Header Ads

මේ හදන්නේ ස්වේච්ඡාවෙන්ම විදුලි පුටුවට යන්නයි

යුද අපරාධ සම්බන්ධයන් තිබෙන ප‍්‍රඥප්තියට අපේ රට අත්සන් තබා නැති බැවින් ජනාධිපතිවරයා විදුලි පුටුවට ගෙනයා නොහැකි බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එබැවින් අපේ රටේ කෙනෙකු විදුලි පුටුවට ගෙනියන්න පුළුවන් යයි කියමින් මහින්ද රාජපක්‍ෂලා හදන්නේ ස්වේච්ඡාවෙන්ම විදුලි පුටුවට යන්න බව හෙතෙම කියා සිටියේ බත්තරමුල්ල ජ.වි.පෙ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

මාර්තු අග අපේ රටට එරෙහිව මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් යෝජනවක් ගේනවා. ඒ පිටුපස සැඟවිලා තිබෙන්නේ එක්සත් ජනපදයේ දේශපාලන වුවමනාවයි. එයට අපට විවේචනයක්, විරෝධයක් තිබෙනවා. තවත් පිරිසක් එක්සත් ජනපදයේ එම දේශපාලන වුවමනාව උළුප්පා දක්වමින් එම වුවමනාව ඉටුකරගැනීම සඳහා එක්සත් ජනපදයට පාර කපන වටපිටාව නිර්මාණය කරන ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ග යට ගහන්න උත්සාහ ගනිමින් ඉන්නවා. එක්සත් ජනපදයේ එම වුවමනාව, න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරගන්න වටපිටාව හැදුවේ අපේ රටේ රාජපක්‍ෂ පාලනයයි.

වැලිවේරිය, රතුපස්වල ජනතාව තමන්ට බොන්න තිබෙන ජලයේ වස විස අන්තර්ගත යැයි කියා එයට සාධාරණයක් බලාපොරොත්තුවෙන් එම ජනතාවගේ හැඟීම ආණ්ඩුවට කිව්වා. නමුත් ආණ්ඩුව එම ජනතාවට පිරිසිදු පානීය ජලය දෙනවා වෙනුවට සිදුකළේ කුමක්ද? එම විරෝධතා ඉදිරිපත් කළ ජනතාවට වෙඩි තබලා තිදෙනෙකු ඝාතනය කළා. ඒ වගේම ඉන්ධන මිල වැඩිකිරීම නිසා තමන්ට ධීවර කටයුතු කර ගැනීමට නොහැකි බව පවසමින් ඉන්ධන සහනාධාරයක් දෙන ලෙස හලාවත ධීවරයින් පිරිසක් උද්ඝෝෂණ කළා. ආණ්ඩුව එම සාධාරණ ඉල්ලීම යටපත් කළේ වෙඩි තබලා ඇන්ටනී ධීවර සහෝදරයාව ඝාතනය කළා.

ඒවගේම කටුනායකදී ආණ්ඩුව තම අර්ථසාධක අරමුදල් කොල්ල කෑමට එරෙහිව කම්කරුවන් පාරට බැස්සා. එහිදී ආණ්ඩුව විශාල පිරිසකගේ අතපය කැඩුවා. රොෂේන් චානක ඝාතනය කළා. ඒ ආකාරයෙන් ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් උල්ලංඝණය කළා. ආණ්ඩුව මේ දේවල් කළේ රට ගැන හිතලද? නැහැ ආණ්ඩුව මේ සියල්ල සිදුකළේ තම පවුලේ බලය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන්. හලාවතදීත්, කටුනායකදීත් රතු පස්වලදීත් ජනතාවට වෙඩි තබා මර්දනය කළේ තමන්ගේ පවුලේ බලය ආරක්‍ෂා කර ගැනීමටයි.

එමෙන්ම අපේ රටේ හිටපු අග‍්‍ර විනිශ්චයකාරවරිය වන ශිරානි බණ්ඩාරනායක ආණ්ඩුවේ අත්තනෝමතික බලය යොදලා තනතුරෙන් ඉවත් කළේ රට ගැන හිතලද? බැසිල් රාජපක්‍ෂ දිවි නැගුම පනත හරහා සමෘද්ධි මුදල් තමන්යේ යටතට ගන්න හැදුවා. එම කි‍්‍රයාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යහපත් තීන්දුවක් දුන්නා. ඒ හේතුකොටගෙන ශිරානි බණ්ඩාරනායක තනතුරෙන් ඉවත් කළා. එහෙම කළේ තම පවුලේ වුවමනාව වෙනුවෙන්. එමෙන්ම පහුගිය කාලය තුළ මාධ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයකට ප‍්‍රහාර එල්ල කළා. ගිණි තැබුවා. මෙම ප‍්‍රහාරවලදී කිසිවෙකු අත්අඩංගුවට නොගත්තේ මේවා සිදුකළේ ආණ්ඩුව නිසයි.

අපේ රටේ පොලීසියට හොඳ ඉවක් තිබෙනවා. සියලූම අපරාධ පිළිබඳ විමර්ශනය කරලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබෙනවා. මාධ්‍යවේදීන් 11ක් ඝාතනය සිදුකළ කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ. මේ සියලූම සිද්ධීන්ට සෘජුවම ආණ්ඩුවේ සම්බන්ධයක් තිබෙනවා. පෝද්දල ජයන්ත ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකගේ අත, කකුල, හෝ දෙකම කඩලා දැම්මා. මේ සියල්ල සිදුකළේ රාජපක්‍ෂ පවුල වෙනුවෙන්. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් උල්ලංඝණය කළේ තමන්ගේ පවුලේ බලය වෙනුවෙන්.

ඒ වගේම ආණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව හඬ නැගූ සරසවි සිසුන් 1200කට වැඩි පිරිසකගේ පන්ති තහනම් කළා. සිසුන් විසි දෙනෙකුගේ පමණ ජීවිතාන්තය දක්වා උපාධිය අහෝසි කළා. සිසුන් 131ක් අත් අඩංගුවට ගත්තා. සිය දෙනෙක් සිරගත කළා. සිසුන් 125කට වැඩි පිරිසකට මැර ප‍්‍රහාර එල්ල කළා. ආණ්ඩුව මේ වනතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ. යුද්ධයෙන් පසු උතුරු පළාතේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව තවමත් උතුරු නැගෙනහිර අර්ධ මිලිටරි පාලනයක් පවත්වාගෙන යනවා.

එම ප‍්‍රදේශවල පැවැත්වෙන විවාහ මගුල් උත්සවයකට බුද්ධි අංශයේ සහභාගිත්වයකින් තොරව පවත්වන්න බැහැ. අවමගුල් උත්සවයටත් බුද්ධි අංශයේ සාමාජිකයින් එනවා. ආණ්ඩුව එම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආරක්‍ෂා කරනවා වෙනුවට සියල්ල උල්ලංඝණය කරමින් කටයුතු කළා. ආණ්ඩුවේ බලය වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් උල්ලංඝණය කළා. බටහිර රටවල්වල අත පෙවීමට මුල පිරුවා. ඒ සඳහා පාර ගොඩනැගුවේ විවෘත කළේ ආණ්ඩුවයි. එනිසා රටේ ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසිය යුතුයි. බටහිර රටවල්වල බලපෑමත් ඒ සඳහා පාර විවෘත කළ රාජපක්‍ෂ පාලනයත් දෙකම එකට තබා පරාජය කළ යුතුයි. මේ ආකාරයේ මහා භයානක බලපෑමක් එල්ල වෙනවා නම් ඊට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශයට විශාල රාජකාරියක් පැවරී තිබෙනවා.

අපේ රටේ තානාපතිවරුන්ට විශාල කාර්යභාරයක් පැරෙනවා. එම සේවාවන් ඉතා හොඳ මට්ටමක පවත්වාගත යුතුයි. විදෙස් රටක තානාපති ධූරය සඳහා පත්කිරීමට නම් ඔහු විදෙස් සේවා විභාගය සමත්විය යුතුයි. ඔහුට පිළිගත් උපාධියක් තිබිය යුතුයි. විදේශ සේවාව පිළිබඳ මාස කිහිපයක පාඨමාලාවක් සම්පූර්ණ කළ යුතුයි. විදෙස් කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක තනතුරේ සිට කඩඉම් විභාග සමත් වෙමින් ඊට අදාල වැටුප් තල දිනාගනිමින් අවුරුදු 15ක, 20ක පළපුරුද්දක් ලැබිය යුතුයි. එනිසා තානාපතිවරයෙකු කියන්නේ මෙම සියලූ දේ සම්පූර්ණ කරමින් විදෙස් සේවාවේ වසර ගණනාවක පළපුරුද්දක තිබෙන පුද්ගලයෙකුටයි. ඒ අකාරයෙන් විශාල කාලයක පරපුරුද්දක් තිබෙන පුද්ගලයින්, විශාල භාෂා පරිචයක් තිබෙන පුද්ගලයින් හෝ වෘත්තීයවේදීන් තමයි විදෙස් තානාපති ධූරය සඳහා පත්කරනු ලබන්නේ.

මෙවැනි මොහොතක ඉතා ශක්තිමත් විය යුතු තානාපති සේවය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වෙලා තිබෙනවා. මේ තරම් බලපෑමක් එල්ල වේ යැයි කියන ඇමරිකාවේ තානාපති ධූරය දරන්නේ කවුද? ඇමරිකාවට යැවිය යුත්තේ විදෙස් සේවයේ සුපර් මෑන්. අද ඇමරිකාවේ තානාපති බෙලිඅත්තේ ජාලිය නම් තේ කොළ වෙළඳාම් කළ මහින්ද රාජපක්‍ෂගේ හිතවතායි. ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයට තානාපති සේවයේ ඉන්න දක්‍ෂතම නිළධාරියා යවන එකයි. නමුත් තමන්ගේ හිතවතා එම තනතුරට පත්කර හැරියා. ඊ ළඟට වැදගත්ම රට රුසියාවයි. එහි තානාපතිධූරය දරන්නේ උපාධිධාරියෙක්ද? නැහැ. රුසියාවට පත්කර තිබෙන්නේ ජනාධිපති ආර්යාවගේ අයියා වන උදයංග වික‍්‍රමසිංහයි. මීලඟට ඉතා වැදගත්ම කලාපය වන්නේ යුරෝපයයි. ඉතාලියට පත්කර යවා තිබෙන්නේ පහුගිය කාලයේ ඡන්දය ඉල්ලලා පරාජයට පත් නාවලගේ බෙනට් කුරෙයි.

ජර්මනියට යවා තිබෙන්නේ රූපවාහිනි සංස්ථාවෙන් එළවා දැමූ සරත් කෝන්ගහගේ. බුරුමයේ සිටින්නේ දික්වැල්ලේ එච්.ආර්. පියසිරි. 88-89 කාලය තුළ ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආරක්‍ෂා කළ ආකාරය අප දන්නවා. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කවුද? කටුනායක සේවකයින්ට වෙඩි තබා අතපය කැඩුවා කියා රඟපෑමකට හෝ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුණු මහින්ද බාලසූරියයි. ඔහු කොහොමද මානව හිමිකම් ගැන කතා කරන්නේ. කොන්සල් කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල ඇතුළු විදෙස් ධූත මණ්ඩල සේවාවේ 64න් 42කම තිබෙන්නේ දේශපාලන පත්වීම්. මහින්ද මහත්තයගේ මස්සිනාලට, තේ කුඩු මුදලාලිලාට, රූපවාහිනියෙන් එලවපු අයට, නාවලගේ බෙනට් කුරේලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ගැන කතා කරන්න පුළුවන්ද?

රටට බරපතළ බලපෑමක් එල්ල වී තිබෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ රටේ මානව හිමිකම් ශක්තිමත් කරලා ජාත්‍යන්තර බලපෑම්වලට එරෙහිව ජනතාව පෙළගැස්වීමයි. නමුත් දැන් මානව හිමිකම් උල්ලංඝණය කරලා ජාත්‍යන්තරයට දොරටු ඇරලා තිබෙනවා. එම දොරටු මකුළුදැල්වලින් වහලා පලක් නැහැ. මේ දේවල් සියල්ල කරලා ආණ්ඩුව තමන්ට බලපැම් එනවා, විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියලා බුලත් කොලේට කතිරය ගහන්න කියලා ජනතාවට කියනවා. මෙම මැතිවරණය පවත්වන්නට තිබුණේ සැප්තැම්බර් මාසයේදීයි. කිසිම පුවත්පතක ලියලා තිබුණද මාර්තු මාසයේදී ජනතාව පළාත් සභා මැතිවරණ ඉල්ලූවා කියලා. ජනතාව කිව්වද මැතිවරණය නැතිව තමන්ට නින්ද යන්නේ නැහැ කියලා දැන් මැතිවරණ දින තීරණය කරන්න අපේ රටේ කෘෂිකර්ම ඇමති මහින්ද යාපා ඇමතිවරයායි.

ඔහු ඇයි 29 වැනිදා ඡන්දය තිබෙනවා කියලා කියන්නේ? මොකද ලංකාවට එරෙහිව යෝජනාව සම්මත වෙන්නෙ තිබෙන්නේ 27 වනදායි. ආණ්ඩුවට පළාත් සභා විසුරුවා හැරීම පිළිබඳ දෙගිඩියාවක් තිබුණා. දිගින් දිගටම පළාත් සභා විසුරුවා හැරීම කල් දැම්මේ ආණ්ඩුවට එරෙහිව යෝජනාව ඉදිරිපත් වන දිනය නිශ්චිත කර ගැනීමටයි. 27 වැනිදා දිනය තීරණය වූ පසු ඉතාම කෙටි කාලයකින් ආණ්ඩුව පළාත් සභාව විසුරුවා හැරියා. 27 වැනිදා යෝජනාව ලංකාවට එරෙහිව යෝජනාව සම්මත වූ පසු මහින්ද රාජපක්‍ෂ ජාතිය අමතලා මාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා, මාව බේරගන්න කියලා බෙරිහන් දේවි. මාව බේරගන්න නම් 29 වැනිදාට ඡන්දය දෙන්න කියලා ජනතාවට කියාවි. මේක තමයි ප්‍රෝඩාව. මේක තමයි ආණ්ඩුව හැමදාමත් කළේ.

ලංකාවේ කවුරුවත් විදුලි පුටුවට ගෙනියන්න බැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විවිධරටවල්වලට බලපාන ආකාරයේ ප‍්‍රඥප්ති සකස් කළත් ඒවා බලාත්මක වන්නේ අදාළ රටවල් එම ප‍්‍රඥප්තියට අත්සත් තැබුවොත් පමණයි. යුද අපරාධ සම්බන්ධයන් තිබෙන ප‍්‍රඥප්තියට අපේ රට අත්සන් තබලා නැහැ. ඇමරිකාවත් අත්සන් තබලා නැහැ. ආණ්ඩුව කියනවා නම් අපේ රටේ කෙනෙකු විදුලි පුටුවට ගෙනියන්න පුලූවන් කියලා මහින්ද රාජපක්‍ෂලා හදන්නේ ස්වේච්ඡාවෙන්ම විදුලි පුටුවට යන්නයි. එනිසා මේ තරම් බොරු කියන ආණ්ඩුවක් තවත් නැහැ. තමන්ගේ මාධ්‍ය ආයතන පාවිච්චි කරලා මාධ්‍ය ආයතන මිලදී අරගෙන ඒ මගින් විශාල ප්‍රෝඩාවක් සිදුකරමින් ඉන්නවා. ලංකාවට එරෙහිව ඇත්ත බරපතල යෝජනාවක් එනවා තමයි. එය පරාජය කරන්න පහුගිය වසර 4 ඇතුළත ආණ්ඩුව බලවේග ශක්තිමත් කළේ නැහැ. විදේශ තානාපති ධූර සඳහා යැව්වේ ඡන්දයෙන් පැරදුනු අයයි. ඒ නිසා ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්විය යුතුයි.

පහුගිය දවස්වල ආණ්ඩුවේ දේශපේ‍්‍රමීන් නන්නත්තාර වෙලා හිටියා. මහා පරිමාණයෙන් කුඩු ගෙනත් බානකොට කොත්තමල්ලි ඇටයේ සිට බදු ගහනකොට ජේම්ස් පැකර්ලා කැසිනෝ ගේනකොට මේ දේශපේ‍්‍රමීන් හිටපු තැනක් හොයාගන්නත් නැහැ. දැන් ජනතා විරෝධය එල්ල වන විට එළියට ඇවිත් අපිව එල්ලන්න යනවා, බේර ගනියව් කියලා කෑමොර දෙනවා. මෙ ම ව්‍යාජය රටට හෙළිදරව් කළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වුවමනාවට සිදුකරන කි‍්‍රයාමාර්ගත් ඔවුන්ගේ බලපෑමට යටත්වී සිටින රාජපක්‍ෂ පාලනයටත් එරෙහිව එල්ල කරන මත දැක්වීමක් විරෝධයත්, ජනතාව පෙළ ගැස්මක් අවශ්‍යයයි. රට පත්වෙලා තිබෙන මෙම දුෂ්කරතාවයෙන් මුදාගත හැක්කේ මෙම පෙරමුණු දෙකටම විරෝධය දැක්වීමෙන් පමණයි. නැතිව අධිරාජ්‍යවාදයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ පාලනය බදා සිප වැළඳ ගැනීමෙන් හෝ මහින්ද රාජපක්‍ෂ පාලනයට එරෙහිව ජාත්‍යන්තරය බදා සිප වැළඳ ගැනීමෙන් හෝ මෙය පරාජයට පත්කරන්න බැහැ.

 



No comments

Powered by Blogger.