Header Ads

ඒ බූරු පොළ හැර තවත් බූරු පොළවල් තිබේද?

එසේය.... ගණනින්ම හයකි

මීට මාස දෙක තුනකට පමණ ඉහත කැසිනෝ ක්‍රීඩාව සමාජගත කරන්නට යන්නේ යෑයි කියමින් රටේ මහා සංඝරත්නය ඇතුළු විපක්‍ෂ දේශපාලන කණ්‌ඩායම් රජයට ඇඟිලි දිගු කරමින් විශාල හඬක්‌ නගන්නට වූයේ රටට මහා විනාශයක්‌ සිදු වන බව පෙන්වා දෙමිනි.

එහිදී රජයේ පාර්ශ්වයෙන් සිදු කළ කරුණු දැක්‌වීම්ද බොහෝ විය. කෙසේ වෙතත් අවසානයේ මහා සංඝරත්නය ඇතුළු දේශපාලන කණ්‌ඩායම් වෙතින් නැගුණු විරෝධය හමුවේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කැසිනෝ පනත අත්හිටුවීමට ආණ්‌ඩුව ක්‍රියා කළේය.

රජයේ එම පියවරත් සමග කැසිනෝ පිළිබඳ වූ විරෝධතාවේ උණුසුමද කෙමෙන් මැකී ගියේය. එහෙත් තත්ත්වය එසේ තිබියදී මීට සති කිහිපයකට ඉහත කොළඹ පුරහල ප්‍රදේශයේ සූදු පොළක සිද්ධියක්‌ ගෙන "දිවයින ඉරිදා සංග්‍රහය" කළ හෙළදරව්වක්‌ සමග විපක්‍ෂ දේශපාලන කණ්‌ඩායම් වෙත රජය දෙස බලා හඬ නගන්නට යළිත් මාතෘකාවක්‌ ලැබුණේ අපද නොසිතූ පරිදිය.

අවසානයේ එකී කතාව රටේ ව්‍යවස්‌ථාදායකය වන පාර්ලිමේන්තුවේ පවා රැව් දෙන තරමට දුරදිග ගියේය. ඒ හමුවේ සිදු වූයේ කුමක්‌ දැයි සිතා ගත නොහැකිව පොලිසියද අන්දුන් කුන්දුන්ව සිටියේය. එසේ වන අතරේ මෙරට එක්‌තරා ව්‍යාපාරික කුටුම්බයක්‌ පිළිබඳ අනාවරණය නොවිය යුතු පැතිකඩක්‌ද මාධ්‍ය තුළින් ජනතාව අතරට ඇදී යන්නට විය.

මේ සියල්ල හමුවේ අපි සිදුවන දේ පිළිබඳ උපේක්‍ෂාවෙන් බලා සිටියෙමු. ඒ අතරේ "දිවයින" ඉලක්‌ක කර එල්ල වූ "බවුන්සර්" පන්දු ගණනාවක්‌ද විය. එහෙත් ඇතැමුන් එසේ "බවුන්සර්" එවද්දී ඒවාටද නොබියව මුහුණ දෙමින් විකට්‌ටුව රැක ගන්නට අපට හැකි විය. අප එසේ ක්‍රියාත්මක වෙද්දී කෙරුණු හෙළිදරව්වද සමග සිදුවූ පෙරළි රැසක්‌ම තිබිණි.

කොළඹ පුරහල සූදු පොළ පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හිමිකාරිය වන ජානකී නෙත්තිකුමාරි නමැත්තියක මෙම සිද්ධිය හමුවේ තමන්ට බරපතළ ආකාරයේ අපහාසයක්‌ සිදු වූවේ යෑයි ප්‍රකාශ කරමින් එක්‌තරා පුවත්පතකට එරෙහිව මිලියන දෙසියයක්‌ වන්දි ඉල්ලා එන්තරාවාසියක්‌ යොමු කර තිබීම මේ වන විට එසේ සිදු වූ පෙරළි අතරින් කරළියේ තිබෙන්නකි.

කෙසේ වෙතත් එසේ සිදුවූ සියලු පෙරළි සමග කාලය ගෙවෙද්දී කොළඹ පුරහල සූදු පොළේ කතාවද යට යන්නට විය. එහෙත් මාධ්‍යයක්‌ ලෙස පැවරී ඇති සාමජ වගකීම හමුවේ කුමක්‌ යට ගියද අපට යටවී සිටින්නට නොහැකි බැවින් පොලිස්‌ වැටලීම් හමුවේ මේ වන විට මුළුමනින්ම නතර වී තිබෙන පුරහල සූදු පොළ වැනි තවත් සූදු පොළවල් තිබේදැයි විමර්ශනයක යෙදෙමින් ඉකුත් සතියේ දිනක අපි කොළඹ නගරයේ සංචාරයක යෙදුනෙමු. එකී ගමනට අපූරු මග පෙන්වන්නකුද අපට එක්‌ව සිටියේය.

අපේ ගමන කොළඹ කොටුවෙන් ඇරඹී බම්බලපිටිය දක්‌වාම විහිදී ගියේය. ඒ ගමනේදී දුටු දේ විශ්මිතය. අනේ පොලිසියේ මහත්වරුනි, තවත් සූදු පිටි හයක්‌ම කොළඹ නගරය හා අවට තිබෙන්නේය.

ඒ අතරින් ඇතැම් ඒවාහි සුරාව සූදුව පමණක්‌ නොව සැපක්‌ ගන්නේ නම් තව තව දේද ඇත්තේය. එහෙත් ඒවා දකින කල්හි අපට ගැටලුවක්‌ වූයේ එක්‌ සූදු පිටියක්‌ දැක ඒ වෙත කඩා පැන අකුරයට නීතිය ක්‍රියාත්මක කළ පොලිසියට මෙකී සූදු පිටි නොපෙනුනේ ඇයිදැයි සිතීමේදීය.

අද දවසේ මේවා වටලන්නේ නම් ක්‍රියාත්මක වීම සඳහා ඒ ඒ සිමාවන්හි ඇති පොලිසිවලට අමතරව පොලිස්‌ මූලස්‌ථානයේ ක්‍රියාත්මක විශේෂ ඒකක කිහිපයක්‌ම වේ. ඒවා භාරව සිටින උසස්‌ පොලිස්‌ නිලධාරින්ද රාශියකි. එහෙත් මෙකී සූදු පිටි වටලන්නට එකී කිසිදු පොලිස්‌ ඒකකයක්‌ ක්‍රියාත්මක නොවන බව වැඩේ කෙරෙන හැටි බැලූ විගස වැටහී ගිය කරුණකි.

එහෙයින් අපේ මග පෙන්වන්නාගේ උපදෙස්‌ මත මේ එක්‌ තැනකදී මුලින්ම හමුවූ වැදගතකු යෑයි සිතෙන සූදු අරටුවක්‌ බඳු මිනිසකු සමග නැති හිතවත්කමක්‌ මවා ගනිමින් කතා බහක යෙදෙන්නට අපි කටයුතු කළෙමු. ඒ අප කවුරුන්දැයි යන සත්‍යය වසන් කරමිනි.

ඒ වන විට අප සිටියේ කොළඹ ගොඩනැගිල්ලක තට්‌ටු දෙකක්‌ නැග උඩට ගොසිනි. මෙකී සූදු පිටි අරබයා පොලිසියේ කෙරුවාව "පිනා" න්‍යායේ තිබෙන්නක්‌ බව අපට වැටහී සූදු අරටුව බඳු මිනිසා සමග කළ ඒ කතාබහත් සමගින්ය. සැරට දෙකක්‌ දාගැනීමෙන්දොඅ බමන මතින් සිටි "සූදු අරටුව" කිසිදු බියක්‌ සැකක්‌අ නොමැතිව විරාම නොතබාම ඒ කතාව අපට කියන්නට වූයේ මෙසේය.

"මහත්තයෝ.. නෑ.. නෑ.. සොරි.. පුතේ.. මේවට කවදාවත් පොලිසිය එන්නේ නැහැ කොල්ලෝ.. මොකද පොලිසියට රෙද්දක්‌ ඇඳගෙන ඇවිත් කවදාවත් මේක වටලන්න බැහැ.

පොලිසිය ඒ තරමටම මේ තැන්වලින් ජරාව (අල්ලස්‌) ගන්නවා. අද කොළඹ එක සූදු පොළකින් මාසයකට පොලිසියේ ලොක්‌කගේ ඉඳන් අනිත් හැමෝටම ගාණ යවනවා. මාසෙකට සැරයක්‌ වරද්දන්නේ නැතුව ගෝලයෙක්‌ අතේ පැකට්‌ එක යවන්නේ සූදුව කරන ඕනර්මයි. මේවා ඉතින් කාලෙක ඉඳන් තියෙන තැන්නේ. සමහර වෙලාවට පොලිසියම මෙහෙ එනවා ගාණ ගන්නවා ටික වෙලාවකින් පොට්‌ එකේ බොස්‌ටත් සැලියුට්‌ එකක්‌ ගහලා යන්න යනවා.

ඉතින් කොහොමද පොලිසිය රෙදි ඇඳගෙන මේවා අල්ලන්න එන්නේ. සමහර වෙලාවට ට්‍රැපික්‌ බයික්‌ එකකම ඇවිල්ලයි ගාණ අරගෙන යන්නේ. හේ සිය කතාවට විරාමයක්‌ තැබීය. ඒ අතරේ එකී සූදු පොළ තිබූ ගොඩනැගිල්ලේ සිටි අපි හිමින් සීරුවේ මාරු වුණෙමු. එසේ පහළට පැමිණ යළි ඒ දෙස හැරී බැලුවේ පොලිසියේ මහත්වරුන්ගේ දැන ගැනීම සඳහා ඒ ඉසව්ව කුමක්‌දැයි අවබෝධයක්‌ ගෙන සටහනක්‌ කිරීමේ අදහසිනි.

එහෙත් අපේ පොලිසියේ බබාලාට සියල්ල වටහා ගැනීමට ගොඩනැගිල්ලේ තොරතුරු අවශ්‍ය නොවන්නේය. එහෙයින් එකී තැන අප "අසූ නවය" (89) කියා සංෙ€තාත්මකව සටහන් කරන්නේය. එසේ කරනුයේ ජරාවට හෙවත් අල්ලසට බර නැති පොලිසියේ මහත්තයකු ඒ අහලපහල පොලිසියක හෝ පොලිස්‌ මූලස්‌ථානයේ සිටී නම් ගිහින් බලන්නට පහසු වනු පිණිසය.

ඉන්පසු අපේ ගමනාන්තය වූයේ කොළඹ නගරයේ තවත් බිල්ඩිමක දෙවන තට්‌ටුවේ පවත්වාගෙන යන තරු තුනක්‌ සහිත ස්‌ථානයකි. මග පෙන්වන්නා නිසා කිසිදු බාධාවකින් තොරව ඒ වෙතද ගිය අපි එහි වන දේද බලා සිටියෙමු. කිසිදු වෙනසක්‌ නැත. මුදල් වැසි වසින්නේය. සෙල්ලම ජයට කෙරෙන්නේය. පොලිසියේ කිසිවෙක්‌ ඒ වග නොදන්නේය. ඒක රටේ කරුමයද අපේ කරුමයද යන වග අපටම නොවැටහෙන්නේය.

මඳ වේලාවක්‌ එහි ගත කර ඊළඟට අප ගියේ රජුන්ගේ උයන ප්‍රදේශයේ පිහිටි සමරසිංහ අයියාගේ ගෙදර තුන්වැනි තට්‌ටුවටය. 24 පැයේම µන් එක ඇති එතැන සිදුවන සියල්ලද දැසින් දැක අප යොමු වුණේ ගාලු පාර දෙසටය.

එසේ ගිය අප ගාලු පාර දිගේ බම්බලපිටියටම ගියෙමු. එහිදී රතු තරුවක්‌ මැද කිසිදු බාධාවකින් තොරව කොළ කුට්‌ටම පාවෙන අයුරු අපේ මග පෙන්වන්නා අපට පෙන්වා දුන්නේ මැජික්‌ පෙන්වන්නාක්‌ ලෙසින්ය. අපි ඒ දෙසද විමතියෙන් බලා සිටියෙමු.

ඒ විමතියද තුරුළු කරගෙන ගාලුපාර දිගේ යළි පැමිණි අප ඊළඟට ගියේ කොල්ලුපිටියේ අමන්දා නංගි බලන්නටය. දෙයියනේ කියන්නට වචන මදිය. ඒකිගෙත් ගන්නට දෙයක්‌ ඇත්තේම නැත. සූදු අන්තුවන් පිරිසක්‌ සල්ලි ගොඩක්‌ මැදි කරගෙන අමන්දා නංගීව බදාගෙන සිටි අයුරු සිහි වෙන විට මේ දැනුදු ඇඟේ මවිල් කෙලින් වන්නේය.

එය දැක අපේ පොලිසියේ මහත්වරුන්ගේ නොහැකියාව පිළිබඳ උපන් කනගාටුවෙන් යුතුව එතැනින් අප ගමන් කළේ කොළඹ කොටුවේ පළමුවන හරස්‌වීදිය දෙසටය. එහිද සුපිරි සූදු පොළකි.

මේ සෑම සූදු පිටයකම කොළ කුට්‌ටමේ ක්‍රීඩාව සේම ක්‍රියාත්මක වෙමින් තිබූ තවත් සූදු ක්‍රීඩා රැසක්‌ම විය. රටේ පොලිසියක්‌ තිබියදි නගරය මැද්දේ සූදු කෙළින්නන් මෙසේ රජවී සිටිනුයේ කෙසේද? සිතට නැගෙන්නේ මහා ගැටලුවකි.

එකී ගැටලුවද සමග පළමුවන හරස්‌වීදියේ තිබූ පොට්‌ එකේ අයකු සමගද අපි කතාබහ කළෙමු. "මහත්තයෝ දවසට ලක්‍ෂ දෙකකට වැඩි මේවා කරන ලොකු පොරවල් ලාභ ගන්නවා.. ඒත් ආණ්‌ඩුවට ලැබෙන දෙයක්‌ නැහැ.. ඕකයි ඇත්තම කතාව.."

සත්‍ය එය නම් මේවා සියල්ල සිදු කෙරෙනුයේ කිසිදු බලපත්‍රයක්‌ රහිතව විය යුතුය. එසේ කිසිදු නෛතික අවසරයක්‌ නොමැතිව කොළඹ නගරය මැද්දේ රටේ නීතියට කොකම්පාමින් මෙසේ සූදු කෙළවන්නට යමෙකුට හැකියාවක්‌ තිබේ නම් අපට අවසන් වශයෙන්ද විමසන්නට සිදු වන්නේ අපේ පොලිසිය මක්‌කටද කියාය.

වත්මන් පොලිස්‌පති එන්. කේ. ඉලංගකොන් මහතා පොලිසිය යහපත් තැනක්‌ කිරීමට කටයුතු කරමින් සිටිනුයේ බොහෝ වෙහෙසක්‌ ගනිමිනි. පොලිසිය ජනතාවාදී ආයතනයක්‌ කරන්නේ නම් එය සිදු කිරීමට හැකි පොලිස්‌ නිලධාරියා වන්නේ වත්මන් පොලිස්‌පතිවරයාම බවද නොරහසකි. අප එසේ කියන්නේ පොලිසිය පිළිබඳ අප හොඳින්ම දන්නා බැවිනි.

එහෙත් පොලිස්‌පතිවරයා එසේ පොලිසිය යහපත් තැනක්‌ කිරීමට වෙහෙසෙද්දී පොලිසියට රිංගාගෙන සිටින ඇතැම් අම්බරුවන් කොළඹ නගරය සූදු රජවරුන්ගේ රජදහනක්‌ කර ගැනීමට ඉඩදී "පිනා" ලා ලෙස කටයුතු කරයි නම් උන් සුදුසු වන්නේ පොලිසියට නොව කොස්‌ ඉදෙන කාලයට ගස්‌ යට වැටෙන වැළගෙඩිවල ඇට ඇහිඳින්නට බවද කිව යුතු වේ.

සමන් ගමගේ divana -

No comments

Powered by Blogger.