Open top menu
Saturday, January 18, 2014

එජාපයේ සිට මෑතකදී ආණ්‌ඩුවට කරණම් ගැසු අලුත් කරණම්කරුවා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරයි. මිනිස්‌සු ඔහුට හුරතලේට කිව්වේ රත්තරං කියාය. රත්තරං නිකම්ම මිනිහෙක්‌ නොවේ. හොඳ කට්‌ටඩියෙක්‌. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යන නාමයටත් වඩා රත්තරන් යන නාමය දකුණේ ජනතාව අතරට යන්නේ හේ ආරූඪයෙන් ශාස්‌තර කීමට පටන් ගැනීමත් සමඟය.

රත්තරන් අක්‌මීමන බටදූවේ ශ්‍රී විෂ්ණු දේවාලයේ දේවගැතිවරයා මෙන්ම එහි ප්‍රධාන කපුවාය. ඒ නිසා රත්තරන්ගෙන් නොයෙකුත් ගුරුකම් පුදපූජා කර ගැනීමට නන්දෙසින් ජනතාව පැමිණෙන්නට වූහ. මේ ජනී ජනයා අතර ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම විපක්‍ෂයේ දේශපාලනඥයෝද වූහ. එකී දේශපාලනඥයෝ ද පැමිණ රත්තරන්ගෙන් නොයෙකුත් ගුරුකම් වැඩ මෙන්ම පුද පූජා කරගෙන ගියහ.

රත්තරන් ගුරුකම් හා පුද පූජා කිරීමට අමතරව දේශපාලනයටද පැමිණියේය. ඒ එක්‌සත් ජාතික පක්‍ෂයෙනි. කොටින්ම රත්තරන් දේශපාලනඥ කපුවෙක්‌ වූයේය.

දේශපාලනය කළද හේ දේවාලයේ වැඩ නම් නතර කළේ නැත. ඔහු හා හා පුරා මුලින්ම මැතිවරණයට තරග කළේ අක්‌මීමන ප්‍රාදේශීය සභාව සඳහා එ. ජා. ප යෙනි. එම මැතිවරණයේදී රත්තරන් වාර්තාගත මනාප ඡන්ද සංඛ්‍යාවක්‌ වන මනාප ඡන්ද එකොළොස්‌ දහසකට අධික සංඛ්‍යාවක්‌ ලබාගෙන මහ ඉහළින් ජයග්‍රහණය කළේය.

ඉන් අනතුරුව පැවැති දකුණු පළාත් සභා මැතිවරණයටද රත්තරන් එ. ජා. පයෙන් තරග කළේය. ඒ මැතිවරණයේදී රත්තරන් ජනතාවට හරි අපූරු පොරොන්දුවක්‌ දුන්නේය. මම එ. ජා. පයෙන් තරග කරලා ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් පළමු වැනියා වෙනවා. පළමු වැනියා වීමට බැරිවුවහොත් බටදුව ශ්‍රී විෂ්ණු දේවාලය වසා දමනවා යෑයි මැතිවරණ වේදිකාවලදී කීවේය.

ජනතාවද බලා සිටියේ කුමකින් කුමක්‌ වේවිද කියාය. මනාප ප්‍රතිඵල නිකුත් වන විට රත්තරන් මනාප ඡන්ද පනස්‌ තුන්දහසකට අධික සංඛ්‍යාවක්‌ ලබාගෙන දිස්‌ත්‍රික්‌කයේ පළමුවැනියා වී තිබිණි. රත්තරන්ට විෂ්ණු දෙවියන් පිහිට වුණා. විෂ්ණු දේවියන්ගේ වරම නිසා තමයි රත්තරන් මනාපයෙන් එකට ආවේ. එකල ගාල්ලේ ඇතැමුන් මේ ජයග්‍රහණය ගැන කීවේ එවැනි කථාන්දරයන්ය.

කෙසේවුවද පසුගිය මහ මහමැතිවරණ සඳහා ගාල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් රත්තරන් තරග කළද ඔහුට එවර නම් විෂ්ණු දෙවියන් පිහිටවූයේ නැත. රත්තරන්ට එවර මනාප අඩු වී තිබූ අතර ඔහු මනාප ලැයිස්‌තුවේ සිව්වැනි තැන හිමිකර ගෙන සිටියේය.

රත්තරන්ට ඔය තරම් හාස්‌කම් කරන්න පුළුවන් නම් ඇයි පාර්ලිමේන්තු යන්න බැරිවුණේ. මේ මැතිවරණයෙන් පසු රට්‌ටු කථා කරන්නට වූහ. ඒ මැතිවරණයේදී ගාල්ලේ පෙරලිකාර මිනිසා වන නිශාන්ත මුතුහෙට්‌ටිගම රත්තරන් නම් වූ බොරුකාර කට්‌ටඬියෙක්‌ පාර්ලිමේන්තු යවන්න ගාල්ලේ ජනතාව සූදානම් නැතැයි මැතිවරණ රැස්‌වීම්වලදී කීවේය. රත්තරන්ද පෙරලා නිශාන්තට ප්‍රහාර එල්ල කළේ මොළය පරීක්‍ෂා කළ අය පාර්ලිමේන්තු යවන්න ගාල්ලේ ජනතාව සූදානම් නැති බව කියමිනි.

කෙසේ වුවද රත්තරන් හා නිශාන්ත අදටත් හොඳ මිතුරන්ය. නිශාන්ත කීවේ රත්තරන් සන්ධානයට පැමිණි නිසා අත්පුඩි ගසා බදාගෙන පිළිගන්නා බවය.

ඇත්තටම රත්තරන් ගාල්ලේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ගුරුකම් පුද පූජා කරන කට්‌ටඩියෙකු වශයෙනි. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු මෙන්ම විපක්‍ෂයේ දේශපාලනඥයන් ද රත්තරන්ට කියා නොයෙකුත් ගුරුකම්, ආරක්‍ෂාවන් කර ගැනීමට පැමිණියේ එ බැවිනි.

බටදූව විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන මහ පෙරහැර සඳහා එක්‌වරක්‌ ශ්‍රීලනි පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පැමිණ සිටියේය. ඒ විතරක්‌ නොව රටේ ප්‍රබල කාන්තාවක්‌ද විෂ්ණු දේවාලයට පැමිණ නොයෙකුත් පුද පූජා කරගත් බවද කියති.

ඇත්තටම රත්තරන්ට විෂ්ණු දෙවියන්ගේ ආරූඪය වැහෙන්නේ කොහොමද? මේ හා බැඳී ඇත්තේද හරි අපූරු කථාන්දරයකි. රත්තරන් එවකට ගුවන් හමුදාවේ සෙබළෙකි. දිනය 1998 අගෝස්‌තු මස 02 වැනිදාය. එකල රත්තරන් රාජකාරි කළේ මාන්කුලම ගුවන් හමුදා කඳවුරේය. හේ එම කඳවුරේ ඉදිරි ආරක්‍ෂක බංකරයේ රාජකාරි කරමින් සිටියදී මාන්කුලම් ගුවන් හමුදා කඳවුරට එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරයක්‌ එල්ල විය. එම ප්‍රහාරයත් සමග රත්තරන් මහ කැලයේ අතරමං විය. ඔහු දින හතරක්‌ පමණ කැලයේ අතරමංව සිටියේය.

මෙසේ අතරමංව සිටියදී රත්තරන්ට හරි අපූරු දෙයක්‌ සිදුවන්නේය. ඔහුගේ සිරුර මාළුවෙක්‌ මෙන් ගැහෙන්නට වූයේය. රත්තරන්ගේ ඇඟට අමුත්තක්‌ දැනෙන්නට වූයේය. කෙසේ හෝ රත්තරන්ගේ වාසනාවකට විශේෂකාර්ය බළකායේ සෙබළුන්ට ඔහු හමු වුණේය. ඔහුගේ ජීවිතය එදා බේරා ගැනීමට හැකි විය.

ඇත්තටම මේ ආරූඪය මට ලැබුණේ මාන්කුලම කැලයේදී. ඒ නිසා තමයි මට මිත්‍ර හමුදාව ළඟට යැමට වරම් ලැබුණේ. මගේ සීයා තමයි මට ආරූඪයෙන් වැහිලා ඉන්නේ. සීයා විෂ්ණු දෙවියන්ගෙත් ආවතේවකාරයෙක්‌ ලෙස සේවය කරනවා. සීයා තමයි මට වැහිලා ඉන්නේ. රත්තරන් තමන්ට මේ ආරූඪය වැසී ඇති අයුරු විස්‌තර කළේ ඒ අයුරිනි.

රත්තරන්ට ආරූඪය වැහීමත් සමඟ ඔහුගේ කටින් නහයෙන් ලේ පිටවන්නේය. රුධිරය ගැලීම නතර කිරීමට කාලි මෑණියන්ට පූජාවක්‌ කළ යුතුය. රත්තරන් ඒ පූජාව කරන්නේ තමන්ගේ අත කපා ගෙන ලේ පූජා කිරීමෙන්ය.

රත්තරන්ගේ පුද පූජා හා හාස්‌කම්වල පවතින විශ්වාසය කොයිතරම් විශාලද කියනවා නම් ඔහු රජ ගෙදරටත් ගියේය. රටේ නායකයාටත් ආරක්‍ෂාව වෙනුවෙන් වත් පිළිවෙත් කළේය. ඒ රටේ දරුණු ලෙස යුද්ධය පවතින කාලයේදීය.

ඒ අතීත මතකය රත්තරන් අවදි කළේ මේ අයුරිනි.

මගේ දේවාලයට නොයෙකුත් ආරක්‍ෂාවන් කර ගැනීමට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු පැමිණියා. ගොඩක්‌ මැති ඇමැතිවරු ඇවිත් කීවේ යුද්ධය අවසන් කරන්න ජනාධිපතිතුමාට ශක්‌තිය ධෛර්ය ලැබෙන්න කියලා පුද පූජා පවත්වන්න කියලා. ඒ අනුව තමයි මට ජනාධිපතිතුමාට පුද පූජා පවත්වන්න රජමැඳුරට යන්න අවස්‌ථාව ලැබුණේ.

රටේ යුද්ධයක්‌ පවතින අවස්‌ථාවක රටේ රජතුමා ආරක්‍ෂා කිරීම අපේ වගකීමක්‌. මම එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරයකු නිසා අරලියගහ මන්දිරයට යන්න කලින් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දැනුවත් කළා. ඔහු මගෙන් ඇහුවා මොකටද අරලියගහ මන්දිරයට යන්නේ කියලා.

දෙවියන්ට යූ. එන්. පී. ශ්‍රී ලංකා කියලා බෙදීමක්‌ නැහැ. දෙවියන්ට තියෙන්නේ මනුස්‌ස හා අමනුස්‌ස, ගැහැනු පිරිමි විතරයි. දෙවියන්ට ජාති කුල ආගම් පක්‍ෂ බේද නැහැ. ඉතින් මම පුද පූජාවට අවශ්‍ය සියලු කළමනා රැගෙන අරලියගහ මන්දිරයට ගිහින් යුද්ධය නිම කරන්න ජනාධිපතිතුමාට ශක්‌තිය ධෛර්ය ලැබෙන්න කියලා ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පුද පූජාවන් කළා. මගේ වාහනයට මගේ අතින් තෙල් ගහගෙන ගිහින් තමයි මේවා කළේ.

ඇත්තටම ජනාධිපතිතුමාට දෙවියන්, බුදුන් ගැන දැඩි විශ්වාසයක්‌ තියෙනවා. එතුමා නියම බෞද්ධ නායකයෙක්‌. ආගම දහම ගැන මෙන්ම සංස්‌කෘතිය ගැනද ජනාධිපතිතුමා හොඳට දන්නවා. එදා මාව අරලියගහ මන්දිරයට රැගෙන ගිය තැනැත්තා සර් අපි රත්තරන් ගමු කියලා කීවා. එදා ජනාධිපතිතුමා නැහැ රත්තරන්ට ඔහොම ඉන්න දෙන්න. අවශ්‍ය වෙලාවට ගන්න කියලා ජනාධිපතිතුමා අවශ්‍ය වෙලාවට මාව සන්ධානයට සම්බන්ධ කර ගත්තා.

ඇත්තටම රනිල් වික්‍රමසිංහ නායකතුමා බෞද්ධ නායකයෙක්‌ විදියට මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. දෙවියන්ට මිනිස්‌සු ඉල්ලන හැම දෙයක්‌ම කරන්න බැහැ. දෙවියන්ට පුළුවන් අවශ්‍ය මග පෙන්වීම පමණයි. ගංගාවකින් එගොඩවන්න ඉන්න මිනිසෙකුට තොටියෙක්‌ හෝ හබලක්‌ පෙන්වන්න පුළුවන්. නමුත් දෙවියන්ට බැහැ ඒ පුද්ගලයා කරේ තියාගෙන උස්‌සාගෙන යන්න. රත්තරන් කියන්නේය. රත්තරන් රජමැඳුරේ පමණක්‌ නොව සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී ද එ. ජා. ප පක්‍ෂ සම්මේලනයට පෙර දින රාත්‍රි කඩවර පූජාවක්‌ කළේය. ඒ පක්‍ෂයේ සමගිය වෙනුවෙනි. මේ පූජාව සඳහා එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ හා එ. ජා. ප. නායකයන්ද එක්‌ව සිටියෝය. ඒ ගැන රත්තරන් කියන්නේ මෙවැනි කථාවකි.

සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය මස්‌තබාල්දුවෙච්ච තැනක්‌. එ. ජා. පයේ නායකයන් හා නායකත්වය බලාගෙන ඉන්න අය යම් යම් දේවල් කරලා සිරිකොත ප්‍රේතයන්ගෙන් හා භූතයන්ගෙන් වැහිලා. ඒ නිසා එ. ජා. පක්‍ෂ සම්මේලනයේදී නොයෙකුත් කලබල ඇතිවේවි කියලා සැකයක්‌ තිබුණා. ඒ රනිල් හා සජිත් අතර තියෙන බල අරගලය නිසා. මම පක්‍ෂ සම්මේලනයට පෙර දින රාත්‍රි 12.00 ට සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයට ගොස්‌ කඩවර පූජාව කළා. ඒ පක්‍ෂ සම්මේලනය කිසිදු කරදරයකින් තොරව කරන්න පුළුවන් වෙන්න කියලා.

ඇත්තටම එදා පක්‍ෂ සම්මේලනයේදී කිසිදු කලබැගෑනියක්‌ වුණේ නැහැ. සියල්ල සාර්ථකව කළා. නමුත් රනිල් හා සජිත් කවදාවත් සමගි කරන්න බැහැ. හරියට අහසයි පොළවයි වගේ තමයි. රනිල්ට රාජයෝග නැහැ. මේ ආත්මයේ රනිල්ට රජවෙන්න බැහැ. රනිල්ට තියෙන්නේ සෙනසුරු ඒරාෂ්ඨක කාලයක්‌. ඒ නිසා රජවෙන්න බැහැ.

සජිත්ට රජවෙන්න තියා කවදාවත් විපක්‍ෂනායකකමවත් ලබාගන්න බැහැ රත්තරන් කියන්නේය.

රත්තරන් එ. ජා. ප නායකයා ගැන මෙසේ සඳහන් කළද ඔහු එජාපයේ සිටින කාලයේදී කටයුතු කළේ දැඩි රනිල්වාදියෙකු වශයෙනි. එහෙත් පක්‍ෂ මාරු කිරීමත් සමග දෙවියන්ගෙන් අසාගෙන කියන අනාගත කියෑවීමත් වෙනස්‌ වන්නේ එසේය.

මේවා දකින අපට නම් අප්‍රමාණ ප්‍රීතිය. රූප සුන්දරියන්, නගර සෝභිනියන්, මිනීමරුවන්, හරක්‌ හොරුන්, කුඩුකාරයන් සහිත ජනතා නියෝජනයට අඩු වී තිබුණේ හොඳ කට්‌ටඬියෙක්‌ පමණය. දැන් ඒ අඩුවත් පිරෙන්නේය. මේ කට්‌ටඬියාව වැඩිම මනාප සහිතව මීට පෙරත් තේරූ මේ රටේ බුද්ධිමත් ඡන්ද දායක ජනතාව මෙවරත් තම යුතුකම ඉටු කරන බව අපට විශ්වාසය. අපේ ඡන්දදායකයා ස්‌වකීය නායකයන් තෝරා ගැනීමේදී එපමණකට විචක්‌ෂණය.

ඇත්තටම රත්තරං හිටිය යුත්තේ පළාත් සභාවක නොවේ. රටේ ඇමැති පුටුවකය. එවිට ඔහුට අමාත්‍යංශයේම කොණක දේවාලයක්‌ තනාගත හැක. දැනට විෂ්ණු දෙවියන්ගේ ආවතේවකාර යෙක්‌ව සිටින ඔහුගේ සීයා සමග එක්‌වී රටට බොහෝ වැඩ කටයුතු කරදිය හැක. මහජන දිනයේදී අමාත්‍යංශයට පැමිණෙන ජනයාට ශාන්තිකර්ම කළ හැක.

අනතුරුව ඉඩක්‌ ලද විට ඔහුට මාන්කුලම් කැලෑවේදී සිදුවූ බරපතළ මානසික කම්පනය නිසා පත්ව සිටින දුක්‌ත තත්ත්වයට හොඳ මනෝ වෛද්‍යවරයෙක්‌ ලවා ප්‍රතිකාර ගත හැකිය.

ලලිත් චාමින්ද
සකස්‌කළේ - ජානක
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

1 comment :

  1. apita wenne kawadahari angoda hospital eka thawa pulul kirimaya

    ReplyDelete

Popular Posts

Popular Posts