Header Ads

කුඩු මිතුරු හවුල...

පාකිස්තානයෙන් මෙරටට ආ කන්ටේනරයක 'කුඩු' තිබී හමුවීමත්, ඊට අගමැතිවරයා පැටලීමත් නිසා හටගත් ආන්දෝලනය තවමත් නිමාවී නැත. 'චීවරධාරීන්' කියමින් අගමැති සංඝයා වහන්සේට අපහාස කළ බවට චෝදනා කරමින් භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අගමැති කාර්යාලයට කඩා පැනීම නිසා ඉකුත් සතියේ මහත් කලබැගෑනියක් පැවැතිණි.

මේ ජරමරය අස්සේ පාකිස්තානයෙන් උපත් පාලන එන්නත් 4,000ක් ගෙන්වා රේගුවෙන් මිදී ගුවන්තොටුපොළෙන් පිටතට එද්දී, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හෙවත් නාකොටික් නිලධාරීන්ට හසුවී ඇත.
මේ උපත් පාලන එන්නත් කුප්පි තොගය හසුවී තිබෙන්නේ පාකිස්තාන ජාතිකයා සතුව මත්කුඩු ඇතැයි යන සැකය මත ඔහුගේ බෑගය පරීක්ෂා කර බැලීමේදීය. පසුගිය වසරේ ජනවාරියේ සිට අප්‍රේල් දක්වා කාලයේදී පමණක් කටුනායක රේගුව විසින් මෙවැනි උපත් පාලන එන්නත් කුප්පි තිස්අට දහසක් අල්ලා ගෙන තිබේ. විශේෂත්වය වන්නේ මේ එන්නත් රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති සියලු දෙනා පාකිස්තානුවන් වීමය. නීති විරෝධීව එතනෝල් මෙරටට ආනයනය කිරීමේ ජාවාරම ජයටම සිදුවන්නකි. එහි එක් කොනකත් පාකිස්තානු ජාතිකයෝ සිටිති.

කලෙකට පෙර පාකිස්තාන් - ශ්‍රී ලංකා හවුල් සිනමාපට නිෂ්පාදනය විය. මේ හවුල් නිෂ්පාදනවලට දෙරටේ නළු - නිළියන් හා කාර්මික ශිල්පීන් සම්බන්ධ වූ අතර වැඩේ අල්ලලා ගියේය. යළිත් වරක් පාකිස්තාන් - ශ්‍රී ලංකා හවුලක් නිර්මාණය වී ඇත. ඒ සිනමා ලෝකයේ නොව පාතාල ලෝකයේය. දෙරටේ පුද්ගලයන් මෙදා කරට අත දමාගෙන සිටින්නේ චිත්‍රපට හැදීමට නොව කුඩු ඇතුළු හොර බඩු බෙදා හැරීමටය.

තලෙයිබාන් ත්‍රස්තවාදයෙන් මෙන්ම වාර්ගික හා ආගමික වෛරයෙන් ඔද්දල් වී ඇති පාකිස්තානය මිනිසුන්ට ගෞරවනීය මරණයක් හෝ අත්කර නොදෙන රටක් බවට පත්වෙමින් තිබේ. එරට අද හොර ජාවාරම්කාරයන්ගේ පාරාදීසයකි. කුඩු බෙදා හැරීමේ මධ්‍යස්ථානයකි. කුණු තියෙන තැනටම කුණු එකතුවන්නා සේ පාකිස්තානයේ ජාවාරම්කාරයන් සමඟ ලංකාවේ ජාවාරම්කාරයෝ එකතු වී සිටිති. මේ ගජ මිතුරු සන්ධානය නම් කුඩු නිසා ඇති වූවකි. දෙරටේ දේශපාලනඥයන් හා නිලධාරීන්ද ජාඩියට - මූඩිය මෙනි. ඔවුන්ගේ පිහිට නොතිබෙන්නට මේ ජාවාරම්කරුවන්ට මෙතරම් සෙල්ලම් දැමීමට ඉඩ ලැබෙන්නේ නැත. එය සක්සුදක් සේ පැහැදිලිය.
කාරණය අනෙකකි.

කුඩු ඇතුළු හොර බඩු රටට ගෙන ඒමේ ප්‍රමුඛයන් වන පාකිස්තානුවන්ට වැට බැඳීමට තවමත් නොහැකි වීමය. තානාපති සබඳතා පාවිච්චි කරමින් මේ හොර ජාවාරම් නතර කිරීමට බලධාරීන් කඩිනම් පියවර ගත යුත්තේ දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පලුදු නොවන ආකාරයටය. විවිධ ප්‍රශ්න මුල් කර ගනිමින් පුද්ගලානුබද්ධ විරෝධතා මෙහෙයවන ඊනියා සංවිධාන වහාම කළ යුත්තේ දෙරටේ ජාවාරම්කාරයන් එකතු වී රටට කරන මේ විනාශය වළක්වා ගැනීමට කටයුතු යෙදීමය.
උතුරේ යුද්ධයට පාකිස්තානයෙන් නොමසුරුව ආධාර ලැබිණි. යුද ජයග්‍රහණයට ඒ ආධාර මහෝපකාරී වුවද ජන ඝාතන යුද්ධයෙන් සිදුවූ විනාශයට වැඩි විනාශයක් කුඩු හා බාල ඔෟෂධ ඇතුළු මේ ජාවාරම් නිසා සිදුවන බව පැහැදිලිය. ඊනියා දේශප්‍රේමීන් පෙරමුණ ගත යුත්තේ ඒ විනාශය වැළැක්වීමට මිස මවාගත් සතුරන්ට එරෙහිව නොවේ.

mawbima -

No comments

Powered by Blogger.