Header Ads

අද සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස් මහ සිහිනයයි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 77 වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක් දිනක් නින්දෙන් දුටුව සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් කරුණු මෙම සූත්‍රය තුළ අන්තර්ගතය. කොසොල් මහ රජතුමා දුටුව සිහින 16 පළමුව මතක් කර සිටින්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙතය. ඔවුන් පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට එයින් සිදුවන අනතුරු පිළිබඳවය.

එනම් රාජ්‍යත්වයට, බෝග සම්පත්වලට හා ජීවිතයට අනතුරක් වන බවයි. කොසොල් රජතුමා මෙතුළින් තැති ගැන්මකට ලක්වූ අතර එයට විසඳුමක් වශයෙන් බමුණන් සඳහන් කරන්නේ සත්ත්වයන් ගින්නට දමා දෙවියන් සතුටු කරන සර්ව චතුස්ක නම් වූ යාගය සිදු කළ යුතු බවයි. මෙහිදී ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් අනූන කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා දේවියගේ උපදෙස් මත එම යාගය කිරීමට පෙරාතුව මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමේ අදහසින් බුදුරදුන් හමුවීමද සිදු කරනු ඇත. එහිදී බුදුහිමි යථාර්ථවාදී දේශනාවක් කොසොල් රජතුමාට දේශනා කළහ. එනම්,

"උසහා රුක්ඛාගාවියො ගවාච අස්සො කංසා
සිගාලිවි කුම්භො පොක්ඛරණී ච අපාක චන්දනං
ලාපූනි සීදන්ත සිලාප්ලවන්ති මණ්ඩුකියො කණ්හා සප්පො ගිලන්ති
කාකා සුවණ්ණා පරිවාරයන්ති තසාවකා ඵලකානං භයාතීති"

මෙහිදී කොසොල් රජතුමා සිහින 16ක් දුටුව බවත් ඒවායේ තේරුම පැහැදිලි කර දෙන ලෙසත් බුදු හිමිගෙන් ඉල්ලූ පුවතක් වැඩිදුරටත් විස්තර වේ. එම ජාතක කතාවෙහි ඇතුළත් සිහින දාසය පිළිබඳ මඳක් විමසා බැලීම වැදගත් වනු ඇත.
එම සිහින 16 පිළිවෙළින් ගත්කල,

1. කළු ගොනුන් 4 දෙනෙක් රජ මිදුලට පැන තරගෙට වගේ ඇන ගන්නා විධියට ඉඳ පිරිස එකතු වූ කල ආපසු පැන දිවීම.
2. ගස් ලොකුවන්නට පෙර ගෙඩි හට ගැනීම.
3. වැදූ විගසම එම වසු පැටියාගෙන් එළදෙනුන් කිරි බීම.
4. පුරුදු ගොන් බාන පුරුදු කරත්තය නොඇද නුපුරුදු කරත්තය ඇදගෙන යෑම.
5. දෙපැත්තෙන්ම කටවල් දෙකක් තිබූ සතෙක් දෙපැත්තෙන්ම භක්‍ෂණය කිරීම.
6. කහවණු ලක්‍ෂයක් වටිනා රන් තැටියකට හූනකු මුත්‍රා කිරීම.
7. මිනිසකු ලණුවක් අඹරන අතර සිවල් දෙනෙක් එහි කෙළවර කෑම.
8. හිස් කළ ගෙඩි තිබියදී එහි නොබලා පිරුණු
කළවලටම තව තවත් ජලය පිරවීම.
9. පොකුණක සිවුපාවුන් බැස දිය බීවත් දිය බොර නොවී දියට බැස කලඹන තැනම පිරිසුදු වීම.
10. එක හැළියේ බත් තුන් විදියකට ඉදීම
11. සඳුන් අරටුවක් ගින්නෙන් දැවී අළු වීම.
12. වියළුණු ලබු ගෙඩියක් වතුරට දැමූ කල දිය යට යෑම.
13. පර්වතයක් දිය මතුපිට පාවී තිබීම.
14. රන් හංසයන්ට කපුටන් රජෙක් වීම.
15. කුඩා මැඩියො සර්පයන්ව එළවීමත් සර්පයො මැඩියන්ට බියේ දිව යෑමත්.
16. දිවියෙක් පසුපස හරකෙක් එළවා ගොස් උෟව මරාගෙන කෑම, ආදී වශයෙනි.

මෙම සිහින 16 තුළ අන්තර්ගත වන්නේ ගැඹුරු අර්ථයන්ය. රටක සමාජයක පිරිහීම මින් ප්‍රධාන වශයෙන් අන්තර්ගතය. මිනිස් ප්‍රජාව ක්‍රමක්‍රමයෙන් පිරිහීිගෙන යන කාලය වර්තමානය තුළ සිදුවෙමින් පවතී. එදා කොසොල් රජතුමා දුටු සිහින එදාට බලපාන ඒවා නොව අදට බලපාන ඒවා බව බුදුහිමි බුදු ඇසින් එදා අනාගතය බලා වදාළහ.
මෙම සිහින 16ම එකට සම්පිණ්ඩනය කොට බැලීමෙන් ප්‍රධාන කරුණු කීපයක් ඔස්සේ එය විකාශනය වී ඇති බව පැහැදිලි වේ. අද කාලීන වශයෙන් සිදුවන සියලු ප්‍රශ්න ගැටලු මෙම සිහින 16 තුළ අන්තර්ගතය. ඒවා සිදුවන අයුරු දෑසින් බලාගෙන ඉන්න කෙනකු සේ බුදුහිමි බුද්ධ ඥානයෙන් අද සිදුවන සියලු දේවල් එදා මනාව දේශනා කළහ.

යුක්තිය දහම නොපිටට පෙරළීම.
ආයුෂ අඩු වීම.
කටේ වරද නිසා නැති ප්‍රශ්න ඇතිවීම.
මවුපියන්ට, වැඩිහිටියන්ට නොසැලකීම.
දුවා දරුවන් හිතුමතේට ක්‍රියා කිරීම හා ගුරු දෙගුරුන්ටද අවනත නොවීම.
සුදුසු අයට සුදුසු තැන අහිමි වී නුසුදුසු අයට එම ස්ථාන ලැබීම.
බොරුව, වංචාව තුළින් තවකකු අසරණ වීම සඳහා ක්‍රියා කිරීම.
පිරිමින්ට ආවේණික ක්‍රියා ගැහැනුන්ද කිරීම හා කිරීමට උත්සාහ කිරීම.
දෙපැත්තෙන්ම පගා ගැනීම හා වාසි අතට නඩුහබ සිදුවීම.
සිල්වතුන්ට, ගුණවතුන්ට පූජා සත්කාර නොකිරීමත් වධ හිංසා දීමත් දුසීලයන්ට තැන දීමත් ආදිය සිදුවීම.
නිවෙස් තුළ ස්වාමි භක්තිය නොකොට පරදාර සේවනය සිදුවීම.
අයබදු ගැනීම ආදිය වැඩි වී ජනතාව කෑකෝ ගැසීම.
අපරාධ, දූෂණ වැඩිවීම හේතුවෙන් දෙවියන් කෝප වී අව්ව, වැස්ස නිසි කලට නොදී අනිසි කලට ඒවා ලැබී ජනතාවට වධ පැමිණීම.
දුසිරිත්කම් ඇති ගිහි පැවිදි අය බිහි වී බුදු සසුන කෙලෙසීම.
මිල මුදල්වලට යටවී කළගුණ සැලකීම හා ගුණධර්ම නොදත් පිරිසක් සේ කටයුතු කිරීම.
ජාතිය ක්‍රම ක්‍රමයෙන් වැනසීමත්, ඇත්ත බොරුව වී බොරුව ඇත්ත වීම මිසදිටුවන් ජය පැන් බීම.
ආගම ධර්මයට තැන නොදීම හා පහත් මිනිසුන් වැදගත් අයට ගැරහීම.
අඩු වයසින් විවාහ වීමත්, ගැහැනුන්ට මිනිසුන් යටත් වීමත්, රාගයෙන් ජීවිත පවා විනාශ කීරීම.
ගිහියන් විසින් කළ යුතු දේවල් පැවිද්දන් කිරීමත්, පැවිද්දන් විසින් කළ යුතු දේවල් ගිහියන් කිරීමත් ආදී වශයෙනි.

මේ ආදී වශයෙන් මුළු සමාජ සංස්ථාවම පිරිහීමට බලපාන සියලු ප්‍රශ්න, ගැටලු එම සිහින තුළ අන්තර්ගතය. එය අද සිදුවන අයුරු ඇස් කන් තිබෙන කාට වුවද අවබෝධ කර ගත හැකිය. එදා බුදුරජාණන් වහන්සේ පහදා දුන් මෙම සිහින 16 අද සිදුවන අයුරු අමුතුවෙන් කිවයුතු නැත. රටත්, සමාජයත්, ජනතාවත්, පිරිහීගෙන යන ප්‍රවණතාව අද ශීඝ්‍රයෙන් උත්සන්න වී ඇත. ජාති, ආගම්, කුල, මල සේම දේශපාලනික වශයෙන්ද මිනිසුන් විරසක වී භේදභින්න ගොඩනඟාගෙන තිරිසන් සත්ත්වයන්ටත් අන්ත විධියට පිරිහී ඇත.

මෙම කරුණු දැක බලා කෙනකුට හෝ පිරිසකට ආවේගයක් ඇති නොවිය යුතුය. එයට හේතුව මෙම කරුණු තුන්කාලයම කැඩපතකින් මුහුණ බලන්නා සේ දැකිය හැකි උත්තමයෙක් දේශනා කර තිබීම හේතුවෙනි. එසේ නම් අප කළ යුත්තේ තනි තනිවම මෙම කරුණු අධ්‍යයනය කොට තම තමන්ම සුචරිතවත් වීමය. එකිනෙකා තනි තනිව හැදෙන කල සියල්ලෝම හැදුණා වන්නේය. බුදු දහමේ අන්තර් ගත කරුණු ජාති, ආගම්, කුල, පක්‍ෂ භේදයකින් තොරව කාටත් පොදු වූවකි. කාල, දේශවලට සීමා නොවී සෑම කාලයටම සදාතනික අයුරින් බලපාන එම උතුම් පරම සත්‍ය තව තවත් ගවේෂණය කොට අප සැම දෙනෙක්ම හොඳ මිනිසුන් වීමට උත්සාවත් විය යුතුය. රටක, සමාජයක ජීවත් වීමේදී අප කවුරුත් වගකීම්වලින් පිරිපුන්ව සිටින්නෙමු. එබැවින් අප සියලුදෙනාම වගකීමෙන් කටයුතු කිරීමට සිතට ගත යුතුය. 2013 වර්ෂය උදාවී මාස දෙකක්වත් ගත නොවූ මෙවැනි කාලයක සියලුදෙනාටම එම කාර්ය සඳහා යහපත් ප්‍රාර්ථනා ඇතිකර ගත හැකිය. එසේ ඇතිකොට ගෙන මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් නිවැරැදිව කටයුතු කොට තම තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව ඉටු කිරීමටත් සිතට ගැනීමෙන් කළ යුතු එකම ක්‍රියාදාමය වන්නේය.

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි


















1 comment:

Powered by Blogger.