Header Ads

අල්ලස් කොමිසමේ සභාපතිට එරෙහිව එල්ල වී තිබෙන අල්ලස් චෝදනාව

වික්ටර් අයිවන් -
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව එල්ල වී තිබෙන අල්ලස් චෝදනාව ඉතාමත් බරපතළය. එය රටේ දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරම පොදුවේත් දේශපාලන ක‍්‍රමයේ වැදගත්ම අංශ කුණුවී තිබෙන තරම විශේෂ වශයෙනුත් පෙන්නුම් කරන ප‍්‍රබල නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මහජනයා රැුවටීම සඳහා එනම් ශ‍්‍රී ලංකා රාජ්‍යයට අල්ලස් හෝ දූෂණය මර්දනයට විශේෂ උනන්දුවක් ඇති බව මහජනයාට පෙන්වීමට මහජන මුදලින් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනයක්ය යන්න මාගේ මතය වන අතර ඒ බව මම මීට පෙර විටින් විට ලියා තිබෙන ලිපි ගණනාවකින්ම පෙන්වා දී ඇත්තෙමි. මෙම ලිපියේ අරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාට එල්ල වී තිබෙන දූෂණ චෝදනා වඩා පුළුල් තලයක තබා විමර්ශනයට ලක්කිරීමය.

චෝදනාව සැකෙවින්
එම කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබෙන චෝදනාව සැකෙවින් මෙසේය. වාහන ආනයනය කරන ව්‍යාපාරිකයකු වූ සඳුන් හර්ෂ ප‍්‍රභාත් සිල්වා නමැති ව්‍යාපාරිකයා ටොයොටා කරිනා වර්ගයේ එකලස් කළ මෝටර් කාර් 145ක් එම්පරර් නමැති ව්‍යාජ නාමයෙන් ලංකාවට ආනයනය කළේය. ආනයනකරු මෙම ක‍්‍රියාවෙන් අපේක්ෂා කළ බව පෙනෙන්නේ රේගුවට ගෙවිය යුතු බද්දෙන් කිසියම් විශාල කොටසක් වංචා කොට ලාභ උපරිම කරගැනීමය. මෝටර් රථ ආනයනයේදී ශ‍්‍රී ලංකාවේදී අය කෙරෙන රේගු බද්ද අතිවිශාලය. ආනයනය කෙරෙන මෝටර් රථයක වෙළෙඳපොළ වටිනාකම මෙන් දෙතුන් ගුණයක් තරම් වන විශාල රේගු බද්දක් අය කෙරේ. රේගුවේ කනින් රිංගා යාහැකි නම් මෝටර් රථ ආනයනයේදී උපයාගත හැකි ලාභයද දැවැන්තය. මෙම නිශ්චිත ආනයනයේදී මෙම ව්‍යාපාරිකයා රේගුවට කරන්නට සැලසුම් කර තිබුණු වංචාව රේගුව අල්ලා ගත්තේය. ව්‍යාපාරිකයා ගෙන්වන ලද වාහන තොගය නිදහස් නොකොට රේගුව ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළේය. රේගුව ගනු ලැබූ එම තීරණයට එරෙහිව මෝටර් රථ 145ක් ආනයනය කළ එම ව්‍යාපාරිකයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ව්‍යාපාරිකයාගේ අයිතිවාසිකම් පෙත්සම (SP1/LA No 84/2008) සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යාජ නාමයකින් ආනයනය කරන ලද එම මෝටර් රථ 145 ටොයොටා කරීනා යන නාමයෙන් නොව එම්පරර් නාමයෙන් විකුණා ගැනීමට අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අපූරු තීන්දුව ප‍්‍රකාශ කර තිබුණේ 2008 ජූනි 02 වැනිදාය. වාහන තොගය නිදහස් කරගැනීමෙන් පසු ව්‍යාපාරිකයා එම වාහන විකුණා තිබෙනුයේ එම්පරර් නාමයෙන් නොව ටොයොටා නාමයෙනි. චෝදනා එල්ල වී තිබෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාද මෙම නඩුව විභාග කළ විනිසුරු මණ්ඩලයට අයත් පුද්ගලයෙක් විය. ඒ මහතා 2013 වසරේ ජූනි අවසානය දක්වාම පාවිච්චි කර තිබෙනුයේ එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද වාහන 145න් එකකි. (WP KG 9321) වාහනයේ හිමිකරු ලෙස ලියාපදිංචි කොට ඇත්තේ ජගත් බාලපටබැඳි මහතාගේ නම වුවත් ආදායම් බලපත‍්‍රය ලියාපදිංචි කොට ඇත්තේ සම්පත් මුදියන්සේලාගේ සුජීව නවෝද්‍ය වැලිකල නමිනි. එයද අසාමාන්‍ය දෙයක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
ව්‍යාජ නාමයකින් එකලස් කොට ආනයනය කරන ලද මෙම වාහන තොගය නිදහස් කිරීමට හේතුවන තීන්දුවක් දීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය කර තිබෙන්නේ රේගු නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන්නේය. ඒ අර්ථයෙන් එම තීන්දුව නීතිය නොසලකා වාහන ආනයනය කරන ව්‍යාපාරිකයකුට පක්ෂග‍්‍රාහීව දෙන ලද අනීතික තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එසේ අනීතික ආකාරයට දෙන ලද එම තීන්දුව මගින් නිදහස් කරන ලද වාහන තොගයට අයත් වාහන 145න් එකක් එම තීන්දුව දෙනු ලැබූ විනිශ්චය මණ්ඩලයට අයත් සාමාජිකයකු සන්තකව තිබීමෙන් එම තීන්දුව ලබාදීම සඳහා එම විනිශ්චයකරුවා එම ව්‍යාපාරිකයාගෙන් අල්ලසක් ලබාගෙන ඇති බවද බැලූ බැල්මට පෙනෙන්නේය. එවිට එළැඹිය හැකි නිගමනය වන්නේ සමහර විනිසුරුවරුන් අල්ලසට තීන්දු දෙන ක‍්‍රමයක් ශ්‍රේෂ්ඨාධිකරණයේද ක‍්‍රියාත්මක වන බවය.

මෙහිදී අවධානයට ලක්වී නැති වැදගත්ම කරුණක් වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවක් එක විනිසුරුවරයෙකුට පමණක් දිය නොහැකි බවය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දෙනුයේ අවම වශයෙන් තුන්දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මගිනි. ජගත් බාලපටබැඳි මහතා එම තීන්දුව දුන් විනිශ්චය මණ්ඩලයේ එක් සාමාජිකයකු පමණය. විනිශ්චය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් දෙදෙනාගේ හෝ අවම වශයෙන් ඉන් තවත් අයකුගේ එකඟත්වය නැතිව එවැනි තීන්දුවක් දිය නොහැකිය. මෙය ජගත් බාලපටබැඳි මහතාට පමණක් සීමා නොවූ විනිශ්චය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් දෙදෙනාගේද අනුමැතිය ඇතිව දෙන ලද තීන්දුවකි. එවිට විනිශ්චය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් දෙදෙනා කෙරෙහිද සාධාරණ සැකයක් ඇතිවන්නේය. මෙම තීන්දුව දෙන ලද විනිශ්චය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ එවකට අගවිනිසුරු ධුරය හෙබවූ සරත් නන්ද සිල්වා හා ජේ. සෝමවංශ යන විනිසුරුවරුන්ය. අගවිනිසුරු එම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වී නම් තීන්දුව දෙන ලද විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කොට තිබෙන්නේ ඔහුය. විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියාගේ අනුමැතිය හා සහයෝගය නැතිව ජගත් බාලපටබැඳි මහතාගේ වුවමනාවට පමණක් එවැනි තීන්දුවක් දිය නොහැකිය. එවිට මේ ගැන කරන විමර්ශනයකදී අගවිනිසුරු පිළිබඳවද සාධාරණ සැකයක් ඇතිවන්නේය. මෙම වාහන ආනයනය කළ ව්‍යාපාරිකයා පදිංචි වී සිටින්නේ කටානේය. එය අගවිනිසුරුගේද ගමය. ඒ නිසා එය එවකට අගවිනිසුරු ධුරය හෙබවූ සරත් නන්ද සිල්වාගේද අනුග‍්‍රහය ඇතිව සමහරවිට ඔහුගේ පෙළඹවීම මත දෙන ලද අනීතික තීන්දුවක් ලෙස සැලකිය හැකිය. සමහරවිට සෙසු විනිසුරුවරුන් පොළඹවා ගන්නට ඇත්තේද සරත් නන්ද සිල්වාම විය හැකිය. ඔහුගේ පාලන කාලයේදී එවැනි දේවල් කිරීමට ඔහු බිය නොවීය. මෙම තීන්දුව වෙනුවෙන් ජගත් බාලපටබැඳි මහතාට පගාවක් ලැබුණේ නම් සෙස්සන්ටද පගාවක් ලැබෙන්නට ඇතැ’යි කියන සාධාරණ සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

එල්ල වී තිබෙන චෝදනාව නිල නොවන ආකාරයකින් විමර්ශනය කරන අය ජගත් බාලපටබැඳි මහතාගේ හා ව්‍යාපාරිකයාගේ විස්තරාත්මක දුරකතන බිල්පත් පරීක්ෂා කිරීම මගින් මෙම දෙදෙනා අතර එකිනෙකාට දුරකතනයෙන් කතා කරන තරමේ ළඟ සම්බන්ධයක් තිබී ඇති බවද සොයාගෙන තිබේ. එය බාලපටබැඳි මහතාට එල්ල වී තිබෙන චෝදනාව සනාථ කෙරෙන ප‍්‍රබල සාක්ෂියක් ලෙසද සැලකිය හැකිය. එහෙත් ඔවුන් අනෙක් විනිශ්චයකරුවන් දෙදෙනා හා ව්‍යාපාරිකයා අතර එවැනි ළඟ සම්බන්ධයක් තිබුණේද යන්න විස්තරාත්මක දුරකතන බිල්පත් ආශ‍්‍රයෙන් සොයා බලා නැත. අඩුම වශයෙන් මෙම නඩුව විභාග කෙරුණු කාලයේදී එවැනි සම්බන්ධයක් තිබුණේද යන්න සොයා බැලිය යුතුය. සිදුවී තිබෙන වරද පිළිබඳව පූර්ණ චිත‍්‍රයක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය.

නීතිපති
මෙම අයථා ගනුදෙනුව ගැන සොයා බලන්නන් මෙම නඩුවේදී නීතිපති අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න ගැනද විස්තරාත්මකව සොයා බැලිය යුතුය. මෙවැනි නඩුවකදී රේගුවේ අයිතිවාසිකම් ගැන පෙනී සිටිය යුත්තේ නීතිපතිය. රේගුව රජයට ආදායම් උපයා දෙන ප‍්‍රධාන මාර්ගයකි. ආනයන භාණ්ඩවලින් බදු අය කිරීම හා රේගු නීතිය උල්ලංඝනය කරන්නට පනවන දඩ මගින් ලැබෙන ආදායම් එකතු කිරීම රේගුව වෙත පැවරී තිබෙන ප‍්‍රධාන කාර්යභාරය ලෙස සැලකිය හැකිය. එසේ උපයන ආදායම් බැර වන්නේ රජයේ ආදායමටය. ඒ අර්ථයෙන් මෙම තීන්දුව රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි කිරීමට හේතුවූ තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එක වාහනයකට අය කෙරෙන බද්ද ලක්ෂ 50ක් ලෙස සැලකුවද අහිමි වූ බදු ආදායමේ වටිනාකම දශ ලක්ෂ 7250ක් ලෙස සැලකිය හැකිය. වංචාකරුට එරෙහිව දඩ පැනවීමෙන් ලැබෙන ආදායමද ඊට එකතුවිය යුතුය.

රජයට ලැබෙන මෙම ආදායම් ආරක්ෂා කරදීම නීතිපතිගේ වගකීමකි. ඒ සඳහා නීතිපති රේගුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නකු ලෙස ක‍්‍රියා කළ යුතුය. ඔහු මේ නඩුවේදී රේගුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නකු ලෙස ප‍්‍රබල ලෙස ක‍්‍රියා කළේද යන්න සොයා බැලිය යුතුය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව නීතියට පටහැනි තීන්දුවක් වී නම් එම තීන්දුව වෙනස් කරගැනීම සඳහා ප‍්‍රතිශෝධන අයදුම්පතක් ඔහු ඉදිරිපත් කළ යුතුව තිබුණි. එහෙත් මේ නඩුවේදී ඒ දේ ඔහු අතින් සිදුවී නැත. එවිට නීතිපති කෙරෙහිද සාධාරණ සැකයක් ඇතිවන්නේය.

මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ නීතිපතිට රඟපාන්නට සිදුවී තිබෙන භූමිකාවද ලස්සන නැත. රජයේ අයිතිවාසිකම් ආරක්ෂා කරන හා මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකවල් දූතයා ලෙස ක‍්‍රියාකළයුත්තේ නීතිපතිවරයාය. එහෙත් මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ ඔහුගේ භූමිකාවේද මහා විකෘතියක් පවත්නා බව පැහැදිලිව දැකිය හැකිය. ඔහු රජයට ලබාදී තිබෙන සමහර මතයන් ඉතාමත් පසුගාමී හා ප‍්‍රතිගාමී ඒවා ලෙස සැලකිය හැකිය. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය හා බල පරාසය පිළිබඳව ලබාදී තිබෙන අර්ථකථන ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි. මහා භාරකාරයා යටතේ තිබෙන පුද්ගල හාර පරීක්ෂා කිරීමේ බලයක් විගණකාධිපතිවරයාට නැති බවට ඔහු ලබාදී තිබෙන අර්ථකථනය ඊට දැක්විය හැකි එක් නිදසුනකි. මෙම අර්ථකථනය ප‍්‍රයෝජනයට ගෙන එක් මහා භාරකාරයකු ඔහු යටතේ තිබෙන පුද්ගල භාරවල ඇති වස්තුව උපරිම ලෙස ගසා කෑවේය.

CBN සැට් නඩුව
සමහර බලවත් ව්‍යාපාරිකයන්ගේ නඩු හබවලදී එම ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත හැකි ආර්ථික ලාභ ප‍්‍රයෝජන සඳහා පක්ෂග‍්‍රාහීව නඩු තීන්දු ලබාදෙන ක‍්‍රමයක් සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් පවත්වාගෙන යන බව පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයක් මෙසේය. සැටලයිට් රූපවාහිනී නාලිකාවක් (CBN SAT) පවත්වාගෙන ගිය පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකයට හේතුවී 2006 ජූලි 6 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත එම ආයතනයට සීල් තබන ලදි. ඔහුගේ චන්ද්‍රිකා පහසුකම් එල්ටීටීඊය ඔවුන්ගේ ප‍්‍රයෝජනය පිණිසද පාවිච්චි කරමින් තිබුණේය යන්න ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාව විය. සැටලයිට් රූපවාහිනී ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය එක් බලපත‍්‍රයක් ඔහු විදුලි සංදේශ නියාමක කොමිසමෙන් ලබාගෙන තිබුණද වැඩසටහන් විකාශය කිරීම සඳහා රූපවාහිනී සංස්ථාවෙන් ලබාගත යුතු බලපත‍්‍රයලබාගෙන නොතිබුණි.

මෙම සීල් තැබීමේ ක‍්‍රියාවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR 236/2006) ඉදිරිපත් කළේය. එය විභාගයට ගනු ලැබුවේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප‍්‍රධාන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය.

එම සැටලයිට් රූපවාහිනී ආයතනය පිළිබඳව ආණ්ඩුවේ බුද්ධි සේවා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇති කරගෙන තිබූ සැකය නිසාත්, සැටලයිට් රූපවාහිනී ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පූර්ණ බලපත‍්‍රයක් නොතිබීම නිසාත් මෙම ව්‍යාපාරිකයාට සිය සැටලයිට් රූපවාහිනී ආයතනය වෙනත් ගැනුම්කරුවකුට විකුණා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා ව්‍යාපාරිකයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පදනම් කොටගෙන අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ගියේය. සුදුසු ගනුදෙනුකරුවකු සොයා ගැනීමේ අවසරය අධිකරණය විසින් ඔහු වෙත ලබාදෙන ලදි. ඩයලොග් සමාගම පෙත්සම්කරු සොයාගත් ගැනුම්කරුවා විය. එම සමාගමටද රූපවාහිනී නාලිකාවක් ආරම්භ කොට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බලපත‍්‍රයක් තිබුණි. එහෙත් එයද අසම්පූර්ණ බලපත‍්‍රයක් විය. සමාගම එම බලපත‍්‍රය ලබාගෙන තිබුණේ චන්ද්‍රිකා ජනපතිනියගේ පාලන කාලයේ අවසානයේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රධාන විධායකයා ලෙස ක‍්‍රියා කළ පුද්ගලයාගෙනි. ඔහු සිය තනතුර අත්හැර යන්නට පෙර තමන් වෙත බලපත‍්‍රයක් ලබාගෙන තිබුණු අතර ඔහු එම බලපත‍්‍රය ඩොලර් මිලියන 5ක් හෝ ඊට ආසන්න මිලකට ඩයලොග් සමාගමට විකුණා තිබුණි. මෙම පෙත්සම් කතාවේ ඉතිරි කොටසට යන්නට පෙර ශ‍්‍රී ලංකාවේ ගුවන්විදුලි රූපවාහිනී විකාශන බලපත‍්‍ර ලබාදෙන ක‍්‍රමය කෙටියෙන් හෝ සලකා බැලීම වැදගත්ය.

විකාශන බලපත‍්‍ර නිකුත් කිරීම
බොහොමයක් රටවල් ගුවන් විකාශන තරංග සලකනුයේ මහජනයාට අයත් ඉතාමත් වටිනා හා සීමිත සම්පතක් ලෙසය. ඒ නිසා ඒ සඳහා බලපත‍්‍ර නිකුක් කරනුයේද ඉහළම මිලක් ලබාගත හැකි තරගකාරී ක‍්‍රමයකටය. බලපත‍්‍රයක් ලබාගැනීම සඳහා ආයෝජනය කළයුතු මිල ඉතා විශාල වන අතර ඒ මගින් උපයන ආදායම් බැර වනුයේ රාජ්‍ය භාණ්ඩාගාරයටය.

එහෙත් අපේ රටේ විකාශන බලපත‍්‍ර නිකුත් කරනුයේ එවැනි ක‍්‍රමයකට නොව නාමික මිලකට ගජමිතුරන් සඳහාය. ඉන්පසු බලපත‍්‍රලාභී ගජමිතුරා තමන්ට නාමික මිලට ලැබුණු බලපත‍්‍රය දැවැන්ත මිලකට ගුවන්විදුලි හෝ රූපවාහිනී ආයතනයක් ආරම්භ කිරීමට උනන්දුවක් ඇති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබේ. ඩයලොග් සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු ප‍්‍රධානියාට බලපත‍්‍රය ලබාගැනීම සඳහා ගෙවන ලද මිල රුපියල් වටිනාකම අනුව රුපියල් ලක්ෂ 5000ක් ලෙස සලකතොත් බලපත‍්‍රලාභී ගජමිතුරා බලපත‍්‍රය ලබාගැනීම සඳහා රජයට ගෙවන ලද නාමික මිල රුපියල් ලක්ෂයක් පමණ විය හැකිය. වෙනත් රටවල නම් ලක්ෂ 5000 යන්නේ රජයේ භාණ්ඩාගාරයටය. එහෙත් අපේ රටේ ක‍්‍රියාත්මක වන ක‍්‍රමය අනුව රාජ්‍ය භාණ්ඩාගාරයට යන්නේ ඉන් ලක්ෂයක් පමණය. ඉතිරිය යන්නේ ගජ මිතුරාගේ සාක්කුවටය. මේ රටේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන බලපත‍්‍ර ගජමිතුරන්ට නාමික මිලකට විකුණනවා වෙනුවට විවෘත වෙළෙඳපොළේ තරගකාරී මිලකට විකුණන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ඒ ලැබෙන ආදායමෙන් පමණක් සමස්ත පාසල් අධ්‍යාපන ක‍්‍රමය නවීන කිරීමට වුවත් ඒ මුදල ප‍්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. එහෙත් මෙම නිශ්චිත විෂයේදී අපේ රටේ තරවූයේ රජයේ භාණ්ඩාගාරය නොව ගජ මිතුරන්ගේ සාක්කුය. චන්ද්‍රිකා පාලන යුගයේදී ජනාධිපතිනියද තමන්ට අයිතිය ලැබෙන ආකාරයට බලපත‍්‍ර නිකුත් කරගෙන තිබුණු අතර ඇගේ සමීප ගජමිතුරෙකු වූ රොනී පිරීස් නමටද බලපත‍්‍ර ගණනාවක්ම නිකුත් කර තිබුණි. ඉන්පසු එළැඹෙන රාජපක්ෂ පාලන යුගයේදීද ඒ තත්ත්වයෙහි යහපත් වෙනසක් සිදු නොවීය. ජනාධිපතිගේ පුතාද අධිවරප‍්‍රසාදලාභී නාලිකාවකට හිමිකම් කියයි. තමන්ට ආධාර කළ විවිධ දේශපාලන සංවිධානවලටද නාමික මිලකට බලපත‍්‍ර ලබා දුන්නේය. මේ ආණ්ඩුවෙන් ගුවන්විදුලි බලපත‍්‍රයක් ලබාගත් හිමිනමක එම බලපත‍්‍රය විකිණීම සඳහා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සමග කරන ලද සාකච්ඡුාවක තොරතුරු මට අසන්නට ලැබුණි. හිමිනම ඉල්ලා සිටි මිල රුපියල් මිලියන 65කි. ව්‍යාපාරිකයා ඒ මිලට බලපත‍්‍රය මිලදී ගැනීමට කැමති විය. මෙම දූෂිත හා අවලස්සන දේශපාලන ක‍්‍රමයේ දැති රෝද කැරකෙන ආකාරය ඒ ආශ‍්‍රයෙන්ද යම් අදහසක් ඇති කරගත හැකිය.

බෞද්ධයා නාලිකාව

දැන් අපට සරත් නන්ද සිල්වා ඉදිරියේ ඇසුණු මූලික පෙත්සම් කතාවට නැවත ආ හැකිය. ඒ කාලයේදීත් සරත් නන්ද සිල්වාට ලොකු දේශපාලන උණක් වැළඳී තිබුණේයැ’යි කිව හැකිය. ඔහුගේ සමීප ආධාරකරුවකු ප‍්‍රකාශ කරන ලද ආකාරයට විශ‍්‍රාමයෑමෙන් පසු රටේ පාලකයා වීම ඔහුගේ ප‍්‍රධාන අභිලාෂය වී තිබුණි. ඒ සඳහා අවශ්‍ය වටාපිටාව සකස් කරගැනීම සඳහා ඔහු උපරිම මට්ටමකින් තමාට තිබුණු නිල බලය පාවිච්චි කළේය. තෝරාගත් දේශපාලන සංවිධාන ගණනාවකට එම සංවිධානවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබාදීම මගින් එම සංවිධාන සතුටු කරන අතර එම අරමුණ වෙනුවෙන් එම සංවිධාන පාවිච්චි කළ හැකි තත්ත්වයක් ඇති කරගෙන තිබුණේය. බොහොමයක් ජනමාධ්‍ය ආයතනවලද ඒවායේ හිමිකරුවන්ගේ නඩුවලදී ඔවුන්ට වාසිදායක නඩු තීන්දු ලබාදීම මගින් ලංකාවේ ජනමාධ්‍යද අනියම් ලෙස පාලනය කළ හැකි තත්ත්වයක් ඔහු හිමිකරගෙන තිබුණද තමන්ගේම රූපවාහිනී ආයතනයක් ආරම්භ කොට පවත්වාගෙන යෑමේ මහත් ආශාවක් ඔහු තුළ තිබුණු බව කියනු ලැබේ. ඔහු එම ආශාව සම්පූර්ණ කරගැනීම සඳහා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රයෝජනයට ගත්තේය. එහිදී පෙත්සම්කරු සමග සේ ම පෙත්සම්කරුගෙන් සැටලයිට් රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට එකඟ වූ සමාගම සමගද ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා වන එකඟතාවක් ඇති කරගත්තේය. ඒ අනුව පෙත්සම්කරු එය විකිණීමෙන් ලබාගන්නා මුදලින් කොටසක් යොදා ඔහුගේ ප‍්‍රයෝජනය පිණිස පුංචි රූපවාහිනී ආයතනයක් ඇතිකර දිය යුතුය. ගැනුම්කාර සමාගම ඔවුන්ගේ වියදමෙන් එම ආයතනය නඩත්තු කර දිය යුතුය. මෙම ගනුදෙනුව ඔහු සිදුකරන ලද්දේ ඊට බෞද්ධ සළුපිළි අන්දවා ආගමික පෙනුමක් ලැබෙන ආකාරයටය. ඔහු දේශපාලන කරළියට එන්නට උත්සාහ කළේද ආගමික හා ධාර්මික පෙනුමක් ආරෝපණය කරගනිමිනි. ඔහු සිය දේශපාලන මූලස්ථානය බවට පත්කරගෙන තිබුණේ කොළඹ බෞද්ධයන් අතර ජනප‍්‍රිය තත්ත්වයක් හිමිකරගෙන තිබූ සම්බෝධි විහාරයයි. එහි අධිපති හිමිනම එකල ඔහුගේ විශ්වාසවන්ත ආධාරකරුවෙක් විය.

CBN සැටලයිට් රූපවාහිනී නාලිකාව එහි හිමිකරුවා විසින් ඩයලොග් සමාගමට විකුණන ලද්දේ රුපියල් මිලියන 532.8කටය. විකුණුම්කාර ව්‍යාපාරිකයා තමන්ට ලැබුණු ඒ මුදලින් රුපියල් මිලියන 65ක් යොදා ‘බෞද්ධයා නාලිකාව’ නමින් නාලිකාවක් සරත් නන්ද සිල්වාට ඇති කර දුන්නේය. ඩයලොග් සමාගම එම නාලිකාව නොමිලේ නඩත්තු කිරීමේ වගකීම තමන් වෙත පවරා ගත්තේය. අගවිනිසුරු සරත් නන්ද සිල්වාද එම නාලිකාව වෙනුවෙන් ඇති කරන ලද සමාගමේ අධ්‍යක්ෂවරයෙක් විය. සමාගම් රෙජිස්ට‍්‍රාර්වරයා වෙත 2007 මාර්තු 5 වැනිදා යවන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පිළිබඳ විස්තර ඇතුළත් පෝරමයේ සරත් සිල්වා අත්සන් තබා ඇත්තේ අගවිනිසුරුවරයා වශයෙන් නොව සමාජ සේවකයකු (Social Worker) වශයෙනි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ආශ‍්‍රයෙන් සිදුවී ඇති මෙම අවලස්සන ගනුදෙනුව සැලකිය යුත්තේ තමන් ඉදිරියේ ඇසෙන නඩුවකදී එම නඩුව විභාග කළ ප‍්‍රධාන විනිසුරුවරයා පෙත්සම්කරුට ලබාදෙන ලද සහන වෙනුවෙන් පෙත්සම්කරුගෙන් ලබාගත් පගාවක් වශයෙන් මිස අන් කවර ආකාරයකටද?

නිරීක්ෂණය
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාට එල්ල වී තිබෙන චෝදනාව හුදෙක් එම කොමිසමට පමණක් එල්ලවී තිබෙන චෝදනාවක් ලෙස සැලකිය නොහැකිය. ඊට අතිරේකව එය සමස්ත අධිකරණ ක‍්‍රමයට හා දේශපාලන ක‍්‍රමයට එරෙහිව එල්ල වී තිබෙන දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකිය.

වැදගත්ම දේ මෙම ආරාවුල ඉදිරියේ බලධාරීන් ක‍්‍රියාකරන්නට යන්නේ කෙසේද යන්නයි. තම සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ක‍්‍රියාකරන්නට යන්නේ කෙසේද? කිසිදු පරීක්ෂණයකින් තොරව ඉදිරියට යනවාද? නැතිනම් සභාපතිවරයාට එරෙහිව කොමිසම පරීක්ෂණයක් ආරම්භ කරනවාද? මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අනුගමනය කරන්නට යන්නේ කුමන පිළිවෙතක්ද? මෙම විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති කර තිබෙන අපකීර්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ක‍්‍රියාකරන්නට යන්නේ කෙසේද? රටේ ජනමාධ්‍ය මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන ක‍්‍රියාපිළිවෙත කුමක්ද?

No comments

Powered by Blogger.