු එකක් නොවේ. සමහර විට මිදි හා අඹ කොළඹින් ගත්තා සේම දේශ පේ‍්‍රමයත්් බෞද්ධලෝක මාවතෙන් තුම්මුල්ලෙන් පැනනැගුණු එකකි. බොදු බලසේනා, රාවණා බලය, සිහළ රාවය ආදී ජාතිවාදී කල්ලි කණ්ඩායම් යාපනේ කොටි පරාජයෙන් පැන නැගුණු අඹ, මිදි බවට පත්වූයේ ඒ කිසිවකුත් ශරීරයෙන් කැපවූ යුද්ධයකින් අනතුරුව නොවේ. වෙනත් පටු අරමුණු පදනම් කර ගෙනය. අද රට තුළ තිබෙන්නේ අඹ මිදි මට්ටමේ ලොල් වඩවන ජාතිවාදයක් මිස අන් යමක් නොවේ.
නිලේන්ද්‍ර අඹ හා මිදි කොළඹින් ගන්නට සලස්වන්නේ මේ කාරණය ගැන සවිඥානිකව බව පෙනේ.

සංඥාර්ථ

ස්ටැනිස්ලවුස්කිට අනුව රංග විද්‍යාවේදී ගැටලූව වේලාසන නොපෙන්විය යුතුය. මෙම සිනමා නිර්මාණයේදී නිලේන්ද්‍ර ඇතැම් විටෙක ගැටලූව වේලාසන සංඥා කරයි. සමස්ත සිනමාව තුළ නාගයකුගේ සංකේතාර්ථය යොදා ගන්නේම ගැටලූවක් අභිමුවේ බව පෙනේ. නයා ප‍්‍රධාන වශයෙන් අවස්ථා තුනකදී දක්නට ලැබුණි. පළමු අවස්ථාව පිස්තෝලය සහිත මල්ලෙහිය. දෙවැන්න මිතුරන් තිදෙනාට පාර වැරදී හමුදාවෙන් නවතාගෙන සිටින රාති‍්‍රයේදීය. අන්තිම අවස්ථාව දරුවකු ඇත්ත පිස්තෝලයෙන් සිය සොයුරියට වෙඩි තැබීමට මොහොතකට පෙරය. මේ සෑම අවස්ථාවකම නයාගේ සංකේතයෙන් පසුව ගැටලූවකට පාත‍්‍රයෝ අභිමුඛව වූහ. ගැටලූව උද්ගත වන්නට ඉඩ හරිනවා හැර ඊට අප වේලාසන කඩාවැදිය යුතුද? එමෙන්ම මූලික තේමාව ධාරණය කරවීම පිණිස භාවිත කර ඇති ඇතැම් රූප රාමුවලින්ද මේ ප‍්‍රශ්නයම මතු කරයි. චිත‍්‍රපටය අවසානයේ සිරගතව සිට එන මිතුරන්ට නගරාශි‍්‍රත තැනි බිමක තිබී හමුවන රම්බෝ පිහිය වීසි කිරීම හා එම ස්ථානයේම මරා දැමුණු තරුණියකගේ සිරුරක් දර්ශනය වීම සිනමා පටයට එල්ලා ඇති දේවල් ලෙස පෙනේ. පිහිය හමුවන විටත්, මළ සිරුර හමුවන විටත්, ආයුධ සංස්කෘතිය නිසා සමාජය අත්පත් කරගත් මහා විනාශය තණ්හා රතී ර`ගා තුළ පූරණය කර ඇත. ඉන් අනතුරුව තවදුරටත් එය පුනරුච්ඡුාරණය කළ යුතුද? අවසාන දර්ශනය විමලේගේ බඳු තවත් තී‍්‍රරෝද රථ තුනක් උතුරබලා වේගයෙන් ගමන්කරන රූප රාමුවකට ජේදනය වීම පිළිගත හැකිය. ඒ මෙම කි‍්‍රයාවලියෙහි අනවරත බව සංකේතවත් කිරීම පිණිසය.

පැරණි උපක‍්‍රමයක්

චන්දරේ පශ්චාත් යුද අවදිය තුළ පැරණි උපක‍්‍රමයක් බව පෙනේ. සුරාජ් මුහුණදෙන ගැටලූව වෙනත් මානයකින් ඉදිරිපත් කරන්නටත් තිබුණි. කොළඹ සමාජයෙන් ඒ සඳහා ඕනෑතරම් ක‍්‍රම සොයා ගැනීමට බැරි නැත. චන්දරේ මෙන්ම ඔහු පසුපසින් නොණ්ඩි ගසමින් යන එන සගයාද ඕලාරික භාවිතාවකින් එහාට පොළා පනින්නේ නැත. ඔවුහු ගණන්කාර කමේ ගැඹුරක් ගෑවිලාවත් නැති නිශ්ඵල නාගරිකයෝ වෙති. අහිංසකයන්ට සිදුවන සමාජ අසාධාරණය ගැන කීම සඳහා චන්දරේ සුරාජ්ගේ පේ‍්‍රමයට සතුරකු වීම හා විමලේගේ බාප්පා විමලේගේ පැවැත්මට සතුරකු වීම භාවිත කළ හැකිය. එහෙත් නිලේන්ද්‍ර මතුකරන පශ්චාත් යුද අවදිය පිළිබඳ මහේක්ෂ කතිකාවතෙහි දුරස්ථ සාධක ලෙස පවා භාවිත කිරීමට උක්ත චරිත සරල වැඩිය. මීට වඩා බලවත් සතුරන් විමලේට හෝ සුරාජ්ට අභිමුඛව විය යුතුය යන්න ඉන් අදහස් නොවන නමුත් ඊට වඩා සතුරු බව පිළිබඳ ව්‍යක්ත හේතු ප‍්‍රත්‍යයක් මෙම චරිතවලට අභිමුඛ කිරීම වටී.

හමුදාව – පොලිසිය

චිත‍්‍රපටය තුළ හමුදාව අන්තර් මිනිස් කි‍්‍රයාවලිය තුළ නිසි තැන තබන නිලේන්ද්‍ර පොලිසිය කුජීත කර දමයි. කොටි පරාජය කළ ගමන් උතුරේ විනෝද චාරිකා යනෙන ජනතාව ගැන හමුදාව සිතන්නේ කොහොමද? එහි තිබුණේ තනිකරම ජීවිතයත් මරණයත් අතර ද්වන්ව තත්ත්වයකි. එහෙත් දැන් ගුණසිංහ පුරේ එවුනුත් නාන්නට චලෙයි එයි. මෙය කෙතරම් උත්ප‍්‍රාසවත් කාරණයක්ද? යුද්ධයෙන් අනතුරුව උතුර ජයගත් හමුදාව එහි විනෝද චාරිකා ගිය ජනයා දෙස බලන දෘෂ්ටියෙහි ස්වභාවය මීට පෙර නිර්මාණයකදී විවරණය නොවුණි. හමුදා සාමාජිකයෝ උත්ප‍්‍රාසාත්මකව සිවිල් ජනයාගේ විප‍්‍රකාරය දකිති.

අපිව අවුරුදු තිහක් මදුරුවෝ කෑවා. තමුසේට එක දවසක් මදුරුවෝ කකා ඉන්න බැරිද? එක අවස්ථාවක හමුදා සාමාජිකයකු සිරිගෙන් විමසයි. උතුරේ මොන ජාතියේ යුද්ධයක් තිබුණත් දකුණේ ජන මනස හැදී තිබුණේ මදුරුවෙක් විදිනවාටත් අකමැති මානසික පසුබිමකය. පිස්තෝලය නිසා හමුදා බාධකයෙන් ජය ගැනීමේ අවශ්‍යතාව සිරි මෙහිදී ප‍්‍රකට කළත් දකුණේ ඇත්ත තත්ත්වය සුවපහසුව පිළිබඳ අපේක්ෂාවකි.

හමුදාව භාරයේ රැුය ගත කර උදෑසන යන්නට පිටත් වන මිතුරන්ට හමුදා සාමාජිකයකු ආහාර පාර්සලයක් දෙයි. එහෙත් පොලිසිය ඉන්නේ ඊට අංශක 180කින් අනික් පැත්තේය. ඔවුන් උතුරේ අහිංසක වැසියන් හැකි සියලූ ආකාරයෙන්ම සූරාකන අතර දකුණේ අයට ද පොලිසියෙන් ගැලවීමක් නැත යන්න නිලේන්ද්‍ර මෙම චිත‍්‍රපටය තුළ තිරව ප‍්‍රතීයමාන කර තිබේ. එහෙත් නිලේන්ද්‍රගේ මතය මුළුමනින් ඇත්තක් නොවේ. මෙම යුද කි‍්‍රයාවලිය තුළ හොඳ නරක යන කාරණය සාපේක්ෂය. දෙපිරිසම නිලේන්ද්‍ර විවේචනය කරන ආයුධ සංස්කෘතියට පාදක යුද දේශපාලනයෙහි මුල ආයතන දෙකකි. මෙම ආයතන දෙක අතරිනුත් හමුදාව පශ්චාත් යුද අවදිය තුළ දකුණේ පාලනයට අවශ්‍ය පරිදි උතුරේ ජනයා හසුරුවන හා පෙළන බලවේගය විය. ඔවුහු උතුරේ ජනයාගේ මළවුන් සැමරුමටත් තිරස්චීන ලෙස බාධාකරන අතරම දකුණේ මහජන විරෝධතාවලට වෙඩි තබා ජනයා ඝාතනය කළහ. එබැවින් හමුදාව අරභයා නිලේන්ද්‍ර ලියූ සහතිකය ගැන ඔහු යළි සිතා බැලීම වැදගත්ය.

ළමයි හා ජනතාව

ගැහැනු දරුවන් බෝනික්කන්ටත් පිරිමි දරුවන් බෝලවලටත් ආශා කළ යුගය නිමාවී ඒ දෙපිරිසම තුවක්කුවලට ඇලූම් කරන යුගයක් පැමිණීම ආයුධ සංස්කෘතිය තුළ සාමාන්‍යයකි. ආයුධ විෂයෙහි සාමාන්‍ය ජනයාත් ළමයින් වගේය. ළමයිනුත් සාමාන්‍ය ජනයා වගේය. විමලේ සහ සුරාජ් චලෙයි වලින් පිස්තෝලයක් අහුලාගෙන ඒම ගැන සිරි මුල සිටම විරුද්ධය. එහෙත් අවසානයේදී ඒ පිස්තෝලය අතිමහත් ඛේදයක් උදාකරමින් පත්තු වන්නේ මුල සිටම ආයුධවලට විරුද්ධ වූ මිනිසාගේ ගෙදරය.
යළි ඉස්මතු වී පෙනෙන්නේ නිලේන්ද්‍ර දේශපි‍්‍රය සිය සිනමා ප‍්‍රස්තුතයේ යටි පෙළ ප‍්‍රබල කියවීමකට පසුකර ගන්නා ආකාරයයි. තුවක්කුවලින් එනම් ආයුධ සංස්කෘතියෙන් වැඩිම හානිය සිදුවන්නේ නිරායුද හා ඊට එරෙහි වූවන්ට යන්නය. යුද වකවානුව දෙස බැලූවත් පශ්චාත් යුද අවදිය දෙස බැලූවත් සැබෑ තත්ත්වය එය නොවේද?
Read more
Friday, October 10, 2014
කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (2වන කොටස)

බැංකු ගිණුම සුද්ද කිරීම

සජින් සඳහා පෙනී සිටි නීතිඥයා වුණේ ලක්ෂ්මන් රණසිංහ ය.

දැන්, නොගෙවන ලද තවත් ණයක් ඉල්ලා සජින්ට විරුද්ධව හැටන් නැෂනල් බැංකුවත් තවත් නඩුවක් පවරා තිබුණි. එය කොළඹ සිවිල් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, ෂර්මා සමග ඇති කරගත් හුටපටයෙන් වැඩි කලක් ගියේ නැත. සජින්, ට‍්‍රයිකෝ සමාගමේ සේවය සඳහා ඩුබායි බලා පිටත් විය.

මෙකී දේවල් ටික විතරක් වුණත්, කෙනෙකුට ඕනෑවටත් වැඩි ප‍්‍රශ්න ගොන්නකි. එහෙත් සජින් වාස් ගුණවර්ධනගේ නොපනත්කම් නතර නොවුණි. මෙවර මේ චාටුකාර තරුණයාගේ ගොදුර වන්නේ, ඔහුගේ පළමු බිරිඳ වන චරිනීගේ පියා ය. තමන්ට සුපුරුදු තවත් මගඩියකින් ගොඩ ඒම සඳහා රුපියල් 600,000 ක් අවශ්‍ය වූ අවස්ථාවක, සජින් බෑනා ගියේ මාමා වෙතටයි. කරුණාබර මාමා කෙනෙකු වූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වා, සිය අත්සන සහිත හිස් චෙක්පතක් බෑනාට දුන්නේය. එම චෙක්පතට වහාම රුපියල් 2,000,000 ක මුදලක් ලියාගෙන මාමාගේ බැංකු ගිණුම බෑනා හිස් කෙළේය. ජනාධිපතිවරයාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ, හිටපු පොලිස් නිලධාරියෙකි. කාලයිල් සිල්වා ඔහුගේ දීර්ඝ කාලීන මිතුරෙකි. තමන්ට සිදුවූ අබැද්දියත්, සජින්ගේ සටකපට කමත් ඔහු චමල් රාජපක්ෂට විස්තරාත්මකව ලියා දැන්නුවේය.

මෝටර් රථය විකිණීම

මෝටර් රථයක් පිළිබඳ තවත් පරහක් ද තිබුණි. ඒ 1996 මුල් කාලයයි. එකල ඔහුගේ ව්‍යාපාරික සගයා වූ මනෝ නානායක්කාරට මේ සජින් තමන්ට හිමි නැති වාහනයක් ඉතා සාර්ථකව විකිණුවේය. මේ දක්වාමත් මනෝ නානායක්කාර මේ චාටුකාර තරුණයාට වසඟ වී සිටියා විය හැකිය. එනිසා, 1996 පෙබරවාරි හෝ මාර්තු මාසයේ යම් දවසක, කළු පාට අළුත්ම පාහේ මිට්සුබිෂි ලාන්සර් රථයකින් සජින් පැමිණ එය විකිණීමට අවශ්‍ය බව කී විට නානායක්කාර එය මිළදී ගැනීමට කැමති විය. වාහනය පදවා තිබුණේ සැතපුම් 2000 ක දුරක් පමණි. ඒ තත්වයේ වාහනයක් සාමාන්‍යයෙන් රුපියල් 950,000 ක් පමණ විය හැකි නිසා, මෙම වාහනය රුපියල් 850,000 කට මිළදී ගැනීමට නානායක්කාර කැමැත්ත පළ කෙළේය. ඒ මුදල භාරගත් බවට සජින් කුවිතාන්සියක් ද අත්සන් කොට නානායක්කාරට දුන්නේය.

අශූචි ගොඩ විදුලි පංකාවේ වැදුණේ එවිටයි. දවසක් නානායක්කාරගේ මහළු රියැදුරා එම වාහනයෙන් යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ඇතුළු වන විට එය නතර කළ සමාගම එය තමන්ගේ වාහනයක් බව කීය. මේ වාහනය සජින් වාස් ගුණවර්ධන යුනයිටඞ් මෝටර්ස් ආයතනයෙන් බද්දට ගත් වාහනයකි. සජින් වාස් ගුණවර්ධන තුන්වැනි පාර්ශ්වයකට විකුණා තිබුණේ, තමන්ගේ නමට අයිතියක් නැති එකී වාහනයයි. එසේම යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙවිය යුතු මාසික වාරිකයත් ඒ වන විට ඔහු මාස හතරකින් පැහැර හැර තිබුණි.

දැන් යුනයිටඞ් මෝටර්ස් ආයතනය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව, පොලිස් නිලධාරීන් පිරිසක් නානායක්කාරගේ තලාහේන නිවසට ගොස් මුල්ලේරියාව පොලිස් ස්ථානයට වාර්තා කරන්නැ යි දැන්වූහ. දැනට ඔස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර වාසය කරන නානායක්කාර පවුලට සමීප ආරංචි මාර්ග මේ පුවත්පතට දන්වන පරිදි, කෙලින්ම සජින් වාස් ගුණවර්ධනව අල්ලාගෙන, තමන්ගේ රුපියල් 850,000 නානායක්කාර ඉල්ලා ඇත්තේ මේ අවස්ථාවේ ය. එසේම, වාහනය ආපසු යුනයිටඞ් මෝටර්ස් ආයතනයට ගෙන ගොස් ඔහු විසින්ම භාර දීමත් අනිවාර්ය කෙරුණි. එසේ නොවුණොත්, හිරේ තපින්ට වන බව මනෝ සිය මිතුරාට පැහැදිළි කර දුනි. අවසානයේ එම අයථා ගනුදෙනුව සමථයකට පත්කර ගැනුණේ එයාකාරයෙනි.

කෙළවරක් නැති ලැයිස්තුව

කලින් ද අප කී පරිදි, ලැයිස්තුවේ ඉවරයක් නැත. දැන් ඔහු පැටලෙන්නේ බි‍්‍රතාන්‍ය ජාතික විදේශ ගමන් බලපත‍්‍ර අංක 022542371 සහිත, විදේශ කාන්තාවක් සමගයි. ඇගේ නම පෝලින් එඞ්විනා විලියම්ස් ය. ඇය සිටියේ ලොකු කරදරයකයි. 2002 සැප්තැම්බර් හරියේ, ට‍්‍රාන්ස් ඒෂියා හෝටලයේ කාමර අංක 242 ඈ ලැගුම්ගෙන සිටියාය. ඈට ‘ක්‍රොෆ්ට් ඔරිජිනල්’ නැමැති විනෝද යාත‍්‍රාවක් තිබුණි. මේ කියන කාලයේ එම යාත‍්‍රාව ‘කලම්බු එන්ජිනියරින් එන්ටප‍්‍රයිස්’ අංගනයේ ගාල් කොට තිබුණි.

මේ යාත‍්‍රාවේ සිදු කළ යුතුව තිබූ ඇතැම් අළුත්වැඩියා කටයුත්තක් ඈ භාර දී තිබුණේ, ජා-ඇල ඇලෙක්සැන්ඩි‍්‍රයා එස්ටේට්හි, 7 වැනි පටුමගේ අංක 6 දරණ නිවසේ පදිංචි ෆ‍්‍රෑන්ක් විල්ෆ‍්‍රඞ් පෙරේරා නැමැත්තෙකුටයි. අදාළ අළුත්වැඩියාව සඳහා වන ස්ටර්ලින් පවුම් 9500 ක මුදලක් 2002 අපේ‍්‍රල් 24 වැනි දා, විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ ජා-ඇල කොමර්ෂල් බැංකු ගිණුමට(8810002051) පෝලින් එඞ්විනා විලියම්ස් ගෙවා තිබුණි.

කිසි අළුත්වැඩියාවක් කිරීමට පෙර 2002 ජුනි 10 වැනි දා විල්ෆ‍්‍රඞ් පෙරේරා අභාවප‍්‍රාප්ත විය. තමන් ගෙවූ මුදල ආපසු ලබා ගැනීමට එඞ්විනා විලියම්ස් තෙස්තමේන්තු නඩුකරයකට බැස්සාය. මේ අතර, මියගිය විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ සම්බන්ධතාවත් අපූරුයි. චරිනී ද සිල්වාගෙන් දික්කසාද වී දැන් සජින් වාස් ගුණවර්ධන විවාහ වී සිටියේ ගුවන් සේවිකාවක වූ දිල්රුක්ෂි සමගයි. ඈ, මියගිය විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ දියණියයි. එසේම, තවත් ඇමරිකානු ඩොලර් 11,000 ක මුදලක් 2000 ඔක්තෝබර් මාසයේදී තමා විසින් විල්ෆ‍්‍රඞ් පෙරේරාට දුන් බවත් එඞ්විනා විලියම්ස් කියා සිටියාය. එහෙත් විනෝද යාත‍්‍රාවේ කිසි අළුත්වැඩියාවක් විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ පැත්තෙන් කෙරී තිබුණේ නැත.

මීට අමතරව පෝලින් එඞ්විනා විලියම්ස්ගේ තවත් දුක්ගැනවිල්ලකුත් තිබුණි. මේ කාලය වන විට සජින් වාස් ගුණවර්ධන විනෝද යාත‍්‍රා අළුත්වැඩියාවට අතගසමින් සිටියේය. සමහර විට, රනිල් වික‍්‍රමසිංහගේ අගමැති කාලයේදී සජින්ගේ පියා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුර ඉල්ලා සිටියේ මේ නිසා විය හැකිය. එහෙත්, රනිල් වික‍්‍රමසිංහ ඔහුගේ ඉල්ලීමට කන්දුන්නේ නැත.

ඒ කරුණු කෙසේ වෙතත්, තමාගේ යාත‍්‍රාව අළුත්වැඩියා කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධනත් ඇමරිකානු ඩොලර් 8000 ක් තමාගෙන් ලබා ගත් මුත් කිසි අළුත්වැඩියාවක් නොකළ බවට පෝලින් එඞ්වින් විලියම්ස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය දැන් ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බැවින්, විශේෂ ඇටර්නි බලය පවරමින් තමා වෙනුවෙන් කටයුතු කිරීමට කෙනෙකු, හල්ෆ්ට්ස්ඩෝප් වීදියේ අංක 218 ස්ථානයේ පිහිටි කේ. පී. ලෝ ඇසොසියේට්ස් හරහා ඈ පත්කළාය. සජින් වාස් ගුණවර්ධනට එරෙහිව කරන ලද ඇගේ පැමිණිල්ල ගැන කොළඹ වංචා විමර්ශන අංශයේ හෝ වෙනත් පොලිස් ස්ථානයක කෙරෙන ඕනෑම පරීක්ෂණයක දී ඇය වෙනුවෙන් පෙනී සිටීමට ඒ අනුව එම තැනැත්තාට බලය පැවරුණි.

ඇත්තෙන්ම, වංචා විමර්ශන අංශය පොලිස් පරීක්ෂක (දැන් සහකාර පොලිස් අධිකාරී) පිල්ලේ හරහා සජින් වාස් ගුණවර්ධනව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගත් බවත්, දැන් තමන් ඔහුව සොයමින් සිටින බවත්, ඇටර්නි බලය සහිත තැනැත්තාට වංචා විමර්ශන අංශය මගින් දැනුම් දෙන ලදි. අනතුරුව වංචා විමර්ශන අංශය ජා-ඇල නිවසට ගියේය. සජින් දැන් ට‍්‍රයිකෝ ආයතනයේ සේවය කරන බව එහිදී ඔවුන්ට දැනුම්දෙන ලදි. පොලීසිය ට‍්‍රයිකෝ ආයතයනට ගියේය. ඔහු ඩුබායි කාර්යාලයට මාරු වී ගොස් ඇති බව එහි දී දැනුම්දෙන ලදි.

එතැන් සිට වැඩි කාලයක් ගියේ නැත. සජින් වාස් ගුණවර්ධන විල්ෆ‍්‍රඞ් පෙරේරාගේ දියණියගෙන් ද දික්කසාද විය.

ඉතිං, රාජපක්ෂ විසින් සිය සේවාව සඳහා දැන් බඳවාගෙන ඇත්තේ, අයහපත් කල්ක‍්‍රියාව නිසා රනිල් වික‍්‍රමසිංහ විසින් ප‍්‍රතික්ෂේප කරන ලද, පුරුද්දට මගඩිකම් කරන මේ තරුණයාව ය. සමහර විට ඒ, ඉංග‍්‍රීසි හරඹය තමාටත් ලස්සණක් වෙතැ යි සිතීම නිසා විය හැකිය.

මග නැගුම

ඩුබායිහිදී දුන් පොරොන්දුව පරිදි, 2003 දී ආපසු ලංකාවට පැමිණීමෙන් පසු සජින් කෙලින්ම මහින්ද සමග වැඩට බැස්සේය. 2004 මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කොට මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට සහ මහාමාර්ග අමාත්‍ය ධුරයට පත්වූ පසු, ‘මග නැගුම’ ව්‍යාපෘතියේ සාමාන්‍යාධිකාරී වශයෙන් සජින් වාස් ගුණවර්ධනව පත්කෙරුණි. කෙසේ වෙතත්, ෂර්මා නඩුවේ දී ඔහුට ඇප දුන් එක් මාමා කෙනෙකුට අයත් සමාගමකට ‘මග නැගුම’ ව්‍යාපෘතිය හරහා වැඩියෙන් මුදල් ගෙවා තිබීම පිළිබඳ ප‍්‍රශ්නයක් මත එම තනතුරින් ඔහුව ඉවත් කොට, පසුව පලාලි ගුවන් පථය සහ කන්කසන්තුරේ දියකඩනය පිළිසකර කිරීමේ ව්‍යාපෘතිවල උපදේශකයෙකු වශයෙන් පත්කරන ලදි.

කෙසේ වෙතත්, එවක අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සමීප සම්බන්ධතාව හේතුවෙන් ‘සීමාසහිත මග නැගුම මාර්ග ඉදිකිරීම් සම්පාදන සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට පවා, එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු නොවුණද, ඔහුව කැඳවුණි.

මොන හේතුවක් නිසා හෝ විපක්ෂ නායක මහින්දට සහ අගමැති මහින්දට නැතුවම බැරි කෙනෙකු වූ ඔහු, ගිය වසරේ (2005) ජනාධිපතිවරණයේ දී තවදුරටත් ප‍්‍රයෝජනවත් පුද්ගලයෙකු බවට විය.

චින්තනය

මහින්ද චින්තන ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා සජින් වාස් ගුණවර්ධන තරු පහේ ‘සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ’ කාමර 25 ක් තම නමින්, රාජපක්ෂ කඳවුර සඳහා වෙන් කෙළේය. ඒ සඳහා වන යෝධ බිල්, වරින් වර හෝටලයට පැමිණ ඔහු නිතිපතා ගෙව්වේය. එයින් එක කාමරයක් ඔහුට වෙන් විය.

කෙසේ වෙතත්, 2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තත්වය තරමක් අප‍්‍රසන්න විය. ඉහත කී කාමරවල පදිංචිව සිටි සියල්ලන්ම පාහේ, ජයග‍්‍රහණයෙන් පසු කාමර හැර ගියහ. එහෙත් හෝටලයට පියවිය යුතු රුපියල් මිලියන 2 ක බිලක් ඉතිරිව තිබුණි.

මේ ගැන කලබලයට පත් හෝටලය ‘ප‍්‍රාණ ඇපකරුවෙකු’ තියාගත්තේය. ඔවුන්ගේ වාසනාවට, අනිත් සියල්ලන්ම කාමර හැර යද්දී එක් අයෙක් පමණක් කාමරයක ඉතිරිව සිටියේය. ඒ වෙන කිසිවෙකු නොව, ජනාධිපති උපදේශකයෙකු වන, දයාන් ජයතිලකයි.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ. සමහර විට හෝටල් කාමරේ දැන් සිටියා ඇතැ යි සිතූ දයාන් ජයතිලක යන්ට සැරසෙද්දී, ඉතිරිව ඇති සම්පූර්ණ බිලම නොගෙවන්නේ නම්, ඔහුට යාමට ඉඩදිය නොහැකි බව හෝටල් පරිපාලනය දන්වා සිටියේය. බෙහෙවින් ආචාරශීලීව සමාව භජනය කරමින් හෝටලය කියා සිටියේ: ‘‘අපිට බොහොම කණගාටුයි. අපේ සල්ලි අය කරගන්න තියෙන්නේ ඔබතුමාගෙන් විතරයි.’’

එවිට ජයතිලක සැර වුණි: ‘‘මගෙන් අහන්න එපා. ඒක සජින්ගෙන් අහනවා. බිල් ගෙවන්න ඕනේ එයා.’’

ඉතිං දවස් දෙකක් තිස්සේම, සජින් වාස් ගුණවර්ධනව සොයා ගැනීමට හෝටලය අසමත් වූ නිසා ඒ කාලයත් රක්ෂණයක් වශයෙන් හෝටලයේම රැඳී සිටීමට දයාන්ට සිදු විය. කෙසේ වෙතත්, අවසානයේ හෝටලය විසින් සජින්ව සොයාගත් විට, පැය භාගයක් ඇතුළත අවශ්‍ය මුදල රැගෙන එන බවට ඔහු පෙරොන්දු විය. පොරොන්දු වූ පරිදිම, රුපියල් මිලියන 2.5 කට කිට්ටු මුදලක් ගෙවා ‘හෝටල් අඩස්සියෙන්’ දයාන් ජයතිලකව එදා බේරා ගැනුණි.

එතරම් මුදලක් පැය භාගයක් ඇතුළත සජින් සොයාගත්තේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි. මේ මුදල ඔහු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශ කොට තිබේද? ඊටත් වඩා නරක තත්වයක් වන්නේ, ජනාධිපතිවරයාගේ දැනුම ඇතිව හෝ නැතිව මේ මුදල් ඔහු මහජන අරමුදල්වලින් සපයා ගත්තේ ද යන්නයි.

අවසාන විග‍්‍රහයේ දී මතුවන ප‍්‍රශ්නය මෙයයි. මෙවැනි අතීත කැරැට්ටුවක් සහිත කෙනෙකු රජයේ තනතුරක් දැරීමට සුදුසු වන්නේද? ඊටත් වඩා, රාජ්‍ය නායකයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන්? රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇස්තමේන්තු තුළ ඔහු සුදුස්සෙකු වෙතැ යි අපි අනුමාන කරමු.

(මේ ලිපිය ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ පළවුණේ 2006 ජුලි 02 වැනි දා ය.)

(මෙහි මුල් කොටස ඊයේ පළවිය)

සොනාලී සමරසිංහ | Sonali Samarasinghe

*2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු So, Who Is Sajin Vass 2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයෙනි.

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (පළමු කොටස)

Read more
කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (පළමු කොටස)

බොහෝ විට කෙනෙකුව මැනෙන්නේ, එම පුද්ගලයා පවත්වන ඇසුරුකම් ආශ‍්‍රයෙනි. මහින්ද රාජපක්ෂ එහි දී වෙනස් නොවේ. දැනටමත්, අජිත් නිවාඞ් කබ්රාල් සමග පවත්වන ඇසුර ගැන බොහෝ දෙනා ජනාධිපතිවරයාව දැඩි විවේචනයට ලක්කරති. මෑතකදී එම අජිත් නිවාඞ් කබ්රාල්ව ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපති තනතුරට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීම නිසා, කබ්රාල්ගේ විවිධ ව්‍යාපාරික ගනුදෙනු ගැනත්, ඒවා කුමන ආකාරයකින් ලංකාවේ ආර්ථිකයට බලපෑම් ඇති කරනු ලැබේ ද යන්න ගැනත්, ප‍්‍රශ්න මතුවෙමින් තිබේ.

ඒ මදිවාට දැන්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හුරතලා සහ අතීසාර මහජන සම්බන්ධතා ලේකම්වරයා වන සජින් වාස් ගුණවර්ධනගේ පරණ කෙරුවාවත්, රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, වංචා විමර්ශනවල සැකකරුවෙකු වී සිටීම, ලබා ගත් ණය නොගෙවා පැහැර හැරීම සහ විවිධ පොරොන්දු කඩ කිරීම වැනි දුරාචාර රැුසක එකතුවක් සේ පෙනෙන්ට තිබේ.

ජනාධිපති රාජපක්ෂ මෙසේ තමන්ගේ උපදේශකයන් සහ කිට්ටුවන්තයන් තෝරාගන්නා විලාසිතාව වඩාත් ප‍්‍රශ්නකාරී වන තවත් හේතුවක් තිබේ. රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරය දරණ කාලයේ මේ සජින් වාස් ගුණවර්ධනම ඔහුගෙන් යම් නිලයක් බලාපොරොත්තු වූ අවස්ථාවේ, සජින් වාස් ගුණවර්ධනගේ අතීත අපරාධ පිළිබඳ වාර්තාව රනිල් වික‍්‍රමසිංහට සැලවිය. එම තනතුර ලබා ගැනීමට නම්, අතීතයේ කළා යැයි කියන ඇතැම් අපරාධවලට ගෑවී ඇති තම නාමය පිරිසුදු කරගෙන එන්නැ යි කියා රනිල් වික‍්‍රමසිංහ මේ සජින් වාස් ගුණවර්ධන තරුණයාව එදා හරවා යවා තිබේ.

ට‍්‍රයිකෝ සමාගමේ රැකියාවක් සඳහා සජින් ඩුබායි බලා ගියේ මේ සිද්ධියෙන් පසුවයි. එහි දී පවා, එම සමාගමේ පාලනාධිකාරියේ හොඳ හිත ඔහු නැති කරගත් බව සැළයි. කෙසේ වෙතත්, වාසනාවන්ත ඉරණමකින් මෙන්, එහි දී ඔහුට එදා ලංකාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව මුණගැසුණි. ඒ, මහින්ද රාජපක්ෂ ඩුබායි රටේ සංචාරයකට ගොස් සිටි අවස්ථාවයි. මෙහි දී මහින්ද රාජපක්ෂට රටතොට පෙන්නීමට එක්කරගෙන ගියේ සජින් වාස් ගුණවර්ධන ය.

ගමේගොඬේ ආරයේ ඉතා සරළ පුද්ගලයෙකු වන මහින්ද රාජපක්ෂට, චතුර ලෙසින් ඉංග‍්‍රීසි භාෂාව වහරණ, පරිගණක නිපුණත්වය සහිත මේ තරුණයාව හොඳින් හිතට ඇල්ලූවේය. සජින් නම් ‘නියම බඩුවක්’ යැයි මහින්දට සිතුණි. ‘‘ඇයි ලංකාවට ඇවිල්ලා මගෙත් එක්ක වැඩ කරන්නේ නැත්තේ?’’ එදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ තරුණයාට ආරාධනා කෙළේය. ඒ ගැන දෙපාරක් සිතීමේ අවශ්‍යතාවක් සජින්ට නොවුණි. මුළු ජීවිත කාලයේම ඔහුගේ ආශාව වුණේ දේශපාලනයට පිවිසීමයි. එසේ වන විට, මේ පෑදෙන්ට යන අවස්ථාව මහඟු එකකි. ඒ ගැන කතාව පසුව..

ඉතිං, අද විධායක ජනාධිපතිවරයාට මෙතරම් කිට්ටුවෙන් සිටින මේ තරුණයා කවුරුන් ද?

33 වියැති සජින් වාස් ගුණවර්ධන දැනටමත් ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. මේ ප‍්‍රියමනාප තරුණයා ගැන බොහෝ අය වර්ණනා කරති. එසේම, නිශ්චිත තනතුරක් නැතත්, රාජපක්ෂගේ සාම ක‍්‍රියාවලිය තුළ ද, මොහු ප‍්‍රධාන චරිතයකි.

මේ වසරේ පෙබරවාරි මාසයේ ජිනීවා නුවර ‘ෂැතෝ දෙ බොසි’ නැමැති ස්ථානයේ දී කොටි සංවිධානය සහ ලංකාවේ ආණ්ඩුව අතර පැවති සාම සාකච්ඡුාවේ පළමු වටයේ දී සජින් වාස් ගුණවර්ධන එම සාකච්ඡුා ශාලාවට කූට ලෙසින් රිංගා ගත්තේය. සාකච්ඡුා සභාවට ආණ්ඩුව පැත්තෙන් සහභාගී වන්නන්ගේ නම් ලැයිස්තුවේ ඔහුගේ නම නොතිබුණි.

මහ බක්කා

ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ සාකච්ඡා කණ්ඩායම, එච්. එල්. ද සිල්වා, ගෝමින් දයාසිරි, පාලිත කොහොන සහ ජෝන් ගුණරත්න වැනි ප‍්‍රකට පුද්ගලයන්ගෙන් සමන්විත විය. සජින් වාස් පැමිණියේ, මේ කණ්ඩායම පැමිණීමෙන් දවසකට පසුවයි. ඔහුව එහි යවන ලද්දේ, සාකච්ඡා ක‍්‍රියාවලිය ගැනත්, සාකච්ඡා කණ්ඩායම ගැනත් සොයා බැලීමට සහ කේලාම් කීමට පත්කෙරුණු විශේෂ ජනාධිපති නියෝජිතයෙකු වශයෙනි. දැන් මහ බක්කෙකු වී සිටින මේ සොක්කා ගැන, දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයන් වන ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ සහ මංගල සමරවීර වැන්නන්ගේ සිත් තුළ ඒ වන විටමත් අප‍්‍රසාදය ලියලමින් තිබුණි.

අපේ‍්‍රල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා දෙවන වටයත් පැවැත්විණි නම්, සජින් වාස් ගුණවර්ධන නැවත වරක්, තමන්ගේ විදේශ පාරාදීසයකට යනවා නොඅනුමානයි. කෙසේ වෙතත්, ජුනි මාසය වන විට, සාම ක‍්‍රියාවලිය තුළ ඔහු රඟපෑ භූමිකාව, වඩාත් පැහැදිළි වන්නටත්, වඩාත් බලසම්පන්න වීමටත් විය. විවිධ හේතු යටතේ සාම සාකච්ඡා ප‍්‍රතික්ෂේප කළ එල්.ටී.ටී.ඊ, සංවිධානය, කෙසේ වෙතත්, ඔස්ලෝ නුවරදී නැවත හමු වී, ‘ශ‍්‍රී ලංකා නිරීක්ෂණ කණ්ඩායම’ ගැන වන සීමිත සාකච්ඡාවකට එකඟ විය.

එවැන්නකට සහභාගී වීම ගැන ඒ මේ අත වැනෙමින් සිටි ආණ්ඩුව, අවසානයේ දී තුන්වැනි මට්ටමේ නියෝජිත කණ්ඩායමක් ඔස්ලෝ නුවරට පිටත් කර හැරීමට තීරණය කෙළේය. ජුනි 8 සහ 9 යන දෙදිනයන්හි පැවැත්වීමට නියමිත එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ පාර්ශ්වයේ නායකත්වය පැවරුණේ, එවක ‘සාම ලේකම් කාර්යාලයේ’ ප‍්‍රධානියා වූත්, ප‍්‍රවීණ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූත්, පාලිත කොහොනටයි. ඔහුට සහාය වීමට, තරුණ සජින් වාස් ගුණවර්ධන, ‘සාම ලේකම් කාර්යාලයේ’ ෂානක ජයසේකර සහ නීතිඥ ගෝමින් දයාසිරිව පත්කෙරුණි.

සුපිරි තරුව

ඉතිං, මේ සජින් කවුද? ජනාධිපති රාජපක්ෂව සිය වසඟයට ගැනීමටත්, සිරස සුපිරි තරුවක් සේ මෙසේ මුදුනට ඒමටත් හේතු වන්නට ඇති කාරණා කවරේද?

සජින් යනු, 1994 චන්ද්‍රිකා බලයට පත්වීමෙන් පසු, ව්‍යවසාය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් සිටි, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනගේ පුතා ය. ලොකු වාස් ගුණවර්ධන, පේ‍්‍රමදාස යුගයේ නෂ්ටාවශේෂයකි. කෙසේ වෙතත්, චන්ද්‍රිකාගේ ප‍්‍රියතමයෙකු වන තිලාන් විජේසිංහව ව්‍යවසාය මණ්ඩලයේ සභාපති තනතුරට පත්කරන තෙක් එහි සභාපතිත්වය දැරුවේ ඔහු ය.

‘ගේ‍්‍ර ලයින් ගෲප්’ නැමැති සමාගම සමග, එදා සැකයට භාජනය වූ ව්‍යාපාරික කටයුතුවලට අදාළව සජින් වාස් ගුණවර්ධන ගැන හාහෝවක් ඇති වුණේ, ඔහුගේ පියා ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිත්වය දරමින් සිටි 1995 දී ය. ලාල් විජේරත්නට හිමි ‘ගේ‍්‍ර ලයින්’ සමාගමේ ව්‍යාපෘති සංවර්ධන කළමනාකරු වශයෙන් පත්කරගෙන සිටි සජින් වාස් ගුණවර්ධන, ව්‍යවසාය මණ්ඩලයේ සභාපතිවරයා ඔහුගේ පියා වීම හේතු කොටගෙන, ‘ගේ‍්‍ර ලයින්’ සමාගමට ඉතා ප‍්‍රයෝජනවත් පුද්ගලයෙකු විය.

මේ කාලයේ ඔහු වයස 22 ක තරුණයෙකි. ඔහුව එදා දැන සිටි අය කියන පරිදි, ඔහු ඉතා උද්‍යෝගීමත්, නාහෙට නාහන, කතාවෙන් අනුන්ගේ සිත් ගන්නා චාටුකාරයෙකි. මේ නිසා, පහසුවෙන් අහුවෙන බොහෝ දෙනා, මුදල්හදල්වලින් ඔහුට රැුවටුණි. ඔහුගේ එක දුර්වලතාවක් තිබුණි. එනම් ණය ගැනීම සහ ණය නොගෙවා සිටීමේ පුරුද්දයි. ඒ නිසා, පොලීසිය බොහෝ විට ඔහුගේ නිවසේ දොරට තට්ටු කෙළේය. කෙසේ වෙතත්, වැඩි කල් නොගොස්, විවිධ හේතු නිසා ඔහු ‘ගේ‍්‍ර ලයින්’ සමාගමෙන් ඉවත් විය.

ණය

මෙසේ සිටියදී ඔහු බියගම නිදහස් වෙළඳ කලාපයේ ව්‍යාපාරවලට අත ගැසීමට සිතුවේය. ඒ අනුව, 1994 ඔක්තෝබර් 11 වැනි දා ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම’ නමින් ඔහු ව්‍යාපාරයක් පිහිටුවා ගති. මේ සමාගමේ ව්‍යාපාරික අරමුණ වුණේ්, ඇලවීම සඳහා පාවිච්චි කරන මැලියම් ටේප් පටි, සෙලෝටේප් පටි, සිලිකන් ආලේපිත කඩදාසි, ඇලූමීනියම් ආලේපිත කුඩා මලූ සහ අතුරු නිෂ්පාදන බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් වශයෙන් කටයුතු කිරීමයි.

මේ සමාගම ආරම්භ කිරීම සඳහා ඔහු, අංක 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 නැමැති ලිපිනයේ විසූ විමලසිරි ප‍්‍රනාන්දු සහ ශිරානී ප‍්‍රනාන්දු යන යුවළගෙන් රුපියල් මිලියන 2.5 ක ණයක් ලබාගත්තේය. ඒ මුදල සඳහා චෙක්පතක් නිකුත් කෙරුණු අතර, ගනුදෙනුවේ සාක්ෂිකාරයන්ගෙන් කෙනෙකු වුණේ ඔහුගේ පියා වන, ඒ. ඞී. ද වාස් ගුණවර්ධනයි. කෙසේ වෙතත්, මාස කිහිපයකින් පසු මාසික පොලිය ගෙවීම සජින් වාස් ගුණවර්ධන මගහරිමින් සිටි විට, ප‍්‍රනාන්දු යුවළ, තමන්ගේ ණය සහ ඊට ලැබිය යුතු පොලිය ද සහිතව, රුපියල් මිලියන 3.5 ක් සජින්ගෙන් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැවරූහ.

මේ ගැන ශිරානී ප‍්‍රනාන්දු මහත්මියගෙන් මේ පුවත්පත විමසා සිටි අවස්ථාවේ, දැන් ඒ නඩුව අවසන් බවත්, එම පරිච්ෙඡ්දය වසා දමා ඇති බවත් කීවාය.

මොහුගේ සමාගමේ සෙසු පාර්ශ්වකරුවන් වුණේ, විය යුතු පරිද්දෙන්ම, බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ හතරවැනි පටුමගේ අංක 4/1 නැමැති ස්ථානයේ පදිංචි සජින් වාස් ගුණවර්ධන, එම ලිපිනයේම පදිංචි ඔහුගේ සහෝදරයා වන රොහාන් ද වාස් ගුණවර්ධන සහ කලූබෝවිල පන්සල පාරේ ජයා මාවතේ අංක 117/18 ලිපිනයේ පදිංචි, සජින්ගේ ප‍්‍රථම බිරිඳ වූ චාරිනී විලක්ෂණා ද සිල්වා ය.

චාටු බසට රිසි සජින් වාස් ගුණවර්ධන දැන් සිටින්නේ ඔහුගේ තුන්වැනි විවාහයේ ය. ඒ ගැන මෙහි දී සඳහන් කිරීම අවශ්‍ය කරන්නේ, ඔහුගේ දෙවැනි බිරිඳට සම්බන්ධ තවත් මූල්‍ය ගනුදෙනුවක් මෙහි දී වැදගත් වන නිසා ය.

1997 ජනවාරි 14 වැනි දා සමාගමේ වාර්ෂික ප‍්‍රතිලාභ ගණනය කරන අවස්ථාවේදී සජින් වාස් ගුණවර්ධන එහි ප‍්‍රධාන කොටස් හිමියා වු අතර අනිත් කොටස් හිමියා වුණේ ‘සී.එෆ්.වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමකි.

නිදහස් වෙළඳ කලාපයේ සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මුදල් සපයා ගැනීමට සජින් කිට්ටු කළ මූල්‍ය ආයතනය වුණේ මෙකී ‘සී.එෆ්. වෙන්චර් ෆන්ඞ්’ නැමැති සමාගමයි. හිනිදුම ලක්ප‍්‍රිය මනෝහරන් නානායක්කාර නැමැත්තෙක් මේ මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියේය. මේ මූල්‍ය සමාගමට සජින්ව පෙනුණේ යමක් කමක් කළ හැකි, ප‍්‍රියමනාප තරුණයෙකු වශයෙනි. ඉතිං, ඔහුගේ ව්‍යාපාරයට මෙම සමාගමත් රුපියල් මිලියන 2-3 අතර ප‍්‍රමාණයක් සපයා දුන්නේය.

මේ කාලයේ මෙකී ව්‍යාපාරයට යොදා තිබූ අරමුදල්වලින් සියයට 40 ක් එම සමාගමට අයත් වූ අතර, දළ වශයෙන් සියයට 20 ක් ජාතික සංවර්ධන බැංකුවට අයත් විය. ඉතිරි අරමුදල් සැපයුණේ සජින් විසින්මයි.

අරමුදල් යටිමඩි ගැසීම

‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ ගිණුමෙන් පෞද්ගලික බැංකු ගිණුමකට සජින් විසින් මුදල් මාරු කිරීමක් සිදුව ඇති බව හෙළි වීමට වැඩි කල් ගියේ නැත. අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනා සම්මතයෙන් යැයි කියා සහතික පත් නිකුත් කිරීමක් සිදුව තිබුණත්, එසේම සමාගම් ගිණුමෙන් මුදල් ඉවත් කරගෙන තිබුණත්, අධ්‍යක්ෂ මණ්ඩලය කිසි විටෙක රැස්වී තිබුණේවත්, එවැනි ගනුදෙනුවලට අනුමැතිය දී තිබුණේවත් නැත.

1996 ජුනි 21 වැනි දා, සජින් සිය පියා වන ඒ. ඞී. ද වාස් ගුණවර්ධනව සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත්කර ගත්තේය. ඒ සමගම, ඔහුගේ මාමා කෙනෙකු වන, පසුගිය දා විල්පත්තුවේ ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයකින් මරණයට පත්, නන්දන අබේසූරියවත් ඔහු සිය අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ගත්තේය.

ඒවා කෙසේ වෙතත්, සරත් ද කොස්තා නැමැති ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවෙකුට රුපියල් මිලියන 5 කට ආසන්න මුදලක් සජින් විසින් ගෙවා ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය සොයා ගත්තේය. මේ කාලය වන විට සජින්ගේ කිට්ටුවන්ත මිත‍්‍රයෙකුව සිටි මනෝහරන් නානායක්කාර, ඔහුගේ සමාගමේ ප‍්‍රධාන කොටස් හිමියා බවට පත්ව තිබුණි. එහෙත් වැඩි කල් නොගොස් දෙන්නා විරසක වූහ. එහි දී, ‘සී.එෆ්. වෙන්චර්’ සමාගමේ නානායක්කාරගේ කාර්යාල කාමරයට ගිය සජින් ඔහුට අපහාසයෙන් බැණ වැදී තිබුණි.

1996 ඔක්තෝබර් 29 වැනි දා මනෝහරන් නානායක්කාර ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම්’ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්විය.

මනෝ නානායක්කාර වශයෙන් ප‍්‍රසිද්ධ මේ මනෝහරන්, 1997 ජනවාරි මාසයේ සිය කොටස් විකුණා දැම්මේය. එම කොටස් මිළ දී ගත්තේ, බියගම නිර්යාත සැකසුම් කලාපයේ පිහිටි කොරියානු සමාගමක් වන ‘යුං ඈන් ලංකා පෞද්ගලික සමාගමයි.’ ඒ අනුව එම සමාගම මගින්, චූන් ජෝකිම්, සැං හියොං ලී, හින් ජුන් ලී යන අයව, ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට 1997 පෙබරවාරි 5 වැනි දා පත්කෙරුණි. එදාම, සජින්ගේ ප‍්‍රථම බිරිඳ, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලයිල් සිල්වාගේ දියණිය, චරිනී විලක්ෂණී ද සිල්වා ඉල්ලා අස්වූවාය.

අනතුරුව, සජින් වාස් ගුණවර්ධනගේ මූල්‍ය කටයුතු ගැන කොරියානු සමාගම ද සැක කරන්ට පටන් ගත්තේය. එහි දී වහාම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨ නීතිවේදීන්ගේ ද සහයෝගය ඇතිව ඇමරිකාවෙන් ද නීතිවේදීන් ගෙන්වා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට කොරියානු සමාගම සූදානම් විය.

මේ වන විට මූල්‍යමය අර්බුදයක ගිලී සිටි ‘ටේප්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමට’ මුදලින් ආධාර කිරීම සඳහා ඉන්දියානු සම්භවයෙන් යුත් ෂර්මා නැමැත්තෙකු ඉදිරිපත් වන්නේ මේ කාලයේ ය. සජින්ට ෂර්මාව හඳුන්වා දෙන්නේ, සජින්ගේ මාමා වන ගාමිණී අබේසූරියයි. ඔහුව ෂර්මාට හඳුන්වා දෙන ලද්දේ, ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට බැඳී සිටි ඩබ්ස් කනගරත්නම් ය.

1999/2000 කාලය වන විට සජින් සහ ෂර්මා අතර සබඳතා පලූදු වන්නට විය. එහි දී ෂර්මා විසින් කරන ලද පැමිණිල්ලක් උඩ, වංචා විමර්ශන ඒකකය සජින්ට එරෙහිව මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පැවරීය. මේ නඩුවේ දී සජින්ව දින දහයක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කෙසේ වෙතත්, නැවතත් පුතාගේ ගැලවීමට පියා ඉදිරිපත් විය. වංචාකරුවෙකැ යි කියන තම පුතාව එතැනින් බේරාගෙන, තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා හරහා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ගැනීමට පියාට හැකි විය. මේ නඩුවේ දී ඔහුට ඇප දීමට ඉදිරිපත් වුණේ, ඔහුගේ මාමා කෙනෙකු වන, නැසී ගිය නන්ද අබේසූරියත්, තවත් මාමා කෙනෙකු වන, ශ‍්‍රී ලංකා සිංගර් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගාමිණී අබේසූරියත් ය. පසුව, ගංගොඩවිල විජේරාම මාවතේ පිහිටි සිය නිවස විකුණා ෂර්මාගේ ණය පියවීමෙන් නඩුව එකලසක් කර ගැනීමට පියාට හැකි විය. ඉන් පසු ඔහු බත්තරමුල්ලේ වෙනත් නිවසක පදිංචියට ගියේය.

(ඊළඟ කොටස හෙට බලාපොරොත්තු වන්න)

සොනාලී සමරසිංහ | Sonali Samarasinghe

කවුද මේ සජින් කියන්නේ, හැබෑටම? (2වන කොටස)


2006 ජුලි 02 වැනි දා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මුල් වරට පළවු So, Who Is Sajin Vass නැමැති මේ ලිපිය 2014 ඔක්තෝබර් 03 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ නැවත පළ කෙරිණ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයෙනි.
Read more
Thursday, September 25, 2014
පංචායුධය- සත්‍යය සහ මිත්‍යාව

ජනක බණ්ඩාර -

අප රටේ ''බුද්ධිමත්'' ජනතාව බොහෝ දෙනෙකු තවමත් කොහේ හෝ දේවාලයක හාස්කම් තිඛෙනවා යයි ආරංචි පැතිර ගිය විට වැල නොකැඩී ඒ දෙසට දිවයති. කොහේ හෝ බෝ ගසක බුදු පිළිමයක් මතු වී ඇතැයි ප්‍රචාරය වූ විට හෝ බුදුපිළිමයකින් බුදුරැස් විහිදෙනවායැයි ආරංචි වූ විට ඒ දෙසටද දිවයති. දේව ගැති වරයකු හෝ එලොවින් ආ විස්මකර්මයෙකු ලෙඩ රෝග සුවකරනවා යැයි ජාතික යැයි කියාගනිමින් පාඨකයන් ගොනාට අන්දවා මුදල් ගරන පත්තරයක මාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා කවුරු හෝ තක්කඩියෙකු කියූ විට ආගම් බේදයකින් තොරවම ඒ දෙසට දුවගෙන යති. එහෙත් මෙවැනි මිත්‍යාවන් විශ්වාස කරන අය අතරින් පවා කිසිවෙකුත් පංචායුධයකින් දරුවන්ට ආරක්ෂාව සැළසෙනවායැයි කියනා මිත්‍යාව ප්‍රායෝගිකව විශ්වාස නොකරයි. ප්‍රායෝගිකව විශ්වාස නොකරනවා යැයි කියන්නේ ඔවුන් කිසිවෙකුත් තම කුඩා දරුවාගේ ගෙලේ
Read more
Wednesday, September 17, 2014
අහෝ දෙවියණි! ග්‍රිස් ගාමිණි නොදුටු මොක් පුර

දරුවන්ට හොදම දේ දෙන්න යැයි වරක් කීවේ ලෙනින්ය. පව්කාරයාට පළමු ගල ගැසිය යුත්තේ කිසිදු පවක් නොකළ අයෙකු බව පැවසූයේ යේසුස්ය. ලෙනින් මෙන්ම යේසුස් ද ප්‍රාර්ථනා කලේ මනුෂ්‍ය වර්ගයාට යහපත් සමාජයක් අවශ්‍ය බවය. යේසුස්ට තරම් මිනිසුන් ලෙනින්ට ආකර්ශණය නොවීය. දෙවියන් අපට අවැසි දේ ලබා දෙන්නට පොරොන්දු වී ඇත. අප කළ යුත්තේ අපේ දුක දෙවියන්ට කියා යාඥා කිරීම පමණි.

අප තුල තිබිය යුතු නමුත් ඇත්ටම අප තුල නැති දයාව,කරුණාව,සෙනෙහස, මිත්‍රත්වය, වැනි සමාජ සම්මත හොද යැයි පිළිගනු ලබන සියල්ල අප විසින් දෙවියන් තුළ ඇතැයි සිතා යහපත දෙවියන් වෙත පරාරෝපණය කර දෙවියන්ට යාඥා කරමින් පව්කාරයන් වන අපව පාපයෙන් මුදා ගන්න යැයි දෙවියන්ට කන්නලව් කරන්නෙමු. තමන් පව්කාරයෙකු ලෙස පිළිගැනීමත් අප වෙනුවෙන් හොද දෙවියන් සිටින නිසා සහ අප කරන පව් දෙවියන් කමා කරන නිසා අපට කැමති ලෙස අප වෙනුවෙන් යහපත්ව සිටින කිසිදා නොදුටු දෙවියන්ට සියල්ල බාරකර දිගින් දිගටම පව් කරමින් ජීවත් වන්නට පුළුවන.

ලෙනින් ගේ අරගලය දෙවියන් ගේ අරගලයට වඩා වෙනස්ය. ඔහු පවසන්නේ දැනටමත් පවතින ධනවාදී සමාජය වෙනස් කිරීමේ පංතිමය විභවතාවය ඇත්තේ කම්කරු පංතියට බවත් සමාජය ධනවාදය සිට පංති විරහිත කොමියුනිස්ටි සමාජයක් දක්වා පරිවර්ථනය කිරීමේ ගාමක බලවේගය වන්නේ කම්කරු පංතිය බවත්ය. ඒ නිසා ලෙනින් ගේ ක්‍රමයට පවතින සමාජයට එරෙහිව අරගල කර සමාජය වෙනස් කරන්නට නම් අප සෘජුවම අරගලය සමග බද්ධ විය යුතුය. නරක සමාජය යහපත් සමාජයක් බවට පත්කළ හැක්කේ දෙවියන්ට නොව මිනිසුන්ටය. ඒනිසාම ලෙනින් කියන්නේ හොදම දේ දරුවන්ට දිය යුතු බවය.

පසුගියා දා ග්‍රීස් ගාමිණි විසින් පැහැරගත් පමාරා දැරිය ගේ කතාව දැන් නොදන්නා කෙනෙක් නැත. ජනාධිතිතුමාගේ සිට ආරක්ෂක ලේකම්වරයා ඔස්සේ සියලුම අය මේ අහිංසක දැරිවියගේ ජීවිතය බේරා ගන්නට කලේ දැවැන්ත සටනකි. පොලීසියේ මහත්වරුන් සමග එකට අත්වැල් බැදගත් ගමේ තරුණ කොටස් එකා වන්න එකට රෝක් වෙමින් පොල්වතු පීරමින් ග්‍රීස් ගාමිණි සොයා කැලෑ වැදුනෝය. ආරක්ෂ අංශ වල නිළධාරීන් ගේ ලයිසන් ආයුධ වලට අමතරව ගමේ කොලු කුරුට්ටන් බියකින් තොරව කඩු පොලු අමෝරා සාමය රැකීමට සිටින පොලිස් නිළධාරීන් සමග ඒකා වන්න ග්‍රිස් ගාමීණි සෙවූහ. අවසානයේ පව්කාර ග්‍රිස් ගාමිණි අල්ලා ගන්නට කිසිදාක පව් නොකළ මිනිසුන් සමත් විය. පව්කාරයා නිරුවත් කර ලේ වැගිරෙන්නට පහර දී නීතියේ යුක්තිය ඉටු කරන්නට අහිංසක මිනිසුන් නොකළ වැරදි වලට පොලීසියට කුදලා ගෙන ගොස් අතපය කැඩෙන්නට පහර දී කොච්චි මිරිස් ලිංගේන්ද්‍රෙය් අතුල්ලන පොලිස් නිළධාරීන් සාමාන්‍ය මිනිසුන්ම උපකාර කලෝය.

එදා නන්දිකඩාල් කලපුවේ දී ජාතියේ මහා සතුරා මරා නිරුවත් කර සිරුරේ මඩ තවරා ජාතික රූපවාහිනියෙන් වෙඩි වැදුන තුවාලය හරව හරවා ප්‍රදර්ශණය කළ විශිෂ්ඨ ජාතියක් වූ අප මස්වැදලි තවරා ලේ වලින් කලතා විජයග්‍රහනයේ කිරිබත් කෑහ. ලෝකයේම විනයගරුකම හමුදාව ගැන ආඩම්බර වූ අප රතු පස්වලදී එදා කෑ කිරිබත් වමාරන්නට කළහොද පස්සෙන් එලවන්නට වූ විට අහසට දත නියවා බලා සිටියෙමු. ජාතිය නම් ලුබ්ධි පගාවෙන් ඇස් ගිණිකනා වැටුණ සාමාන්‍ය මිනිසුන් සිටින අප වැනි රටක සමාජ ප්‍රශ්ණ අමතක කරවන්නට ග්‍රිස් ගාමිණි යනු මිහිබට සුරදූතයෙකි.

පමාරා දැරිය පැහැරගත් ග්‍රිස් ගාමිණි පවසන්නේ වැඩිහිටි වූ පසු කසාද බදින්නට ඇය පැහැර ගෙන ගිය බවය. පමාරා පවසන්නේ ඒ මාමා මට කුරුල්ලන් පෙන්නුවා. කන්න බිස්කට් ගොඩක් දුන්නා. කිරි අම්මා මගේ කොන්ඩේ කැපුවා. එතකොට මම ලස්සණ වෙයි කියලා කීවා කියාය. පමාරා ගේ මව පවසන්නේ තමන් ගේ දරුවා බේරා දුන් ජනාධිපතිතුමාට සහ ආරක්ෂක ලේකම්වරයාට ස්තූති කරන බවයි. ලෙනින් පැවසුවේ දරුවන්ට හොදම දේ දියයුතු බවය. මහින්ද රාජපක්ෂ අපට ඉගැන්වුයේ හොදම දේ මගේ දරුවන්ට කියාය. තත්ත්වය එහෙම වුනත් හෙට අනිද්දාට පමාරාට ද අලුත් නිවසක් ලැබෙනු ඇත. ඌව මැතිවරණයේ උණුසුම්ම අවස්ථාවේ ජාතියටම එය පෙන්වන්නට අයි.ටී.එන් නාලිකාවට පුලුවන. මහින්ද මාමා ගෙයක් දුන් නිසා පුංචි පමාරා ට සතුටින් ඉන්නට පුලුවන. අනිත් අතට පව්කාර ග්‍රිස් ගාමිණි අවසානයේ පමාරාට නිවසක් පවා ලබා ගන්නට උපකාර කළ පින්වන්තයෙකු වනු ඇත.

ග්‍රිස් ගාමිණි මානසික රෝගියෙකු බව දැන් බොහෝ අය පවසා අවසන්ය. ඒ අනුව කවුරුත් දැන් කියන්නේ ග්‍රිස් ගාමිණි යනු විකෘති කාමාශාවන් සහිත නිල් චිත්‍රපට බලා ඔලුව අවුල් කර ගත් පිස්සෙකු බවය. කාමාශාව කොහොමටත් විකෘතිය. එහි ප්‍රකෘත්ති කියා දෙයක් නැත. මේ පිංවත් මහත්වරුන් බහුතරයක් දෙනා රගපාන්නේ ද මේ රංගනයමය. මනෝ විශ්ලේෂණයේ විග්‍රහය අනුව ගාමිණි යනු පර්වට් චරිතයකි. එය ඇත්තටම මානසික ආබාධ තත්ත්වයකි. ගොඩක් අය හිතන්නේ මෙවැනි අයට හොදට ගුටි දුන්වහාම රෝගය සුව වනු ඇති බවය. නමුත් හාස්‍යයට කරුණ නම් මෙවැනි අය බලාපොරොත්තු වන්නේ ද මේ ආකාරයෙන් අම්බානකට ගුටි කා සමාජය ඉදිරියේ දැඩි ආපදාවට ලක්වීමය. මෙවැනි අයගේ අවසාන අවිඥාණක ආශාව වන්නේම මේ අකාරයෙන් ගුටි කා සමාජ අපවාදයට ලක්වීමය.
පව්කාර ග්‍රිස් ගාමිණි දැන් සිර ගෙදරය. දරුවන්ට හොදම දේ දෙන්නට ලෙනින්නට පුළුවන් විය. පව්කාරයාට දඩුවම් දෙන්නට දෙවියන්නට පුලුවන් විය. දවසකට රජ වන්නට දුප්පත් මිනිසුන්ට පුළුවන් විය. මීඩියා වලට තවත් හොද නිවුස් මාලාවක්ම හිමි විය.
අහෝ දෙවියණි! ග්‍රිස් ගාමිණි නොදුටු මොක් පුර
Read more
Tuesday, July 22, 2014
දර්ශනයේ දුප්පත්කම   ---  වික්ටර් අයිවන්

මෙම ලිපිය සී.ඒ. දිසානායකගේ ‘ව්‍යවස්ථා වෙද කමට කෝඳුරු තෙල් අනවශ්‍යය’ යන හිසින් පසුගිය රාවයේ පළවූ ලිපියට ලියන ලද පිළිතුරකි. එය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසින් රාවයට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක් මගින් ප‍්‍රකාශ කර තිබූ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හා එය අනුමත කරමින් රාවය කර්තෘ ජනරංජන විසින් ලියන ලද සටහනක එන අදහස් විවේචනයට ලක්කරමින් ‘ව්‍යවස්ථා සංශෝධනයට පසුවදනක්’ යන හිසින් මා ලියන ලද විචාරයට ලියන ලද ප‍්‍රතිවිවේචනයක් ලෙස සැලකිය හැකිය. එම නිශ්චිත විෂයේදී මා පළකර තිබෙන මත විවේචනයට හා සංවාදයට ලක්වනවා දකින්නට මා කැමතිය. අදහස් උරගා බැලීමකට ලක්විය යුතුය. දේවල් අවිවේචනාත්මකව පිළිගන්නා ප‍්‍රතිපත්තියට වඩා තියුණු විවේචනයකට ලක්වීම යහපත්ය. ජයම්පති වික‍්‍රමරත්න විසින් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය වෙනුවෙන් පළකර තිබෙන සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වඩා පුළුල් අර්ථයකින් නැවත සාකච්ඡුාවට ලක්කරමින් වැඩිදුරටත් මගේ ආස්ථානය පැහැදිලි කිරීමට අවස්ථාවක් පාදාදීම ගැන මගේ ස්තුතිය මෙම ලේඛකයාට හිමිවිය යුතුය.

ප‍්‍රතිවිවේචනය

ඔහු පළමුවෙන්ම කියන්නේ පූර්ණ ව්‍යවස්ථා සම්පාදනයක් සුදුසු වුවත් ඊට සුදුසු වාතාවරණයක් නොපවතින බව ජයම්පති හා ජනරංජන කියන විට ඔවුන් ඒ සඳහා හේතු ඉදිරිපත් නොකරන බව මා ප‍්‍රකාශ කර ඇතත් මා එසේ කර ඇත්තේ ජනරංජන සිය ලිපියෙන් ඒ ගැන පැහැදිලි හේතු දැක්වීමක් කර තිබියදී බවය. ඉන්පසු ඔහු කියන්නේ එම වැඩසටහනට එරෙහිව මා ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත හා සාවද්‍ය බවය. එහෙත් පදනම් විරහිත හෝ සාවද්‍ය දේවල් මොනවාද යන්න ඔහු පෙන්වා දෙන්නේ නැත. ඇමරිකාවේ ජනාධිපති ක‍්‍රමයට පාර්ලිමේන්තුවක් තිබුණද සීමිත ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් බවට පත් කළ නොහැකි බවට හා ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය තුළ ජනාධිපතිවරයකු සිටියද ඉදිරිපත් කරන සීමිත ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉන්දියානු ආණ්ඩුක‍්‍රමය ජනාධිපති ආණ්ඩුක‍්‍රමයකට පරිවර්තනය කළ නොහැකි බවට මා ඉදිරිපත් කර තිබූ තර්කය ශ‍්‍රී ලංකාවට අදාළ නොවන බව ඔහු කියයි. ඔහු එහි අදාළකම තේරුම් ගෙන තිබෙන බව පෙනෙන්නේ විපරීත ආකාරයකටය. ඉන්පසු ඔහු කියන්නේ ඇමරිකාව හෝ ඉන්දියාව වෙනුවට ප‍්‍රංශය උදාහරණයට ගන්නේ නම් එහි තේරුමක් තිබෙන බවත්, මා ඕනෑකමින්ම ප‍්‍රංශය අත්හැර තිබෙන බවත්ය. ප‍්‍රංශයේ තිබෙන්නේ ඇමරිකාවට වෙනස් පාර්ලිමේන්තුවට වැඩියෙන් බර තබන ලද ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් වුවත් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටද ඉදිරිපත් කරන සරල ශෝධනයක් මගින් ප‍්‍රංශ ආණ්ඩුක‍්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් බවට පත්කළ නොහැකිය. ඔහු පෙනී සිටින්නේ ආණ්ඩුක‍්‍රම විචාරකයකු ලෙසිනි. එහෙත් ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් හා පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් අතර ව්‍යුහමය වෙනස්කම් ඇති බව ඔහු නොදනී. ඔහුට පෙනෙන්නේ එම ආණ්ඩුක‍්‍රම දෙකේ ආයතන ක‍්‍රමවලට ලබාදී තිබෙන්නේ එක සමාන නම් වන නිසා ඒවාහි ක‍්‍රියාකාරිත්වය හා ගුණයද එක සමාන බවය. මෙම ආණ්ඩුක‍්‍රම දෙකේ එන්ජින් එකිනෙකට වෙනස් මූලධර්මවලට අනුව ක‍්‍රියාකරන බව ඔහු නොදනී.

ඉන්පසු ඔහු ආස්වාදයකින් යුතුව කතා කරන්නේ ජේ.ආර්. ජයවර්ධන 72 ව්‍යවස්ථාව ඉදිරිපත් කළ දෙවැනි සංශෝධනය ගැනය. ඔහු එහිදී කියන්නේ ජයවර්ධන විධායක ජනාධිපති ධුරයට පත්වූයේ 78 ව්‍යවස්ථාවෙන් නොව 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ එම සංශෝධනයෙන් වන බවය. ඔහු කඩිමුඩියේ ව්‍යවස්ථාව සංශෝධනය කළේ කරුණු දෙකක් වෙනස් කරගැනීම සඳහා බවත් එකක් අගමැතිගේ උපදෙස් පිට නාමික ජනාධිපති විසින් කරමින් තිබූ සියලූ දේ එවැනි උපදේශයකින් තොරව කිරීමට අවශ්‍ය බලය ජනාධිපතිට පැවරීම හා පාර්ලිමේන්තුවෙන් වෙන්වූ පැවැත්මක් ජනාධිපතිට ලබාදීම සඳහා බවත්ය. එම සංශෝධනය ඇතිකර ගැනීමෙන් පසු 1978 පෙබරවාරි 4 වැනිදා ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ධුරයේ වැඩ භාරගත් බවත් ඉතිරි අවශ්‍යතා 78 ව්‍යවස්ථාවෙන් සම්පූර්ණ කරගත් බවත්ය.

ඇත්ත දිසානායක කවුද?

72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද එම සංශෝධනය පිළිබඳව වන එම විවරණය දිසානායකගේ ලිපියේ එන වඩාත්ම මාගේ උනන්දුවට හේතුවූ කොටස ලෙස සැලකිය හැකිය. ඒ ගැන වන මගේ ප‍්‍රතිවිචාරය ඉදිරිපත් කරන්නට පෙර එම කොටස කියවූ විට මා තුළ ඇතිවූ හැඟීම පැහැදිලි කළ යුතුය. ඒ ගැන එම කොටසට ඇතුළත් විවරණය තුළ සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳව ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නගේ දර්ශනයේ අව්‍යාජ සාරය අඩංගු වී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ සමග මට සිතුණේ මෙම ලිපිය ලියන දිසානායක හා ජයම්පති එකම පුද්ගලයකු නොවන්නේ නම් ඔහු ජයම්පතිට ඉතාමත් සමීප ජයම්පත විසින් ඔහුගේ නමින් ලියන ලද ලිපියක් වන බවය. ඒ මට ඇතිවූ හැඟීමය. මා වැරදි නම් ඒ බව පැහැදිලි කළ හැකිය. එවිට මා ඇති කරගත් සැකය ගැන මගේ අවංක කනගාටුව පළ කළ හැකිය. මෙවැනි දේශපාලන විවාදවලදී අප කරන තර්ක පමණක් නොව එම විවාදවලට පෙනී සිටින්නන්ගේ අනන්‍යතාවද අව්‍යාජ විය යුතුය.

ඉන්පසු එම ලේඛකයා සමහරවිට දිසානායක නමින් පෙනී සිටින ජයම්පති අපට කියන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් කළ දේ අනෙක් අතට අප විසින් ද කළ යුතු බවය. ඔහුගේම වචනවලින් එය කියා තිබෙන්නේ මෙසේය. ‘එසේ නම් අද දවසේ කඩිමුඩියේ සිදුකළ යුතුව ඇත්තේද එදා කඩිමුඩියේම ජේ.ආර්. ජයවර්ධන සිදු කළ ක‍්‍රියාදාමය ආපස්සට හැරවීමයි. එනම් රටේ පාලකයා පාර්ලිමේන්තුව තුළ සිටින අගමැතිවරයා බවට පත්කිරීමත් ජනාධිපතිවරයා අගමැති වරයාගේ උපදෙස් මත ක‍්‍රියාකරන නාමික විධායකය බවට පත්කිරීමත්ය.’ ඉන්පසු ලියන තවත් වාක්‍ය දෙකකට පසුව ඔහු මෙසේ කියන්නේය. ‘එම කටයුතු ඒ ආකාරයට සිදුවන විට පාර්ලිමේන්තුවට අවශ්‍ය උත්තරීතරභාවය එයට ලැබෙන අතර මහජනයා වෙනුවෙන් ක‍්‍රියාකිරීමේ හැකියාව මහජන නියෝජිතයන්ට ලැබෙන්නේය. දැන් ජනපති ක‍්‍රමයට අනුගතවී ඇතැයි අයිවන් කියන පාර්ලිමේන්තුව එදාට වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අනුව කටයුතු කරනු ඇත.’
ඔහු මෙසේ ගොඩනගන තර්ක විතර්ක ඔස්සේ එම තිසීසය සඳහා වන සිය දැක්ම පිඬුකොට ඇත්තේ මෙසේය. ඒ තුළද ජයම්පතිගේ හෙවණැල්ල හොඳින් දැකිය හැකිය.

‘අද රට මුහුණ දෙන අර්බුදය වන්නේ ව්‍යුහය පිළිබඳ ගැටලූව හෝ අරාජිකවීම පිළිබඳව ගැටලූව නොව පොදු අපේක්ෂකයකු ජයග‍්‍රහණය කරවීම සඳහා සාධාරණ මැතිවරණයක් ලබාගන්නේ කෙසේද? උතුරු නැගෙනහිර ජනතාවට සිය ඡුන්දය නිදහසේ පාවිච්චි කිරීමට හමුදා පාලනය ඉඩදේද? රජයේ මුළු ශක්තිය සමග රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වූ විට ඇතිවන තත්ත්වය කුමක්ද? ප‍්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන පැරණි වමේ ඇමතිවරුද බුද්ධිමතුන් ලෙස පිළිගැනෙන ඇතැම්හුද ජනතාවගේ යම් කොටසකට හෝ බලපෑමක් කරන්නට සමත් වේද? ජනතාවගේ තීන්දුව අනුව ජනාධිපති රාජපක්ෂ පරාජය වුවහොත් සාමකාමීව ජයග‍්‍රාහකයාට බලය පවරාවිද? නැතහොත් මිලිටරි පාලනයක් ආරම්භ වේද? යනාදී බරපතළ ගැටලූය.’ විසඳාගත යුතුව තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්න ඒවා නම් මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කරන වැඩසටහනකට සීමා නොවී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රශ්නය ඊට ඈඳාගන්නේ ඇයිද යන්න ඔහු පැහැදිලි කරන්නේ නැත. මා දකින්නේ විධායක ජනාධිපති ක‍්‍රමය සේ ම රාජපක්ෂ රෙජීමයද අප මුහුණ දී තිබෙන අර්බුදයේ අවලස්සන ප‍්‍රතිඵල දෙකක් වශයෙනි. එම අවලස්සන ප‍්‍රතිඵල ඉවත් කිරීම අවශ්‍ය වුවත් එම ප‍්‍රතිඵල දෙක ඉවත් කිරීම පමණක් අප මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. එම ප‍්‍රතිඵල දෙක පරාජය කිරීම හා අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම යන කාරණා දෙකම එක ප‍්‍රතිසංස්කරණ වැඩසටහනකට ඇතුළත් කළ හැකිය. සැබෑ වෙනසක් ඇතිවනු ඇත්තේ එවිටය.

දෙවැනි සංශෝධනය

දැන් අපට එක සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකට මාරුවිය හැකියැ’යි කියන ඔහුගේ තිසීසය සලකා බැලිය හැකිය.
ඔහු කියන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිකමට පත්වූයේ 78 ව්‍යවස්ථාවෙන් නොව 72 ව්‍යවස්ථාවෙන් බවය. ඔහු එම කතාව අනියම් ලෙස කියන්නේද එය මා ඇතුළු බොහෝ දෙනකු නොදන්නා වැදගත් කරුණක් ලෙස සලකමිනි. එය ලංකාවේ ආණ්ඩුක‍්‍රම ඉතිහාසය ගැන දන්නා හැම කෙනකුම පාහේ දන්නා දෙයකි. ඇන්.ඇම්. පෙරේරා, ඒ.ජේ. විල්සන්, කේ.එම්. ද සිල්වා හා විශ්වා වර්ණපාල යන අයවලූන් 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද දෙවන සංශෝධනය ගැන විශේෂ වශයෙන් ලියා තිබෙන බව ද කිව යුතු ය. ජයම්පතිගේ සීමිත ප‍්‍රතිසංස්කරණ අළලා ලියන ලද මගේ ලිපියේ ඒ ගැන සඳහන්වන්නේ නැතත් ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය නමින් මා විසින් ලියන ලද ලිපි පෙළේ එන ‘47 සෝල්බරි ව්‍යවස්ථාවෙ සිට 78 ජේ.ආර්. ව්‍යවස්ථාව දක්වා’ යන ලිපියේ ඒ ගැන වන මගේ විග‍්‍රහය ඇතුළත්ය. මා එම ව්‍යවස්ථා සංශෝධනය විස්තර කර තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී හා දේශපාලන අර්ථයෙන් අශීලාචාර ක‍්‍රියාමාර්ගයක් ලෙසය.

එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඔහු කියන ඊළඟ වැදගත්ම දේ එම ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිගේ උපදෙස් පිට නාමික ජනාධිපති විසින් ඉටු කරමින් තිබූ සියලූ දේ අගමැතිගේ උපදෙසකින් තොරව කිරීමට අවශ්‍ය බලය ජනාධිපති වෙත පවරා ගනු ලැබූ බවත් ඒ සමග පාර්ලිමේන්තුවෙන් වෙන්වූ පැවැත්මක් ඇති කරගත් බවත්ය.

අගමැති ධුරයේ සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිකමට පත්වූයේ 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද එම දෙවැනි සංශෝධනයෙන් බව සත්‍යයකි. සියලූ පිළිගත් සම්ප‍්‍රදායයන්ට පටහැනි එම හිතුවක්කාරී ක‍්‍රියාමාර්ගය අනුගමනය කිරීමට ඔහුට හැකිවූයේ ඔහු කරන ඕනෑම මගඩි ක‍්‍රියාවක් අනුමත කරන හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඔහුට තිබුණු නිසාය. එහෙත් ඒ දෙයින් පමණක් ඔහු අපේක්ෂා කරන පරිවර්තනය සිදු නොවන බවද ඔහු දැන සිටියේය. එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් දිනයේදීම (1977 ඔක්තෝබර් 20) නව ව්‍යවස්ථාවක් සඳහා කරුණු සලකා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් සම්මත කරගත්තේ ඒ නිසාය.

ජයම්පතිගේ සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ජේ.ආර්. ජයවර්ධනගේ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම දක්වා වන වැඩසටහනට සමාන කළ හැකිය. ජයම්පතිගේ සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ඒ සඳහා ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවසන් වේ. එහෙත් ජේ.ආර්. ජයවර්ධනගේ වැඩසටහන දෙවන සංශෝධනයෙන් අවසන්වන්නේ නැත. දෙවැනි සංශෝධනය සම්මත කරගත් දිනයේම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම සඳහා වන තේරීම් කාරක සභාවක් සඳහා වන යෝජනාවක් සම්මත කරගත්තේ නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමෙන් තොරව ඔහු අපේක්ෂා කළ පරිවර්තනය සාර්ථක නොවන බව ඔහු දැන සිටි නිසාය.

ජේ.ආර්. ජයවර්ධනටද ඒ සඳහා වන දෙවැනි පියවරක් නොතිබී ජයම්පති අපේක්ෂා කරන ආකාරයට දෙවැනි සංශෝධනයෙන් සියලූ කටයුතු අවසන් කළේ නම් සමස්ත ආණ්ඩුක‍්‍රමයම අවුල් ජාලාවක් බවට පත්වන්නට ඉඩ තිබුණි. 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ දෙවැනි සංශෝධනය වැදගත් වූයේ සංකේතාත්මක අර්ථයෙන් පමණය. රාජ්‍යයේ සකලවිධ බලය හිමිකර ගනිමින් හා නීතියටද ඉහළින් සිටිමින් රාජ්‍ය බලය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස්කම් සඳහා අවශ්‍ය විධිවිධාන ඇතිකර ගත්තේ එම ව්‍යවස්ථා සංශෝධනයෙන් නොව ඊට පසු ඇතිකර ගන්නා ව්‍යවස්ථාවෙනි.

දේශපාලන මුග්ධභාවය

විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් හා පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් අතර පවත්නා ව්‍යුහමය වෙනස්කම් මෙම ලියුම්කරු (ඔහුගේ නියම නාමය කවුරුන් විය හැකි වුවත්* නොදනී. මෙම ආණ්ඩුක‍්‍රම දෙකේම ආයතනවලට තිබෙන්නේ එකම නම් වන නිසා ආණ්ඩුක‍්‍රම දෙක තුළම ඒවා ක‍්‍රියාකරන්නේ සමාන මූලධර්ම අනුකූලව යන්න මෙම ලියුම්කරුගේ මතය වී තිබෙන බවද පෙනේ. ආචාර්ය හෝවාර්ඞ් රිගින්ස් සමග ආචාර්ය කේ.එම්. ද සිල්වා ලියා ඇති ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ ‘ජනාධිපති ක‍්‍රමයක් යටතේ ගොඩනැගෙන ව්‍යුහයන් පළමු සමූහාණ්ඩු ක‍්‍රමය තුළ පැවතුණාට වඩා සාකල්‍යයෙන්ම වෙනස් වූ හෙයින්’ ඒ සඳහා අවශ්‍ය සංශෝධනයන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සකස් කරගත් බව කියා තිබේ. (තෙවැනි වෙළුම – පිටුව 102* මෙම වියතුන් දෙදෙනා ඒ දෙක අතර තිබෙන වෙනස දැක තිබෙන්නේ සරල වෙනසක් ලෙස නොව සාකල්‍යයෙන්ම වෙනස් වන ලොකු වෙනසක් ලෙසය. ඇමරිකන් ආණ්ඩුක‍්‍රමය තුළ පාර්ලිමේන්තුවක් තිබුණද ඇමරිකන් ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සීමිත සංශෝධනයක් මගින් එම ආණ්ඩුක‍්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් බවට හෝ ඉන්දියානු ආණ්ඩුක‍්‍රමය තුළ ජනාධිපති වරයෙකු සිටියද එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සීමිත සංශෝධනයක් මගින් එම ආණ්ඩුක‍්‍රමය ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් බවට හෝ පත්කළ නොහැකි බව කියන විට ඉන් මා අවධාරණය කරන්නට උත්සාහ කළේද මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යුහයන්ගේ මූලික වෙනසක් ඇති නොකොට සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකට හෝ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකට හෝ මාරු කළ නොහැකි බව පෙන්වාදීමටය. මේ ලියුම්කරු කවුරුන් වුවත් ඔහුගේ විශ්වාසය වී තිබෙන්නේ විධායක ජනාධිපති සතු බලතල පාර්ලිමේන්තුවේ සිටින අගමැති අතට පත්කරන හා ජනාධිපති අගමැතිගේ උපදෙස් මත ක‍්‍රියාකරන විධායකයකුගේ තත්ත්වයට පත්කරන සීමිත ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ අපූරු පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ඇති කරගත හැකි බවය.

විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් ඇති කිරීම මගින් සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පැවති කාලයේ අගමැති සතුව තිබූ බලතල නාමික විධායකයකුගේ තත්්ත්වයේ සිටි ජනාධිපති අතට පත් කෙරෙන සරල මාරුවක් ලෙස සැලකීම තරම් දේශපාලන මුග්ධභාවයක් තවත් තිබිය නොහැකිය. පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පැවති කාලයේ සිටි අගමැති හා වර්තමාන ජනාධිපති එක සමාන වන්නේ නැත. එදා අගමැති පුංචි ඡුන්ද කොට්ඨාසයකින් තේරී පත්වී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් වැඩිම විශ්වාසය දිනා ගැනීම තුළ එම තනතුරට පත්වූ පුද්ගලයෙක් විය. අගමැති නීතියට යටත් කෙනකු වූ අතර පාර්ලිමේන්තුවටද උත්තරදීමට බැඳී සිටියේය. ඔහු පෙරළා දැමීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණි.

එහෙත් විධායක ජනාධිපති තේරී පත්වන්නේ මුළු රටම එක ඡුන්ද කොට්ඨාසයක් ලෙස සලකා පැවැත්වෙන මැතිවරණයකිනි. රාජ්‍යයේ සකලවිධ බලය තිබෙන්නේ ඔහු අතේය. ඔහු කිසිවකුටත් උත්තරදීමට බැඳී නැති අතර නීතියටද යටත් නැත. ඔහු ධුර කාලය තුළ පෙරළා දැමිය නොහැකි ව්‍යවස්ථාදායක ඒකාධිපතියකු ලෙස සැලකිය හැකිය.

විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් සිදුවී තිබෙන්නේ එදා අගමැති සතුව තිබූ බලතල ජනාධිපති අතට පත්කිරීමක් පමණක් නම් පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තුළ අගමැතිට නොතිබූ අතිවිශාල බලයක් විධායක ජනාධිපතිට ලැබී තිබෙන්නේ කෙසේද? 72 ව්‍යවස්ථාව ඉදිරිපත් කළ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූයේ අගමැති සතුව තිබූ බලතල සංකේතාත්මක අර්ථයෙන් ජනාධිපති අතට පත්කිරීමය. එම ව්‍යවස්ථා සංශෝධනයේ සංකේතාත්මක වැදගත්කමක් ඇති දළ වියමනක් පමණක් විය. එම දළ වියමන පරිපූර්ණ වියමනක් බවට පත්කෙරෙන්නේ ඒ සමග ඇතිකර ගන්නා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙනි.

පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් යටතේ තිබූ පාර්ලිමේන්තුව හා ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු තිබෙන පාර්ලිමේන්තුව අතර තිබෙන මහා වෙනස්කම් තේරුම් ගැනීමටද මේ ලියුම්කරු සමත් වී නැත. දෙකටම තිබෙන්නේ එකම නමක් නිසා ඔහුට ඒ දෙකම පෙනෙන්නේ එකම දෙයක් ලෙසය.
පරණ පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තිබූ කාලයේදී පාර්ලිමේන්තුව සැලකුණේ රාජ්‍යයේ උත්තරීතරම ආයතනය ලෙසය. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය තිබුණේ පාර්ලිමේන්තුවටය. අගමැතිගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය පාලක බලයේ කේන්ද්‍රය ලෙස ක‍්‍රියා කළේය. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට බැඳී සිටි අතර අවශ්‍ය නම් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පෙරළා දැමීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණි.

එදා පාර්ලිමේන්තුවට කේවල ඡුන්ද ක‍්‍රමයකට මහජන නියෝජිතයන් තේරී පත්වූයේ ජනගහනයෙන් සෑම 75,000කටම හා වර්ග සැතපුම් 1000කට එක ආසනයක් යන පදනම යටතේ පැවති පුංචි ඡුන්ද කොට්ඨාස ක‍්‍රමයකිනි. මන්ත‍්‍රීවරයකුට ලැබෙන දීමනා කැපීපෙනෙන තත්ත්වයක නොතිබුණි. අගමැතිගේ පවා මාසික වැටුප පැවතියේ රුපියල් 1500ක තත්ත්වයකය. තේරී පත්වන මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීම සපුරා තහනම් විය. අපේක්ෂකයකුට මැතිවරණවලදී වැය කළ හැකි වියදම් සඳහා සීමා නීති තිබුණි. 1970 වනවිටත් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල වූයේ රුපියල් 5,000කි. මැතිවරණවලදී තරග කරන අපේක්ෂකයන් මැතිවරණ වියදම් පිළිබඳ ලේඛනයක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. මැතිවරණ කොම සාරිස්වරයාගේ වාර්තා අනුව 1970 මැතිවරණයේදී වැඩිම වියදමක් දරා තිබුණේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාසවලට තරග කරන අපේක්ෂකයන්ය. එක් අයකුට වැටුණු සාමාන්‍ය වියදම රුපියල් 4,235.18කි. අඩුම වියදමක් දරා තිබුණේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාසවලින් තරග කළ අපේක්ෂකයන්ය. එක් අයකුගේ සාමාන්‍ය වියදම රුපියල් 1,940.47කි. මැතිවරණ වලදී අල්ලස් දීම, අයුතු සංග‍්‍රහ හා අයුතු බලපෑම් නීතියට පටහැනි වූ අතර නීති උල්ලංඝනය කරමින් තේරී පත්වන්නන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි.

එදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන්ගේ සාමාන්‍ය උගත්කම පිළිගත හැකි උසස් මට්ටමක තිබුණි. පාර්ලිමේන්තු කටයුතුවලට ඔවුන්ගේ සහභාගිත්වයද උසස් මට්ටමක පැවතුණි. පාර්ලිමේන්තු වාද විවාද උසස් මට්ටමක පැවති අතර කාරක සභාවල කි‍්‍රයාකාරීත්වයද ප‍්‍රශස්ත මට්ටමක පැවතුණි. එදා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හිතට එකඟව ක‍්‍රියාකිරීමේ නිදහසද තිබුණි. අතුරු මැතිවරණ ක‍්‍රමය නිසා රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කරන මන්ත‍්‍රීවරයකුට, අවශ්‍ය නම් මන්ත‍්‍රීකමින් ඉවත් වී අතුරු මැතිවරණයට තරග කොට සිය මතයට ලැබෙන වැදගත්කම පෙන්වාදීමේ හැකියාව තිබුණි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට විශ්වාසභංග යෝජනාවක් මගින් බලයේ සිටින ආණ්ඩුවක් පරාජය කිරීමේ බලයද තිබුණි.

78න් පසු පාර්ලිමේන්තුව

විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇතිකිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන වෙනස්කම් අතිවිශාලය. ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු තවදුරටත් පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනය වන්නේ නැත. තාරා කුමාරස්වාමි විස්තර කර ඇති පරිදි දැන් පාර්ලිමේන්තුව තිබෙන්නේ ජනාධිපතිගේ රබර් මුද්‍රාවක තත්ත්වයකය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු වාද විවාදවලදී ජනාධිපති විවේචනය කළ නොහැකිය. ඔවුන්ට විශ්වාසභංග යෝජනාවක් මගින් ජනාධිපති පරාජය කළද නොහැකිය.

දැන් පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තේරී පත්වන්නේ කේවළ ක‍්‍රමයට පුංචි ඡුන්ද කොට්ඨාසවලින් නොව දිස්ත‍්‍රික්කය කොට්ඨාසයක් ලෙස සලකා අනුපාතික ඡුන්ද ක‍්‍රමයටය. මන්ත‍්‍රීකම මහා පරිමාණයෙන් ධනය ඉපැයිය හැකි මාර්ගයක් බවට පත්ව තිබෙන අතර මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට අතිවිශාල ධනයක් වැය කළ යුතුවීම නිසා මහජන සේවයට උනන්දුවක් දක්වන අයට වඩා අද මන්ත‍්‍රීවරුන් වීමට උනන්දුවක් දක්වන්නේ ව්‍යාපාරික අභිලාෂ ඇති අයවලූන්ය. මැතිවරණ සඳහා පනවා තිබූ වියදම් සීමා නීති ඉවත් කිරීම නිසා දැන් මැතිවරණ විශාල ප‍්‍රමාණයෙන් මුදල් වැය කළ හැකි අයට පමණක් තරග කළහැකි දෙයක් බවට පත්ව තිබේ. මැතිවරණයකදී අපේක්ෂකයකු කරන වියදම මිලියන 100කටත් වැඩිය. අනෙක් අතට මන්ත‍්‍රීවරුන්ට පුද්ගලික හමුදා පවත්වාගෙන යෑමට ලැබී තිබෙන අයිතිය නිසා මැතිවරණ මැර බලයෙන් කරන වියරු තරගයක් බවට පත්ව තිබේ. මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම වැළකීම සඳහා පැවති නීති වලංගු නැති දෙයක් බවට පත්ව තිබීම නිසා මන්ත‍්‍රීවරු නාමික මිලකට රජයේ ඉඩම් මිලදී ගත් වැවිලිකරුවන් බවටත්, රජයේ බලපත‍්‍ර ඇතිව තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම් කරුවන් බවටත් වෙනත් ආකාරවල ජාවාරම්වල යෙදෙන ජාවාරම්කරුවන් බවටත් පත්ව සිටිති.

ගොඩනැගී තිබෙන මෙම විශේෂ වටාපිටාව තුළ මහජන සේවය ගැන ඇත්ත උනන්දුවක් දක්වන්නට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තිබෙන ඉඩ ඇහිරී පාර්ලිමේන්තුව මහා පරිමාණයෙන් මුදල් ඉපැයීම අරමුණු කරගත් කූට ජාවාරම්කාරයන් අරක් ගත් ආයතන ක‍්‍රමයක් බවට පත්වී තිබේ. ඒ තත්ත්වය පාර්ලිමේන්තු කටයුතුවල තිබිය යුතු ගුණාත්මක අගයේද විශාල පරිහානියක් ඇති කිරීමට හේතුවී තිබේ. දැන් පාර්ලිමේන්තුවේ වැඩි වශයෙන් අරක් ගෙන සිටින්නේ ව්‍යවස්ථාදායකයන් නොව කූට ජාවාරම්කරුවන්ය. මේ තත්ත්වයේ යහපත් වෙනසක් ඇති කිරීමෙන් තොරව සියලූ බලතල පාර්ලිමේන්තුවට පවරන ප‍්‍රතිපත්තියකින් ආණ්ඩුක‍්‍රමයේ ඇති කළ හැක්කේ තවත් මහා විකෘතියක් හා අවුලක් පමණය.
Read more
Thursday, July 17, 2014
තවත් රාජපක්ෂ ධුර කාලයක් දරාගත නොහැක  ----   තිසරණී ගුණසේකර -

මුලින්ම ලෝකය සිඳ බිඳ දැමූ පසු ඔහුට තමාගේ සාමය ගෙන ආ හැකියි. : රොල්ෆ් හොචූත්, ද ඩෙපියුටි.
අලූත්ගම කෝලාහලයේදී මුස්ලිම්වරු තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කරන ලදහ. ඒ දහසක් දෙනාගේ ඇස් ඉදිරිපිටදීය. ඔවුන්ගේ මරණ පරීක්ෂණවලදී හෙළිවූයේ ඔවුනට වධදී මරා දැමුණු බවය. ඒ අතර පොලිසිය කොළඹ මහේස්ත‍්‍රාත් උසාවිය වෙත දැනුම් දුන්නේ 2014 අපේ‍්‍රල්වලදී ඉතා ප‍්‍රසිද්ධියේ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය වෙත කඩාවැදුණු බොදුබල සේනා භික්ෂූන් තමන්ට හඳුනාගැනීමට නොහැකි වූ බවය.

මේ අධිතාත්වික සිදුවීම් දෙක සංකේතවත් කරන්නේ රාජපක්ෂලා යටතේ ලංකාව පත්වී ඇති පිරිහුණු හා අවාසනාවන්ත තත්ත්වයයි.
2006 ජනවාරි ත‍්‍රිකුණාමලයේදී දෙමළ ශිෂ්‍යයන් පස්දෙනකු මරා දැමූ විට ඔවුන් මියගියේ තමන් ගෙන ආ බෝම්බයක් පිපිරීමෙනැ’යි යන හමුදා ප‍්‍රකාශය බොරු බව ඔප්පුකළේ සිංහල අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසිනි. ඉන්පසුව ඇමතිවරයකු ප‍්‍රසිද්ධියේ මාධ්‍ය හා පොලිසිය ඉදිරියේ සමෘද්ධි නිලධාරියකු ගස් බැන්ද විට ප‍්‍රකාශ කරන ලද්දේ නිලධාරියා තමන් විසින්ම ගස් බන්දා ගත් බවය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ප‍්‍රතික්ෂේප කළ අගවිනිසුරුවරිය දෝෂාභියෝගයට ලක් කර නීති විරෝධී ලෙස තනතුරෙන් පන්නා දමන ලද්දේය.
නීතියට ඉහළින් සිටීමට ප‍්‍රදේශ සීමා නැත. උතුරේ සිදුවූ දේ දකුණේද සිදුවේ. දමිළයන්ට සිදුවූ දේ සිංහලයන්ට සහ මුස්ලිමුන්ටද සිදුවේ. වැලිවේරිය සහ අලූත්ගම පාලක පවුලට අයිති නැති ඕනෑම ලාංකිකයකුගේ ජීවිතවල අනාරක්ෂිතභාවය කියාපාන අසුබ නිමිති වේ.

මහින්ද රාජපක්ෂ තුන්වන ධුර කාලයටත් පත්වුවහොත්?

පසුගිය සතියේදී පොලිසිය බොරු පැමිණිල්ලක් කිරීම මත වටරැුක විජිත හිමියන් අත්අඩංගුවට ගත්තේය. වෛද්‍ය වාර්තාවලින් කියැවී ඇත්තේ ඔහුගේ තුවාල තමන්ම කරගත් ඒවා බවය. ඒවාද අලූත්ගමදී ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා වගේමද? බොදුබල සේනා මැරයන් කළ තුවාල තමන්ම කරගත් ඒවා වේද? වෙඩි වැදුණු තුවාල කඩු හා පිහිවලින් කැපුණු තුවාල බවට පත්වූ ලෙසට.
කුරාම් ෂයික්ගේ සහකාරිය වූ වික්ටෝරියා තෙෂේවා දූෂණයට හෝ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් නුවූ බව මාස කීපයකට පෙර ඇමති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කීවේය. ‘මා මේ පිළිතුර ඉදිරිපත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස් වාර්තා පදනම් කරගන ලබා දුන් කරුණු මතයි.’ ඔහු පැවසුවේය. සිදුවීම් යටපත් කිරීමට ගත් උත්සාහය එක්සත් ජනපදයේ බලපෑම මත අසාර්ථක විය. ෂයික් බි‍්‍රතාන්‍ය පුරවැසියකු නොවී නම් සම්පත් චන්ද්‍රපුෂ්පට හා ඔහුගේ මැර කල්ලියට නඩුවක් නොපැවරෙනු ඇත. තව හය වසරක් රාජපක්ෂ පාලනය තිබුණොත් සාමාන්‍ය වැසියකුට තමාගේ රට තුළ මූලික සාධාරණය හෝ ඉටුකර ගැනීමටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෑමට සිදුවනු ඇත.

සියලූම ආයතන දිගින් දිගටම පිරිහෙමින් පවතී. මේ සඳහා දිය හැකි මෑතම නිදසුන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්ෂණිකව ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කිරීමය. ඇය කොමිෂන් සභාපති බාලපටබැඳි සමග මතභේද ඇතිවූ බව ප‍්‍රකට කරුණකි. සභාපති බාලපටබැඳිට එරෙහිවද කොමිසමට පැමිණිලි ලැබී තිබුණි.
තවත් ධුර කාලයක් මහින්ද රාජපක්ෂට ලැබුණොත් රටට, විශේෂයෙන් පොලිසියට හා අධිකරණයට සිදුවිය හැකි දේ සිතාගනු මැනවි.

මෑතක් වනතුරු සාමාන්‍ය මට්ටමක ස්වාධීනත්වයක් හෝ තිබූ ආයතනයක් වූයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. ඛනිජ තෙල් ගෙනයන නළ පද්ධතිය පවතිනුයේ අබලන් තත්ත්වයක බැවින් ඒ සඳහා ඉක්මන් විසඳුම් ලබා නුදුනහොත් විශාල ඉන්ධන අර්බුදයකට මුහුණදීමට වනු ඇතැ’යි විගණකාධිපතිවරයා අවවාද කර තිබුණි. ඔහු නිරීක්ෂණය කර ඇති ලෙසට මෙම නළ එලා අවුරුදු 40 සිට 70 කාලයක් ගතව ඇත. මේ නළ පද්ධතියක සාමාන්‍ය ආයුකාලය වසර 25ක් පමණි. මේ අතර නළ මාර්ග දෙකක් තවදුරටත් අලූත්වැඩියා කළ නොහැකි බැවින් අත්හැර දමන ලදි. එබඳු තත්ත්වයක් යටතේ රටේ ඉන්ධන අවශ්‍යතාව නළ මාර්ග තුනකින් මෙහෙයවීමේ බැ?රුම් ගැටලූවට මුහුණදීමට ඛනිජ තෙල් බලධාරීන්ට සිදුව ඇත.

මේ සිදුවිය හැකිව තිබූ අපහසුතාව රජය පැහැදිලිව දැන සිටින්නට ඇත. එහෙත් රාජපක්ෂලාට ඉන්ධන ප‍්‍රවාහනය කරන නළ මාර්ග තුන අලූත්වැඩියා කිරීමට වඩා වැදගත් වූයේ කෘත‍්‍රිම දූපත් තැනීමත්, වැඩකට නැති ගුවන්තොටුපළ හා වරාය තැනීමත්ය. විගණකාධිපති පැවසූ ලෙසට අර්බුදයක් ඇතිවුවහොත් එය ජිහාඞ්වාදීන්ගේ, නැවත පණ ගහන කොටින්ගේ හෝ ඔවුන්ගේ සිංහල සගයන්ගේ වැඩකැ’යි රාජපක්ෂ සහෝදරයන් හා බොදුබල සේනා, ජාතික හෙළ උරුමය, රාවණා බලයේ ගෝලයන් පවසනු ඇත. මීට පෙර 1986දී 126 දෙනකු මරා දමමින් නිවාස 1600ක් විනාශ කරමින් කන්තලේ වැව් බැම්ම බිඳී ගිය විට එය කොටින් පිට පැටවීමට ජේ.ආර්. රිජීමය ගත් උත්සාහයේ පූර්වාදර්ශයක්ද ඇත. රාජපක්ෂ නාස්තිය විසින් රට ණය උගුලක සිරකර ඇති බව නොරහසකි. රජයේ සහ පෞද්ගලික බැංකු මහ බැංකුවේ අනුමැතිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීම නිසා දරුණු ණය අර්බුදයකට ලක්විය හැකි බවට ඇමති තිස්ස විතාරණ අනතුරු ඇඟවූයේය.

අධ්‍යාපනය ප‍්‍රමුඛත්වයෙන් ඉවත් කෙරී ඇත. 2010 එයට දළ දේශීය ආදායමෙන් 1.81%ක් වෙන් කෙරුණු අතර 2013දී වෙන් කෙරෙන්නේ දළ දේශීයෙන් 1.51%ක් පමණි. මෙයද තරුණ විරැුකියාව 20%ක් නැගීමට හේතුවලින් එකකි. ශ‍්‍රී ලංකාව හා චීනය ආදායම් විසමතා ශීඝ‍්‍ර ලෙස වර්ධනය වන රටවල් වේ. පසුගිය සතියේ කොළඹ 2 පදිංචි, මැලේ වැසියෝ තමන්ගේ සාම්ප‍්‍රදායික නිවාසවලින් විශාල පරිමාණයෙන් ඉවත් කරනු ලැබූහ. කොළඹින් කොටසක් මිනි ලාස්වේගාස් එකක් බවට පත්කිරීමට රාජපක්ෂලා සැලසුම් කරති. රාජපක්ෂලා ප‍්‍රමුඛත්වය දෙන දේ ගැන බලන විට තවත් වසර හයක් රාජපක්ෂ පාලනය පැවතුණහොත් සාමාන්‍ය වැසියාගේ ආර්ථිකයට සිදුවන දේ සිතාගනු මැනවි.

දෙමළ ජනයා දිනාගැනීමට දේශපාලනිකව හා ආර්ථිකව කර ඇත්තේ සුළු දෙයක් පමණි. යුද්ධය නිසා නිවාස අහිමි වූ උතුරට නිවාස 60,000ක් අවශ්‍යව ඇත. ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 300කට වඩා අවශ්‍යය. අවාසනාවකට මේ සඳහා අරමුදල් නොමැත. රිජිමයේ උනන්දුව ගිලිහෙන අතර අනුග‍්‍රහ දැක්වීම්ද අඩුවෙමින් පවතී. රැුකියා විරහිත උපාධිධාරීන් වැඩිවීම සහ පාසල් හැරයන්නන්ගේ වැඩිවීම් එකම ගැටලූවේ අන්ත දෙකක් වන අතර ඒ හේතුව නිසාම උතුර මෙන්ම ශ‍්‍රී ලංකාවද අස්ථාවරභාවයට පත්වෙමින් තිබේ. තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දීමට හෝ උගත් තරුණයන්ට රැකියා ලබාදීමට අසමත් සමාජයක් සුරක්ෂිත හෝ ස්ථාවර වන්නේ කෙසේද?

උතුරේ ඇති රැුකියාවල පහළ මට්ටම තවත් ප‍්‍රශ්නයකි. 2012 එජා මානව හිමිකම් කොමිසමේ ගෘහස්ථ අධ්‍යයනයකට අනුව 43%කට ලැබෙන්නේ මසකට රුපියල් 5000කි. (ඩොලර් 38* හෝ අඩුවෙනි. ඒ ජාතික ඒක පුද්ගල ආදායම රුපියල් 36451 (ඩොලර් 280)ක්ව තිබියදීය. ප‍්‍රදේශ වශයෙන් වන ආදායම් විසමතා කෝපයට පත් තරුණ පෙළක් උතුරින් බිහිවීමට හේතුවේ. දිගුකාලීන ඊලාම් යුද්ධයේදී ශ‍්‍රී ලංකාවට පක්ෂපාතීව සිටි මුස්ලිම් ජනතාව ඉන් ඈත් කිරීමට පාලක කල්ලිය වෙහෙසෙමින් කටයුතු කරයි.

මේ රටට මුලින් ආවේ කවුදැ’යි කවදාදැයි සෙවීම නිෂ්ඵල අභ්‍යාසයකි. අප කැමති වුවත් අකමැති වුවත් පවතින යථාර්ථය සිංහල, දමිළ, මුස්ලිම්, ක‍්‍රිස්තියානි අප සියල්ලන් මෙහි සිටින බවය. එසේ නම් අභියෝගය අප සියල්ලන්ට සමඟියෙන් ජීවත්විය නොහැකි නම් අඩු තරමින් එකිනෙකා ඉවසමින් සිටීමටවත් හැකි ලෙසට පියවර ගැනීමය. ඒ වෙනුවට රාජපක්ෂලා කරන්නේ තිබෙන ගැටුම් තව තව ඇවිලවීමය. එවිට සිංහල බෞද්ධයන් තුළ තම බලය රඳවා ගතහැකි බැවිනි. ශ‍්‍රී ලංකාව තුළ තව වසර හයක් රාජපක්ෂ පාලනය පැවතියහොත් ආගමික ගැටුම් එකක් හෝ දෙකක් ඇතිවීමේ තත්ත්වයක් ඇතිවනු ඇත. පශ්චාත් රාජපක්ෂ ශ‍්‍රී ලංකාව සුරපුරක් වේයැ’යි සිතිය යුතු නැත. අඩුතරමින් එය සාමාන්‍ය මට්ටමේ දූෂණයට, මර්දනයට, ඥාති සංග‍්‍රහයට හා රැුවටිලිවලට පැමිණියත් ලංකාව මට්ටමින් ප‍්‍රමාණවත්ය. එය රාජපක්ෂ පාලනය තව වසර හයක් තිබීමට වඩා ලාංකිකයන්ට හා සිංහල බෞද්ධයන්ට යහපත් වනු ඇත.

පරිවර්තනය: හේමන්ත රණවීර

Read more
Wednesday, June 25, 2014
  හිට්‌ලර්ගේ ගෝලයෙක්‌ යළි ඉපදීම

වටරැක විජිත නමැති චීවරධාරියා තවදුරටත් භික්‌ෂුවක ලෙස හැඳින්වීම අප විසින් කරනු ලැබිය යුතුද? බොදු බලසේනාව සමග ගැටුමක්‌ ඇතිකරගෙන සිටි ඔහු එම සංවිධානයේ සිවුරු ගැලවීම සඳහා තෙමේම ගුටි ඇනගෙන, තෙමේම අත් පා කපාගෙන පානදුරේ හිරණ පාලම අසල නිරුවතින් වැටී සිටීමෙන් පත්තු කරන්නට තැත් කළ බෝම්බය පොඩි එකක්‌ නොව ලොකුම ලොකු එකකි. චීවරධාරී විජිත වැටී සිටි ආකාරයට අනුව වැඩි දෙනකු සැක කළේ බොදුබල සේනාව ඔහුට
Read more
Friday, June 20, 2014
දේවදත්තවත් මෙහෙම නැහැ...............නීතිය ප්‍රයිවට්‌ ලිමිටඩ් කොම්පැනියක්‌ නොවේ

බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක්‌ දුව යති. උන්වහන්සේට පහර දීම සඳහා කට්‌ටියක්‌ පන්නාගෙන යති.
ඉහතින් සඳහන් වන්නේ මෙයට මාස දෙකකට පමණ පෙර අන්තර්ජාලය ඔස්‌සේ අප දුටු ඉතාම කාලකණ්‌ණි දර්ශනයකි. මේ සිද්ධියේදී දිව ගිය භික්‍ෂුව වටරැක විජිත හිමියෝ ය. පසුපසින් එළවාගෙන පැමිණි අය එක්‌කෝ බොදු බල සේනාවේ කට්‌ටිය ය. නැත්නම් ඒ කටිටිය සහ ඒ කට්‌ටියට සල්ලි 'පම්ප්' කරන කට්‌ටිය ය. (සල්ලි පම්ප් කිරීම ලෙස මෙහිදී හැඳින්වෙන්නේ සද්භාවයෙන් කරන දායකත්වය හෙවත් ටූත් පේස්‌ට්‌ අරන් දීම, ගමන් බිමන් සඳහා වාහන සැපයීම, දාන මාන පිරිනැමීම සහ වෙන වෙන පොඩි පොඩි වැඩවලට සපෝට්‌ දීම යනාදී වශයෙන් සද්භාවයෙන් කරන වැඩ ය.)

භික්‍ෂුන් වහන්සේ නමක්‌ පසුපස, පහර දීමේ ෙච්තනාව සහිතව පිරිසක්‌ පන්නාගෙන යැම දැකීමට තරම් පව් කිසිදුÊබෞද්ධයෙක්‌ නො කළ යුතු ය. එසේම මේ නපුරු දර්ශනය වෙනත් ආගමක්‌ ආශ්‍රයෙන් වුව ඇති නො විය යුතු ය. දේවදත්තවත් මෙහෙම හැසිරී නැත.

කෙසේ වුවද එදා දීමට බැරි වූ ගුටි පූජාව 'ඇරියස්‌' එකත් සමඟම වටරැක විජිත හිමියන්ට මෙයට දින දෙක තුනකට පෙර ලැබිණ. උන්වහන්සේ පැහැරගත් පිරිසක්‌ ඉතා දරුණු ලෙස උන්වහන්සේට පහර දී සිවුර ගලවා අත් පා බැඳ දමා පානදුරේ හිරණ පාලම අසල දමා ගොස්‌ තිබියදී හමුවිය.

වටරැක හාමුදුරුවන්ට පහර දුන්නේ අරගොල්ලන්ද? එහෙමත් නැත්නම් මේ ගොල්ලන්ද? කවුරු ගැහුවත් මේ වෙලාවේදී මේ ගහන්නේ බරපතළ න්‍යාය පත්‍රයක්‌ අත තබාගෙන ය. වටරැක හාමුදුරුවන්ට බොදු බල සේනාව පහර දුන් බව කිව්වොත් වැඩේ ඩබල් වෙයි. එම පහරදීම කළේ බොදුÊබල සේනාවේ එකවුන්ට්‌ එකට බැර කිරීම සඳහා ඉස්‌ලාමීයයන් යයි කිව්වොත් වැඩේ ටි්‍රබල් වෙයි.

එහෙත් මේ වෙලාවේ දී ඒ කුණු වැඩේ මේ කවුරුවත් කරන්නේ නැත. එය කළ එකා සර්ව සම්පූර්ණ තුන්වන පාර්ශ්වයක්‌ විය යුතු ය. ඒකා හෝ උන් සොයා හතර හන්දි ගැලවිය යුතුම ය.

මේ දිනවල ලෝකය පුරා විවිධ අරගල තිබේ. ත්‍රස්‌තවාදී ප්‍රචණ්‌ඩත්වය, රටවල් ඇල්ලීමට මූලධර්මවාදීන් හමුදා තැනීම, ස්‌ත්‍රී දූෂණ සහ සොරකම්, මිනී මැරුම් සහ ආගමික යුද්ධ මේ දිනවල ඉතා දරුණුවට පවතී. මේ දිනවල තිබෙන රැල්ල එය ය. ඒ රැල්ල එහෙ මිස මෙහෙ ගැසිය යුතු නැත. ඒ රැල්ල මෙහෙ ගැසීමට මහජන ඡන්දයෙන් පත් වූ විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉඩ දෙන්නේ ද නැත. දිය යුතුත් නැත. මහජනයා නීතිය අතට ගැනීම තුළ මේ කාලය ඉතා නරක කාලයක්‌ බවට පත් වී තිබේ. නීතිය තිබිය යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ නො වන බව ඇත්ත. එය තිබිය යුත්තේ සමාජය තුළ ය. එය ක්‍රියාත්මක කළ යුත්තේ පොලිසිය සහ උසාවිය ය. මහජනයා නීතිය අතට ගත් විට ආණ්‌ඩුවේ ඉස්‌කාගාර සංස්‌ථාව පෞද්ගලික අංශයට වික්‌කා හා සමාන තත්ත්වයක්‌ ගනී. නීතිය ප්‍රයිවට්‌ ලිමිටඩ් කොම්පැනියක්‌ නොවේ. එය ජනයාගේ ආරක්‍ෂාව පතා ව්‍යවහාර කළ යුතු රජයේ දේපළකි. එහි 'කොටස්‌' පුද්ගලික අංශයේ කාටවත් නැත.

මේ අතර බෞද්ධ භික්‍ෂුවක සහ ප්‍රවීණ ධර්මධරයකු වූ කිරම විමලජෝති නායක හාමුදුරුවන් වහන්සේ බොදුÊබල සේනාවෙන් ඉවත් වූ බව අපි දැන ගතිමු. මෙය ඉතා කාලීන හොඳ තීරණයක්‌ නිසා උන්වහන්සේට හිස නමා ආචාර කරමු.

                                                                                                                                             divaina -
Read more
Tuesday, June 17, 2014
යකා බැඳ තබමු!

කා අතේත් වැරදි තිබෙන බව ඇත්ත. කා අතේත් පවු ටිකක්‌ ගෑවී තිබෙන බවත් ඇත්ත. එහෙත් මනුස්‌සයන් හැටියට අප මෙසේ පාරවල් දිගේ ගහ මරා ගත යුතුද? කඩ ගිනි තැබිය යුතුද? ඇඳිරි නීතිය පනවාගෙන, අප කන්නට බලා සිටින දේශපාලන සහ ආගමික බලවේගවලට විනෝදාස්‌වාදය සැපයිය යුතුද? අලුත්ගම සහ බේරුවල යන දෙපෙදෙසෙහි ගත වූ පැය හැත්තෑදෙක තුළ වූ සිද්ධි සමූහය කැතයá ලඡ්ජා සහගතයá නින්දිත ය. ලුණු ඇටයක්‌ දැක ලුණු ලේවායක කතා පතුරුවාහරින ඇතැම් මිනිස්‌සු පේන්ට්‌ කරන ලද අශූචි බාල්දි වැනි තම මුඛ කුහර විවර කර තප්පරයට හැට ගානේ තමන් ඇසූ දුටු කතන්දර කීමට පටන් ගෙන ඇත්තාහ.

අසූ තුනේ කලු ජූලිය පුනරුච්ඡාරණය කිරීමට අප කාටවත් අවශ්‍යද? නැත. අසූ තුනේ ජුලි මාසයේදී ගලා ගිය ලේ ගංගා යළි දැකීමට කවුරුත් කැමැතිද? කිසි ලෙසකින්වත් නැත. අප අකැමැති වුවද මේ ලේ ගංගා දැකීමට කැමැති පරපීඩකයෝ අප අතර සිටිති. උන්ට ජාති භේදයක්‌ නැතá ආගම් භේදයකුත් නැතá කුල භේදයකුත් නැත. මේ දෙක තුනෙන් කොයි එක හෝ යොදාගෙන කඩයක්‌ ගිනි තැබීම, ගෙයක්‌ කොල්ල කෑම, මිනිසකු මැරීම, අන් කෙනකුගේ බිරියක හෝ දියණියක හෝ සොයුරියක හෝ කෙළෙසීම උන්ගේ අරමුණ ය. මේ නීච අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා උන් ඉදිරියෙන්ම රැගෙන යන බෝඩ් ලෑල්ල එක්‌කෝ zආගම බේරා ගැනීමZ ය. එහෙමත් නැතිනම් zජාතිය බේරා ගැනීමZ ය. එහෙත් මිනිස්‌කම බේරා ගැනීමට කා තුළවත් උනන්දුවක්‌ නැත. ඒකට හෙන ගහලා පලච්චාවේද?

අලුත්ගම ධර්ගා නගරයේ පතිරාජගොඩ විහාරස්‌ථානයේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකට පසුගිය පොහෝ දින කිසියම් පිරිසක්‌ විසින් පහර දෙනු ලැබීම පසුගිය පැය හැත්තෑදෙක තුළ සිදුවූ සියලු zඅපාය සහායZ සිදුවීම්වල නිමිත්ත ලෙස දැනට පෙන්වා දෙනු ලැබේ. කිසිදු ආගමකට අයත් පූජ්‍ය පක්‍ෂයේ කෙනකුට පහරදීමට අප එකහෙලා විරුද්ධ වෙමු. එසේම එම පහරදීම ඉත්තකු බවට පත් කරගෙන දේශපාලන බඩ වඩා ගැනීමකට කිසිදු පුද්ගලයකු, කණ්‌ඩායමක්‌ හෝ ආගමික කල්ලියක්‌ උත්සාහ කරන්නේ නම් එයට ද අප තරයේa විරුද්ධ වෙමු. ජාතිවාදය යනු ඉතා ජනප්‍රිය මාතෘකාවකි. ආගම්වාදය ද, එසේම ය. මේවා ලේ හැලෙන සහ ලේ හලන මාතෘකා ය. මනුෂ්‍යා යනු තවමත් ගෝත්‍රික ලක්‍ෂණ කරපින්නාගෙන සිටින සත්ත්වයෙකි. ලේ දැකීමට ප්‍රිය කරන යක්‍ෂයෙක්‌ ඔහු තුළ සිටී. මේ යක්‍ෂයා පළවා හැරීමට බැරි නම් අඩුම ගණනේ බැඳ තැබීමවත් අප කළ යුතුය. එයට අකැමැති වන තැන්වලදී යකාත් ඒ යකා සඟවාගෙන සිටින මිනිසාත් යන දෙදෙනාම බැඳ තැබිය යුතුය.

මේ රට සිංහලයන් ප්‍රමුඛ සියලු ජාතීන්ගේ භූමියයි. ඉස්‌ලාමීයයෝ ද, දෙමළ ජනයා ද අපගේ සහෝදරවරු ය. බර්ගර් ජාතිකයෝද, මැලේ ජාතිකයෝ ද අපගේ සහෝදරවරු ය. සියලු ආගම්වලට රට තුළ පිළිගැනීමක්‌ තිබේ. ඒ අතර කාලකණ්‌ණි කුලභේදය පමණක්‌ තැන තැන දක්‌නට ලැබේ. ශ්‍රී ලංකාව යනු තිස්‌ අවුරුදු යුද්ධයක්‌ දිනා ශිෂ්ඨාචාරයක්‌ අලුතින් ආරම්භ කළ රටකි. මේ ශිෂ්ඨාචාරය දිගින් දිගටම ඉදිරියට ගෙන යැමට නම් අප තුළ සිටින ජාතිවාදී සහ ආගම්වාදී යකා බැඳ තැබිය යුතුමය.

divaina -
Read more
Thursday, June 12, 2014
මම බොදු බලයට බයයි!!! - උපුල් ශාන්ත සන්නස්ගල

යොවුන් ම යොවුන් කවියෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලගෙ කුළුඳුල් කවි පොත ජනගත කෙරුණෙ පසුගිය හතරවෙනිද. එදා කතාබහට එකතු වුණේ උපුල් ශාන්ත සන්නස්ගල සහ මංජුල වෙඩිවර්ධන. (ස්කයිප් තාක්ෂණය හරහා) වැඩේ ඉවරවෙලා ගියපු වැඩේ කරගන්න (තේ පැන් සාදය භුක්ති විඳින්න) ගිය වෙලාවෙ මගේ හිතවතෙක් කියනව... ‘අදනං සන්නගෙ දේශනය අන්තිමයි.
ඌ පොත ගැන කතා කරේ නැහැනෙ.’ කියල. මම කිව්ව... ‘ උපුල් පොත ගැන කතා නොකළට පොතේ අන්තර්ගත දේශපාලනය ගැන හොඳ සවිඥානයකින් යුතුවයි කතා කරේ’ කියල. මිත්‍රයට ම කියපු දේ වැටහුණා ද නොවැටහුණා ද කියල මට වටහා ගන්න බැරි වුණා. මොකද ඊට වඩා දෙයක් ඔහු කතා නොකළ නිසා.

මෙවැනි සංවාදවලට සහභාගිවන බහුතරයකගෙ මතයත් ඒ වගේ නම්, ඔවුන් වර්තමාන දේශපාලනය ගැන කොතරම් අවිඥානික ද කියන කාරණය දැන් පැහැදිලියි. එහෙම නැත්නම් සවිඥානික වුනත් පැවැත්ම සඳහා අවිඥානික විදියට ජීවත් වෙන්න උත්සාහ කරනව ද දන්නෙත් නැහැ. කොහොම වුනත් එදා සන්නස්ගල කළේ තැනට සුදුසු ම ආකාරයේ දේශනයක්. ඒ කියන්නෙ කසුන්ගෙ පොත පිළිබඳව සහ වර්තමාන දේශපාලන සන්දර්භය පිළිබඳ අති සවිඥානික දැක්මක් සහිත කතාවක්. ඒක එහෙම ද නැද්ද කියල බලන්න අපි ඒ දේශනය උපුල්ගෙ වචනවලින් ම කියවමු.

මට මේ වගේ තැනක දේශනයක් කිරීම අපහසු කාරණයක් නෙවෙයි. ඒක මට කජු කනව වගේ වැඩක්. නමුත් කසුන්ගෙ පොත ගැන දේශනය කරන්න මම ටිකක් තිගැස්සුණා සහ බියක් දැනෙනවා. මොකද මම මේ පොත දරුණුවට විවේචනය කරල කසුන්ගෙ දේශපාලනය කතා කළොත් මම මෙතනින් බැස්සට පස්සෙ කසුන් මෙතනට නැගල මට බනින්න ඉඩ තියෙනව.

මම කසුන්ව දන්නකාලෙ යි, කසුන්ගෙ කවි ටිකයි, මම විශ්වවිද්‍යාලෙ සිටි අවධිය යි, අද දේශපාලනය යි සහ උතුර පිළිබඳ සිතන විදියයි සියල්ල ම ගත්තම මට පළමුවෙන් ම හිතෙන්නෙ කසුන් සංස්කෘතික හැඳුනුම් පතක් සොයමින් සිටින බව. මම මේ කියන්නෙ ජාතික හැඳුනුම්පත නොවෙයි: සංස්කෘතික හැඳුනුම්පත. සාමාන්‍යෙයන් කෙනෙක් මේ හැඳුනුම්පත හොයාගන්නෙ වයසත් එක්ක සහ අත් දැකීම් සමඟ පරිනාමය වෙමින්.

මට අද දේශනය පවත්වන්න කිව්වෙ කුමාර හෙට්ටිආරච්චි ගැන, රත්න ශ්‍රී ගැන හෝ අවම වශයෙන් මස්ඉඹුල පිළිබඳව නම් කිසිම තිගැස්මක් නෑ ඒ කෙනාගෙ කවි ටිකක් උපුටාගෙන දේශනය කරන්න අවශ්‍ය සම්පත් වුවමනාවටත් වඩා තියෙනව. නමුත් මම කියන්නෙ කසුන්ගෙ සංස්කෘතික ජිවිතය මොකක් ද කියල කසුන්ගෙ අම්ම තාත්වත් දන්නෙ නැහැ. මේ කාරණය කවුරුවත් පටලවා ගන්න එපා. මම මේ කියන සංස්කෘතික හැඳුනුම්පත අනාගතයේ දි කසුන් හොයාගනීවි. මම අද එයාගෙ හැඳුනුම්පත ගැන පැවසුවොත් ඒක අසාධාරණයි. මම බය යි කිව්වෙ ඒ නිසයි. මොකද මේ විදියට හැඳුනුම්පත් දීල කෙළවගත්ත අය ඕන තරම් ලංකාවෙ ඉන්නව. මම ඒකට මගෙන් ම උදාහරණයක් ගන්නම්.

මගේ පළවෙනි පොත (සරසවි දියණියෝ) එළිදැක්වුවෙ ජෝන්ද සිල්ව එකේ. ඒකට හේතු තිබුණ. එකක් විශ්වවිද්‍යාලෙ යාළුවො ඔක්කොම පොඩි ශාලාවක දාන්න බැරි නිසා. දේශනවලට කැඳෙව්වෙ: දයාසේන ගුණසිංහ මහතා, මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය සහ සරත්විජේසූරිය මහතා. මේ තුන්දෙනා තෝර ගන්නත් හේතු තිබුණ. මට පත්තර කලාව ඇතුළෙ යම් උදව්වක් කළේ දයාසේන ගුණසිංහ මහත්මය. විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරිය වුණේ කුසුමා කරුණාරත්න මහත්මිය. හැබැයි එයාට එන්න කිව්වෙ එයාගෙ විචාර ගැන පැහැදීමකින් නෙවෙයි. විභාගෙ අන්නයි, ලකුණු කපයි කියන බයට. සරත් විජේසූරිය මහත්මය තමයි ඒකාලෙ විශ්වවිද්‍යාලෙ රැඩිකල් කථිකය; විශ්වවිද්‍යාලෙ සංස්කෘතික නියෝජිතය. එදා ඒ අය කරපු කතාවෙ කැසට් එකක් තවම මගේ ළඟ තියෙනව. දැන් මට හිතෙනව එදා මොනවද ඒ අය කිව්වෙ කියල. මගෙන් කාලයක් ඉගෙනගත්ත, ගෝලයෙක් නොවන, ශිෂ්‍යයෙක් වන කසුන් ඔය වැඩේ ම කරන බව මට විශ්වාසයි. මොකද කසුන් ඒ ජාතියෙ කෙනෙක්.

ඒක උදාහරණයක් එක්ක ම කියල මගේ කතාවට ප්‍රවේශ වෙන්නම්.

කසුන් මට දණගහල වඳිනව. නමුත් ඔයාල දැක්කනෙ පොත පිළිගන්වල මෙයා අම්ම තාත්තටවත් වැන්දෙ නැහැ. මේක වරදක් විදියට මම දකින්නෙ නැහැ. මේක තමයි කසුන්ගෙ ස්වභාවය. ඒදෙන්නට පොත් පිළිගන්වල වැන්දෙ නැත්නම් මට වඳින්නෙ කොහොම ද? ඒ නිසා තමයි ඒ දෙන්නට හාදුවක් දීල මටත් හාදුවක් දුන්නෙ. මේ දෙබිඩ බවක් නෙවෙයි.

මේක තමයි කසුන් තිගැස්සෙන තැන. මොකද ඕනෑම අම්ම තාත්ත කෙනෙකුට මේ වගේ අවස්ථාවක් ආඩම්බරයට කාරණයක්. මේක මේ විදියට ම ප්‍රභාකරන්ගෙ, තිලීපන්ගෙ සහ මැරුම්කෑවත් දයා පතිරණගෙ අම්ම තාත්තටත් ඒ ආඩම්බරය තිබෙන්න ඇති. මේ වන විට අනුර කුමාර දිසානායකගෙ අම්මටයි තාත්තටයි කොච්චර ආඩම්බරයක් ඇත්ද? ආඩම්බරය කෙසේ වෙතත් දැන් බය නැතුව ඇති. ඒ ආඩම්බරය සහ බයත් එක්ක පුතා තිගැස්සෙන එක තීරණාත්මක යි.
මම දැන් එන්නෙ කසුන්ගෙ කවිවලට...

තමන් දේශපාලනිකව සහ අත්දැකීම්වලින් පරිනාමය වෙන්න කලින් එයා ඔළුවෙන් පරිනාමය වෙලා. මේ මොහොතෙ එළියට පැනල තියෙන්නෙ කසුන්ගෙ ඇඟ නෙවෙයි ඔළුව. ඇඟ කොයි කාලෙ පනීවිද දන්නෙ නැහැ. ඒ නිසයි මම කලින් කිව්වෙ හැඳුනුම්පත තියෙන්නෙ කොහේද කියල කියන්න බැරි බව. මොකද තව අවුරුදු දහයකින් පහළොවකින් කසුන් කවි පොතක් ලිව්වොත් එදාට කියන්න පුළුවන් වේවි කසුන් හැඳුනුම්පත හොයාගත්ත කියල. එතකන් මට කසුන් විශ්වාස නැහැ.

මම මේකටත් පොඩි උදාහරණයක් දෙකක් කියන්නම්. අද දොරට වඩින්නෙ ‘කවි ඇසිඩ්’ වුණාට මේක තමයි කසුන්ගෙ පළමු කවි පොත. මේ පොත ටයිප්සෙටින් කරල, පෘෘෆ් කියවල, ලේඅවුට් කරල ඔක්කොම ඉවරවුණාට පස්සෙ කසුන් කියනව මේ පොත ප්‍රකාශ කරන්නෙ නැහැ කියල. දැන් ඔයාලට පැහැදිලි ඇති ඇයි මම කසුන්ට හැඳුනුම්පතක් නොදෙන්නෙ කියල.

මේ පොතේ නම ‘‘ටැටූ’’.මේ කසුන්ගෙ පළවෙනි කවි පොත. මේකෙ ප්‍රේමණීය කවි වැඩියි. මේ පොතේ පිදුම වෙනස්. නමුත් මාස හයක් ඇතුළත කසුන් තීරණය කරනව මේ පොත ප්‍රකාශයට පත් නොකරන්න. අද ප්‍රකාශයට පත්වෙන්නෙ ‘‘කවි ඇසිඩ්’’. හිතාගන්න පුළුවන් නේද චේන්ජ් එක. දැන් පැහැදිලියි නේද මම මේ වෙලාවෙ කසුන්ට හැඳුනුම්පතක් දුන්නොත් ඒක අසාධාරණයි කියල. කසුන් පරිනාමය වෙන්නෙ අපිට වඩා ඉක්මණින්.

Kasun-Mahendra-Heenatigala-Kavi-Acid
කසුන් පටන්ගන්නෙ පිළියන්දල කනිටු විදුහලෙන්. පස්සෙ තමයි ලුම්බිණියට යන්නෙ. ඊටත් පස්සෙ රාජකීය නොවෙන දරුවෙක් රාජකීය විද්‍යාලයට යනව. ඊළඟට කසුන් නතරවෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ. මේ විදියට ම කසුන් දේශපාලනිකවත් පැන පැන යනව. මම ඒක නිශ්චිතව දන්නෙ නැහැ. නමුත් මම මෙහෙම කියන්නම්. යුඑන්පි එකෙන් ශ්‍රිලංකා එකට ශ්‍රීලංකා එකෙන් ජේවිපි එකට ජේවීපි එකෙන් පෙරටුගාමි එකට පෙරටුගාමි එකෙන් ප්‍රංශයට වගේ ඉතා ඉක්මණින් ම පැන පැන යනව. මම නැවතත් කියන්නෙ... අපි කොහොමද කසුන්ට හැඳුනුම්පතක් දෙන්නෙ? කසුන්ගෙ ගමන අධිවේගියි. ඒක පාලනය කරන්න කවුරුවත් උත්සාහ කරන්න එපා. මොකද එහෙම වුණොත් මිනිහ ඇක්සිඩන්ට් වෙනව. කසුන්ගෙ ජිවිතය සහ නිර්මාණ තුළ පවා දකින්න ලැබෙන්නෙ කසුන් හැඳුනුම්පතක් සොයාගෙන යන එක.

අපි කරන්නෙ අම්මගෙ පෙකනි වැල කඩාගෙන නගරෙට ඇවිල්ල නගරෙ නන්නත්තාර වෙලා අත්දැකිම් සමුදායක් ලබනවා. නගරෙ පිම්පියොත් එක්ක, සමලිංගිකයොත් එක්ක, ගණිකාවොත් එක්ක, ගංජ බොන එවුන් එක්ක, ජේවිපි, එල්ටීටීඊ එකත් එක්ක එකතුවෙලා කඳවුරුබැඳල ආයුද පුහුණු වෙලා දේශපාලකයොත් එක්ක ගැවසිලා පරිනාමය වෙලා ඇවිල්ලත් තවම හැඳුනුම්පත හොයනව. නමුත් තවම හම්බවෙලා නැහැ. ඒ නිසා මගේ සමහර යාළුවො කියන්නෙත් මාව තවම විශ්වාස නැහැ කියල. වර්තමාන කාලින විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එක්ක ගත්තම මට කසුන් වීරයෙක්. සාහිත්‍ය කලා කටයුතුවල ඉන්න විශ්වවිද්‍යාලයේ ගැහැනු සහ පිරිමි වැඩිහරියක් ඉන්නෙ ලිංගිකත්වය නමැති සාධකය මත. ඒක එහෙම වෙන්නෙ ඇයි කියල අත්දැකීම්වලින් ම කියන්නම්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ තිබුණ ලොකු මියුසිකල් ෂෝ එකක්. අපි හොඳට ම දන්නව විශ්වවිද්‍යාලවල යම් ෂෝ එකක් පැය භාගයක්, පැයක් හෝ පැය එකහමාරක් පරක්කු වුනොත් අඩුගනෙ ‘‘හූ’’වක්වත් කියනවනෙ. විසිල් එකක් ගහනවනෙ. මොන... නිශ්ශබ්දව ඉන්නව. පැය දෙකක් පරක්කුයි... පන්දාහක් විතර සෙනඟත් ඉන්නව. ඒගොල්ලො ඉතාම කිකරුව ෂෝ එක බලන්න බලාගෙන ඉන්නව. හරියට රොබෝල වගේ. යම් කටයුත්තකදි පොල්තෙල් පහනක් පත්තු කරනවනෙ. ඒ වෙලාවෙ මේ නිවේදකය කියනව... ‘අපිට පළමුව තිබෙන්නේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවි දුන් විරුවන් වෙනුවෙන් විනාඩියක් නිශ්ශබ්ද වීම’ කියල. මේ විශ්වවිද්‍යාල ප්‍රජාව විනාඩි පහක් විතර නිශ්ශබ්දව ඉන්නව. මම අහන්නෙ මේකට මෙන්න මේ වගේ වාක්‍යයක් දාන්න කියල කියන්න කොන්ද පණ තියෙන එකෙක් හිටියෙ නෑ. මොකක්ද වාක්‍යය...? ‘යුද්ධයේ දී මිය ගිය සියල්ලන් වෙනුවෙන්’ කෑල්ල. අඩුගානෙ ඒකවත් යොදන්නෙ නැහැ. වර්තමාන විශ්වවිද්‍යාලෙ තත්ත්වය මේකයි.

මේ වාතාවරණ ඇතුළෙ මට කසුන් ගැන බියක් දැනෙන්නෙ අද ගැන නෙවෙයි. කසුන් එක වෙබ්සයිට් එකකට උත්තර දෙනව එයා ස්වයංතීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනව කියල. මේක ඇත්තක් ද බොරුවක් ද කියල මම දන්නෙ නැහැ. පසු කාලෙකදි කිව්වොත් එහෙම ‘නෑ මම නොමේරු කාලෙ එහෙම කිව්ව’ කියල. මොකද ජේ ආර් එහෙම කිව්ව.

දැන් මවුබිම පත්තරේ කර්තෘ තුෂාර ගුණරත්න ඉන්ටර්වීව් එකක දි ජේ ආර්ගෙන් මෙහෙම අහනව.

‘ජනමත විචාරණය තිබ්බ වෙලාවෙ, ලාම්පු කළගෙඩි සෙල්ලම තිබුණ වෙලාවෙ හරියට වංචා සිද්ධ වුණා නේද? හොර ඡන්ද දැම්ම නේද?’ කියල.

එතකොට ජේ ආර් පත්තරකාරයගෙන් මෙහෙම අහනව.

‘කොයි කාලෙද එහෙම එකක් තිබ්බෙ...?’

එතකොට පත්තරකාරය කියනව

‘දැනට අවුරුදු පහළොවකට කලින්’

එතකොට ජේ ආර් දෙන උත්තරය මොකක්ද...?

‘ආ... ඉතිං ඔයාට තිබුණනෙ ඒක ඒ කාලෙ අහන්න. ඒ කාලෙ පියවරක් ගන්න’
ඊට පස්සෙ පත්තරකාරය අහනව...

‘ඔබ ලෝ කොලේජ් එකේ ඉද්දි සම සමාජ පක්ෂයේ වැඩ කළා. කොමිනිස්ට් පක්ෂයෙ වැඩ කළා?
එතකොට ජේ ආර් කියනව...

‘ඔව්... ඔව්... කොල්වින් එන් එම් දෙන්නත් මාක්ස්වාදය ගැන පොත් කියෙව්වෙ මගේ පුස්තකාලෙන් තමයි.’

ඊට පස්සෙ පත්තරකාරය ආයෙත් මෙහෙම අහනව...

‘ඊට පස්සෙ ඔබ තමයි විවෘත ආර්ථිකය ගෙනල්ල, මේක අංශක තුන්සිහ හැටකින් අනිත් පැත්තට හරවල අපේ රටට ධනේශ්වරය අරගෙන එන්නෙ’ කියල.

එතකොට ජේ ආර්ගෙ උත්තරය මොකක් ද...?

‘ඔව්... අවුරුදු දහඅටේ දි වාමාංශිකයෙක් නොවුනොත් ඔහුට හදවතක් නෑ. අවුරුදු තිස්පහේදි දක්ෂිණාංශිකයෙක් නොවුණොත් ඌට මොළයක් නෑ’ කියල.

පත්තරකාරය ඊළඟට අහනව....

‘ඔබ යුරෝපයෙ ඉද්දි විස්කි බොනව, බ්‍රැන්ඩි බොනව, ඔබ වැඩිහරියක් බිව්වෙ රෙඩ් වයින්. ඒ බිව්වෙත් ඉතාලියෙන් ගෙනාපුව විතරයි. නමුත් මෙහේ ඇවිත්, සුදු ඇඳගෙන, ධර්මිෂ්ට සමාජය කියල තමයි දේශපාලනය කරන්නෙ?

මොකක්ද ජේ ආර්ගෙ උත්තරය...?

‘ඔව්... මම ගෙදරට කලිසම. රටට රෙද්ද.’

දැනටත් හුඟක් ය එහෙමනෙ. රටට රෙද්ද. ගෙදරට කලිසම. ඉතිං අපිට කවුද විශ්වාස කරන්න පුළුවන්...? දැන් කසුන් විශ්වවිද්‍යාලෙ ඉද්දි කවි ලියනව. ඉස්සර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යෙයා විදියට ඉද්දි කවි ලියපු අයගෙන් සියයට එකක්වත් දැන් කවි ලියන්නෙ නෑ. මම උදාහරණයක් කියන්නම්.

ඉස්සර අපි විශ්වවිද්‍යාලෙ ඉන්නකාලෙ හැම ඉරිදාවක ම විපුලහේවා වලිමුනිගෙ සහ සුනන්දා රණසිංහගෙ කවි පළ වුණා. දැන් ආසාවට ඒ අයගෙ එක කවියක් දකින්න පුළුවන් ද...? එහෙම නම් ඒ අය කොහොමද කවියො වෙන්නෙ...? මොකද නියම කවියෙක් නම් පුද්ගලය මළත් කවිය මැරෙන්න විදියක් නෑ. සමහරු කවි ලියන්නෙ ගීත රචකයෙක් වීමේ පෙරහුරුවක් විදියට. එහෙම නම් අපිට යම් පුද්ගලයකුට කවියෙක් විදියට හැඳුනුම්පත දෙන්න වෙන්නෙ, ඒ පුද්ගලය කවියෙක් විදියට පිළිගන්න වෙන්නෙ වසර ගණනාවක් තිස්සෙ කවි ලිව්වොත් විතරයි. මම ඒකටත් හොඳ නිදර්ශනයක් කියන්නම්.

අපි දන්නව භාෂණ කියල සහෝදරයෙක් ගැන. රෝහිත භාෂණ. රෝහිත භාෂණ සහෝදරය අවුරුදු දහඅටේ දි පෙනී හිටපු දේශපාලනය අපි දන්නව. භාෂණ සහෝදරය අවුරුදු විසි එකේදිත් ඒ දේශපාලනය වෙනුවෙන් පෙනී හිටිනව. ඊට පස්සෙ භාෂණ අවුරුදු තිස් පහේදිත් ඒ දේශපාලනය වෙනුවෙන් ම පෙනී හිටිනව. භාෂණට ලංකාවෙන් යන්න වෙනව. අදත් අපි භාෂණ ලියන ඒව දකිනව. ඒ නිසා අපිට පුළුවන් භාෂණට හැඳුනුම්පතක් දෙන්න.

නමුත් මම නම නොකිය ඉඟියක් කියන්නම්. යුද්දෙ අවසාන කාලෙ පැල් බැඳගෙන ස්වයංතීරණ අයිතිය ගැන ලියපු: වේගයෙන් ලියපු කෙනෙක් හිටිය. යුද්ධය අවසන් වෙනවත් සමඟ ම ගියා. දැන් ඔහු කවි ලියනව ද...? නෑ... එහෙම නම් එයා මොකටද කවි ලිව්වෙ...?‘අනේ මාව අත්අඩංගුවට ගන්නකො’ කියල තමයි ලියල තියෙන්නෙ. එහෙම නම් එයාගෙයි භාෂණ සහෝදරයගෙයි අතර වෙනසක් තියනවනෙ. භාෂණගෙ ගොඩට ඔවුන් දාන්න බැහැනෙ. ඒ වගේම ඒ අය එක්ක එකට දේශපාලන වැඩ කරල හිරබත් කන මොල සෙනෙවිරත්නල ගැන කවුද කතා කරන්නෙ...? අවම වශයෙන් මොලාල ගන ෆේස් බුක් එකේ ලියන කෙනෙක් ඉන්නව ද? ඒ නිසා භාෂණට දෙන දේශපාලන හැඳුනුම්පත අර මම කියපු අයට දෙන්න බැහැ. මංජුල අදත් කවි ලියනව: අදත් දේශපාලන කවි ලියනව. මංජුලට ඒකෙන් මිදෙන්න බෑ.

මම කිව්වනෙ මට කසුන්ට හැඳුනුම්පතක් දෙන්න බෑ. කසුන් විශ්වාස කරන්න බැ කියල. ඇයි ඒ...? කසුන් මෝඩයෙක් නොවන නිසා. කසුන් හම්බ බ්‍රයිටෙක්. අපි කිව්වොත් දැන් කවි ලියමු කියල මෙතන වාඩිවෙලා කවි ලියයි. මම දවසක් කසුන්ට කියනව මට අම්ම ගැන කවියක් ලියල එවන්න කියල. කසුන් එක දවසෙන් විහිෂ්ට කවියක් ලියල එවනව. එහෙම හැමෝට ම කවි ලියන්න බැහැ. කසුන්ට ඒ ප්‍රතිභාව තියෙනව.

කසුන්ට උපාධිය පාස්වෙලා ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් කසුන් ඒ ඔක්කොම පැත්තක තියල තමන්ගෙ ජිවිතයට දේශපාලනික අර්ථයක් දෙනව.

මම මෙතෙක් වෙලා කියපු ටික කසුන්ගෙ කවියක තියෙනව. හැත්ත අටවෙනි පිටුවෙ ‘මගේ කවි’ කියන කවිය කියවන්න.

රට්ටුන්ට පේන්ට මහ උජාරුවට
කවි ලිව්ව බොට කප්පරක් මට
තේරෙන නොතේරෙන කවි නොකවි
මේ මඟුල් අදටත් තුට්ටුවකවත්
වටින් නැහැ තොට
ඒ වුනත්
මට්ටුවක් නැහැ මට

හරියට ම හරි. මේ කියන්නෙ මම මෙතෙක් වෙලා කියපු ටික ම යි. සමහර පුංචි පුංචි සිද්ධිවලින් අපි රිද්දගන්නෙ නැත්නම් එයාට කවියෙක් වෙන්න බැහැ. මම ඒකට උදාහරණයක් කියන්නම්.

මම මාසයක් විතර දුක් වින්ද එක දෙමළ කොල්ලෙක් ගැන හිතල. ඒ ළමයගෙ නම මනෝහරන්. අදත් හපුතලේ ඉඳන් තංගමලේ පාරෙ ගියොත් පුල්ලෙ කාමරේ කියන ලැයිම් කාමරේ මේ මනෝහරන් කියන කොල්ල ඉන්නව. වතු දෙමළ අය වත්තෙ හිටියට ගමත් එක්ක එකතුයි. කුලී වැඩ කරන්න ගමට ආවම ඒ අය දන්නෙ නැහැ තමන් දෙමළ ද සිංහල ද කියල. ඒ අය ගමේ වතුවල වැඩකරන්න පටන්ගත්තම ඔවුන්ට දෙමළ නෙවෙයි පුළුවන්. සිංහල. සමහර අයට ඇත්තට ම දෙමළ වචන බැහැ. ඇහුවම ‘අපි දන්නැ මාත්තිය. අපිට දෙමළ බේ’ කියල කියනව. අපේ ඥාතින්ට කතාකරන්නෙත් ‘අක්ක, අයිය, නැන්ද, මාම, නංගි, මල්ලි’ කියල. ‘අපි ශීතක්ලගෙ ගෙදර වෙඩට යෙනව. අද අබේ අයිගෙ පෝර දාන්න තියෙනවනෙ. අබේ අයියගෙ වෙඩේට නොගිහින් බේනෙ’ එහෙම තමයි ඒ අය කියන්නෙ.

මනෝහරන් හැන්දෑවට ක්‍රිකට් ගහනව. ශ්‍රී ලංකා සංචිතයට කවුරුහරි තෝරගන්න පුළුවන්ද බලන්න බදුල්ල දිස්ත්‍රික්කයේ තරගයක් පවත්වනව. ඒ තරගය පවත්වන්නෙ ක්‍රීඩාංගනයේ කෙළවරක එක රිටක් ගහල. තරගකරුව මේ රිටේ වදින්න බෝල හයක් දාන්න ඕන. මනෝහරන් සරමෙන් අමුඩෙ ගහගෙන බෝල හයම ඉලක්කයට ම දානව. මේ සිදුවීම දැකල ක්‍රිකට් පාලක මණ්ඩලේ අය විශ්මයට පත්වෙනව. ඊට පසුසෙ එක දිගට බෝල තිස්හයක් දාන්න දෙනව. ක්‍රිකට් පාලක මණ්ඩලය මනෝහරන් ගැන පැහැදිලා සංචිතයට තෝරාගන්නව. කොළඹ එන්න කියල ආරාධනා කරල දිග බඩු ලැයිස්තුවකුත් දෙනව. නමුත් මනොහරන් යන්නෙ නැහැ. මම ඇහුව ඇයි ගියෙ නැත්තෙ කියල. ‘මාත්තිය... මම ගියාම දරුවන්ට කන්න දෙන්නෙ කවුද අප්පා’ ඒක තමයි මනෝහරන්ගෙ පිළිතුර.

මනොහරන්ට ළමයි හයදෙනෙක් ඉන්නව. ලොකු පුතාගෙ නම අර්ජුන. දෙවෙනි පුතා අරවින්ද. ඊළඟ පුතා සනත්. ඊළඟ කෙනා කළුවිතාරන. මනෝහරන්ගෙ ගෙදර ක්‍රිකට් කණ්ඩායමේ නම් දාපු කොල්ලො හය දෙනෙක් ඉන්නව. මම ඇහුව ඇයි ඒ නම් දැම්මෙ කියල. ‘මාත්තියා... මට ටීම් එකට යන්න බැරි වුණානෙ. ඒනිසා මම ටීම් එක තමයි හැදුවා.’ කිව්ව. එයාට යන්න බැරිවුණ නිසා දරුවන්ට ටීම් එකේ නම් දාල. එයාගෙ මල්ලිගෙ ළමයින්ටත් ටීම් එකේ නම් දාල. හැන්දැවට ක්‍රිකට් ගහනව. කොහොම ද කැගහන්නෙ... ‘ඒයි සනත්... සනත්... දාපං... දාපං... ඒයි කළුෑ අල්ලපං... අල්ලපං...’ ඒක හරියට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් වගේ.

හැමදාම හවසට යහලබැද්ද කදුරුගමුව හරහා බස් එකක් දියතලාවෙ ඉඳන් හපුතලේට යනව. ඒ බස්එක දියතලාවෙ විනාඩි හතළිස් පහක් නවත්තල තියෙනව. මේ බස් එකේ යන අය යන්නෙ හාල්, පොල්, සීනි, එළවළු ගේන්න නෙවෙයි. මේකෙ යන්නෙ අර වතුවල වැඩකරපු අය. සමහර අය යන්නෙ මඩපිටින්. මොකටද යන්නෙ...? ඇඟේ පතේ අමාරුවට පොඩි අඩියක් ගහන්න. මේ බස් එකට නම දාල තියෙන්නෙ ‘සමගි බස්එක’ කියල. මේ බස් එකේ සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන හැමෝ ම යනව. බස් එක විනාඩි හතළිස් පහක් නවත්තල තියන්නෙ කාලක් ගහල, වඩේ එකක් කාල සිගරට් එකක් බිල එනකන්. බස් එකේ ගෙදර යන ගමනුත් අරගෙන එන අරක්කු ටික සමගියෙන් බෙදාගන්නව.

යුද්දෙ ජයග්‍රහණ වෙලාවෙ හරි අපූරු සිදුවීමක් වෙනව. මනෝහරන්ට සින්දු කියන්නත් පුළුවන්. යුද්දෙ දිනුව කියල මෙහේ කාලකණ්නි කිරිබත් කන වෙලාවෙ එහේ අය මොකද කෙරුවෙ... වෙනද වගේ ම සමගි බස් එකේ එනගමන් සින්දුවක් කිව්ව. මොකක්ද කියපු සින්දුව...? ‘සෙබළාණනේ ඔබ මැරුණා නොවේ’ ඊට පස්සෙ මොකක් ද වෙන්නෙ. ඒ බස්එකේම හිටපු අල්ලපු ගමේ සිංහල කොල්ලො ටිකක් මනෝහරන්ගෙ අත පය කැඩෙන්න ගහනව. ගහන්නෙ කොහොම ද...? ‘පර දෙමළ තෝ සිංහල සින්දු කියන්න එපා’කියල.

මෙන්න මෙතන තමයි කවියා: නිර්මාණකරුවා: රිද්දන තැන. මගේ ප්‍රශ්නය මනෝහරන් දෙමළෙක් ද...? මනෝහරන්ට සිංහල සින්දු කියන්න තහනම් ද...? කවුද මේ ම්ලේච්ඡ දේශපාලනය ගමට ගෙනිච්චෙ...? මේ වගේ කතා විමල් වීරවංශ අහල තියෙනව ද...? මේ වගේ කතා රතන හාමුදුරුවන්ට තේරෙනව ද...? මේ වගේ කතාවක් ඇහුවම චම්පික ඇමතිතුමා මොකද කියන්නෙ...? එතකොට ඒ අයත් ගෙදරට කලිසම රටට රෙද්ද ද...? නැත්නම් මොන රෙද්ද ද...? ඔබලට මේක වැටහෙනව ද...? ඔබට නොවැටහෙන: අනෙක් මිනිහත් මිනිහෙක් කියන එක, අනෙකාගෙ ප්‍රශ්නයත් ප්‍රශ්නයක් කියන එක කසුන් තේරුම් ගන්න උත්සාහ කරනව නම් ඒක වැරැද්දක් ද...?

කසුන් මීට පෙර ලියපු ප්‍රේමණිය කවි පොත සම්පූර්ණයෙන් ම ඉවත් කරල කරන්නෙ මේ දේශපාලනික කවි මඟට පිවිසීම. ඒ නිසා ඒ චැප්ටර් එක දැන් ඉවරයි. ඔහු අපිට වඩා ඉක්මණින් අත් දැකීම් ලැබුව. අපි ජේවීපී එකත් එක්ක වසර දහයක් ගනුදෙනු කළත් තේරුම් නොගත්ත දේ කසුන් වසර දෙකෙන් තේරුම් ගන්නව. මොකක් ද...? ඒ පක්ෂයේ පිළිවෙත. අපි උසස් පෙළ කාලෙ අත් දැකීම් වසර පහළොවක් පමණ රස කර කර ඉද්දි කසුන් ඒ අත්දැකීම් ඉක්මණින් ග්‍රහණය කරගෙන ඉක්මණින් මුදාහරිනව. අවුදුරු තිස් පහේ අය ළමයි බවට පත්වෙද්දි කසුන් තීරණය කරනව මම මේක හොයාගෙන යනව කියල.

කසුන් කතා කරන දේ ඇත්ත නම්, මේ හැඳුනුම්පත නම් ඔහු දිගට ම අරගෙන යන්නෙ ඔහු අපේ කාලයේ වීරයෙක්. ඔහු දේශපාලනය කරන්නෙ අවිවලින් නෙවෙයි. මේ වගේ අය දස දහස් ගණනක් හදාගන්න ඕන කාලයක් මේක; එහෙම අය වපුරගන්න ඕන කාලයක් මේක; එහෙම අය බෝ කරගන්න ඕන කාලයක් මේක.

අර ජාතිවාදී, ආගම්වාදි ජඩ රැළ වෙනුවට මෙහම දරුවෙක් ඉන්න එක අම්ම තාත්ත සතුටු වෙන්න ඕන කාරණාවක්. කසුන් මැරෙන්න නොදී බේරා ගැනීම ඔබේ වගකීම. සමහර විට කසුන්ට වෙඩි තියල මරන්න පුළුවන්. මේ වාගෙ අයගෙ මිනී අපි විශ්වවිදයාලෙ ඉන්න කාලෙ ඕන තරම් උස්සල තියෙනවා. රෝහණ රත්නායකගෙ මිනිය උස්සන් ගියේ දයා පතිරණ. අපි ඒ ඡායා රුපය ළඟ තියාගෙන හිටිය. ඊට පස්සෙ අපිට සිද්ධවෙනව දයාපතිරණගෙ මිනිය උස්සන් යන්න. අපි විශ්වවිද්‍යාලෙ ඉද්දි වැඩිපුර ගියේ අනිත් අයගෙ මඟුල් ගෙවල්වල නෙවෙයි, පාටිවලට නෙවෙයි. මළ ගෙවල්වල. අපි බැච් ෆොටෝ එක ගත්තම ඒකෙ සියයට තිස් පහක් මිය ගිය අය; දෙපැත්තෙන් ම මැරුම් කාපු අය. මේක කොළේ වහල නොකියන කසුන් මරා දමාවි කියල මට බයක් දැනෙනව. කවියව නෙවෙයි...

මගෙන් ඇහුවොත් එහෙම ‘ඔයා ස්වයං තීරණ අයිතියට එකඟයි ද...?’ කියල. මම කියනව ‘ඔව්... හබැයි පත්තරේට ලියන්න එපා’ කියල. එතකොට පත්තරකාරය මගෙන් අහනව ‘ඒ ඇයි...?’ කියල. මම කියනව ‘මම බයයි’ කියල. දැන් මගෙන් කවුරුහරි ඇහුවොත්... ‘ඔයා ඔය එක එක අය ගැන කිව්ව බොදුබල එක ගැන කිව්වෙ නෑනෙ’ කියල. මම කියනව ‘මේ දවස්වල මම ඒගොල්ලො ගැන කතාකරන්න බයයි’ කියල. අපි එක එක කාලෙට එක එක අයට බය වෙනව.

විශ්වවිද්‍යාලෙ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙ ඉන්නකොට ජේවීපී එකට බයයි. ඒ බය ඉවර වුණා. ඊට පස්සෙ එල්ටීටීඊ එකට බය වුණා. දැන් ඒ බයත් ඉවරයි. දැන් කරුණා අම්මාන්ට ‘අඩෝ’ කියල බනින්න පුළුවන්. දැන් මම බොදු බල සේනා එකට බයයි. අනාගතේ දි මේ වගේ තව බිල්ලෙක් හෝ බිල්ලො හැදෙයි ද මම දන්නෙ නෑ. විශේෂයෙන් මහ ඡන්දයක් එන කාලෙදි, ජනාධිපතිවරණයක් එන කාලෙදි, විශාල ඝාතන රැල්ලකට ඉඩක් තිබෙන බව කූඹි පුකක් තරම් මොළයක් තියන එකෙකුට තේරෙනව. හැත්ත එක වගේ, අසු අට වගේ කැරැල්ලකින් නෙවෙයි ඊළඟ පරම්පරාව මැරෙන්නෙ. ඡන්දෙකින් මැරෙන්නෙ. මොකද ඒකාධිපතියො බලය ලේසියෙන් දෙන්නෙ නැහැ. එදාට ඝාතනය ආරම්භ වෙනව.

දැන් මේ දවස්වල බිල්ලෙක් හදමින් ඉන්නව. ‘ඩයස්පෝරා බිල්ලා’ ෆිල්ම් එකක වීරය හදන්න බෑ දුෂ්ටය නැතුව. ඒ නිසා බොරුවට හරි දුෂ්ටයෙක් හදන්න ඕන. ඒ නිසා දැන් මැරිච්ච ප්‍රභාකරන්ට පණ දෙමින් දුෂ්ටයෙක් හදමින් ඉන්නව. ඉවක් තියෙන මිනිහ දන්නව අනාගතයෙදි ඒ බිල්ලා විසින් පුපුරවන එල්ටීටීඊ බෝම්බ කොළඹ පුපුරුණවා ම යි. පිපිරුණේ නැත්නම් මේ දේශපාලනය කරන්න බෑ. එතකොට තමයි ආයෙ එල්ටීටිඊ එක තියෙනව කියල දැනෙන්නෙ. ඒක පුපුරුවන්නෙ බිල්ල ද එල්ටීටිඊ එකද කියල අපි දන්නෙ නැහැ. එදාට තමයි ඝාතනය ආරම්භ වෙන්නෙ. ඒ නිසා මට දේශපාලනික බයක් දැනෙනව.

දැන් කෙනෙක් කියන්න පුළුවන් අලුත් කොල්ලන්ව බය කරන්න හදනව කියල. මේ මල්වාගෙ දරුවන්ට ඕක නොකිය ‘මැරියං පුතේ. ළය දීපං පුතේ’ කියල යවල අපි ඒ මරණයට වගකියන්න ඕන ද...? හැත්ත එකේ අසු අටේ මැරිච්ච අය ගැන අපි වගකියන්න ඕනනෙ. අනිත් අයට ස්වයං විවේචනයක් නැතිවුණාට අපිට තියෙනව. වීරවංශට මැරිච්ච එවුං ගැන ගැටලුවක් නොතිබෙන්න පුළුවන්. එදා කොල්ලො කෙල්ලො කී දහක් මැරුණ ද...? ඒ නිසා කසුන් ග්‍රීස් ගහේ මුදුනට නග්ගල ‘කොඩිය ගනිං පුතේ උඹ මාර පොරක්, උඹ විතරයි ස්වයං තීරණ අයිතිය කතා කරන්නෙ. දිගටම ලියපිය’ කියන්න මට නම් බෑ. මොකද මට මළ ගෙදර ඇවිල්ල ස්තුති කතාව කරන්න බෑ. මම කසුන්ට ආදරෙයි!!!

මෙතන ඉන්නව මාර කවියෙක්; මාර දක්ෂ ශිෂ්‍යයෙක්; ඉක්මණින් තමන්ගෙ බුද්ධිමය ඉන්ද්‍රියයන්වලින් ජීවිතය හොයාගන්න මිනිහෙක්; සංවේදි දේවල් දැනෙන තැනක්.

කසුන්ගෙ පළවෙනි පොතේ ලියල තියෙනව විජය කුමාරතුංග ගැන කවියක්. ඒක හරි ලස්සන යි.

සමනලයෙක් වෙඩි කා නසී
විසිතුරු කැටයම් ඔපළූ - පියාපතින් යුතු වූ
අලංකෘත සමනල හැඩය - දරාගත් පමණින් ම
අහිංසකයෙක් වෙන්න පුළුවන් ද...?
යහපතට මුවා වී - දුගති හැම වළ දමා
නිදහසේ පියඹන්න - අවකාශ සරසන්න
කපටි සමනලයකුට නොහැකිම ද...?
වැරදිලා හරි මවන ලද - රූසිරිය තිබුණහම ඇතිවෙද
වෙඩි වැදුණ විට ම පමණක් ම - සමනලා පැටවුන් සිහිවෙද
පුවත් පියාඹා ඔහේ සැරිසරන - බොළඳ වු සමනලයො නැතිවද
පොළොන් පැටියකු වුණත් උන් හට - ඉතිං සමනලයෙක් නොම වෙද

දැන් ඒ කවියා එතනින් වෙන් වෙලා. ‘කවි ඇසිඩ්’වල තියෙන්නෙ මේක නෙවෙයි. අපි බලමු කසුන්ගෙ කවිවල මාතෘකා ටික.

‘ගරිල්ලා සිහින දුටු කුරුල්ලා’ (දෙමළ දේශපාලන සිරකරුවන් දෙනෛකු ඝාතනය කිරීම මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සැලකිය නොහැක. අගවිනිසුරු මොහාන් පීරිස්)

මේ වෙලාවෙ මට මතක් වෙන්නෙ බ්‍රෙස්ට්. බ්‍රෙස්ට් මේව ගැන දරුණුවට ලිව්ව. ඒ නිසා ම රටින් පිටුවහල් වෙනව. මේ අගවිනිසුරුවරය පත්වුණ ආසන්න දිනයක මම ඉනියවන් ෆිල්ම් එක වෙනුවෙන් කළ කතාව තමයි: මම කතා කරන්නෙ ලංකාවෙ විනිසුරුවරුන් ගැන නෙවෙයි. බ්‍රෙස්ට් කතා කරපු ‘අසඩක්’ නමැති විනිසුරුවරය ගැන. ඒකෙ බ්‍රෙස්ට් මෙහෙම ලියනව.‘නඩුකාරය කියන එකා හැම තිස්සෙම හොරෙක්.
මෙදා සැරේ හොරෙක් නඩුකාරය වෙලා’ කියල. මේක මම කියපු එකක් නෙවෙයි.

පත්තරේ දානව නම් බ්‍රෙස්ට්ගෙ එකක් මම උපුටා ගත්ත කියල දාන්න’ කියල. වරහන් ඇතුළෙ ලියන්න ‘සන්නස්ගල බයයි’ කියල. ඒනිසයි මම බ්‍රෙෂ්ට් උපුටා දක්වන්නෙ. මොකද මම නෙවෙයි මේ ටික කිව්වෙ බ්‍රෙෂ්ට්. නමුත් මේකට එහෙම මාතෘකාවක් දාන්න පුළුවන් ද...? නමුත් කසුන් මේ කවිය ඇතුළෙ බ්‍රෙෂ්ට්ගෙ කියමන ලියනව.

වාවාගත නොහැකි සංසාරයක සංකාව
සංහාරක දරුවන්ට කෝ භස්මාව
අත පිහිදගත් මහත්තුරු මවන ලංකාව
අම්මේ අපි මේ වගේ ඉන්නව ද හැමදාම

කසුන්ව මට දැනෙන්නෙ ‍ගෝර්කි නිර්මාණය කරපු ‘පාවෙල්’ වගේ. මාර තැන් අල්ලනව. හොඳ සංවේදි බවක් තියෙනවා. ඒ නිසා ඔබ අපට එයාගෙ කවි මඟ ගැන සතුටු වීමේ හැකියාවක් තියෙනව. විශිෂ්ට කවියෙක් බිහිවීමේ, ප්‍රඥාවන්තයෙක් බිහිවීමේ ලකුණු කසුන්ගෙ තියෙනව. මේ වන විට නිර්මාල් රංජිත් කතා කරන දේශපාලනයට ඔහු එන්නෙ මැරෙන්න ඕන තැන්වලින් අහඹු ලෙස බේරිලා. එහෙම නොවෙන්න නිර්මාල්ල මේ සමාජයේ ඉන්න විදියක් නෑ. ඔය ගෙවන්නෙ ජීවිතේ අතිරික්ත කාලයක්.

මාව මරන්න හදපු වෙලාවෙ මගේ යාළුවෙක් මාව බේරගත්තෙ බෝංචි ගෝනියක් අස්සෙ දාල. මට හොඳට මතකයි ගෝව ගෙඩියකට ගහපු පාර වැදුණෙ මගේ ඔළුවට. එහෙම නොවෙන්න එදා මාව මරනව. කොළඹ ඉන්න බෑ ජේවීපි එකෙන් හොයනව. ගමේ ගියාම ආමි එකෙන් හොයනව. ඇයි ඒ...? විශ්වවිද්‍යාලෙ ඕන ම එකෙක් ගමේ එවුන්ට ජේවීපීකාරයෙක්. විශ්වවිද්‍යාලයෙ ඉඳන් ගමේ ගියාම ගමේ එවුන් කියන්නෙ ‘ජේවීපීකාරය ගමේ ඇවිල්ල’ කියල. ඒ නිසා ගමේ ඉන්නත් බෑ... කොළඹ ඉන්නත් බෑ. මම වෙනුවට මගේ අයිය ගෙනිච්ච. අදත් එයා ඉන්නෙ ඔළුව හොල්ල හොල්ල. මේව අපේ අත්දැකීම්. මේ රටේ එවුන්ට යුද්ධෙ කාලෙ තිබුණ විදියවත් මතක නෑ. ඒ තියා අසු අටේ දි වුණ දේවල්වත් මතක නෑ.

අසු හතේ අවුරෙද්දෙ අන්තිම කාලෙ මගේ ගම්පහ පන්තියෙ ළමයි එකසිය දොළහක් හිටිය. දවසක් උදේ යද්දි ඉන්නෙ හැත්ත ගාණයි. කාඩ් කපන කෙනා කියනව... ‘සර් බණ්ඩාරනායක එක ගාව ඉඳං දිගට ම ඔළුගෙඩි වගයක් තියෙනව වැටවල්වල ගහල. යමුද බලන්න’ කියල. එයා ෆුට් සයිකලේක මාව දාගෙන පදිනව.

දැන් මොනවද පේන්නෙ...? කලින් පංති කාමරේ හිටපු ළමයින්ගෙ කඳ නැහැ. ඔළු කපල, බෙලි කපල. ඒ ඔළු ටික වැටවල්වල ගහල ගිහිල්ල. ඔළු විසි දෙකක්. අපි තරුණ පරම්පරාවෙ ඔළුගෙඩිවලින් ලේ එන විදිය නරඹපු එවුන්. ඒ වගේම කුරුණෑගල පළාතෙ දරුවො මරල ඒ දරුවන්ගෙ මස් අම්මලට බලෙන් කැව්ව. දැන් කවුරු හරි අහන්න පුළුවන් ඒ ලංකාවෙද කියල. නෑ... නෑ... ඇමරිකාවෙ... ඇමරිකාවෙ. ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. එහෙම වෙලත් නෑ. මොකද මේක ධර්ම ද්විපයක්.

ඒ නිසා කසුන් වාගෙ අධිවේගී චරිතයක්; හැඳුනුම්පතක් නැති චරිතයක්; සංස්කෘතික හැඳුනුම්පතක් සොයා යන චරිතයක්; ඉතා ම නිර්මාණශීලි කවි ලියන කෙනෙක් සුහුඹලේ ම කවි පොතක් ලිව්වම මේකට විශාල බරක් දාල කසුන්ව ඔසවා තබන්න හොඳ නෑ. ඔහුට සාධාරණ විවේචනයක්, ඔහුට යායුතු මඟ කියා දීමක්, ඔහුව හරි දිශාවට යොමු කිරිමක්, ඔහුව රැක ගැනීමක් තමයි යහළුවන් ද, මිත්‍රයන් ද, ගුරුවරුන් ද, දෙමාපියන් ද ආදි සියල්ලන් විසින් කළ යුත්තේ.

එහෙම නොවෙන්න දේශපාලනිකව ඔහුගේ ජිවිතය විනාශ කිරීමේ වගඋත්තරකරුවන් බවට අනාගතයේ දි අපි පත්වෙනවා. මම ඔහුගේ අනාගතය විනාශ කිරීමේ කොන්ත්‍රාත්කරුවකු, ප්‍රකාශකයකු හෝ ඔහු මුරුංග අත්තේ තබන්න හෝ ග්‍රීස් ගහේ නැගල කොඩිය අරගෙන ප්‍රංශෙට පලයන් කියල තල්ලු කරන්න කෙනෙක් බවට පත්වෙන්න බැහැ; පත්වෙන්නෙත් නැහැ.


සටහන - ජයසිරි අලවත්ත m.j.alawatta@gmail.com

theindependent lk
Read more
Sunday, June 8, 2014
ආමි අමිලගේ අමිල ජීවිතය

-ලියනගේ අමරකීර්ති
තංගල්ලේ පොඩි කඬේක ‘ආමි අමිල’ බීම පැකට් එකක් බොමින් සිටියේය. හිටි හැටියේ කඩා වැදුණ තුවක්කුකරුවෝ ඔහුට වෙඩි තබා බාගෙට මරා දැම්මහ. මේ සාමය සහිත ශ‍්‍රී ලංකාවය. එහෙත් හිටිවනම මිනිසුන් මරා දමන තුවක්කුකරුවෝ තවම සිටිති.

ඒ පුවත කියවද්දී මගේ සිත වහා ඇදී ගියේ ඒ තරුණයාගේ ”අමිල” යන නම වෙතය. අමිල මිනිමැරුම් හා ස්ත‍්‍රී දූෂණ 12කට චෝදනා ලැබූවෙකු බව
Read more

Popular Posts

Popular Posts