Header Ads

දුන්නොත් බාරගන්නම් දෙන්නම් මොළෙන්

ඉස්සර හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංගගේ මුල අකුරු දෙක වන ඩී.බී. කියන්නේ 'දුන්නොත් භාරගන්නම්' කියන තේරුම කියල කතාවක් පැතිර තිබිණි. දැන් ඉන්නේ දි.මු. ජයරත්නය. දි.මු. නොහොත් ඩී.එම්. කියන්නේ 'දුන්නොත් මැරෙනකම් ඉන්නම්' කියන තේරුම කියල කවුරුත් කීවොත් පුදුම වෙන්න දෙයක් නොවේ. දි.මු. අගමැති ධුරයේ ඉන්නෙත් එහෙම හිතාගෙන වගේය.

ඩී.බී.ගේ ගම නුවරය. ජේ.ආර්., ඩී.බී.ට ඇමැතිකමක් දීලා වැඩ පෙන්නුවේ නැති නිසා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරයා කළේය. ඩී.බී. ආණ්ඩුකාරවරයා ලෙස සිටියදී ප්‍රේමදාසට ඩී.බී.ගේ කේන්දරය හමුවිය. ප්‍රේමදාසගේ කේන්දරයට ඩී.බී.ගේ කේන්දරය හොඳින්ම ගැළපෙන බව ජේ‍යාතිෂවේදීන් කී විට ප්‍රේමදාස ජනාධිපති වී ඩී.බී.ට 1989 මහ මැතිවරණයට තරග කරන්න එන ලෙස කීවේය. ප්‍රේමදාස ඩී.බී.ව මහ ඡන්දයට දැම්මේම අගමැතිකම ඔළුවේ තියාගෙනය. 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රී ල.නි.ප. අපේක්‍ෂිකා බණ්ඩාරනායක මැතිනිය රට වටා කිය කියා ගියේ ඇය උඩරට කාන්තාවක් කියලාය. ප්‍රේමදාසට මේ කතාව තදින් වැදිණි. එයට ප්‍රධානතම හේතුව ප්‍රේමදාස මෙරට ප්‍රභූ කුලයට අයත් නොවීමය. ඩී.බී.ව අගමැති කොට උඩරටට තැනක් දෙන්න ඕනෑ යැයි ප්‍රේමදාස හිතුවේය. ඩී.බී.ට අගමැතිකම දෙන්න එයද බලපෑවේය. ඩී.බී.ට ඒ කාලේ 'ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ්' කියාද නමක් පටබැඳී තිබිණි. එයින් කීවේ ඩී.බී. දේශපාලනිකව අඳ ගොළු බිහිරි නිසා ප්‍රේමදාස ඩී.බී.ව අගමැති කළා කියාය.

ඒ කාලයේ මරු කතාවක් තිබිණි. ප්‍රේමදාස අගමැතිකම දෙන්න කලින් ලලිත්, ගාමිණී සහ ඩී.බී. යන තිදෙනාවම කැඳවා ප්‍රශ්නයක් ඇහුවාලු. අහපු ප්‍රශ්නය එකයි එකයි එකතු කළාම කීයද කියන ප්‍රශ්නයය. ලලිත් සහ ගාමිණී හරි උත්තර දුන්නත් ප්‍රේමදාසගේ හිතට ඇල්ලුවේ ඩී. බී.ගේ උත්තරයලු. ඩී.බී.ගෙන් අහපුවාම 'ප්‍රේමදාස කියන උත්තරය මොකක්ද ඒක තමයි හරි' කියල ඩී.බී. කිව්වාලු. මෙයා තමයි මගේ අගමැතිකමට නියම සුදුස්සා කියල ප්‍රේමදාස ඩී.බී.ව අගමැති කළාලු. මේ ඒ පරණ යාංහෑල්ලය.

ඇත්තටම මහින්දත් දි. මු.ව අගමැති කළේ එහෙම හිතාගෙනය. හැබැයි දි. මු. කියන්නේ ඩී.බී. නොවේ. දි.මු. ශ්‍රී ල.නි.ප.ය 1994දී යළි බලයට ගේන්න ලොකු කැපකිරීම් කරපු අයෙකි. 1977දී ශ්‍රී ල.නි.ප.ය පරාජය වී පක්‍ෂය ඇතුළේ අර්බුද පිට අර්බුද හැදෙන කොට මහ ලේකම්වරු මාරු කළේ ඇඳුම් මාරු කරන්නා වගේය. හේතුව එවකට පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියට විශ්වාසවන්ත මහ ලේකම්වරයෙක් අවශ්‍ය විය. හැබැයි මේ එකම මහ ලේකම්වරයෙක්ටවත් පක්‍ෂය ජයග්‍රහණය කරවන්න බැරි විය. ශ්‍රී ල.නි.ප.යට තනියම මේ වැඩේ කරන්න බෑ කියල මැතිනිය අනෙකුත් වාමාංශික පක්‍ෂ එකතු කරගෙන පොදු පෙරමුණ හැදුවේ බොහොම රහසිගතවය. එම සාකච්ඡාවලට ඇය සහභාගි කර ගත්තේ විශ්වාසවන්තම කීපදෙනෙකි. දි.මු. එයින් ප්‍රධානය. පොදු පෙරමුණ හදන්න දි.මු. ලොකු කාර්යභාරයක් කළේය. පොදු පෙරමුණ එකට තියාගන්න නම් හැමෝම එක්ක හොඳ දි.මු.ව පෙරමුණේ ලේකම් කළ යුතු යැයි මැතිනිය හිතුවාය. 1977 සිට 'අත' ලකුණින් තරග කළ ශ්‍රී ල.නි.ප.යේ මහ ලේකම්වරුන්ට ඡන්ද දිනන්න බැරි විය. හැබැයි 'පුටුව' ලකුණින් පොදු පෙරමුණෙන් තරග කොට වසර 17කට පසු ශ්‍රී ල.නි.ප.ය බස්නාහිර පළාත් සභාව දින්නේය. ඒ දි.මු. මහ ලේකම් ලෙස සිටියදීය. ශ්‍රී ල.නි.ප.යේ අවාසනාවන්ත මහ ලේකම්වරුන්ගේ යුගය දි.මු. පොදු පෙරමුණෙන් අවසන් කළේ පොදු පෙරමුණට වාසනාව ගෙනැවිත්ය. පසුව 1994 දකුණු පළාත් සභාව දිනාගන්න මරාගෙන මැරෙන සටනක් කළේ දි.මු.ය. වසර 17ක් ශ්‍රී ල.නි.ප.ය ඡන්ද පරාජය වූයේ එ.ජා.ප.ය ආණ්ඩු යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කළ භීෂණය නිසාය. මේ භීෂණයට පළමුව අභියෝග කළේ දි.මු.ය. යූ.ඇන්.පී. ආණ්ඩුවේ මැරයන් සමඟ මුහුණට මුහුණ හැප්පී ජීවිතය අනූනවයෙන් බේරාගෙන මැරයන්ට පාඩම් උගන්වන්න ගොස් දි.මු.ට හිරේ යන්න සිදුවිය. ඒ සිද්ධිය පොදු පෙරමුණට දකුණ දිනන්න ලොකු හේතුවක් විය.

දිනපු මේ පළාත් සභා ඡන්දයට මෙන්ම 1994 මහ මැතිවරණයටද නාමයෝජනා අස්සන් කළේ දි.මු.ගේ වාසනාවන්ත අතිනි. වසර 17කට පසු ශ්‍රී ල.නි.ප.යට ආණ්ඩු බලය ලැබිණි. ඒ වන විට පක්‍ෂයේ සිටි ජේ‍යෂ්ඨතමයෙක් වූ දි.මු. අගමැති හීනය දැක්කේය. ඒත් චන්ද්‍රිකා දි.මු.ට අගමැතිකම දුන්නේ නැත. චන්ද්‍රිකා හිතුවේ දි.මු. මැතිනියගේ මිනිහා කියාය. චන්ද්‍රිකා මැතිනියගෙන් පසු අගමැතිකම දුන්නේ තමාගේ මිනිහෙක් වන රත්නසිරිටය. මේ කාලයේ මැතිනියගේ මිනිස්සු ලෙස හංවඩු ගැසී මහින්දලා, දි.මු.ලා හිටියේ එකටය.
මහින්ද 2010දී දි. මු.ට අගමැතිකම දෙන්නේ දි.මු. තමන්ගේ මිනිහෙක් කියල හිතාගෙනය. 1994දී සිංහයෙක් වගේ හිටපු දි.මු.ට අගමැතිකම ලැබෙන කොට ලොම් හැලිලාය.

ප්‍රේමදාස වගේ මහින්දත් දි.මු.ට අගමැතිකම දෙන්නේ දි.මු. මහින්දට අවනත සහ කීකරු නිසාය. මහින්ද දකුණේ මිනිහෙක් කියන කතාව බැලන්ස් කරන්න දි.මු.ට අගමැතිකම දී උඩරටට තැනක් දෙන්න මහින්දට වුවමනා වුණාද දන්නේ නැත.
හැබැයි ප්‍රේමදාස ඩී.බී. ගැන හිතුවා වගේම මහින්දත් ඩී.එම්. ගැන හිතන්නේ එක විදියකටය. ප්‍රේමදාස ඩී.බී.ව දුටුවේ ආරක්‍ෂක පළිහක් ලෙසය. අනාථ ඩී.බී. කවදාවත් ජේ.ආර්. එක්ක සෙට් වෙන්නේ නැති බව ප්‍රේමදාස දැන සිටියේය. හේතුව ඩී.බී.ව ජාතික දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වූයේ ජේ.ආර්.ය. ප්‍රේමදාසට ජේ.ආර්. එක්ක පෑහෙන්නේ නැති අගමැතිවරයෙක් අවශ්‍ය විය. ජේ. ආර්. සහ ඔහුගේ ප්‍රභූ පන්තිය අගමැතිව නටවන්න ගත්තොත් තමාට යන්න වෙන්නේ ගෙදර බව ප්‍රේමදාස දැන සිටියේය. හැබැයි ප්‍රේමදාස ඝාතනය වූවාට පසු ප්‍රේමදාස පවුලටයි ප්‍රේමදාසගේ මිනිසුන්ටයි දුවනකන් ගැහුවේ විජේතුංගය. එයින් පෙනෙන්නේ ඔහු තුළ ප්‍රේමදාස ගැන බියක් මිස ගෞරවයක් නොතිබූ බවය.

මහින්ද දි. මු. ගැන හිතන්නේත් තමාට අභියෝගයක් නොවන, කවදාවත් චන්ද්‍රිකා එක්ක සෙට් වෙන්නේ නැති චරිතයක් ලෙසය. ඩී.බී.ට කියපු ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ් කතාව දි.මු.ට හොඳටම ගැළපෙයි. හැබැයි එදා ඩී.බී. වගේම අද දි.මු.ත් වෙලාව එනකන් බයට ඉවසාගෙන ඉන්නවාද දන්නේ නැත. තමාව ඉවත්කොට වෙනත් අගමැති කෙනෙක් පත්කරන්න ගියොත් ප්‍රේමදාස ලොකු අර්බුදයකට මැදිවන බව ඩී. බී. දැන සිටියේය. ප්‍රේමදාස තමාව අගමැතිකමේ තියාගෙන ඉන්නේ තමාට ආදරයට නොව ඔහුගේ ආරක්‍ෂාවට බව ඩී.බී. දැන සිටියේය.

අද දි.මු.ත් ඒකම හිතනවා නම් පුදුම වෙන්න දෙයක් නැත. දි.මු. දැඩි ලෙස රෝගාතුර වූ විට මහින්ද දි.මු.ව ඇමෙරිකාවට යවා සුවපත් කර ගත්තේ දි.මු. අයින් වුණොත් අගමැතිකමට හිමිකම් පා ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් ඇතිවෙයි කියන බයටය. දි.මු.ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ කුඩු කේස් එකට එරෙහිව රටම කතා කරද්දී මහින්දව බලයට ගෙන ආ හෙළ උරුමය ඇතුළු මහා සංඝරත්නය හඬ නඟද්දී මහින්ද නෑහුනා වගේ ඉන්නේ දි. මු. කියන්නේ මේ වෙලාවේ රාජපක්‍ෂ පවුලේ සහෝදරයන්ටත් වඩා වටිනා දේශපාලන සහෝදරයෙක් නිසාය.

දි.මු. මෙය දනී. ඔහුත් හෙළ උරුමයේ විරෝධතා ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන ඉන්නේ තමාට අගමැතිකමෙන් යන්න කියන එක මහින්දට ජනාධිපතිකමෙන් යන්න කිව්වා වගේ වැඩක් බව තේරුම් ගෙනය.
දුන්නොත් භාරගන්නම් වගේ හිටපු ඩෙෆ් ඇන්ඩ් බ්ලයින්ඩ් නොහොත් අඳ ගොළු බිහිරි ඩී.බී. 'ඩුයින්ග් බ්ලඩ් වෙල්' නොහොත් යකා වගේ වැඩේ දෙන්න පටන් ගත්තේ ජනාධිපතිකම ලැබුණාට පසුවය. දුන්නොත් මැරෙනකම් ඉන්න බලාගෙන අගමැතිකම කරන ඩී.එම්. නම් අද ඉන්නේ 'දෙන්නම් මොළෙන්' කියන්නා වගේය.

උපුල් ජෝසප් ප්‍රනාන්දු -

No comments

Powered by Blogger.