Header Ads

'කිරි තේ මුහුදේ මස්‌කට්‌ නැව්'

ගංජා කර්මාන්තය යනු ඉතා ශෝකජනක කතාවකි. ආසවනය මගින් මධ්‍යසාර ස්‌ප්‍රීතු පෙරීම ලංකාවට ආගන්තුකව තිබූ මෙයට අවුරුදු 300 කට පමණ පෙර මේ රටේ මත්ලෝලියා මත් වනු පිණිස බිව්වේ රා ය. ගැහුවේ ගංජා ය. එකල ගංජා යනු බෙහෙතකි. වැද්දන් මස්‌ වර්ග පිසින විට එයට ගංජා කොළ මිශ්‍ර කළ බව කියනු ලැබේ. බඩේ අමාරුව වැළඳුණු විට ගංජා කොළ ගුලියක්‌ කටට ඔබනු ලැබේ. අද වන විට ගංජා යනු සුවිශාල ව්‍යාපාරයකි. සුරුට්‌ටු ඔතා බොනු පිණිසත්, මදන මෝදකයට කලවම් කරනු පිණිසත්, මත්පැන්වලට වැඩි සූර් එකක්‌ ලබාදෙනු පිණිසත් අද ගංජා යොදා ගනු ලැබේ. ඒ අනුව මෙයට අවුරුදු 100 කට පෙර සත එකහමාරක්‌ වූ ගංජා රාත්තලක්‌ අද රුපියල් ලක්‍ෂ එකහමාරකි. ගංජා සමඟ එක්‌වූ ජනශ්‍රැතියක්‌ ද ඇත. එම ජන ශ්‍රැතියට අනුව ගංජාකාරයාගේ සිහිනය "කිරි තේ මුහුදේ මස්‌කට්‌ නැව්" යනු දැකීම ය. එයට හේතුව ගංජා දුම ඉරූ විට අධික සීනි ප්‍රමාණයක්‌ ශරීරයට අවශ්‍ය වීම ය. ගංජාකාරයා දෙවියන්ගෙන් අසන්නේ එකම එක ප්‍රශ්නයකි. ඒ වූ කලී "ඇයි දෙයියෝ ගල් මැව්වේ?" යන්න ය. ගංජා උරන විට යටි පතුල්වල ගැට විශේෂයක්‌ හටගනී. මේ ගැට ගල් සමඟ ගැටෙන විට අධික වේදනාවක්‌ හටගනී. මත්ද්‍රව්‍ය ලෝකය කළඹාලමින් පැමිණි සහ ආපසු ගිය මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්‌ ගැන අපි දනිමු. එයින් පළමුවැන්න අබිං ය. එය වසර දහසකටත් වඩා පැරණි ය. ඊළඟට මරිජුවානා පැමිණියේ ය. තුන්වැනුව ආවේ හෂිස්‌ ය. ඊට සමාන්තරව ඛගීගෘ නමැති පෙත්තක්‌ ද තිබිණ. අවසන් වශයෙන් පැමිණි හෙරොයින් මානව සංහතිය විනාශ කරමින් ඉදිරියට ඇදෙයි. එහෙත් ගංජා සහ මධ්‍යසාරවලට තිබෙන තැන හෙළවීමට මේ කිසිවකටත් බැරි ය. ඉතා වේදනාසහගත මාරාන්තික රෝගවලින් පෙළෙන අයට ගංජා පැළ කිහිපයක්‌ වවා ගැනීමට බ්‍රිතාන්‍යය අවසර දී තිබේ. මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍යවරුන්ට ද මේ අවස්‌ථාව ලැබී තිබිණ. එහෙත් අපේ අයියලා වැඩේ අනාගත් බැවින් ඒ අවසරය අත්හිටුවීමට ආණ්‌ඩුවට සිදුවිය. බෙහෙත් සාදා ගැනීමට ගංජා පැළ දහයක්‌ පහළොවක්‌ වවා ගැනීමට ලද අවසරයෙන් අපේ අය අක්‌කර 10-15 ප්‍රමාණයේ ගංජා හේන් වවන්නට පටන් ගත්හ. ඒ එක හේනකින් ලැබෙන ගංජා ප්‍රමාණය ලංකාවේ පමණක්‌ නොව ඉන්දියාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට ද මුළුමනින්ම ප්‍රමාණවත් ය.

අද වන විට ශ්‍රී ලංකා ගංජා පැළය, අප මේ කතුවැකිය අරඹමින් කියූ ආකාරයෙන්ම ඉතා ශෝකජනක කතාවකි. මෙයට දින කිහිපයකට පෙර වැල්ලවායේ ගංජා හේනක්‌ වැටලූ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය හේනෙහි සිටි පුද්ගලයකු පැන දුවන විට වෙඩි තැබී ය. ඔහු වෙඩි වැදී මළේ ය. මේ තැනැත්තා දරු තිදෙනකුගේ පියෙකි. අද ඒ දරුවන්ට පියෙක්‌ නැත. බිරියට සැමියා නැත. ගංජා හේන්වල වැඩ කරන සියලු දෙනා කුලීකරුවෝ ය. එය උගුලක්‌ වැනි ව්‍යාපාරයකි. ගංජා හේනක වැඩ කරන කුලීකාරයකු තම සේවය තවදුරටත් ලබාදීම ප්‍රතික්‍ෂේප කළොත් වෙඩි තබා මරණු ලැබේ. එසේ වෙඩි තබන්නේ මුදලාලිගේ ගෝලයන් ය. ගංජා මුදලාලි නිතරම සිටින්නේ කොළඹ ගෙදර ය. ඔහු ඇඹිලිපිටිය, වැල්ලවාය, මොනරාගල වැනි ඈත ප්‍රදේශවලින් ගංජා කොළඹට ප්‍රවාහනය කරන්නේ බලගතු දේශපාලනඥයන්ට අයත් වාහනවල ය. ගංජා ප්‍රවාහනයට වාහන සපයන දේශපාලනඥයකුගේ නමක්‌ දැනගැනීමට ඔබත් කැමතිද? දැනට එය හෙළි කිරීමෙන් වළකිමු. ඉදිරි දින කිහිපය තුළ අපට zබාල්දියක්‌Z නොවැටෙන පරිදි හෙළි කරමු. ගංජා නිසා අනාථභාවයට පත්වන සංඛ්‍යාව ඉහළ ය. කැලේ දර කඩන්නට යන ගැහැනියක හෝ මිනිහකු අහම්බෙන් ගංජා හේනක්‌ දුටුවොත් වෙඩි කන්නට සිදුවෙයි. ඒ ඔත්තුව පිටට යැම වළක්‌වනු පිණිස ය. මේ වෙඩි කෑමේ සංස්‌කෘතිය කවර හෝ ආකාරයෙන් වැළැක්‌විය යුතුම ය. මෙයින් අප යෝජනා කරන්නේ ගංජා වැවීම ප්‍රවර්ධනය කළ යුතු බව නොව මනුෂ්‍ය ඝාතනය අධෛර්යමත් කිරීම ය.

 divaina -

No comments

Powered by Blogger.