Header Ads

හිඟන්නන්ට ඡන්දෙ තහනම්

අප හිතවත් මර්වින් සිල්වා ඇමැතිවරයා යළිත් කැලණිය ශ්‍රී ල.නි.ප. සංවිධායක වශයෙන් පත්කර ඇත. බැලුම් බෝලයක් තදින් වතුර යට සඟවාගෙන සිටියත් අත බුරුල් වූ වහාම බැලුම උඩට එන්නාක් මෙන් මර්වින් සිල්වාද යළි උඩට ඇවිත් තිබේ.

මේක අප කොයිකාගේත් සතුටට කාරණයකි. 'වැඩකාරයාට බොරු බෑ_බොරුකාරයාට වැඩ බෑ' කියන කියමන සනාථ කරමින් හොඳ වැඩකාරයෙක් වූ මර්වින් සිල්වා යළි එළිබැහීම නම් අපට කිව නොහැකි තරම් සතුටට කරුණකි.
කැලණිය ප්‍රාදේශීය සභාවේ සිටින දේශපාලනය හැදෑරූ පිරිසක් මර්වින් සිල්වාට කැපිල්ල දැම්ම නමුත් ඔහු සැලුණේ නැත. මේ පාර නම් ඒ අයට තරු විසිවන පිළිතුරක් දීමට අපේ මර්වින් සිල්වා ඇමැතිවරයා ක්‍රියා කරනවාට කිසිදු සැකයක් නැත.

තරු ගැන කතා කරද්දී මට සිහිපත් වූයේ කරු ජයසූරියයි. ඔහු කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තනතුරට තරග කරන අවස්ථාවේ මරු කටවුට් එකක් කොළඹ පුරා ගසා තිබුණේය.
'ආවොත් කරු_පායයි හිරු' යනුවෙන් ඒ බැනර් එක ගසා දවසක් ගත වෙන්නට පෙර විරුද්ධවාදීහු අමුතුම බැනර් එකක් කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කළහ.

'ආවොත් කරු_පෙනේවි තරු' යනුවෙන් වූ ඒ බැනරය ඉතා ජනප්‍රිය විය. කොළඹ නගරාධිපතිකමට කරු තේරුණත් නගරවාසීන්ට රෑ තරු නොව දවල් තරු පෙනුණේය.
දැන් බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්දයට සියල්ල සූදානම්ය. අපේ මැති ඇමැතිවරුන්ගේ පුතාලා, දූලා, මල්ලිලා, නංගිලා, ලේලිලාද දැන් ඇඳුම් ඇඳගෙන තරගයට සූදානමින් සිටිති. ඇමැති ජීවන් කුමාරතුංගගේ දෝණියන්දෑද මෙවර එන බව ආරංචිය.
මර්වින් සිල්වා ඇමැතිවරයාගේ පුත් මාලකටද දැන් දේශපාලනය කරන්න හොඳ කාලයකි. නරකද ඇමැතිතුමෝ පුතා දාලා බැලුවොත්?

එහෙම නැත්නම් මර්වින් සිල්වාටද තරග කළ හැකිය. උපන් බිම වූ දකුණට හෝ හදාගත් බිම බස්නාහිරට තරග කළොත් වරදින්නේ නැත. ඔය සොච්චම් ඇමැතිකමට වඩා මහ ඇමැතිකම කොච්චර හොඳද?
අපේ රනිල් වික්‍රමසිංහට නම් මේ දිනවල කරුට වගේ තරු පෙනී ඇති බව පෙනේ. එයාට තවම මහ ඇමැතිකම්වලට සුදුසු අයවත් තෝරා ගන්නට බැරි වී තිබේ. නරකද ඥාති පුත් රුවන් විජේවර්ධන බස්නාහිරට දැම්මොත් මිනිහා 'වෙවුල වෙවුලා කියාවි අනේ අංකල් මට නම් බැරියෝ' කියා.

මේ දිනවල සරත් ෆොන්සේකා නම් ඉන්නේ ජොලි පිටය. රනිල් වික්‍රමසිංහ කරන අමන වැඩ නිසා ෆොන්සේකාගේ කරල පැහී ඇති බව පෙනේ.
දේශපාලනඥයන්ගේ දරුවන්ට, ඥාතීන්ට ඡන්දය ඉල්ලීමේ තහනමක් නැත. ඒ නිසා ඥාතීන් බුරුත්තක් මෙවර තරගයට එන බව නම් ෂුවර්ය.
පළාත් සභාවලට නාමයෝජනා ලබා ගැනීම සඳහා මේ දිනවල පවතින්නේ උග්‍ර සටනකි. කාගේ බෙල්ල කපා හෝ නාමයෝජනා ලබා ගැනීම බොහෝ දෙනාගේ අරමුණය.
ඊයේ උදේ මම හන්දියට යමින් සිටියෙමි. හිටපු පළාත් සභා මන්ත්‍රි සිරිවර්ධන පාලම උඩ බර කල්පනාවකය.

"මොකද මන්ත්‍රිතුමා බර කල්පනාවක වගේ?"
"ඔව් මම මේ කල්පනා කළේ මේ පාර කොයි පක්‍ෂයෙන් එනවද කියලා."
"ඇයි ගියපාර සන්ධානෙන් ඇවිල්ල දිනුව එකේ මේ සැරෙත් ආවොත් නරකද?"
"ඒකටත් කෙළවුණානේ. මේ පාර මට සන්ධානෙන් හම්බ වෙන්නේ නෑ."
"ඒ මොකෝ?"
"ඔයා දන්නේ නැද්ද මම පොඩි පොඩි පගාවල් ගැහුවා. තව ඔය ගෑනු හුටපට වගයකුත් තියෙනවා."

"ඉතින් වෙන පක්‍ෂයකින් ආවම හරිනේ. ඔය ෆොන්සේකාගේ පක්‍ෂයෙන් එන්න පුළුවන්නේ."
"ඒක හරියන්නේ නෑ. ඒගොල්ලන්ගේ සංවිධායක කෙනෙක් ඉන්නවා සිරිදාස කියලා."
"එහෙනම් වික්‍රමබාහුගේ ත්‍රීවීලර් පක්‍ෂයෙන් ඉල්ලන්න පුළුවන්නේ."
"ඒක වංගෙඩි පක්‍ෂයක්නේ."

"එහෙනම් රනිල් වික්‍රමසිංහගේ යූ.ඇන්.පී.යෙන් එන්නකෝ. ඔය ඔක්කොම කුණුගොඩවල් එන්නේ ඒ පක්‍ෂයෙන්නේ."
"ආපෝ... රනිල් වික්‍රමසිංහගේ යූ.ඇන්.පී.යෙන් එනවට වැඩිය හොඳයි මේ පාලමෙන් පැනල මැරෙන එක."
දැන් පළාත් සභා සටන පටන් ගත්තා පමණි. හෙට අනිද්දා වන විට එකිනෙකාගේ බෙලි කපා ගන්නා තීන්ත සටන ඇරැඹෙනු නිසැකය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර දැනට අවුරුදු එකහමාරකට පෙර වෙඩි පහරකින් අභාවප්‍රාප්ත වූ දේශපාලන නායකයෙකි. නඩුව තවමත් විභාග වේ. ඔහුගේ දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය කාලයේ පුවත් මැවූ චරිතයකි.
ඇය මෙවර බස්නාහිර පළාත් සභා සටනට එන බවට ප්‍රකාශ කර ඇත. හිරුණිකාගෙන් කොළඹට එළියක් ලැබෙන්නට පුළුවන් නමුත් කරුගෙන් නම් ලැබෙන්නේ අඳුරකි. මන්ද ඔහුගේ ලොක්කා ලෝක ජල්බරිකාරයෙක් නිසාය.

පසුගිය පළාත් සභා ඡන්දයේදී දකුණු පළාත් සභාවට මන්ත්‍රිවරු දෙදෙනකුගේ පුතෙක් සහ දුවක් තරග කරන්නට සූදානම් වූහ. එක මන්ත්‍රිවරයකුගේ පුතෙක් අනෙක් මන්ත්‍රිගේ දුව විවාහ කර ගැනීමට සූදානමින් සිටියේය.
"දැන් ගෑනිටයි, මිනිහටයි එකම පළාත් සභාවක තරග කරන්න ලැබෙන්නේ නෑ. එක්කෙනෙක් නවතින්න ඕනෑ" තරුණියගේ පියා වන මන්ත්‍රි පැවැසීය.
"ඒක නම් කොහොමත්ම බෑ. මං තමයි තාත්තගේ ඡන්ද සටන මෙහෙයුවේ. මම නම් මේ පාර තරග කරනවා" තරුණිය කෙළින්ම කීවාය.
"තාත්තෙ ඔය මන්ත්‍රිගෙ පුතාව එක්ක මං කසාද නොබැඳ ඉන්නම්. එතකොට ප්‍රශ්නෙ ඉවරයිනේ"

"ඒක කොහොමද කරන්නෙ. අපි දැන් පොරොන්දු වෙලානෙ ඉන්නේ. ඒක නම් කරන්න බෑ. දෙන්නගෙන් එක්කෙනෙක් ඡන්දෙට නෑවිල්ල ඉන්න ඕන."
තරුණිය මඳක් කල්පනා කළාය. ඇයට ඇගේ පරණ ලව් එක මතක් විය.
දින දෙකකට පසු පරණ පෙම්වතා සමඟ පැන ගිය ඇය පියාට දුරකතනය මඟින් කතා කළාය.
"තාත්තේ දැන් මට තරග කරන්න පුළුවන් නේද?"
"ඔව් පුළුවන්. ඔය හිඟන්නත් එක්ක හිඟාකාපන්. ඡන්දෙට එන්නේ සල්ලිකාරයො විතරයි"

බාල්දිය -

1 comment:

  1. "ඡන්දෙට එන්නේ සල්ලිකාරයො විතරයි"
    ඇයි කුඩු බිස්නස් කාරයෝ, කසිප්පු බිස්නස් කාරයෝ, කෝච්චිවල චේන් කඩන උන්, පිම්පියෝ, බඩුකාරයෝ, කොලු කාරයෝ එහෙම බැලුවාම හිඟන්නොත් හිටිය නම් තමා සම්පූර්ණ :D

    ReplyDelete

Powered by Blogger.