Header Ads

‘හුළං බෝනික්කන්’ට මැතිවරණ නාමයෝජනා දීම දේශපාලන සටකපටකමක් ---- ප්‍රවීණ නළු ජයලාල් රෝහණ

සිය නිසඟ රංගන ප්‍රතිභාවත්, විෂය ක්ෂේත්‍රය පිළිබඳ මනා හැදෑරීමත් තුළින් වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය තුළ ඔහු මැවූ භූමිකා ප්‍රේක්ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේද මහත් ඇගයුමට පැසසුමට ලක්වූ  බව රහසක් නොවේ. රංගනයේ යෙදෙන අතරම ඔහු සිය ශාස්ත්‍රීය දැනුම සිසු පරපුරට දෙමින් විශ්ව විද්‍යාලයීය කථිකාචාර්යවරයකු ලෙසද ඉමහත් සේවාවක් ඉටු කිරීම ද විශේෂත්වයකි. වත්මන් සමාජ දේශපාලනික පසුබිම ගැන සිය  මතිමතාන්තර නොබියව ඉදිරිපත් කරන  සිවිල් මතධාරියකු ලෙසද ඔහු ප්‍රකටය. ජයලාල් රෝහණ නම් වූ මෙම ප්‍රවීණ කලාකරුවා මෙවර ‘රැජිණ’ සමග එක්වෙමින් සිය විවෘත අදහස් දැක්වූයේ මේ ලෙසිනි.

ඔබේ සහෝදර කලාකරුවන් රැසක් මේ වනවිට  දේශපාලනයට සම්බන්ධ වෙමින් හිඳිනවා. විශේෂයෙන් නිළියන් රැසක්ම මෑත කාලයේ ඡන්ද සටනට එක්ව සිටිනවා. නමුත් ඔබ ඒ අයව සෘජුව දෝෂ දර්ශනයට ලක් කරනවා.  
මහගමසේකර වැනි  උත්තුංග ගණයේ කලාව කරුවන් මේ රටේ විශාල සමාජ මෙහෙවරක් කළේ දේශපාලනයට පිවිසිලා නමෛයි. කලාකරුවන්ට දේශපාලන දැක්මක් තිබිය යුතුයි. නමුත් ඒ ඔස්සේ සමාජ මෙහෙවරක් කරන්න දේශපාලන නිලතලවලට පත්විය යුතු නැහැ. දේශපාලන නිලතල සහ කලාවේ අරමුණු එකි’නෙකට හුඟක් දුරස්තරයි.

එතකොට මොකක්ද වර්තමානයේ පවතින මේ රැල්ල ?
ඔය හැමෝම දේශපාලනයට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගන්න. ඒ වගේම ඔබ මගෙන් පැවසුවා මෑත කාලයේ නිළියො රැසක්ම දේශපාලනයට එන බව. ඔබ වැනි මාධ්‍යවේදීන්ට ඒ අය නිළියො වුණාට මට නම් ඒ අය නිළියො නමෛයි. මේ රටේ නිළියො ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඔය ඉන්න බහුතරයෙන් “මෙගා කෙල්ලො කොල්ලෝ” ඔය අය අද මතුවෙලා හෙට නැතිවෙන හුළං බෝනික්කෝ වගේ අය. අනික ඔය අයගෙන් කලාවට සැලකිය යුතු මෙහෙවරක් සිදුවුණේ නැහැ. සිදුවුණේ කලාවේ උත්තරීතර බව, ප්‍රමිතිය යම් ප්‍රමාණයකින් හරි පහළ වැටීම විතරයි. ඔය අය හින්දා  දේශපාලනයට වෙන්නෙත් ඒ සන්තෑසියම තමයි. දැන් අපේ රටේ ප්‍රධාන පක්ෂවලින් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති වැනි මූලික සුදුසුකම් සහිත පිරිස් සිටියදී ලිංගික සංකේතවලට නාම යෝජනා දීමෙන් දේශපාලනය විහිළුවක් බවට පත් වෙනවය කියලා කැෆෙ සංවිධානයත් කියලා තිබුණේ. ඒ ප්‍රවෘත්තිය පහුගිය විසිතුන් වෙනිදා ‘ලක්බිම’ පත්‍රයෙත් පළවෙලා තිබුණා නේද ?

ඔබ ඔය කතා කරන්නේ ඒ නිළියන් ගැන ද්වේෂයෙන් 
මේක ද්වේෂයකට වඩා කලකිරීමක්. ඒ කලකිරීම ඇත්තේ වර්තමාන දේශපාලනය තොරොම්බල් ‍පොළක් කරන්න සැරසෙන්න අපේ දේශපාලන නායකයන් සහ මේ රටේ ජනතාව ගැනයි

ඇයි ඒ ?
ලාබ ජනප්‍රියත්වයක් විතරක් හිමිකර ගෙන ඉන්න මේ විදිහේ අයව දේශපාලනයට යොමු කිරීමෙන් දේශපාලන නායකයන් කරන්නේ ‍පොදු ජනතාව සතු උත්තරීතර දේශපාලන අයිතිය හෑල්ලු කිරීමක්. ඔවුන් සුදුස්සන් පසෙකට තල්ලු කර මෙගා ටෙලි නාට්‍යයක මූණ පෙන්නපු කෙනෙකු ඉදිරිපත් කරන්නේ මේ රටේ ඇතිවිය හැකි දේශපාලනික පුනරුදය පණ පිටින් වළ දමලා හරි තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගන්න.

එතකොට ඇයි ඔබ ‍පොදු ජනතාව ගැන කලකිරීමට හේතුව?
අද මේ රටේ බහුතරයක් මෙගා ටෙලි නාට්‍යවලට ඇබ්බැහි වුණු ඒ හීන ලෝකවලින් සැබෑ ජීවිතයට මිනුම් දඬු සපයා ගන්න අය. ඒ අය වීරයන් විදියට දකින්නේ එම මෙගා නාට්‍යවලින් දකින අය. ඔවුන් වෙනුවෙන් තමයි ඒ අය තම ඡන්දය පාවිච්චි කරන්නේ. ක්‍රීඩාවෙන් හෝ කලාවෙන් හෝ මාධ්‍යයෙන් මොන ක්‍රමයකින් හරි ජනප්‍රිය වීම දේශපාලනික සුදුසුකමක් හැටියට දැකීම අතිශයින් අඳ බාල ක්‍රියාවක්. ලෝකයේ දියුණු රටවල්වල මෙහෙම දේවල් අහන්නවත් නෑ. ඒ අතින් බලනකොට අපේ රටේ තියෙන්නේ චිත්තනමය වශයෙන් පල් මඩ ගොහොරුවක.

එහෙනම් දේශපාලනඥයකු වීමට අවශ්‍ය  සුදුසුකම් මොනවාද ?
ජීවිත පරිඥානය, සමාජ අවබෝධය, ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවෙලා ලබපු අත්දැකීම් වගේම උගත්කමත් මේකට අවශ්‍යයි. මාඕ සේතුං, වී.අයි. ලෙනින් වැනි අයගේ ජීවිත කතා අධ්‍යයනය කළාම ඔබටම ඔය උත්තරය සපයා ගත හැකියි. ඒ අය සැබෑ වීරවරයන්. මේ වගේ කාඩ්බෝඩ් හීරෝලා ‍නෙවෙයි.

එතකොට අපේ රටේ වත්මන් දේශපාලනය තුළ ඔබ දකින දැවැන්ත චරිත කවුද ?
කවුරුවත්ම නැහැ.

ඇයි ඔබ එහෙම කියන්නේ?

එදා මෙදා තුර අප දන්නා දේශපාලන ඉතිහාසය පිළිබඳ සාපේක්ෂව විමසා බැලීමේදී එය පැහැදිලිව පේනවා. අද අපේ රටේ රජයන්නේ ප්‍රතිරූප මත පදනම් වුණු දේශපාලනයක්; අද මේ රටේ දේශපාලන වීරයන් හැටියට බොහෝ දෙනෙක් ගරු කරන්නේ ඒ ප්‍රතිරූපවලට. නමුත් පුද්ගලයා සහ ප්‍රතිරූපය අතරේ බරපතළ වෙනසක් තියනවා. පුද්ගලයකුගේ ප්‍රතිරූපය වර්ධනය කරන්න ‍පෝස්ටර් කට්වුට් වලට වුණත් පුළුවන්. බලන්නකෝ අද රට පුරාම තියන ‍පෝස්ටර්, කට්අවුට්.

ඒ වගේම ප්‍රතිරූප ගොඩනංවා නොගත් සැබෑ වීරයන් අපේ රටේ ඕනෑ තරම් සිටිය හැකියි?
ඔව්; නමුත් ප්‍රතිරූප වන්දනාවේ යෙදෙන ජනතාවට ඔවුන් පෙන්නේ  නෑ. ඒ හින්දා තමයි අපිට කවදාවත් මේ ආගාධයෙන් ගොඩ එන්න බැරි.

ඔබටත් දේශපාලනයට එන්නට ආරාධනයක් ලැබුණොත් එදාට මේ අදහස් වෙනස් වන්නට බැරි නැහැ.
මට ඔය ආරාධනාව එන්න පටන් ගත්තේ 2000 දී විතර. ඒත් මේ පවතින ආටෝපකාරී දේශපාලන රටාවට අනුගතවන්න බැරි හින්දා මම ඒ ආරාධනා හැම එකක්ම ප්‍රතික්‍ෂේප කළා. කොටින්ම කියනවා නම්  අන්තිමට මගෙ බිරිඳ මගෙ ගෙදර දුරකතනයෙ පවා වයර් ගලවලා තියපු අවස්ථා තියෙනවා ඔය ආරාධනාවලින් බේරෙන්න බැරිම තැන.

ඔබ මේ විදියට දේශපාලනය සෘජුව විවේචනය කරන්න ගිහින් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීලා නැද්ද?
මේ ළඟදී දවසක එක්තරා සති අන්ත පුවත්පතක අතිරේකයකින් මගෙ සම්මුඛ සාකච්ඡාවක් කළා. එතැනදී මම මගෙ සෘජු අදහස් ප්‍රකාශ කළා. උදෑසන පුවත්පත් සිරස්තල කියන එක්තරා ගුවන් විදුලි වැඩසටහනකදී දේශපාලනික වශයෙන් හත්‍පො‍ලේ ගාගෙන ඉන්න වයස්ගත   පුද්ගලයෙක් මාව තදින් විවේචනය කරන්න පටන් ගත්තා. හැබැයි ඒ ගැන මගෙ කනගාටුවක් නැහැ.

මොකක්ද ඒකට හේතුව ?
ඒ පුද්ගලයාගෙ දේශපාලනය වගේම අනිකුත් කල්ක්‍රියා ගැනත්  රටම දන්නවා. ආර්. ප්‍රේමදාස ජනපතිතුමා ගම් උදාව කරන කා‍ලේ ඔය පුද්ගලයා කළ කී හැම දෙයක්ම මේ රටේ මිනිස්සුන්ට මතකයි. වැරදීමකින් හරි මම හෙට මේ රටේ ප්‍රබල දේශපාලනඥයෙක් වුණොත් මටත් බොහොම ගෞරවනීය විදියට සලකන්න ඔය මනුස්සයාට කිසිම ලජ්ජාවක් නැති බවත් මම දන්නවා ඒක ඒ මනුස්සයගේ ජන්ම ගතියක් වෙන්න ඕනේ.

මොකක්ද ඔහු ඔබ ගැන කළ විවේචනය ? 
මගේ ඒ ලිපියෙන් මා ගැන රසිකයන් තුළ තිබුණු ආදර ගෞරවය නැති වූ බව ඔහු කියනවා. මෛක්‍රෆෝනයක් ඉදිරියේ කොච්චර කෑගැහුවත් ඒකට හඬ උරාගන්න නිශ්චිත ප්‍රමාණයක් තියනවා. ඉතුරු හඬ ටික අපතේ යනවා. අද වන විට මේ පුද්ගලයාගේ මොළයේ ෙසෙල කොච්චර දිරාපත්වෙලාද කිව්වොත් ඔහු දැන් ගුවන් විදුලියෙන් ජනතාව අමතන්නේ ඒ ගැනවත් තැකීමක් නැතුව ? ඉතින් තවත් මොන කතාද ?

මොකක්ද ? ඔහු ඔබ වෙත එල්ල කළ විවේචනය ?
ඔහු මාව විවේචනය කරන්නේ මගේ ඇඳුම් ටිකක් ‍පොඩිවෙන්න බලලා එහෙම කර ගන්න එපා කියලා; නමුත් ඔහුට මතක නැහැ ඔහු ඒ විවේචන එල්ල කරන්නෙ අමුඩ කෙටියක්වත් නැතුව බව.

ආරියවංශ කුලතිලක

No comments

Powered by Blogger.