Header Ads

කුඩු ආණ්ඩුව කුඩු කරයිද?............"ජේ.ආර්. රට කෑවා. මහින්ද ගම කනවා".

"ජේ.ආර්. රට කෑවා..." මේ ඒ දවස්වල මිනිස්සු නිතර කිව්ව කතාවකි. ඩී.එස්.ට ජාතියේ පියා කිව්වා වගේ ජේ.ආර්.ට ගහපු ටැටූ එක "ජේ.ආර්. රට කෑවා" කියන වචන තුනය.

"ඇයි මිනිස්සු මට එහෙම කිව්වෙ"
විශ්‍රාම ගියාට පස්සේ වෝඩ් පෙදෙසට ආ ජේ.ආර්.ගේ සමීපතමයන්ගෙන් ජේ.ආර්. එහෙම අහලා තිබිණි.

"ඇමැතිවරුන්ගේ හොරකම්, ජනමත විචාරණය, 83 කළු ජූලිය, උතුරේ යුද්ධය, ඉන්දු - ලංකා ගිවිසුම, ජ.වි.පෙ. කැරැල්ල වගේ වැරැදි නිසයි මිනිස්සු ඔබට එහෙම කියන්න ඇත්තේ...."
ජේ.ආර්.ගේ එක් සමීපතමයෙක් දීලා තිබුණේ ඒ වගේ උත්තරයක්ය. ඇත්තටම ජේ.ආර්. මැති ඇමැතිවරුන්ට හොරකම් කරන්න දී රට ගැන හිතල ගත්තේත් වැරැදි තීන්දුය. මේ නිසාම මිනිස්සු ජේ.ආර්.ට කිව්වේ රට කෑවා කියලාය.

"ජේ.ආර්. රට කෑවා. මහින්ද ගම කනවා".
මේ ළඟදී ත්‍රීවීල් රියැදුරෙක් කී කතාවක්ය.
"එහෙම කියන්නේ කොහොමද මහින්ද ගමේ මිනිහානේ...."
"අනෙක මේක ගමේ ආණ්ඩුවක්නේ..."
ත්‍රීවීල් එකේ මගියා උත්තර දුන්නේ එහෙමය.

"මොනවද මහත්තයෝ කියන්නේ. දැන් කුඩු විකුණන්නේ ගම්වල. ගම්වල අපරාධ, ස්ත්‍රී
දූෂණ. ඔක්කොම කරන්නේ ආණ්ඩුවේ ගමේ කට්ටියනේ..."
ඔහු කීවේය.

කතාව නම් ඇත්තය. රත්නපුරයේ, කහවත්තේ, කොටකෙතන මව සහ දියණිය ඇතුළු කාන්තාවන් ඝාතනය පිටුපස තිබුණේ කුඩු පලහිලව්වක් බව අනාවරණය විය. මේ කුඩු බිස්නස් එකට සහ ඝාතන වැලට ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු සම්බන්ධ බව හෙළිදරව් විය. ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි පසුව අත්අඩංගුවට ගැනිණි.
ඊළඟට මාතර අකුරැස්සේ සාරුවා සුනිල් නමැති ප්‍රාදේශීය සභා සභාපති ළමා අපචාර රැසක් සිදුකොට අත්අඩංගුවට පත් විය. එම ප්‍රදේශයම බියගන්වා ගෙන ළමා අපචාර කරමින් නිදැල්ලේ පසුවූ ඔහු අත්අඩංගුවට පත්වූයේ මාධ්‍ය මඟින් එය අනාවරණය කළ නිසාය.

අනෙක තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිය. ඔහු ලංකාවේ සංචාරයකට ආ බි්‍රතාන්‍ය ජාතික යුවළකට තර්ජනය කොට බි්‍රතාන්‍ය ජාතික කාන්තාවට අතවර කරන්නට ගොස් ඇයගේ සහකරු සමඟ ගැටුමක් ඇතිකරගෙන එම සහකරුව ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇත. අත්අඩංගුවට පත් සභාපති පසුව නිදහස් වූ අතර ඔහුට නීතියෙන් දඬුවම් දෙන ලෙස බි්‍රතාන්‍ය ඉල්ලා සිටියේ වරක් දෙවරක් නොවේ. මෙහි පැවැති පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට සහභාගි වීමට නම් සභාපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට බි්‍රතාන්‍ය අගමැති කැමරන් කොන්දේසියක් දැම්මේය.
මේ සඳහන් කළේ සිද්ධි තුනක් පමණි. රට පුරා මෙවැනි සිද්ධීන් ඕනෑ තරම්ය. එක්කෝ කුඩු බිස්නස්වලට ස්ත්‍රී දූෂණ හෝ ළමා අපචාරවලට කෙළින්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සම්බන්ධය. නැතිනම් ඒවාට වගකිවයුත්තා ප්‍රාදේශීය සභා මන්ත්‍රි ආරක්‍ෂා කරයි.

ජේ.ආර්.ගේ කාලයේවත්, ප්‍රේමදාසගේ කාලයේවත්, චන්ද්‍රිකාගේ කාලයේවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් මේ වගේ අපරාධකාරයන් වූයේ නැත.
ඒ දවස්වල ගම්වල ඡන්ද කොල්ල කන්න මැරයෝ කොළඹින් අරන් යන්න ඕනෑය.
"නගරේ ඡන්ද කොල්ල කන්න ලේසියි. ගමේ අමාරුයි. හැම පක්‍ෂයකම දන්න කියන අයනේ ඉන්නේ...."
මේ ඒ කාලයේ ප්‍රකට කතාවකි. ඒත් දැන් බලන් ගියාම මැරයෝ, කුඩු බිස්නස්කාරයෝ අපරාධකාරයෝ ස්ත්‍රී දූෂකයෝ ඔක්කොම ඉන්නේ ගම්වලය.
"කොහොමද ගමේ ආණ්ඩුව ගම දියුණු කරල තියෙන තරම..."

මිනිස්සු ඔච්චමට කියන්නේ එහෙමය. ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ නිකම්ම නොවේ. ඒ දවස්වල ප්‍රාදේශීය සභාවලට ගම්වල කරන්න වැඩ තිබිණි. ප්‍රාදේශීය සභාවලට ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සඳහා ආණ්ඩුවෙන් මුදල් වෙන් කරනකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් තම හිතවතකුට වැඩේ භාර දීලා වැඩක් කරල ගාණක් සාක්කුවට දමා ගනී.
ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගමේ ලොක්කා වගේ ඉන්නෙත් ඡන්ද කරන්නෙත් ඒ සල්ලිවලින්ය. අනෙක ඡන්ද කාලෙට දිනන පැත්තට ගමේ බිස්නස්කාරයෝ සල්ලි වීසි කරති. ඔවුන් සල්ලි වීසි කරන්නෙත් ඔවුන්ට බිස්නස් තියෙන ප්‍රමාණෙටය. දැන් ගමේ බිස්නස්කාරයා යන්නේ හොම්බෙන්ය. රට හතර අතට ණයය. මේ නිසා ප්‍රාදේශීය සභා මන්ත්‍රි නඩත්තු කරන්න ඔවුන්ට හැකියාවක් නැත.

ඒත් ප්‍රාදේශීය සභා මන්ත්‍රි ගමේ මඟුලට අවමඟුලට ගිහින් සුද්දා වගේ ඉන්න ඕනෑය. ඒකට සල්ලි හොයන්න ඕනෑය. දැන් මහ භාණ්ඩාගාරයෙන් ප්‍රාදේශීය සංවර්ධන වැඩවලට සල්ලි දෙන්නේ නැත.
"සල්ලි නැත"
මහ භාණ්ඩාගාරයේ ඉදිරිපස එල්ලා ඇති බෝඩ්ලෑල්ල ඒකය. අමාත්‍යංශයක වැඩක් කරගන්නවත් සල්ලි නැත්නම් ප්‍රාදේශීය සභා ගැන කතා කරන්න දෙයක් නැත.
ඉතින් ලේසිම වැඩේ එක්කෝ කුඩු බිස්නස් කිරීමය. නැතිනම් කුඩු බිස්නස් කරන අයකුට ආරක්‍ෂාව සැපයීමය.

ලොව අංක එකේ ත්‍රස්තවාදියාවයි ඔහුගේ ගෝලබාලයන්වයි විනාශ කළ ආණ්ඩුවකට කුඩු බිස්නස් එක විනාශ කරන්න බැහැ කියනවා නම් ඒක කියන්න ඕන කොණ්ඩෙ බැඳපු චීනුන්ටය. ආණ්ඩුව හමුදාව සහ පොලිසිය යොදවා කොළඹ සහ තදාසන්න නගරවල ක්‍රියාත්මක වූ පොට්ටුඅම්මාන්ගේ කොටි ජාලයේ කොන්ද කඩා බිමටම සමතලා කළේය. එය ඉතා දුෂ්කර කාර්යයකි.
"ඒ වගේ කුඩු ජාලය විනාශ කරන්න බැරි ඇයි...?"

වන්නියේ කැලයේ සිට ක්‍රියාත්මක වූ කොටි ජාලය විනාශ කළ ආණ්ඩුවට කොළඹ හරහා ගම්වලට ව්‍යාප්ත කුඩු ජාලය විනාශ කරන එක සිම්පල් වැඩක්ය. විනාශ කරන්න බැරි ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ගේ සිට ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු දක්වා කුඩු ජාලය ව්‍යාප්ත වී ඇති නිසාය. අත තිබ්බොත් ආණ්ඩුව ගහ ගන්නේ ආණ්ඩුවටමය.
"මහින්ද පත් කරපු ගමේ සභාපතිලාව පන්නල ගමේ ආණ්ඩු හොල්ලන ගමේ මන්ත්‍රිවරු පාලනය කරන්න බැරි මහින්ද කොහොමද ගමේ කුඩු ජාලය කුඩු කරන්නේ.....?"
එහෙම බලන කොට මහින්ද කියන්නේ හරිම දුර්වල නායකයෙකි. ගමේ ආණ්ඩු ඔහුට පුප්පනකොට ඔහු කළේ පෙණේට ගහන එක නොව ලැජ්ජාව වහගන්න විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ වැඩ බලන විපක්‍ෂ නායක ජෝන් අමරතුංගව අරගෙන රට යෑමය. ඔහු බලන්නේ ඔහුගේ ලැජ්ජාව වහ ගන්න ජෝන්ව පාවිච්චි කරල විපක්‍ෂය ලැජ්ජාවට පත්කරන්නටය.

ජේ.ආර්.ද ආණ්ඩුවේ ඇතුළේ වැරැදි මැති ඇමැතිවරුන්ගේ වැරැදි හදා ගන්නේ නැතිව විපක්‍ෂය ලැජ්ජාවට පත් කරල වැරැදි වහගන්න හැදුවේය. මේ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය ලියපු කේ.ඇම්.ඩී. සිල්වා ජේ.ආර්. වැරැදි කළ මැති ඇමැතිවරුන්ට අත තිබ්බේ නැත්තේ ඇයි කියන එක විග්‍රහ කළ ආකාරයය.

"මේ කාරණාවලදී ආදර්ශයක් වීමට ඔහු වුවමනාවෙන්ම ඉදිරිපත් වූ නමුත් තිත්ත ඇත්ත වූයේ ඒ ආදර්ශය සිය කැබිනට් සගයන් බොහෝ දෙනා විසින් හෝ නිලධාරීන් බොහෝ දෙනා විසින් හෝ අනුගමනය නොකිරීමය. ඇතැම් කැබිනට් අමාත්‍යවරුත්, කැබිනට් මණ්ඩලයෙන් පිටත සිටි ඇතැම් අයත්, ඔවුන්ට නියමිත එතරම් විශාල නොවූ ආදායම හෝ අතීත ආදායම් හෝ උරුම වූ ධනය හෝ විසින් කිසිසේත් නඩත්තු කළ නොහැකි අන්දමේ ජීවන රටාවන්ට ඇබ්බැහි වී සිටි බැව් පෙනෙන්නට තිබුණේය. ඔවුහු කොළඹ නැතහොත් අන් නගරවල සුවිශේෂ නේවාසික ස්ථානයන්හි අධික වටිනාකම් ඇති නිවෙස් මිලදී ගත්තෝය. නැතහොත් එබඳු නව නිවෙස් ඉදි කළාහුය. එසේත් නැත්නම් ගොරහැ¾ඩි හෙවත් මනා රුචිකත්වයට නොගැළපෙන පරිදි සුඛෝපභෝගී වූ ස්වරූපයේ නවාංගයන්ගෙන් තම නිවෙස් සරසාලූහ. තමන්ගේ දරුවන් ඉතා අධික වියදම් සහිත කොළඹ පෞද්ගලික පාසල්වලදී උගන්වා, පිටරට පෞද්ගලික පාසල්වලටද යවා, අනතුරුව ඇමෙරිකාවේ බි්‍රතාන්‍යයේ සුපිරි සරසවිවලට යැව්වේ සුළු පිරිසක් නොවේ. මේ අවධියෙහි රටේ ඒ සා විශාල ප්‍රමාණයක් ගොඩනැඟිලි ඉදිවීමත්, ඒ සා විශාල කොන්ත්‍රාත් ප්‍රමාණයක් දෙනු ලැබීමත් හේතුවෙන් කොමිස් මුදල් සහ අල්ලස් මඟින් ධනය ඉපැයීමේ මාර්ග දෙගුණ තෙගුණ විය. ඒ පෙළඹවීම්වලට යට නොවී සිටීම බොහෝ දෙනාට අසීරු බැව් පෙනුණි.

1977 මහ මැතිවරණය සඳහා වූ ඡන්ද ව්‍යාපාරයේදී ජේ.ආර්. ජනතාව ඉදිරියේ පොරොන්දු වූ තම අවසාන අරමුණ

ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීමට යන්න මේ ක්‍රියාවන් නිසා නොමැකිය හැකි ලෙස පලුදු වුණි. ඔහුගේ රජයේ ධර්මිෂ්ඨ න්‍යාය වසා ගෙන දූෂණ හා අක්‍රමිකතාවේ කළු පැල්ලම් වැටෙත්ම "ධර්මිෂ්ඨ" යන්න උපහාස අපහාසයන්ට ඉලක්කයක් විය. ජේ.ආර්.ට එරෙහිව දූෂණ චෝදනා නැඟිය නොහැකි වූ නමුත්, ඇතැම් ජේ‍යෂ්ඨ අමාත්‍යවරුන් හා නිලධාරීන් අරබයා විනය ගරුකත්ව නීති ක්‍රියාත්මක කරවීමට ඔහු අසමත් වීම විවේචනයට ලක්විණි. බොහෝ විවේචකයන්ට මෙන්ම ඔහුගේ මිතුරන්ටද ජේ.ආර්. මේ ගැන කම්පා නොවී සිටීම පෙනුණේ එක්කෝ අනිසි වූ සානුකම්පිතභාවයක් නැතිනම් විස්තීරණ දේශපාලන උපක්‍රමයක් ලෙසය. තමාට හුදෙක් ඕපාදූප අනුව කෙනකු තනතුරින් පහ කළ නොහැකැයි ජේ.ආර්. තර්ක කරනු දැක්ක හැකි විය. එසේ කළේ විශේෂයෙන් ඉතා දක්‍ෂ අමාත්‍යවරුන් හෝ පරිපාලක නිලධාරීන් අරබයාය. එහෙත් මේ දූෂිත පුද්ගලයන් අරබයා තමන් අත විශේෂ ආයුධයක් ඇති හෙයින් ඔවුන්ගේ අනවරත පක්‍ෂපාතීත්වය තමාට සහතික වී ඇති බව ඔහුට කිසිසේත් අමතක කළ නොහැක්කක්ව තිබිණි."

ජේ.ආර්.ට රට කෑවා කියන හංවඩුව වැදුණේ කාගෙ කාගේත් වැරැදි හදා ගත්තේ නැති නිසාය.
"මහින්දටත් ඒ වගේ "මහින්ද ගම කෑවා" කියන හංවඩුව වදියිද...?"
ඒක දැන්ම කියන්න බැරිය.

හැබැයි 77 මැතිනියගේ ආණ්ඩුව වැටුණේ බඩගින්න නිසාය. 94 යූ.ඇන්.පී. ආණ්ඩුව වැටුණේ දූෂණය සහ භීෂණය නිසාය. මේ ආණ්ඩුවට එරෙහිව අද තියෙන ලොකුම චෝදනාව කුඩුය. කුඩු චෝදනාව එල්ල වී ඇත්තේ ආණ්ඩුවේ 'නොම්මර දෙක' අගමැතිටය. අගමැති කුඩු චෝදනාවට සම්බන්ධ නොවන්නට පුළුවන. හැබැයි කුඩු කතාව ළැව් ගින්නක් සේ පැතිර යද්දී ආණ්ඩුව කුඩු කෑ අයකු සේ බලා සිටී.
විපක්‍ෂය මේ කුඩු වැඩේ හරියට අතට ගත්තොත් මහින්දගේ ආණ්ඩුව කුඩේ කුඩු වෙන්නේ කුඩුවලින්මය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

No comments

Powered by Blogger.