Header Ads

නිළියෝ සහ යක්කු

'මගේ ලස්සන සමඟ රට වෙනුවෙන් සටන් කරනවා' - ගයේෂා පෙරේරා
'නිළියක් කියන්නේ දේශපාලනඥයෙක්ම තමයි'- රුවන්ති මංගලා
'මම දුවන අශ්වයෙක්' - ජූඩිත් වයිට් නොහොත් ජින්ජර්
'මම දේශපාලනයට ආවේ නිකම් සන්තෝෂ වෙන්න නෙවෙයි' - මල්ෂා කුමාරතුංග

මෙසේ කියන්නේ මේ රටේ අලුත්ම දේශපාලනඥයෝ වන රූමත් කාන්තාවෝ පිරිසක්. රඟපෑමට ඇති දක්‍ෂකම කෙසේ වුවත් ඇඟ, මුහුණ ලස්සන නිසා ටෙලි නාට්‍යවලට, සිනමාවට පැමිණි මේ රූමත් කාන්තාවෝ එදා නම් ආවේ දේශපාලනඥයන්ගේ ගෙදරටයි. දැන් එන්නේ දේශපාලන වේදිකාවටයි. දැන් නාම යෝජනා භාර දෙන දවසේ එම ස්ථාන රූප රැජින තරග මධ්‍යස්ථානය වගෙයි.

• රූමතියෝ සහ යක්කු

'බි්‍රතාන්‍ය ජාතිකයකු මරා ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට චෝදනා ලැබ සිටි තංගල්ලේ ප්‍රාදේශීය සභාපති නැවත රිමාන්ඩ් භාරයට' - පුවතක්
දැන් බලන විට අපිට දේශපාලනයේදී තෝරාගන්න වී තිබෙන්නේ මේ තංගල්ල ප්‍රාදේශීය සභාපති වැනි අපරාධ චෝදනා ලබා සිටින්නෙක්. එසේ නැතිනම් මේ විදියට මෝඩ කතා කියන රුව මිස මොළේ කළඳක්වත් නැති රූමතියෝ!
යක්කු ගැන කියනවා නම් වැඩිම ප්‍රමාණයක් යක්කු දේශපාලනයේ ඉන්නේ ඉන්දියාවේයි. ඉන්දියා පාර්ලිමේන්තුවේ 30%ක්ම මන්ත්‍රිවරුන්ට විරුද්ධව අපරාධ නඩු තිබෙනවාලු. බිහාර් ප්‍රාන්ත සභාවේ සිටින මන්ත්‍රිවරුන්ගෙන් 58%ක්ම අපරාධ ඉතිහාසයක් ඇත්තෝයි. උත්තර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ගෙන් 41%ක්ම අපරාධ ඉතිහාසයක් ඇති අයලු. එපමණද? කොංග්‍රස් පක්‍ෂයේ මන්ත්‍රිවරු 21%ක්ද, බී ජේ පී පක්‍ෂයේ මන්ත්‍රිවරු 31%ක්ද අපරාධ අතීතයක් ඇති අයයි. ඔන්න ඉන්දියාවේ ඇති ඔය බටහිර රටවල් උදම් අනන 'ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය' !!

අපේ රටේත් අපරාධ ඉතිහාසයක් ඇති අය මේ තරමටම ඉන්නවා. නමුත් කවුරුත් ගණන් තියා නැහැ. අනෙක එවැනි අපරාධ නඩු ඇති දේශපාලනඥයන්ගේ නඩු හිටි ගමන් නීතිපති මඟින් ඉල්ලා අස්කරගන්නවා. හේතුව? ප්‍රමාණවත් සාක්‍ෂි නැතිකම!! ඒ නිසාම අපේ අය අපරාධ නඩුවලින් බේරී යහමින් වැජඹෙනවා. දුමින්ද, කත්‍රිආරච්චි, වැන්නෝ ගැන මතක් වන්නේ මෙවිටයි. බලය ඇති තැන අපරාධ නැත, කියන සංකල්පය උඩ තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩකරන්නේ. ඉතින් මෙසේ බලන විට යක්කුන්ට වැඩියෙන්ම මෝඩ කතා කියන රූමතියෝ හොඳයි කියලා ඔබ තීරණය කරයි. හැබැයි මේ දෙගොල්ලෝම දැන් කාලේ දේශපාලන නායකයෝ පාවිච්චි කරන්නේ එකම දෙයකටයි. එනම් ජනතාව ඡන්දපොළට ඇදගන්නයි. එසේ ඡන්දපොළට ඇදගෙන බලය ගත් පසුව මේ රූමතියෝ නිකම්ම නිකම් රූමත් පහළ පෙළේ දේශපාලනඥයෝ වෙනවා. අනෙක මේ රූමතියොත් රංගනයෙන් සොයාගත නොහැකි යමක්කමක් සොයාගෙන නායකත්වය කියන ඕනෑම දෙයකට අර ලස්සන අත් ඔසවනවා.

• රූමත් දේශපාලනයේ යථාර්ථය

කැෆේ නමැති ලංකාවේ නිදහස් ඡන්ද වෙනුවෙන් පෙනී සිටින ආයතනය මෑතකදී කීවේ දේශපාලනයට ලිංගික සංකේත පාවිච්චි කරන්න එපා කියලයි. ඔවුන් කීවේ දෙවැනි මට්ටමේ තරුණ දේශපාලන කණ්ඩායම්වලට පළාත් සභා මට්ටමින් ඇතිවෙන්න ඉඩ දෙන්න ඕනෑ; මෙසේ රූමත්කමට කාන්තාවන්ට නාම යෝජනා දුන් පසු සිදුවන්නේ දේශපාලනය නිකම්ම නිකම් විහිළුවක් වෙනවා කියලයි. හැබැයි ඔවුන් නොකී දෙයකුත් තිබෙනවා. දැන් ප්‍රධාන පක්‍ෂ දෙකටම ඕනෑ කරලා තිබෙන්නේ ඔය කියන විදියේ දෙවැනි පෙළේ දේශපාලනයට දක්‍ෂ තරුණ තරුණියෝ පැමිණීම වළක්වන්නයි. හේතුව? දැන් පක්‍ෂ දෙකම පාලනය කරන්නේ වැඩවසම් යුගයේ විදියටයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය භාරගන්න ඉන්නේ දෙවැනි පෙළේ දක්‍ෂ තරුණ තරුණියෝ නෙවෙයි. රාජපක්‍ෂ පවුලේ තරුණ තරුණියෝයි. එක්සත් ජාතික පක්‍ෂය භාරගන්න ඉන්නේ දක්‍ෂ තරුණ තරුණියෝ නෙවෙයි. විජේවර්ධන තරුණයායි. ඉතින් මෙසේ බලනවිට දැන් කාලේ ලංකාවේ මැද පෙළේ දේශපාලනය භාරදෙන්න වී තිබෙන්නේ එක්කෝ යක්කු, එසේ නැතිනම් රූප රාජිනියන්ටයි. හේතුව රාජපක්‍ෂ පවුලටත්, විජේවර්ධන - වික්‍රමසිංහ පවුල්වලටත් මේ දෙගොල්ලන්ගේම කිසිම තර්ජනයක් නැති නිසා.

• නමුත් දේශපාලන යථාර්ථය කුමක්ද?

අද දේශපාලන නායකත්වය කියන එක එදා තිබුණු නායකත්වය වගේ නෙවෙයි. හේතුව බලය ගන්න ජනතාව රවටන්න හැකිකම වගේම බලය ලබාගත්තායින් පසුව රටේ ආර්ථිකය මෙහෙයවන්නත් දැනගන්න ඕනෑ කරනවා. එසේ දැනුමක් නැති තැන රටක ආර්ථිකය ඉදිරියට ගෙන යන්න බැහැ. එසේ දැනුමක් නැතිනම් ආර්ථිකය ගැන නිසි දැනුමක් ඇති අය තමන් ළඟ සිටිය යුතුයි. මහින්ද රාජපක්‍ෂ, සරත් අමුණුගම සහ පී.බී. ජයසුන්දර වැන්නෝ තමන් වටේ තබාගෙන ඉන්නේ ඒ නිසයි.
ආර්ථික ඉතිහාසයේ හොඳ උදාහරණ දෙකක් තිබෙනවා. එනම් වියට්නාමය සහ චීනයයි. මේ රටවල් දෙකම කොමියුනිස්ට් මතවලින් ඉවත් වී ධනවාදය අනුව රටේ ආර්ථිකය නංවන්න ප්‍රවේශ වූ රටවල් දෙකක්. වියට්නාමයේ පාලකයෝ තවමත් අර වියට්නාම යුද්ධයෙන් ඉහළට ආ දේශපාලනඥයෝයි. චීනයේ පාලක මණ්ඩලයේ 8කින්, 7 දෙනෙක්ම ඉන්ජිනේරු උපාධිධාරියෝයි! අද වියට්නාමයේ ආර්ථිකය සංසන්දනය කරන විට එය පෙනෙනවා නොවේද? සිතා බලන්න අපේ ප්‍රධාන නායක මණ්ඩලයෙන් වැඩි දෙනෙක් මහ හයියෙන් දුවන අශ්වයෙක් කියන රූමත් කාන්තාවෝ වුණා නම්! මැය අශ්වයා සහ වෙළඹ කියන වෙනස ගැනවත් දැනුමක් නැති රූමතියක්. ඉතින් සිතා බලන්න ඉදිරි කාලයේ අපේ කැබිනට් රැස්වීම් කොහොම වෙයිද? නාමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පවතින කැබිනට් එකේ එක් පසෙකින් ඉන්නේ දුමින්ද සිල්වා, තංගල්ලෙන් එන ගලප්පත්ති වැන්නෝ. අනෙක් පසින් ඉන්නේ අනර්කලී ආකර්ෂා වැනි රූමතියෝ කණ්ඩායමක්. මේ අය අතර මර්වින් වැනි ජෝකර් කෙනෙක්ද අසුන්ගෙන සිටී. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වැනි ජේ‍යෂ්ඨ ඇමැතිලාද ඉඳීවි. හැබැයි ඔවුන්ට ඇති කාර්යයක් නොවනු ඇති. කැබිනට් තීරණ වනු ඇත්තේ ස්පෝර්ට්ස් කාර්වලට බදු රහිත කරනවා වගේම තුවක්කු බදු රහිතව රටට ගෙන්වන්න හැකි වෙනවා වගේ දේවල්. එපමණද සුවඳ විලවුන්, තොල්, නිය ආලේපන වැනි රූපලාවණ්‍යයට අවශ්‍ය දෑ සහ සාරිද බදු රහිතව ගෙන එන්න පුළුවන් වෙයි. ඔන්න අපේ දේශපාලන අනාගතයෙන් බිඳක්.

• මේ විහිළු දේශපාලනයට ඇති විසඳුම කුමක්ද?

ඇති එකම විසඳුම වන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිකර ගැනීමයි. එනම් පක්‍ෂ දෙකෙන්ම ප්‍රාන්ත මට්ටමේ සමිතිවලින් නායක නායිකාවෝ පත්කර ගෙන ඔවුන් ඉදිරිපත් විය යුතුයි, පහළ මට්ටමේ සහ මැද මට්ටමේ නායකත්වයට. එදාට ඔවුන්ට හැකි වෙනවා රටේ නායකයෝ තෝරා පත්කරගන්න. මෙයට හොඳම උදාහරණය වන්නේ අද අධ්‍යාපනය මඟින් රට වෙනස් කොට තිබෙන ආකාරයයි. අද නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍යත්ව විභාගය නිසා මුළු රටම වෙනස් වී තිබෙනවා. ඉගෙන ගැනීමට හැකියාව තිබෙන ඕනෑම ළමයකුට ඉහළටම ඉගෙනගන්න පුළුවන්. නමුත් එවැනි ළමයකුට දේශපාලන පාලකයෙක් වෙන්න පුළුවන්ද? චීනයේ නම් පුළුවන්. ඒ ගැන තමයි පක්‍ෂ දෙකේම රාජපක්‍ෂ සහ විජේවර්ධන නොවන මන්ත්‍රිවරු එකතු වී කතිකාවක් ඇතිකරගන්න ඕනෑ.

මිගාර

1 comment:

  1. ශ්‍රී ලංකාවේ යම් ප්‍රමානයක්ට බුද්ධිමත් මිනිසුන් සිටින බවට අප විශ්වාස කරමු. තවමත් මේ ර​ෙට් උගත් දොස්තරවරු, ඉන්ජිනේරුවන්, ගණකාධිවරුන්, ඇතුලු වෘත්තිකයන් පිරිසක් සිටිති. නමුත් ශ්‍රී ලංකාව යනු නූගතුන් විසින් බුද්ධිමතුන්ව පාලනය කරන රටකි. එයට මූලික හේතුව නම් ලංකාව සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වීමයි. අසංස්කෘතික පසුගාමී ගෝත්‍රික රටවල බලවත් සිවිල් උගත් මිනිසුන් ගෙන් සැදුම් ලත් සමාජ කවයක් නැත​. එවැනි රටවල සිටින සුලුතරයක් වූ බුද්ධිමත් වෘත්තිකයන් සමාජ ප්‍රශ්න වලදී තම ඔපීනියන් දෙන්නට යන්නේ නැත​. නූගත් පාදඩ වනචාරීන් විසින් බලය ගෙන යන රටක තම ඔපීනියන් දීම යනු දෙකයි දෙකේ පොල්ලක් ඔලුව හරාහා වැදීමය​. එම නිසා මොවුන් බොහෝ විට කරන්නේ තම ඔපීනියන් තමා තුල තබා ගෙන මේ මජර ක්‍රමය හරහා මුදල් උපයා ගැනීමය​. එසේ උපයන මුදල් වලින් මොවුන් තම දරුවන් දියුණු රට වලට ඉගෙනුම සඳහා යවා ඉන්පසු ඔවුන්ට ඒ රටවල පුරවැසි භාවය ලබා දෙති. තම දරුවා ලංකාව වැනි සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික නූගත් රටක පුරවසියෙකු වීමට වඩා සංස්කෘතික, ආර්ථික සහ සමාජමය වශයෙන් දියුණු රටක දෙවන පන්තියේ පුරවැසියෙකු වීම වඩාත් යහපත් බව ඔවුන් විශ්වාස කරති. මෙය ප්‍රසිද්ධියේ නොකීවද සත්‍ය තත්වය මෙයයි. මේ ගැන කල හැකි දෙයක් නැත​. ප්‍රසිද්ධියේ රට ජාතිය ගැන කථා කරන නලීන් ද සිල්වලා ගුනදාස අමරසේකරලාවත් තමන් ගේ දරුවන් හා දරුවන්ගේ දරුවන් වත් ලංකාවේ තියා ගත්තේ නැත​. හේතුව ලංකාව යනු සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් බව ඔවුනද හොඳාකාරවම දන්නා නිසාය​.

    ReplyDelete

Powered by Blogger.