Header Ads

නරින්ට කුකුළන් භාරදීම...

වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති දැන් සිටින්නේ පොලිස් පුටුවේ නොව පොලිස් කූඩුවේය. තනිවම නොව පොලිසියේ හිටපු නිලධාරිනියක වන ඔහුගේ බිරියද සමඟිනි. මේ ජෝඩුවට මෙසේ පොලිස් කූඩුවේ ළැගීමට සිදුවී ඇත්තේ ‘මත් කුඩු’ ළඟ තබා ගැනීමේ හා විකිණීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබීම නිසාය. රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් තොගයක් ඔවුන් පදිංචිව සිටි නිවෙසේ අල්මාරියක තිබී සොයාගෙන ඇත.

පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ වැල්ලම්පිටිය පොලිසියේ ලොක්කා මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට හෙරොයින් විකුණා ඇති බවය. ඔහු මෙලෙස හෙරොයින් අලෙවි කර ඇත්තේ පොලිස් වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ මත්කුඩු බවත්, තවත් පුද්ගලයකු විසින්ද පොලිස් ලොක්කාට කුඩු ලබාදී ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබේ. වාර්තා වී ඇති ආකාරයට මහත්තයා පොලිසියේ රාජකාරි කරන අතරේ කුඩු බිස්නස් එක කර ඇත්තේ බිරියයි.

සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන මෙහෙයුම් කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු හෙළි කළ තොරතුරු මත වැල්ලම්පිටිය පොලිස් ලොක්කා කොටුකර ගැනීමට හැකිවී ඇත. එහෙත් මේ පොලිස් ලොක්කා ප්‍රකාශ කර ඇත්තේ මෙය තමන්ට එරෙහි  කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවය. අධිකරණ තීන්දුවක් දෙනතුරු යම් වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු සැකකරුවකු පමණක් වීම නිසා වැල්ලම්පිටිය පොලිස් ලොක්කා කියන කුමන්ත්‍රණ කතාව බොරුවක් යැයි කිව නොහැකිය. එහෙත් සමාජයේ යහපැවැත්ම උදෙසා නීතිය හා සාමය රැකීම පොලිසියට භාර දීම හරියට කුකුළන් භාර දීමක් බවට පත්වී ඇති බව පෙනේ.


මිනීමැරීමට කොන්ත්‍රාත් ගත් බවට චෝදනා ලබා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දැන් සිටින්නේ පොලිස් කූඩුවේය. ලිංගික අල්ලස් ලබා ගැනීමට ගිය මහව මූලස්ථාන පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අල්ලස් හෝ දූෂණ කොමිසම් නිලධාරීන්ට කොටුවී මේ වනවිට ගතවී ඇත්තේ දින ගණනක් පමණි. හිටපු පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ සිද්ධිය වසන් කිරීමට සැකකාරියගෙන් ලක්ෂ 100ක කප්පමක් ලබා ගත් බව කියන තලංගම පොලිසියේ ස්ථානාධිපති, අපරාධ විමර්ශන අංශ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් සිවු දෙනකු පොලිසියට කොටු වී දෙමසක්වත් ගතවී නැත. බීමතින් රිය පදවා දරුවකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පුත්තලම දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිට චෝදනා එල්ල වී ගතවී ඇත්තේ දින කිහිපයකි.

මේ මෑතකදී පොලිස් ලොක්කන්ට එල්ලවූ චෝදනා අතරින් කිහිපයක් පමණි. මිනීමැරුම්, අල්ලස්, ලිංගික අපයෝජන හා බීමතින් රිය පැදවීම් යන මේ බරපතල චෝදනාවල වගඋත්තරකරුවන් වන්නේ පොලිස් පොඩ්ඩන් නොව පොලිස් ලොක්කන්ය. ලොක්කන්ගේ තත්ත්වය මෙබඳු නම් පොඩ්ඩන් ගැන කවර කතාද? ‘යකඩ මල්ලට ගුල්ලො ගසා ඇත්නම් සහල් මල්ල ගැන කුමන කතාද?

‘මතට තිත’ තබන බව කියමින් ප්‍රසිද්ධ වේදිකාවල මරහඬ තළන ඇතැම් දේශාපලනඥයන් මෙන්ම කුඩු ජාවාරම කුඩුපට්ටම් කරන බවට කැට තබන සමහර පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් තිරෙන් පිටුපසදී කුඩු ජාවාරම්කාරයන්ගේ කරට අත දමා ගන්නා බව දැන් සැඟවිය නොහැකි රහසකි. පිටරටින් මත්ද්‍රව්‍ය කන්ටේනර් පිටින් ගෙන  ඒමට තරම් මේ ජාවාරම්කාරයන් ශක්තිමත් වී සිටින්නේ අන්කිසිවක් නිසා නොව නීති හදන මෙන්ම නීති රකින තැන්වල සිටින සමහරුන්ගේ නොමඳ සහාය හා පූර්ණ රැකවරණය ඒ සඳහා ඔවුන්ට ලැබීම හේතුවෙනි.

පොලිසියට කොටුවන කුඩු ජාවාරමේ යෙදෙන ඇතැම් ‘හාල්මැස්සෝ’ පැන යෑමට තැත් කිරීමේදී පොලිසියෙන් වෙඩිකා නසති. නොඑසේනම් මාංචු පිටින් දියට පැන පලා යෑමට තැත්කිරීමේදී ගිලී මරු දකිති. එහෙත් ‘මෝරු’ පොලිසියට කොටුවන්නේ කලාතුරකිනි. වැල්ලම්පිටිය පොලිස් ලොක්කා එලෙස කොටුවූ ‘මෝරෙක්’ ද නොඑසේනම් තෝරෙක්දැයි කීමට තවම කල් වැඩිය.

කෙසේවුවද ඔහුගේ කොටුවීම හරහා මෙරට ක්‍රියාත්මක මත්කුඩු ජාවාරම නම් ‘ප්‍රහේලිකාවේ’ හිස් කොටු කිහිපයක් පුරවා ගැනීමට හැකියාව ලැබේ. වැදගත්ම කාරණය එය නොවේ. පොලිසියේ ලොක්කන් වගඋත්තරකරුවන් වී ඇති සිද්ධි පෙළගැස්වීමේදී පොලිසිය පිළිබඳ ඇඳෙන චිත්‍රයයි. එය ජුගුප්සාජනකය. එපමණටම බියකරුය.

ප්අඉසප්

No comments

Powered by Blogger.