Header Ads

ජනපති ප්‍රේමදාසගෙන් බුද්ධගයාවට ‘රන් වැටක්’ ඉන්දියාවට ‘බුද්ධගයාවක්’

ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඉන්දියාවේ සංචාරය කළ හැම වාරයකදීම එරට රජයට මහා හිසරදයක් හටගන්නා තරම් බරපතළ ගැටලු ඇතිවිය. එනම් ප්‍රේමදාස මහතා ඉන්දීය විරෝධියකු ලෙස නම් දරා තිබීමත් කොටි ත්‍රස්තවාදීන් ඔහුට යම් අනතුරක් කරාවිය යන නිගමනයත් යන කරුණු කාරණා නිසාවෙන් ඉන්දීය ආරක්ෂක අංශ බෙහෙවින් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව ගැන වධ වන්නට වීමය. කිසියම් ප්‍රහාරයකින් ජනාධිපතිවරයාට ඉන්දියාවේදී විපතක් වුණි නම් එය එකහෙළාම ඉන්දියාවේ වැඩකැයි කෙනකුට සිතන්නට වන ඉඩකඩද වැඩි විය.

මෙය ප්‍රේමදාස මහතාද හොඳින් දැන උන්නේය. ඒ නිසාම ඔහුට ඉන්දියාවේදී ආරක්ෂාව හොඳින් ලැබෙන බවත් දැන උන්නේය. වරෙක ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වශයෙන් බුද්ධගයාව වැඳ පුදා ගැනීමට පැමිණියේය. ඔහු එහි ළඟා වෙද්දී අති විශාල ජනකායක් රැස්ව සිටින බව දුටුවේය. ජනතාව දුටු වහාම ප්‍රේමදාස මහතාට සතුට නිම්හිම් නැති විය. ඔහුට හදිසියේම එම ජනතාව අතරට යන්නට සිතුණේය. ඔහු ලංකාවේදී මෙසේ කරන බව දන්නේ ඔහු වටා හුන් මෙරටින් ගිය ආරක්ෂක නිලධාරීන්, හිතවතුන් මෙන්ම මැති ඇමැතිවරුන් පමණකි.

“මට ඒ මිනිස්සු ළඟට ගිහින් කතා කරන්න ඕනෑ!” ප්‍රේමදාස මහතාට ආරක්ෂාව දුන් පිරිසට ඔහු කීවේය. ඒ මොහොතේ ජනාධිපතිවරයාගේ පරිවාර ඇමැති වශයෙන් ඔහු සමඟ ගමන් කළේ ඉන්දීය රජයේ රාජ්‍ය අමාත්‍ය භාතියා මහතාය. භාතියා ඇමැතිවරයාට හීන් දාඩිය දැමිමේ මේ ඉල්ලීම නිසාය. ඒ ඒ වනවිටත් ප්‍රේමදාස මහතාට හොඳින් රැකවරණය සලසන්නැයි බුද්ධි අංශ දැනුම් දී තිබුණු නිසාය.

“ජනාධිපතිතුමනි, ඔබතුමා දැන් ඉන්නේ ලංකාවේ නොවේ ඉන්දියාවේ. ඔබතුමාගේ ආරක්ෂාව සැලැසීම අපේ වගකීමක්, කාරියක්. ඒ නිසා මේ මහජනතාව අතරට යන්න දෙන්න කොහෙත්ම බෑ. ඔබතුමා දන්නවනෙ ඒකේ බරපතළකම?”යි භාතියා ඇමැතිවරයා කාරුණිකව කීවේය.

ප්‍රේමදාස මහතා එවැනි අදහස්වලින් මෙවැනි තැන්වලදී පසුබසින්නේ නැති බව ඔහු සමඟ ගිය පිරිසේ අය දැනගත්තද කිසිවක් කරන්නට ඉඩක් නොවීය. රාජ්‍ය අමාත්‍ය භාතියා මහතාට ප්‍රේමදාස මහතා මෙසේ කීය.

“රාජ්‍ය ඇමැතිතුමනි, මමත් දේශපාලනඥයෙක්නේ. මම අපේ රටේ ජනාධිපති වුණත්, මෙහෙ ආවා කියලා වුණත්, මම මගේ පුරුදු නැති කරගන්නේ කොහොමද? ඇරත් මම මේ වගේ මිනිසුන් අතරින් මතුවෙච්ච මිනිහෙක්. දේශපාලකයකුට තියෙන ලොකුම ආරක්ෂාව කියලා කියන්නේ තමන්ගේ ආරක්ෂක භටයන් පිරිවරාගෙන, ආරක්ෂක වළලු දාගෙන යනවටත් නොවෙයිනේ. මගේ ආරක්ෂාව තියෙන්නෙ මේ වගේ ජනතාව අතරෙයි. ඒ මිනිසුන්ගෙන් මට කිසිම හානියක් වෙන්නෙ නැති බව මට විශ්වාසයි”

මේ මොහොතට සහභාගි වුණු අය අතර වූ මාධ්‍යව්දියෙකු කීවේ එක්තරා විදියකට මෙය ප්‍රේමදාස මහතා ඉන්දීය ජනතාව අතරට ගොස් ජනප්‍රිය සිදුවීමක් ඇති කර ගැනීම වළක්වන්නට ඉන්දියාව උත්සාහ කළ නිසා යන්නට නොදුන් බවත් එය වළකාලමින්, එය හඳුනාගෙන ප්‍රේමදාස මහතා එම ජනතාව අතරට යන්නට උත්සාහ කළාද විය හැකි බවයි.

ප්‍රේමදාස මහතා සැණකින් රැස්ව සිටි ජනතාව අතරට එක් වූයේය. එය එම ජනතාවද කිසිසේත් බලාපොරොත්තු නොවූවක් විය. ඔවුහු බොහෝසේ සතුටට පත්ව පී්‍රති ඝෝෂා පවත්වන්නට වූහ.

“ප්‍රේමදාස් ... ජායි...! ප්‍රේමදාස් ජායි!!”යි කියමින් ඔවුන් ප්‍රේමදාස මහතා පිළිගනිද්දී ඒ තරම් සතුටක් තවත් නැති තරමටම ප්‍රේමදාස මහතාගේ මුහුණේ  සිනාවක් ඇ½දුණේය. ඒ ඔහු ජනතාව අතර වඩාත් තෘප්තිමත් වූ බව පළකෙරුණු අවස්ථාවක් විය.

රැස්ව සිටි අති විශාල ජනතාව අමතා තම සිතැඟි පවසන්නට ඕනෑ බව ප්‍රේමදාස මහතා කීවේය. ඔහු පළ කරන අදහස් එම ජනතාව වෙත පරිවර්තනය කළේ ප්‍රංසයේ පැරිස් නුවර ජේතවන නව විහාරයේ අධිපති කඹුරුපිටියේ චන්ද්‍රරතන හිමියන්ය. ඒ මොහොතේ එවක ඉන්දියාවේ මහබෝධි සමාගමේ සභාපති මාපලගම විපුලසාර හිමියෝද ශ්‍රී  ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වර නාගේන්ද්‍ර නාත් ජා ද වූහ.

ප්‍රේමදාස මහතා එහිදී අපූරු කතාවක් කළේය. “බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුරෙන් පැවැත එන මේ පොදු ජනතාව වෙනුවෙන් ශ්‍රී  ලංකාව විසින් කළ හැකි සෑම උදව්වක්ම කරන්නට මම ඇප වෙන බවත්, කැපවෙන බවත් කියන්නට ඕනෑ. ඒ තරමටම ඔබත් අපත් සිතිවිලිවලින්ද, පරපුරෙන්ද, ඥාති සබදතාවයෙන්ද අප හා බැඳී ගත් ජාතියක්. ඒ මිනිසත් බව අමතක කර අපට වෙනතක් බලා ගන්න හිත් දෙන්නෙ නෑ. ඇරත් ඒක අපේ යුතුකමක් හා වගකීමක්ද වෙනවා”

එදා ඒ සිදුවීම කොයිතරම් ප්‍රේමදාස මහතාගේ සිතට කා වැදුණේ දැයි කියතොත් ගමන යන අතරෙත්, ගුවන් යානයේදීත්, බොහෝ දුරට කතා කළේ ඒ ගැනය. ඒ දුප්පත් මිනිසුන් ගැනය. මේ තරම් විශේෂයක් ඇයි දැයි ඉවෙන්මෙන් හඳුනාගත් සමීපතමයෝ එක් දෙයක් පමණක් අවබෝධ කර ගත්හ. එනම්,
“කවදත් මේ වගේ දුප්පත් මිනිස්සු අතරට  ගිහින් ඇත්තටම දුක සැප බලලා කතා කරන්න පුරුද්දක් එදා දැඩිව ඇති කළේ ප්‍රේමදාස මහත්තයයි. ඒත් මේ හමුවීමේදී නම් විශේෂ යමක් වෙන්න පුළුවන්. ඒ තරමටම එතුමා සතුටින් ඉන්නේ” යන්නය.

මේ සිදුවීම වෙද්දී එහි සිටි මාපලගම විපුලසාර හිමියන්ගෙන් ප්‍රේමදාස මහතා එම දුප්පත් ජනතාව පිළිබඳ තොරතුරු බොහෝ අසාගත් හැටි කාගේත් අවධානයට ලක්ව තිබුණේය. ප්‍රේමදාස මහතා ලංකාවට පැමිණි වහාම නිල වශයෙන් ඒ ගැන කතා කළේය.

“මම ඇස් දෙක පියාගෙන එදා බුද්ධගයාවේදී ප්‍රාර්ථනාවක් කළා. ඒ තමයි... මම ආයෙත් එහෙ එන්නේ බුදුන් වහන්සේ සිහිපත් කෙරෙන බුද්ධගයාවේ ශ්‍රී  මහා බෝධීන් වහන්සේ වටා රන් වැටක් ඉදිකරලා... ඒක පූජා කරන්නයි කියලා. ඒ විතරක් නොවේ කාලාන්තරයක් මුළුල්ලේ ඒ අවට රැඳෙමින් දුක් සුසුම් උහුලගෙන ඉන්න, ජීවත් වෙන්න අප්‍රමාණ දුක් විඳින, ඒ දුප්පත් මිනිසුන්ට ‘බුද්ධගයාව’ නම් ගමක් හදලා අංග සම්පූර්ණ ගෙවල් හදලා ඒ ගෙවල් ඒ ජනතාවට භාරදෙන දවසටයි කියලා”

ප්‍රේමදාස මහතා තම සිතැඟි පැවැසූ දේ කවුරුත් මුව අයාගෙන එය අසා සිටියේය. ‘කොහොමද ඉන්දියාවේදී ගමක් හදල භාර දෙන්නෙ...? ඒකට ඉන්දියාව ඉඩ දෙයිද?’ කියලාය.

එහෙත් අප්‍රමාණ බාධක දුක්කම්කටොලු මැද ප්‍රේමදාස මහතා ශ්‍රී  මහා බෝධියට රන්වැටක් ඉදිකළ අතර, බුද්ධගයාව අසල දුප්පත් මිනිසුන්ට අංග සම්පූර්ණ නිවෙස්ක් සහිත ගමක්ද ඉදිකළේය. එදා රන්වැටත්, බුද්ධගයා ගමත් විවෘත කළදා ඉන්දියාවේ පුවත්පත් මේ අරුම පුදුම පරිත්‍යාගය ගැන ප්‍රේමදාස මහතා පසසමින් පුවත් රැසක් වාර්තා කොට තිබුණේය. අදත් රන්වැට දිලිසෙද්දී, බුද්ධගයා ගමේ මිනිසුන් ප්‍රේමදාස මහතා සිහිකොට පින් පෙත් දෙන බැව් කියවේ.
ඒ ප්‍රේමදාස මහතාගේ හැටිය.

සජිත් රෝහිත ලියනගේ

No comments

Powered by Blogger.