Header Ads

ලසන්ත මරා අවුරුදු 5යි...

"අවසානයට ඔවුහු මා සොයා ආහ" 2009 ජනවාරි 11 වැනිදා "සන්ඩේ ලීඩර්" පත්තරයේ කතුවැකිය පටන්ගෙන තිබුණේ එසේය.

"ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් ජනතාව මීට වඩා පෙනී සිටිය යුතුය. ඊට හේතුව මෙරට වැඩිම තර්ජනයකට ලක්වී ඇති වෘත්තිය ජනමාධ්‍ය වීමයි".
ඒ පත්තරය වෙළෙඳපොළට එන්නට දින තුනකට පෙර එහි ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංගට මහ පාරේදී වෙඩි තැබුවේය. එසේ මරා දමනු ලැබූ අදීන පත්තරකාරයා පුරාවෘත්තයක් වී අදටත් ජීවත් වන්නේය.

"මරණයෙන් පසු පුරාවෘත්තයක් වන්නට සෑම මිනිසකුටම නොහැකිය. ඒ අභියෝගය ජයගන්නා පුද්ගලයා රටට යහපත කළ අයෙකි".
චීන වහරේ ඇති මේ කතාව ලසන්තට අදාළව ඔප්පු වී තිබේ. ඔහුගේ පෑනේ හයියට බිය වූ දේශපාලනඥයෝ ලසන්තව මරා දමන්නට අවස්ථා ගණනාවකදීම උත්සාහ කළහ. ඒත් බළල් පණක් ඇත්තකු මෙන් ඔහු යළි යළිත් නැඟිට්ටේය. සොත්ති උපාලිලා, නාවල නිහාල්ලා පුරාවෘත්ත වන රටක ගෝනවල සුනිල්ලාගේ නමින් පිළිරූ හදන්නට සැලැසුම් කළ ආණ්ඩු තිබූ රටක ලසන්තව මරා දැමුණේය.

ඒ අදට අවුරුදු පහකට පෙරය. අදටත් ලසන්තව මරා දැමුවකු නැත. කෙහෙල්කැන් හොරුන් කුදළාගෙන ගොස් හිරේ දමන්නට තත්පරයක්වත් ප්‍රමාද නොවන ගරු කටයුතු පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුත්තන්, ලසන්තව මහ පාරේ මරා දැමීම ගැන කටහොල්ලන්නේ නැත.
ලසන්ත අන්තිමට ලිව්වා සේ ජනතාව මීට වඩා තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතුව ඇත. ජනමාධ්‍ය යනු ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්‍ෂිත කරන මාර්ගයයි. එනම් රටේ "මුර බල්ලාය". ලසන්තගේ මිනීමැරුම ඉදිරියේ නිහඬව සිටින ජනතාවට අහිමි වන්නේ මේ මුර බල්ලාගේ රැකවරණයයි. කුමන තත්ත්වයක් යටතේ වුවත් සුවච, කීකරු බලු කුක්කන් මේ මුර බල්ලාගේ කාර්යය ඉටු කරන්නට ඉදිරියට නොඑන බව පැහැදිලිය.

ලසන්ත වික්‍රමතුංගලා සිය ගණනක් රටට අවශ්‍යව ඇත්තේ ඒ නිසාය. තොරතුරු දැන ගැනීමේ අයිතිය, පුස්කන අණපනත් කෙටුම්පත්වලට සීමා වී ඇති රටක මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ලවන තර්ජන ඉදිරියේ මුනිවත රකින්නට ජනතාව කටයුතු කරයි නම් එය මේ යුගයේ බරපතළම ඛේදවාචකය බව ලියා තැබිය යුතුය.
"ඔය පත්තරේ කඩේ යන්නෙ අරයටනෙ".
"ඕක අර පක්ෂෙ පත්තරේනෙ".

එවැනි මුල් බැසගත් මතවාද සමාජය තුළ තිබේ. ඒවා මතවාද පමණක් නොව තරමක් දුරට ඇත්තය. ලෝකයේ සියලුම ජනමාධ්‍ය බිහිවී ඇත්තේ දේශපාලන ව්‍යාපෘතීන්වල ප්‍රතිඵල වශයෙනි. අපක්‍ෂපාතී යැයි ලෝකයට කියන සී.එන්.එන්., බී.බී.සී. ප්‍රවෘත්ති සේවා ඉරාකයේදී ඇමෙරිකානු හමුදාව සිදුකළ ම්ලේච්ඡ ක්‍රියා හෙළිදරව් නොකළේ ඒ නිසාය. ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් දූෂණය කළ බව නොලීවේ ඒ නිසාය.
එසේම "අල් ජසීරා" වැනි අන්තර්ජාතික ප්‍රවෘත්ති ආයතන තලේබාන්වරුන්ගේ අමානුෂික ක්‍රියා ගැන වචනයක් හෝ කතා නොකරන්නේද ඒ නිසාය. ඒත් මේ දෙපැත්තම තිබිය යුතුය. නොඑසේ නම් එක් පාර්ශ්වයක ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැඳෙන්නේය.

මෙහි රට කරවන ඇත්තන් සිතාගෙන සිටින්නේ සමස්ත ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයම තමන්ගේ හොඳ ලිවිය යුතු බවය. එසේ නොවන්නේ නම් ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන මර්දනය කිරීමට ඔවුන් දෙවරක් හිතන්නේ නැත. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර දී ඇති අදහස් ප්‍රකාශනයේ නිදහස ඔවුන්ට අදාළ වන්නේ නැත. ඉතාලි දාර්ශනිකයකු වූ නිකොලොයි මැකියාවෙලී "කුමාරයා" කෘතියේ සඳහන් කර ඇති ආකාරයට මේ සියල්ල කරන්නේ ලබාගත් බලය රැකගන්නටය.
ලසන්ත වික්‍රමතුංගලා වැනි ජාතියේ අදීන පත්තරකාරයන් ඔවුන්ගේ ගමනට බාධාවකි. දූෂණයට, වංචාවට බාධාවකි. ජනතාව, ජනමාධ්‍ය මර්දනයට එරෙහිව නැඟී සිටිය යුත්තේ ඒ නිසාය. ලසන්ත වික්‍රමතුංග මරා දමා අවුරුදු පහකට පසුව කළ යුත්තේ තවදුරටත් පාර අයිනට වී ඔහුගේ මරණය වෙනුවෙන් දුක් කඳුළු සැලීම නොව රටේ හෙට දවස වෙනුවෙන් ඔහු ගිය පාරේ ඉදිරියට යෑමය.
තනිව සටන් කරන මිනිසුන් මරා දැමිය හැකි වුවද සාමූහික සටන් පරාජය කළ නොහැකි බව ඉතිහාසය විසින් ඔප්පු කරනු ලැබ තිබේ.

ප්අඉසප් -

No comments

Powered by Blogger.