Header Ads

මරණය පෙනි පෙනී සේවයට කැපවූවෙකුගේ ධෛර්යයේ සංකේතය ටයිටැනික් වයලීනය

 ටයිටැනික් නැව ගිලෙමින් තිබූ මොහොතේ වාදනය කරමින්  තිබූ හාට්ලි මහතාගේ වයලීනය පසුගිය  ඔක්තෝබර්  18 වෙනිදා පවුම් 11,85,000කට වෙන්දේසියේ අලෙවි විය. බිහිසුණු අනතුරක් හමුවේ මරණය පෙනි පෙනී, අනලස්ව ඊට මුහුණ දී අවසන් මොහොත  දක්වා තම සේවාව ඉටු කළ මිනිසෙකුගේ ධෛර්යයේ  සංකේතය ලෙස ඒ ඉපැරණි වයලීනය වෙන්දේසියේදී එබඳු විශාල වටිනාකමක් හිමිකර ගත්තේය.

ගිලෙමින් තිබූ නැවෙහි මහා කලබගෑනිය අස්සේ “මහත්වරුණි ඔබ සැමට ආයුබෝවන්” යයි යමකු පවසනු  පැහැදිලිව ඇසුනි. ඒ අවසන් වදන් කිහිපයත්  සමග වොලස්  හාට්ලි බඳ පටියෙහි   රඳවාගත් ඔහුගේ ආදරණීය  සිහිවටනය වයලීනයත් සමගම ගැඹුරු මුහුදේ ගිලී නොපෙනී ගියේය.  එය කොතෙක් දුරට  සත්‍යදැයි නොදන්නා මුත් ජනප්‍රවාදයේ සඳහන් අන්දමට ටයිටැනික් නැව ඒ හිමිදිරි උදෑසනේ උතුරු අත්ලන්තික් සාගරයේ සීතල ගැඹුරු දියේ  ගිලෙමින්  තිබූ අවසන්   හෝරාවේ, බියෙන් ඇළලී  ගොස් නොසන්සුන්ව සිටි මගීන් සන්සුන් කරනු වස් හාට්ලි  විසින් “නියර් මයි  ගෝඩ් ටු දී”  (Nearer my god to thee) නම් ගීතය වාදනය කළේය.
1997 දී ජේම්ස් කැමරෝන් විසින් නිෂ්පාදිත “ටයිටැනික්” චිත්‍රපටයේ ඒ මොහොත ප්‍රේක්ෂක සිත් සතන්හි තදින් කාවැදුනු දර්ශනයක් වීම හේතුවෙන් එබඳු වීරත්වයක් හාට්ලි   කෙරෙහි ආරෝපනය වීද, නැතහොත් සත්‍ය ලෙසම එය එසේ වීදැයි පැහැදිලිව කිව නොහැක.  33 වියැති හාට්ලි  හා ඔහුගේ  සංගීත  කණ්ඩායම ගැන කියැවෙන  “ද බෑන්ඩ් දැට් ප්‍ලේඩ් ඔන්” නම් කෘතියේ කර්තෘ ස්ටීව් ටර්නර් මෙසේ පවසයි. “වයලීනය වොලන්ට සිය පෙම්වතියගෙන් හිමිවූවක් බවත්, දිවියේ අවසන් මොහොත දක්වාම  අන්‍යයන් වෙනුවෙන් වාදනය කළ ඒ වයලීනය නිර්භීතකම, ප්‍රේමය මෙන්ම ධර්මය ගැනද පණිවුඩයක් ලබා දෙනවා. එතරම් බැරෑරුම් මොහොතේ පවා නිකලස්  එය අතහැර නොදමා වැළඳගෙන සිටියේ එය තම ආදරවන්තියගෙන් ලැබුණු තෑග්ගක් නිසා විය හැකියි. ටයිටැනික් අනතුර වැනි ශෝකාන්තයකදී සිදුවී යැයි ඔබ විශ්වාස කිරීමට කැමති සියල්ලම එහි ගැබ්වී තිබෙනවා. ඊටත් වඩා වටිනා සිහිවටනයක් තවත් කොයින්ද?

1912 ටයිටැනික්  නැව ගිලී විනාශ වීමේදී හාට්ලි ඇතුළු ඔහුගේ වාදක කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සත්දෙනම මිය ගිය අතර ඊට සති දෙකකට පසු ඔවුන්ගේ මළ සිරුරු සොයා ගැනිනි.වොලස් හාට්ලි ලැංකැෂයර්හි සාමාන්‍ය පවුලක උපන්නෙකි. ඔහුගේ පියා පල්ලියේ වාදක කණ්ඩායමේ ප්‍රධානියාය. එහෙත් හාට්ලි හා විවාහ ගිවිසගත් 32 හැවිරිදි මාරියා රොබින්සන්  ධනවත්, රෙදිපිළි නිෂ්පාදකයෙකුගේ දුවක වූවාය. 1910 දී ඇය විවාහ  ගිවිසගත්  දිනයේ සිහිවටනයක්  ලෙස තම ආදරවන්තයාට තෑගි දීම පිණිස මෙම වයලීනය පවුම් 40කට මිලට ගෙන තිබුණි.
Titanic-valaleen1අද වන විට එම මුදලෙහි වටිනාකම පවුම් 2630කි. ඇය එම  සිහිවටනයෙහි “අපගේ විවාහ ගිවිසගත් දිනයේ සිහිවටනයක් ලෙස වොලස්ට මාරියාගෙන්” යයි (For wallace on the occastion of our engagement from Maria) සඳහන් කොට තිබුණි.
ටයිටැනික් පුරාවස්තු පිළිබඳ පරීක්ෂණ කරන විද්වතුන්ට හාට්ලිගේ වයලීනයට කුමක් සිදුවීද යන්න අබිරහසක් විය. එවකට  පළ වී තිබූ පුවත්පත්වල සම්පූර්ණ ඇඳුම් කට්ටලයෙන් සැරසී බඳ පටියෙහි රඳවා ගෙන තිබූ  වයලීනයද සමග හාට්ලිගේ  සිරුර  හමු විනැයි පළවී   තිබුණ මුත් ඔහුගේ  පියා ඇල්බියන් හාට්ලි පුතුගේ සිරුර සමග බාරගත් බඩු භාණ්ඩ අතර වයලීනය නොවීය. එහි වූයේ ඔහුගේ ඇඳුම් කාසි කිහිපයක්, මුද්ද, පෑන, රිදී ගිනි පෙට්ටියක්, රනින් කළ සුරුට්ටු රඳවනයක්, දම්වැල සහිත ඔරලෝසුව, කොළරයේ පළඳින බොත්තම, කතුර හා ලිපි දෙකක් පමණි.
වොලස්ගේ හා සංගීත කණ්ඩායමේ තවත් දෙදෙනෙකුගේ සිරුරු ගොඩගෙන තිබුණේ සී. එස්. මැකේ බෙනට් නම් කිමිදුම් සමාගමක් විසිනි. ඒ කාලයේ සිටම  වයලීනය, මළ සිරුරු ගොඩගත් කිමිදුම්කරුවන්ගෙන්  අයෙකු විසින් රහසේ රැගෙන යන්නට ඇතැයි රාවයක් විය.
නොසිතූ පරිදි 2006 වසරේදී උතුරු යෝක්ෂයර්හි නිවසක උඩු මහ‍ලේ තිබි වයලීනය නැවත හමු වූ විට එහි අනන්‍යතාව පිළිබඳව  මහත් විවාදයක්  පැන නැගුනි.
ටයිටැනික් නැවෙන් සොයාගත් බඩු වෙන්දේසි කිරීමේ ප්‍රකට වෙන්දේසි සමාගමක් වූ හෙන්රි ඇල්ඩ්රිජ් සහ පුත්‍රයා සමාගම අවුරුදු 7 කට ආසන්න කාලයක් තිස්සේ කළ පරීක්ෂණවලින් පසුව එය වොලස් විසින් අවසන් මොහොතේ වාදනය කළ වයලීනය බව තහවුරු කරන ලදී.
වොලස් සමග වයලීනයද  කිමිදුම්කරුවන් විසින් සොයාගෙන  තිබුණද, ඔහුගේ මරණයෙන් කම්පාවට පත් ඔහුගේ පෙම්වතිය මාරියා බලධාරීන් වෙත ලිපියක් යවමින් වයලීනය ඇගේ ජීවිතයට කොතරම් සමීප සිහිවටනයක්දැයි පැහැදිලි කරමින් එය තමා වෙත ලැබෙන්නට සලස්වන්නැයි ඉල්ලීමක්  කොට තිබූ බැවින්, වයලීනය, රාජකාරිමය බඩු ලැයිස්තුවට ඇතුළත් නොකොට ඇය වෙත යවා තිබුණි.
වයලීනය තමා වෙත ලැබුණු  පසු ඒ පිළිබඳව  ස්තුති කොට ඇය විසින්  අදාළ බලධාරීන්ට යැවූ ලිපියේ   කටු සටහනක්  ඇගේ දින ‍පොතක සටහන්ව තිබුණේ මෙසේය. “මගේ මියගිය පෙම්වතාගේ  වයලීනය මා වෙත ලබා දීමට කටයුතු කළ සියලු දෙනාට මාගේ ස්තුතිය  පුද කළ බව පවසන්නේ නම් මම ඔබට බෙහෙවින්  කෘතඥ  වෙමි.  මා වෙනුවෙන් මේ කාර්යයට මැදිහත්ව ඔබ ඉටු කළ සේවය පෞද්ගලිකව අගය කිරීමටද මා මෙය අවස්ථාවක් කර ගතිමි.”

කිසිදා විවාහ නොවූ මාරියා 1939 දී මිය යන තුරුම වයලීනය තමාගේ වටිනාම සිහිවටනය සේ ළඟ තබා ගත්තාය. ඇගේ මරණින් පසු, සොයුරිය මාග්‍රට්  රොබින්සන් අතට පත් වූ  එය ඇය විසින් නැගෙනහිර යෝක්ෂයරයේ බ්‍රිඩ්ලිටෙන්හි ගැලවීමේ හමුදාවට පරිත්‍යාග කළාය. එහි සංගීත ගුරුවරියක විසින් කලක් එය වාදනය කොට ඊව් නම් ඇගේ සිසුවියකට තෑගි කළාය. 1980 දී ඊව් මියයන තුරුම වයලීනය ඇය බාරයේ තිබුණි. ඇගේ මරණින් පසු කථිකාචාර්යවරයෙකු වූ ඇගේ පුතා විසින් වයලීනය තමාගේ බාරයට ගත්තේය. එය ඔහු කුඩා කල වාදනය කළ සංගීත භාණ්ඩය ලෙස මිස එයට ඉන් එහා අවධානයක් යොමු නොකළ ඔහු 2006 දී පමණ වයලීනය ගැන උනන්දුවෙන් සොයා බැලීමට පටන් ගත්තේය. පෞරාණික දේ පිළිබඳ විශේෂඥයිනට එය පෙන්වීමට කටයුතු කළද ඊට පෙරම ඔහු වයලීනය, ටයිටැනික් නැව හා ඇති සම්බන්ධය අනුමාන කළේය.
ඔහු වයලීනයෙන් මූල්‍ය වාසි බලා‍පොරොත්තු නොවීය. එසේ වූවා නම් ඒ කාලයේදීම ඔහුට එය ඉතා ඉහළ මිලකට විකුණාගත හැකිව තිබුණි. එයට මිලක් ලැබුණ අවස්ථාවක් විනි නම්  ඔහු බලා‍පොරොත්තු වූයේ ඉන් වැඩි කොටසක් සමාජ සේවා කටයුතු වෙනුවෙන් වෙන් කිරීමට යයි සඳහන් වේ.
කෙසේ වෙතත් පසුගිය මැයි මස සිට ඇමරිකාවේ ස්ථාන දෙකක ප්‍රදර්ශනයට තබා තිබූ වයලීනය එහිදී 3,15,000ක් දෙනා නැරඹූ අතර පසුව උතුරු අයර්ලන්තයේ “ටයිටැනික්  බෙල්ෆාස්ට්” හි ප්‍රදර්ශනය කොට තිබුණි.
පසුගිය ඔක් 18 වනදා වයලීනය වෙන්දේසි වූ දිනට මාස 2කට පෙර කථිකාචාර්යවරයා මියගොස් සිටි අතර වයලීනය ඔහුගේ පවු‍ලේ උදවියට හිමි වී තිබුණි.
වෙන්දේසිය පටන් ගැනීමට තීරණය කොට තිබුණේ වයලීනයට අවම ලංසුව පවුම් ලක්ෂ 2ක් 3ක් අතර ගණනක් තබාය. එය අඩු ගණනේ පවුම් ලක්ෂ 4කටවත් අලෙවි වේ යැයි වෙන්දේසිකරුවෝ  බලා‍පොරොත්තු  වූහ. වෙන්දේසි ශාලාව මිනිසුන්  200කටත් වැඩි පිරිසකගෙන් පිරීතිරීගොස් තිබුණු අතර සියල්ලනටම ඇවැසි වූයේ නොමියන  ඉතිහාසයක ඉතා කුඩා  කොටසක හෝ හිමිකරුවකු වීමටය.
විනාඩි ගණනක්    ඇතුළත ලංසු තැබිම පවුම් 2,20,000 ඉක්මවා ගියේය. එය මතෛක් ටයිටැනික්  කෞතුක භාණ්ඩයක් අලෙවි වූ ඉහළම මිලද ඉක්මවා යාමකි. දුරකථනය හරහා ලංසු තැබූ සතර දෙනෙකු  අතර වූ තියුණු තරගයක් හේතුවෙන් ලංසුව පවුම් 3,50,000 ඉක්මවා ගියේ රැස්ව සිටියවුන් මවිත කරවමිනි. ලංසුව පවුම් 7,50,000 වනවිට ශාලාව පුරා ගැඹුරු නිහඬතාවයක් පැතිර ගියේය. අවසානයේ දෙදෙනෙකු අතර වූ තියුණු තරගයකින් පසු වයලීනය පවුම් ලක්ෂ 9කට අලෙවි විය. එයට වෙන්දේසිකරුවන්ගේ කොමිස් මුදල හා වැට් බදු එකතු වූ විට එහි මිල පවුම් 11,85,000ක්  විය.
ඒ සා විශාල මුදලකට  වයලීනය අලෙවි වීමට ගතවී  තිබූ  මුළු කාලය විනාඩි 10කි. වයලීනයේ නව හිමිකරුවා බ්‍රිතාන්‍ය  ජාතික ධනවතකු බවත්, ඔහු ටයිටැනික්  පුරාවස්තු පිළිබඳ මනා දැනුමක් හා රුචිකත්වයක් ඇත්තකු බවත්, මතු අනාගතයේදී ඔහු විසින් මේ වයලීනය මහජන ප්‍රදර්ශනයට තැබිමට බෙහෙවින් ඉඩකඩ ඇති බවත් වෙන්දේසිකරු වූ “විල්ට්ෂයර් හා ඇන්ඩෲ ඇල්ඩ්රිජ්  පවසා තිබුණි.

සීතා අබේසේකර

No comments

Powered by Blogger.