Header Ads

ඔබේ කොණ්ඩයට, ඔබේ නියපොතුවලට ඔබේ මුහුණට අති විශාල වියදමක් දරන බවනේ කියන්නේ?

රටේ බොහෝ මාතෘකා ආවේය. ගියේය. එහෙත් විමල් වීරවංශ අමාත්‍යවරයා ඒ බොහෝ තැන්වලදී මුනිවත රකිමින් සිටි බවක් පෙනුණි. ඒ ඇයි? මේ ඒ සම්බන්ධයෙන් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.


 ප‍්‍රශ්නය: ඔබේ කැබිනට් සගයකුවන ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ ප‍්‍රකාශ කළේ ඇමැති වැටුපෙන් ජීවත්වෙන්න අමාරුයි කියලයි, ඔබටත් එහෙමද?
 පිළිතුර: එක එක්කෙනාගේ වියදමේ ස්වරූපය අනුවනේ ආදායම ප‍්‍රමාණවත්ද නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ. පොඩි මුදලක් වුණත් ඇති ඊට ගැලපෙන ජීවන රටාවක් තියෙන කෙනෙකුට. ලොකු මුදලකුත් මදි එයට ඔරොත්තු නොදෙන ජීවන රටාවක් තියෙන කෙනෙකුට. සල්ලි කොච්චර හම්බ කළත් ඒක මදියි කියලා සමහරුන්ට දැනේනනේ ඒකයි. මගේ තියෙන ජීවන රටාවට අනුව මේ ලැබෙන වැටුපෙන් ජීවත්වෙන්න පුළුවන්. අමාරුවෙන් තමයි. ඒත් ප‍්‍රමාණවත්.


 ප‍්‍රශ්නය: එහෙම ඇතිවෙන්නේ කොහොමද? ඔබේ කොණ්ඩයට, ඔබේ නියපොතුවලට ඔබේ මුහුණට අති විශාල වියදමක් දරන බවනේ කියන්නේ?
 පිළිතුර: කවුද එහෙම කියන්නේ  ඕනෑ කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මම මගේ කොණ්ඩයට විශේෂ දෙයක් කරනවද කියලා. මගේ නියපොතුවලට, මුහුණට මොනවාහරි විශේෂ දෙයක් කරලා තියෙනවද කියලා ඇවිල්ලා බලන්න පුළුවන්.  ඕවා දේශපාලන අවලාද? අපට ගහන්න දෙයක් නැතිවුණාම ඔය වගේ දේවල් අල්ලාගෙන ගහනවා. එක කාලයක් කිව්වා මම රස්මි රහමන් ගාව තමයි කොණ්ඩය කපන්නේ කියලා. මම ඔහුව සජීවීව දැකලත් නෑ. ඉතින් ඔය එක එක ඒවා කියනවා.  ඕක ඔය දේශපාලනයේ තිබෙන එක ලක්ෂණයක්.  ඕවා ඉතින් උපේක්ෂාවෙන් දරාගන්නවා.


 ප‍්‍රශ්නය: පහුගිය කාලයේ ජාතික වශයෙන් තීරණාත්මක මෙන්ම වැදගත් ප‍්‍රශ්න ගණනාවක් මතු වුණත් ඔබ නිහඬයි. ඒත් කාටුන්වල නම් තිබුණේ දුරකථන බිල වැඩි වුණාම ඔබ ඒකට විරුද්ධව කතා කරන බවයි?
 පිළිතුර: පත්තරවල කාටුන් ශිල්පීන්ටත් මාව නැතිවම බෑනේ. මම මොනවත් නොකීවත් මම කිව්වා කියලා හිතාගෙන හරි මොනවා හරි අඳිනවා. කාටුන් ශිල්පියත් ඔය හැම දේශපාලනඥයාවම අඳින්නේ නෑ. මේ සමාජයේ අවධානයට ලක්වෙච්ච සුළු ප‍්‍රමාණයක් පමණයි ඔවුන්ගේ පෑනට හසුවෙන්නේ. හැමදාම පත්තර ගත්තොත් තුන හතරක කාටුන්වල මම ඉන්නවා. දුරකතන බිල වැඩිවීම ගැන මම නම් මුකුත් කිව්වේ නෑ.


 ප‍්‍රශ්නය: පසුගිය කාලයේ මතුවූ ජාතික වශයෙන් වැදගත් දැවෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඔබ පුදුමාකාර නිහඬ බවක් පළ කළේ. ඒ නිහඬ බවට හේතුවක් තියෙනවද?
 පිළිතුර : ඒ ඔබ කියන විදියේ පුදුමාකාර නිහඬ බවක් නම් මගේ ළඟ නෑ. ඒ වගේම රටේ දැවෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් කතා නොකර ඉඳලත් නෑ. ඒ වගේම දැවෙන ප‍්‍රශ්න කියලා නොදැවෙන ප‍්‍රශ්න ගැන මම කතා කරලත් නෑ. දැවෙන ප‍්‍රශ්න මොනවද, නොදැවෙන ප‍්‍රශ්න මොනවද කියලත් අපි හොයන්න  ඕනෑ. සමහරු චරිත වෙන්න එහෙමත් නැත්නම් මොනවා හරි වටිනාකමක් ගන්න නොදැවෙන ප‍්‍රශ්නත් දැවෙන ප‍්‍රශ්න බවට පත් කරගෙන කතා කරනවා. අපි ඇත්තම දැවෙන ප‍්‍රශ්නයක් නම් ඒ ගැන කතා නොකර ඉඳලා නෑ. දැන් බීජ පනතක් අරගෙන ඇවිත් තියෙනවා කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය බහු ජාතික සමාගම්වල බීජ ආරක්ෂා කෙරෙන ආකාරයේ. ඒ ගැන අපි කතා කරලා තියෙනවා. ඒ ගැන අමාත්‍ය මණ්ඩලයේ කතා කරලා තියෙනවා. ශිෂ්‍යත්ව ප‍්‍රශ්නය ආවා. එයින් දරුවන්ට සිදුවන අගතිය අපි දැක්කා. ඒ ගැන අපි කතා කළා. ඒ විදියට අපි දැවෙන ප‍්‍රශ්න ගැන කතා කරනවා. සමහරු නොදැවෙන ප‍්‍රශ්න ගැනත් කතා කරනවා.


 ප‍්‍රශ්නය: අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කුඩු කන්ටේනරයක් මුදාහරින ලෙස ඉල්ලමින් ලිපියක් නිකුත් කිරීම දැවෙන ප‍්‍රශ්නයක් නොවෙයිද?
 පිළිතුර: කුඩු කන්ටේනර් හෝ වේවා එතනෝල් හෝ වේවා ආවොත් දැන් අල්ලනවා. අදත් අල්ලලා තියෙනවා. දැන් මේවා ඇල්ලූවාම විරුද්ධ පක්ෂයේ අය කියනවා මේ ආණ්ඩුව මේ රට කුඩු පුරයක් කරලා කියලා. මේවා කලින් ආවා හැබැයි ඇල්ලූවේ නෑ. කලින් ආපු ඒවා සද්ධ නැතිව අරගෙන ගියා. දැන් මේවා අල්ලනවා. දැන් මෙතැන තියෙන වැරැද්ද අල්ලපු එකද? අද එකක් අල්ලනවා හෙට එකක් අල්ලනවා. එතකොට රටට පේනවා සෑහෙන්න  එනවනේ කියලා. එතකොට හිතනවා මේවා ගෙන්වන්නේ ආණ්ඩුව කියලා. ආණ්ඩුව ගේනවානම් ආණ්ඩුව අල්ලනවයැ.


 ප‍්‍රශ්නය: මගේ ප‍්‍රශ්නය වුණේ කුඩු කන්ටේනරය ගැනයි?
 පිළිතුර: ඔව්! මම ආවේ එතැනට තමයි. ඔය සිද්ධිය සම්බන්ධයෙන් හරිනම් චෝදනාවක් ගේන්න තිබුණේ කුඩු ගෙන්වපු අය අත්අඩංගුවට ගත්තෙ නැත්නම් තමයි. රජය ඒ පොලිස් පරීක්ෂණ වලට බාධා කරලා තියෙනවා නම්, මේක එහෙම නොවෙයිනේ. පාකිස්ථානයේ හිටපු කුඩු කාරයාවත් අල්ලලනේ තියෙන්නේ. පරීක්ෂණ දිගටම කරගෙන යනවනේ. ඒ වගේම මේක මේ ලංකාවට පළමුවෙන්ම කුඩු ආපු අවස්ථාවක් නොවෙයිනේ. මේකත් හරියට කැසිනෝ ප‍්‍රශ්නය වගේ තමයි. අලූතෙන් එක කැසිනෝ එකක්වත් දාන්නේ නෑ. නමුත් සමහරු කියන්නේ මේ ආණ්ඩුව තමයි කැසිනෝ ලංකාවට ගේන්නේ කියලා. කැසිනෝ ගෙනාවේ පේ‍්‍රමදාස ආණ්ඩුව කාලේ. ඒ කැසිනෝ ටික තමයි තාම තියෙන්නේ. මේකත් ඒ වගේ තමයි. කුඩු අල්ලන එකද වැරැුද්ද. කුඩු අල්ලන්නේ නැතිව හොරෙන් කරගෙන යන්න දුන්නානම් කවුරුත් කියයි ලංකාවේ කුඩු නෑ කියලා.


 ප‍්‍රශ්නය: කුඩු කන්ටේනර් ප‍්‍රශ්නයේදී ජාතික හෙළ උරුමය කියන්නේ අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි කියලයි. ඔබ මොකද ඒ ගැන කියන්නේ?
 පිළිතුර: මේක මම මීට කලින් ප‍්‍රසිද්ධියෙත් කියලා තියෙනවා. අගමැතිවරයා මෙතැනදි වරදක් කරලා තියෙනවා. ඒ තමයි  ඕමල්පෙ සෝභිත හාමුදුරුවන්ට නුසුදුසු වචනයෙන් කතා කරලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. අගමැතිතුමාටත් ආවේගයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් දේශපාලනඥයන් හැටියට ආගමික නායකයන් අතින් යම් විවේචනයක් එල්ල වුණත් එය වැරැුදි විවේචනයක් වුණත් එයට සුපුරුදු ලෙස පිළිතුරු නොදී සිටීමේ සංයමයක් තිබිය යුතුයි. උන්වහන්සේට චීවරධාරියා යැයි කීම සම්පූර්ණයෙන්ම වැරැුදියි. ඒක අගමැතිවරයාගේ තනතුරට ගැලපෙන්නෙත් නෑ. ඒ ටික එහෙම කියන ගමන් මම මෙහෙමත් කියනවා. කුඩු කන්ටේනරයක් නිදහස් කර ගන්නනම් අගමැතිවරයාට හෝ ඔහු ළඟ ඉන්න කෙනෙකුට  ඕනෑ වුණේ. එහෙම නම් ලියුම් යවන්නේ නෑනේ. ලියුම් යවනවද කුඩු නිදහස් කරන්න. එහෙම ලියුමක් යවන්නේ ඊළඟට සිද්ධවෙන දේ දන්නේ නැතිවද? ඇත්තටම එහෙම  ඕනෑකමක් තිබුණ නම් ඒක ඔහොම නොවෙයිනේ කරන්නේ. දුරකථනයෙන් රේගුවේ ලොක්කෙකුට කතා කරන්න පුළුවන්නේ.


 ප‍්‍රශ්නය: එහෙම කතා කළාම කුඩු කන්ටේනර් යවනවද?
 පිළිතුර: එහෙම යවනවා කියලා නොවෙයි මම මේ කියන්නේ. ලියුමක් වගේ සාක්ෂියක් ඉතුරු කරන විදියේ දෙයක් කරයිද කුඩු කන්ටේනරයක් මුදා ගන්න. එතැනම පේනවනේ මෙතැන නොදැන වෙච්ච දෙයක් කියලා. දැනගෙන කවුද එහෙම එකකට ලියුම් දෙන්නේ. දැන් මම යනවා උත්සවයකට. එහෙම ගියාම කට්ටිය ඇවිත් ෆොටෝ ගන්නවා. එහෙම ෆොටෝ ගත්ත කෙනෙක් මොකක් හරි සිද්ධියකට පස්සේ කාලෙදි හරි සම්බන්ධ වුණොත් ඔන්න කියාවි එයා විමල් වීරවංශගේ ගෝලයෙක් කියලා. ඇත්තම කිව්වොත් ඒ අවදානම අපට තියෙනවා. දැන් අපි ළඟට එනවා ළමයා ස්කෝලෙට දාන්න ලියුමක් ගන්න. රේගුවේ බඩු වගයක් හිරවෙලා මහත්තයෝ ඒවා ගෙනාවේ ළමයින්ට බෙදන්න. මේක මොකක් හරි කරලා බදු අඩු කරලා නිදහස් කරලා දෙන්න කියල. එහෙම ඉල්ලීම් කරලා ලිපි දෙන්න වෙනවා.


 ප‍්‍රශ්නය: සොයා බැලීමකින් තොරව එහෙම ලියුම් දෙනවද?
 පිළිතුර : අපිට කියන්නේ නෑනේ කුඩු ගෙනාවා කියල. දුෂ්කර පළාත්වල දරුවන්ට බෙදා දෙන්න බඩු එනවනේ. ඒ අය කියනවා මේක සමාජ සත්කාරයක්. උදව් කරන්න කියලා. ඇත්තටම එහෙම එවපු භාණ්ඩ අතර කවුරු හරි කුඩු පැකට් එකකුත් දාලා එව්වොත් මොකද වෙන්නේ. ඊට පස්සේ අරවගේ ඇත්ත සමාජ සත්කාරයක් වෙනුවෙන්වත් ලියුමක් දෙන්න අපි බය වෙනවා. එහෙම බැලූවම සාධාරණව හිතන  ඕනෑම කෙනෙකුට පේනවා මේක කුඩු කන්ටේනරයක් කියලා. දන්නවා නම් ඔය ලියුම දෙන්නේ නෑ. එහෙම උදව් කරනවා නම් උදව් කරන්නේ වෙන විදියකට. මෙතැනදි කරන්නේ ලියුමක් දෙන එක. ඒකෙන්ම පේනවා දැනගෙන නොවෙයි දුන්නේ කියල. ඒ තුළ මට නම් අගමැතිවරයාට මෙතැනදි චෝදනා කරන්න බෑ. මම චෝදනාවක් කරනවා නම් ඒ චෝදනාව මගේ හිතට හරි වෙන්න  ඕනෑ.


 ප‍්‍රශ්නය: හෙළ උරුමය කියන්නේ අගමැතිවරයා නිර්දෝෂිද නැද්ද කියලා ඔප්පු වෙන්නේ පරීක්ෂණයකින්. ඒ නිසා පරීක්ෂණ අවසන් වනතුරු අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියලයි.
 පිළිතුර: පරීක්ෂණය ඉවර වෙනතුරු අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා කියන්නේ මේ ලියුම හින්දනේ. දැන් මෙතැන අගමැතිවරයාට කැමැති පිරිසකුත් ඉන්නවා. අගමැතිවරයා ඉවත් කරලා වෙනත් කෙනෙක් ගේන්න  ඕනෑකම තියෙන පිරිසකුත් ඉන්නවා. ඉන්නවට කැමැති අයයි ගේන්න කැමති අයයි විවිධ විදියට මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙනවා. අගමැතිවරයා ඉවත් කළ යුතුයි කියලා හිතන අය මේ ලියුම අල්ලාගෙන දෙන්නම් බැටේ කියාගෙන යනවා. මේ ප‍්‍රශ්නය ඇතුළේ එහෙම එකකුත් තියෙනවා. මම යළිත් කියනවා අගමැතිවරයා භික්ෂුන් වහ්නසේට කතා කරපු විදිය සම්පූර්ණයෙන්ම වැරැදියි. බුද්ධ ශාසන ඇමැතිවරයා විදිහට ඒක ඉතාම බරපතළයි. ඒ වරදට එතුමා බුද්ධ ශාසන ඇමැතිකමෙන් ඉවත් කරනවා නම් ඒකටත් මම එකඟයි. අගමැති ධුරයෙන් ඉවත් වෙන්න කියලා අර ලියුම මත පමණක් පදනම් වෙලා අපට කරන්න බෑ. පරීක්ෂණයෙන් ඔප්පු වුණොත් මේක අහිංසක ලියුමක් නොවෙයි, දැනගෙනමයි දීලා තියෙන්නේ කියලා. එහෙම නම් අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. පරීක්ෂණයට එතුමා බාධාවක් කරනවා නම් එතුමා ඒක වහාම නතර කළ යුතුයි. එහෙම චෝදනාවක් තවමත් නෑ. අගමැතිවරයාගේ පුතාගෙන් පැය හතරාමාරක් ප‍්‍රශ්න කළා කියලා පත්තරවල තිබුණා. පරීක්ෂණයෙන් ඔප්පු වුණොත් එතුමා දැනුම්වත්වයි මේක කරලා තියෙන්නේ කියලා, ඒ වෙලාවෙදි අවශ්‍ය පියවර ගත යුතුයි.


 ප‍්‍රශ්නය: කුඩුවලට දේශපාලනඥයන්ගේ නම් සම්බන්ධ වෙනවා. එතනෝල්වලට දේශපාලනඥයින්ගේ නම් සම්බන්ධ වෙනවා. මේවා ඔක්කොම දේශපේ‍්‍රමි සළුපිළි පොරවාගෙන කරන්නේ?
 පිළිතුර: දේශපාලනඥයා මේ භූමියේ කවදාද උපත ලබන්නේ එදා සිටම ඔහු ප‍්‍රශ්න කෙරෙනවා. ඒ ඔහුගේ භූමිකාවේ හැටියි.  ඒක අපිට උරුම දෙයක්. මේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ නීති විරෝධි කි‍්‍රයාකරන අය ඉන්නවා. ඒ අය මේ දේශපාලන භූමියෙන් ඉවතට හලන්නත්  ඕනෑ. එහෙම අය දෙපැත්තෙම ඉන්නවා. ඉන්න අය හරියට හඳුනාගෙන දේශපාලන භූමියෙන් ඉවත් කිරීම අප කාගෙත් වගකීමක්. මේ ආණ්ඩුවට තියෙන චෝදනාවක් නොවෙයි මේක. විවෘත ආර්ථිකයත් එක්ක මේ අය මේකට ආවා. ඒ අය මේකෙන් එළියට ඇදලා දාන්න  ඕන. ඒක රටට හොඳයි. එහෙම ඒවට සම්බන්ධයි කියලා ඔප්පු වෙලා තියෙනවා නම් ඔවුන්ට විරුද්ධව නීතිය කි‍්‍රයාත්මක වෙන්න  ඕනෑ. චෝදනා පටලැව්වා කියලා ඒකෙන් කියවෙන්නේ නෑ. රජය මේවා කරනවා කියලා. රජය මේවා කරනවා නම් රජයම මේවා අල්ලන්නේ නෑ. සරල තර්කය  ඕක. ඒවා ගෙන්වන්නෙත් රජයනම් අල්ලන්නෙත් රජයමනම් මේක යකාගේ රජයක්නේ. රජයේ අයනම් මේවා කරන්නේ ඇයි අල්ලන්නේ.?


 ප‍්‍රශ්නය: ප‍්‍රාදේශීය ලේකම්වරියක් මාරු කිරීම සම්බන්ධයෙන් ඔබටත් චෝදනාවක් තියෙනවා?
 පිළිතුර: අනේ මට ඊට වඩා වැඩ තියෙනවා. මම හුඟක් වැඩ කරනවා, කොළඹ දිස්ති‍්‍රක්කයට. කඩුවෙලට. මට කාටවත් චෝදනා කර කර ඉන්න වෙලාවක් නෑ. මම හුඟාක් වැඩ කරනවා. වැඩ නොකරන අය වැඩ කරන මට බණිනවා.


 ප‍්‍රශ්නය: කඩුවෙල බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවයට ඔබ නාවේ ඇයි? ආරාධනාවක් තිබුණේ නැද්ද?
 පිළිතුර: අයියෝ  ඕක ජාතික ප‍්‍රශ්නයක්ද? මට එහෙම යන්න බැරි වෙච්ච ඒවා ගොඩාක් තියෙනවා. ආරාධනා කරලා ඒත් යන්න බැරි වෙච්ච ඒවා තියෙනවා. ආරාධනා නොකළ නිසා යන්න බැරි වෙච්ච ඒවා තියෙනවා. එහෙමනම් මම ඒ ඔක්කොම ලිස්ට් එක කියන්නම්.


 ප‍්‍රශ්නය: ඔබ වඩාත් ආදරය කරන්නේ විමල් වීරවංශ සහෝදරයටද? විමල් වීරවංශ ඇමැතිවරයාටද?
 පිළිතුර: මම තාමත් ආදරය කරන්නේ විමල් වීරවංශ සහෝදරයට. ඒ සහෝදරයා තාමත් ඉන්නවා. හෙටත් ඒ සහෝදරයා ඉන්නවා. ඒක ස්ථිරයි.


 ප‍්‍රශ්නය: මේ රටට එරෙහිව අන්තර් ජාතික වැටලීමක් ගැන ඔබ ඝෝෂා කරන්නේ රටේ ප‍්‍රශ්න වෙනත් දිශාවකට යොමු කරන්නයි?
 පිළිතුර: නෑ. රටක් වශයෙන් අපි ඉන්නේ අවදානම් තැනක. එකක් තමයි මාර්තුවේදි ජිනීවාවලදී ඇමරිකාව ගේන අන්තර් ජාතික පරීක්ෂණ යෝජනාව. ඒ යෝජනාව සම්මතවීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ යෝජනාව සම්මත වුණාට පස්සේ අන්තර් ජාතික පරීක්ෂණ කණ්ඩායමක් ලංකාවට එනවා. ඒ අය පරීක්ෂණයක් කරලා වාර්තාවක් දේවි. එතකොට ඒක පදනම් කරගෙන ඒ වාර්තාව එන්න කලින් වුණත් එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය වගේ රටවල් හැටියට යම් යම් ක්ෂේත‍්‍ර පදනම් කරගෙන සම්බාධක පැමිණවීම වගේ තැනකට යන්න පුළුවන්. එහෙම ගියොත් දැනට යම් ආර්ථික පීඩනයක් රටට තියෙනවා නම් ඒක තියුණු වෙන්න හේතු වෙනවා. ඒක අපේ අපනයන වෙළෙඳ පොළට බලපනවා. තේවලින් රබර්වලින් යැපෙන ප‍්‍රජාවට ඒකෙන් බලපෑමක් එනවා. එතකොට ඒ ආර්ථික පීඩනය ඇති වුණේ ආණ්ඩුව නිසා කියලා මෙහෙ විරුද්ධ පක්ෂය කියනවා. මේ පීඩනයෙන් මිදෙන්න නම් ආණ්ඩුව එළවන්න  ඕනෑ කියන තර්කයත් හදනවා. යුද්ධය කරපු නිසා අපට පීඩාව එනවා. ඒ පීඩාව තියුණු කරන්න ඒ අය සම්බාධක දානවා. සම්බාධක දැම්මේ ආණ්ඩුවේ වැරැුදි නිසා කියන මතය එනවා. ඒ ආණ්ඩුව එළෙව්වොත් ප‍්‍රශ්නය බේරගන්න පුළුවන් කියන තර්කය ගේනවා. එහෙම සැලැස්මකට අනුව යන ගමනක් රට ඉදිරිපිට තියෙනවා. ඒක කරන්නේ අපේ රටේ හතුරෝ. ඔන්න ඔය අන්තර් ජාතික වැටලීමට අපේ රටේ ජනයා මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය මතයි රටේ ඉදිරි ගමන තීරණය වෙන්නේ.


 ප‍්‍රශ්නය: ආණ්ඩුව මේ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්ද?
 පිළිතුර: ආණ්ඩුවත් මේක හරියට තේරුම් අරගෙනයි කියලා මම හිතන්නේ නෑ. මේකේ සැබෑ අවදානම හා තත්ත්වය හරියටම තක්සේරු කරලා රජය මේ ගමන යනවා කියලා පේන්නේ නෑ. රජයක් හැටියට අපි මේක හරියට තේරුම් ගන්න  ඕනෑ. ඒ වගේම මෙම අනතුරට මුහුණදීමට සමත්වන ආකාරයට ජනතාව පෙළගස්වන වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි අපේ මට්ටමින් මේක රටට කියනවා. මේ අනතුර එයට හිමි නිසි අර්ථයෙන් හඳුනාගත යුතුයි.

ලංකාදීප -

No comments

Powered by Blogger.