Open top menu
Friday, January 31, 2014
‘හුළං බෝනික්කන්’ට මැතිවරණ නාමයෝජනා දීම දේශපාලන සටකපටකමක් ----  ප්‍රවීණ නළු ජයලාල් රෝහණ

සිය නිසඟ රංගන ප්‍රතිභාවත්, විෂය ක්ෂේත්‍රය පිළිබඳ මනා හැදෑරීමත් තුළින් වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය තුළ ඔහු මැවූ භූමිකා ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේද මහත් ඇගයුමට පැසසුමට ලක්වූ  බව රහසක් නොවේ. රංගනයේ යෙදෙන අතරම ඔහු සිය ශාස්ත්‍රීය දැනුම සිසු පරපුරට දෙමින් විශ්ව විද්‍යාලයීය කථිකාචාර්යවරයකු ලෙසද ඉමහත් සේවාවක් ඉටු කිරීම ද විශේෂත්වයකි. වත්මන් සමාජ දේශපාලනික පසුබිම ගැන සිය  මතිමතාන්තර නොබියව ඉදිරිපත් කරන  සිවිල් මතධාරියකු ලෙසද ඔහු ප්‍රකටය. ජයලාල් රෝහණ නම් වූ මෙම ප්‍රවීණ කලාකරුවා මෙවර ‘රැජිණ’ සමග එක්වෙමින් සිය විවෘත අදහස් දැක්වූයේ මේ ලෙසිනි.

ඔබේ සහෝදර කලාකරුවන් රැසක් මේ වනවිට  දේශපාලනයට සම්බන්ධ වෙමින් හිඳිනවා. විශේෂයෙන් නිළියන් රැසක්ම මෑත කාලයේ ඡන්ද සටනට එක්ව සිටිනවා. නමුත් ඔබ ඒ අයව සෘජුව දෝෂ දර්ශනයට ලක් කරනවා.  
මහගමසේකර වැනි  උත්තුංග ගණයේ කලාව කරුවන් මේ රටේ විශාල සමාජ මෙහෙවරක් කළේ දේශපාලනයට පිවිසිලා නමෛයි. කලාකරුවන්ට දේශපාලන දැක්මක් තිබිය යුතුයි. නමුත් ඒ ඔස්සේ සමාජ මෙහෙවරක් කරන්න දේශපාලන නිලතලවලට පත්විය යුතු නැහැ. දේශපාලන නිලතල සහ කලාවේ අරමුණු එකි’නෙකට හුඟක් දුරස්තරයි.

එතකොට මොකක්ද වර්තමානයේ පවතින මේ රැල්ල ?
ඔය හැමෝම දේශපාලනයට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගන්න. ඒ වගේම ඔබ මගෙන් පැවසුවා මෑත කාලයේ නිළියො රැසක්ම දේශපාලනයට එන බව. ඔබ වැනි මාධ්‍යවේදීන්ට ඒ අය නිළියො වුණාට මට නම් ඒ අය නිළියො නමෛයි. මේ රටේ නිළියො ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඔය ඉන්න බහුතරයෙන් “මෙගා කෙල්ලො කොල්ලෝ” ඔය අය අද මතුවෙලා හෙට නැතිවෙන හුළං බෝනික්කෝ වගේ අය. අනික ඔය අයගෙන් කලාවට සැලකිය යුතු මෙහෙවරක් සිදුවුණේ නැහැ. සිදුවුණේ කලාවේ උත්තරීතර බව, ප්‍රමිතිය යම් ප්‍රමාණයකින් හරි පහළ වැටීම විතරයි. ඔය අය හින්දා  දේශපාලනයට වෙන්නෙත් ඒ සන්තෑසියම තමයි. දැන් අපේ රටේ ප්‍රධාන පක්ෂවලින් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති වැනි මූලික සුදුසුකම් සහිත පිරිස් සිටියදී ලිංගික සංකේතවලට නාම යෝජනා දීමෙන් දේශපාලනය විහිළුවක් බවට පත් වෙනවය කියලා කැෆෙ සංවිධානයත් කියලා තිබුණේ. ඒ ප්‍රවෘත්තිය පහුගිය විසිතුන් වෙනිදා ‘ලක්බිම’ පත්‍රයෙත් පළවෙලා තිබුණා නේද ?

ඔබ ඔය කතා කරන්නේ ඒ නිළියන් ගැන ද්වේෂයෙන් 
මේක ද්වේෂයකට වඩා කලකිරීමක්. ඒ කලකිරීම ඇත්තේ වර්තමාන දේශපාලනය තොරොම්බල් ‍පොළක් කරන්න සැරසෙන්න අපේ දේශපාලන නායකයන් සහ මේ රටේ ජනතාව ගැනයි

ඇයි ඒ ?
ලාබ ජනප්‍රියත්වයක් විතරක් හිමිකර ගෙන ඉන්න මේ විදිහේ අයව දේශපාලනයට යොමු කිරීමෙන් දේශපාලන නායකයන් කරන්නේ ‍පොදු ජනතාව සතු උත්තරීතර දේශපාලන අයිතිය හෑල්ලු කිරීමක්. ඔවුන් සුදුස්සන් පසෙකට තල්ලු කර මෙගා ටෙලි නාට්‍යයක මූණ පෙන්නපු කෙනෙකු ඉදිරිපත් කරන්නේ මේ රටේ ඇතිවිය හැකි දේශපාලනික පුනරුදය පණ පිටින් වළ දමලා හරි තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගන්න.

එතකොට ඇයි ඔබ ‍පොදු ජනතාව ගැන කලකිරීමට හේතුව?
අද මේ රටේ බහුතරයක් මෙගා ටෙලි නාට්‍යවලට ඇබ්බැහි වුණු ඒ හීන ලෝකවලින් සැබෑ ජීවිතයට මිනුම් දඬු සපයා ගන්න අය. ඒ අය වීරයන් විදියට දකින්නේ එම මෙගා නාට්‍යවලින් දකින අය. ඔවුන් වෙනුවෙන් තමයි ඒ අය තම ඡන්දය පාවිච්චි කරන්නේ. ක්‍රීඩාවෙන් හෝ කලාවෙන් හෝ මාධ්‍යයෙන් මොන ක්‍රමයකින් හරි ජනප්‍රිය වීම දේශපාලනික සුදුසුකමක් හැටියට දැකීම අතිශයින් අඳ බාල ක්‍රියාවක්. ලෝකයේ දියුණු රටවල්වල මෙහෙම දේවල් අහන්නවත් නෑ. ඒ අතින් බලනකොට අපේ රටේ තියෙන්නේ චිත්තනමය වශයෙන් පල් මඩ ගොහොරුවක.

එහෙනම් දේශපාලනඥයකු වීමට අවශ්‍ය  සුදුසුකම් මොනවාද ?
ජීවිත පරිඥානය, සමාජ අවබෝධය, ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවෙලා ලබපු අත්දැකීම් වගේම උගත්කමත් මේකට අවශ්‍යයි. මාඕ සේතුං, වී.අයි. ලෙනින් වැනි අයගේ ජීවිත කතා අධ්‍යයනය කළාම ඔබටම ඔය උත්තරය සපයා ගත හැකියි. ඒ අය සැබෑ වීරවරයන්. මේ වගේ කාඩ්බෝඩ් හීරෝලා ‍නෙවෙයි.

එතකොට අපේ රටේ වත්මන් දේශපාලනය තුළ ඔබ දකින දැවැන්ත චරිත කවුද ?
කවුරුවත්ම නැහැ.

ඇයි ඔබ එහෙම කියන්නේ?

එදා මෙදා තුර අප දන්නා දේශපාලන ඉතිහාසය පිළිබඳ සාපේක්ෂව විමසා බැලීමේදී එය පැහැදිලිව පේනවා. අද අපේ රටේ රජයන්නේ ප්‍රතිරූප මත පදනම් වුණු දේශපාලනයක්; අද මේ රටේ දේශපාලන වීරයන් හැටියට බොහෝ දෙනෙක් ගරු කරන්නේ ඒ ප්‍රතිරූපවලට. නමුත් පුද්ගලයා සහ ප්‍රතිරූපය අතරේ බරපතළ වෙනසක් තියනවා. පුද්ගලයකුගේ ප්‍රතිරූපය වර්ධනය කරන්න ‍පෝස්ටර් කට්වුට් වලට වුණත් පුළුවන්. බලන්නකෝ අද රට පුරාම තියන ‍පෝස්ටර්, කට්අවුට්.

ඒ වගේම ප්‍රතිරූප ගොඩනංවා නොගත් සැබෑ වීරයන් අපේ රටේ ඕනෑ තරම් සිටිය හැකියි?
ඔව්; නමුත් ප්‍රතිරූප වන්දනාවේ යෙදෙන ජනතාවට ඔවුන් පෙන්නේ  නෑ. ඒ හින්දා තමයි අපිට කවදාවත් මේ ආගාධයෙන් ගොඩ එන්න බැරි.

ඔබටත් දේශපාලනයට එන්නට ආරාධනයක් ලැබුණොත් එදාට මේ අදහස් වෙනස් වන්නට බැරි නැහැ.
මට ඔය ආරාධනාව එන්න පටන් ගත්තේ 2000 දී විතර. ඒත් මේ පවතින ආටෝපකාරී දේශපාලන රටාවට අනුගතවන්න බැරි හින්දා මම ඒ ආරාධනා හැම එකක්ම ප්‍රතික්‍ෂේප කළා. කොටින්ම කියනවා නම්  අන්තිමට මගෙ බිරිඳ මගෙ ගෙදර දුරකතනයෙ පවා වයර් ගලවලා තියපු අවස්ථා තියෙනවා ඔය ආරාධනාවලින් බේරෙන්න බැරිම තැන.

ඔබ මේ විදියට දේශපාලනය සෘජුව විවේචනය කරන්න ගිහින් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීලා නැද්ද?
මේ ළඟදී දවසක එක්තරා සති අන්ත පුවත්පතක අතිරේකයකින් මගෙ සම්මුඛ සාකච්ඡාවක් කළා. එතැනදී මම මගෙ සෘජු අදහස් ප්‍රකාශ කළා. උදෑසන පුවත්පත් සිරස්තල කියන එක්තරා ගුවන් විදුලි වැඩසටහනකදී දේශපාලනික වශයෙන් හත්‍පො‍ලේ ගාගෙන ඉන්න වයස්ගත   පුද්ගලයෙක් මාව තදින් විවේචනය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ ගැන මගෙ කනගාටුවක් නැහැ.

මොකක්ද ඒකට හේතුව ?
ඒ පුද්ගලයාගෙ දේශපාලනය වගේම අනිකුත් කල්ක්‍රියා ගැනත්  රටම දන්නවා. ආර්. ප්‍රේමදාස ජනපතිතුමා ගම් උදාව කරන කා‍ලේ ඔය පුද්ගලයා කළ කී හැම දෙයක්ම මේ රටේ මිනිස්සුන්ට මතකයි. වැරදීමකින් හරි මම හෙට මේ රටේ ප්‍රබල දේශපාලනඥයෙක් වුණොත් මටත් බොහොම ගෞරවනීය විදියට සලකන්න ඔය මනුස්සයාට කිසිම ලජ්ජාවක් නැති බවත් මම දන්නවා ඒක ඒ මනුස්සයගේ ජන්ම ගතියක් වෙන්න ඕනේ.

මොකක්ද ඔහු ඔබ ගැන කළ විවේචනය ? 
මගේ ඒ ලිපියෙන් මා ගැන රසිකයන් තුළ තිබුණු ආදර ගෞරවය නැති වූ බව ඔහු කියනවා. මෛක්‍රෆෝනයක් ඉදිරියේ කොච්චර කෑගැහුවත් ඒකට හඬ උරාගන්න නිශ්චිත ප්‍රමාණයක් තියනවා. ඉතුරු හඬ ටික අපතේ යනවා. අද වන විට මේ පුද්ගලයාගේ මොළයේ ෙසෙල කොච්චර දිරාපත්වෙලාද කිව්වොත් ඔහු දැන් ගුවන් විදුලියෙන් ජනතාව අමතන්නේ ඒ ගැනවත් තැකීමක් නැතුව ? ඉතින් තවත් මොන කතාද ?

මොකක්ද ? ඔහු ඔබ වෙත එල්ල කළ විවේචනය ?
ඔහු මාව විවේචනය කරන්නේ මගේ ඇඳුම් ටිකක් ‍පොඩිවෙන්න බලලා එහෙම කර ගන්න එපා කියලා; නමුත් ඔහුට මතක නැහැ ඔහු ඒ විවේචන එල්ල කරන්නෙ අමුඩ කෙටියක්වත් නැතුව බව.

ආරියවංශ කුලතිලක
Read more
ජනපති ප්‍රේමදාසගෙන් බුද්ධගයාවට ‘රන් වැටක්’ ඉන්දියාවට ‘බුද්ධගයාවක්’

ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඉන්දියාවේ සංචාරය කළ හැම වාරයකදීම එරට රජයට මහා හිසරදයක් හටගන්නා තරම් බරපතළ ගැටලු ඇතිවිය. එනම් ප්‍රේමදාස මහතා ඉන්දීය විරෝධියකු ලෙස නම් දරා තිබීමත් කොටි ත්‍රස්තවාදීන් ඔහුට යම් අනතුරක් කරාවිය යන නිගමනයත් යන කරුණු කාරණා නිසාවෙන් ඉන්දීය ආරක්ෂක අංශ බෙහෙවින් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව ගැන වධ වන්නට වීමය. කිසියම් ප්‍රහාරයකින් ජනාධිපතිවරයාට ඉන්දියාවේදී විපතක් වුණි නම් එය එකහෙළාම ඉන්දියාවේ වැඩකැයි කෙනකුට සිතන්නට වන ඉඩකඩද වැඩි විය.

මෙය ප්‍රේමදාස මහතාද හොඳින් දැන උන්නේය. ඒ නිසාම ඔහුට ඉන්දියාවේදී ආරක්ෂාව හොඳින් ලැබෙන බවත් දැන උන්නේය. වරෙක ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වශයෙන් බුද්ධගයාව වැඳ පුදා ගැනීමට පැමිණියේය. ඔහු එහි ළඟා වෙද්දී අති විශාල ජනකායක් රැස්ව සිටින බව දුටුවේය. ජනතාව දුටු වහාම ප්‍රේමදාස මහතාට සතුට නිම්හිම් නැති විය. ඔහුට හදිසියේම එම ජනතාව අතරට යන්නට සිතුණේය. ඔහු ලංකාවේදී මෙසේ කරන බව දන්නේ ඔහු වටා හුන් මෙරටින් ගිය ආරක්ෂක නිලධාරීන්, හිතවතුන් මෙන්ම මැති ඇමැතිවරුන් පමණකි.

“මට ඒ මිනිස්සු ළඟට ගිහින් කතා කරන්න ඕනෑ!” ප්‍රේමදාස මහතාට ආරක්ෂාව දුන් පිරිසට ඔහු කීවේය. ඒ මොහොතේ ජනාධිපතිවරයාගේ පරිවාර ඇමැති වශයෙන් ඔහු සමඟ ගමන් කළේ ඉන්දීය රජයේ රාජ්‍ය අමාත්‍ය භාතියා මහතාය. භාතියා ඇමැතිවරයාට හීන් දාඩිය දැමිමේ මේ ඉල්ලීම නිසාය. ඒ ඒ වනවිටත් ප්‍රේමදාස මහතාට හොඳින් රැකවරණය සලසන්නැයි බුද්ධි අංශ දැනුම් දී තිබුණු නිසාය.

“ජනාධිපතිතුමනි, ඔබතුමා දැන් ඉන්නේ ලංකාවේ නොවේ ඉන්දියාවේ. ඔබතුමාගේ ආරක්ෂාව සැලැසීම අපේ වගකීමක්, කාරියක්. ඒ නිසා මේ මහජනතාව අතරට යන්න දෙන්න කොහෙත්ම බෑ. ඔබතුමා දන්නවනෙ ඒකේ බරපතළකම?”යි භාතියා ඇමැතිවරයා කාරුණිකව කීවේය.

ප්‍රේමදාස මහතා එවැනි අදහස්වලින් මෙවැනි තැන්වලදී පසුබසින්නේ නැති බව ඔහු සමඟ ගිය පිරිසේ අය දැනගත්තද කිසිවක් කරන්නට ඉඩක් නොවීය. රාජ්‍ය අමාත්‍ය භාතියා මහතාට ප්‍රේමදාස මහතා මෙසේ කීය.

“රාජ්‍ය ඇමැතිතුමනි, මමත් දේශපාලනඥයෙක්නේ. මම අපේ රටේ ජනාධිපති වුණත්, මෙහෙ ආවා කියලා වුණත්, මම මගේ පුරුදු නැති කරගන්නේ කොහොමද? ඇරත් මම මේ වගේ මිනිසුන් අතරින් මතුවෙච්ච මිනිහෙක්. දේශපාලකයකුට තියෙන ලොකුම ආරක්ෂාව කියලා කියන්නේ තමන්ගේ ආරක්ෂක භටයන් පිරිවරාගෙන, ආරක්ෂක වළලු දාගෙන යනවටත් නොවෙයිනේ. මගේ ආරක්ෂාව තියෙන්නෙ මේ වගේ ජනතාව අතරෙයි. ඒ මිනිසුන්ගෙන් මට කිසිම හානියක් වෙන්නෙ නැති බව මට විශ්වාසයි”

මේ මොහොතට සහභාගි වුණු අය අතර වූ මාධ්‍යව්දියෙකු කීවේ එක්තරා විදියකට මෙය ප්‍රේමදාස මහතා ඉන්දීය ජනතාව අතරට ගොස් ජනප්‍රිය සිදුවීමක් ඇති කර ගැනීම වළක්වන්නට ඉන්දියාව උත්සාහ කළ නිසා යන්නට නොදුන් බවත් එය වළකාලමින්, එය හඳුනාගෙන ප්‍රේමදාස මහතා එම ජනතාව අතරට යන්නට උත්සාහ කළාද විය හැකි බවයි.

ප්‍රේමදාස මහතා සැණකින් රැස්ව සිටි ජනතාව අතරට එක් වූයේය. එය එම ජනතාවද කිසිසේත් බලාපොරොත්තු නොවූවක් විය. ඔවුහු බොහෝසේ සතුටට පත්ව පී්‍රති ඝෝෂා පවත්වන්නට වූහ.

“ප්‍රේමදාස් ... ජායි...! ප්‍රේමදාස් ජායි!!”යි කියමින් ඔවුන් ප්‍රේමදාස මහතා පිළිගනිද්දී ඒ තරම් සතුටක් තවත් නැති තරමටම ප්‍රේමදාස මහතාගේ මුහුණේ  සිනාවක් ඇ½දුණේය. ඒ ඔහු ජනතාව අතර වඩාත් තෘප්තිමත් වූ බව පළකෙරුණු අවස්ථාවක් විය.

රැස්ව සිටි අති විශාල ජනතාව අමතා තම සිතැඟි පවසන්නට ඕනෑ බව ප්‍රේමදාස මහතා කීවේය. ඔහු පළ කරන අදහස් එම ජනතාව වෙත පරිවර්තනය කළේ ප්‍රංසයේ පැරිස් නුවර ජේතවන නව විහාරයේ අධිපති කඹුරුපිටියේ චන්ද්‍රරතන හිමියන්ය. ඒ මොහොතේ එවක ඉන්දියාවේ මහබෝධි සමාගමේ සභාපති මාපලගම විපුලසාර හිමියෝද ශ්‍රී  ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වර නාගේන්ද්‍ර නාත් ජා ද වූහ.

ප්‍රේමදාස මහතා එහිදී අපූරු කතාවක් කළේය. “බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුරෙන් පැවැත එන මේ පොදු ජනතාව වෙනුවෙන් ශ්‍රී  ලංකාව විසින් කළ හැකි සෑම උදව්වක්ම කරන්නට මම ඇප වෙන බවත්, කැපවෙන බවත් කියන්නට ඕනෑ. ඒ තරමටම ඔබත් අපත් සිතිවිලිවලින්ද, පරපුරෙන්ද, ඥාති සබදතාවයෙන්ද අප හා බැඳී ගත් ජාතියක්. ඒ මිනිසත් බව අමතක කර අපට වෙනතක් බලා ගන්න හිත් දෙන්නෙ නෑ. ඇරත් ඒක අපේ යුතුකමක් හා වගකීමක්ද වෙනවා”

එදා ඒ සිදුවීම කොයිතරම් ප්‍රේමදාස මහතාගේ සිතට කා වැදුණේ දැයි කියතොත් ගමන යන අතරෙත්, ගුවන් යානයේදීත්, බොහෝ දුරට කතා කළේ ඒ ගැනය. ඒ දුප්පත් මිනිසුන් ගැනය. මේ තරම් විශේෂයක් ඇයි දැයි ඉවෙන්මෙන් හඳුනාගත් සමීපතමයෝ එක් දෙයක් පමණක් අවබෝධ කර ගත්හ. එනම්,
“කවදත් මේ වගේ දුප්පත් මිනිස්සු අතරට  ගිහින් ඇත්තටම දුක සැප බලලා කතා කරන්න පුරුද්දක් එදා දැඩිව ඇති කළේ ප්‍රේමදාස මහත්තයයි. ඒත් මේ හමුවීමේදී නම් විශේෂ යමක් වෙන්න පුළුවන්. ඒ තරමටම එතුමා සතුටින් ඉන්නේ” යන්නය.

මේ සිදුවීම වෙද්දී එහි සිටි මාපලගම විපුලසාර හිමියන්ගෙන් ප්‍රේමදාස මහතා එම දුප්පත් ජනතාව පිළිබඳ තොරතුරු බොහෝ අසාගත් හැටි කාගේත් අවධානයට ලක්ව තිබුණේය. ප්‍රේමදාස මහතා ලංකාවට පැමිණි වහාම නිල වශයෙන් ඒ ගැන කතා කළේය.

“මම ඇස් දෙක පියාගෙන එදා බුද්ධගයාවේදී ප්‍රාර්ථනාවක් කළා. ඒ තමයි... මම ආයෙත් එහෙ එන්නේ බුදුන් වහන්සේ සිහිපත් කෙරෙන බුද්ධගයාවේ ශ්‍රී  මහා බෝධීන් වහන්සේ වටා රන් වැටක් ඉදිකරලා... ඒක පූජා කරන්නයි කියලා. ඒ විතරක් නොවේ කාලාන්තරයක් මුළුල්ලේ ඒ අවට රැඳෙමින් දුක් සුසුම් උහුලගෙන ඉන්න, ජීවත් වෙන්න අප්‍රමාණ දුක් විඳින, ඒ දුප්පත් මිනිසුන්ට ‘බුද්ධගයාව’ නම් ගමක් හදලා අංග සම්පූර්ණ ගෙවල් හදලා ඒ ගෙවල් ඒ ජනතාවට භාරදෙන දවසටයි කියලා”

ප්‍රේමදාස මහතා තම සිතැඟි පැවැසූ දේ කවුරුත් මුව අයාගෙන එය අසා සිටියේය. ‘කොහොමද ඉන්දියාවේදී ගමක් හදල භාර දෙන්නෙ...? ඒකට ඉන්දියාව ඉඩ දෙයිද?’ කියලාය.

එහෙත් අප්‍රමාණ බාධක දුක්කම්කටොලු මැද ප්‍රේමදාස මහතා ශ්‍රී  මහා බෝධියට රන්වැටක් ඉදිකළ අතර, බුද්ධගයාව අසල දුප්පත් මිනිසුන්ට අංග සම්පූර්ණ නිවෙස්ක් සහිත ගමක්ද ඉදිකළේය. එදා රන්වැටත්, බුද්ධගයා ගමත් විවෘත කළදා ඉන්දියාවේ පුවත්පත් මේ අරුම පුදුම පරිත්‍යාගය ගැන ප්‍රේමදාස මහතා පසසමින් පුවත් රැසක් වාර්තා කොට තිබුණේය. අදත් රන්වැට දිලිසෙද්දී, බුද්ධගයා ගමේ මිනිසුන් ප්‍රේමදාස මහතා සිහිකොට පින් පෙත් දෙන බැව් කියවේ.
ඒ ප්‍රේමදාස මහතාගේ හැටිය.

සජිත් රෝහිත ලියනගේ
Read more
Thursday, January 30, 2014
කොල්ලකාරී උන් සහ ළාමක අපි - තිසරණී ගුණසේකර

මද පමණට සැප වළඳන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා අධි-සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මහජන මුදල් රුපියල් කෝටි 600 ක් වැය කිරීමට නියමිතයි. අක්කර දෙක හමාරක ඉදි වන, මුළුමණින් වායුසමීකරණය කළ මේ ගගන ප‍්‍රාසාදය, ‘පිහිනුම් තටාක, සරඹ ශාලා, සක්මන් මළු, අවන්හල් සහ ක‍්‍රීඩා පිට්ටනි ආදී සියලූ නූතන පහසුකම්වලින්’ යුක්තය. කුලියක් අය නොකෙරෙන මේ විමාන වෙනුවෙන්, ආත්ම-පරිත්‍යාගී අපේ මන්ත‍්‍රීවරුන් ගෙවනු ඇත්තේ, මසකට රුපියල් 1000 ක් වැනි, යන දවසක ආපසු ඔවුන්ටම හිමි වන, රාජකීය අත්තිකාරමකි.



එම රටේම, ප‍්‍රාථමික පාසල් දරු දැරියන්ට සැපයුණු දිවා ආහාර වේල, කිරි වීදුරුවකට පහත වැටී ඇති බව වාර්තා වෙයි. හේතුව, ගිය වසරේ පාසල් දිවා ආහාර සැපයුම්කරුවන්ට නියමිත මුදල් තවමත් එම ආණ්ඩුවෙන් ගෙවා නැති බැවිනි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා වන මේ අධි-සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණය ඉදි කරන්නේ, හැම පඳුරකම ව්‍යාපාරවලට අත ගසන චීන්නුන් විසින් නොව, ජපන් සමාගමක් විසිනි. ඒ නිසා, ‘සදා කොට උඩ’ නොරොච්චෝලේ මෙන් නොව, අගේට ඉදි වුණු, නියමෙට වැඩ කරන, ජීවන අවකාශයක විසීමට අපේ මන්ත‍්‍රීවරුන් භාග්‍යමත් වනු ඇත.

(ලෝකයේ පුළුල්ම අර්ථයෙන් ගැනෙන) දූෂණය, රාජපක්ෂලාගේ ප‍්‍රධාන මෙහෙයුම්-මෙවලමකි. රාජපක්ෂ සහෝදරයෝ, රාජ්‍ය යන්ත‍්‍රයත්, එය සතු සකල සම්පතුත්, විරුද්ධවාදීන්ට දඩුවම් කිරීමටත්, දෙකට නැමෙන්නන්ට තෑගි දීමටත් පාවිච්චි කරති. දෙකට නැමුණු හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රට පිරිනැමූ තෑගිබෝග, දෙකට නැමීම ප‍්‍රතික්ෂේප කළ මංගල සමරවීරට පරණ තෙස්තමේන්තුවේ නටබුන් මූලාශ‍්‍ර කරගත් වික්ටෝරියානු නීතියක පිළිසරණින් නඩු පැවරීමට යන කාසියේම අනිත් පැත්ත ය.

සියලූ මන්ත‍්‍රීවරුන්ට ජාතියේ වියදමින් විසල් වාසභවන් තැනීමේ ව්‍යාපෘතිය, දූෂණය ජාතික අච්චුවක් බවට පරිවර්තනය කිරීමේ පුළුල් සැලැස්මක එක අංගයකි. දූෂණය, හුදෙක් පවුලක හෝ ආණ්ඩුවක පමණක් නොව, පොදුවේ සමාජය වෙළාගන්නා ව්‍යාධියක් බවට පත්කෙරන විට, පාලකයන් සහ ඔවුන්ගේ එදිරිවාදීන් අතර තිබිය යුතු සදාචාරමය සහ ආචාරධාර්මික වෙනස ඉබේම බොඳ වී යන්නේය. එවැනි වාතාවරණයක් තුළ ඡුන්දදායකයා, මේවා ගැන කෝපයෙන් ඇළලී යනවා වෙනුවට, උදාසීන නින්දකට වැටෙන්නේය.

අහක බලාගෙන ඉන්න උදාසීනත්වය, ඉතිහාසයේ පෙන්නුම් කෙරෙන පරිදි, ප‍්‍රජා පීඩකයාගේ අතිජාති මිතුරෙකි.

චන්ඩි පාලකයන් යනු, ස්වකීය පුරුෂාර්ථ පාලිතයන් තුළ සාර්ථකව රෝපණය කරවන්නන් ය. ඒ අංශයෙන් රාජපක්ෂලා පිම්මේ ඉදිරියට ගොස් සිටිති. ඒ තත්වය තුළ, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය, පූජණීය වෙයි. පවුල් දේශපාලනය, සම්මතය වෙයි. ඥාති සංග‍්‍රහය, තවදුරටත් පිළිකුල නොදනවයි. දූෂණය සහ අවස්ථාවාදය, සාපලත් දුරාචාරයක් වෙනවා වෙනුවට, දැකුම්කලූ ජයග‍්‍රාහී ගති ලක්ෂණයක් වෙයි.

යුද්ධය, සාමය වන රටක, වහල් භාවය, නිදහස වන රටක, මුළාව, ශක්තිය වන රටක, නිවට කම, නිර්භීත කමක් වෙයි. ආත්මාර්ථය, ප‍්‍රඥාව වෙයි. වෛරය, දේශපේ‍්‍රමය වෙයි.

මේ ප‍්‍රශ්නයේ වසංගත ගතිය, අපේ විදේශ සේවාවේ පවුල්වාදය ගැන නාමිනී විජේදාස කරන හෙළිදරව්වෙන් මනාව විසද වෙයි: රටේ විදේශ සේවාව, රාජපක්ෂලාගේ අවිශිෂ්ට නෑසියන්ට තිළිණ වෙන සුවදායී නිවහන් බවට පත්කිරීම පුදුමයක් නොවේ. එහෙත්, රාජපක්ෂලා නොවන, රාජපක්ෂලා තරමටම අවිශිෂ්ට, පිටස්තර දේශපාලනික දරු මුණුපුරන්ටත් ලෝකය පුරා අපේ තානාපති කාර්යාලවල සැපයෙන දෙවැනි පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරු කන්දරාව, ඇත්තෙන්ම කරුමයකි.

මේ නිසා මන්ත‍්‍රීවරුන් සඳහා වන නිවාස සංකීර්ණ උගුලට විපක්ෂය දක්වන ප‍්‍රතිචාරය මෙහි දී වැදගත් වනු ඇත. මහජන මුදල් සාපරාධී ලෙසින් මෙසේ කාබාසිනියා කිරීමට එරෙහිව, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සිය දැඩි විරෝධය පළ කරාවි ද? එම නිවාසවල අර්ථලාභීන් වීම ඔවුන් ප‍්‍රතික්ෂේප කරාවි ද? එසේ නොමැතිව ඔවුනුත්, එම නිවෙස් සඳහා ඉල්ලූම් කරාවි ද?

යාන්තම් හිස ඔසවමින් සිටි එක්සත් ජාතික පක්ෂය, පීඩිත දෙමළ ජනයා වෙනුවෙන් අතහිත දීම වළක්වීමේ ප‍්‍රයත්නයක් වශයෙන් රාජපක්ෂලා බොදුබල සේනාව පාවිච්චි කිරීමේ අරමුණ වුණේ, තමන්ගේ ඇඟේ දැනටමත් ගෑවී ඇති මඩ, අලියාගේ (එහි නායක මණ්ඩලයේ) ඇඟේ ද ගෑවීමට සැලැස්වීමයි. රාජපක්ෂලා සහ ඔවුන්ගේ විරුද්ධ පාක්ෂිකයන් අතර මොනම වෙනසක්වත් නැත්නම්, ඇත්තේ මහින්දගේ හිනාව, බැසිල්ගේ තෙල් ගතිය සහ ගෝඨාභයගේ දඩබ්බර ගතිය පමණක් නම්, එකක් රුපියල් මිලියන 5-6 අතර මිළකට ඉන්දියාවෙන් ගත් වතුර-තුවක්කු සන්නද්ධ රථ දහයෙන් ඔවුන්ට කිසි ප‍්‍රයෝජනයක් නැති වන්නටත් ඉඩ තිබේ.

ආණ්ඩුවේ මේ ගතිකයට විපක්ෂය යට වුණොත් ඇති විය හැකි මහජන අපේක්ෂා භංගත්වයේ නායයාම තුඩුදෙනු ඇත්තේ, රාජපක්ෂලා වෙනුවට, මධ්‍යස්ථ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් ඇති කර ගැනීමට ඇති ඉඩකඩ වියැකී ගොස්, අන්තවාදී සහ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී මාවත්වලට පාර කැපීමටයි. එය, වාර්ගික/ආගමික සහ/හෝ මිලිටර් වර්ගයේ (කර්නල්වරුන්ගේ හෝ සාජන්ටලාගේ කුමන්ත‍්‍රණයක) මාවතක් වීමට බැරි නැත.

අතාර්කිකත්වය තුළ වල්මත් වීම
රාජපක්ෂලාට නැත්තේ සදාචාර මාලිමාවක් පමණක් නොවේ. තාර්කික මාලිමාවක් ද ඔවුන්ට නැත. ඔවුන්ගේ පාලනය යටතේ, ආචාර සම්පන්න නොවීම සහ සදාචාරවත් නොවීම තරමටම, අතාර්කිකත්වයත්, විරෝධයක් දැක්විය යුතු නැති, සාමාන්‍ය දෙයක් බවට පත්කෙරේ. එය වඩාත් විනාශකාරී ලෙසින් විසද කෙරෙන්නේ, රාජපක්ෂ පවුලට මුල් තැන දෙන ප‍්‍රතිපත්ති මගින් විනාශකාරී ණය උගුලකට රට තල්ලූ කෙරෙමින් පවතින, මූල්‍ය-ආර්ථික ක්ෂේත‍්‍රයේ ය.

‘ප‍්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්’ නැමැති ලෝක ප‍්‍රකට විගණන ආයතනයට අනුව, 2010-2011 කාලය තුළ මිහින්ලංකා ගුවන් සමාගමේ ශුද්ධ පාඩුව, ‘රුපියල් මිලියන 940.49 කි. සමාගමේ වර්තමාන වත්කම්වලට වඩා, බැරකම්වල බර, රුපියල් මිලියන 1083.92 ක් ද අභිබවා යයි. එය, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම රුපියල් මිලියන 3814.45 ක අගයකට ඔසවා තබයි’. චීන බැංකුවකින් ලබා ගත් ණයකින් චීන කොන්ත‍්‍රාත් සමාගමක් තැනූ වව්නියා-යාපනය මාර්ගයේ වියදම, කිලෝ මීටරයකට රුපියල් මිලියන 112.88 ක් බව කියැවේ. විගණකාධිපතිගේ නවතම වාර්තාවට අනුව, ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන්ට අවාසි සහගත කොන්දේසි යටතේ විවිධ ගිවිසුම්වලට එළැඹ ඇත..’ බාල වර්ගයේ තෙල් ආනයනය කිරීම නිසා ඇති වූ පාඩුව, කුප‍්‍රකට හෙජින් ගනුදෙනුව නිසා විඳින්ට සිදුවූ ප‍්‍රතිවිපාක, සංස්ථාව විශාල පාඩු ලබමින් පවත්වාගෙන යද්දී එහි සේවකයන්ට බෝනස් ගෙවීම ආදියත් වාර්තාව සඳහන් කරයි. රාජපක්ෂ මහා කයිවාරුව වන නොරොච්චෝලේ, 2013 දී සම්පූර්ණ දවස් 73 ක් ද, අර්ධ දවස් 43 ක් ද තිබුණේ, කොට උඩ ය. අපූරු සරදමක් ලෙසින්, අවසානයේ දී මේ ‘මේඞ් ඉන් චයිනා’’ නොරොච්චෝලේ ජංජාලය එකලසක් කර ගැනීමට රාජපක්ෂලාට හැරෙන්නට සිද්ධ වී ඇත්තේ ද ඉන්දියාව දෙසටයි.

පරදු-දැරීමේ පදනම ඉතා පටු වන විට, ආණ්ඩුකරණයේ පර්යාලෝකයත් සකසාගන්ට වන්නේ ඊට සමාන පටු සීමාවන් ඇතුළේ ය. එවැනි ආණ්ඩුකරණයක් තුළ ඇති ප‍්‍රතිපත්ති තීන්දු මෙහෙයවෙන්නේ එක අභිලාෂයකිනි: පාලක පවුලේ සිතැඟියාවන් සැතපීම සහ පවුලේ චිරස්ථිතිය. එය, ජනාධිපතිවරයාගේ මස්සිනා සභාපතිත්වය දරණ, කෝටි ගණන් පාඩු ලබන ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට තවත් අළුත් ගුවන්යානා 10 ක් මිළ දී ගැනීම සඳහා රුපියල් බිලියන 22.7 කටත් වැඩි ණයක් ලබා ගැනීමට අවසර දීමේ සිට, ක‍්‍රීඩා කටයුතු සඳහා අධි බලැති 1000 සී.සී. මෝටර් සයිකල් ආනයනය කිරීමට අවසර දීම දක්වා විවිධාකාරයේ හැඩතල ගන්නට පිළිවන. (ධාවන තරග, ජනාධිපති පුතුන්ගේ විනෝදාංශයක් සහ මල්ල කරේ ව්‍යාපාරයක් බවත් කියැවේ)
.
රාජපක්ෂ පවුලේ අවපාලනය නිසා ඇති වන සියලූ වියදම් අවසානයේ දී පැටවෙන්නේ, රාජපක්ෂලාගේ සිංහල-බෞද්ධයන් ද ඇතුළු සාමාන්‍ය ජනතාවගේ කරට ය. අමාත්‍ය සරත් අමුණුගමට අනුව, ‘අඩු ආදායම්ලාභී බොහෝ පවුල් ජීවිතය ගැටගසා ගන්නේ, දිනකට ඩොලර් එකහමාරක් වැනි සොච්චමකිනි’. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව සහ පමණ ඉක්මවා කරන වියදම් පියවා ගැනීම සඳහා තව තවත් වක‍්‍ර බදු පැනවීමට සිදුවීමෙන්, සාමාන්‍ය මිනිසාගේ ජීවන තත්වය අස්ප වේගයෙන් පල්ලම් බසී. එතෙකුදු වුවත්, දේශමාමක සටන් පාඨවලින් තමන්ව ඇන්දවීමටත්, කොටි/ජිහාඞ්/පල්ලි/බටහිර කුමන්ත‍්‍රණ බිල්ලන්ගෙන් තමන්ව බිය වැද්දීමටත් සිංහල-බෞද්ධ බහුතරය ඉඩ දෙන තාක් කල්, රාජපක්ෂලා යහතින් වැජඹෙනු ඇත.

රාජපක්ෂ සහෝදරයන්ට මේ අවිචාරවත් මගේ නිර්භාධිතව යා හැකිව ඇත්තේ, විපක්ෂය දුර්වල නිසා පමණක්ම නොවේ, බහුතර ප‍්‍රජාව, මාරාන්තික ලෙස දුර නොදකින නිසාවෙනි. බුද්ධිහීන නිසාවෙනි. අතාර්කික නිසාවෙනි.

රාජපක්ෂලා සමග සිංහලයන් මේ ගමන් කරමින් සිටින්නේ, කොටින් සමග දෙමළ ජනයා ගමන් කළ පාරට සමාන පාරක ය.

කොළඹ පාලනයෙන් පීඩාවට පත්ව, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ නීතියේ ආධිපත්‍යය ගැන විශ්වාසය බිඳි ගොස් සිටි දෙමළ ජනයා, සිංහලයන්ට සිංහලයන්ගේ භාෂාවෙන්ම පිළිතුරු දිය හැකි බලසම්පන්න නායකත්වයකට ලොල් කළහ. ඒ ලෝලයේ ප‍්‍රතිඵලය වුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. නිමාවක් නොපෙනෙන යුද්ධයකට මැදි වුණු සිංහලයා ද, කොටින්ගේ ක‍්‍රමයට කොටින් සමග සටන් වැදිය හැකි බලසම්පන්න නායකත්වයකට ලොල් කළහ. ඒ ලෝලයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ, රාජපක්ෂලා ය.

යහපත් මෙන්ම අයහපත් වූද හේතු කාරණා පෙරදැරිව දෙමළ ජනතාව, කොටින්ගේ මිනීමරු/සියදිවි නාශක ක‍්‍රමයට අනුගත වීමෙන් පසු අවසන් වුණේ, නන්දිකාදල් කලපුවෙන්, රැඳවුම් කඳවුරුවලින් සහ හමුදා පාලනයට නතු සමාජයකිනි. සිංහල-බෞද්ධයා විසින් රාජපක්ෂලාට පිළිගන්වන ලද, සීමාවක් හෝ දිනයක් නැති හිස් චෙක්පතත්, ඒ විදිහේම නපුරකින් සංයුක්තයි. රාජපක්ෂගේ කොල්ලකාරී අවපාලනයට සිංහල-බෞද්ධයා යටත් වන්නේ, තේරුම්ගත හැකි බියක් හේතුවෙන් ද, නැතහොත් රාජපක්ෂගේ අවපාලනය තමනුත් සාපරාධී අන්දමින් අනුමත කිරීම හේතුවෙන් ද යන්න මත, ඒ අවසාන දුර්භාග්‍යමත් පරිසමාප්තිය වෙනස් වන්නේ නැත.

2014 ජනවාරි 23 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Predatory Them & Puerile Us නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
Read more
Wednesday, January 29, 2014
චෝගම් ඔටුන්න නැති වෙයිද?

මහින්ද 2009 ජූලි 7 වැනි දින ඉන්දියාවේ ප්‍රකට “ද හින්දු” පුවත් පතේ එකල කර්තෘ එන්. රාම්ට රහසක් කීවේය.
“මම කාටත් හොරෙන් මගේ ලේකම් ලලිත් වීරතුංගව යැව්වා වන්නියට එල්.ටී.ටී.ඊ. නායකයෝ එක්ක කතා කරන්න...”
මේ මහින්ද හෙළි කළ රහසය.
“ඔව්... මම 2006දී චෙක් පොයින්ට්ස්වලින් ගියා කොටි නායකයන්ව සාකච්ඡා මේසයට ගේන්න...”

මෙහෙම කිව්වේ ලලිත් වීරතුංගය.
“ඒ කියන්නේ මහින්ද යුද්ධයට යන්න කලින් අන්තිම ට්‍රයි එක දුන්නේ ලලිත් හරහාද...?”
වෙලා තියෙන්නේ නම් එහෙමය. මහින්ද ලලිත්ට වැඩක් භාර දෙන්නේ නහය ළඟට වතුර ආවාමය. එල්.ටී.ටී.ඊ.ය සටන් විරාමය කඩමින් හමුදා සෙබළු මරමින් මායිම් ගම්මානවලට ගහමින් කොළඹට ඇවිත් හමුදාපතිට සහ ආරක්ෂක ලේකම්ට ගහනකොට මහින්දට හුස්ම ගන්න බැරි තරමට වතුර නහය ළඟය. ලලිත්ව වන්නියට යවන්න ඇත්තේ හුස්මක් ගන්න පුළුවන්ද බලන්න විය යුතුය.

“එතකොට මහින්ද දැන් ලලිත්ව ජිනීවා වොෂින්ටන් යවල තියෙන්නේ නහය ළඟට වතුර ඇවිත් නිසාද...?”
එදා ප්‍රභාකරන් මහින්දට බිත්තියටම තියල තද කළා වගේ අද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මහින්දව බිත්තියටම තියල තද කොට ඇත. මහින්ද ලලිත්ව ජිනීවා යැව්වේ හුස්මක් ගන්න ඉඩක් හදා ගන්න විය යුතුය.

“යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ගියොත් ලංකාවේ කැලඹීම් ඇති වෙයි...”
මේ ලලිත් වීරතුංග වොෂින්ටනයට ගිහින් මාධ්‍ය අමතා කළ කතාවය. මහින්ද එදා නහය ළඟට වතුර පෙව්න වේලාවේ ලලිත් වීරතුංගව යවල කොටි නායකයන්ට දෙන්න ඇත්තේත් මේ පණිවුඩයමද දන්නේ නැත.

“සාකච්ඡා මේසයට ආවේ නැතිනම් යුද්ධයෙන් මහා විනාශයක් වේවි...”
ලලිත් එහෙම කියන්නට ඇත. හැබැයි කොටි නායකයන් ඒ කතාවට බය වුණේ නැත.
“යුද්දේ තමයි යකෝ අපිටත් ඕනෑ...”
කොටි නායකයන් හිතින් එහෙම හිතල යටින් හිනා වෙන්න ඇති. හැබැයි එදා වන්නියේදී මහින්ද ලලිත් ලවා කොටි නායකයන්ට කිව්ව දේ කරල පෙන්නුවේය. ප්‍රභාකරන් එක්කම කොටි විනාශ විය.

හැබැයි ඒ කොටිය. කොටි එක්ක හැප්පුණාට මහින්දට ඇමෙරිකාව එක්ක හැප්පෙන්න බැරිය. ජාත්‍යන්තර පරීක්ෂණයක් කළොත් ලංකාවේ කැලඹීම් ඇති වේ යැයි ලලිත් කීවේ මොන අදහසකින්ද දන්නේ නැත. ඔහු කීවේ ජනතාව පාරට බහියි කියල විය යුතුය.

“ජනතාව පාරට බැහැල කාට ගහන්නද...?”
ඇමෙරිකාව එහෙම හිතනවා නම් පුදුමයක් නොවේ.
ඇත්තටම මහින්ද ඇමෙරිකාව ඇතුළු ලොව බලවත් රටවල් ප්‍රභාකරන්ගේ ගාණට දමල බය කරන්න හිතනව නම් ලෝක විහිළුවකි.
අද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මහින්දව කොටු කරන්න යන්නේ එදා මහින්ද ප්‍රභාකරන්ව කොටු කළ ආකාරයටමය. මහින්ද 2009 ජූලි 07 හින්දු පත්තරයට කියන්නේ සාකච්ඡා මේසයට එන්න කියල තමන් ප්‍රභාකරන්ට පින් සෙන්දු වුණ බවය. ලලිත්ව වන්නි යවන්න පෙර ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේව කිහිප වරක්ම වන්නියට යවපු බවත් සාකච්ඡා මේසයට එන්න කියා ප්‍රභාකරන්ට නොවඳිනා වැඳුම් වැන්ද බවත් මහින්ද ද හින්දු පත්තරයට කියා තිබිණි.

මහින්දම නම් කළ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියල ඇමෙරිකාව මහින්ද හමු වෙන්න නියෝජිතයන් පෝලිමේ එව්වේය. අවසානයට එව්වේ රැප්වය. වෙනකක් තබා නාවි පිල්ලේත් ආවාය. ඒත් මහින්ද හිටියේ නෑහුණා වගේය. 2012දීත් 2013දීත් ලංකාවට එරෙහි යෝජනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරලා අනතුරු ඇඟෙව්වේය. ඒත් මහින්ද ගණන් ගත්තේ නැත.
දැන් ඇමෙරිකාව හදන්නේ මහින්ද ප්‍රභාකරන්ට උගන්වපු පාඩමම මහින්දට උගන්වන්නටය.
“ඉතින් ඇමෙරිකාව මොනවා කියල කරන්නද...?”

ඇමෙරිකාවට කරන්න බැරි දෙයක් නැත. 2012 මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවේත් 2013 ඉදිරිපත් කළ යෝජනාවේත් ඇමෙරිකාව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියේ නැත. කිව්වේ මහින්දගේම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියාය.
“නුඹලා කරන්නේ නැතිනම් අපි කරවන්නම්...”
දැන් ඇමෙරිකාව කියන්නේ එහෙමය. ඒ කියන්නේ ලංකාවේ යුද අපරාධ හොයන්න ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න යෝජනාවක් ගෙන ඒමය. මේ මාර්තු මාසයේ වෙන්න යන්නේ ඒකය. ඇමෙරිකාව මේ මාර්තු මාසයේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යැයි කියන්නේ නිකම්ම නිකම් ලංකාවට නොවේ. රටවල් 53කට පොදු රාජ්‍ය මණ්ඩල සංවිධානයේ සභාපතිට එරෙහිවය.

“ඇමෙරිකානු න්‍යාය පත්‍රයේ අංක එක මහින්දව පොදු රාජ්‍ය මණ්ඩල සභාපති කමින් ඉවත් කිරීමද...?”
මහින්ද 2013 නොවැම්බර්යේදී පොදු රාජ්‍ය මණ්ඩල ඔටුන්න පලඳින්න සූදානම් වෙද්දී බි්‍රතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ් කීවේ පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරය මහින්දගෙන් ඉවත් කළ යුතු බවය. ඒත් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ආ බි්‍රතාන්‍ය අගමැති කැමරන් කීවේ 2014 මාර්තු මාසය වනතකේ මහින්දට කල් දිය යුතු බවය.
“එතෙක් අපි ඉවසා ගෙන ඉමු...”

කැමරන් කීවේය.
හරියටම මහින්ද පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ඔටුන්න පලඳින දවසේ රට පුරා පෝස්ටර් කට්-අවුට් ගසනු ලැබීය.
“පොදු රාජ්‍ය මණ්ඩල නායකත්වයෙන් පිදුම් ලද ජනාධිපතිතුමාට අපේ උපහාරය...”
“රට දිනා ලොවම දිනපු ජාත්‍යන්තර නායකයාට අපේ උපහාරය...”
කොළඹ ටවුන් හෝල් එකේ සිට ගම් නියම්ගම්වල කට්-අවුට් ගසා ඇත්තේ එලෙසය.
“මාර්තු මාසයේ ඇමෙරිකාව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා යෝජනාවක් ගෙනාවට පසු පොදු රාජ්‍ය මණ්ඩල ඇමැති ක්‍රියාකාරී කමිටුවට මහින්දව පොදු රාජ්‍ය මණ්ඩල සභාපති ධුරයෙන් ඉවත් කරන්න බි්‍රතාන්‍ය යෝජනාවක් ගෙන ආවොත්...?”

යෝජනාවක් ඇවිත් සම්මත වුවොත් මහින්දට සිද්ධ වෙන්නේ සභාපතිකම නොහොත් ඔටුන්න යළි භාර දෙන්නටය.
“එතකොට අර උස්සපු කට්-අවුට්....?”
මහින්ද ලලිත් වීරතුංගව ජිනීවා සහ වොෂින්ටන් යැව්වේ සභාපති ඔටුන්න කොහොම වෙතත් කට්-අවුට් ටික බේරා ගන්නද කියල කියන්න දන්නේ නැත.
 

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
නිළියෝ සහ යක්කු

'මගේ ලස්සන සමඟ රට වෙනුවෙන් සටන් කරනවා' - ගයේෂා පෙරේරා
'නිළියක් කියන්නේ දේශපාලනඥයෙක්ම තමයි'- රුවන්ති මංගලා
'මම දුවන අශ්වයෙක්' - ජූඩිත් වයිට් නොහොත් ජින්ජර්
'මම දේශපාලනයට ආවේ නිකම් සන්තෝෂ වෙන්න නෙවෙයි' - මල්ෂා කුමාරතුංග

මෙසේ කියන්නේ මේ රටේ අලුත්ම දේශපාලනඥයෝ වන රූමත් කාන්තාවෝ පිරිසක්. රඟපෑමට ඇති දක්‍ෂකම කෙසේ වුවත් ඇඟ, මුහුණ ලස්සන නිසා ටෙලි නාට්‍යවලට, සිනමාවට පැමිණි මේ රූමත් කාන්තාවෝ එදා නම් ආවේ දේශපාලනඥයන්ගේ ගෙදරටයි. දැන් එන්නේ දේශපාලන වේදිකාවටයි. දැන් නාම යෝජනා භාර දෙන දවසේ එම ස්ථාන රූප රැජින තරග මධ්‍යස්ථානය වගෙයි.

• රූමතියෝ සහ යක්කු

'බි්‍රතාන්‍ය ජාතිකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට චෝදනා ලැබ සිටි තංගල්ලේ ප්‍රාදේශීය සභාපති නැවත රිමාන්ඩ් භාරයට' - පුවතක්
දැන් බලන විට අපිට දේශපාලනයේදී තෝරාගන්න වී තිබෙන්නේ මේ තංගල්ල ප්‍රාදේශීය සභාපති වැනි අපරාධ චෝදනා ලබා සිටින්නෙක්. එසේ නැතිනම් මේ විදියට මෝඩ කතා කියන රුව මිස මොළේ කළඳක්වත් නැති රූමතියෝ!
යක්කු ගැන කියනවා නම් වැඩිම ප්‍රමාණයක් යක්කු දේශපාලනයේ ඉන්නේ ඉන්දියාවේයි. ඉන්දියා පාර්ලිමේන්තුවේ 30%ක්ම මන්ත්‍රිවරුන්ට විරුද්ධව අපරාධ නඩු තිබෙනවාලු. බිහාර් ප්‍රාන්ත සභාවේ සිටින මන්ත්‍රිවරුන්ගෙන් 58%ක්ම අපරාධ ඉතිහාසයක් ඇත්තෝයි. උත්තර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ගෙන් 41%ක්ම අපරාධ ඉතිහාසයක් ඇති අයලු. එපමණද? කොංග්‍රස් පක්‍ෂයේ මන්ත්‍රිවරු 21%ක්ද, බී ජේ පී පක්‍ෂයේ මන්ත්‍රිවරු 31%ක්ද අපරාධ අතීතයක් ඇති අයයි. ඔන්න ඉන්දියාවේ ඇති ඔය බටහිර රටවල් උදම් අනන 'ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය' !!

අපේ රටේත් අපරාධ ඉතිහාසයක් ඇති අය මේ තරමටම ඉන්නවා. නමුත් කවුරුත් ගණන් තියා නැහැ. අනෙක එවැනි අපරාධ නඩු ඇති දේශපාලනඥයන්ගේ නඩු හිටි ගමන් නීතිපති මඟින් ඉල්ලා අස්කරගන්නවා. හේතුව? ප්‍රමාණවත් සාක්‍ෂි නැතිකම!! ඒ නිසාම අපේ අය අපරාධ නඩුවලින් බේරී යහමින් වැජඹෙනවා. දුමින්ද, කත්‍රිආරච්චි, වැන්නෝ ගැන මතක් වන්නේ මෙවිටයි. බලය ඇති තැන අපරාධ නැත, කියන සංකල්පය උඩ තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩකරන්නේ. ඉතින් මෙසේ බලන විට යක්කුන්ට වැඩියෙන්ම මෝඩ කතා කියන රූමතියෝ හොඳයි කියලා ඔබ තීරණය කරයි. හැබැයි මේ දෙගොල්ලෝම දැන් කාලේ දේශපාලන නායකයෝ පාවිච්චි කරන්නේ එකම දෙයකටයි. එනම් ජනතාව ඡන්දපොළට ඇදගන්නයි. එසේ ඡන්දපොළට ඇදගෙන බලය ගත් පසුව මේ රූමතියෝ නිකම්ම නිකම් රූමත් පහළ පෙළේ දේශපාලනඥයෝ වෙනවා. අනෙක මේ රූමතියොත් රංගනයෙන් සොයාගත නොහැකි යමක්කමක් සොයාගෙන නායකත්වය කියන ඕනෑම දෙයකට අර ලස්සන අත් ඔසවනවා.

• රූමත් දේශපාලනයේ යථාර්ථය

කැෆේ නමැති ලංකාවේ නිදහස් ඡන්ද වෙනුවෙන් පෙනී සිටින ආයතනය මෑතකදී කීවේ දේශපාලනයට ලිංගික සංකේත පාවිච්චි කරන්න එපා කියලයි. ඔවුන් කීවේ දෙවැනි මට්ටමේ තරුණ දේශපාලන කණ්ඩායම්වලට පළාත් සභා මට්ටමින් ඇතිවෙන්න ඉඩ දෙන්න ඕනෑ; මෙසේ රූමත්කමට කාන්තාවන්ට නාම යෝජනා දුන් පසු සිදුවන්නේ දේශපාලනය නිකම්ම නිකම් විහිළුවක් වෙනවා කියලයි. හැබැයි ඔවුන් නොකී දෙයකුත් තිබෙනවා. දැන් ප්‍රධාන පක්‍ෂ දෙකටම ඕනෑ කරලා තිබෙන්නේ ඔය කියන විදියේ දෙවැනි පෙළේ දේශපාලනයට දක්‍ෂ තරුණ තරුණියෝ පැමිණීම වළක්වන්නයි. හේතුව? දැන් පක්‍ෂ දෙකම පාලනය කරන්නේ වැඩවසම් යුගයේ විදියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය භාරගන්න ඉන්නේ දෙවැනි පෙළේ දක්‍ෂ තරුණ තරුණියෝ නෙවෙයි. රාජපක්‍ෂ පවුලේ තරුණ තරුණියෝයි. එක්සත් ජාතික පක්‍ෂය භාරගන්න ඉන්නේ දක්‍ෂ තරුණ තරුණියෝ නෙවෙයි. විජේවර්ධන තරුණයායි. ඉතින් මෙසේ බලනවිට දැන් කාලේ ලංකාවේ මැද පෙළේ දේශපාලනය භාරදෙන්න වී තිබෙන්නේ එක්කෝ යක්කු, එසේ නැතිනම් රූප රාජිනියන්ටයි. හේතුව රාජපක්‍ෂ පවුලටත්, විජේවර්ධන - වික්‍රමසිංහ පවුල්වලටත් මේ දෙගොල්ලන්ගේම කිසිම තර්ජනයක් නැති නිසා.

• නමුත් දේශපාලන යථාර්ථය කුමක්ද?

අද දේශපාලන නායකත්වය කියන එක එදා තිබුණු නායකත්වය වගේ නෙවෙයි. හේතුව බලය ගන්න ජනතාව රවටන්න හැකිකම වගේම බලය ලබාගත්තායින් පසුව රටේ ආර්ථිකය මෙහෙයවන්නත් දැනගන්න ඕනෑ කරනවා. එසේ දැනුමක් නැති තැන රටක ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ. එසේ දැනුමක් නැතිනම් ආර්ථිකය ගැන නිසි දැනුමක් ඇති අය තමන් ළඟ සිටිය යුතුයි. මහින්ද රාජපක්‍ෂ, සරත් අමුණුගම සහ පී.බී. ජයසුන්දර වැන්නෝ තමන් වටේ තබාගෙන ඉන්නේ ඒ නිසයි.
ආර්ථික ඉතිහාසයේ හොඳ උදාහරණ දෙකක් තිබෙනවා. එනම් වියට්නාමය සහ චීනයයි. මේ රටවල් දෙකම කොමියුනිස්ට් මතවලින් ඉවත් වී ධනවාදය අනුව රටේ ආර්ථිකය නංවන්න ප්‍රවේශ වූ රටවල් දෙකක්. වියට්නාමයේ පාලකයෝ තවමත් අර වියට්නාම යුද්ධයෙන් ඉහළට ආ දේශපාලනඥයෝයි. චීනයේ පාලක මණ්ඩලයේ 8කින්, 7 දෙනෙක්ම ඉන්ජිනේරු උපාධිධාරියෝයි! අද වියට්නාමයේ ආර්ථිකය සංසන්දනය කරන විට එය පෙනෙනවා නොවේද? සිතා බලන්න අපේ ප්‍රධාන නායක මණ්ඩලයෙන් වැඩි දෙනෙක් මහ හයියෙන් දුවන අශ්වයෙක් කියන රූමත් කාන්තාවෝ වුණා නම්! මැය අශ්වයා සහ වෙළඹ කියන වෙනස ගැනවත් දැනුමක් නැති රූමතියක්. ඉතින් සිතා බලන්න ඉදිරි කාලයේ අපේ කැබිනට් රැස්වීම් කොහොම වෙයිද? නාමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පවතින කැබිනට් එකේ එක් පසෙකින් ඉන්නේ දුමින්ද සිල්වා, තංගල්ලෙන් එන ගලප්පත්ති වැන්නෝ. අනෙක් පසින් ඉන්නේ අනර්කලී ආකර්ෂා වැනි රූමතියෝ කණ්ඩායමක්. මේ අය අතර මර්වින් වැනි ජෝකර් කෙනෙක්ද අසුන්ගෙන සිටී. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වැනි ජේ‍යෂ්ඨ ඇමැතිලාද ඉඳීවි. හැබැයි ඔවුන්ට ඇති කාර්යයක් නොවනු ඇති. කැබිනට් තීරණ වනු ඇත්තේ ස්පෝර්ට්ස් කාර්වලට බදු රහිත කරනවා වගේම තුවක්කු බදු රහිතව රටට ගෙන්වන්න හැකි වෙනවා වගේ දේවල්. එපමණද සුවඳ විලවුන්, තොල්, නිය ආලේපන වැනි රූපලාවණ්‍යයට අවශ්‍ය දෑ සහ සාරිද බදු රහිතව ගෙන එන්න පුළුවන් වෙයි. ඔන්න අපේ දේශපාලන අනාගතයෙන් බිඳක්.

• මේ විහිළු දේශපාලනයට ඇති විසඳුම කුමක්ද?

ඇති එකම විසඳුම වන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිකර ගැනීමයි. එනම් පක්‍ෂ දෙකෙන්ම ප්‍රාන්ත මට්ටමේ සමිතිවලින් නායක නායිකාවෝ පත්කර ගෙන ඔවුන් ඉදිරිපත් විය යුතුයි, පහළ මට්ටමේ සහ මැද මට්ටමේ නායකත්වයට. එදාට ඔවුන්ට හැකි වෙනවා රටේ නායකයෝ තෝරා පත්කරගන්න. මෙයට හොඳම උදාහරණය වන්නේ අද අධ්‍යාපනය මඟින් රට වෙනස් කොට තිබෙන ආකාරයයි. අද නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍යත්ව විභාගය නිසා මුළු රටම වෙනස් වී තිබෙනවා. ඉගෙන ගැනීමට හැකියාව තිබෙන ඕනෑම ළමයකුට ඉහළටම ඉගෙනගන්න පුළුවන්. නමුත් එවැනි ළමයකුට දේශපාලන පාලකයෙක් වෙන්න පුළුවන්ද? චීනයේ නම් පුළුවන්. ඒ ගැන තමයි පක්‍ෂ දෙකේම රාජපක්‍ෂ සහ විජේවර්ධන නොවන මන්ත්‍රිවරු එකතු වී කතිකාවක් ඇතිකරගන්න ඕනෑ.

මිගාර
Read more
Tuesday, January 28, 2014
 S. B කැසිනෝ ගහන කොට සුරූපී ලලනාවොත් ඇවිල්ලා

වේත්‍රධාරී අනිල් සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතාගේ මූලාසනයෙන් පාර්ලිමේන්තුව 23දා  රැස්විය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා -

"මොන දහජරා වැඩ කළත් ජනතාව අපට තමයි ඡන්දෙ දෙන්නෙ කියන මානසිකත්වයෙන් තමයි ඇමැතිවරු වැඩ කරන්නෙ" ගයන්ත කරුණාතිලක පැවැසුවේය.
අනුර කුමාර දිසානායක යෝජනාව ස්ථිර කරමින් රටක් සංවර්ධනය කිරීමේදී අවධානයට ලක්විය යුතු කරුණු ගැනත් කියමින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කළේය.
අහස උසට බඩු මිල ඉහළ නගිනවා. මෙමගින් ජනතාව පීඩනයට ලක්වෙලා. මෙලෙස පීඩාවට පත් ජනතාවට රජය යම් සහනයක් ලබාදිය යුතුයි.
ජනතාව මේ රජය කෙරෙහි තැබූ විශ්වාසය අද කඩවෙලා. ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන රට ශ්‍රී ලංකාවයි. එසේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වැඩිම බදු මුදල ගෙවන රට බවටත් ශ්‍රී ලංකාව අද පත්වෙලා. මත්කුඩු හා මත්ද්‍රව්‍ය අද රට පුරා ව්‍යාප්ත වෙලා.
අද ළදරු කිරිපිටි හිඟයි. බදු පිට බදු පැනවෙනවා. ජනතාව ජීවන බරින් මිරිකිලා. ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදු පිට බදු අය කරමින් රජය ජනතාව පීඩනයට ලක්කරනවා.
අද මල්ලක් තරම් සල්ලි අරන් ගියත් අල්ලක් තරම් බඩු ගන්න බැහැ. ජීවන වියදමට සරිලන වැටුපක් අද රටේ ‍පොදු ජනතාවට ලැබෙන්නේ නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රි අනුර කුමාර දිසානායක යෝජනාව ස්ථිර කළේය.


සංචාරක ව්‍යාපාරය හා කැසිනෝ සම්බන්ධයෙන් අනුර කුමාර කීවේය.
"කැසිනෝ කියන්නෙ ත්‍රීඉන්වන්... සූදුව, ගණිකා වෘත්තිය සහ මත්ද්‍රව්‍ය ඒ සමඟ තිබෙනවා."

"ලෝකයේ අසභ්‍යම නගරය බැංකොක්. එහි පාරේ යනකොට කාන්තාවෝ අතින් අදිනවා. කකුලෙන් අදිනවා... බස් එකක යන්න බැහැ. කකුල් දෙක උඩ වාඩිවෙනවා... ප්‍රංශයේ ගණිකා වෘත්තිය නීතිගතයි. ඒ සඳහා වෙන් කළ වෙනම කලාප වෙන්කර තිබෙනවා." අනුර කුමාර එසේ කියන විට එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන ඇමැතිවරයා සිය ආසනයේ සිට කතාවට හොඳින් සවන් දෙමින් සිටියේය.
එස්.බී. දිසානායක ඇමැතිවරයා ඇමෙරිකාවේදී කැසිනෝ ක්‍රීඩා කළ බව මීට ටික කලකට පෙර පවසා තිබිණි. ඒ කතාව සිහිකළ අනුර කුමාර දිසානායක,
'එතුමා කැසිනෝ ගහනකොට සුරූපී ලලනාවන් ඇවිත් අල්ලාගන්න උත්සාහ කළා යැයි කීවා. එතුමා අහුවුණේ නැහැ... අහුවුණෙත් නෝනාට ඇහෙන්න ඒවා කියන්නෙ නැහැ.

කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙනවිට ඒ පුද්ගලයා අල්ලා ගැනීමට සුරූපී ලලනාවන් ඔහු වටා කරකැවෙනවා. එස්.බී. ඇමැතිතුමා වටේත් කරකැවුණා. ඒවාට අහුවුණාද නැද්ද දන්නෙ නැහැ. එතුමා ඒවා කියන්නෙත් නැහැ.' අනුර කුමාර කීවේ කැසිනෝ ව්‍යාපාරය සමඟ අෑඳී තිබෙන ගණිකා වෘත්තිය පිළිබඳවය.
මෙරට ආර්ථිකයේ පදනම කරගත යුත්තේ මානව සම්පතයි. දියුණු කරන ලද මානව සම්පත රටට අවශ්‍යයි. ඒ හරහා රටෙහි ආර්ථිකය ගොඩනැගිය හැකියි. මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ නැංවීම අත්‍යවශ්‍යයි. අධ්‍යාපනයට වැඩි වශයෙන් මුදල් වෙන්කළ යුතුයි. නමුත් රජය දිනෙන් දින අධ්‍යාපනයට ලබාදෙන මුදල් කප්පාදු කරනවා.
අපේ රට කාර්මීකරණය වෙත යා යුතුයි. කෘෂිකර්මාන්තය දියුණු කරලීමට අවශ්‍ය යෙදුම් පවා නිෂ්පාදනය සඳහා කාර්මික දියුණුව අවශ්‍යයි. දියුණු මානව සම්පත් උකහාගත හැකි ආර්ථික රටාවක් ගොඩනැංවිය යුතුයි. රට තුළ නිෂ්පාදනයන් ඇතිවිය යුතුයි. රටේ නිෂ්පාදනය සමග ඒකාබද්ධ රැකියා උත්පාදනයන් සිදුවිය යුතුයි. උපාධිධාරීන් දිසාපති කාර්යාලවල පිරවීම තුළින් රටට සෙතක් අත්වන්නේ නැහැ. ඔවුන්ව නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගත යුතුයි.
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා -
මේ හැමෝම කතා කරන්නේ අද කන්නේ කොහොමද කියන එක ගැනයි. නමුත් බුද්ධිමතුන් කල්පනා කළ යුත්තේ හෙට කන්නේ කොහොමද යන්න ගැනයි. අපි අනාගතය වෙනුවෙන් සැලසුම් සකස් කළ යුතුයි.
දුප්පත්කම කියලා දෙයක් නැහැ. මහන්සි වුණොත් සල්ලි හොයන්න පුළුවන්. මහන්සි වන කෙනාට උදව් කරන්න රජය සූදානම්. රජය කළ යුත්තේ එයයි. පින් පඩි දීලා රට දියුණු කරන්න බැහැ. මිනිසුන් ධෛර්යමත් කළ යුතුයි. ගොවියාට අවශ්‍ය සියලු පහසුකම් අප ලබාදෙනවා. නමුත් ගොවිතැන් කොට දියුණු වීමට ගොවියා පියවර ගත යුතුයි.
"අද ටිකක් බඩගින්නෙ හිටියට කමක් නැහැ.... හෙට බඩගින්නෙ ඉන්නෙ නැති වෙන්න ඕනෑ. ආණ්ඩුවෙන් කන්න දෙන්න ඕනෑ කියන තත්ත්වයට පත්කරන්න හොඳ නෑ... මහන්සිවෙල හම්බකරන් කන්න ඕනෑ කියන තැනටයි රට පත්කරන්න අවශ්‍ය. අත් දෙකයි කකුල් දෙකයි දීලා තියෙන්නෙ දුප්පත්කම නැති කරන්නයි. උයලා කරලා කටට දාලා ගිල්ලවන්න ආණ්ඩුවකට බැහැ. මිනිහා වැඩ කරන්න ධෛර්යමත් කරන්නයි ඕනෑ" අගමැතිවරයා කීවේය.

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - මහින්ද චින්තනයට වඩා ජයරත්න චින්තනය හොඳ බව පේනවා.
එරාන් වික්‍රමරත්න මහතා (එ.ජා.ප.) - අගමැතිවරයා තවම කතා කරන්නේ 1960 යුගයේ ආර්ථික දර්ශනයක් ගැනයි. ඒවා අදට ගැළපෙනවාද කියන එක ප්‍රශ්නයක්.
අද රජයේ පුනරාවර්තන වියදම් රජයේ ආදායම්වලටත් වඩා වැඩියි. ඒ නිසා ඉතිරි කිරීම් සිදුවන්නේ නැහැ. ආයෝජනයන් සඳහා මේ රටට එන විදේශිකයින් කවුද? ඔවුන්ගේ ව්‍යාපෘති රටට ගැළපෙනවාද? මේ ගැන රජය අවධානය යොමු කරන්නේ නැහැ.
වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා -
එරාන් වික්‍රමරත්න මහතා කතා කළේ සංඛ්‍යා ‍ලේඛන ගැන විතරයි. ‍පොළොවේ පය ගහලා කතා කරන්න කියලා මම ඒ මහතාට ආරාධනා කරනවා. ‍පොළොවේ පය නොගසා මිනිසුන් අතරට නොයා ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ කොහොමද?
විපක්ෂය කියන තරම් මේ රට පිරිහිලා නම් ආර්ථිකය කඩා වැටිලා නම් ජීවන බර ඉහළ ගිහිල්ලා නම් ජනතාව හැම මැතිවරණයකදීම අපට ඡන්දය දෙන්නේ ඇයි? හැම මැතිවරණයකදීම විපක්ෂයට අන්ත පරාජයක් හිමිවන්නේ ඇයි?
රංජිත් මද්දුමබණ්ඩාර මහතා (එ.ජා.ප.) -
කිසිම පක්ෂයක් හැමදාම බලයේ ඉන්නේ නැහැ. බලයෙන් මත්වෙලා කටයුතු කළොත් ජනතාව මේ රජය ඉක්මණින්ම ගෙදර යවාවි.
මේ රටේ දුප්පත්කම සියයට 20ට මේ රටේ ජාතික ආදායමෙන් සියයට 4ක් පමණයි ලැබෙන්නේ. මේක යහපත් තත්ත්වයක් නොවෙයි. මේ රට පුරා වංචාව දූෂණය පැතිරිලා.
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා -
පසුගිය වසර කිහිපය තුළ මේ රට තුළ ඇතිවී ඇති දියුණුව ඕනෑම කෙනෙකුට පෙනෙනවා. මේ රට තුළ වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධය අවසන් කළේ අපගේ රජයයි. එක නායකයෙක් හදාගන්න බැරි එක්සත් ජාතික පක්ෂය රට හදන්න කතා කරනවා. අද එ.ජා.ප.ය ජනතාව වෙතින් දුරස් වෙලා. ජනතාව එම පක්ෂය ප්‍රතික්‍ෂේප කර තිබෙනවා.
අකිල විරාජ් කාරියවසම් මහතා (එ.ජා.ප.) -
මත්තල ගුවන්තොටු‍පොළ අද පාළු වෙලා. ඒක දැන් කෞතුකාගාරයකට ගන්න වෙනවා. මේ රජයේ දුර්වල ආර්ථික සැලසුම් නිසා රට විනාශ වෙනවා. අවසානයේදී මේ සියලු ද්ර්විපාක විඳින්න සිදුවන්නේ රටේ අසරණ ජනතාවටයි.
ග්‍රාමීය කටයුතු ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා -
අධිවේගී මාර්ග කියලා දෙයක් අපගේ රජයට පෙර මේ රටේ තිබුණේ නැහැ. අද කොළඹ නගරය ලෝකයේ දියුණුම රටවල නගරයකට සමානයි. මහාමාර්ග පද්ධතිය ඉතාමත් වේගවත් ලෙස දියුණු වෙලා.
ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා (එ.ජා.ප.) -
රජය හැම දෙයකින්ම බදු අයකරනවා. රජය උත්සහ ගන්නවා ජනතාවගේ බදු මුදල්වලින් රජයේ ප්‍රබලයින් සුරසැප විඳිනවා. කෘෂිකර්මාන්තය නැංවීමට රජය කිසිදු විධිමත් පියවරක් දියත් කර නැහැ. ගොවියාට ලබාදුන් සහන ප්‍රමාණවත් නැහැ. බඩු මිල ඉහළ යාම පාලනය කිරීමට රජය අවධානය යොමුකර නැහැ.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා -
වත්මන් රජය සැමවිටම ‍පොදු ජනතාව පැත්තෙන් සිතා බලා කටයුතු කරනවා. විශේෂයෙන්ම ගොවි ජනතාවට සහන රැසක් ලබාදෙනවා. යුද්ධ කාලයේදී පවා මේ රජය රුපියල් 350ට ‍පොහොර මිටිය ලබා දුන්නා.
අද රට සහලින් ස්වයං‍පෝෂිතයි. එය අපගේ රජය ලැබූ ජයග්‍රහණයයි. ගොවියාගේ වී මිලදීගෙන වී මිල ස්ථාවර කිරීමට අප කටයුතු කර තිබෙනවා.
පරිප්පු, ටින් මාළු, සීනි  වැනි ආහාර ද්‍රව්‍ය රැසක මිල වසර ගණනාවක් නොවෙනස්ව පවත්වා ගන්න අපට හැකිවුණා. එයද අප ලැබූ ජයග්‍රහණයක්.
ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා වන පරිදි අප කටයුතු කරනවා. උත්සව සමයේ පවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවරව පවත්වා ගැනීමට අපගේ රජයට හැකිවුණා.
අද මේ රටේ යටිතල පහසුකම් දියුණු වෙලා මාර්ග පද්ධතිය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දියුණු වෙලා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවා මාර්ග පද්ධතිය ඉතා දියුණු මට්ටමක පවතිනවා. මේ තුළින් ඵරටේ සංවර්ධනය වේගවත් වනවා.
අජිත් මාන්නප්පෙරුම මහතා (එ.ජා.ප.),
එදා රට සංවර්ධනය වෙද්දී එහි ප්‍රතිලාභ ලොකු ‍පොඩි භේදයකින් තොරව ජනතාවට ලැබුණා. නමුත් අද ප්‍රතිලාභ ලැබෙන්නේ හෝ සතුන්ට පමණයි. වැසිකිළියට ගියත් අපෙන් බදු අය කරනවා. නමුත් ජේම්ස් පැකර්ලාට බදු සහන දෙනවා. ඉදිරියේදී මෙම ආණ්ඩුව ජනතාවගේ නහයට මීටරයක් හයි කරලා හුස්ම ගන්න එකටත් බදු ගහයි.
ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැති සහ නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම මහතා,
අපේ සෑම ආර්ථික ඉලක්කයක්ම අපි සාර්ථකව ජයගෙන තිබෙනවා. අපි සංවර්ධන මාවතට ගියේ ලෝකයේම ආර්ථිකය කඩා වැටී තිබියදීයි. වර්ෂයෙන් වර්ෂය අපේ වත්කම වැඩිවෙනවා. එසේ වැඩිවෙන එක කතා නොකර වියදම ගැන පමණක් කතා කළොත් වැරදි චිත්‍රයක් ඇති වෙන්නේ. අපි බදු ගහන්නේ අපේ රටේ නිෂ්පාදන රැකගන්නයි.
රන්ජන් රාමනායක මහතා (එ.ජා.ප.),
රටක ආර්ථිකය දියුණුයි කියලා වාද විවාද කරනවා. අපේ රටේ කාන්තාවෝ මැද පෙරදිග වහල් සේවයේ යෙදී සිටියදී ආර්ථිකය ස්වයං‍පෝෂිතයි කියනවා. මැද පෙරදිග ගොස් වැසිකිළි හෝදලා මෙරටට එවන බිලියන 7න් තමයි ආණ්ඩුව ජෝගි දාන්නේ. ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ මේ ආණ්ඩුව යටතේයි.
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා,
කුඩු ගැන අද කතා කරනවා. මීට පෙරත් කුඩු ගෙන්නුවා. නමුත් මේ කා‍ලේ අපි කුඩු අල්ලන නිසා මේක ලොකු කරගෙන කතා කරනවා. විශාල වශයෙන් ආයෝජකයන් එන්නේ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළ නිසයි. ."



Read more
මගේ තාත්තා ශ්‍රි ලංකා - අම්මා යූ.ඇන්.පී  මට මොකද ජන්දේ ඉල්ලන්න බැරි

අපේ රටේ මිනිස්සුන්ට අලුත්ම දේශපාලන කතාන්දර කියා දෙන්න ඉදිරිපත් වී සිටින්නේ නිළියෝ.
කාලයක් තිස්සේ රටේ සමහර දේශපාලනඥයෝ ජනතාව ගොනාට ඇන්දුවේ, අදටත් අන්දවමින් සිටින්නේ ඇඟටපතට දැනෙන්නෙවත් නැති විදිහට. ජනතාව මෙම දේශපාලනඥයන්ගේ කෙප්ප කාලයක් තිස්සේ ගිල්ලේ ගවයෝ පුන්නක්කු බොනවා වගේ තලු මර මරා.
Read more
Monday, January 27, 2014
දිගු පිහි රජ කළ රාත්‍රිය ලසන්ත සහ සිරස

මේ කියන වේලාවේ ෆ්‍රිට්ෂ් ගර්ලිෂ් නම් වූ ජර්මානු පුවත්පත් කතුවරයා හිටියේ සිය නිවෙසේ උදේ ආහාරය ගනිමින්ය. ඔහුගේ අලුත විවාහපත් බිරිය මල් පෝච්චිවලට වතුර දමමින් සිටියාය. එක් වරම දුරකතනය නාද විය. ආහාර ගැනීම මඳකට නවතන ගර්ලිෂ් දුරකතනය වෙත දිව ගියේය.

"මම ෆ්‍රෙස් මැනේජර් කතා කරනවා..."
දුරකතනයේ එහා කෙළවරින් ඇසුණි.
"ඔව්... කියන්න... මම ගර්ලිෂ්..."
ගර්ලිෂ් උත්තර දුන්නේය.

"ඔබ මොනවද මේ මුද්‍රණයට එවල තියෙන්නෙ. හිට්ලර්ගේ එස්.ඒ. මැර හමුදාවේ තොරතුරු. ඊයේ පත්තරයේ හිට්ලර් ගැන මුල් පිටුවේ පළ කරපු ලිපියත් භයානකයි. ඔබ සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක..."
මුද්‍රණාලයේ හිමිකරු කියාගෙන ගියේය.

"මම ඔබත් එක්ක මේ පත්තරය මුද්‍රණය කරන්න ගිවිසුමක් තියෙනවා. ඒකට මම ඔබට සල්ලි දෙනවා. පුවත්පතේ හැම වචනයකම වගකීම මම භාර ගන්නවා. එතැනින් එහාට කතාවක් නැහැ..."
"මම මෙය මුද්‍රණය කරන්නම්. නමුත් මම ඔබට අවවාදයක් දෙනවා. පරෙස්සම් වෙන්න..."

මුද්‍රණාලයේ හිමිකරු කීවේ එපමණය. ගර්ලිෂ්ගේ බිරිය දිව ආවාය.
"මම ඔක්කොම අහගෙන. ඔබ ඇයි හිට්ලර් සමඟ හැප්පෙන්න යන්නේ..."
ඇය හැඬ­ූ කඳුළින් කීවාය.
"අපට මේ වේලාවේ කරන්න පුළුවන් නරකම දේ කිසිවක් නොකර සිටීමයි..."

ගර්ලිෂ් සිය බිරියට කීවේය.
පසුදින ගර්ලිෂ්ගේ "සන්ඩේ ඉලස්ට්‍රේටඩ්" නමින් පළවූ ජර්මානු පුවත්පතේ මුල් පිටුව සැරසුණේ හිට්ලර්ගේ එස්.ඒ. මැර හමුදාවේ රහස් තොරතුරු සහ ගර්ලිෂ් සිය බිරියට කී වචන කිහිපයය. ඒ වචන කිහිපය ඔහු උපුටාගෙන තිබුණේ ඇමෙරිකානු විප්ලවය ගැන ලියැවුණු ප්‍රකාශයකිනි.
පසු දින පුවත්පත උණු කැවුම් මෙන් විකිණෙද්දී හිට්ලර් ඔහුගේ කාර්යාලයේ සිටියේ කෝපාවිෂ්ට වෙලාය. එදින හිට්ලර්, ජර්මානු ජනතාව දුකින් මුදා ගන්න හිට්ලර්ට බලය පවරන ඓතිහාසික පනත සම්මත කර ගන්න පාර්ලිමේන්තු රැස්වීමට යන්න සූදානමින් සිටියේය. ඒ වන විටත් එස්.ඒ. මැර හමුදාවේ අණදෙන නිලධාරි රොම්ට හිට්ලර් මුණගැසෙන ලෙස නියෝග කොට තිබිණි. ඔහු ආවේ ගර්ලිෂ්ගේ පත්තරයත් අතැතිවය. හිට්ලර් රොම්ට පරුෂ භාෂාවෙන් බැන වැදුණේ ඔහුගේ සමීප නිලධාරියෙක් මෙම රහස් පුවත්පතට දී ඇතැයි චෝදනා කරමින්ය.

"මට බලය දෙන්න මම මේක කොහොම හරි හොයා ගන්නම්..."
රොම් කීවේය. එදින රාත්‍රිය රොම්ගේ මැර හමුදාවට හිට්ලර් ලයිෂන් එකක් දුන්නේය. තමාට එරෙහි වන ඕනෑම අයෙක්ට දේශද්‍රෝහී හංවඩුව ගසා එදින රාත්‍රියේ විනාශ කර අවසන් කළ යුතු යැයි හිට්ලර් ගිගුලේය. ගර්ලිෂ්ගේ පුවත්පත මුද්‍රණය කරන මුද්‍රණාලයට ගිනි තබනු ලැබීය. රොම්, ගර්ලිෂ් සොයා පත්තර කන්තෝරුවට ගියේය. ගර්ලිෂ් අසුන් ගෙන සිටි පුටුව ඉදිරිපිට මේසයේ වාඩි වී ගර්ලිෂ්ගේ බෙල්ල දෑතින් තද කර ගත් රොම් එස්.ඒ. මැර හමුදාවේ තොරතුරු දුන්නේ කවුදැයි යක්‍ෂාවේශයෙන් ඇසුවේය.
"මම දන්නේ නෑ..."

ගර්ලිෂ් කීවේය. ඔහුව මාංචු දමා රැගෙන යනු ලැබීය. පසුව ඔහුට දස වධ දී ඝාතනය කරනු ලැබීය. එදින රාත්‍රියේ ද්‍රෝහී යුදෙව්වන්ට කඩේ යනවා කියා දේශද්‍රෝහී ලේබලය අලවා අත්අඩංගුවට පත්වූවන් ඝාතනයට ලක් වූවන් බොහෝය. ඉතිහාසඥයන් ඒ රාත්‍රියට කීවේ "දිගු පිහි රජ කළ රාත්‍රිය" යැයි කියාය. පුවත්පත් ආයතනය, පක්‍ෂ කාර්යාල ගිනි තබනු ලැබීය. සමහරු එයට පවිත්‍රතා රාත්‍රිය යැයි කීවේය. හිට්ලර්ට එරෙහි හැමෝම ශුද්ධ කරනු ලැබුවේ එම රාත්‍රියේය. එම රාත්‍රිය අවසන් වූ විගස එස්.ඒ. මැර හමුදාව විසුරුවා හරින්න හිට්ලර්ට අවශ්‍ය විය. එස්.ඒ. මැර හමුදාවේ හිටියේ ජර්මනියේ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්මය. මැර හමුදා අණදෙන නිලධාරි හිට්ලර්ගේ මිතුරු රොම්, ඉදිරියේදී හිට්ලර්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළ හැකි බවට හිට්ලර්ට උපදෙස් ලැබිණි. මේ රොම් ඝාතනය ගැන සුගතපාල ද සිල්වා "හිට්ලර් එල්ලා මරයි" යන පොතෙහි සඳහන් කරන ආකාරයය.
"රොම්ට මොකද වුණේ...?"

"තිස් වැනිදා උදේ කාර් පේළියක්ම කඩා ගෙන ගියා රොම් සොයාගෙන වයිසිවලට. එස්.ඒ. නායක රැස්වීම තිබුණෙ වයිසිවල. ඒ යන කොටත් රොම් සැප නින්දෙ. සිලේසියාවේ එස්.ඒ. නායකයාත් රොම්ගේ මිත්‍ර මානවකයෙක් සමඟ ඒ හෝටලේම කාමරේක එක ඇඳේ සිටියදීම හිර භාරයට ගත්තා. අතරමඟදී ඔහු මරා දැම්මා"
පැපේන් කීවේය.
"රොම්ද....?"

"නවසිය විසිතුනේ අසාර්ථක වූ කැරැල්ලේදී හිර කළ තැනම රොම් අඩස්සි ගත කළා. ඔහුගේ මැදිරියට රිවෝල්වරයක් යවන්නැයි හිට්ලර් නියෝග කළා. "මාව මරනවා නම් ඇඩොල්ෆ්ම ඒක කරපුවාදෙන්" ඔහු කීවා. කලිසම ඇරෙන්න ඔහුගේ හැම ඇඳුමක්ම ගැලෙව්වා. එස්.එස්. නිලධාරීන් දෙදෙනෙක් ළඟටම වෙලා රිවෝල්වර දෙකක් හිස් වෙන තෙක් ඔහුට වෙඩි පිට වෙඩි තැබුවා. මැරී වැටෙන්නට පෙර ඔහු මොනවාදෝ කියන්න හැදුවා. නිලධාරීන් ඔහුට කට වහගන්න අණ කළා. ඔහු සීරුවෙන් නොසැලී නොබියව වෙඩි කෑවා. මුහුණේ තිබුණේ පිළිකුල" පැපේන් කීවේය.

මේ හිට්ලර්ගේ පරණ කතාව මතක් වූයේ 2009 ජනවාරි සිරස මාධ්‍ය ආයතනය ගිනිබත් කිරීමත් හරියටම එයට දවස් දෙකකට පසු ජනවාරි 8 සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කරනු ලැබීමත් සිදුවී වසර පහක් ගතවන දිනය පසුගිය සතියේ යෙදී තිබූ නිසාය.

2009 ජනවාරි 2 ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චිය අල්ලා ගනු ලැබීය. ජනවාරි 2 සිට රාජ්‍ය මාධ්‍ය මඟින් ආණ්ඩුවේ ජාතිකවාදී සංවිධාන නායකයන් පෙන්වමින් ආණ්ඩු විරෝධී මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් කොටින්ට කඩේ යන දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඔවුන්ට එරෙහිව පෙරට එන්න යැයි ජනතාවගෙන් ඉල්ලීම් කළේය. වැඩි දවසක් ගියේ නැත. හිට්ලර්ගේ දිගු පිහි රජ කළ රාත්‍රිය ලංකාවටද උදා විය. 6 වැනි දින හිමිදිරි පාන්දර සිරස මාධ්‍ය ආයතනය ගිනිබත් කරනු ලැබීය. එදින සිට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත හතර වටේම දිව්වේ සිරස ආයතනයට ගිනි තබන්න ආ මැර කණ්ඩායම් පිළිබඳ තොරතුරු හොයන්නටය. ඔහු ඒ තොරතුරු ජනවාරි 11 සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කිරීමට සූදානමින් සිටියේය. හරියටම ජනවාරි 8 සිරසට ගිනි තැබූ මැරයෝ ලසන්ත සොයා ඔහු පසුපස පැන්නුවේය. ලසන්ත ඔවුන්ව මඟහරිමින් අලුත බැඳපු සිය බිරිය සොයා ඇයගේ නිවෙසට ගියේය. තමන් පසුපස නන්නාඳුනන මෝටර් සයිකල්කරුවන් පන්නන බව ලසන්ත කී විට ඇය නිවෙසේ හිඳ යන්න යැයි ඔහුට අවවාද කළාය. ඔහු ඒ අවවාදය පිළිගත්තේ නැත. ඔහු ඒ වන විටත් පුවත්පතේ කතුවැකිය ලියා තිබිණි. එහි සඳහන් වී තිබුණේ හිට්ලර්ගේ මැර හමුදාව හිට්ලර් විරෝධීන් පසුපස පන්නද්දී ලියපු කවියකි.

"ඔවුන් පැමිණ ක්‍රිස්තියානුවන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා ක්‍රිස්තියානුවකු නොවන නිසා,
ඔවුන් පැමිණ අසල්වැසියන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
ඔවුන් මගේ නිවෙසට නොපැමිණි නිසා
ඔවුන් පැමිණ යුදෙව්වන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා යුදෙව්වකු නොවන නිසා,

ඔවුන් පැමිණ ප්‍රජාතන්ත්‍රවාදීන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා දේශපාලනය නොකරන නිසා.
ඔවුන් පැමිණ මගේ නිවෙසට තට්ටු කරන විට මා වෙනුවෙන් කතා කරන්න කිසිවකු නොවුණි.
ඔවුන් සියලු දෙනා ඝාතනය කොට අවසන් නිසා..."

ඒ එම කවියය. එදින ලසන්තව කෘෘර ලෙස ඝාතනය කරනු ලැබීය.
ලසන්තගේ ඝාතකයන් හා 'සිරස' ගිනි තබපු මැරයන් තවම නිදැල්ලේය. දිගු පිහි රාත්‍රියේ විරුද්ධවාදීන් විනාශ කොට බලය පවරා ගත්තාට පසු හිට්ලර්ගේ මාධ්‍ය ඇමැති ගොබෙල්ස් මාධ්‍යයන්ට අපූරු කතාවක් කියා තිබිණි.
"මාධ්‍යවේදීන්ට දැන් පුදුම විනයක්, හික්මීමක් තියෙනවා. ඔවුන්ට අපට දැන් නියෝග දෙන්න අවශ්‍ය නැහැ..."
ලසන්ත ඝාතනය කොට 'සිරස' ගිනි තැබීමෙන් පසු ලංකාවේ මාධ්‍ය ගැනත් මේ වගේ කතාවක් කවුරුහරි කිව්වොත්?

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Sunday, January 26, 2014
ශිරාණි බණ්ඩාරනායක අගමැති කරනවා  (උපුල් ශාන්ත සන්නස්ගල ජනාධිපති වීමෙන් පසු)

කිසිම හේතුවක් නිසා මං වගේ පුරවැසියකුට අපේ වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් කියන දේ මම හීනෙකින්වත් විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා හිතන්න මේක විහිළුවක්. කිසිසේත්ම මං මේ විග්‍රහ කරන්නේ යථාර්ථයක් නෙවෙයි. හැබැයි මං හීනයක් දැක්කා උදේ පාන්දර ඒ හීනේ ඔබට කියනවා කියලා හිතන්න.

  වැස්සකටවත් ඉස්කෝලේ යන්න
  ඕනමයි.
පළමුවැනි දේ තමයි ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ ප්‍රඥාවක් නැති මිනිස්සු. ඒ නිසා මං පළමුවැනියෙන්ම කරන දේ තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු වගේ මැතිවරණවලට ඉදිරිපත්වන අපේක්‍ෂකයන්ට කොන්දේසියක් දානවා. ඒ කොන්දේසිය තමයි අවම වශයෙන් ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන. උසස් පෙළ පාස්වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉස්කෝලෙකටවත් පයගහලා නැති කිසිම මැට්ටකුට, අධ්‍යාපනයේ වටිනාකමක් දන්නෙ නැති කෙනකුට ඡන්දෙ ඉල්ලන්න දෙන්නෙ නෑ. නීතියක් ගේනවා. මැතිවරණවලට ඉල්ලන්න පළමුවැනි සුදුසුකම පාලකයන්ගේ පුතෙක් වෙන එක නෙවෙයි. මන්ත්‍රි කෙනෙක්ගේ දුවෙක් වෙන එක නෙවෙයි, ස්වාමියා මැරුණු බිරියට චිට් එක දෙන එක නෙවෙයි පළමුවැනි සුදුසුකම තමය උසස්පෙළ පාස්වෙලා තියෙන්න ඕන.

  සතියක නඩු විභාගයකින් ඔක්කොම
  එල්ලනවා.
දෙවනුව මං කරන වැඩේ ලංකාවේ මන්ත්‍රිවරුන්ගේ සහ ඇමැතිවරුන්ගේ වැටුප දහගුණයකින් වැඩි කරනවා. ඒගොල්ලොම කියලා තිබුණා ළඟදී මේ ලැබෙන වැටුපෙන් විතරක් ජීවත්වෙන්න බෑ කියලා. ඒකෙන් ව්‍යංගයෙන් කියන්නේ එක්කෝ මදි නිසා හොරකම් කරන්න වෙනවා, කුඩු ගේන්න වෙනවා නැත්නම් එතනෝල් ගේන්න වෙනවා කියන එක. මේක වළක්ක ගන්න මං කරන්නේ ඒගොල්ලන්ගේ වැටුප දහගුණයකින් වැඩිකරනවා. එතනින් පස්සේ හොරකම් කළොත්, කොමිස් ගැහුවොත්, කුඩු ගෙන්නුවොත්, එතනෝල් ගෙන්නුවොත් සතියක නඩු විභාගයකින් පස්සේ එල්ලා මරන්න නියම කරනවා හරි..... ජීවත් වෙන්න මේක මදිනම් මේ වගේ දහගුණයක් දෙන්නම්. ඊටත් පස්සේ හොරකම් කරන්න බෑ.

  මගේ ෆැන්ටසි ලංකාව මෙහෙමයි.
ඒ ෆැන්ටසි ලංකාවේ පුරවැසියෝ සතුටෙන් ඉන්න ජාතියක් වෙන්න ඕන. පළමුවැනි කාරණය තමයි අපි ජීවත් වෙන්නේ අසංස්කෘතික රටක. එතකොට ඒක සංස්කෘතික රටක් වෙන්න ඕන. ඒ අසංස්කෘතික රටේ අසංස්කෘතිය වෙනුවට සංස්කෘතිය තියෙන්න ඕන. සදාචාර විරෝධය වෙනුවට සදාචාරයක් තියෙනවා.
මිනිසුන්ට පුරවැසි අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. තමන්ට කැමැති අදහසක්, තමන්ට කැමැති මතයක් දැරීමේ නිදහස තියෙනවා. තමන්ට කැමැති ආගමක් අදහන්න හෝ අදහන ආගමක් වෙනස් කරගන්න හෝ ආගමක් අදහන්නෙ නැතිව ඉන්න අයිතිය තියෙනවා.

  ප්‍රඥාව ආයෝජනය කරනවා.
මගේ සංවර්ධන උපාය මාර්ගය වෙන්නේ ප්‍රඥාව. ලෝකෙට අපේ රටෙන් ආයෝජනය කරන්න පුළුවන් හොඳම දේ ප්‍රඥාව. අපි කෘෂිකර්මාන්තය ගැන කතා කළාට අපේ රටේ හදන අර්තාපල් ප්‍රමාණය ලංකාවට මදි. අපේ රටේ හැදෙන ගෝවා ගෙඩි ප්‍රමාණය අපිට කන්නත් මදි. මං හිතන්නේ අපේ රටේ ප්‍රඥාව තමයි මිල කරන්න පුළුවන් දේ. උදාහරණයක් කිව්වොත් ලංකාවේ එකවුන්ටන්ලා ඉන්නවා ලෝකෙටම ගණන් හදන්න පුළුවන් ප්‍රමාණයට. ඒ නිසා ප්‍රඥාවන්තයෝ තමයි මගේ ආයෝජනය වෙන්නේ.

  ඉංග්‍රීසියෙන් කතා කරලා සිංහලෙන්
  අස්සන් කරන්න.
මම සිංහල භාෂාව සංකේතයක් හැටියට තියාගෙන ඉංග්‍රීසි භාෂාව ප්‍රමෝට් කරනවා. අනන්‍යතාව වෙනුවෙන් සිංහලෙන් අස්සන් කරන්න කියනවා. මොකද ලෝකෙත් එක්ක වැඩ කරන්න සිංහලෙන් බැරි නිසා.

  කසිප්පු බොන්න බෑ : විස්කි බ්‍රැන්ඩි
  විතරයි
ඊළඟට ලංකාවේ වකුගඩු ප්‍රශ්නය ගමු. දැන් අදහසක් තියෙනවානේ මතට තිත කියලා. සන්නස්ගල චින්තනය යටතේ එකක් ගේනවා ‘මඳ පමණට මත’ කියලා. ඒකෙදි කරන්නේ කසිප්පු බොන එක නවත්තනවා. ඒවාට යූරියා දාන එක, කටුදාන එක, එතනෝල් දාන එක නවත්තනවා. ඕන කෙනකුට තමන්ගේ ගෙවල්වලම හැළි අරක්කු ටිකක් හදාගන්න අවසර දෙනවා. කිතුල් රා ටිකක්, පොල් ගහක් මැදගන්න අවසර දෙනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාවට අනුව ‘මඳ පමණට මත’ කියන්නේ. බාර් කියන එක නැති කරනවා. ඕනම සිල්ලර කඩයක කොකා කෝලා එකක් ගන්නවා වගේ හොඳම වර්ගයේ මත්පැන් ටිකක් ගන්න පුළුවන්. ගමේ කසිප්පු බොන අයට කියන්නේ විස්කි පොඩ්ඩක්, බ්‍රැන්ඩි පොඩ්ඩක් මඳ පමණට ගන්න කියලා.

  ප්‍රයිවට් බස් එකේ ආවත් එකයි.
  සී.ටී.බී. බස් එකේ ආවත් එකයි
රෝගියෙක් වුණාම බෙහෙත් ගන්න ඕන. මට වැඩක් නෑ රෝගියා බෙහෙත් ගන්නේ ප්‍රයිවට් ඉස්පිරිතාලෙන්ද මහ ඉස්පිරිතාලෙන්ද කියන එක. රෝගියා සුවපත් වන එක තමයි අරමුණ. මට වැඩක් නෑ මනුස්සයෙක් අවිස්සාවේල්ලෙ ඉඳන් පිටකොටුවට එන්නේ ප්‍රයිවට් බස් එකෙන්ද, සී.ටී.බී. එකෙන්ද කියලා. ගමනාන්තයට පහසුවෙන් යන්නෙ මොකක්ද ඒක තමයි පුරවැසියාගේ සතුට. අධ්‍යාපනයත් එහෙමයි. ටියුෂන් කරලා ඒ මනුස්සයා ගොඩ යනවද, ඉස්කෝලේ ගිහින් ගොඩ යනවද කියන එක නෙවෙයි අධ්‍යාපනයේ ගමනාන්තයට යන්නේ කොහොමද එතන තමයි සතුට තියෙන්නේ.

  මගේ අගමැති ශිරාණි
මගේ අගමැති වෙන්නේ ශිරාණි බණ්ඩාරනායක. හේතුව තමයි එකක් ඇය ස්ත්‍රියක් වීම. දෙක ඇය සවිඥානික කෙනෙක් වීම. ඇය උසස් අධ්‍යාපනය ලබලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරියක් වශයෙන් ඉඳල තියෙනවා. අධිකරණ ක්‍ෂේත්‍රය සම්බන්ධ මහා ප්‍රඥාවක් තියෙනවා. ස්ත්‍රියක් විදියට ලංකාවේ අගවිනිසුරුවරිය බවට පත්වෙලා තියෙනවා. බොහොම ප්‍රකට පාසල්වල වගේම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය වගේ දුෂ්කර පාසල්වලත් ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ කාරණා ටික හොඳටම ප්‍රමාණවත් ඇයව අගමැති වශයෙන් පත්කරගන්න. ඒ වගේම මම බලාපොරොත්තු වෙන නීති රීති ක්‍රියාත්මක කරන්නත් මට ඒක වාසියක් වෙනවා.

  දෙමළාට වගේම සිංහලයාටත්
  විසඳුමක් දෙනවා
දෙමළාට තියෙන ප්‍රශ්නය දෙමළ ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. සිංහලයාට තිබෙන ප්‍රශ්නය සිංහල ප්‍රශ්නයක් කියලා පිළිගන්න ඕන. මේ රටේ ඉන්න මුසල්මානුවන්ටත් ප්‍රශ්නයක් තියෙන බව පිළිගන්න ඕන. මේ රටේ කුල භේදය කියලා දෙයක් තිබෙන බව පිළිගන්න ඕන. මේ රටේ ආගමික පීඩාවක් තියෙනවා කියලා පිළිගන්න ඕන. එතකොට මම ජනාධිපති වුණු ගමන් ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න මට පුළුවන් වෙනවා.

  ඩයස්පෝරාවෙන් රටේ කෑල්ලක්
  ඉල්ලුවොත්
උදාහරණයක් ගත්තොත් මගේ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ දරුවෝ දෙන්නටම මේ ගෙදර අයිතිවාසිකමක් තියෙනවා නම් එහෙම නිදහසේ හැසිරෙන්න, කවුරුවත් දරුවෙක් මේ ගෙදර එක කාමරයක් වෙන්කරගෙන පදිංචි වෙන්න උත්සාහ කරන එකක් නෑ. මොකද කාමරේ දෙන්නටම අයිති හින්දා.

  ඔළුවට මොළයක් බද්ධ කරනවා
යං ජෙනරේෂන් එකට ඔළුවක් තියෙනවානේ. උන්ට දෙන්න ඕන මොළයක්. ජාතිවාදී නොවන, ආගම්වාදී නොවන ඔළුවක් දීම තමයි තරුණ කටයුතු අමාත්‍යංශයේ කාර්යභාරය වෙන්නේ.

  මගේ ප්‍රධානම හතුරා
ජාතිවාදීන්, ආගම්වාදීන් මගේ ප්‍රධානම හතුරා වෙයි.

  පුතා දේශපාලනයට එන්න ඕන
  කිව්වොත්
මම පැනලා කියනවා කරපන් කියලා. අප්පාට බැරිවෙච්ච දේ පුතා කරන්න ඕන. අප්පා කරපු දේ පුතා නොකළොත් උෟ නොට්ටිගේ පුතා වෙනවා.

  හත්මුතු පරම්පරාවකටම
  හම්බකරගන්නේ
මම හත්මුතු පරම්පරාවකටම හම්බ කරලා ඉවරයි. ඒ නිසා ඔය ටික ඔක්කොම කරලා මාසයක් විතර ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා.

  ඇමරිකාවෙන් පාලනයට ඇඟිලි
  ගැහුවොත්
මං ඇමෙරිකාවට කියනවා මටත් ඇඟිලි 10ක් තියෙනවා, මමත් ලංකාවේ හොඳට ඇඟිලි ගැහුව කොල්ලෙක් තමයි කියලා.



සුභාෂිණී ගුණරත්න
Read more
ප්‍රභාකරන්ගෙ පුතා ගැන හදපු මොකක්ද මේ 'පුලිපාර්වෙයි' චිත්‍රපටය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මීළඟ සැසිවාරය ලබන මාර්තුවේ ජිනීවා නුවරදී පැවැත්වෙන්නේය. 2009 අවුරුද්දේ සිට මේ ජාතියේ සැසිවාර ගණනාවකින් කට්ටි පැනගෙන ආ ශ්‍රී ලංකාවට මේ පාර නම් ලේසියෙන් ගැලවෙන්නට දෙන්නේ නැතැයි ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව කියන්නට පටන් ගත්තේ නවනීදන් පිල්ලේ මෙහි ඇවිත් ගියදා පටන්ය.

නවනීදන් පිල්ලේ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරියයි. පිල්ලේගෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට කොළඹට ආ බි්‍රතාන්‍ය අගමැති ටෝනි ඇබට් ද 'අපි වසයි' කියා ගියේය. ඒද මාර්තු සැසිවාරය මතක් කරමිනි. ජාත්‍යන්තරය මේ විදියට ලංකාවට ගහන්නට මිසයිල හදද්දී ගෝලීය යුද අපරාධ පිළිබඳ ඇමෙරිකානු සමස්ත රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි ස්ටීවන් ජේ. රැප් ද මෙහි ගොඩ බැස්සේය.
රැප් ලංකාවෙන් පිට වූ ගමන් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කිව්වේ සිවුවැනි ඊළාම් යුද්ධයේදී යුද අපරාධ කළ බවට ඇසින් දුටු සාක්‍ෂි ඇති බවයි. මාර්තුවේ යුද්ධයට මේ විදියට ජාත්‍යන්තරය ආයුධ ගබඩා කරන අතරතුරදීය, 'පුලිපාර්වෙයි' එළියට එන්නේ.

දෙමළෙන් 'පුලිපාර්වෙයි' කියන්නේ 'කොටියා බලන බැල්මට'ය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා වූ බාලචන්ද්‍රන්ගේ ජීවිත කතාව ආශ්‍රයෙන් මේ කොටියා බලන බැල්ම චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ප්‍රවීන් කාන්ත්ය. තමිල්නාඩුවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන ප්‍රවීන් කාන්ත් තමන්ගේ හතරවැනි චිත්‍රපටයට ප්‍රභාකරන්ගේ පුත්‍රයාගේ ජීවිත කතාව යොදාගෙන ඇත්තේ නිකම්ම නොවන බව පැහැදිලිය.
තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා සමඟ සමීප සම්බන්ධකම් පවත්වන මේ තරුණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා 'කොලිවුඩ් සිනමාවේ' ජනප්‍රිය චරිතයකි. 'ජෝඩි' චිත්‍රපටයෙන් රොමැන්ටික් හදවත්වලට කතා කළ ප්‍රවීන් කාන්ත්, 'ස්ටාර්' චිත්‍රපටයෙන් චණ්ඩින්ගේ කතාබහට ලක් විය.

දකුණු ඉන්දීය සිනමාව නම් ගලේ නොමැකෙන ඉරක් ලෙස 'රට්චාගන්' චිත්‍රපටය හැදූ ප්‍රවීන් කාන්ත් තවදුරටත් කොලිවුඩ් සිනමාවට නවකයකු වූයේ නැත. 'රට්චාගන්' හැදූ ප්‍රවීන් කාන්ත් වරක් චෙන්නායිහි මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ඇකඩමියකදී මෙසේ පවසා තිබේ.
"මගේ ප්‍රශ්න ඉක්මනින්ම ඉවර වෙයි කියලා මම විශ්වාස කරනවා."

ඊට ටික කලකට පසුවය, ප්‍රවීන් කාන්ත් 'කොටියා බලන බැල්ම' එළියට දාන්නේ. වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බාල පුත්‍රයා වන බාලචන්ද්‍රන්ගේ රූපයට සමාන රූපයක් හොයාගන්න මාස ගණනාවක් තමිල්නාඩුවේ කරක් ගැසූ ප්‍රවීන් කාන්ත්, බාලචන්ද්‍රන්ගේ උසට - මහතට සරිලන ළමයකු අවසානයේදී සොයා ගත්තේය. ඒ ළමයින් සියයකට වැඩි පිරිසක් පරීක්‍ෂා කිරීමෙන් පසුවය.
'කොටියා බලන බැල්ම'ට ප්‍රවීන් කාන්ත් මුලින්ම නම් තිබ්බේ 'අපි ඉන්දියාවට ආදරෙයි' කියාය. ඒත් ආරක්‍ෂක හේතූන් මත මේ නම වෙනස් වූ බව මාධ්‍ය බොහොමයක පළ කර තිබිණි. ඒත් තමිල්නාඩුව කේන්ද්‍ර කරගත් වෙබ් අඩවියක් සැක කර තිබුණේ මේ නමේ වෙනසට ජයලලිතාගේ සම්බන්ධයක් ඇති බවටය. ඊළාම් ගැටලුව කේන්ද්‍ර කර ගනිමින් සකස් කර ඇති මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර, ඉදිරියේදී තමිල්නාඩුවේ සිනමා ශාලා බොහොමයක් 'කොටියා බලන බැල්ම' තිරගත කිරීමට නියමිතය.

බාලචන්ද්‍රන්ගේ මරණය සම්බන්ධයෙන් ලෝකය පුරා පැතිරුණු කතා ආශ්‍රයෙන් ගොඩ නැඟූ කතාවක් තම ළමා නළුවා හරහා ප්‍රවීන් කාන්ත් ලෝකයට කියයි. බාලචන්ද්‍රන්ගේ බියපත් දෑස, කිසිවකුගේ විධානයකට අනුව ඔහු කටයුතු කරන ආකාරය චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයෙන් දිග හැරේ. සිවුවැනි ඊළාම් යුද්ධය අවසන් වූයේ 2009 මැයි 19 වැනිදාය. ඒ මීට අවුරුදු හතර හමාරකට පෙරය. බි්‍රතාන්‍යයේ 'චැනල් ෆෝ' නාළිකාව, 'නෝ ෆයර් සෝන්' හැදූ කැල්ලම් මැක්රේලා ඊටත් කලින් සිටම ලංකාවට ගහන්නට ආයුධ හැදුවේය. ඒ ආයුධත් අරගෙන ජිනීවා ගියේය.

ඒත් මේ අවුරුදු හතර හමාරටම ප්‍රවීන් කාන්ත් කෙනකු එළියට බැස්සේ නැත. කමල් හසන් වැනි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් උතුරේ ජනතාව වෙනුවෙන් පාරට බසිද්දීද ප්‍රවීන් කාන්ත්ගේ නම කියැවුණේ නැත. එහෙම නම් හදිසියේම ප්‍රවීන් කාන්ත් එළියට බැස්සේ ඇයි...?
ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව තමන් ළඟ තියෙන හැම ආයුධයක්ම ලංකාවට ගහන්නට පාවිච්චි කරමින් සිටින්නේය. මාර්තුවේ ජිනීවා සැසිවාරය කට උඩ තියාගෙන ප්‍රවීන් කාන්ත් තමන්ගේ 'කොටියා බලන බැල්ම'ත් සමඟ එළියට බහින්නේ ඒකය.
අනෙක් අතට තමිල්නාඩුව මේ චිත්‍රපටය හරහා කුරුල්ලන් දෙදෙනකු බාගන්නට හදන බවක්ද පෙනෙන්නේය.

මේ අවුරුද්දේ අප්‍රේල් - මැයි කාලය කියන්නේ ඉන්දියාවට ඡන්ද කාලයකි. ඒ ඡන්ද කාලයේදී ඊළාම් හිතවාදීන්ගේ ඔළු හදන්නට මේ 'කොටියා බලන බැල්ම' ප්‍රයෝජනවත්ය. තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දීය ජනතාවගේ ඔළුවල තවදුරටත් එල්.ටී.ටී.ඊ. ය කෙරෙහි මානුෂික බැල්මක් රෝපණය කිරීමට ජයලලිතාට අවශ්‍යය. ජයලලිතාලාගේ හෙට දවසේ පැවැත්ම සඳහා එය තීරණාත්මක කාරණයකි.
මෙම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සහිතව ලබන මාර්තුවට පෙර ලෝකය පුරා පෙන්වීමේ සැලැස්මක් ප්‍රවීන් කාන්ත්ලාට තිබිය හැකිය. ඇත්තටම එවැනි සැලැස්මක් ප්‍රවීන් කාන්ත්ගේ හිතේ කොනකවත් නැතුවාද විය හැකිය. ඒත් ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව සහසුද්දෙන්ම එය කරනු ඇත.

ලංකාවේ ඊළාම් යුද්ධය පශ්චාත් යුද සිනමා ආකෘතීන් තුළට බැස්සවීමට එසේ සිදුවීම නියතය. ලෝකයේ විශිෂ්ට පශ්චාත් යුද සිනමාවක් තිබේ. තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයට එරෙහිව කරන ඇමෙරිකානු සීල් මෙහෙයුමක් වටා ගෙතුණු 'lone survivor "චිත්‍රපටය සිනමාරූපී පශ්චාත් යුද සිනමා නිර්මාණයකට කදිම උදාහරණයක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති. ප්‍රවීන් කාන්ත්ගේ චිත්‍රපටය සිනමාරූපීද, අමුවෙන් කතාවක් කීමක්ද යන්න ලිවීමට තවම කල් වැඩිය.
පශ්චාත් යුද සිනමා නිර්මාණ ලෙස හැඳින්වෙන මෙරට 'සංවේදී' කලාකරුවන්ගේ බොහෝ නිර්මාණවලද සිනමාරූපී ගුණය අහලකවත් නැති බව විචාරකයෝ කරුණු සහිතව පෙන්වා දෙති. ඒවායින් බහුතරයක ඇත්තේ 'අමුවෙන් කතා කීමේ කලාවය.'

TaOo
ශාලික විමලසේන


Read more
Saturday, January 25, 2014
ආණ්ඩුවේ ගජමිතුරන්ගේ ජාවාරම එතනෝල්

Add caption
ලසන්ත රුහුණගේ
ජාවාරම් සම්බන්ධයෙන් කතාබහ තුළ එතනෝල්වලට මේ දිනවල හිමිවන්නේ ප‍්‍රමුඛ තැනකි. නීතිවිරෝධීව ආනයනය කරන ලද එතනෝල් අත්අඩංගුවට ගැනීම් පසුගිය කාලය තුළ විශාල වශයෙන් සිදු වූ අතර අවසන් වරට නීති විරෝධීව ගෙන්වන ලද එතනෝල් තොගයක් අත්අඩංගුවට ගනු ලැබූයේ පසුගිය දෙසැම්බර් 27 වැනිදාය. දැව භාණ්ඩ සෑදීම සඳහා උපයෝගිකර ගන්නා ඵෘත්‍ බෝඞ් වශයෙන් සඳහන් කර එම එතනෝල් තොගය ගෙන්වා තිබූ අතර එහි ප‍්‍රමාණය එතනෝල් ලීටර් 16,000කි. ශී‍්‍ර ලංකා රේගුවට අනුව 2013 වර්ෂයේදී පමණක් නීති විරෝධීව රට තුළට ගෙන ආ එතනෝල් ලීටර් හාරලක්ෂයක පමණ ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. එසේ වුවද අත්අඩංගුවට පත් නොවූ නීති විරෝධි එතනෝල් ප‍්‍රමාණය කොතෙක්ද යන්න කිව නොහැකිය.

මේ නීති විරෝධි එතනෝල් සම්බන්ධයෙන් විවිධ කතා බහ ඇතිවන අතරේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද ප‍්‍රකාශකර තිබුණේ නීති විරෝධි එතනෝල් ජාවාරමට සම්බන්ධ ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන් දෙදෙනකු ද සිටින බවය. (මේ මන්තී‍්‍රවරුන් අතර ඇමතිවරුන්ද සිටිය හැකිය.)

එතනෝල් යනු අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිත කරනු ලබන අරක්කු හෙවත් මද්‍යසාර නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ප‍්‍රධාන සංඝටකයයි. මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා එතනෝල්වලින් 90%කටත් වඩා වැඩි ප‍්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර ඊට අමතරව රට තුළ ඇති උක් කර්මාන්ත ශාලාවලින් ලබාගන්නා එතනෝල්වලින් ද මත්පැන් නිෂ්පාදනය කරනු ලබයි.

ආනයනය කරනු ලබන මේ එතනෝල් ලීටරයක් උදෙසා ශී‍්‍ර ලංකා රේගුව රුපියල් 250/-ක රේගු බද්දක් අයකරනු ලබන අතර මත්පැන් නිෂ්පාදනයේ දී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එතනෝල් ලීටරයකට රුපියල් 1110/- ක සුරා බද්දක් අයකරනු ලැබේ. සරලව කිවහොත් වෙළෙඳපොළේ ඇති අරක්කු බෝතලයක් සඳහා දළ වශයෙන් රුපියල් 400ත් රුපියල් 500ත් අතර මුදලක් සුරාබදු වශයෙන් අය කෙරේ. නීති විරෝධීව එතනෝල් ගෙන්වීමේ ජාවාරම සෘජු බදුවලින් රිංගා යෑම සඳහා හා අනෙකුත් බදුවලින් රිංගා යෑම සඳහා සිදුකරන්නක් වන අතර ඒ සඳහා ක‍්‍රම කිහිපයක්ම උපයෝගිකර ගනී, ඉන් එක් ක‍්‍රමයක් වන්නේ ලී, තාර, තිනර් ආදී වෙනත් ද්‍රව්‍ය ලෙස අ`ගවා එතනෝල් ආනයනය කිරීමය. ශී‍්‍ර ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත්තා යැයි මාධ්‍ය මගින් ප‍්‍රචාරය වන්නේ මේ ආකාරයට සිදුවන එතනෝල් ජාවාරමය.

එහෙත් එතනෝල් ජාවාරම තවත් ආකාර කිහිපයකට සිදුවේ. ඉන් එකක් වන්නේ වලංගු බලපත‍්‍රයක් සහිතව කර්මාන්තශාලා කටයුතු සඳහා යැයි ගෙන්වන එතනෝල් මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමය. මෙහිදී සිදුවන්නේ බෝතලයකට රුපියල් 400ත් 500ත් අතර වූ සුරාබද්ද නොමැතිව මත්පැන් නිෂ්පාදනයට අවකාශ ලැබීමය.

වෙනත් ද්‍රව්‍ය ලෙස සඳහන් කර එතනෝල් ගෙන්වීමේ ජාවාරම පසුගිය කාලය තුළ වැඩිවී ඇත්තේ වලංගු බලපත‍්‍රයක් සහිතව කර්මාන්ත ශාලා කටයුතු යනුවෙන් දන්වා එතනෝල් ගෙන්වීමේ කාර්යයට ශී‍්‍ර ලංකා රේගුවේ උකුසු ඇස යොමු වීම නිසාය. ඒ නිසාම වලංගු බලපත‍්‍රයක් සහිතව කර්මාන්තශාලා කටයුතු සඳහා යැයි කියමින් එතනෝල් ගෙන්වීම පසුගිය 2013 වසරේදී ශීඝ‍්‍ර ලෙස අඩුවී ඇති අතර ජාවාරම්කරුවන් වෙනත් ක‍්‍රම සොයාගෙන තිබුණේ ඊට විකල්පවය.

ශී‍්‍ර ලංකා රේගු පරීක්ෂණ කණ්ඩායම සිය පරීක්ෂණයට භාජනය කර ඇති කර්මාන්තශාලා කටයුතු සඳහා යැයි කියා එතනෝල් ආනයනය කර ඇති සමාගම් සංඛ්‍යාව 9කි. අදාළ සමාගම් වගුව තුළ දක්වා ඇත. ඉන් සමාගම් 4ක්ම තීරු බදු රහිතව එතනෝල් ආනයනය කරන සමාගම්ය. ඒ ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති වශයෙන් ය. එම සමාගම් ආනයනය කරනු ලබන එතනෝල් ඔවුන් විසින් නිපදවනු ලබන නිමි භාණ්ඩ හෝ ද්‍රව්‍ය සඳහා යොදාගෙන නැවත අපනයනය කිරීමේ පදනම මෙම තීරු බදු සහනයට හේතුවය. මේ බොහෝ සමාගම් එතනෝල් ගෙන්වන්නේ කිනම් කටයුත්තකටද යන්න රේගුවටත් පැහැදිලි නැත. සමහර සමාගම් ප‍්‍රකාශ කර ඇත්තේ සුවඳ විලෙවුන්, ඩිටර්ජන්ට් කුඩු (රෙදි සෝදන කුඩු), තීන්ත නිෂ්පාදනය ආදිය සඳහා එම එතනෝල් භාවිත කරන බවය. සුවිශේෂ ම කරුණ වන්නේ අරක්කු නිෂ්පාදනය සඳහා වලංගු බලපත‍්‍රයක් ඇති ‘වී ඇන්ඞ් ඒ ඩිස්ටිලරීස්’ සමාගමට ද කර්මාන්ත කටයුතු සඳහා එතනෝල් ගෙන්වීමේ බලපත‍්‍රයක් ලබාදී තිබීමය.

රේගු පරීක්ෂණයට බඳුන්වී ඇති මෙම සමාගම් නවය විසින් පමණක් කර්මාන්ත කටයුතු සම්බන්ධයෙන් යැයි කියමින් 2011 වර්ෂයේදී ගෙන්වා ඇති එතනෝල් ප‍්‍රමාණය ලීටර් පන් ලක්ෂයකි. 2012 වර්ෂයේදී එම සමාගම් ගෙන්වා ඇති එතනෝල් ලීටර් ප‍්‍රමාණය ලීටර් 9,10,000කි. මෙම එතනෝල්වලින් මත්පැන් නිෂ්පාදනය කළේ නම් ඒ මගින් මෙම අහිමි වී ඇති සුරාබද්ද පමණක් රුපියල් මිලියන 1,692කි. මේ එතනෝල් ජාවාරමෙන් රටට අහිමිවන ආදායමෙන් සොච්චමක් පමණි. ඒ සොච්චම වූ කලි මත්පැන් නිෂ්පාදනයේදී දැනට අයකෙරෙන බදු මුදල් හා සැසඳීමේදී සැලකිය යුතු මුදලකි. කෙසේවුවද රේගු නිලධාරීන් කිහිපදෙනකුගේ පරීක්ෂණ පිළිබඳ මේ සුපරීක්ෂාකාරීත්වය හේතුවෙන් 2013 වර්ෂයේදී මේ එතනෝල් ආනයනයකරුවන්ගේ එතනෝල් ආනයනයන් සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇතිවා මෙන්ම සමහර සමාගම් කිසිදු එතනෝල් ආනයනයක් සිදුකර නැත. ඉන් පෙනෙන්නේ ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සඳහා එතනෝල් ගෙන්වූයේ නම් එවැනි අඩුවීමක් සිදුවිය නොහැකි බවය.

රේගු පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ තීරුබදු රහිතව එතනෝල් ආනයනය කරනු ලබන සමාගම් අපනයනය කරනවා යැයි කියනු ලබන භාණ්ඩ හෝ ද්‍රව්‍ය හෝ තුළ එතනෝල් අඩංගු නොවන බවය. ඒ නිසාම එම සමාගම්වලට රුපියල් මිලියන ගණනාවක දඩයක් රේගුව විසින් පනවා ඇත. එහෙත් අනෙකුත් සමාගම් සම්බන්ධයෙන් ප‍්‍රශ්නය වී ඇත්තේ රේගු බලතල ප‍්‍රකාරව ඉන් ඔබ්බට පරීක්ෂණ කිරීමේ හැකියාවක් නොමැති වීමය. රේගුවේ ප‍්‍රකාශකයකු පැවසුවේ ඉන් ඔබ්බට පරීක්ෂණ කිරීමේ හැකියාව ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවට බවය. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව ඒ ආකාරයෙන් වූ බරපතළ පරීක්ෂණ කි‍්‍රයාවලියක නිරතවනු අයුරු පසුගිය වසර ගණනාවක් තිස්සේම අප දැක නැත. සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ පාලක වාර්තාව අනුව පෙනෙන්නේ ද ඔවුන්ගේ වැටලීම් බලපත‍්‍ර නොමැතිව විදේශීය මත්පැන් විකිණීම, කසිප්පු පෙරීම, කසිප්පු ළ`ග තබා ගැනීම, කසිප්පු ප‍්‍රවාහනය කිරීම, නීති විරෝධි ලෙස රා විකිණීම, රජයේ අනුමත අරක්කු බලපත‍්‍ර නොමැතිව විකිණීම ආදී මත්පැන් වැරදි සම්බන්ධයෙන් පමණක් කි‍්‍රයාත්මක වී ඇති බවය. එතනෝල් ජාවාරම සම්බන්ධයෙන් වූ කිසිදු වැටලීමක් ඒ තුළ නැත. ඇත්තටම මෙම වැරදි යනු තෝරු මෝරුන් අතහැර හාල්මැස්සන් ඇල්ලීම වැනිය. මත්පැන් නිෂ්පාදනය සඳහා නීති විරෝධීව ගෙන්වනු ලබන එතනෝල් කෙසේ හෝ මත්පැන් නිෂ්පාදනාගාරයකදී බෝතල් බවට පත්විය යුතුය. එය බලපත‍්‍ර සහිත නීත්‍යනුකූල මත්පැන් නිෂ්පාදනාගාරයක් හෝ එසේ නොවන ස්ථානයක් හෝ විය හැකිය. එහෙත් මේ වනවිටත් එවැනි ස්ථානයක් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්වූ අයුරක් දැනගන්නට නැත.

එසේ වුවද ශී‍්‍ර ලංකා රේගුවේ පරීක්ෂණ කණ්ඩායමක් එවැන්නක් පිළිබඳව හෙළිදරව් කර ගැනීමට පසුගිය කාලයේ සමත්වී තිබුණි. ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් දරන ජනාධිපතිවරයාගේ සමීපතමයකු වන ලක්ෂ්මන් වසන්ත පෙරේරාට අයත් හි`ගුරාණ ඩිස්ටිලරීස් සමාගම පිළිබඳව හා ඇක්මී ලංකා සමාගම පිළිබඳවය. එහිදී සිදුවී තිබුණේ මේ සමාගම් දෙකටම තමන් සන්තකයේ තිබූ එතනෝල් ස්පී‍්‍රතූ තොග පිළිබඳ වූ නීත්‍යනුකූලභාවය පෙන්වීමට නොහැකි වීමය. මේ නිසාම මේ එක් සමාගමකට රුපියල් මිලියන 30 බැගින් දඩකන්නට සිදුවී ඇත. ඉන් කියාපාන්නේ මත්පැන් නිෂ්පාදනය සඳහා නීත්‍යනුකූල බලපත‍්‍රයක් ඇති ස්ථානවල ද බදුවලින් රිංගූ එතනෝල් භාවිත කරමින් මත්පැන් නිෂ්පාදනය කරනු ලබන බවය.

ආණ්ඩුවේ දේශපාලකයන් හා ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයන් මේ එතනෝල් ජාවාරමට සම්බන්ධ බවට කිසිදු සැකයක් නැත. මේ පිළිබඳව ගැඹුරු හා සියුම් පරීක්ෂණ රේගුව පාර්ශ්වයෙන් (නිලධාරීන් කිහිපදෙනකු හැර) හා සුරාබදු දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදුනොවන්නේ ඒ නිසාය. මන්ද නීති විරෝධීව එතනෝල් ගෙන්වූ නාමික ආනයනකරුවන් පසුපස සිටින්නේ ඉහත සඳහන් පිරිස් බවට චෝදනා එල්ලවී තිබීම ය. එමෙන්ම කර්මාන්ත කටයුතු සඳහා නීත්‍යනුකූලව එතනෝල් ගෙන්වීම සඳහා බලපත‍්‍ර ලබාදෙන්නේ මුදල් අමාත්‍යාංශය බැවින් ද, එහි විෂයභාර අමාත්‍යවරයා ජනාධිපතිවරයා බැවින්ද මේ අතිවිශාල බලවත් එතනෝල් ජාවාරමට රාජ්‍ය අනුග‍්‍රහයක් ලැබී ඇති බව ද පැහැදිලිය.

Read more
සමාජ පාදඩකරණය ---  වික්ටර් අයිවන්

මට අපූරු නවකතාවක් කියවන්නට ලැබුණි. ප‍්‍රකාශකයෙකු මා වෙත එවා තිබූ පොතක් මාගේ කාර්යාල කාමරයේ මේසය මත තිබී මම එය උඩින් පල්ලෙන් පෙරළා බැලූවෙමි. පොත ගැන කුහුලක් ඇතිවීම නිසා එය අවසන් වන තෙක් එක හුස්මට කියවීමි. කර්තෘගේ නම පී.බී. ජයසේකරය. මා ඔහු පුද්ගලිකව දන්නා කෙනෙක් නොවේ. ‘මරියා සිලෝනිකා වස්තුව’ යන්න පොතේ නම විය. කතුවරයා පිළිබඳව පොතෙන් සොයාගත හැකි පසුබිම් තොරතුරු අනුව ඔහු පරිවර්තනය කරන ලද පොත් කිහිපයක් පළකර තිබෙනවා සේ ම කෙටිකතා පොත් දෙකක් ද පළකර තිබේ. මේ ඔහුගේ කුළුඳුල් නවකතාවය. මම නවකතා විචාරකයෙක් නොවෙමි. සාහිත්‍ය විචාරය සඳහා යොදා ගැනෙන විවිධ න්‍යාය ධර්ම හැදෑරූ කෙනෙක්ද නොවෙමි. මෙම සටහන ඒ පොත ගැන කරන හැඳින්වීමට සීමා කිරීමට අවශ්‍ය නැත. මට ඒ පොත ගැන හැඳින්වීමක් ලියන්නට අවශ්‍ය වී තිබෙනවා සේ ම ඒ සමග මහා සමාජ ප‍්‍රවාහයක් බවට පත්ව තිබෙන සමාජ පාදඩකරණය ගැනද ලියන්නට අවශ්‍ය වී තිබේ. මේ ලිපිය ඒ දෙකම ගැන කෙරෙන විවරණයක් ලෙස සැලකිය යුතුය.

නවකතාව හා පාදඩකරණය

රටේ ආණ්ඩුක‍්‍රමයේ මහා අවුලක් තිබෙනවා සේ ම සමාජය ගිලගනිමින් තිබෙන සමාජ පාදඩකරණය රටේ හැඩතල හා ගමන් මග කෙරෙහි තීරණාත්මක ලෙස බලපා තිබෙන සාධකයක් බවට පත්ව තිබේ. පාදඩකරණය නමැති ක‍්‍රියාවලියට හසුවී විකෘති නොවී ඉතිරි වී තිබෙන දෙයක් නැති තරමට අපේ රටේ හැම දෙයක්මත් විකෘති වී ඇතැ’යි කිව හැකිය. එය විසින් රාජ්‍ය පාලනයේ හා දේශපාලනයේ සිට ආගම ධර්මය හා කලාව, සාහිත්‍යය දක්වා වන හැම අංශයක්ම මහා විකෘතිකරණයකට ලක් කොට තිබෙන්නේයැ’යිද කිිව හැකිය. දේශපාලකයා හා පාදඩයා අතරද, නැවත පැවිද්දා හා පාදඩයා අතරද, වෘත්තීයවේදියා හා පාදඩයා අතර සේ ම කලාකාරයා හා පාදඩයා අතරද වෙනසක් හඳුනාගත නොහැකි තරමට ඒ සියලූදෙනා එකට මිශ‍්‍රවී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. පාදඩකරණය නමැති මෙම ක‍්‍රියාදාමය රටේ නවකතා ක්ෂේත‍්‍රය කෙරෙහි ඇති කර තිබෙන බලපෑමද සුළුපටු නැත. අපට බොහෝවිට කියවන්නට ලැබෙන්නේ පාදඩකරණය නමැති ක‍්‍රියාදාමයේ සියලූ ගති ලක්ෂණ අන්තර්ග‍්‍රහණය කරගත් නවකතාය. මේ ගණයට වැටෙන අවරගණයේ නවකතා නිල විචාරකයන්ගේ පැසසුමට ලක්වන අවස්ථාද දැකිය හැකිය. පවතින දේශපාලන යථාර්ථයෙන් මුළුමනින් පරිබාහිරවීම මේ ගණයට වැටෙන නවකතාවලට ආවේණික එක් වැදගත් ලක්ෂණයකි. රමණය, ලිංගිකත්වය හා අස්වාභාවික ලිංගික සබඳතා උත්කර්ෂවත් කිරීමක්ද ඒවා තුළ දැකිය හැකිය. එවැනි නවකතා කියවන්නාට ලබාදෙන අවබෝධය හා රසඥතාව පහත් මට්ටමක තිබීම පොදුවේ ඒවාට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය. ඒ ගණයේ නවකතා සමාජයේ ඇතිවී තිබෙන විකෘති මානසිකත්වය උග‍්‍රකිරීමට මිස සමනය කිරීමට හේතුවන නවකතා ලෙස සැලකිය නොහැකිය. මේ ගණයෙහිලා සැලකිය හැකි නවකතා ලියන නවකතාකරුවන් අතර නවකතාකරණයෙහිලා විශේෂ දක්ෂතා ඇති දක්ෂයන්ද සිටින බව කිව යුතුය.

සමාජ පාදඩකරණය පිළිබඳව විග‍්‍රහයකට යන්නට ප‍්‍රථම ජයසේකරගේ කුළුඳුල් නවකතාව ගැන මා දරන අදහස් කෙටියෙන් පළකරන්නට කැමතිය. එය අවරට දුවන රැුල්ලට එකතුවීම සඳහා ලියන ලද්දක් නොව ඒ වෙනුවට උඩුගං බලා පීනන්නට දරන ලද ප‍්‍රබල හා ප‍්‍රශස්ත උත්සාහයක් ලෙස සැලකිය හැකිය. ඔහු රටේ පවතින සමාජ දේශපාලන යථාර්ථය හොඳින් ග‍්‍රහණය කොටගෙන තිබෙනවා පමණක් නොව තමන් විසින් නිර්මාණය කොට පෙළගස්වන මෙම කතාව ඔස්සේ එම සමාජ-දේශපාලන යථාර්ථය ඉතා ප‍්‍රබල හා කලාත්මක ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමටද සමත් වී තිබෙන්නේයැ’යිද කිව හැකිය.

ජයසේකරගේ නවකතාව

නවකතාවට ඇතුළත් චරිත සංඛ්‍යාව විශාලය. ඒ අතර තිබෙන ප‍්‍රබලම චරිත වන්නේ උගතෙකු, නාට්‍යකරුවෙකු හා හැම දෙයක් දෙසම දේශපාලන කෝණයකින් බලන්නට උත්සාහ කරන ප‍්‍රතිපත්තිගරුක පුද්ගලයකු ලෙස සැලකිය හැකි කරුණාපාල, නැටුම් ගුරුවරියකගේ තත්ත්වයේ සිට සල්ලාල නියෝජ්‍ය ඇමතිවරයකු පිහිටෙන් පාසල් අධ්‍යාපනයේ කලාප අධ්‍යක්ෂවරියකගේ තත්ත්වය දක්වා ඉහළ නගින ඔහුගේ බිරිඳ, ඒ දෙදෙනාගේ දරු දෙදෙනා වන විමුක්ති හා සනූති, නියෝජ්‍ය ඇමතිවරයා යනාදීන්ය. නියෝජ්‍ය ඇමතිවරයාගේ චරිතය ඉතාමත් ප‍්‍රබලය. කරුණාපාලගේ පළමු දුව විමුක්ති ඇවිදීමට හෝ කතා කිරීමට බැරි හැමවිටම කටින් කෙළ බේරෙන මන්දමානසික දරුවෙකි. සංකේත වැදගත්කමක් ඇති එම අසරණ දරුවාගේ් චරිතයද ඉතාමත් ප‍්‍රබල ලෙස ගොඩනැගීමට නවකතාකරුවා සමත් වී තිබෙන්නේයැ’යි කිව හැකිය.

කරුණාපාලගේ පියා හේන් ගොවියෙකි. ඔහු මරණයට පත්වන්නේ අලියෙකු අතිනි. පියාගේ මරණයෙන් පසු පියාගේ භූමිකාව රඟපාන්නේ කරුණාපාලගේ අම්මාය. ඉතා කටුක ජීවිතයක් ගතකරමින් වුවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වීමට කරුණාපාල සමත් වේ. එහිදීද එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම පිණිස කුලීවැඩ කරන්නට ඔහුට සිදුවේ. ජවිපෙ දෙවැනි කැරැුල්ලේදී කරුණාපාල එම කැරැුල්ලේ ආධාරකරුවකු බවට පත්වේ. ඒ සමග ඔහුට එම කැරැුල්ල ගැන කිසියම් විවේචනයක්ද තිබූ බව පෙනේ.

කරුණාපාල එම කැරැුල්ලේදී තරුණයන් තොග ගණනින් ඝාතනය කෙරෙන දේශපාලකයකු වෙඩි තබා මරා දැමීම සඳහා වන උත්සාහයකටද සම්බන්ධ වන්නේය. ඔහු ඊට සම්බන්ධ වන්නේ කැරැුල්ල මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයේ ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස ක‍්‍රියාකරන වෛද්‍ය ශිෂ්‍යයකු සමග ඔහුගේ පෙළඹවීම හා මගපෙන්වීම යටතේය. දේශපාලකයාට වෙඩි තැබීමේ වගකීම පැවරෙන්නේ කරුණාපාලටය. වෙඩි තැබිය යුතු පුද්ගලයාගේ මුහුණට ටෝච් එළිය ඇල්ලීමේ වගකීම පැවරෙන්නේ එම වෛද්‍ය ශිෂ්‍යයාටය. එහිදී දේශපාලකයා මරා දැමීමට ඔවුන් සමත්වන්නේ නැතත් දේශපාලකයා ගමන් ගත් වාහනය පැදවූ රියදුරා එල්ල කළ වෙඩි පහරකින් වෛද්‍ය ශිෂ්‍යයා මරණයට පත්වේ.

නවකතාවේ ආරම්භයේ නොව අවසාන භාගයේදී හෙළිදරව් වන ආකාරයට කරුණාපාලගේ බිරිඳ බවට පත්වන්නේ එම වෛද්‍ය ශිෂ්‍යයාගේ පේ‍්‍රමවන්තියයි. වෛද්‍ය ශිෂ්‍යයා මැරෙන අවස්ථාව වන විට ඇය ඔහු නිසා ගැබ්ගෙන සිටියේය. වෛද්‍ය ශිෂ්‍යයා අවසන් හුස්ම හෙලන්නට පෙර ඇයගේ වගකීම භාරගන්නා ලෙස ඔහු කරුණාපාලගෙන් ඉල්ලා සිටියේය. කරුණාපාල එම යුතුකම ඉටු කළේය. මන්ද මානසික ‘විමුක්ති’ දරුවා ඒ සම්බන්ධයේ ප‍්‍රතිඵලයක් වූ බව පෙනේ.

ඇයද කැරැුල්ලට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටි තරුණියක් වූවාය. ඇගේ පියා දුප්පත් කම්මල්කාරයෙක් විය. දරිද්‍රතාව සේ ම ඊටත් වඩා කුල පීඩනයද ඇය කෙරෙහි බලපා තිබුණි. නියෝජ්‍ය ඇමතිවරයාගේ අනියම් ලිංගික සහකාරියක වීම මගින් කරුණාපාලගේ බිරිඳ ප‍්‍රමාණවත් තරමින් අධ්‍යාපන සුදුසුකම් නැතිව පවා සාමාන්‍ය නැටුම් ගුරුවරියකගේ තත්ත්වයේ සිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියක දක්වා පිම්මේ ඉහළ නැගීමට සමත් වූවාය. ඇය අනියම් සම්බන්ධයක් ඇතිකරගන්නා නියෝජ්‍ය ඇමතිවරයා ඇගේ පළමු පෙම්වතා වන වෛද්‍ය ශිෂ්‍යයා හා කරුණාපාල විසින් කැරැුල්ලේදී මරා දමන්නට සැලසුම් කර තිබුණු දේශපාලකයාය.

සිය බිරිඳ නියෝජ්‍ය ඇමතිවරයා සමග අනියම් සම්බන්ධයක් ඇති බව දැනගන්නට ලැබීමෙන් පසු වුවද කරුණාපාල ඒ ගැන බිරිඳගෙන් කරුණු විමසන්නට හෝ ඇය සමග රණ්ඩු කරන්නට හෝ ගියේ නැත. ඊට පෙර සිටම දෙදෙනා එකිනෙකාට කතා නොකරන තත්ත්වයක් ගොඩනැගී තිබුණි. එහෙත් ඒ නිසා කරුණාපාල තමන් කරන නාට්‍ය වැඩකටයුතු හෝ පොදු යහපතට අදාළව කරන දේවල් කිරීම අත්හැරියේද නැත. විමුක්ති හා මව අතර යහපත් සම්බන්ධයක් නොතිබුණු අතර ඇය මවගේ පිළිකුලට හේතුවී තිබුණි. විමුක්තිද මව කෙරෙහි දක්වන ප‍්‍රතිචාර යහපත් නොවීය. විමුක්තිට අවශ්‍ය කරන ආදරය ලබා දුන්නේද ඇය රැුකබලා ගත්තේද කරුණාපාලය. සනූති මව හා පියා අතර දෝලනය වන චරිතයක් විය. පියා මවට වඩා උගත් බව ඇය දැන සිටියාය. එහෙත් ඔහු මව මෙන් ඉහළ නැගීමට උනන්දුවක් නොදැක්වීම ඇගේ සතුටට හේතු නොවීය.

අවසානයේ කරුණාපාලගේ බිරිඳගේ ඉහළ යන ගමන කෙළවරවන්නේ මහා ඛේදවාචකයකිනි. ඇගේ එම බිහිසුණු හා ඛේදජනක අවසානය ඉතා ප‍්‍රබල හා අනුවේදනීය ආකාරයකින් නිරූපණය කිරීමට නවකතාකරුවා සමත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය.

කරුණාපාල කෙරෙන් ප‍්‍රකාශ වන දේශපාලන අදහස් ජවිපෙ මතවාදයට වෙනස්ය. කරුණාපාල ජවිපෙ දේශපාලන අච්චුවෙන් මිදීමට සමත්ව ඇතත්, මාක්්ස්වාදී අච්චුවෙන් අත්මිදී ඇති බවක් පෙනෙන්නට නැත. කරුණාපාලට අනුව දුප්පත්කම සූරාකෑමේ ප‍්‍රතිඵලයකි. දෘෂ්ටිමය තලයේ එවැනි සීමාසහිතකම් තිබියදීත් ජයසේකරගේ කුළුඳුල් නවකතාව ඉතා ප‍්‍රබල හා ප‍්‍රශස්ත නවකතාවක් ලෙස සැලකිය හැකිය.

සමාජ පාදඩකරණය

දැන් මට සමාජ පාදඩකරණය පිළිබඳ මගේ අදහස විස්තර කරන තැනකට යා හැකිය. සමාජ පාදඩකරණය නමැති සංකල්පයෙන් අදහස් වන දේ නූතන නවකතා රැුල්ල තේරුම් ගැනීම සඳහා පමණක් නොව ශ‍්‍රී ලංකාව මුහුණදී තිබෙන අර්බුද හා ශ‍්‍රී ලංකාවේ වර්තමාන සමාජ- දේශපාලන යථාර්ථය නිවැරදි ලෙස තේරුම් ගැනීම සඳහාද ඉතා වැදගත්වන්නේය.

හැම සමාජයකමත් ලූම්පන් හෝ පාදඩ ගණයෙහිලා සැලකිය හැකි මිනිසුන් සිටින අතර ඔවුන්ට ආවේණික විශේෂ ස්වභාවය කාල් මාක්ස් විසින් සේ ම සමාජ විද්‍යාඥයන් විසින්ද විග‍්‍රහ කර තිබේ. යාචකයන්, අපරාධකරුවන්, කුලියට මිනීමරන්නන්, ගණිකා වෘත්තිය ආශ‍්‍රයෙන් ජීවත්වන්නන්, තැබෑරුම්වල හා ඔට්ටුපොළවල සේවය කරන්නන්, මං පහරන්නන් වැනි අය මෙම විශේෂ සමාජ ප‍්‍රභේදයට අයත්වන්නේයැ’යි කිව හැකිය. මේ ගණයට වැටෙන අය දේවල් දකින හා සිතන මතන ආකාරය සාමාන්‍ය ජනයාට වඩා වෙනස්ය. ඔවුන් නීති උල්ලංඝනයට බය නැත. ඔවුන් පොදුවේ අඩු උගත්කමක් ඇති පහත් රසඥතාවක් ඇති අය ලෙස සැලකිය හැකිය. ඔවුන් ආර්ථික වශයෙන් සාමාන්‍ය ආර්ථිකයට වඩා කළු ආර්ථිකයට සම්බන්ධ පිරිසක් ලෙසද සැලකිය හැකිය. කළු ආර්ථිකයක් හා එය ජීවන මාර්ගය කරගත් පිරිසක් 1977ට පෙර කාලයේදීද සිටියෝය. එහෙත් ඒ කාලයේ ආර්ථිකයේ එයට හිමිව තිබූ පංගුව සේ ම එවැනි ආර්ථික මාර්ගවලින් යැපෙන අයගේ ප‍්‍රමාණයද සුළු විය. කළු ආර්ථිකයේ සේ ම කළු ආර්ථිකයෙන් යැපෙන අයගේ ප‍්‍රමාණයේද ශීඝ‍්‍ර ප‍්‍රසාරණයක් ඇතිවීම ආරම්භවන්නේ 1977න් පසුවය.

විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසු මැරවරයෝ රාජ්‍යයේ වැදගත් පංගුකාරයන් පිරිසක් බවට පත් කරගනු ලැබූහ. ශිෂ්‍ය හා කම්කරු අරගල මර්දනය කිරීම සඳහා යොදාගනු ලැබුවෝ ඒ ගණයට වැටෙන මැරවරයෝය. ඒ මගින් රාජ්‍යයේ අවශ්‍යතාවන් වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව මැරවරකම් කරන මැරවර ප‍්‍රභේදයක් ඇතිවූ අතර, ඒ නිසා ඔවුන් රාජ්‍යයේ අවශ්‍යතා සඳහා කරන මැරවරකම්ලදී පමණක් නොව තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවන් සඳහා කරන මැරවරකම්වලදීද රාජ්‍යයේ ආරක්ෂාව ලබන පිරිසක් බවට පත්වූහ.

විවෘත ආර්ථික ක‍්‍රමය ආර්ථිකයේ නිෂ්පාදන අංශයට තිබුණු ප‍්‍රමුඛත්වය අහෝසි කොට සේවා අංශයේ විශාල ප‍්‍රසාරණයක් ඇති කළේය. සංචාරක කර්මාන්තය ආර්ථිකයේ වැදගත් අංශයක් බවට පත්විය. සංචාරක මගපෙන්වීම වෙරළබඩ තීරයේ ජීවත් වන තරුණයන්ගේ ජනප‍්‍රිය රැුකියා මාර්ගයක් බවට පත්විය. ඔවුහු සංචාරකයන්ට අවශ්‍ය හොඳ නරක හැම දෙයක්මත් සපයා දෙන පිරිසක් බවට පත්වූහ. ඒ ආශ‍්‍රයෙන් ගණිකා වෘත්තියේද ශීඝ‍්‍ර ව්‍යාප්තියක් ඇතිවිය. මත්ද්‍රව්‍ය භාවිතයේද ශීඝ‍්‍ර වර්ධනයක් ඇතිවිය. පරණ බූරුපොළ වෙනුවට නවීන සූදුපොළ ඇතිවිය. ඒවා කිසියම් පිරිස් සිය ජීවන මාර්ග බවට පත්කර ගත්තෝය. ඇතිකරන ලද විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ පාලක පක්ෂයට සම්බන්ධ අයට පොදු වස්තුව කොල්ලකෑමට ඉඩ ලබාදෙන ප‍්‍රතිපත්තියක් තුළ රාජ්‍යයේ අනුග‍්‍රහය ඇතිව අයථා මාර්ගවලින් ධනවතුන් බවට පත්වූ නව පන්තියක ධනවතුන් පිරිසක් ඇතිවූ අතර ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් කළු ආර්ථිකයේ වේගවත් ප‍්‍රසාරණයක් ඇති කිරීමට හේතුවිය. ඊට පෙර පැවති ක‍්‍රමය තුළ මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩක් නොතිබුණු අතර එසේ කිරීම ඔවුන්ගේ මන්ත‍්‍රීකම් අහිමි කිරීමට හේතුවන බලවත් වරදක් ලෙස සලකන ලදි. මන්ත‍්‍රීවරුන්ට පනවා තිබුණු ඒ සියලූ තහංචි නව ක‍්‍රමය විසින් ඉවත් කරන ලද අතර මත්පැන් බලපත‍්‍ර, දැව ප‍්‍රවාහන බලපත‍්‍ර හා මගී ප‍්‍රවාහන බලපත‍්‍ර බෙදාහරිනු ලැබුවේ මන්ත‍්‍රීවරුන් මාර්ගයෙනි. ඒ නිසා මන්ත‍්‍රීවරු සැලකිය යුතු පිරිසක්ද තැබෑරුම්කරුවන් බවටත්, දැව කොන්ත‍්‍රාත්කරුවන් හා බස් මුදලාලිලා බවටත් පත්වූහ. ඒ ආකාරයට ඔවුන් හිමි කරගත් ආර්ථික බලය හැම මන්ත‍්‍රීවරයකුටම ගණන්කාරයන් කිසියම් පිරිසක් ආර්ථික වශයෙන් නඩත්තු කළ හැකි තත්ත්වයක් ලබා දුන්නේය.

රට මස් මඩුවක් බවට පත්වීම

ජේවීපී දෙවැනි කැරැුල්ල දේශපාලකයන් හා අපරාධකරුවන් අතර පැවති සහසම්බන්ධය වඩා විශාල ප‍්‍රමාණයකින් පුළුල් කොට එය පහසුවෙන් වෙන් කළ නොහැකි ගල් ගැසුණු දෙයක් බවට පත් කළේය. දේශපාලකයන්ට එල්ල වී තිබූ මරණ තර්ජන ඉදිරියේ ඔවුන්ට අවශ්‍ය කරන ආරක්ෂාව පොලිසිය හා නිල ආරක්ෂක හමුදා මගින් ලබාදීමට නොහැකිවීම හේතු කොටගෙන ආරක්ෂාව සඳහා තමන්ගේම අතුරු හමුදා පවත්වාගෙන යෑමට දේශපාලකයන්ට ඉඩදෙන ලදි. එම අතුරු හමුදාවලට අවශ්‍ය අවි හා උණ්ඩ රජය මගින් ලබාදෙන ලද අතර අතුරු හමුදාවල සාමාජිකයන්ට අවශ්‍ය අවි පුහුණුව ලබාදෙන ලද්දේ ආරක්ෂක හමුදා මගිනි. දේශපාලකයන්ගේ මෙම අතුරු හමුදාවල සේවයට ආවේ සාමාන්‍ය මිනිසුන්ට වඩා ප‍්‍රදේශයේ නමගිය අපරාධකරුවන්ය. තමන් විමසිල්ලෙන් සිටින ප‍්‍රාදේශීය අපරාධකරුවන් ප‍්‍රදේශයේ දේශපාලන බලවතාගේ ආරක්ෂාව භාරව ක‍්‍රියාකරන පුද්ගල පිරිසක් බවට පත්වීමත් සමග ප‍්‍රාදේශීය මට්ටමේ පොලිසිවලටද ඔවුන් අතින් සිදුවන අපරාධ ක‍්‍රියා ගැන කරන සොයා බැලීම් අත්හැර ඔවුන් සමග සහයෝගයෙන් ක‍්‍රියාකරන තැනකට යන්නට සිදුවිය. ඒ මගින් පොලිසිය හා අපරාධකරුවන් අතර තිබුණු පරස්පර සම්බන්ධයේද අලූත් වෙනසක් ඇති කොට පොලිසිය හා අපරාධකරුවන් අන්‍යොන්‍ය සහයෝගයෙන් හා මිත‍්‍රත්වයෙන් ක‍්‍රියාකරන තත්ත්වයක් ඇති කළේය. ඉන්පසු පොලිසිය ඒ අපරාධකරුවන් කරන අපරාධ ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප‍්‍රතිපත්තියක් හෝ ඔවුන් කරන අපරාධවලට සහයෝගය හා රැුකවරණය ලබාදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන තත්ත්වයක් ඇතිවිය. ඒ සමග ඇතිවූ එක් භයානක දෙයක් වූයේ නිල පොලිසිය කෙරෙහි අපරාධකරුවන් තුළ බිය මුළුමනින් නැතිව යෑමය.

තුන් පූට්ටුව

ඒ සමග මෙම අපරාධකරුවෝ දේශපාලන රැුකවරණය ඇතිව අපරාධ කරන අපරාධකරුවන් බවට පත්වූවෝය. නීතිය කෙරෙහි ඇතිකර ගන්නා බියකින් තොරව ඔවුහු මංකොල්ල කෑවෝය. කප්පම් ගත්තෝය. මත්ද්‍රව්‍ය වෙළෙඳාම කළහ. දේශපාලන හේතු මත පමණක් නොව කප්පම් ලබාගැනීම සඳහාද මිනිසුන් පැහැර ගත්තෝය. බොහෝවිට ඒ ක‍්‍රියාකාරකම් සඳහා පාවිච්චි කරනු ලැබුවේ දේශපාලකයාගේ නිල වාහන ය. මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලැබුවේද නිල වාහනවලිනි. නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයකු ඇති කිරීම මගින් 1977 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීතියේ පාලනයේ බිඳවැටීමක් ඇති කළේ නම් දේශපාලකයන් අපරාධකරුවන් හා පොලිසිය එකට පූට්ටු වී ක‍්‍රියාකරන තත්ත්වයක් ඇතිවීම මගින් නීතියේ පාලනය බිඳවැටීම මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්වූයේය.

ජේවීපී කැරැුල්ල පරාජය කිරීමෙන් පසුත් තවදුරටත් දේශපාලකයන්ට එල්ටීටීඊයෙන් මරණ තර්ජන එල්ලවන තත්ත්වයක් තිබීම නිසා ගොඩනැගී තිබුණු මෙම තුන් පූට්ටුවේ ක‍්‍රියාකාරීත්වය බාධාවකින් තොරව තවදුරටත් ඉදිරියට ගලා ගියේය. දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැවති මෙම විශේෂ සමාජ දේශපාලන වටාපිටාව තුළ දේශපාලකයන්ගේ සහචර අපරාධකරුවන්ගෙන් සමහරෙක් මහා ධනවතුන් බවට පත්වෙමින් සමාජයේ සැලකිලි ලබන වැදගත් පිරිසක් බවට පත්වූහ. දේශපාලකයන්ගේ සේ ම අපරාධකාරී පසුබිමක් ඇති එවැනි ධනවතුන්ගේද ජීවන රටාව බොහෝදුරට එක සමාන විය. ඔවුන් අඳින ඇඳුම් පැළඳුම් දේශපාලකයන් අඳින ඇඳුම් පැළඳුම්වලට සමාන විය. ඔවුන් පරිහරණය කළේද දේශපාලකයන් පරිහරණය කරන මිල අධික සුඛෝපභෝගී යානවාහනය. ඔවුන් පරිහරණය කරන මත්පැන්ද දේශපාලකයන් පරිහරණය කරන මිල අධික මත්පැන්වලට සමාන විය. මෙසේ මේ වර්ගයට අයත් පුද්ගලයන්ට තිබූ මැර බලයට අමතරව ධන බලය හා දේශපාලන බලය නිසා ඔවුහු ආගමික නායකයන්ගේද, විද්වතුන්ගේ හා ජනමාධ්‍ය වේදීන්ගේද, කලාකරුවන්ගේද ගරු සැලකිලි ලබන පිරිසක් බවට පත්වූහ.

රටේ ගොඩනැගී තිබුණු මෙම රස්තියාදුකාර වටාපිටාව ශක්තිමත් කරමින් සමාජ මනස විකෘති කිරීමට හේතුවූ තවත් සාධක කිහිපයක් මෙසේය. දකුණේත් උතුරේත් ඇතිවූ ප‍්‍රචණ්ඩ ව්‍යාපාර හා ඒවා මර්දනය කිරීම සඳහා ක‍්‍රියාත්මක වූ ප‍්‍රචණ්ඩ අරගල එක දිගට දශක තුනකට ආසන්න කාලයක් පැවතියේය. මිනිසුන්ට ජීවත්වන්නට සිදුවී තිබුණේ භීතියෙනි. මිනිසුන් මැරීම හා අතුරුදන්කිරීම දෛනික ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණේය. මිනිසුන් මරා දැමීම පිණිස තුවක්කු අතට ගත්, එසේ කිරීම සිය ජීවන මාර්ගයක් බවට පත්කර ගත් නිල හා නිල නොවන ආරක්ෂක හමුදාවන්ට අයත් පුද්ගල සංඛ්‍යාවේ විශාල ප‍්‍රසාරණයක් ඇතිවිය. හමුදා සේවය ග‍්‍රාමීය දුප්පතුන් අතට ධනය ගලා එන වැදගත්ම මාර්ගයක් බවට පත්වූවේය. වර්තමානයේ දකුණු ආසියාවේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ආරක්ෂක හමුදාවක් සිටින රට ශ‍්‍රී ලංකාවය. ජනගහනයේ හැම 9 දෙනකුටම එක් ආරක්ෂක භටයෙක් සිටින්නේය. ඊට ප‍්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාරවල අනුයුක්ත අයගේ සංඛ්‍යාවද එකතු කළ විට ලැබෙන චිත‍්‍රය ඊටත් බිහිසුණුය. නිල ආරක්ෂක හමුදාවන්ට හෝ ප‍්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපාරවලට එකතුවන්නන්ගෙන් කිසියම් පිරිසක් හමුදාවන්ගෙන් හෝ එම ව්‍යාපාරවලින් පළාවිත් නීති විරෝධී ජීවිත ගතකරන්නන් බවට පත්වීමද සිදුවිය. එවැනි අය අතුරින් කිසියම් පංගුවක් පාතාල ලෝකයට එකතු වූහ. එක්කෝ ඔවුහු අලූත් අපරාධ කල්ලි ඇතිකර ගත්තෝය. නැතිනම් තිබෙන අපරාධ කල්ලිවලට එකතු වූවෝය. ඒ තත්්ත්වයද අපරාධකරණයේ ඇතිවූ ශීඝ‍්‍ර වර්ධනයට බලපෑවේය. රාජ්‍යයද රටේ දේශපාලන පක්ෂද වැඩි වැඩියෙන් අපරාධකරුවන් මත හා අපරාධකාරී පසුබිමකින් පැවත එන ධනවතුන් මත යැපෙන තත්ත්වයක් ඇතිවිය. අද ප‍්‍රධාන සියලූ දේශපාලන පක්ෂ යැපෙන්නේ කළු සල්ලි කාරයන්ගෙන් ලැබෙන කළු සල්ලිවලිනි.

රට යන්නේ කොයිබටද?

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවද දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ප‍්‍රචණ්ඩ අරගල පැවති වටාපිටාව තුළ ගොඩනැගී තිබුණු දූෂිත හා රස්තියාදුකාර වටාපිටාව සේ ම ආණ්ඩුක‍්‍රමයේ පැවති විකාරරූපී ස්වරූපයද ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමක් සිදු නොවීය. ජනවර්ග ප‍්‍රතිසන්ධානයකට ලක්කිරීමක්ද සිදු නොවීය. විකෘති වී තිබූ සමාජ මනස ප‍්‍රකෘතිමත් කිරීමක්ද සිදු නොවීය. ඒ නිසා දැන් සිදුවී තිබෙන්නේ සමාජ ක‍්‍රමයේද දේශපාලන ක‍්‍රමයේද තිබූ අවුල් පාලනය කළ නොහැකි උග‍්‍ර තත්ත්වයකට පත්වීමය.

වෙනදා සාහසික අපරාධ ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අද ඒවා හැමදා අසන්නට ලැබෙන සාමාන්‍ය දේවල් බවට පත්වී තිබේ. ගුණධර්ම බුල්ඩෝසර් කරමින් ඒවා මත කාපට් කරන ලද නවීන මාර්ග ඉදිවෙමින් පවතී. වෙනදා රටට හෙරොයින් ආවේ සිරි සිරි බෑග්වලය. දැන් ඒවා එන්නේ කන්ටේනර්වලිනි. ලොකුම විදේශීය ආයෝජකයන් බවට පත්ව සිටිනුයේ කැසිනෝ කරුවන්ය. ඕස්ටේ‍්‍රලියානු සමීක්ෂණ කණ්ඩායමක් කර තිබෙන අධ්‍යයනයකට අනුව දැන් ශ‍්‍රී ලංකාවේ කළු ආර්ථිකයට හිමි පංගුව සමස්ත ආර්ථිකයෙන් 50%කි. මෙම විනාශකාරී පෙළගැස්ම ආපසු හරවන්නේ කෙසේද? ආණ්ඩුක‍්‍රමයේ ඇති කරන වෙනසකින් පමණක් එය කළ හැකිද?

සමාජ පාදඩකරණය ---  වික්ටර් අයිවන්
Read more
Friday, January 24, 2014
මිනිස් ජීවිතය සහ සපත්තු

රෝහිත රාජපක්ෂ ලක්ෂ එකහමාරේ ලූයිස් වුයිටන් සපත්තු දමද්දී පාසැලට දාන්න සපත්තු දෙකක් ගන්න බැරිවී සඳුනි දැරිය සිය දිවි නසා ගැනීම ‘පවුලට කිරි-රටට කැකිරි’ ප්‍රතිපත්තිය නොවේද?පාසල් යාමට සපත්තු කුට්ටමක් මිලදී ගැනීමට මුදල් නොමැතිකම නිසා ඇති වූ සිත් වේදනාවෙන් තම නිවසේ බාල්කයක එල්ලී මියගිය, වලපනේ, වැවතැන්නේ පදිංචි 12 හැවිරිදි සඳුනි ශානිකා දැරිවියගේ මරණය පිලිබඳ මාධ්‍ය වාර්තා දැක මම ඉමහත් කම්පනයටත්, ශෝකයටත් පත් වීමි.

සඳුනි ශානිකා දැරිවියගේ මරණයෙන් තව දුරටත් පෙනෙන්නේ මේ රෙජීමය අධ්‍යාපනයට අවශ්‍ය තරම් මුදල් වෙන් නොකිරීම නිසා මෙතෙක් කල් මේ රටේ දුගී, දුප්පත් දරු දැරියන්ට ඉගෙන ගැනීමට තිබූ නිදහස් අධ්‍යාපනයට කණ කොකා හ`ඩා අවසන් බවයි. පාරවල් වසාගෙන, රාත්‍රී ලයිට් එළියෙන් රජ පවුලේ කුමාරවරුන්ගේ මන දොළ පිනවන්නට කොළඹ “නයිට් රේස්” පදින රාජපක්ෂ රෙජීමයට අප අවධාරණය කරන්නේ සපත්තු දෙකක් ගන්නට මුදල් නොමැතිකම නිසා සිය දිවි නසාගන්නා දරු දැරියන් දැක දැක තම විනෝදාස්වාදය වෙනුවෙන් බාල් නටන්නට ඔබලාට හෘදය සාක්ෂියක් නැද්ද? යන්නයි. රණ විරුවන් ජීවිත දහස් ගණනක් පූජා කර මේ දේශය කුරිරු ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර දුන්නේ රාජපක්ෂ රෙජීමෙයේ මේ විකාර බලන්නට නොවේ. එබැවින්, ඉක්මන් පියවරක් ලෙස සපත්තු කුට්ටමක් ගන්නට වත්කමක් නොමැති සියළු දරු දැරියන්ට ආණ්ඩුව නොමිලේ සපත්තු කුට්ටමක් ලබා දීමට ක්‍රියා කරන ලෙස අපි බල කරන අතර, “පවුලට කිරි – රටට කැකිරි” ප්‍රතිපත්තිය වෙනස් නොකර යන මේ ආණ්ඩුව වෙනස් කරන්නට ජනතාව සැදී පැහැදී බලා සිටින බව ද මතක් කර දෙමි.

ඉහත සටහන අප උපුටා ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය වාර්ථාවකනි. ඒ අනුව අපට සිතෙන්නේ මේ රටේ රාජපක්ෂ පාලනය අවසන් කළ සැනින් සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත් කළ පසු  සියළු ගැටළු එක් රැයකින් විසදී අවසන් වේය යන්නයි. ඒත් මේ ගැටලුව හිතන තරම් සරළ නම් අප ජීවත් වන්නේ ධනවාදී සමාජය බව අප යළි යළි සිතන්නේ ඇයි? ඇත්තටම අප මේ යුගයේ මුහුණ දී සිටින ධනවාදයේ ගැටලුව සදුනිගේ හයසියේ සපත්තු කුට්ටම සහ රෝහිත ගේ ලක්ෂ එකහමාරේ සපත්තු කුට්ටමට වඩා සංකීර්ණය.

සමාජ ප්‍රශ්ණ ගැන ගැඹුරින් තමන් සිතනවා යැයි කල්පනා කර සිදුවන හැම සිද්ධියක්ම රාජපක්ෂ රෙජිමයේ වරද නිසා සිදුවන්නක් බව පෙනීවීමෙන් ජනතාව මේ ආණ්ඩුවටත් වඩා මුලා කරන්නට උත්සහ කරන්නේ එ.ජා.පයයි. ඇත්තටම මේ කිරිපුස්සන් පන්නා දමා පැගිරන් සෙක්කුවේ ගැට ගැසූ විට සියළු ප්‍රශ්ණ විසදේ යැයි කියමින් සුරංගනා කතා කියන්නට විපක්ෂයට ඇති අයිතියට අපි ගරු කරන නමුදු අපට අවශ්‍ය වන්නේ ධනවාදය නම් සමාජ ක්‍රමයට වඩා උසස් සමාජ ක්‍රමයක් බව අවබෝධ කර ගන්නට නම් මේ ප්‍රශ්ණ දෙස අප බැලිය යුත්තේ වෙනත් දෘෂ්ටිකෝණයකිනි.

ප්‍රාග්ධන සමුච්චනය හරහා ලාභ තව තවත් ලාභ අරමුණු කර ගත් පෞද්ගලික දේපල ක්‍රමය රකින්නට ප්‍රතිඥා දී සිටින ධනපති ආණ්ඩුවක් සහ ධනපති විපක්ෂය යනු එකම  කාසියේ දෙපැත්ත පමණි. දැන් රටට අවශ්‍යව ඇත්තේ අලුත් විදිහට ලෝකය ගැන සිතන අප ජීවත් වන සමාජ ක්‍රමය මනුෂ්‍ය  වර්ගයාට මනුෂ්‍යයන් ලෙස ජීවත් වන්නට  අවකාශයක් ලබා නොදෙන ක්‍රමයක් බව අවබෝධ කර ගත හැකි දේශපාලනයකි. පෞද්ගලික දේපල අයිතිය වඩ වඩා සුරක්ෂිත වන්නට සුරක්ෂිත වන්නට ඇති නැති පරතර දවසින් දවස ඉහල යෑම යනු ධනවාදයේ සමාන්‍ය ස්වභාවයකි. ධනවාදයට මානුෂික මුහුණුවරක් ඇතැයි සිතන අය අවස්ථාවාදීන් පමනි.අඩුම තරමේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයා මේ මෙහොතේ මුහුණ දී සිටින දැවැන ප්‍රශ්ණ ගැන දන්නෝ කවරහුද? මේ යුගයේ අප බලා සිටින්නේ සිදුවීම් දෙස නොව ක්‍රමය විසින් මනුෂ්‍ය ජීවිතය ට උරුමකර දී ඇති ඛේදජනක ඉරණම දෙසය. සමාජ ප්‍රශ්න යනු රාජපක්ෂ රෙජිමයේ ගැටලුවක් බවට ලඝු කරන විපක්ෂයකින් අපට බලා පොරොත්තු විය හැක්කේ කුමක්ද? ඒ නිසා දැන් රටට අවශ්‍යව ඇත්තේ ක්‍රමය වෙනස් කරන්නට හැකි නව දේශපාලන දර්ශණයකි. ඇත්තටම සපත්තු ගැන කතා නොකර මේ සිදුවන දේ ඇයි මෙහෙම වන්නේ කියන එක සිතන්නට හැකි මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවූ දවසට සමාජ ක්‍රමය වෙනස් කරන්නට පුලුවන් වනු ඇත. එතෙක් මේ ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියන කතා දිගටම අසා සිටින්නට පුලුවන. වලපනේ සදුනි ගෙලවැලාගෙන මියගොස් ඇත. ඒ තැනට රෝහිත ආදේශ කර තමන් ශ්‍රේෂ්ඨ දේශපාලන දාර්ශනික විග්‍රහයක් කලා යැයි කියා සමහරුන්ට සැනසෙන්නට පුලුවන.

ආන්නද විද්‍යාලයේ ගල්රෝලක් ඇගට පෙරලී මියගිය සිසුවා ගේ සිදුවීම කරළියට පැමිණි පසු ‘සදුනි’ අපට අමතක වනු ඇත. එහෙත් දහස් සංඛ්‍යාත සදුනිලා අද දිනත් පයලා ගන්නට සපත්තු ජෝඩුවක් නැතිව ඈත ගම්වල වැලපෙන විට රෝහිතලා පමනක් නොව කොළඹ ඉහළ පංතියේ අය ඉතාලි පාවහන් පලදිනවා ඇත. ගල්රෝගට යට වූ සිදුවා ගැන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර මෙන්න රාජපක්ෂ රෙජිමයේ තවත් අපරාධයක් යැයි කියා තමන්ගේ සිත සනසා ගෙන කොහොම හරි බලයට පත් වන්නට වලිකන විපක්ෂය බලයට පැමිණි පසුවද සදුනිලාට ගෙලවැලලාගන්නට සහ තවත් දරුවන්නට ඩෝසර් වලට යට වන්නට සිදුවීම අහම්බයක් නොව අනිවාර්යකි. දරුවන්නට හොදම දේ දෙන්න යැයි ලෙනින් කීවේ සහ පළමුව අධ්‍යපනය,දෙවනුව අධ්‍යපනය සහ තෙවනුවත් අධ්‍යපනය බව ලෙනින් කිවේ ඔහුට මිනිසුන් සහ දරුවන් ගැන සැබෑ කැක්කුමක් තිබු නිසාවෙනි. ඒ නිසා අප නිළියන් හෙට දිනයේ පළාත් සභාවට පත්කර ඒ නිළියන්ගේ ටෙලි සිත්තම් නරඹබා පරණ පාන් කෑල්ලක් කා හයිවේ දෙස බල බලා මෙන්න රට දියනු වෙනවා යැයි කියමින් සිංහල ජාතියේ අභිමානය තුළ දෙමළාට කෙලවා අවසන් නිසා ඉදිරියේ දී හම්බයන්ටත් වැඩේ දෙමු යැයි කියමු. දෙමලාගෙන් සහ හම්බයාගෙන් රට බේරාගත් වන්දිය ලෙස රාජපක්ෂලාට රට ලියා දෙන්නට දැනටමත් සිංහල ජාතිය කැමැත්ත දී අවසන්ය.

3mana -
Read more
සාක්‍ෂි අළු කිරීම  තවත්  (කොස්‌තාපල් කෙනකු හෙළුවෙන් සිටීමකි)

රාත්‍රි සමාජ ශාලාවක සේවය කරන තිදරු මවක වූ නළඟනකගේ පිළිස්‌සුණුඣ් සිරුර ඇය පදිංචිව සිටි පිළියන්දල නිවසේ ළිඳ අසල තිබී හමුවීම ගැන ඊයේ වාර්තා විය. ඇය තිදරු මවකි. සිද්ධිය වන අවස්‌ථාවේදී ඇය ඔවුන් සමඟ සිටියේ නැත. කාන්තාව පිළිස්‌සුම් තුවාල ලබන විට ඇගේ පෙම්වතා ද නිවසේ සිටියේය. හේ ග්‍ර්‍රEන්ඩ්පාස්‌ පොලිසියේ කොස්‌තාපල් කෙනෙකි. පෙරේදා අලුයම් කාලයේ නළඟනගේ පිළිස්‌සුණු සිරුර ළිඳ ළඟට ගෙනා පෙර කී පොලිස්‌ කොස්‌තාපල් නිරුවතින් වතුර ඇද ඇගේ සිරුරට වත් කළ බවට සාක්‍ෂි තිබේ. මෙයින් අපට වැටහෙන්නේ කොස්‌තාපල් හොඳ සිහියෙන් සිට නැති බවයි. ඔහු හොඳ සිහියෙන් සිටියේ නම් මහ පාන්දර හෙළුවෙන් ඇවිදින්නේ නැත. මියගිය කාන්තාව සිය කොස්‌තාපල් පෙම්වතා ද සමඟ මත්පැන් පානය කර සිටි බවට ද සාක්‍ෂි තිබේ. අවසන් ඵලයේදී මෙය තවත් මරණයකි. සමහර විට මිනීමැරුමකි. තවත් කොස්‌තාපල් කෙනකු හෙළුවෙන් සිටීමකි. මෙහිදී අප පොලිස්‌ කොස්‌තාපල් යන්න පුන පුනා යොදන්නේ හැඳින්වීමේ පහසුව තකා ය. ඒ මිස, පොලිසියට මඩ ගැසීමේ ෙච්තනාවක්‌ මෙතැන නැත. මන්ද අද මෙතැන සිටින කොස්‌තාපල් වෙනුවට ආණ්‌ඩුවේ ක්‌ලාක්‌ කෙනෙක්‌, බදු නිලධාරියෙක්‌, නීතිඥයෙක්‌, වෛද්‍යවරයෙක්‌ හෝ නාටාමි කෙනෙක්‌ හෙට මෙතැන සිටීමට පුළුවන. අනිද්දාට කවර හෝ ආගමක පූජ්‍ය පක්‍ෂයක කෙනෙකු මෙතැන සිටියොත් පුදුම නො වන්න.

කෙසේ වුවද, මේ භයානක සිද්ධියෙන් නළඟනගේ කුඩා දරුවන් දිවි ගලවා ගැනීම ප්‍රාතිහාර්යයකි. ළමයකු සිය පළමුවැනි සහ ආරම්භක ආදරය, හිතවත්කම, සම්බන්ධය යන සියල්ල පවත්වන්නේ සිය මව සමඟ ය. මේ නිසා අම්මා සමඟ නිතර සිටීමේ අවස්‌ථාව ඔහුට ලැබෙන අතර ඒ හේතුවෙන් අම්මා සමඟ මිය යැමේ අවස්‌ථාව ද ඔහුට හිමිවන්නේ ය. මවුවරුන් ජීවත් වීමට නො හැකි තරම් ප්‍රශ්න වලින් පීඩාවට පත්වන විට ළිං වලට ගංගාවලට නැත්නම් කෝච්චිවලට පැන්න මවුවරුන් ගැන විටින් විට අපට ආරංචි ලැබෙයි. එසේම මව සමඟම කෙළෙසීමට පත්වන දරුවන් ගැන ද අපට දැනගන්නට ලැබෙයි. මේ රටේ අපහරණයට පත්වන දරුවන් ගණන දිනකට 150 කැයි අපි මේ ළඟකදී කියෑවීමු. කාන්තාවන් සහ ළමයින්ගේ ආරක්‍ෂාවට ආයතන එකක්‌ නොව හුඟක්‌ මේ රටේ තිබේ. එහෙත් ඒවායින් ලිස්‌සා ගොස්‌ කාන්තාවන්ට සහ ළමයින්ට අපරාධ කරන නීචයෝ වෙති. ඔවුන්ට උසාවියේදී නිදහස ලැබීමට තිබෙන ඉඩකඩ වැඩිය. එයට හේතුව නීතිඥයන්ගේ දක්‍ෂකම සහ සාක්‍ෂිවල ඇති දුර්වලකම ය. කෙසේ වුවද කාන්තාවන් සහ ළමයින් අසරණ වීම බලගතු සමාජ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයට උත්තර දැනට තිබෙන කිසිදු පොතක නැත.

පිළියන්දලදී මියගිය නළඟන සමඟ ඇගේ දරුවන් නො වීම වාසනාවකි. මිනීමරුවා නළඟනට ගිනි තැබුවේ නම් එය දරුවන් දකින්නට ඉඩ තිබිණ. එසේ නම් මිනීමරුවාගේ ඊළඟ පියවර වන්නේ ළමයින් නමැති සාක්‍ෂිය අතුරුදන් කිරීම ය. අම්මාට තැබූ ගින්දරම දරුවන් වෙනුවෙන් ද යොදා ගැනීමට ඔහුට හැකි ය. ඊළඟට ගින්න ඉබේ ඇති වී යෑයි සලකා තුවාලකරුවන් ළිඳට ගෙන ගොස්‌ නාවන්නට ද ඔහුට පුළුවන. සැකයේ වාසිය විත්තියට ය.

ගැහැනියක්‌ මහ රෑ ක්‌ලබ් එකකට ගොස්‌ නටන්නේ ඇඟ කසනවාට නොව කීයක්‌ හරි උපයා ගැනීමට ය. ඒ බව දකින සල්ලාලයෝ ඇගේ ආදායම වැඩි කර දෙනු පිණිස ඇය ගණිකා වෘත්තියට යොමු කරති. එතැන් සිට ඇය මිනිසුන් සමඟ නිදා ගන්නේ ඇඟේ හිරිය යැමට නොව නැති බැරි කමට ය. එවැනි අසරණ ගැහැනුන් මරණ මෙවැනි පාදඩයන් අල්ලා පණපිටින් ම පිළිස්‌සීමට බලය ලැබෙන නීතියක්‌ ඇති කිරීමට බැරි ද?

ාසඩ්සබ් -
Read more

Popular Posts

Popular Posts