Header Ads

සරමත් කැහැපට ගහගෙන මුඩුක්කු මැදින් මහ වැස්සේ ප්‍රේමදාස යූ.ඇන්.පී. පැල්පතකට

ප්‍රේමදාස මහතා අගමැති කාලයේ දිනක් ගාල්ලේ විසූ හිතවත් පාක්ෂිකයකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ගියේය. අද මෙන් හෙලිකොප්ටර් ගමන් බහුල නොවූ එවකට මෝටර් රථයෙන්ම ගොස් එන්නට වීම නිසා එතුමා බොහෝ වෙහෙසට පත්ව සිටියේය. ගමන් වෙහෙස නිසා බොහෝ අයට යකා නඟිනවා වුණත් අරලියගහ මැඳුරට ගොඩ වැදුණු ගමන් විමැසුවේ,

“මොනවද ආරංචි?” යනුවෙනි. එසැණින්ම පුටුවේ වාඩිගත්වනම කීවේ “අපට බොන්න මොනවා හරි ගේන්න” කියලාය. ආරංචි හැටියට අගමැතිතුමා නමට එවූ ටෙලිග්‍රෑම් පණිවුඩයක් ඉදිරිපත් විය. එහි වූයේ...

“තාත්තාට අසාධ්‍යයි. ඔබතුමා දැකීමට ආශාවෙන් සිටී. මීට පරණවිතාන” කෝපියාවත්ත යනුවෙනි.
ප්‍රේමදාස මහතා මුලින්ම වතුර වීදුරුවක් එක හුස්මට හිස් කරන ගමන් මහත් කල්නාවට බරව ප.. ර.. න විතා.. න.. කෝපියාවත්ත...” යි මුමුණන්නට වූයේය.
“අයිසේ බලනවා ඉක්මනටම... මේ කියන කෝපියාවත්ත තියෙන්නෙ කොහෙද කියලා...?”යි අසල වූ එවන්ස් කුරේගෙන් ප්‍රේමදාස මහතා විමැසීය. ඔහු වහා ප්‍රධාන තැපැල්හලට දන්වා ප්‍රේමදාස මහතා විමසන දේ කියා සිටියේය. විනාඩි දෙක තුනකින් අගමැති නිල නිවෙසට ඇමැතුමක් ගත් තැපැල් නිලධාරියා කීවේ...
“එකක් රාගම... අනෙක මාලිගාවත්ත” යි කියාය. ප්‍රේමදාස මහතා බැරෑරුම් සුසුමක් පිට කළේ යමක් හඳුනාගත් පරිදිය. වහා ඇඟ පත සෝදා ගත් ඔහු කෑම මේසයට විත් කෑම කන අතරේද වරින් වර මේ, කෝපියාවත්ත වචනය මුමුනන්නටත් කල්පනා කරන්නටත් විය. කෑම කන අතරේම සිය ආරක්ෂක නිලධාරියා වූ වීරසේකර කැඳවූ ප්‍රේමදාස මහතා...

“තමුසෙගෙ ආරක්ෂක සේනාවම ඕන නෑ. යමු මාත් එක්ක පොඩි ගමනක්. ඒ ගමන යන්නෙ එවන්ස්ගෙ කාර් එකේ. වාහනය එළවන්නෙ එයාගෙ ඩ්‍රැයිවර් පියදාස. එවන්ස් මාත් එක්ක එනවා. කාටවත් මේ ගමන ගැන කියන්නෙ එහෙම නෑ”යි කියමින් උපදෙස් දුන්නේය.
රාත්‍රි 10ට පමණ අරලියගහමැඳුරෙන් පිටත් වූ සාමාන්‍ය මිනිසුන් සිවු දෙනකු පමණක්වූ වාහනයකි. එහි ඉදිරියේ අත්කොට කමිසයක් හා සරමක් ඇඳි ප්‍රේමදාසය. රියැදුරුට මඟ කියන්නේ ඔහුමය. ආරක්ෂක නිලධාරි වීරසේකරත්, එවන්ස් කුරේත් පිටුපසය.

තවත් දින දෙක තුනකින් විවෘත වන ගුණසිංහපුර ගුණසිංහ මහතාගේ පිළිරුවේ නිමැවුම් කටයුතු ද නිරීක්ෂණය කරමින් ගොස් මෙම කුඩා වාහනය මාලිගාවත්තේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය පෙනෙන දුරින් පැල්පත් යායක් අසල නතර විය.
“මම යන තැනටම කාර් එක ගන්න බෑ. දැන් බැහැලා මාත් එක්ක එමු”යි ප්‍රේමදාස මහතා පිරිසට දැනුම් දුන්නේය.
රියෙන් බැසගත් ප්‍රේමදාස මහතා සරම මඳක් ඔසවාගෙන කාටත් පාර කියමින් තමන් හොඳට දන්නා හුරු පුරුදු ගමනක් යන කෙනකු මෙන් පැල්පත් යායේ දිය කඩිති, මඩ ගොහොරු පැනගෙන ඉදිරියට පියමැන්නේය. තරමක වැස්සක් ද පැවැතියේය. ප්‍රේමදාස මහතා තෙමුණද කිසිත් නොකියා ගමනේය.
මුඩුක්කු පේළියක් දිගේ ඔහු පිය මැන්නේය. පිරිස එකා පසුපසය. නිවෙසක් අසල නතර විය. නිවෙස තුළින් ඝෝෂාවක් නැඟිණි. කවුරුත් ප්‍රේමදාස මහතා හඳුනාගත්තා සේය.

“බුදු හාමුදුරුවනේ... අගමැතිතුමා මගේ පැලට ආවද? දෙයියනේ අපි කොහොම විශ්වාස කරන්නට”යි කියමින් ගෙහිමි කාන්තාව ප්‍රේමදාස මහතා දැක සතුටින් කෑ ගැසුවේය.
“කලබල කරන්න එපා. කෑ කෝ ගහන්න එපා. කෝ පරණවිතාන?”යි ප්‍රේමදාස මහතා පිරිස සන්සුන් කරමින් කීය.
එවර ගෙහිමි කාන්තාව කටු මැටියෙන් කළ එම නිවෙසේ මැදට ප්‍රේමදාස මහතාව කැඳවාගෙන ගියේය. ටකරන් වහලයට වැහි බිඳු පතිතවන හඬ ඇසිණි. නිවෙස අලෝකවත් කරන්නට තිබුණේ කුප්පි ලාම්පු දෙකකි.
ඒ එළියෙන් රෝගී පුද්ගලයාට ළංව ප්‍රේමදාස මහතා ඔහු හඳුනාගත්තේය. ඔහු වියපත් අයෙකි. බොහෝ වෙනස් වී සිටියේය. එහෙත් ප්‍රේමදාස මහතාට අතීතය සිහිවූවා සේ විය.

“පරණවිතාන..! මම ප්‍රේමදාස... මාව අඳුරන්න පුළුවන්ද? දුව මට ටැලිග්‍රෑම් එකක් එවා තිබුණනේ... ඔහේ මාව බලන්න ආසයි කියලා... ඔන්න මං පරණවිතාන බලන්න ආවා...”යි ප්‍රේමදාස මහතා පරණවිතානගේ මුහුණට එබෙමින් කීය.

පරණවිතානගේ වධ කිරීමට සිය දුවණිය එසේ කළ බවත්... එසේ කළත් එම ටෙලිග්‍රෑම් එක අගමැතිතුමා අතට පත්ව එතුමන් මෙහේ ඒවි යැයි කිසිදා නොසිතූ බවත් නෙතඟ කඳුළු පිරීගත් පරණවිතානගේ බිරිය කියන්නට වූවාය. රෝගියාට කතා කරන්නට බැරි තරම්ය. එහෙත් ඔහු ප්‍රේමදාස මහතා හඳුනාගෙන දෑසින් සතුට පළකළ අයුරු මහත් හැඟුම්බරව ප්‍රේමදාස මහතා බලා උන්නේය. ඔහු සුරත අල්ලා ගත්තේය. ඒ දෑස අතර බොහෝ හැඟුම්බර බවක් තිබිණි. පරණවිතාන වෙව්ළන කටින් යමක් කියන්නට වෙර දැරීය. ඔහු නෙතු පිරුණු සතුටු කඳුළු වැගිරිණි...

“තමුන්නාන්සේ එන වග මං දන්නවා. ආපු එක කොච්චර හොඳද. තමුන්නාන්සේට බුදු බව අත්වෙන්ඩ ඕන. මගේ ළමයි දෙන්නා ගැන තමයි මට බය. ඒ දෙන්නට යන කලක් තමුන්නාන්සේ හදලා දෙනව නම් එච්චරයි මට ඕනෑ. මාව ගෙනියන්ඩ බෑ. මං වැටිලා ඉන්නේ මැරෙන්නයි” තතනමින් ඔහු එසේ කීය.
“කෝ ළමයි දෙන්නා?”යි ප්‍රේමදාස මහතා විමැසීය. දෙදෙනා ඉදිරියට ආවේ එවරය. බයාදු බවින් යුතු තරුණ දුවත් පුතාත් දෙස ප්‍රේමදාස මහතා කරුණාවෙන් බැලීය.

“ලියාගන්න මේ දරුවන්ගෙ අධ්‍යාපන සුදුසුකම් නම ලිපිනය ඔක්කෝම ලියාගන්න” අසල වූ එවන්ස්ට ප්‍රේමදාස මහතා එසේ කීවේය. ඔහු එය අකුරටම කළේය. සාමාන්‍ය පෙළ සමත් දියණියත් සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළට පෙනී සිටින පුත්‍රයාටත් රැකියාවනට සුදුසුකම් තිබිණි.
ප්‍රේමදාස මහතා පරණවිතාන දෙසට හැරී... “පරණවිතාන බය වෙන්න එපා... මම පුළුවන් ඉක්මනින් මේ ළමයි දෙන්නට ගැළපෙන රස්සා දෙකක් අරන් දෙන්නම්. ඒත් ඇයි මෙච්චර අමාරුකම් තියාගෙන ඉස්පිරිතාලෙ නොයන්නේ”යි කීය.
එකල හොඳින් ජීවත් වූ ඔහු මෙතරම් අබල දුබල වුවත් “මැරුණත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට යන්නේ නෑ”යි කී සැටි පරණවිතානගේ බිරිය විස්තර කළාය. කවුරුත් පුදුමයට පත්කරවමින් ප්‍රේමදාස මහතා එවර කීවේ,

“හොඳයි ගෙවන වාට්ටුවකට යන්න ඕනෑයි කියනව නම් ඒකත් මං පිළියෙල කරලා දෙන්නම්”ය කියලාය. කවුරු කවුරුත් මුහුණු බලාගත්තේ එවරය. සියල්ල එතැන සිටම තීරණය කර, ඒ හැම ඉටුකරන්නට අදාළ අයට නිවැරැදිව උපදෙස් දුන් ප්‍රේමදාස මහතා බොහෝ වේලා පවුලේ අය හා ආගිය කතා කරමින් සිට නිවෙසින් එළියට බැස ගත්තේය.

මුඩුක්කු පේළි ගෙවල් අතරින් මඩ කඩිති, වැහි දිය අතරින් බේරී බේරි පැන පැන එන අතර ප්‍රේමදාස මහතා ඔහු සමඟ ආ පිරිසට මෙසේ කීවේය.
“අයිසෙ ඔය මනුස්සයා මහා පුදුමාකාර විදියට මගේ මැතිවරණ වැඩවලදී සෑහෙන උදව් කරපු කෙනෙක්. ඉස්සර එයා වැඩ කළේ බෘෘක් බොන්ඩ් සමාගමේ... විධායක නිලයක් එහෙමත් කළා... හොඳම යූ. එන්. පී. කාරයෙක්. ආයෙ එහෙට මෙහෙට වැනෙන්නෙ නෑ. ඉද්ද ගැහුවා වගෙයි. කොටින්ම කියතොත් උන්නැහේ ඩී. එස්. සේනානායක මහත්තයගෙ කාලයේ ඉඳලම අපේ පක්ෂයට උදව් කරන අවංක මනුස්සයෙක්. අද ඉතිං ඔහොම අසරණ වුණ නිසානෙ මට කතා කළේ... මට ඇත්තටම දුක හිතුණා. ඒ මනුෂ්‍යයාගේ වටිනාකම මගේ පපුවට දැනුණා... ඒකයි මං මහන්සි නොබලා මේ රෑ ආවේ.”
ඒ ප්‍රේමදාසගේ හැටිය.


සජිත් රෝහිත ලියනගේ

No comments

Powered by Blogger.