Header Ads

දත්ත වෙනස්කර ඇත්තේ ජනතාව ගොනාට ඇන්දවීමටය

රටේ ආර්ථිකය සහ මූල්‍ය විනය පිළිබඳව විනිවිද පෙනෙන සහ වගකීම් සහිතභාවයක් තිබීම අත්‍යවශ්‍යය. ඒ පිළිබඳව විවාදයක් තිබිය නොහැක. අපේ රටේදී මේ කරුණු පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇත්තේ අද, ඊයේ සිට නොවේ. අදින් වසර දහසකට පමණ පෙරදී පවා නිශ්චිත ක‍්‍රමවේද තිබී ඇත. හතර වන මිහිඳු රජු විසින් මිහින්තලයේ කරවන ලද සෙල්ලිපියකින් රටේ මූල්‍ය විනය සම්බන්ධයෙන් එදා පැවැති තත්වය කෙබඳුද යන්නට සාක්ෂි සපයයි.

‘‘එකතුවන ආදායමින් මහාපාය පවත්වාගෙන යාම සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දිනපතා දරනු ලබන වියදම් ලේඛනගත කළ යුතුයි. අදාළ ව්‍යාපාර ස්ථානවල සිටින පුද්ගලයන්ගේද එකඟත්වය ඇතිව ඉහත සඳහන් ලේඛනවල ඇතුළත් තොරතුරු පදනම් කරගෙන ගිනුම් ප‍්‍රකාශ සකස් කළයුතු අතර, සාවද්‍ය යැයි පෙනීයන සටහන් ගිණුම්වලින් ඉවත් කළ යුතුය. ඉන් අනතුරුව ගිණුම් ප‍්‍රකාශ අගුළු සහිත කරඬුවල තැන්පත් කළ යුතුය. මෙසේ තැන්පත් කළ ගිණුම් පත‍්‍රිකා මාසිකව මහජන ප‍්‍රසිද්ධියට ලක්කර ඒවා පදනම් කරගෙන තවත් (මාසික) ගිණුම් ප‍්‍රකාශයක් සකස් කළ යුතුය. වර්ෂයක් තුළ මෙසේ පිළියෙල කළ ගිණුම් ප‍්‍රකාශ 12 පදනම් කරගෙන සෑම වර්ෂයක් අවසානයේදීම ශේෂ පත‍්‍රයක් සකස්කර එය මහා සඟරුවන ඉදිරිපිටදී ප‍්‍රසිද්ධියේ කියවිය යුතුය. මෙම නියමයන් කඩකරන සියලුම සේවකයන් ‘හේදණ්ඩි’ දඩවලට යටත් කළ යුතු අතර, ඔවුන් සේවයෙන් ද නෙරපිය යුතුය.’’

ඒ හතරවැනි මිහිඳු රජ දවසය. ‘‘සාවද්‍ය යැයි පෙනී යන සටහන් ගිණුම්වලින් ඉවත් කළ යුතුය.’’ හතරවෙනි මිහිඳු රජුගේ නියෝගය එයයි. අද අපේ රටේ සිටින්නේ ‘‘ශ‍්‍රී රෝහණ ජනරංජන මහින්ද’’ රජුය. මුදල් අමාත්‍යංශය ඇත්තේ මහින්ද රාජපක්ෂ අතය. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය බැසිල් රාජපක්ෂගේය.

‘‘බොරුවට බබා වඩාගන්නකොට අපි දන්නවා, බොරු කියන්න. බොරුවට සිල් ගන්නකොට අපි දන්නවා, බොරු කියන්න. හැබැයි මේ රටේ කිසිම කෙනෙක් හිතුවෙ නෑ, තමුන්නාන්සේලා මේ රටේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන විකෘති කරන, එවැනි හොරු රැළක් කියල. එවැනි කණ්ඩායමක් කියල කවුරුවත් හිතුවෙ නෑ. හැබැයි තමුන්නාන්සේලා ඒකටත් අත තියල තියෙනවා.’’

මේ මහින්ද රාජපක්ෂ රජු ගැනය. එදා හතරවැනි මිහිඳු රජ දවස ‘‘සාවද්‍ය යැයි පෙනීයන සටහන් ගිණුම්වලින් ඉවත් කිරීමට’’ නියෝග ලැබී තිබිණ. මෙදා මහින්ද රාජපක්ෂ රජු යටතේ ඍජුවම තිබෙන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ආර්ථික දත්ත විකෘති කිරීම පිළිබඳව තතු හෙළිවී ඇත. පසුගිය දෙසැම්බර් 20 වැනි දින පැවැති අය-වැය කාරක සභා අවස්ථාවේදී මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශය පිළිබඳ විවාදයේදී ඉහත තොරතුරු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා හෙළි කළේය.

ගෙවීගිය 2013 වර්ෂයේ පළමු කාර්තුව, එනම් ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනට අදාළව රටේ ජාතික ආදායම 5.4%ක වර්ධනයක් තිබී ඇත. එය පසුව 5.5% දක්වා ද ඉනුත් පසුව එය 6.0% දක්වා ද වැඩිකර පෙන්වා තිබිණ. ජාතික ආදායම පිළිබඳ ගිණුම් සකස් කරනු ලබන්නේ ‘‘ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ, ජාතික ගිණුම් අංශය’’ විසින්ය. ‘‘ජාතික ගිණුම් ඇස්තමේන්තු මාධ්‍ය සටහන’’ උපුටා දක්වමින් මන්ත‍්‍රීවරයා මෙම කරුණු හෙළිකළේය.

රටේ දළ ජාතික ආදායම නැතිනම් ජාතික ආදායම ගණනය කරනු ලබන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන ප‍්‍රධාන අංශ තුන යටතේය. මෙම අංශ තුන යටතේ උප අංශ රාශියක් ඇත. ඒ අතරින් වෙනස් කරන ලද මූලාශ‍්‍ර වගු අංක 01 හි දැක්වේ. එහි දැක්වෙන්නේ එක් එක් උප අංශයේ ප‍්‍රතිශතය වේ. ඒ ඒ අංශයට අදාළ මූල්‍යමය අගය අදාළ මාධ්‍ය සටහනේ සඳහන් නොවේ.

‘‘තමුන්නාන්සේලා ආර්ථික වර්ධන වේගය අටයි කියනවා. ණය අනුපාතිකය අඩුවෙලා කියනවා. උද්ධමනය තනි රේඛාවේ කියනවා. මේවා කරන්නෙ නිලධාරීන් කණ්ඩායමක් අල්ලාගෙන බොරුවට. ඇයි? තමුන්නාන්සේලාට ණය ගන්න ආර්ථික වර්ධන වේගය පෙන්වන්න  ඕනෑ.’’ මන්ත‍්‍රීවරයා හෙළිකළේය.

මෙසේ සංඛ්‍යා දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් ‘‘ජාතික ගිණුම් අංශයේ’’ බරපතළ ප‍්‍රශ්නයක් ඇතිවිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණුම් අංශයේ අධ්‍යක්ෂ සුසන්ත වනසිංහගෙන් දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා දත්ත වෙනස් කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස 2013.06.18 වැනි දින දන්වා ඇත.

‘‘පහත සඳහන් අංක 01 සටහන සම්බන්ධයෙනි. 2013 පළමු කාර්තුව සඳහා ඇස්තමේන්තු කළ ජාතික ගිණුම් වාර්තාව අනුව ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය 05.5% (පහයි දශම පහක්) බව මෙම අංශයේ ප‍්‍රධාන නිලධාරීගේ ඇස්තමේන්තුවයි. මුලින් 05.4%ක්ව තිබියදී අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව 0.1% වෙනස්කර සකස් කරන ලදී. ඔබ විසින් ඉදිරිපත් කොට ඇති මාධ්‍ය සටහනේ හා දත්තවල වෙනස්කම් පවතී. කරුණාකර පැහැදිලි කරන්න.’’
මේ අනුව සංඛ්‍යාන අධ්‍යක්ෂවරයා පැහැදිලි කර ඇත. එයින් හෙළිවූයේ ‘‘මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය විසින් රට හමුවේ කර තිබෙන ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථන පිළිබඳව සැලකිලිමත් වන’’ ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලැබී ඇත. එනිසා කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවල වගකිවයුතු සංඛ්‍යාලේඛන සහකාර, සංඛ්‍යාලේඛන නිලධාරී, සංඛ්‍යාලේඛනඥ, ජ්‍යෙෂ්ඨ සංඛ්‍යාලේඛන සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ යන නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සමාලෝචනයක යෙදී ආර්ථික වර්ධන වේගය 0.1%කින් ඉහළ දමා එය 5.5%කර තිබේ. එම දත්ත 2013 ජුනි 14 වැනි දින සවස 4.53ට අධ්‍යක්ෂ ජනරාල්ගේ විද්‍යුත් තැපෑලට දමා ඇත.

මහින්ද රාජපක්ෂ රජු යටතේ ආර්ථික දත්ත මැවීමේ හොඳම හරිය සිදුවී ඇත්තේ ඉන් පසුවය. සංඛ්‍යා දත්ත වෙනස් කිරීම පිළිබඳව කරුණු දක්වන අධ්‍යක්ෂවරයා ලබාදී ඇති ලිඛිත ප‍්‍රකාශය මෙසේය.

‘‘2013.06.17 දින මම අසනීප වී කාර්යාලයට පැමිණියේ නැහැ. ඒ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ නිගමුණි මහත්මියට දුරකථනයෙන් කතාකර නිවාඩු දමන ලෙස උපදෙස් දුන්නා. ඊට පැය බාගයකට පසු නිගමුණි මහත්මිය නැවත මට කතාකර ජාතික ගිණුමේ වෘද්ධිය 6.0ට සකස්කර එවන ලෙස අධ්‍යක්ෂ ජනරාල් උපදෙස් දුන් බව කියා සිටියා. ඒ වෙලාවේ මම පසුදින මම කාර්යාලයට පැමිණ දී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට හැකි බව පැවැසුවා. ඒ වෙලාවෙ නිගමුණි මහත්මිය අධ්‍යක්ෂ ජනරාල් නැවත මෙය වහාම සකස් කර දෙන ලෙස කියා සිටි බවත් දැනුම් දුන්නා. පස්සෙ මම ීනහචැ මගින් කාර්යාල නිලධාරීන් සමග සම්බන්ධ වුණා. එසේ සම්බන්ධ වී එම ජාතික ගිණුම් සකස් කළේ සියලු දෙනාගේ පොදු එකඟතාවයකින් බවත්, එය වෙනස් කරනවා නම් මූලික දත්ත මූලාශ‍්‍රවලට ගොස් පරීක්ෂාකර බලා කිරීම සුදුසු බවට යෝජනා කළා.’’

ජාතික ගිණුම සකස් කරන්නේ පෙර සඳහන් කළ පරිදි කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන අංශ තුනට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන 250-300 අතර සංඛ්‍යාවකින් මූලාශ‍්‍ර දත්ත ලබාගනී. එසේ ලබාගන්නා මූලාශ‍්‍ර දත්ත කිහිපයක් වෙනස්කර තිබූ ආකාරය වගු අංක 01 හි දැක්වේ. එසේ වෙනස් කරන ලද දත්ත සහ වෙනස් නොකළ දත්තවල අවසාන පිළිතුර ලෙස ලැබෙන ඉහත අංශ තුනෙහි අගයන් මුලදී කෘෂිකර්ම 12.2%, කාර්මික 31.2% සහ සේවා අංශය 56.6% වශයෙන් තිබී ඇත. එය ද වෙනස් කර තිබේ. පිළිවෙළින් 12.3%, 31.3% සහ 56.4% ලෙසය. මෙසේ වෙනස් කිරීමෙන් පසුව 2013 මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 6.0% ලෙස ප‍්‍රකාශකර තිබේ.

‘‘අද කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෝ නෙවෙයි රටේ ආර්ථික තීන්දු තීරණ ගන්නෙ. ඉතා සමීපතම කුඩා කල්ලියක්.’’ යනුවෙන් අනුර කුමාර මන්ත‍්‍රීවරයා මේ තත්වය අවධාරණය කළේය.

සාවද්‍ය සටහන් ගිණුම්වලින් ඉවත් කරන ලෙස හතරවෙනි මිහිඳු රජු නියෝග කළ ද මහින්ද රාජපක්ෂ රජ තෙමේ කරන්නේ එහි අනික් පැත්තය.

අනුර කුමාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ ආර්ථික වර්ධන වේගය ප‍්‍රකාශ කරන දත්ත විකෘති කර ඇති බවය. එහෙත් මහින්ද රාජපක්ෂ රජ තෙමේ සහ වරිගයේ කට්ටිය දමා තිබෙන ජිල්මාට් එතනින් අවසන් නොවේ. ජනතාවගේ ජීවන වියදම දැක්වෙන සංඛ්‍යා දත්ත වෙනස් කිරීමට ‘‘කපටි නරි න්‍යායේ’’ උපායන් යොදන ලදී. 2011 ජුනි 30 වැනිදා එසේ යෙ¥ ‘‘නරි න්‍යායේ’’ උපායන් දෙකක් වේ. එකක් පවුලක ජීවන වියදම් දක්වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන පදනම් වර්ෂය 2002 සිට 2006/07 දක්වා වෙනස් කිරීමය. මෙසේ වෙනස් කිරීමෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය අඩුවෙන් දැක්වේ. මහබැංකු වාර්තාවලට අනුවම පැරණි එනම් 2002 පදනම් වර්ෂය ලෙස ගත් කළ එහි අගය 2010 අවසානයේදී 219.1 විය. නමුත් පදනම් වර්ෂය 2006/07 ලෙස වෙනස් කළ පසු එය 2010 වර්ෂය අවසානයේදී 141.9 ලෙස සඳහන් වේ.

නරි න්‍යායෙන් වෙනස් කරන ලද අනිත් කරුණ වන්නේ ජීවන වියදම ගණනය කරන බඩු මල්ලේ අඩංගු ලැයිස්තුව වෙනස් කිරීමය. බඩු මල්ලට දමාගත හැකි නැවුම් ආහාර, සහල් සහ පොල් ඉවත්කර ඇත. අනිත් පැත්තෙන් බඩු මල්ලට දමාගත නොහැකි බලශක්ති සහ ප‍්‍රවාහන වියදම් ද ඉවත්කර ඇත. බලශක්තිය යනු දර, විදුලිය, ගෑස්, භූමිතෙල් ආදිය සඳහා දරන වියදම්ය. නැවුම් ආහාර, සහල්, පොල්, බලශක්ති සහ ප‍්‍රවාහන යන වියදම් අත්‍යවශ්‍ය වියදම්ය. මේ වියදම් දැරීමෙන් තොරව මිනිස් ජීවිතයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යා නොහැකිය. එසේම මෙම වියදම් නිරන්තරයෙන් ඉහළ යමින් පවතින ඒවාය. එසේ තිබියදී ජනතාවගේ අත්‍යවශ්‍ය මේ වියදම් ඉවත් කිරීමෙන් ජීවන වියදමේ ඇත්ත උද්ධමනය හෙළි නොවේ. ආර්ථික වර්ධන වේගයේ බොරු මවාපෑමක් කළා සේම එහි අනික් පැත්තෙන් ජීවන වියදමේ ඇත්ත අගය සඟවා තැබීමට මේ නිසා හැකිය.

රාජපක්ෂ කල්ලිය සංඛ්‍යා වෙනස් කිරීමේ සෙල්ලම 2014 අය-වැය තුළින් ද කර තිබේ. වගු අංක 2හි ඒ පිළිබඳව සඳහන් වේ. යම් වර්ෂයකට අදාළව අය-වැය ඉදිරිපත් කිරිමේදී ඉදිරි වර්ෂ දෙකක් සඳහාවත් වන පුරෝකතන ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් කෙරේ. එම පුරෝකතන යනු හිතලූ ඒවා නොවේ. පවත්නා තත්වයන් මැනවින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි වසරක් හෝ කිහිපයක් වෙනුවෙන් ප‍්‍රක්ෂේපනය (පුරෝකථන) කිරීමය. රටේ දරුණු ස්වාභාවික විපතක් හෝ හදිසි දරුණු යුද්ධ ආක‍්‍රමණයක් හෝ සිදු වුවහොත් අදාළ පුරෝකථන ආසන්න අගයන්හි පවතී.

එසේ වී නමුත් වගු අංක 2න් ඊට ඉඳුරාම වෙනස් තත්වයක් හෙළිවේ. 2012 වර්ෂයේ ණය ආපසු ගෙවීම් රුපියල් කෝටි 57,000ක්ය. 2013 වසර සඳහා එය රුපියල් කෝටි 74,700ක් බව ඇස්තමේන්තු කෙරිණ. 2013 දී එය 74,705ක් වශයෙන් සුළු වෙනසක් වී තිබේ. 2013 වසරේ ණය පොලී ඇස්තමේන්තුව රුපියල් කෝටි 44,483ක් ව තිබී සත්‍ය අගය ද එයම බව හෙළිවේ. රජයේ මුළු වියදම රුපියල් කෝටි 251,500 ඇස්තමේන්තුකර තිබුණේය. ත්‍ය වියදම රුපියල් කෝටි 256,699 දක්වා රුපියල් කෝටි 5,199කින් ඉහළ ගොස් තිබේ. එය පිළිගත හැකි සීමාවේ තිබෙන ඉහළ යාමකි.

එසේ නමුත් 2013 අය-වැය ඉදිරිපත් කරන විට 2014 වෙනුවෙන් ඉදිරිපත් කළ පුරෝකථන පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. ණය වාරික ගෙවීම රුපියල් කෝටි 78,590ක් සහ ණය පොලී ගෙවීම රුපියල් කෝටි 47,603ක් වශයෙන් ද රජයේ මුළු වියදම රුපියල් කෝටි 272,794ක් වශයෙන් ද පුරෝකථනය කර තිබුණේය. එසේ නමුත් 2014 වර්ෂය වෙනුවෙන් අය-වැය ඉදිරිපත් කරන විට ණය වාරික ගෙවීමේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 78,590 සිට 58,886 දක්වා රුපියල් කෝටි 19,704කින් කපාහැර තිබේ. ණය පොලී ගෙවීම රුපියල් කෝටි 47,603 සිට රුපියල් කෝටි 44,103 දක්වා රුපියල් කෝටි 3,500 කින් කපාහැර තිබේ. එහි අවසන් ප‍්‍රතිඵලය ලෙස 2014 වර්ෂය වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් කෝටි 272,794ක් ලෙස පුරෝකථනය කර තිබුණ ද 2014 අය-වැය ඉදිරිපත් කිරීමේදී එය රුපියල් කෝටි 18,494කින් කපාහැර මුළු වියදම රුපියල් කෝටි 254,300ක් ලෙස දක්වා තිබේ.

මේ වනවිට රට හමුවේ තිබෙන ණය උගුල අතිශය බරපතළය. එය රටට හෙළිවීම වැලැක්වීමේ අරමුණින් පුරෝකථන කපාහැර තිබෙන බව පැහැදිලිය. එසේ නොවී 2014 වර්ෂයේ ණය වාරික පුරෝකථනවලින් රුපියල් කෝටි 19,704ක් අඩුවී ඇත්නම් එය 2014 දී රටක් වශයෙන් අත්පත් කරගන්නා සුවිශාල ජයග‍්‍රහණයක්ය.  එහෙත් මෙතන තිබෙන්නේ එවැනි ආර්ථික ජයග‍්‍රහණයක් නොවේ. ණය වාරිකයේ සහ පොලියේ අගය සංඛ්‍යා දත්තවලදී කපාහැරීමක් පමණය. ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කිරීමක් පමණය.

‘‘ආර්ථිකයේ ඇතිවී තිබෙන බරපතළ කඩාවැටීම සහ අවදානම්කාරීත්වයට මුළුමනින්ම වගකිව යුත්තේ පවුලක් සහ පවුල සමීපතම ඉන්න කණ්ඩායමක්. මේ ඉදිරි පෙළ ඉන්න කවුරුවත් ඇමැතිවරු නෙවෙයි.’’ අනුර කුමාර මන්ත‍්‍රීවරයා පැවැසීය.

රාජ අණින් සංඛ්‍යා දත්ත වෙනස්කළ හැකිය. සත්‍යය තාවකාලිකව යටපත් කළ හැකිය. ලොව කොතැනක වුවද ඒකාධිපති පාලකයන්ගේ ස්වභාවය එයය. නමුත් එය සදාකාලික නොවේ. ඒකාධිපතියන් කල්පනා කරන්නේ එය සදාකාලික බවය. තම පවුලේ සුඛ විහරණය සඳහා රටක්, ජනතාවක් බිලිදිය හැකි බවය. එය සිහිනයක් පමණය. මාකෝස්, සදාම් හුසේන්, ගඩාෆි, ඉඩි අමින් විසින් තහවුරු කර තිබෙන්නේ එම සත්‍යයයි.

 ලංකා ඉරිදා සංග්‍රහය

No comments

Powered by Blogger.