Open top menu
Friday, February 28, 2014
මහ රජතුමනි, අපේ ලොකු මස්සිනා වැනි මිනිසුන් වෙනුවෙන් හෝ යමක් කරන්න  -- w3lanka

අපේ ලොකු මස්සිනා සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහු කරන ව්‍යාපාරය වන්නේ දකුණේ ගස් කපා මොරටුවට පැටවීමයි. ණයට මිළ දී ගත් ලොරියක් ඔහු සතු ය. ණය වෙනුවෙන් ගෙය උගසට තබා තිබේ. ඊට අමතරව තවත් ණය ද එමට ය. මේ ලියන මට ද ගානක් ලැබෙන්නට ඇත. එය බොල් ණය ලෙස කපා දමන්නට සිදු වී තිබේ.

මේ මනුස්සයා නැගිටින්නට උත්සාහ කරන්නේ මං අපේ බිරින්දෑ කසාද බැඳපු දවස්වලටත්කලින් සිට ය. අපොස උසස් පෙළ සමත් අයකු වුවත් ඔහු කිසි දිනෙක ආණ්ඩුවේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවකට අයදුම් කළේ නැත. හැම විට ම උත්සාහ කළේ ව්‍යාපාරිකයකු වන්නට ය. වතාවක් ණය බර උග්‍ර වූ විට ඔහු වසර දෙකක කාලයක් මැද පෙරදිග රටක රියදුරු රැකියාවක ද යෙදුණේ ය. දැන් ඔහු ඔහුගේ ම ලොරියේ අමතර රියදුරා ය.

දරුවන් මල්ලන් ද නැති හතළිස් විය ඉක්මවා සිටින මිනිසාගේ ජීවිතයේ ස්ථාවර නැගීමක් මට නො පෙනේ. ඔහු යටතේ සේවය කරන මිනිසුන් කීපදෙනාට පඩි නඩි බේරූ විට ඔහුට ඉතිරි වන දෙයක් නැති තරම් ය. තිබෙනවා නම්, අප වැනි අයගෙන් ගත් ණය නො ගෙවා ඉන්නට තරම් ඔහු නරක මිනිසකු නො වේ.

ඔහු තදබල මහින්දවාදියෙකි. ගෙයි ඉදිරිපස ‍ජීව ප්‍රම‍ාණයේ මහින්ද රූපයක් ප්‍රදර්ශනය කරයි. ඔහුගේ ජංගම දුරකථනයේ තවමත් තිබෙන රිං ටෝං එක මහරජාණනේ ය. ලොරියේ ද ඉදිරිපස කාටත් පෙනෙන්නට මහින්ද රූපයක් ප්‍රදර්ශනය ‍කරයි. ඔහු කොන්දේසි විරහිතව මහින්ද වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමග තර්ක කරයි. ආවේගශීලී නො වුණාට සෙන්ටිමෙන්ටල් වෙයි. කොයි තරම් සෙන්ටිමෙන්ටල් ද කියනවා නම් ඔහුගේ බිරින්දෑ වතාවක් කී පරිදි ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දගේ රැස්වීමක් ගාල්ලේදී නරඹා ඇත්තේ අඬ අඬා ය.

එහෙත්, ඔහු ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක හෝ සාමාජිකයකු නො වේ. ඔහු කිසිදු ප්‍රාදේශීය දේශපාලනඥයකු වෙනුවෙන් වැඩ කරන්නේ ද නැත. පක්ෂයෙන් යමක් කර ගැනීමේ බලාපොරොත්තුවක් ද නැත. ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දෙන ඔහු සෙසු ඡන්දවලදී මහින්ද වෙනුවෙන් බුලත් කොළයට පමණක් ඡන්දය ප්‍රකාශ කරයි.

'බලන්න අයියේ පාරවල් එහෙම හදන හැටි, නේද?' ඔහු නිතර කියයි.

ණය හා දූෂණය ගැන පෙන්වා දුන් කල ඔහු තමන් සනසා ගන්නේ යූඇන්පිය ආවොත් ඔයිට එහා ය කියා ය. මොනවා කළත්, යුද්දෙ ඉවර කළ‍ා නේ යි කියමින් ඔහු සිය අවසන් ආරක්ෂක ස්ථානයට යයි.

'මේ ක්‍රමයෙන් ඔයාට ඇති වැඩේ මොකක් ද? ඔයා කරන්නේ පණ යනකල් වැඩ කර, කර බදු ගෙවන එක විතරයි නේ ද? කෝ ඔයාට මේ සමාජ ක්‍රමය තුළ යහපත් ජීවිතයක්?' යන ප්‍රශ්නය ඇසූ කල ඔහු කදිම පිළිතුරක් දෙයි.

'මං අයියෙ මේ පෙනී ඉන්නෙ මං වෙනුවෙන් නෙමෙයි. මට මොනවාවත් නො ලැබුණාට කමක් නැහැ. රටට වැඩක් වෙනව නම්.'

මට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අසන්නට තිබෙන ප්‍රශ්නය වන්නේ අඩු තරමේ මෙවැනි මිනිසුන් ගැනවත් සෙනෙහසක්, ආදරයක් ඔබ තුළ නැත්තේ ඇයි ද කියා ය. මෙවැනි මිනිසුන් වෙනුවෙන් හෝ යමක් කළ යුතු ය කියා සිතක් ඔබට නො එන්නේ ඇයි ද යන්න ඇත්තට ම සිතා ගන්නට බැරි ය.

ඔබත්, ඔබගේ පවුලත් වෙනුවෙන් තම ආත්මය කැප කර සිටින, පෞද්ගලික ලාභාපේක්ෂා නැති, මෙවැනි මිනිසුන්ට ‍ගෞරවනීය පුරවැසියන් ලෙස ජීවත් වී මිය යන්නට පුළුවන් සමාජයක් හදා දෙන්නට දායක වන්නට ඔබට බැරිකමක් නැත. ඔවුන් වෙනුවෙන් වෙන මොනවා නැතත්, නීතියේ පාලනයක් ඇති, දූෂණය අවම වූ සමාජයක් හෝ හදා දිය යුතු යයි ඔබට නිකමට හෝ නො සිතෙන්නේ ඇයි ද යන්න මට නම් පුදුමයකි.

http://www.w3lanka.com/2014/02/blog-post_25.html
Read more
Thursday, February 27, 2014
ජනපති අතුරුදන්

ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ යුක්රේනයේ අගනුවරින් සැතපුම් 10ක් පමණ දුරින්ය. පසුගිය සෙනසුරාදා සවස් වන විට මහජනතාව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය සියතට ගත්හ. දහස් ගණනින් මහජනතාව ජනාධිපති මන්දිරයට සහ කාර්යාල ගොඩනැඟිල්ල වටලන විට පොලිසිය සිටියේ සීරුවෙන්ය. මන්දිරයේ සහ කාර්යාල ගොඩනැඟිල්ල මහජනතාව අත්පත් කර ගන්නා විට පොලිසිය හඬ නඟා කීවේ 'අපි ඉන්නේ ජනතාව සමඟ' යැයි කියාය. මන්දිරය සහ කාර්යාල ගොඩනැඟිල්ල වටා මිනිස් දම්වැලක් නිර්මාණය කළ මහජනතාව කීවේ නව ජනාධිපතිවරයෙක් එන තෙක් තමන් මන්දිරය සහ ගොඩනැඟිල්ල ආරක්‍ෂා කරන බවය.

'වික්ටර් යනුකොවිච්ට අපි මේ හතර මායිමට එන්න දෙන්නේ නැහැ...'
ඔවුන් කීවේ දැඩි අධිෂ්ඨානයකින්ය. වික්ටර් යනුකොවිච්ට 2010දී මේ ජනාධිපති මන්දිරයට යැව්වේ මේ මහජනතාවමය. මේ මහජනතාවගේ කරපිටින් ජනාධිපති මන්දිරයට ගිය වික්ටර් යනුකොවිච් පළමුවෙන්ම කළේ ඔහුත් සමඟ ජනාධිපතිවරණයට තරග කොට පරාජයට පත් අපේක්‍ෂිකාව වූ යුලීයාට එරෙහිව දූෂණ චෝදනා ගොනු කොට ඇයව අත්අඩංගුවට ගැනීමය. යුක්රේන ජනතාවට යනුකොවිච්ව තිත්ත වෙන්න පටන් ගත්තේ එදා සිටය. යුලීයා පමණක් නොව විපක්‍ෂයේ ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගත්තේ මහජන ඡන්දයෙන් බලයට පත් තමාව විනාශ කිරීමට ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දියත් වන බවට චෝදනා කරමින්ය.

'මේ කුමන්ත්‍රණකරුවන් රටට හොරෙන් ආයුධ එවල තියෙනවා. මවුබිම ආරක්‍ෂා කරන මා විනාශ කිරීම ඔවුන්ගේ සැලසුමයි...'
යනුකොවිච් ජාතිය අමතමින් රූපවාහිනියෙන් කෑ මොර දුන්නේය.

ඊළඟට ඔහු ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ට මුහුණ දෙන්න ජනාධිපතිට තියෙන බලය දුර්වල යැයි කියා ජනාධිපති බලය වැඩිකර ගන්න ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කර ගත්තේය. පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලය නම් කිරීමේ බලය පවරමින් 2004දී එරට ව්‍යවස්ථාවට එකතු කළ සංශෝධනය වහා වෙනස් කළ යුතු යැයි ඔහු කීවේය. යනුකොවිච්ගේ ප්‍රතිවාදිනිය යුලීයා අත්අඩංගුවට ගැනීමත්, විපක්‍ෂයේ ආධාරකරුවන් මර්දනය කිරීමත්, මාධ්‍ය මර්දනයත්, ජනාධිපති බලය වැඩිකර ගන්නා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයත් නිසා ඇමෙරිකාව ඇතුළු යුරෝපා සංගමය යනුකොවිච්ගේ රාජ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදය පාලනය කොට ඒකාධිපතිවාදයට යන ගමනක් ලෙස අනතුරු ඇඟවූයේය. යනුකොවිච්ට යකා නැග්ගේය. ඔහු යුරෝපා සංගමයට එක්වීමට ලැබුණ අවස්ථාවට පයින් ගසමින් රුසියාවේ වලිගෙ එල්ලුණේය.
'බය වෙන්න එපා. ඇමෙරිකාවටයි යුරෝපා සංගමයටයි බම්බු ගහගන්න කියන්න. අපි ඔයාව රකිනවා...'

රුසියාව ඔහුට කීවේය. එතැන් පටන් ඔහු යකා නටන්න පටන් ගත්තේ රුසියාවේ හයියෙන්ය 2010 ජනාධිපතිවරණයේදී මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන බවට ප්‍රතිඥා දුන් ඔහු මාධ්‍ය මර්දනය කළේ කාටවත් නොදැනෙන්නටය. නම් හෙළි කිරීමට බය මාධ්‍යවේදීන් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට කීවේ යනුකොවිච්ට සහ ඔහුගේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි තමන් මාධ්‍යකරණයේ නියැළෙන්න ස්වයංවාරණයක් පනවාගෙන ඇති බවය.
'මෙහෙ කොහෙද මාධ්‍ය වාරණ තියෙන්නේ. පුළුවන්නම් ඔප්පු කරල පෙන්වන්න...'

යනුකොවිච් පිප්පුවේය. ඒත් ඔහු වෙනත් ක්‍රම සහ විධි පාවිච්චි කොට මාධ්‍ය හසුරුවන බව ලොවට රහසක් නොවීය.
'බොරු ගොඩක් මවල තියෙනවා. එක් පැත්තකින් ජාත්‍යන්තර ප්‍රජාවට වැරැදි චිත්‍රයක් මවන්න. අනෙක් පැත්තෙන් අපේ රටේ අහිංසක ජනතාව රවටන්න...'
යනුකොවිච් කීවේ හැඟුම්බරවය. ඒත් ඔහු රටට හිමි විය යුතු තමන්ට හිමි විය යුතු දේපොළ මංකොල්ලකන බව ජනතාව දැන සිටියහ. රජයේ සේවකයකු ලෙස ඔහු සේවය කළ කාලයේ ඔහුගේ වැටුප ඇමෙරිකානු ඩොලර් 2,000කට වැඩි වූයේ නැති බව එරට ජනතාව දැන සිටියහ. ජනාධිපති වීමෙන් පසු ඔහු හදපු මාලිගයේ සිවිලිමේ එල්ලෙන එක් ලාම්පු ආවරණයක මිල ඩොලර් 1,00,000ක් බවද ඔවුහු දැන සිටියහ. 2013දී ඔහු පත් කළ ඇමැති මණ්ඩලයෙන් භාගයක්ම ඔහු උපන් පළාතේ අය විය. අය - වැයෙන් 46%ක් පමණ ඔහු වැය කළේ ඔහු උපන් පළාත සංවර්ධනය කරන්නටය. ඒ රටේ ජනගහනයෙන් 35%ක් පමණ දුප්පත්කමේ පතුලේ සිටියදීය.

ස්වීඩනයේ ආර්ථික විශේෂඥයකු කීවේ රටේ ආර්ථිකය හසුරුවන බලය එරට නොම්බර එකේ ව්‍යාපාරිකයන් අතින් යනුකොවිච්ගේ පුතාගේ අතට ගොස් ඇති බවය. යනුකොවිච්ගේ පවුලේ ධන බලය මායිමටවත් එන්න එරට කිසිදු ව්‍යාපාරිකයකු ඉඩ නොදෙන බවත් කවුරු හෝ එවැනි උත්සාහයක් ගත්තේ නම් ඔවුන්ගේ ව්‍යාපාරික ආයතන යනුකොවිච්ගේ පවුලේ අයට විකුණන ලෙසට බලපෑම් කරන බවත් එම විශේෂඥයා කීය. යනුකොච්විට පුත්තු දෙදෙනෙක් සිටිති. එක් අයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. අනෙකා එරට පල්ලියේ ප්‍රබලයෙකි. මොවුන්ගේ ව්‍යාපාර ඇත්තේ රුසියානු දේශසීමා මායිමේය. ඔහු තම බලය රැක ගන්න පමණක් නොව ධනය රැක ගන්නද රුසියාවේ සහාය පැතුවේය.
රුසියාව ආධාර කරන්නේ තම රටට හෝ තමන්ට නොව යනුකොවිච්ට බව එරට මහජනතාවට ඒත්තු යෑමට වැඩි කලක් ගියේ නැත. යුක්රේනය යුරෝපා සංගමය සමඟ එක්වී ලොව බලවත් රටක් ලෙස දියුණු කරන්න යැයි එරට මහජනතාව ඉල්ලා සිටියේ ඒ නිසාය.

යුරෝපා සංගමයට එක්වන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රකින ලෙසත් කොන්දේසි පනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට සංවර්ධනය කරන්න දුන් ණය පැකේජය එපා යැයි කියා යනුකොවිච් රුසියාවට දිව ගියේය. යුරෝපා සංගමයට එක් නොවී තමන් ළඟ රට දණින් වට්ටවන්න කියා රුසියාව යනුකොවිච්ට ආධාර මුදල් සහ සහන පැකේජයක් දුන්නේය.
'මේ පැකේජ් එක අරන් ගිහින් උඹේ රටේ මිනිසුන්ට පෙන්නල උන්ව මගේ දෙපතුල ළඟට අරන් වරෙන්...'

රුසියාවේ නායක පුටින් කීවේ රහසින්ය. යනුකොවිච් පුටින්ගේ පැකේජය බරට උස්සාගෙන යුක්රේනයට ආවේ වීරයෙක් වගේය. ඒත් ජනතාව සෙලවුණේ නැත.
'අපිට ඕනෙ යුරෝපා සංගමය...'
එරට ජනතාව කීහ. එනපොට හොඳ නැති බව තේරුම් ගිය යනුකොවිච් විරෝධතා උද්ඝෝෂණ විරෝධී පනතක් සම්මත කර ගත්තේය. ඒත් ජනතාව පාරට බසිනු ලැබීය. පනත උපයෝගී කරගෙන යනුකොවිච් ජනතාවට වෙඩි තබන්න නියෝග කළේය. 28ක් ඝාතනයට ලක් වූහ. පාර්ලිමේන්තුව රැස්වී යනුකොවිච්ට එරෙහි දෝෂාභියෝගයක් සම්මත කර ගත්තේ රට ලේ විලක් වෙද්දීය.

යනුකොවිච් පත් කරපු අගමැති ඉල්ලා අස් වූයේ මේ ලේ සෙලවීම අනුමත කළ නොහැකි බව පවසමිනි. බය බිරාන්න වූ යනුකොවිච් විපක්‍ෂයේ නායකයන්ට රජයේ ප්‍රධාන තනතුරු දී තව ආණ්ඩුවක් හදන්න ප්‍රතිඥා දුන්නේය.
'තමුසෙගේ තනතුරු පිට දූවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ...'

විපක්‍ෂය එක හ¾ඩින් කීහ. පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එකාවන්ව එක්සත් වූයේ කතානායකවරයාගේ නායකත්වයෙන්ය. විපක්‍ෂයේ ප්‍රධාන නායිකාව යුලීයා සිරගතව සිටි නිසා විපක්‍ෂයට එක් නායකයෙක් නොවීය. අවසානයේදී ඔවුන් හැමෝම එක්වී යනුකොවිච් ජනාධිපති ධුරයෙන් ඉවත් කරන යෝජනාව සම්මත කර ගෙන කතානායකවරයා අන්තර් පාලන ආණ්ඩුවේ නායකයා ලෙස පත්කර ගත්තේය. යනුකොවිච් ඉවත් කරන යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරද්දීම යනුකොවිච් ජනාධිපති මන්දිරයෙන් පැන ගොස් රුසියා දේශ සීමා ආසන්නයේ නගරයක සිට ජාතිය ඇමැතීය. තමාව ඉවත් කර යුක්රේනය විනාශ කරන කුමන්ත්‍රණයක් ඇති බවට ඔහු ජාතිය අමතමින් අඳෝනා නැඟුවේය. කතානායකවරයා නව නායක ලෙස පත් වූ විගස ඔහු එතැනිනුත් පලා ගොස් තිබිණි. මේ වන විට ඔහු ආ ගිය අතක් නැත.
නව පාලකයා විසින් විපක්‍ෂයේ නායිකා යුලීයාව නිදහස් කරනු ලැබීය. නිදහස් වූ ඇය ජනතාව අතරට ගොස් කීවේ මෙය තමන්ගේ හෝ පක්‍ෂ නායකයන්ගේ සටනක් නොවන බවය.

'මේ සටන කළේ මා හෝ පක්‍ෂ නායකයන් නොවේ. ඔබලායි. සටනේ ජයග්‍රහණය හිමි විය යුත්තේ ඔබලාටයි...'
අලුත් ජනාධිපති එනතෙක් ජනාධිපති මන්දිරය රකින මහජනතාවට ඇය කීවේ එපමණය.

'ඒකෙන් පාඩම් දෙකක් උගෙන ගන්න තියෙනවා. ඇමෙරිකාවෙන් මානව හිමිකම් රකින්න කියල එල්ල කරන බලපෑම්වලින් බේරෙන්න රුසියාවේ සහාය පතන රටවලට යුක්රේනය හොඳ පාඩමක් කියල දෙනවා. ඒ තමයි තම කලාපයේ රටවල තමන්ට හිතෛෂී ඇමෙරිකානු විරෝධී පාලකයන් ආරක්‍ෂාකර ගන්න බැරි රුසියාව අනෙක් කලාපවල නායකයන් ආරක්‍ෂා කරන්නේ කොහොමද කියන එක. අනෙක් පාඩම තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම් කඩන පාලකයන් විපක්‍ෂය පාලනය කොට විපක්‍ෂය නැඟිටීම නවත්වන්න මොන ජිල්මාට් දැම්මත් විපක්‍ෂයත් පාගාගෙන ජනතාව ඉස්සරහට එන දවසක් එනවාය කියන එක...'
මෙහෙම කීවේ ඉන්දියාවේ ප්‍රකට දේශපාලන විචාරකයෙකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Wednesday, February 26, 2014
රටේ ජනතාව බඩගින්නේ ඉන්නවාට දේශපාලකයන් කැමැතිය

රටේ ජනතාව බඩගින්නේ ඉන්නවාට දේශපාලකයන් කැමැතිය. ඒ ජනතාව එක්ක තියෙන තරහකට නොවේ. හාමතේ ඉන්න මිනිසුන්ට රටේ ප්‍රශ්න ගැන හිතන්නට ඉඩක් නැති නිසාය. ඔවුන්ගේ ඔළුවේ වැඩ කරන්නේ බඩගින්න නිවා ගන්නේ කොහොමද කියන එක ගැන විතරය. හාමතේ සිටින ළමයින්ගේ බඩගින්න නිවන්නේ කොහොමද කියන එක ගැනය. 'අම්මේ බඩගිනියි' කියා අඬන දරුවන්ට වහ බොන්න දෙන්නට හිතෙන්නේ ඒ නිසාය.

ජිනීවා මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාව ඔවුන්ට අදාළ නැත. යුද අපරාධ කියා එකක් ගැන ඔවුන් දන්නේ නැත. තමන්ට වේල් තුන බඩ පුරවා ගන්නට නොලැබෙන බව පමණි, ඔවුන් දන්නේ. එමඟින් පුරවැසියකු ලෙස තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බව නම් ඔවුන් දන්නේය. ඒත් ඊට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට යා හැකි බව ඔවුන් දන්නේ නැත.

ජනතාවගේ මේ නොදන්නාකමට දේශපාලකයන් හරිම කැමැතිය. ඔවුන්ට 'කට පාඩම්' අධ්‍යාපනයක් ලබා දී, දූපත් මානසිකත්වයකට හුරු කිරීමය, දේශපාලකයන්ගේ අරමුණ වී ඇත්තේ. ජිනීවා ගැන හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන හෝ නොතේරෙන මොනවා හරි කියවා ජනතාව ගොනාට අන්දවා රටේ ප්‍රශ්න යට ගැසීම දේශපාලකයන්ට වාසි සහගතය. ඇතැම් කේවට්ටයන් උගුර කඩාගෙන වේදිකා දෙවනත් කරන්නේ ඒ සඳහාය.
මේ නිසාම බඩගින්න ගැන ලියැවෙන පෑන්වලට දේශපාලකයන් පණ බය ය. බඩගින්නට කරවිල කෑ අම්මාගේ කතාව කණපිට ගසන්නට උතුරු මැද පළාතේ දේශපාලකයකු දත කෑවේ ඒ නිසාය. වරදාන වරප්‍රසාදවලට ගිජු කමින් 'බඩගින්න' තහනම් වචනය කරගෙන ලියන මාධ්‍ය මහත්තුරුන් ඒ දේශපාලකයන්ගේ වීරයන්ය. 'මව්බිම' ඔවුන්ගේ ද්‍රෝහියෙක්ය.

ඒත් මහ පොළොවේ පය ගසා සිටින ජනතාවගේ හදගැස්ම හඳුනන මිනිස්සු 'මව්බිම' වටා රොක් වී සිටිති.
'අම්මේ බඩගිනියි කියා දරුවන් අඬනකොට දරුවන්ට වහ දීලා මටත් වහ බොන්න හිතෙනවා.'
'කන්න නැති නිසා දරුවන් සතියක් ඉස්කෝලෙ ගියෙ නෑ.'

'සමෘද්ධි ආධාර ලැබුණාට ඒක කන්න මදි.'
පසුගිය 18 වැනිදා 'මව්බිම' මෙලෙස හෙළිදරව් කෙළේ නියඟය නිසා අනුරාධපුරයේ, කැබිතිගොල්ලෑව, කණුගහවැව, ජනතාව විඳින දුකය. මාතලේ, මහරගම ජනතාව 'මව්බිම' හෙළිදරව්වෙන් පසු මේ දුක් විඳින මිනිසුන්ගේ බඩගින්න නිවන්නට ගියහ.
'මව්බිම' පත්තරෙන් තමයි, අපි මේ මිනිස්සු විඳින දුක දැක්කේ.'

දුක හඳුනන මිනිසුන් එසේ කියන විට, දුක් විඳින මිනිසුන් මෙසේ කියන බව ඊයේ (26දා) 'මව්බිම' මෙසේ පළ කෙළේය.
'බත් ඇටයක්වත් කන්න නැතිව දරුවන් බඩගින්නේ තියාගෙන හිටියා. කියන්න කවුරුවත් නෑ. අපි ඒක හිතේ හංගගෙන හිටියා. නිලධාරි මහත්තුරුන්ට කිව්වට වැඩක් වුණේ නෑ. අපි දිහා බැලුවෙ නෑ. අපේ බඩගින්න අඳුනගත්තෙ නෑ. අපේ බඩගින්න දැනුණෙ 'මව්බිම'ට විතරයි.

'මව්බිමේ' හෙළිදරව්වෙන් පසු බඩගින්නට කරවිල කෑ අම්මා සහ දරුවන් හතර දෙනා බලන්නට දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් ගියා සේ, කැබිතිගොල්ලෑවද රජයේ නිලධාරීන්ගෙන් පිරී ගියේය. කනගාටුවට කරුණ නම් ඔවුන්ගෙන් බහුතරය මේ හාමත් මිනිසුන් බලන්නට යන්නේ දැන්වත් තමන්ගේ රාජකාරිය ඉටු කරන්නට නොව, 'බඩගිනියි කියා පත්තරවලට කීම මේ රටේ තහනම්' බව කියන්නටය. එසේ කියා 'මව්බිම' බොරු ලියන බව කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ රටට කියන්නටය.

'මාධ්‍යවේදියා පෑන හැසිරවිය යුත්තේ සැප විඳින මිනිසුන්ගේ සැප ගැන ලියන්නට නොව, දුක් විඳින මිනිසුන්ගේ දුක ගැන ලියන්නටය. ඔවුන්ගේ බඩගින්න නිවන්නටය. 'මව්බිම' මහ පොළාවේ සිටගෙන ඒ වගකීම ඉටු කරමින් සිටී. ඒ අතරේ අහසේ සිට තැළෙන, පොඩිවෙන පීඩිත ජනතාව දෙස බලා සිටින දේශපාලකයන්ටත් ඔවුන්ගේ වරදාන වරප්‍රසාදවලට ගිජු කමින් පෑන හසුරුවන මහත්වරුන්ටත් මෙසේ කියමු.
හාමත් ජනතාව මැරෙන්නට පෙර අවසන් මොහොතේ හෝ ඇත්ත තේරුම් ගන්නේය. එවිට ලේ සාගරයක ගිල්වා හෝ ඇත්ත මරා දැමිය නොහැකිය.

mawbima -
Read more
ඩිජිටල් එළදෙන්නු සහ ඇනලොග් බූරුවෝ  (rear gate)

මේ ෆේස්බුක් මරණ තුට්ටුදෙකට දාලා එල්ලිච්ච උන් නිකංම එළදෙන්නු කරන එකට මං විරුද්ධයි. මේවා සයිබර් මරණ. මේවා නියම සංස්කෘතික මරණ.

ඔන්න කොල්ලා කෙල්ලව අතෑරලා වෙන කෙල්ලෙක් එක්ක ගියයි කියලා කෙල්ල කණේරු ඇට කාල මැරෙනවා. ඕව ඉතිං මානව ඉතිහාසේ පටන්ගත්තු දා ඉඳංම තියෙන දේවල්නේ. ශාරීරික වැඩක්.  ආරංචිය ආවා... කනේරු ගහක් ලගට ගියා... ඇට හතඅටක් කඩාගත්තා... සීනි එක්ක කාලා මලා........

ඒ වුනට මේවා එහෙම නෑ. එකෙක් තමුන්ගේ සිතුම් පැතුම් හරි, ඊනියා පින්තූරයක් හරි දත්ත විදිහට පොඩි ඉලෙක්ට්‍රොනික් අටමගලෙකට දානවා. පස්සේ ඕක ප්‍රොසෙසරයකට ගිහින් තැලිල පොඩිවෙලා පොඩි පොඩි බයිනරි සංකේත විදිහට කැඩිලා වයර් දිගෙයි, විද්‍යුත් චුම්බක සංඥා විදිහටයි, පස්සේ ෆයිබර් ඔප්ටික්ස් මෙව්වා දිගේ ආලෝක සංඥා විදිහටයි පරිවර්තනය වෙවී කිලෝමීටර් දාස්ගානක් ඈත සර්වර් වලට යනවා. ඊට පස්සේ සර්වර් කාරයා ඌට ලැබිලා තියෙන උපදෙස් විදිහට අවශ්‍ය අයට ඕනෙනං ලබාගන්ට මෙව්වා අවශ්‍ය තැන්වලට යොමුකරලා තියනවා.
පස්සේ වෙන එකෙක් හරි එකියක් හරි, අර ගියපු මාර්ග දිගේම මෙව්වා සල්ලි ගෙවලා බයිනරි සංකේත විදිහටම කිලෝමිටර් දාස් ගානක් ඈත ඉඳන් තමුන්ගේ විද්‍යුත් අටමගල් වලට ගෙන්නගෙන, එව්වා ආපහු ප්‍රොසෙසරයකින් පූට්ටුකොරලා, සිලිකන් තිරේක  ඊනියා අතුරු මුහුණතකට අරං කියවලා.......
දුවලා ගිහින් බෙල්ලෙ වැල දාගන්නවා....!!

මේක සංස්කෘතිකයි. ටිකක් නෙමේ. හොඳටම සංස්කෘතිකයි. මානව ඉතිහාසයේ මොකාද හිතුවේ කවදහරි මිනිස් අදහසක් එක-බින්දුව සයිස් එකට කුඩුපට්ටම් කරලා, තත්පර ගානක් ඇතුලත දුර ඈතට ගෙන්නගෙන  ඒක ආපහු ප්‍රතිනිර්මාණය කරලා හිත රිද්දගෙන මැරෙන්න පුළුවන් වෙයි කියලා? ඒ පළවෙනි කරුණ.

දෙවෙනි එක මේකයි. මේක කොච්චර සංකීර්ණද කියලා අපි නිකමටවත් හිතන්නෑ. නිකමට බලන්න කොල්ලා බැන්නා කියලා එල්ලෙන එකකයි, ෆේස්බුක් නිසා එල්ලෙන එකකයි තියෙන වෙනස. කොල්ලා බැන්න සීන් එකේදි මූලිකව අවශ්‍ය වෙන්නේ කොල්ලාගේ බැණුම ඇහෙන එක විතරයිනේ.  ඊට පස්සෙ (මරණ දෙකටම පොදු) එල්ලෙන්න තැනකුයි, ලණුවක් හරි සාරියක් හරි වගේ එකකුයි. තව ඕන්නං ලියුමක් වගේ ලියන්න හිතුනොත් කඩදාසියකුයි පෑනකුයි......

නමුත් ෆේස්බුක් එල්ලිල්ලක් එහෙම නෑ. මුලින්ම කොම්පියුටරයක් හරි ෆේස්බුක් යන්න පුළුවන් වෙන සුකුරුත්තමක් හරි තියෙන්න ඕනේ. එක පැත්තක විතරක් තිබිලා බෑ. දෙපැත්තටම තියෙන්න ඕනේ. ඒකට පොඩි පහේ ආර්ථික ශක්තියක් තියෙන්නත් ඕනේ. ඕකක් පරිහරණය කරගන්න තරමක දැනුමක් ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාව තියෙන පළාතක ඉන්න ඕනේ. ඩේටා කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. ඒක ගන්න අයිඩින්ටියක් තියෙන්න ඕනේ. බිල ගෙවාගන්න සල්ලි තියෙන්න ඕනේ. ෆේස්බුක් තහනම් නොකරන ලද දේශපාලන වටපිටාවක් තියෙන්න ඕනේ. මොන මගුල නැතත් කරන්ටෙක තියෙන්න ඕනේ.

මම කියන්නේ ඕවයින් එකක් හරි මිස් උනොත් ඔය මරණය වෙනවද? අන්න එතනයි අපිට වැදගත්. ෆේස්බුක් නිසා මැරෙනවනං ඒ දියුණු මිනිසෙක්. ඒක නිසා මේවා “දියුණු සංස්කෘතික මරණ”.

ලංකාවේ ෆේස්බුක් තහනම් කරයිද, නැද්ද වගේ නිශ්ඵල කතාවලට කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ගලන ගඟක් ආපහු හරවන්න බැහැ වගේම, මානව දියුණුව ආපහු ගල්යුගේට ගෙනියන්න මොන ගල්වැද්දටවත් බැහැ. එහෙම කරන්න හැදුවොත් මේවා මීටත් වඩා සංකීර්ණ විදිහට ගල්ලෙන බිඳගෙන ලෙන්දොර ඇරගෙන අපූරුවට ඒවි.

මේ මැරෙන්නේ නිකංම එළදෙන්නු නෙමෙයි.  මෘදුකාංග අතුරු මුහුණතක ‘එක පතේ කන’ තරමට එක පැත්තකින් දියුණු මිනිස්සු. කාටහරි එළදෙන්නු කියන්න ඕනෙමනං, අඩුමගානේ ඩිජිටල් එළදෙන්නු. මේවා ඇනලොග් ක්‍රමේට ප්‍රින්සිපල්ලා මාරුකරලා විසඳන්න පුළුවන්ද මම දන්නෙ නෑ. ලොකුම වසංගතේ ඇනලොග් ජනමාධ්‍ය බූරුවෝ. “තවත් මල් කැකුළක් අද අකාලයේ පරවුනා....” කියල මුං පටන්ගන්න තෙල් බේත් බිස්නස් එක දැක්කාම ඇනලොග් ඩිජිටල් බේදයක් නැතුව කාට කාටත් එල්ලෙන්න නොහිතුනොත් තමයි පුදුමේ.

ඉතිං අඩුමගානේ මේ ෆේස්බුක් මලගෙවල් ටිකවත් ඔය ඇනලොග් බූරුවන්ට විකුණගෙන කන්න බැරිවෙන විදිහට ටිකක් දියුණු සංස්කෘතික විදිහට ගන්න තිබ්බනං අගෙයි නේහ්?

http://reargate.blogspot.com.ar/2014/02/blog-post_25.html
Read more
Tuesday, February 25, 2014
මර්වින් වළ කපා ගනී

මාළුවා මැරෙන්නේ කට නිසාය. බොහෝ මිනිසුන් අමාරුවේ වැටෙන්නේද කට නිසාය. අප හිතවත් මර්වින් සිල්වා ඇමැතිවරයා මෙවර ඇත්තටම මැරෙන්න යන බව සඳහන් පුවතක් ‘මව්බිම’ පුවත්පතේ පළ විය.

ඒ කියන්නේ පණ පිටින් වළලෑමේ කතාවකි. මර්වින් සිල්වා කනත්තේ ජෝතිපාලගේ වළ ළඟින්ම බිම්කඩක් අරගෙන තිබේ. සල්ලි බැඳ ඇති මේ වළේ අත්තිවාරම බැඳ තමාම වළ කපා ගන්නා බව ඔහු කියයි. තව සති දෙකකින් මර්වින්ගේ වළ තමාම කපා ගන්නා බව ඔහු කියයි.
මීට පෙර කිහිප අවස්ථාවකම මර්වින් සිල්වා ඇමැතිවරයා කට නිසා අමාරුවේ වැටී ඇත. ඔහු අන්තිමට කට නිසා අමාරුවේ වැටුණේ කැලණිය සංවිධායකකමත් අහිමිකරගෙනය. මාස ගණනාවකට පසු යන්තම් ඔහුට එය ආපසු ලැබී ඇත.

ජනාධිපතිවරයා කට පරිස්සම් කරගන්නා ලෙස මර්වින්ට කිහිප වතාවක්ම අවවාද කර තිබේ. කොහේද සතියකින් දෙකකින් නිකම් තියෙන කටේ මොනවා දාගත්තම මොකදැයි සිතමින් ඔහු කට අරී. කට ඇරියොත් පැත්තක් විනාශ වන බව ඔහුට දැනෙන්නේ කට නිසා අමාරුවේ වැටුණු පසුවය.

මෙවර ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාලගේ සොහොන ළඟින් තමාගේ සොහොන තනන්නට මර්වින් සිතුවේ ළඟදී ඔහු මියයන බව සිහිනෙන්වත් පෙනිලාදැයි අපට සැක සිතේ. අනේ අර කොට හාදයා කාටත් නොකියා මිය පරලොව ගිහින් යැයි අසන්නට සිදුවුවහොත් එය කොතරම් දුක්ඛිතද? ජෝතිපාල ළඟින්ම වළ කපා ගත්තේ උදයට හැන්දෑවට එක්වී දෙකක් දාගෙන සින්දු කියන්නට දැයි අපට නොතේරේ. ජෝතිපාල නම් හොඳ හොඳ සින්දු කිව් නමුත් මර්වින් සිල්වාට නම් කියන්න වෙන්නේ බයිලා බව අප නොදන්නවා නොවේ.

මර්වින් සිල්වා වැනි වැඩි වැඩ කරන තවත් ලොක්කොත් මේ රටේ සිටිති. වෙනින් කවුරුවත් නොව ඔහු අප හිතවත් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහය. තවම ඔහු කනත්තෙන් බිම් කැබැල්ලක් මිලයට නොගත්තාට පළාත් සභා ඡන්ද දෙකෙන් පසු ඒ වැඩෙත් කරන බව අපට විශ්වාසය.
සභාපති මණ්ඩලේට ශ්‍රී  ල.නි.ප.යේ සිට ආ හත්-අට දෙනෙක් දමා දැන් පස්ස රත්වී සිටින රනිල් පළාත් සභා ඡන්දයෙන් පසු කරු ජයසූරියගේ බෙල්ලෙන් අල්ලා පොළොවේ ගහන බව නම් අපට ෂුවර්ය.

“මොකක්ද සෝමෙ අයියා අපේ මර්වින් සිල්වා ඇමැතිතුමා වේලාසනම කනත්තේ ඉඩම් කෑල්ලක් වෙන්කරගෙන නටන නාඩගම...” විජේරත්න මගෙන් ප්‍රශ්න කළේය.
“නෑ නෑ කොයි එකටත් හොඳයිනේ කලින්ම බිම් කැබැල්ලක් මිලට ගන්න එක. මේ රටේ ඉඩම් දවසින් දවස ඉහළ යනවනේ.”
“මැරෙන මිනිහට ඉඩම් ගණන් ගියාට මොකද? සල්ලි බාගෙ පෙට්ටියට දානවයි අරන් යන්න.”
“කියන්න බෑනේ යන ලෝකේ ඉඩම් ගණන්ද කියලා. ඒක නිසා මෙහෙන් ඉඩම් කෑල්ල අරන් යන්න හිතන්න ඇත. මර්වින් සූදානම් ශරීරේ කියල වැඩ කරන කෙනෙක්නේ.”

ලෝකයේ බොහෝ දේ වෙනස් වන නමුත් වෙනස් නොවුණේ රනිල් වික්‍රමසිංහයි, විපක්‍ෂ නායක තනතුර විතරයි කියා අප හිතවත් ඩලස් අලහප්පෙරුම  අමාත්‍යවරයා පවසා ඇත. ඇයි ඩලස් ඔයත් ඔය වෙනස් නොවී ජනාධිපතිවරයාගේ කරේ එල්ලී සිටිනවනේ.
වෙනස් වන දේ ගැන දැනගන්න නම් මර්වින් සිල්වා අමාත්‍යවරයාගෙන්ම විමසිය යුතුය. ඔහු මැරෙන්නට පෙර මිනීවළ කපා ගන්නට යන්නේ මේ ලොව කිසි දෙයක් ස්ථිර නැති බව අවබෝධ කරගෙන ඇති නිසාය.

එ.ජා.ප. නායකත්ව මණ්ඩලයට ආණ්ඩුවෙන් ආපු විජේදාස රාජපක්‍ෂත්, මංගල සමරවීරත් පළාත් සභා ඡන්දයෙන් එ.ජා.ප.ය පරදින බව කියන්නේ මර්වින්ගේ ලණු කාලා දැයි කියන්නට බැරිය. මන්ද අනුන්ට ලණු දෙන්නට මර්වින් තරම් දෙයියෙක් කොහේවත් නැති බැවිනි.
මර්වින්ගේ මේ හුටපටය නිසා රනිල් වික්‍රමසිංහත් යම්කිසි පියවරක් ගන්නට බැරි නැත. පක්‍ෂය කෙරෙන් පමණක් නොව තුන් ලෝකය ගැන කලකිරී සිටින ඔහුත් කනත්තෙන් ඉඩම් කැබැල්ලක් වෙන්කර ගන්නට බැරි නැත. එවිට නිවීසැනසිල්ලේ යන ලෝකෙකට යා හැකිය.

දකුණු පළාතේ අරුම පුදුම දේශපාලනඥයෙක් සිටියේය. මර්වින් මෙන් කට වාචාලයෙක් නොවූ ඔහු පගාව ගැසීම, ස්ත්‍රී දූෂණ ආදියෙන් නම් දරා සිටියේය. සුරූපී බිරියක් සිටියත් ඔහුට ආසනය පුරා අනියම් බිරියන් හත්-අට දෙනෙක් සිටියහ.
“මේ මං ඔයාට කියන්නමයි හිටියේ. මං කනත්තෙන් ඉඩම් කෑල්ලක් මිලයට ගත්තා.” දිනක් ඔහු සිය බිරියට කීවේය.
“අහවල් මඟුලටද මේ දෙගොඩහරි වියේදී කනත්ත මතක් වුණේ?”
“නෑ නෑ කොයි එකටත් සූදානම් ශරීරේ හොඳයිනේ. මං මැරෙනකොට ඔය කනත්තේ ඉඩම් මිල ඉහළ ගිහින් තියෙන්න පුළුවන්.”
“හරි හරි ඕන මඟුලක් කරගන්නවා.”

ඒ සිද්ධියෙන් මාස හයකට පසු ඇත්ත වශයෙන්ම අර දේශපාලනඥයා මිය ගියේය. කොයිතරම් දුරදිග පේන කෙනෙක්ද? බිරිය සිතුවාය.
සැමියාගේ මළ සිරුර මිහිදන් කරන්නට රථ පෙරහරකින් කනත්තට ගිය බිරියට එහි සිටි අය කී කතාවෙන් තරු විසි විය.
“ඔයාගෙ හස්බන්ඩ් ඔය ඉඩම් කෑල්ල වෙන කෙනකුට ගිය සතියෙ විකුණුවා.”
Read more
Monday, February 24, 2014
මනාප 'ගැනීමට' ගෙවල් බිඳීම

පසුගිය දවසක මීගමුවේ ස්‌වර්ණාභරණ හලක්‌ කොල්ලකා රුපියල් දෙකෝටියක්‌ වටිනා මුදල් සහ රත්තරන් පැහැර ගැනීම ගැන එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර අධික ලෙස ණය වී සිටි ඔහු පළාත් සභා ඡන්දයට වියදම් කිරීම සඳහා මුදල් සෙවීමට මේ කොල්ලය කළ බව පොලිසියට පවසා තිබේ. කොල්ලකරුවන් හරියටම කවුදැයි අනාවැකි කීම පත්තරවල රාජකාරිය නොවේ. එය පොලිසිය සහ අධිකරණය සම්බන්ධ ක්‍රියාවලියකි. එහෙත් මේ සිද්ධිය ෙ€දවාචකයකි. අද පවතින
මනාප දේශපාලනය කොතරම් නීච ද, නින්දිත ද, කාලකණ්‌ණි ද යන්න හෙළි කරන ෙ€දවාචකයකි. මීගමුවේ සිද්ධියේදී කොල්ලකරුවන් කෙළින්ම හසු වූ අතර ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක්‌ ද කළේය. එය ප්‍රසිද්ධියේ කළ කොල්ලයකි. එහෙත් ඡන්දවලට වියදම් කිරීම සඳහා අද මේ රටේ දේශපාලනඥයන් විශාල පිරිසක්‌ අප්‍රසිද්ධියේ කොල්ලකති. අද අපගේ නිමිත්ත මෙකී අප්‍රකට කොල්ලය ය.

1977 න් පසු ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සමානුපාත ඡන්ද ක්‍රමය සහ එයට අන්තර්ගත වූ මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ කා සමඟවත් තරහට නොව දිගු කලක්‌ බලයේ සිටින තම පක්‍ෂයට එමගින් විය හැකි උදව් උපකාර මෙන්ම රටේ මැතිවරණ වියදමෙහි කිසියම් ඉතිරියක්‌ කර ගැනීම ද සලකා ය. ඡේ. ආර්. නව ක්‍රමය හඳුන්වා දෙන විට මේ රටේ තිබුණේ ගම් සභා, නගර සභා, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පමණි. පළාත් සභාව යනු මැදින් ගැසූ මුක්‌කුවකි. එය දෙවැනි වන්නේ මහ මැතිවරණයට පමණි. ජයවර්ධන ජනාධිපතිතුමාගේ දේශපාලන අරමුණ කුමක්‌ වුවද මනාප ක්‍රමය මගින් වැඩිම දේශපාලන ජනප්‍රියත්වය ඇති පුද්ගලයා මන්ත්‍රී වීමත් ඒ මිනිහා මළ විට අතුරු මැතිවරණයකට නොගොස්‌ ලිස්‌ට්‌ එකේ සිටි ඊළඟ මිනිහා මන්ත්‍රී පුටුවට යැමත් සිදුවිය. එහෙත් රටේ ජනගහනය වැඩි වී, ආර්ථික සහ දේශපාලන තරගය පත්තු කළ අහස්‌ වෙඩිල්ලක්‌ මෙන් ඉහළ යන්නට පටන් ගත් විට මේ ක්‍රමය ඉතා නරක ලෙස පුපුරා ගියේ ය. මනාප යනු මුදල් ය. මනාප ගැනීමට මුදල් උවමනා ය. අද හොර ඡන්ද යනු ලෙහෙසි සෙල්ලමක්‌ නොවේ. සමස්‌ත සමාජයම අන්තර්ජාලය සහ වීඩියෝ පහසුකම් සහිත "කැමරා ෙµඩන්" මගින් ඒකාබද්ධව තිබෙන නිසා උදේ සිදුවන මැතිවරණ දූෂණය ඊළඟ මොහාතේදී රූපවාහිනි චැනල හරහා "මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්‌" හෝ ඊරුඅනසබට භැඅස් යටතේ දැක බලා ගත හැකි ය. ඒ නිසා සියල්ල බේරා ගත හැක්‌කේ සාධාරණ ක්‍රමයකට මනාප මිලට ගැනීමෙනි. එහෙත් මේ මිලට ගැනීම සඳහා වැය කරන මුදල් උපයා ගත හැක්‌කේ අසාධාරණ ලෙස ය.

අද එක්‌ ඡන්දයක්‌ දිනා අවසන් වූ වහාම දේශපාලනඥයෝ සල්ලි හොරකම් කරන්නට පටන් ගනිති. ඒ දිනූ ඡන්දයට වැය කිරීමට ණයට හා පොලියට ගත් මුදල් පියවීම සඳහා ය. එය පියවා නිම වූ වහාම ඔහු යළිත් මුදල් හොරකම් කරන්නට පටන් ගනී. ඒ, මීළඟ ඡන්දයට වියදම් කිරීම සඳහා ය. ඔහු සල්ලි හොරකම් කරන්නේ කෙසේද? කොමිස්‌ ගැසීමෙනි. තමන් වටා සිටින මුදලාලිලාට ටෙන්ඩර් ලබා දීමෙනි. සති පොළවල් බදු දී බදුකරුගෙන් ගාණක්‌ සතිපතා ගසා කෑමෙනි. මස්‌කඩ කාරයා සුද්ද කිරීමෙනි. මාළු ව්‍යාපාරිකයා බංකොලොත් කිරීමෙනි. බාර් කාරයන්ට නම් දේශපාලනඥයාගෙන් ගැලවීමක්‌ ඇත්තේම නැත. දේශපාලනඥයා මුලින්ම, බාර් ලයිසන් හදා දීමට බාර් කාරයාගෙන් මුදල් ගනී. ඊළඟට බාර් එක පවත්වාගෙන යැමට ඉඩ දෙනු පිණිස ඔහුගෙන් මුදල් ගනී. එයිනුත් නොනැවතී බාර් එක නීති විරෝධීව ඇර තැබීමට ඉඩ දීම සඳහාත් ඔහුගෙන් මුදල් ගනී.

මෙසේ පටන් ගත් මුදල් හම්බ කිරිල්ල අද වන විට රත්තරන් බඩු සාප්පු කොල්ලකෑම දක්‌වා ඉහළ ගොස්‌ ඇත. අධික ණය බර නිසා ශරීරයට ගිනි තබාගෙන මියගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනකු ගැන පසුගිය දිනෙක අපි පුවත්පත්වලින් කියෑවූවෙමු. මීගමුවේ සිද්ධිය ද මේ විපත්තියේම තවත් පැතිකඩකි.

ාසඩ්සබ් -
Read more
ජනාධිපති ප‍්‍රඥාවන්ත නොවුවහොත් ඇතිවිය හැක්කේ මහා විනාශයකි -- වික්ටර් අයිවන්

ප්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් වීරයා ලෙස සැලකිය හැකි ජනාධිපතිවරයා එම යුද්ධය හා ඉන්පසු ඇතිවූ තත්ත්වයන් ආශ‍්‍රයෙන් ජිනීවාවල මතුවී තිබෙන වගවීම පිළිබඳ ප‍්‍රශ්නයේදී දැන හෝ නොදැන දැනට රට රැුගෙන යමින් තිබෙන්නේ මහා විනාශයකටය. පුංචි පහේ විනාශයකට නොව මීට පෙර කොයි කවර කාලයකදී වත් රට ඇද වැටී නැති තරම් මහා විනාශයකටය. ඒ නිසා ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව පමණක් නොව මුළු රටද විනාශ වනු ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් රාජ්‍ය නායකයා යනු රටේ තාවකාලික භාරකාරවරයා මිස රටේ අයිතිකාරයා නොවන්නේය. සමහර නොවැදගත් ප‍්‍රශ්නවලදී රාජ්‍ය නායකයාට තමන්ට හා තෝරාගත් සුළු පිරිසකට සීමාවන ලෙස තීන්දු ගැනීමේ අයිතියක් ඇතත් ජාතියේ ඉරණම කෙරෙහි බලපාන තීරණාත්මක ජාතික වැදගත්කමක් ඇති ප‍්‍රශ්නවලදී හිතුවක්කාරී ලෙස තීන්දු ගැනීමේ අයිතියක් රාජ්‍ය නායකයාට නැත. ඔහු එවැනි අවස්ථාවලදී තමන්ට ලැබෙන ඵල ප‍්‍රයෝජන මත හොඳ නරක නොසලකා හැම දේකටම එහෙයි කියන එහෙයියන්ට සීමා නොවී වඩා පුළුල්ව කරුණු සලකා බලන තැනකට යා යුතුය. ආණ්ඩු පක්ෂයේ සියලූ ප‍්‍රවණතාවලට ඇහුම්කන් දිය යුතුවා සේ ම විරුද්ධ පක්ෂවලටද ඇහුම්කන් දිය යුතුය. විෂය ගැන විශේෂඥ දැනුමක් ඇති අයට සේ ම පළපුරුද්දක් ඇති අයටද ඇහුම්කන් දිය යුතුය. ඒ ගැන කෙරෙන සාකච්ඡුා හා සංවාද මහජනයාටද ඇසෙන්නට සැලැස්විය යුතුය. එහිදී ඉදිරිපත් වන වැදගත්කමක් ඇති මහජන අදහස්වලටද ඇහුම්කන්දෙමින් ඒ සියලූ දෙනා තීන්දු ගැනීමේ ක‍්‍රියාවලියට ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත යුතුය.


ජාතියේ ඉරණම

එහෙත් ජාතියේ ඉරණම තීන්දු කෙරෙන මෙම ප‍්‍රශ්නයේදී දැනට ආණ්ඩුව ක‍්‍රියාකරමින් සිටිනුයේ ජාතියේ යහපතට හේතුවන ප‍්‍රශස්ත ආකාරයකට නොව ජාතියේ විනාශයට හේතුවිය හැකි ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. ජාතික වැදගත්කමක් ඇති තීරණාත්මක ප‍්‍රශ්නයක් ඉදිරියේ විපක්ෂය ක‍්‍රියාකරමින් තිබෙන්නේද ප‍්‍රශස්ත ආකාරයකට නොව අවිචාරවත් ආකාරයකටය. ආණ්ඩුව මහජනයාට පෙන්වන්න උත්සාහ කරන්නේ මෙම පළාත් සභා මැතිවරණ දෙකෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ආණ්ඩුවට ලබාදීම ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයෙන් එල්ල වී තිබෙන අභියෝගය ජයගැනීමට තිබෙන හොඳම විසඳුම බවය.

ජාතියේ ඉරණම තීන්දු කෙරෙන එවැනි බැ?රුම් ප‍්‍රශ්නයක් මුවවිට තිබෙන අවස්ථාවකදී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් කරළියට ගැනීමෙන් ප‍්‍රදර්ශනය කළේද තම දේශපාලන චින්තනයේ පටුබවේ තරමය. මහජනයා බොරු දේශපේ‍්‍රමී ආවේගයන්ගෙන් චූන් කොට මුලාකරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට මෙම අර්බුදය හමුවේ ආණ්ඩුවක් වශයෙන් තමන් ඊට මුහුණ දෙන්නට යන ආකාරය හා ඒ නිසා මහජනයාට විඳින්නට සිදුවන ඵලවිපාක පැහැදිලි කරදෙමින් මෙම පළාත් සභා ඡුන්ද දෙක ඒ පිළිබඳව මහජන මතය විමසන ජනමත විචාරණයක් බවට පත්කර ගන්නේ නම් එය අයහපත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළහොත් තමන් ඊට සහාය නොදෙන බවත් ඒ නිසා රටේ ජනතාවටද විශාල ප‍්‍රමාණයකට දුක් වේදනාවන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවත් සමහරවිට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලට සහභාගිවීමේ අයිතිය පවා අහිමිවිය හැකි බවත් ඒ නිසා ක‍්‍රිකට්ලෝලී ජනතාවට ශ‍්‍රී ලංකාව තරග කරන ජාත්‍යන්තර තරග වෙනුවට දේශීය තරග නැරඹීමෙන් පමණක් සතුටුවීමට හිත හදාගත යුතු බවත් තවත් සමහරවිට රටේ ගුවන්තොටුපොළවලට හා වරායවලට ගුවන්යානා හා නැව් ඒම නැවතී ආනයන අපනයන වෙළෙඳාම සේ ම ගමනයද බිඳ වැටී ප‍්‍රභාකරන් යාපනය පාලනය කළ කාලයේදී යාපනයේ ජනතාව පවත්වාගෙන ගිය ජීවිතයට සමාන දුක් කම්කටොලූවලින් පිරුණු ජීවිතයක් පවත්වාගෙන යෑමට ජනතාවට සිදුවිය හැකි බවත් රටේ ස්වාධීනත්වය හා ගෞරවය ආරක්ෂා කරගැනීම සඳහා එවැනි දුෂ්කර තත්ත්වයක් වුවද විඳ දරාගන්නට සූදානම් බව ආණ්ඩුවට ඡුන්දය පාවිච්චි කිරීම මගින් ප‍්‍රකාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේ නම් එය මහජනයාට යථා තත්ත්වය පැහැදිලි කරමින් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා මහජන අනුමැතිය ලබාගැනීමට දරන සාධාරණ උත්සාහයක් ලෙස සැලකිය හැකිය. එහෙත් දැන් සිදුවන්නේ එය නොව මෙම තීරණාත්මක ප‍්‍රශ්නය හමුවේ මහජනතාව නරකම ලෙස මුලාකිරීමකි.

රට මුහුණ දී තිබෙන බැ?රුම් තත්ත්වය මහජනයාට තේරුම් කරදීම සඳහා එක්කෝ විරුද්ධ පක්ෂය මෙම මැතිවරණය වර්ජනය කළ යුතුව තිබුණේය. එසේ නැතිනම් ඉතා බලවත් ලෙස මහජනයාට කරුණු පැහැදිලි කරදීමට මෙම මැතිවරණය අවස්ථාවක් කරගත යුතුව තිබුණේය. ඒ මගින් මෙම අර්බුදයේදී ආණ්ඩුව රටේ පැවැත්ම පරදුවට තබන හිතුවක්කාරී පිළිවෙළකින් ඉවත් කොට රටේ යහපතට හේතුවන ප‍්‍රඥාවන්ත ලෙස ක‍්‍රියාකරන තැනකට ආණ්ඩුව තල්ලූ කළ යුතුව තිබුණේය.

මෙම අර්බුදය හමුවේ රටේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන්්නේ ඉතාමත් පසුගාමී හා විනාශකාරී භූමිකාවකි. ලංකාව මුහුණදී තිබෙන අර්බුදයේ නියම ස්වභාවය මහජනයාට කියා දිය යුතුව තිබුණේ ඔවුන්ය. මහජනයාට නියම තතු පැහැදිලි කරදෙනවා වෙනුවට ඔවුන් කරමින් සිටින්නේද නියම තතු වසන් කිරීම මගින් මහජනයා මුලාකිරීමය. පසුගිය ඉරිදා සිංහල මහජනතාව වැඩියෙන්ම කියවන පුවත්පත ලෙස සැලකිය හැකි පුවත්පතක් සිය දේශපාලන ඕපාදූප කොලමට ශීර්ෂ පාඨ ලෙස යොදා තිබුණේ ‘ජිනීවා බිය පුස් වෙඩිල්ලක්’ යන්නය. ජාත්‍යන්තර වශයෙන් පත්තුවන්නට නියමිතව තිබෙන්නේ පුස් වෙඩිල්ලක් නම් බියවීමට හෝ කනගාටුවීමට හේතුවක් තිබිය නොහැකිය.

මේ ප‍්‍රශ්නයේදී අපේ රටේ ආගමික නායකයන් අවවාද අනුශාසනා කරන්නේද අපේ රටේ පාලකයාට හෝ පාලක පක්ෂයට නොව අපේ රටේ පැවැත්ම ප‍්‍රශ්න කිරීමකට ලක් කරන විදේශීය බලවතුන්ටය. එම විදේශ බලවතුන් සර්ව සාධාරණ නැතත් අපේ රටේ පැත්තෙන් සිදුවී තිබෙන වැරදිද අපමණය. මුලදී නියපොත්තෙන් කඩා ඉවත් කළ හැකි තත්ත්වයක තිබූ පුංචි පැලයක් පොරවෙන් වත් කපා ඉවත් කළ නොහැකි මහා වෘක්ෂයක් බවට වර්ධනය කරගත්තේ අප විසිනි. අපි අනුන්ගේ වැරදි දකිනවා මිස අපේ වැරදි දකින්නට අසමත්ව සිටිමු. විදේශීය බලවතුන් ජිනීවාවලදී ලංකාව සම්බන්ධයෙන් අසාධාරණ තීන්දුවක් ගතහොත් ඉෂ්ට දේවතාවුන් ලංකාව බලාගනු ඇතැ’යි එක් ප‍්‍රසිද්ධ හිමිනමක් ප‍්‍රකාශ කරනු රූපවාහිනි නාලිකාවක් මගින් අසන්නට ලැබුණි. ඉෂ්ට දේවතාවුන්ගේ පක්ෂපාතීත්වය තිබෙන්නේ අපට නම් විදේශ බලවතුන්ගෙන් එල්ල වන තර්ජනයන්ට අප බිය වියයුතු නැත.

අපූරු සාකච්ඡාවක්

මෙම පුපුරනසුලූ විෂය පිළිබඳව අපූරු සාකච්ඡුාවකට සවන්දීමේ අවස්ථාව පසුගිය සතියේදී මට ලැබුණි. එම සාකච්ඡුාව කැඳවා තිබුණේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසිනි. ජිනීවා ප‍්‍රශ්නය ගැන කතා කරන්නටය. එම සාකච්ඡුාවට ස්වාධීන අදහස් දරන පිරිසකට අතිරේකව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනකුද සහභාගිවන්නට නියමිත බව දැනගන්නට ලැබුණු විට එම මැති ඇමතිවරුන් මෙම ප‍්‍රශ්නය ගැන කල්පනා කරන ආකාරය දැනගැනීම පිණිස ඊට සහභාගිවීමට මමද තීරණය කළෙමි. දයාන් ජයතිලක හා තමරා කුනනායගම්ද සභාව අමතා කතා කළේය. ඔවුන් ඒ ගැන දරන අදහස් මීට පෙරද පළකර තිබූ නිසා මාගේ උනන්දුව වඩාත්ම යොමුවී තිබුණේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් දරන අදහස් ගැනය. ඒ ගණයට වැටෙන පුද්ගලයන් හත්දෙනකු ඊට සහභාගි වුවද අදහස් පළ කළේ පස්දෙනෙකු පමණය. ඔවුන් පළකළ අදහස් එක සමාන නොවූවද ඒ සියලූදෙනා සිදුවෙමින් තිබෙන දේවල් ගැන ඇති කරගත් බලවත් කම්පනයකින් පසුවන බව ඔවුන්ගේ කතාවලින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඉන් එක් අයකු කීවේ තමාට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ මැරුණු මිනිසකු වශයෙන් වන බවය. ඒ නිසා අදහස් පළකිරීමෙන් තොරව සිදුවන දේවල් දෙස නිශ්ශබ්දව බලා සිටින්නට සිදුවී තිබෙන බවය. එහිදී කතා කළ ආණ්ඩු පක්ෂයේ සියලූ දෙනා ජිනීවා ප‍්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙත කෙරෙහි අතෘප්තියෙන් සිටින බවද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ප‍්‍රශ්නය දුරදිග ගියහොත් ඇතිවිය හැකි භයානක ප‍්‍රතිඵල ගැන ඉන් සමහරෙකුට හොඳ අවබෝධයක් තිබෙන බවද පෙනෙන්නට තිබුණි. මෙය ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයකට වඩා රටේ පැවැත්ම පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් වන බවද ඉන් එක් අයෙක් කීවේය.

මෙම පුපුරනසුලූ ප‍්‍රශ්නය පිළිබඳව ආණ්ඩුවට පිළිගත් පොදු මතයක් නැති බවත් ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම ප‍්‍රශ්න පිළිබඳව බරපතළ සාකච්ඡුාවක් සිදුවී නැති බවත් ඉදිරියේ ඇතිවිය හැකි බිහිසුණු ප‍්‍රතිවිපාක පිළිබඳව නිසි අවබෝධයක් නැති අන්තවාදී ලෙස සිතන සුළු පිරිසක් රටේ ඉරණම පරදුවට තබා හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරමින් සිටින බවත් ඉන් පෙනීයයි. මෙය ඉතාමත් නරක ප‍්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

දැන් අප තල්ලූ වී සිටින්නේ මහා ප‍්‍රපාතයක මුවවිටටය. ඉතාමත් අවාසනාවන්ත දේ වනුයේ එහි සිටින සාමාන්‍ය ජනයාට පමණක් නොව ඔවුන් අතර සිටින උගතුන්ට පවා තමන් මහා ප‍්‍රපාතයක මුවවිට සිටින බව නොපෙනීමය. සුළු තෙරපීමකින් වුවත් මහා විනාශයක් ඇතිවිය හැකිය.

දැන් අප රටක් වශයෙන් සිිටින්නේ ශක්තිමත් තැනක නොව ඉතාමත් දුර්වල හා අසරණ තැනකය. එවැනි තත්ත්වයකට අප ඇද වැටී සිටින්නේ අනුන්ගේ වැරදි නිසා නොව අපේම මෝඩකම් නිසාය.

ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සාධාරණ හා නිහතමානී වෙනවා වෙනුවට අප උද්දච්චභාවයෙන් පිම්බී ක‍්‍රියාකරන තැනකට ගියේයැ’යි කිව හැකිය. ඒ නිසා යුද්ධය ජයගැනීමට සමත් වුවත් සාමය දිනාගැනීමට අසමත්වූවේයැ’යිද කිව හැකිය.

නූතන ලෝකයේ මොනම රටකටවත් හුදකලාවී පැවතිය නොහැකිය. ලෝක ආණ්ඩු ක‍්‍රමයක් ඇතිවී නැතත් හැම රටක්ම පිළිගත යුතු පිළිගත් ජාත්‍යන්තර නීති හා රීති පවතී. බරපතළ සීමාසහිතකම් තිබියදීත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලූ ජාතීන් එකට ඒකරාශි කළ ජගත් සංවිධානයක් ලෙස සැලකිය හැකිය. එම ජගත් සංවිධානය තුළ අනුගතවී සිටින සාමාජික රටවල් පිළිපැදිය යුතු පිළිගත් නීතිරීති සේ ම ගුණධර්මද පවතී. එම සංවිධානයෙන් පරිබාහිර වී රටකට තනිව පැවතීම ඉතා දුෂ්කර වන අතර සාමාජික රටක් සංවිධානය පිළිගත් නීතිරීති උල්ලංඝනය කරන අවස්ථාවකදී එම රටට එරෙහිව ක‍්‍රියාකිරීමේ බලය එම සංවිධානය සතු බවද අප අමතක නොකළ යුතුය.

ජාත්‍යන්තර ප‍්‍රශ්න කිරීම්

මෙය ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කිරීමකට ලක්වූ පළමු අවස්ථාව නොව සිව්වැනි අවස්ථාව ලෙස සැලකිය හැකිය. 1971 කැරැුල්ල ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කිරීමකට ලක්වූ පළමු අවස්ථාව ලෙස සැලකිය හැකිය. 1971 කැරැුල්ල මර්දනය කිරීමෙන් පසු ඒ ආශ‍්‍රයෙන් පැනනැගි ජාත්‍යන්තර ප‍්‍රශ්න කිරීම්වලට එදා පැවති ලෝක යථාර්ථයට ගැළපෙන ලෙස ක‍්‍රියාකිරීමට එවකට පැවති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව සමත් වීයැ’යි කිව හැකිය. ඇය කැරැුල්ල මර්දනය කිරීමෙන් ඒ නිසා ඇතිවූ ජීවිත හානි හා දේපළ හානි පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. ආරක්ෂක හමුදා විසින් නිරුවත් කොට මරාදමන ලද පේ‍්‍රමවතී මනම්පේරි සිද්ධිය ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වෙමින් තිබූ ලොකුම සිද්ධිය වූ අතර ඇගේ ආණ්ඩුව එම අනුවේදනීය සිද්ධියට වගකිවයුතු හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු පවරන ලදුව අධිකරණය නඩුව විභාග කොට වරදකරුවන්ට සිරදඬුවම් පැමිණවීය. ඉන්පසු ජාත්‍යන්තර වශයෙන් දරුණු ප‍්‍රශ්න කිරීමකට ලක්වූයේ 1983 ජූලි සිද්ධීන් පිළිබඳව 1984 සැසිවාරයේදීය. එහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගැනීමට ඉන්දියාව උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. ඉන්පසු දෙවැනි ජේවීපී කැරැුල්ල පරාජය කිරීමෙන් පසුත් එවැනි ජාත්‍යන්තර ප‍්‍රශ්න කිරීමක් සිදුවිය. එහෙත් මර්දනය කළ ජේවීපීය වෙනුවෙන් බලවත් ලෙස හඬ නගන්නට බලවත් සිංහල ඩයස්පෝරාවක් නොතිබුණි. ඒ නිසා හා එකල ලෝකය අද තරම් නවීන නොවීම නිසා එම ප‍්‍රශ්න කිරීම අද තරම් ප‍්‍රබල තත්ත්වයක නොවීය. අනෙක් අතට එම ප‍්‍රශ්න කිරීම්වලදී එකල පැවති ආණ්ඩු ජාත්‍යන්තර බලවේගයන් සමග රණ්ඩු කරන පිළිවෙතකට නොගිය අතර එම ගනුදෙනු බේරාගත්තේ විදේශීය සේවයේ නියුතු පළපුරුදු පුද්ගලයන් විසින් පිළිගත් රාජ්‍යතාන්ත‍්‍රික ආකාරයකටය.

එල්ටීටීඊයට එරෙහිව මහින්ද රාජපක්ෂ යුගයේදී කෙරුණු යුද්ධය කෙරෙහි බටහිර බලවතුන් සැකයෙන් හා විමතියෙන් බලන තත්ත්වයක් පැවතියද රනිල් වික‍්‍රමසිංහ යුගයේදී ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ අතරමැදියා ලෙස ක‍්‍රියා කළ නෝර්වේ රාජ්‍යය හැර කිසිදු බටහිර බලවතකු එල්ටීටීඊය ආරක්ෂා කරගත යුතුයි කියන පිළිවෙතක පිහිටා ක‍්‍රියා කළ බව පෙනෙන්නට නැත. ඇමරිකාව හා ඉන්දියාව එල්ටීටීඊයේ මුහුදු සැපයුම් පිළිබඳව ඉතා වැදගත් තොරතුරු ලබාදීමෙන් ආණ්ඩුවේ එම යුදමය ක‍්‍රියාමාර්ගයට සහාය වීයැ’යි කිව හැකිය. යුද්ධය පැවති කාලයේදී එල්ටීටීඊය වෙනුවෙන් ගුවන් නාශක මිසයිල් තොගයක් මිලදී ගැනීමට දරන ලද උත්සාහයකදී එය ව්‍යර්ථ කරන ලද්දේ ඇමරිකාව විසිනි. එල්ටීටීඊයේ රඳා පැවැත්ම ආරක්ෂා කිරීමට ඇමරිකාවට අවශ්‍ය වී නම් ඔවුන් එම මිසයිල් තොගය මිලදී ගැනීමට දරන උත්සාහයේදී අහක බලාගෙන සිටීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හැකියාව ඇමරිකාවට තිබුණි. එම මිසයිල් තොගය එල්ටීටීඊය අතට පත්වී නම් එල්ටීටීඊය පරාජය කිරීම මීට වඩා දුෂ්කර වන්නට ඉඩ තිබුණා සේ ම ආරක්ෂක හමුදාවන්ට සිදුවන හානිය මීට වඩා විශාල වන්නටද ඉඩ තිබුණි. එහෙත් ඇමරිකාව ඇතුළු සියලූ බටහිර බලවතුන් අතර එල්ටීටීඊය අවසන් වශයෙන් පරාජය කෙරෙන ආකාරය පිළිබඳව සැකයක් හා කුකුසක්ද තිබුණි. එහිදී ප‍්‍රාණ ඇපකරුවන් බවට පත් කරගෙන සිටි දෙමළ ජනතාවට කුමක් විය හැකිද යන ප‍්‍රශ්නයක් ඔවුන්ට තිබුණි. එසේම ඒ වනවිට එල්ටීටීඊයට හිතවත් දෙමළ ඩයස්පෝරාව බටහිර රටවල වීදි බසින තත්ත්වයකට පත්ව සිටීම තුළ ලංකාවේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය අවසන් වන විට එල්ටීටීඊයට හිතවත් ඩයස්පෝරාව ආශ‍්‍රයෙන් යුරෝපයේ ක‍්‍රියාත්මක වන ත‍්‍රස්තවාදයක් ඇතිවේද යන ප‍්‍රශ්නයද ඔවුන් ඉදිරියේ තිබුණි. ඒ සමග දෙමළ ඩයස්පෝරාවට යුරෝපයේ හිමි ප‍්‍රබල තත්ත්වය නිසා හා ලංකාවේ සිංහල ආණ්ඩුව දෙමළ ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් ලබාදී නැති බවට බටහිර බලවතුන් අතර පැවති විශ්වාසයද බටහිර බලවතුන් මෙම ප‍්‍රශ්නය දෙස බලන ආකාරය තවදුරටත් සංකීර්ණ කර තිබුණේය.

යුද්ධයේ අවසාන අදියරේදී සිදුවූ බටහිර බලපෑම් බටහිර රටවල පැවති එම ව්‍යාකූල මානසික වටාපිටාවේ තර්කානුකූල ඵලයක් ලෙස සැලකිය හැකිය. යුද්ධය අවසන් වන තෙක් බටහිරින් එල්ල වන බලපෑම් නොසලකා ශ‍්‍රී ලංකා ආණ්ඩුව සිය යුද්ධ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම නිවැරදිය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු බටහිර බලවතුන්ගෙන් එල්ල වන ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ඔවුන්ට සන්සුන් ලෙස හා තර්කානුකූල ලෙස කරුණු පැහැදිලි කරදෙන පිළිවෙතින් පිට පැන එවැනි රටවලට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැණ වදිමින් ප‍්‍රතිචෝදනා එල්ල කරමින් පහර දෙන පිළිවෙතකට යොමුවීම පිළිගත හැකි සුදුසු පිළිවෙතක් ලෙස සැලකිය නොහැකිය.

යුද්ධය අවසන්වීමෙන් පසු ප‍්‍රශ්න කරන්නන්ට එරෙහිව ක‍්‍රියාත්මක කළ මෝඩ සටන්කාමී පිළිවෙත කෙරෙහි විශේෂ න්‍යායවාදයක්ද බලපා තිබුණේයැ’යි කිව හැකිය. ඇතැම් තරුණ න්‍යායවාදීන් දෘෂ්ටිමය වශයෙන් දුප්පත් තත්ත්වයකට තිබූ ආණ්ඩුවේ මොළයට කාවද්දා තිබූ එම න්‍යායවාදයට අනුව ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් ඉන්නේ ඔවුන්ට තිබෙන ලෝක ආධිපත්‍යය අහිමිවෙමින් තිබෙන අවස්ථාවකය. ලෝක ආධිපත්‍යය බටහිරින් පෙරදිගට මාරුවෙමින් තිබෙන අතර ලෝක ආධිපත්‍යයට අලූතෙන් හිමිකම් කියන එම රටවල් කණ්ඩායමේ නායකත්වය හිමිකරගෙන සිටිනුයේ චීනයයි. ඒ නිසා ලංකාව ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ට බියවිය යුතු හෝ ඔවුන්ට බර තබා ක‍්‍රියාකළ යුතු හෝ නැත. ඒ වෙනුවට ශ‍්‍රී ලංකාව ඉදිරියට යායුත්තේ බටහිර විරෝධී චීනය ප‍්‍රමුඛ විකල්ප ලෝක බලවතුන් සමගය. චීනය හා රුසියාව අප සමග සිටින තෙක් බටහිර බලවතුන්ට අපට එරෙහිව කළහැකි කිසිවක් නැත. මෙම න්‍යායවාදයේ ඇති අරුත් විරහිතභාවය මීට කලකට පෙර විස්තරාත්මකව කතා කර ඇති බැවින් ඒ ගැන මෙහිදී සලකා බලනු නොලැබේ. ආණ්ඩුව එම න්‍යායවාදයේ මෝඩ සිරකරුවකු වීම නිසා රටට සිදුවූ හානිය අතිවිශාලය. අපගේ අපනයන භාණ්ඩ සඳහා වෙළෙඳපොළ ගොඩනැගී තිබුණේ ඒ කියන විකල්ප බලවතුන්ගේ ලෝකයේ නොව බටහිර බලවතුන්ගේ ලෝකයේය. ඒ නිසා බටහිර බලවතුන්ගේ හොඳ හිත අපේ පැවැත්මට අත්‍යවශ්‍ය කොන්දේසියක් බව තේරුම් ගැනීමට අපි අසමත් වීමු.

ගතයුතු මග

යුද්ධයෙන් පසුව වගවීමක් ඉල්ලා සිටීම සේ ම ප‍්‍රතිසන්ධානය ඉල්ලා සිටීම ඉතාමත් ස්වාභාවිකය. ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට හේතුවී තිබෙන සිද්ධීන් කිහිපය තෝරාගෙන ඒවා ගැන සාධාරණව සොයා බලන තැනකට ගියේ නම් හා දෙමළ ප‍්‍රශ්නයට පිළිගත හැකි සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදෙන තැනකට ගියේ නම් විශාල වන්දි ගෙවීමකින් තොරව මෙම ආරාවුල බේරාගත හැකිවන්නට ඉඩ තිබුණි. එවැනි පිළිවෙතකට යෑම ශ‍්‍රී ලංකාව දිගින් දිගට ප‍්‍රතික්ෂේප කළේය. ඒ නිසා අවසානයේදී බටහිර බලවතුන් පමණක් නොව අසල්වාසි ඉන්දියාවද අප සමග උරණ විය.

දැන් අප ඉන්නේ තීරණාත්මක අවස්ථාවකය. වගවීමට අදාළ ප‍්‍රශ්න ගැන දේශීය වශයෙන් අපට ලබාදී තිබූ අවස්ථාව ප‍්‍රයෝජනයට ගැනීමට අපි අසමත් වීමු. ඒ තත්ත්වය තුළ ජාත්‍යන්තර පරීක්ෂණයක් නොවැළැක්විය හැකි යථාර්ථයක් බවට පත්වී තිබේ. එම ක‍්‍රියාවලියට එකඟවෙමින් ඊට අනුගතවී සහයෝගයෙන් ක‍්‍රියාකරන තැනකට නොගියහොත් සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවිය හැකිය. සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවුවහොත් රට නැත්තටම නැතිවන තත්ත්වයක්ද ඇතිවිය හැකිය. සම්බාධක පනවන තත්ත්වයක් ඇති වුවහොත් එය කවර මට්ටමකින් ක‍්‍රියාත්මකවේදැ’යි මේ මොහොතේ කිව නොහැක. සමහරවිට ලිහිල් විය හැකිය. තවත් සමහරවිට එය ඉතා දරදඬු විය හැකිය.

සම්බාධක පනවන තත්ත්වයකට මුහුණදී එම තත්ත්වය සාර්ථක ලෙස ජයගත් කවර රටක්වත් නැති තරම්ය. සම්බාධක පනවන තත්ත්වයකට මුහුණ දුන් අපට වටා ඉතා බලවත් රටවල් පවා නැත්තටම නැතිවන තත්ත්වයකට පත්වී තිබේ. චීනයට හෝ රුසියාවට ඒ රටවල් බේරාගත හැකිවූයේ නැත. ප‍්‍රශ්නය දුරදිග යන තත්ත්වයක් ඇතිවුවහොත් අපේ ගුවන් තොටුපොළවලට හා වරායවලට ගුවන්යානා හා නැව් ඒම පවා තහනම් කළ හැකිය. අවසානයේ අපට සියලූ පැරණි හුරු පුරුදු අතහැර අප වවා ගන්නා දේවල් පමණක් පරිභෝජනය කළ යුතු වෙළෙඳාම හා කර්මාන්ත අහිමි කරගත් උසස් අධ්‍යාපන හා විදේශ ගමනාගමනය අහිමි කරගත් කාලකණ්ණි ජාතියක් බවට පත්විය හැකිය.

අවසාන වශයෙන් විය හැකි හානියේ ස්වභාවය මේ අවසාන මොහොතේදීවත් ආණ්ඩුව සේ ම විරුද්ධ පක්ෂද රටේ ජනතාව සේ ම බුද්ධිමතුන්ද තේරුම් ගත යුතුය. විය හැකිව තිබෙන හානිය අවම කරගත හැකි පිළිවෙතක් අප තෝරාගත යුතුය. මේ මොහොතේ කළ හැකි හොඳම දේ සර්ව පාක්ෂික ලෙස සර්ව වාර්ගික හා සර්ව ආගමික ලෙස පොදුවේ කරුණු සලකා බලන තැනකට රට යොමු කිරීමය. සියලූ පක්ෂ හා දේශපාලන පක්ෂ සම්බන්ධ කරගන්නා සර්ව පාක්ෂික සාකච්ඡාවක් ආරම්භ කොට වගවීම හා ප‍්‍රතිසන්ධානය සඳහා පිළිගත හැකි ක‍්‍රියාකාරී වැඩපිළිවෙළක් සර්ව පාක්ෂික මට්ටමෙන් ප‍්‍රකාශ කළ හැකිය. එවැනි වැඩසටහනක් ජාත්‍යන්තර ප‍්‍රජාවගේද පිළිගැනීමට හේතුවිය හැකිය. ඒ මගින් රටේ දේවල ක‍්‍රියාකාරීත්වය වඩා ප‍්‍රශස්ත ආකාරයකින් සිදුවන තත්ත්වයක් ඇති කළ හැකිවා සේ ම එවැනි ජාතික වැඩසටහනක් ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය අවම කරගැනීමට ද හේතුවිය හැකිය. අවසාන වශයෙන් අපට තෝරාගැන්මට තිබෙන්නේ ජාත්‍යන්තර පරික්ෂණයකට ඉඩ දෙනවාද නැද්ද යන ප‍්‍රශ්නය නම් ඒකපාර්ශ්වික පරීක්ෂණයකට ඉඩ නොලැබෙන ලෙස ඊට හවුල් වී ඇතිවිය හැකි හානිය අවම කරගත යුතුය.

ravaya -
Read more
Sunday, February 23, 2014
ඡන්ද යාචකයෝ

රටේ මහ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පරම්පරාගතව පෙරුම් පුරමින්, ඇප කැප වෙමින්, වත්පිළිවෙත් පුරමින් පරාර්ථයම ජීවිතය කරගත් සත්ගුණවත් පලා බබාලා තාප්පවල පාප්ප නාගෙන සිනහ උතුරවමින් විළිස්සාගෙන සිටී.

අනිච්චං දුක්ඛේ! මේ කවරනම් අරමුණක් සඳහාද? දෙයි හාමුදුරුවනේ, මේ තරම් දත කන්නේ, වාහන පෙළපාළි යන්නේ, තෑගි බෝග දෙන්නේ, පොරොන්දු ඉස්මුදුනේ තබන්නේ, දිවා රෑ වෙහෙසෙන්නේ අපේ රටේ අහී දුප්පත් ජනතාවට සේවය කිරීමට මිස මොන කෙංගෙඩියකටද?
හත්ඉළව්වේ, ජනතාව වෙනුවෙන්ම තමා! ඉතිහාසය පුරා පැවැති මැතිවරණවලදී සැමදාම ජනතාව ගොනාට ඇන්දවූ දේශපාලනඥයෝ වේදිකාවල ඒ දිනවල පට්ටපතුරු ගසමින් දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කළා නම් අපේ රට සුරපුරයටත් එහාය.

රටේ ඡන්දයක් පැවැත්වෙන විට විවිධ වෙස්ගෙන, සිතූ පැතූ සම්පත් දෙන "සුරතුර" පැළ බොන්සායි කර ලබා දෙන දේශපාළුවෝ ජනතාව අභිමුවට එති. ජනතා කඳුළට, වේදනාවට, සුසුමට පිහිටවන බවට, විසඳුම් දෙන බවට හිස අත්ගසා පොරොන්දු වෙති. නමුත් මේ ඡන්ද යාචකයන් බලයට පැමිණි පසු කළේ කුමක්ද? කරන්නේ මොනවාද? දහ අතේ දුන් පොරොන්දු කන්දට උඩින් පැන ජනතාවට පශ්චාත් භාගය ලෙළවා පෙන්වති. පසුගිය අවුරුදු හැටහය පුරාවට සිදුවූ එකම දෙය එයම නොවේද?
හිසේ අමාරුවට කොට්ටය මාරු කරන්නා සේ ශ්‍රී ල.නි.ප.ය සහ එ.ජා.ප.ය වරින් වර බලයට පත් කෙරුවෝය. පෙරමුණු, සන්ධාන, පොදු අපේක්ෂක, පරිවාස ආදී විවිධ වෙස් ගෙන ජනතාව අතරට පැමිණි අයුරු ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අපූරුවට ලියැවී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන ලේකම් ධුරය හොබවන ගරු මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමාගේ වත්තේ වැල් අල බැස තිබෙන අයුරු මාධ්‍ය මඟින් අපි දුටුවෙමු. එම අල පඳුරේ කිලෝ 15ක අස්වැන්නක් තිබූ බවද වාර්තා විය. 'එෂුවා' නමැති මෙම අල වර්ගය වාර්ෂික බෝගයකි. මෙහි විශේෂය නම් අල බහින විට වැල මැරීයෑමය.
හරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුව සහ සිදුවෙමින් පවතින දේ වගේය. 'එෂුවා' අල පඳුර පක්ෂයේ ලේකම්තුමාගේ ගෙවත්තේදීම එය ඔප්පුකර පෙන්වා ඇති අයුරු දෛවෝපගතය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැණි සාමාජිකයන්ට තැනක් ඇත්තේද යන්න පපුවට තට්ටුකර අසා ගත යුතු පැනයකි. අද පක්ෂයේ උප සභාපති ධුරයක් හොබවන්නේ කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායකයා වන කරුණා අම්මාන් ඇමැතිතුමාය. එක්සත් ජාතික පක්ෂයෙන් කිරි උරාබී හැදී වැඩී එ.ජා.ප. පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය දෙබිඩ්ඩෝ අද බහිරව වෙස් ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා කඳවුරු බැඳගෙන සිටිති. අද ආණ්ඩුවේ කෙරුමෝ වී ඇත්තේ හැදී වැඩුණු පක්ෂයටත්, ඔසවා තැබූ ජනතාවටත් අමුඩය නොඇඳ ඇඳිවත උස්සා පෙන්වූ පුබ්බඩයන්ය. තවත් පක්ෂ විනාශ කර ගෙන කඩාගෙන පැමිණි නරිප්පඩයෝද පැරැණි ශ්‍රී ල.නි.ප. පාක්ෂිකයනට වඩා හොඳින් රෙදි අපුල්ලති. කොමෝඩ්වලට අත දමාගෙනම සෝදති. අත නාසයට ළංකර බලති. 'අපූරුයි, සුවඳයි' කියාම කියති.

එක්සත් ජාතික පක්ෂයට වී ඇති හානිය සහ පිරිහීම ගැන කියන්නට ලියන්නට වචන නැත. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ තේමාව වී ඇත්තේ 'අන්ත පරාජය' යන්නයි. පක්ෂය, පාක්ෂිකයා සහ රට ගැන නොසිතන එ.ජා.ප. නායකයාගේ අදූරදර්ශී, උඩඟුකම් නිසා මෙවර බස්නාහිර සහ දකුණද එක්සත් ජාතික පක්ෂයට අහිමිවීම වැළැක්විය හැක්කේ නම් එය ආශ්චර්යයකි.
නාමයෝජනා ලබා දීමේදී එ.ජා.ප. නායකයා සහ නාමයෝජනා මණ්ඩලය නිවැරැදි කරගත නොහැකි වරදවල් රැසක් කිරීම නිසා අන්ත පරාජය නමැති වළ ඔවුන් විසින්ම කපා පක්ෂයත්, පාක්ෂිකයාත් එහි දමා පස් තද කර හමාරය.

දකුණේදී ගයන්ත කරුණාතිලක මන්ත්‍රිතුමා යෝජනා කළ අපේක්ෂකයන්ට හිතාමතාම ජනමතයක් නොමැති පුස්සෙකුගේ වාතයකට එකඟව නාමයෝජනා නොදීම එ.ජා.ප.ය කළ බලවත් වරදකි.
බස්නාහිරද ඔවුන් ඒ දෙයම කළේය. ආණ්ඩුවේ සැලුන් ‍ෙදාර අසල එබිකම් කරමින් සිටින දූෂිත චෝදනා ලැබූවකුගේ හයිකාරකම් මත නගරාධිපති මුසම්මිල් මහතාගේ බිරියට එ.ජා.ප. නාමයෝජනා නොදුන්නේය. බස්නාහිර පළාතේ මුස්ලිම් ජනතාවගේ ඡන්දයෙන් යම් පමණකට හෝ ජන පදනමක් මුසම්මිල් මහතා ඔහු වටා නිර්මාණය කරගෙන, රැස්කරගෙන තිබිණි. බහුවාර්ගික ජන පදනමක් ඇති බස්නාහිර මේ ඡන්ද පදනමේ දෙදරීමක් මේ ගොන් තකතීරු තීන්දුව නිසා සිදුකර ගත් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

හෙළ උරුමයේ උදය ගම්මන්පිලගේ නායකත්වය පිළිබඳවද සන්ධානයේ අළුයට ගිනි පුපුරු මතුවූ බව පිළිගත යුත්තෙකි. ගම්මන්පිලගේ සාධාරණ, නීත්‍යනුකූල, ආගමානුකූල පෝස්ටර්, කටවුට් නැති දේශපාලන න්‍යාය පත්‍රය අභියෝගයකි. ඔහුගේ දෙපසින් සිටින්නේ නාමයෝජනා දුන් දිනයේ පටන්ම මැතිවරණ නීති රීති අමු අමුවේ කඩා බිඳ දමන්නන්ය. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ය. මත්පැන් අලෙවිසල් සහ බාර් හිමිකරුවන්ය. පෝස්ටර්, කටවුට් කප්පිත්තන්ය. කෝටි ගණන් මුදල් වියදම් කරනා ධන කුවේරයන්ය. පාතාලය සහපිරිවර කරගත් චණ්ඩින්ය. කණ්ඩායම් නායකයාගේ ප්‍රතිපත්ති සහ අනෙකුත් ඡන්ද යාචකයන් අතරේ ඇත්තේ මහා පරස්පරයකි. සම නොවන භූමිකාවන්ය. මේ අතරට මැදිව සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නමැති දැවැන්ත රාජ්‍ය හිතෛෂියාගේ සුරූපී දියණිය හිරුණිකාය. දේශපාලනය වෙනුවෙන්ම තම ජීවිතය මහ මඟදී වෙඩි වරුසාවකට පූජා කළ භාරත ලක්ෂ්මන් වෙනුවෙන් දියණි හිරුණිකා එදා කළ ප්‍රකාශ, කළ කී දෙය මේ රටේ සමස්ත ජනතාවට හොඳින්ම මතකය. ඒ ඝාතනය වෙනුවෙන් චෝදනා ලැබූවන්ට සියල්ල අමතකය.
අනේ ඉතින් හිරුණිකා දුවටද සියල්ල සැණෙකින් අමතක වී ගිය අයුරුද ආශ්චර්යයකි.
දේශපාලන ගොහොරුවෙහි වැටෙන්නට සිදුවූ විට තත්ත්වය එසේමය.

එදා නාලන්ද එල්ලාවල ඝාතනය සිදු වූ විට ඩලස්ලා, ඩිලාන්ලා ඇඟිලි දිගු කළේ කාහටද? චූදිතයෝත්, වින්දිතයෝත් අද එකට කති, බොති, වෙසෙති.
මානව හිතවාදී විජය කුමාරතුංග අවමඟුලේදී නිදහස් චතුරස්‍ර භූමියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙඅත් ඉහළට ඔසවා දුන් ප්‍රතිඥාව ජනතාවට අමතක නැත. එනමුදු බලය ඉදිරියේ චන්ද්‍රිකා පරිවාස රජය පිහිටුවා ගත්තේ සියල්ල අමතක කර දමා හිත මිතුරු වීමෙනි.
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයාගේ චරිතයට මේ රටේ දේශපාලනය තුළ වැඩිපුරම පහර දුන්නේ, නින්දා, අපහාස කළේ, ජන-අප්‍රිය කරවීමේ මහා මෙහෙයුම් දිනපතාම සැලසුම් සහගතව දියත් කළේ මංගල සමරවීරය.

ඒ සියල්ල රනිල්ටද අමතකය. මංගලටද අමතකය. ජාඩියට මූඩිය සේ දෙදෙනාම එකතුව අද එක්සත් ජාතික පක්ෂය අගාධයට ඇදගෙන යන්නේය.
ඒ නිසා හිරු-නිකා නොසිට ඒ දේශපාලන අසම්මතයේ "අමතක පරම්පරාවේ" අලුත් සාමාජිකාව වීම අරුමයක් නොවේ.
මෙවරද එක්සත් ජාතික පක්ෂයේ පරාජය නියත වන්නට පාර කපා ගන්නේ නායකයා, නායකත්ව මණ්ඩල, කෘත්‍යාධිකාරී නිවටුන්ගේ අමනකම් නිසාවෙන්මය.
නව බලවේගයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සරත් ෆොන්සේකාගේ පක්ෂය දෙසට මැදිහත් මතයක් ගොඩනැංවෙමින් තිබුණද කට නිසා නෑසී යෑමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. එය ඉතා අවාසිසහගත තත්ත්වකි. එක් අතකට එය දේශපාලනයේ නොමේරූ අත්දැකීමේ දුර්වලකමකි.

ෆොන්සේකා විසින් මේ මොහොතේ කළ යුත්තේ දේශපාලන චරිතවලට ආකේ‍රා්ෂ පරිභව වහසි බස් දෙඩවීම නොවේ. රනිල් වික්‍රමසිංහගේ, මංගල සමරවීරගේ, රවි කරුණානායකලාගේ, වජිර අබේගුණවර්ධනලාගේ අසමඟිකම් වැපිරවීමේ, පළිගැනීමේ සහ අත්තනෝමතික තීරණයන් නිසා දිනෙන් දින කලකිරෙමින්, ඉවත් වෙමින් සිටින පාවෙන එක්සත් ජාතික පාක්ෂිකයාට ආමන්ත්‍රණය කිරීමයි. ඔවුන් නතුකර ගැනීමය. විය යුත්තේ එයයි. නොවන්නේද, නොකරන්නේද එයයි.
කිරිපිටි ගෙන්වන සමාගම් මාෆියාවට නතුව රුපියල් හැටඑකකින් කිරිපිටි මිල වැඩි කළ ආණ්ඩුව මේ නොබෝදා මයිසූර් පරිප්පු ආනයන බද්ද රුපියල් දහහතකින් අඩු කළේය.

ඒ ඡන්දයේදී ජනතාවට පරිප්පු කවන්නට කියා නොසිතිය යුතුය. මේ ඡන්දයේදී දකුණේත්, බස්නාහිරත් කුඩු, මත්පැන් සහ අවනීතිය ඉහවහා යන බව පෙනෙන්නේ අපේක්ෂක ලැයිස්තු දෙස බැලූ කලය. ඒ නිසා ජනතාවට කුඩු සමඟ මත්පැන් බී පරිප්පු කෑ හැකිය.
සංවර්ධිත යෝජනා, මැතිවරණ ප්‍රතිපත්ති, දේශපාලන දැක්මක් නොමැති කුකුල් පොර දේශපාලනය තුළ හැම අතින්ම හයි, හත්තිය ඇති එකා ජවය, බලය පෙරටු කරගෙන ජනතාවගේ පරමාධිපත්‍ය ඡන්ද බලය කවර ලෙසකින් හෝ කොල්ල කනු ඇත.
"සත්‍ය තීරණය කරනු ලබන්නේ බහුතර ඡන්දයෙන් නොවේ" යැයි ඩුග් ග්වේන් පවසා ඇත්තේය. එනිසා ඒ තාක්කල් ජනතාව හැම කල්හිම පරිප්පුම කනු ඇත.
පරිප්පුවන්ටම ගිය රටේ
පරිප්පුවන්ට ජය වේවා!

බණ්ඩාර
Read more
අනේ අපොයි “හරි මග ගෙන යන උදය ගම්මන්පිල"

w3lanka -
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නීතිය ද, නැතිනම් නීතිය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ද යන ප්‍රශ්නය අදාළ නො වේ.

මේ රටේ අද පවත්නා ක්‍රමය අනුව ගෝටඨාභය රාජපක්ෂ යනු නීතියට ඉහළින් පිහිටි බලයකි. එය වත්මන් පාලන ක්‍රමයේ ප්‍රකාශිත මූලික ලක්ෂණයකි.

ගම්මන්පිල එච්චර බලයක් නො වේ. ඒත්, ගම්මන්පිල බලය විෂයෙහි ඇඹලයෙකි.

මැතිවරණ නීති උල්ලංඝනය නො කරමින් සිය ඡන්ද ව්‍යාපාරය කරන බව කීවත් ඔහු එය දියත් කිරීම සඳහා ‍ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ ගෙන්වන්නට කටයුතු කළේ ය.

මෙය ඉතා පැහැදිලිව ම නීති විරෝධී ක්‍රියාවකි. ඒ බව මැතිවරණ කොමසාරිස් ද පිළි ගනියි. එහෙත්, නීතියට ඉහළින් සිටින කෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් කාට ද?

මේ ගැන උදය ගම්මන්පිල රාවය පුවත්පතට කියා ඇති කතාව මෙසේ ය: "අමාත්‍යංශයක ලේකම් තනතුර පරිපාලන තනතුරක් නොව දේශපාලන නිලධාරි තනතුරකි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන කටයුතුවලට සහභාගි වීමට බාධාවක් නැත."

ඇත්තට ම මේ නම් අලුත් ම ප්‍රවෘත්තියකි. ඒ අනුව ලංකාවේ දේශපාලන නිලධාරි සේවාව කියා එකකුත් තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් අයත් වනවා ඇත්තේ ඒ සේවාවට ය.

මැතිවරණ කොමසාරිසුත් මෙම සේවාවට අයත් වුණොත් කුමක් වනු ඇද්ද?

මෙතැන නරක ම දේශපාලනය කරන්නේ උදය ගම්මන්පිලයි. මන්ද, තමන් පවත්නා අවනීතිය මත පදනම් වූ අසාධාරණ පාලන ක්‍රමයට විකල්පය යි පෙනී සිටින්නට ඔහු සහ ජාතික හෙළ උරුමය උත්සාහ කරන බැවිනි. එහෙත්, ඔවුන් පදනම් වන්නේ පවත්නා ක්‍රමයේ උපරිම අගතිය මතයි.

ගම්මන්පිලගේ මෙවර තේමාව වන්නේ “හරි මග ගෙන යන උදය ගම්මන්පිල" යන්නයි.  

ඇත්තම කීවොත්, ජාතික හෙළ උරුමය යනු අනුකම්පා සහගත ලෙස කුජීත වූ දේශපාලන ව්‍යාපාරයකි. තමන් පළාත් සභා යන්නේ එය අහෝසි කරන්නට යයි කියූ ජාතික හෙළ උරුමයට නැවතත් එහි බලය ඉල්ලන්නට සිදු වීම ම ඔවුන්ගේ කණගාටුදායක තත්වය පෙන්නුම් කරයි. එය ද කරන්නේ තමන් විරුද්ධ යයි කියන දේවලට නියමින් හෝ අනියමින් හෝ අනුග්‍රහය දක්වන දේශපාලකයන්ගේ සරණින් වීම ඔවුන් පත් වී තිබෙන අසරණකමේ තරම පෙන්වා දෙයි.
 w3lanka - අඩවිය 
Read more
Saturday, February 22, 2014
අලුත් පංච මහා බලවේගය

දැන් පංච මහා බලවේගය එහෙම පිටින්ම කණපිට ගොස් තිබේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට පළමුවත්, දෙවැනිවත්, තෙවැනිවත් දේශපාලනය ආදේශ වී තිබේ. ඒ දේශපාලනය මඟිනි, රටේ අනාගතය පිළිබඳ තීන්දු-තීරණ ගන්නේ රටේ ප්‍රතිපත්ති හදන්නේ.

කන්නන්ගර මහත්තයා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමය කණපිට ගසන අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේත් ඔවුන්ගේ වුවමනාවටය. ඒ වුවමනාව විසින් නිර්මාණය කනු ලැබ ඇත්තේ සිතන්නට උගන්වන්නේ නැති යාන්ත්‍රික අධ්‍යාපන ක්‍රමයකි. ඒ කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමය මඟින් සදාචාරය, සංස්කෘතිය, ගෞරවය යනාදී හැදියාවන් විනාශ කර ඇත්තේ මෙසේය.

'වැලිකන්දේ සිසුවාගෙන් විදුහල්පතිට පොලු පහරක්.'
'කුරුණෑගල නියෝජ්‍ය විදුහල්පති ගුරුවරයකුට පහර දෙයි.'
'ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවෙක් එල්ලී මැරෙයි.'
'මාතර සිදුවූ රිය අනතුරකට අධ්‍යාපන ඇමැතිගේ පුතා අත්අඩංගුවට.'

මේ එකම දිනයක වාර්තා වූ සිදුවීම් පෙළකි. අසූව දශකයට එපිටින් මේ වර්ගයේ සිද්ධියක් ඉතා දුර්ලභය. ඒ නිසාම එවැනි සිද්ධි ගැන කවි කොළ ලියැවුණේය. ඒත් දැන් තත්ත්වය වෙනස්ය. කවි කොළකාරයන්ට මේ සිද්ධි ගැන ලියන්නට ගියහොත් පොත් පුරවන්නට සිදුවනු ඇත.
කවි කොළය යටගොස් ෆේස් බුක් මතුවීමත් සමඟ තත්ත්වය වෙනස් වන්නේය. කුරුණෑගල වෙනූෂා සියදිවි නසා ගත්තේ ඒ නිසාය. ෆේස් බුක් ප්‍රේමයක් අහිමි වීම නිසා ඇල්පිටියේ තරුණියක එල්ලී මියයන්නේ ඒ නිසාය.

මේ ෆේස්බුක් පරපුරට දරාගන්නට නොහැකිය. ඔවුන් ජීවත් වන්නේ ක්‍ෂණික තීරණ මතය. මොන සේනාව ආවත්, මොන බලය ආවත් ඒ සදාචාරය නැවත එන්නේ නැත. එය දිරාපත්ව යන්නට ඉඩහැර තිබේ.
යල් පැනගිය තාක්‍ෂණය තවදුරටත් බදාගෙන සිටිය යුතුය යන්න එමඟින් අදහස් නොවේ. අපි විසි එක් වැනි සියවසේ ජීවත් විය යුතු වෙමු. නවීන තාක්‍ෂණය සමඟ බද්ධව ඒ ගමන යන්නට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් මෙරටට හඳුන්වා දිය යුතුය.

මෙය 'සාහිත්‍ය කන්නදැයි' ඇසූ දේශපාලකයන් සිටි රටකි. එසේ කියා ඉතිහාසයත්, සාහිත්‍යයත් වේලාවක් තිබුණහොත් පමණක් කරන්න යැයි කියා අතිරේක විෂයයන්වලට දැමූ රටකි.
ඒත් බටහිර රටවල අධ්‍යාපනඥයන් නිර්දේශ කරන්නේ කියැවීමය. සංවාද කිරීමය. එමඟින් තාර්කික බුද්ධිය වර්ධනය කිරීමය. තාර්කික බුද්ධියෙන් වර්ධනය වූ සිසුවා ක්‍ෂණික තීරණ ගන්නේ නැත. දෙපාරක් හිතන්නේය.

අනෙක් අතට මේ සියලු තත්ත්වයන්ට සාමාන්‍ය ජනතාව මත පැටවෙන පීඩනය බලපාන්නේය. නිවෙසේ ආර්ථික දුෂ්කරතා ඍජුවම බලපාන්නේ දරුවාගේ ඔළුවටය. ඒ හරහා මවුපියන්ගේ මෙන්ම දරුවන්ගේද ඔළු යකාගේ කම්මල් වේ. නිරන්තරයෙන් ගිනි ගන්නා මේ ඔළුවලින් මෛත්‍රිය, කරුණාව, දයාව, බුද්ධිමත් තීරණ අපේක්‍ෂා කළ හැකිද...?
ඒ අතරවාරයේය, තෙල වැඩි වූ ඇමැති පුත්තු මහමඟ මිනිසුන් යට කරන්නේ. ඔවුන්ගේ ඔළුවලට දරාගන්නට නොහැකි වී ඇත්තේ හදිසියේ පාත් වූ සුඛෝපභෝගීත්වයයි. එම නිසා මේ සියල්ලම දරා ගැනීමේ ශක්තිය හීන වීම නිසා සිදුවන දේය. ඒ දරාගැනීමේ ශක්තිය ගොඩනංවන අධ්‍යාපනයේ ඇති හිල් නිසා සිදුවන දේය. කන්නන්ගර මහත්තයා යළි යළිත් මරා දමා මේ දේශපාලකයන් හදන්නේ තමන්ගේ බලය පවත්වා ගන්නටය.
ඒත් මේ පීඩිතයන් හැමදාම එල්ලෙන්නේ නැත. ඔවුන් බඩගිනි වෘකයක් මෙන්ය. අලුත් පංච මහා බලවේගය හැදෙන්නේ ඒ වෘකයන්ගෙනි.

mawbima -
Read more
ටොලමිගේ සිතියමේ ලංකාව ලොකුවුනේ කොහොමද

අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය කීවේත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස විරුදාවලිය ලැබුවේත් මේ සිරිලක් දිවයිනයි. එහි පතල කීර්තිය කොතෙක් ද යත් බයිබලයේ සඳහන් සමෘද්ධිමත් ම නගරය ටාර්ෂිස් නමැති පුරවරය අතීත සිරිලක මහ තොටමුණක් හා ප‍්‍රධානත ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ  වත්මන් ගාල්ල පුරවරය යැයි බොහෝ විද්වතුන්ගේ විශ්වාසයක් ව පවතී.

අතීතයේ පෙරxඅපරදිග රටවල නායක කාරකාදීන් මෙන්ම වෙළෙන්දෝ ද දේශ ගවේෂකයෝ ද මේ දිවයින දුටුවේ මිහිබට සුර පුරයක් ලෙසිනි. අතීත ලෝක සිතියම් සකස් කිරීමේදී ශී‍්‍ර ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවන්නේ ද එබැවිනි.

ලෝකයේ මුල්ම සිතියම කි‍්‍රස්තු පූර්ව 2800 දී මැටි පුවරුවක සටහන් කැර තිබියදී කැණීමකින් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව වරින් වර නිර්මාණය වූ ලෝක සිතියම් රාශියක් හමුවී ඇත. වත්මන් සිතියම් හා සැසඳීමේ දී එදා ඇඳි ලෝක සිතියම් ද බොහෝ දුරට නිවැරදි සාධක හා තොරතුරු මත පදනම්ව සකස් කැර ඇති බව පෙනී යන කරුණකි.

එදා සිතියම් ඇඳීමේ දී අද මෙන් ගුවන් යානා, චන්ද්‍රිකා වැනි දියුණු තාක්ෂණික ක‍්‍රමෝපායයන් තිබුණේ නැත. දේශ ගවේෂකයන්ගෙන් ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගනිමින් දීර්ඝ වෙහෙසකර කාර්යයක ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සිතියම් සැකසුණි. ඒවායේ නිරවද්‍යතාවෙන් පෙනී යන්නේ ඔවුන් සිය කාර්යය කොතරම් හොඳින් ඉටුකැර ඇත්ද යන්නයි.

අතීතයේ මෙරටට පැමිණි විවිධ ජාතීහූ අප රටට විවිධ නම් කියූහ. සිංහළය, සිංහලද්වීපය, ලක්දිව්, සෙරන්ඩිබ්, තැප්‍රොබේන් යන නම් භාවිතා කළ බවට සාධක තිබේ. මේ අතරින් මේරට මුල් වරට ලෝක සිතියමක දැක්වෙන්නේ තැප්‍රොබේනය යන නමිනි. මේ සිතියම සකස් කැර ඇත්තේ ගී‍්‍රක ජාතික ක්ලෝසියස් ටොලමි විසිනි. ගී‍්‍රකයෝ එකල සිතියම් සකස් කිරීමෙන් ලොව අග‍්‍රගන්‍ය ස්ථානයක සිටියහ. ඒ සඳහා තාරකා ශාස්ත‍්‍රය හා ගණිතය පිළිබඳව ඔවුන් සතුවූ පුළුල් දැනුමත් හැකියාවත් උපයෝගී කරගන්නට ඇත. ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ විසූ ටොලමි, තැප්‍රොබේන් හෙවත් වත්මන් ශී‍්‍ර ලංකාව ඇතුළත් ලෝක සිතියම නිර්මාණය කැර ඇත්තේ කි‍්‍රස්තු පූර්ව 90 ත් 168 ත් අතර කාලයේදීය. ටොලමි වත්මන් ශී‍්‍ර ලංකාවට හෙවත් එදා තැප්‍රොබේනයට කිසිදා පැමිණ නැත. මෙහි යන එන වෙළෙඳුන් හා රාජ්‍ය දුතයන් ටොලමිට පැවසූ තොරතුරු අනුසාරයෙන් ඔහු පෙරදිග මහා වෙළෙඳ මධ්‍යස්ථානය සිතියමට නගා තිබේ.

ටොලමිගේ සිතියම පිළිබඳ පැසසුම් මෙන්ම විවේචනද ඇත. ඔහු තම සිතියමේ අක්ෂාංශ හා දේශාංශ කිසියම් පරිමාණයකට අනුව ලකුණු කැර ඇත. නිවර්තන රේඛා තීරණය කැර ඇත්තේ අක්ෂාංශ 23ත් 50ත් ලෙසිනි.  ටොලමිට ඇති ප‍්‍රධාන චෝදනාව වන්නේ ඔහු පෘථිවියේ ප‍්‍රමාණය අවප‍්‍රමාණ කැර ඇති බවයි. තව ද ඔහු ඇතැම් රටවල් වෙනස් වූ පුදුමාකාර හැඩ වලින් ද දක්වා තිබේ. ඇතැම් රටවල් විශාලව ද දක්වා තිබීම ටොලමිගේ සිතියමේ ඇති විශේෂත්වයකි.

වත්මන් ශී‍්‍ර ලංකාව හෙවත් තැප්‍රොබේනය ද ටොලමි දක්වා ඇත්තේ විශාලත්වයෙන් බව පැහැදිලි සහ අප කවුරුත් දන්නා කරුණකි. ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ ටොලමි එකල තැප්‍රොබේනය නිසි විශාලත්වයකින් යුතුව සලකුණු කැර ඇතත් වර්තමානයේ මුහුදු ඛාදනය හේතුවෙන් දැනට ඇති ශී‍්‍ර ලංකාව නිර්මාණය වී ඇති බවයි. නමුත් බොහෝ විද්වතුන් පවසන්නේ ශී‍්‍ර ලංකාව අතීතයේ අත්කැරගෙන තිබූ ජාත්‍යන්තර කීර්තිය හා සමෘද්ධිමත් බව හේතුවෙන් ටොලමිට අසන්නට ලැබූ තොරතුරු අනුව තැප්‍රොබේනය විශාල දුපතක් ලෙස ඔහු දකින්නට ඇති බවයි.

ටොලමි මේ සිතියම අඳින ලද්දේ කි‍්‍රස්තු වර්ෂ 139 හෝ ඒ ආසන්න කාලයේදීය. මහා වංශයට අනුව එවකට මෙරට රාජ්‍යත්වය දරා ඇත්තේ මහළුනා රජු හෝ දෙවැනි භාතිය තිස්ස රජුය. මේ කාලයේ මෙරට රජු රෝමය, ඊජිප්තුව, ඉතියෝපියාව, ගී‍්‍රසිය හා අරාබි රටවල් සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකැර ගත් බවට තොරතුරු ඇත. ඒ හේතුවෙන්ම තැප්‍රොබේනය හෙවත් සිංහලද්වීපය ලොව පුරා ප‍්‍රචලිත රටක්ව පවතින්නට ඇති බවට කිසිදු සැකයක් නැත.

ටොලමිගේ සිතියමේ විශේෂත්වය වන්නේ තැප්‍රොබේනය ප‍්‍රමාණයට වඩා විශාලව දක්වා ඇතත් ඔහු මෙරට බොහෝ ස්ථාන නිවැරදිව ලකුණු කැර ඇති බවයි. බටහිර භාරතයෙන් මෙහි සංක‍්‍රමණය වූ ආර්යයන්ගෙන් පැවත එන මුල් කාලීන සිංහලයන් මෙරට බටහිර පෙදෙස්හි ජීවත් වූ බවත් ඔවුන් එකළ සංස්කෘත භාෂාවට සමාන වූ භාෂාවක් භාවිත කළ බවත් රටේ නම වශයෙන් යෙදුණු තැප්‍රොබේනය යන්නෙන් ද ඒ බව සනාථ වන බවත් විද්වතුන්ගේ මතයයි.

තප්‍රොබේන් යන්න තම්බපණ්ණි යන මාගධික පදයක් නොව තාම‍්‍රපර්ණි යන සංස්කෘත පදයෙන් සෑදුනක් බව පැහැදිලිය.

තව ද ටොලමිගේ සිතියමේ වඩාත් නිවැරදි ස්ථානයක් වන්නේ එකල රටේ රාජධානිය වූ අනුරාධපුරය නිවැරදිව දක්වා තිබීමයි. ඔහු එය සටහන් කැර ඇත්තේ අනුරෝග‍්‍රාමන් යනුවෙනි. අනුරාධග‍්‍රාමය යන්න ගී‍්‍රකයන්ට ඇසුණු ආකාරය විය යුතුය. එකල සංස්කෘත බස වෙනුවට හෙළ බසක් භාවිතයට ගත්තේ නම් රුහුණු දනව්වක් ලංකාවේ තිබිය යුතුය. නමුත් ටොලමි දක්වා ඇත්තේ රෝහණ දනව්ව යන්නයි. මෙයින් ද පෙනෙන්නේ ටොලමි ලංකාවේ සිතියම අඳින යුගයේ මෙරට ග‍්‍රාම නාම ව්‍යවහාරයන් සංස්කෘත ඌරුවකින් යුක්ත වූ බවයි.

ටොලමි, නාගදීපය ද පැහැදිලිව සටහන් කැර ඇත. ටොලමි ලෝක සිතියම අඳින කාලයේ රටක් හැඳින්වීමට රෝමක, ජාවක, පාරසික ආදී වශයෙන් අගට ‘ක’ යෙදීම සිරිතක්ව පැවතිණි. මේ අනුව යමින් තැප්‍රොබේන් යනුවෙන් සිරිලක හැඳින්වූ ටොලමි මෙරට ‘සලිකේ’ යනුවෙන් හැඳින්වූ බව ද සටහන් කැර තිබේ.

දඹදිව ගංගා නිම්නයේ සිට පැමිණි සංක‍්‍රමණිකයෝ මෙරට විශාලත ම ගංගා ව වූ මහවැලි නදිය වටා පදිංචිව සිටියහ. ඔවුන් මහවැලිය හඳුන්වන ලද්දේ ගං`ගා යන නමිනි. පසු කළෙක සිංහලයෝ රටේ ඇති සියලූ නදී ගංගා යැයි නම් කරන ලදී. ටොලමිගේ සිතියමේ මහවැලි නදිය හඳුන්වා ඇත්තේ ගැන්ජීස් යන නමිනි. ඒ මෙරටට පැමිණි පිරිස් ටොලමි හමුවන විට ගං`ගා යන්න වැහැරූ ආකාරය විය යුතුය.

අතීතයේ මෙරට වූ මහානාගකුල නම් පෙදෙසක් රෝහණ පුරවරයේ වැදගත් ස්ථානයක් විය. එය අද රම්බා විහාර ප‍්‍රදේශය ලෙස විශ්වාස කැරේ. ටොලමි සිය සිතියමේ මේ ස්ථානය නම් කැර ඇත්තේ නාගථූප යනුවෙනි. දෙවුන්දර නගරය ද ටොලමිගේ කාලයේ පවා පූජනීය පෙදෙසක් වූ බව සිතීමට පුළුවන. එය ඔහු දගන යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම එය සඳ දෙවියන්ගේ පුද බිමක් බව ද ටොලමි සඳහන් කරයි. දෙවුන්දර, චන්ද්‍රයාගේ බලය සහිත ස්ථානයක් යැයි යන්න අදට ද විශ්වාසයක් පවතී.

ටොලමිගේ සිතියමේ දැක්වෙන තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ රට මධ්‍යයේ පිහිටි කඳුකරයයි. එය ද එකල ඇඳි සිතුවම් අනුව ඉතාමත්ම නිවැරදි සඳහන් කිරීමකි. එහි තවත් සුවිශේෂී කරුණක් තිබේ. කඳුකරය ඔහු හඳුන්වා දී ඇත්තේ ‘මලය කඳු’ යනුවෙනි. අතීතයේ මධ්‍යම කඳුකරය හැඳින්වීමට යෙදුවේ මලය රට යන්නයි. ටොලමි වඩාත් නිවැරදි බවට එය ද සාක්කියකි. කෙසේ වෙතත් අද අප භාවිතා කරන නගරය යන වචනය ටොලමි භාවිතා කැර ඇත්තේ රෝහණ දනව්වේ අග නගරය වූ මාගම රාජධානිය හැඳින්වීමට බව ඔහුගේ සිතියම පිරික්සීමේ දී පෙනී යයි. එදා මාගමට නගරය යන්න භාවිතා කළ හේතුවක් හෝ දැන් සියලූ පුරවරයන්ට නගරය යන වදන ව්‍යවහාරයට පැමිණි ආකාරයක් ගැන හෝ සාධක නැත.

ටොලමිගේ සිතියමේ මර්ගන නම් වෙළෙඳ නගරයක් ගැන සඳහන් වේ. කණිට්ඨතිස්ස රජු පිහිටුවන ලද ඔච්චාප්පුකල්ලූ සෙල්ලිපියේ මගන නම් නගරයක් සඳහන් වේ. විද්වතුන්ගේ මතය වන්නේ මේ දෙකම එකක් බවයි. වසභ හා කණිට්ඨතිස්ස රජවරුන්ගේ කාලයට අයත් විල්පත්තු ආරාම නටඹුන්වල ඇති සෙල්ලිපි සාධක අතර ද මගණ නම් පුරවරයක් ගැන සඳහන්ය. මෙය ටොලමි විසින් සඳහන් කැර ඇති මර්ගන යන වරාය ආශි‍්‍රත පුරවරය විය යුතුය. මේ සියල්ල සලකා බැලූ විට ටොලමි කිසි දිනක තැප්‍රොබේනයට පය තබා නැතත් මෙහි පැමිණෙන සංචාරකයන්ගෙන් දැනගත් තොරතුරු අනුව ඔහු ඇඳ ඇති ලක් සිතියමේ එකල භාවිත බොහෝ ස්ථාන ආසන්න වශයෙන් නිවැරදිව දක්වා ඇති බව පැහැදිලි කරුණකි. ඔහු මෙරට වඩාත් විශාල ලෙස සිතන්නට ඇත්තේ මෙහි ඇති ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී ගිය සම්පත් සමුදාය හා සංචාරකයන් කරන වර්ණනාවන් අසා විය යුතුය.
අතීතයේ ලොව කීර්තිමත් රාජධානියක් වූ සිංහලද්වීපය හෙවත් තැප්‍රොබේනය ලෝකවාසීන්ට පමණට වඩා විශාලව පෙනෙන්නට ඇත්නම් එය අරුමයක් ද නොවේ.

වේරගොඩගේ සජීව විජේවීර -
Read more
Friday, February 21, 2014
ජයලලිතාට නීතිය වැරදීම හෙවත් 'එව්වා සුම්මා'

තව පොඩ්ඩෙන් රජිව් ගාන්ධි දෙවැනි වරටත් මිය යන්නේය. එහෙත් ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව ඉදිරිපත් වී ඔහු බේරා ගත්තේය.

රජිව් ගාන්ධි මැරූ පිරිසෙන් පණපිටින් අල්ලා ගත හැකිවූ කිහිප දෙනාට මරණ දඬුවම දෙන බව ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුවේ සුප්‍රීම් උසාවිය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි. ඉන්පසු එම දණ්‌ඩනය ජීවිතාන්තය දක්‌වා සිර දණ්‌ඩනයකට පරිවර්තනය විය. මේ කාලය තුළදී ගාන්ධි ඝාතනයේ විත්තිකාරියක වූ නාලිනී නමැති කොටි කාන්තාව හමුවීම සඳහා සිර ගෙදරට ගිය ප්‍රියංකා ගාන්ධි (අගමැති රජිව් ගාන්ධිගේ දියණිය) නාලිනීට සමාව දීමට තමා සූදානම් බව කීවාය. මේවා හින්දු බහුතරයක්‌ තිබෙන කොංග්‍රස්‌ පක්‍ෂයට දෙමළ ඡන්ද දිනා දීම පිණිස කළ පොඩි- පොඩි ෂෝ වැඩය. ප්‍රියංකාගේ සමාව අධිකරණය විසින් පිළිගනු නොලැබේ. මියගිය රජිව් ගාන්ධි ආපසු නැගිට විත් නාලිනීට සමාව දෙන්නැයි කීවත් අධිකරණය එය කරන්නේ නැත. එය ප්‍රියංකා ගාන්ධිද දන්නේය. මෙය හරියටම සමාන වන්නේ තම ස්‌වාමියා වූ විජය කුමාරණතුංග ඝාතනය කළැයි ඡේ.වී.පී. යට බැණ බැණ සිටි චන්ද්‍රිකා අන්තිමේදී ඡේ.වී.පී. ය සමග සන්ධාන ගතවීම හා සමාන කටයුත්තකි.

කෙසේ වුවද නාලිනී ඇතුළු රජිව් ඝාතක ත්‍රස්‌ත පිරිස දිගටම සිරගෙදර සිටියහ. මේ අතර එම ඝාතකයන් සියලු දෙනා නිදහස්‌ කිරීමට තමා තීරණය කළ බව පසුගියදා ජයලලිතා ප්‍රකාශයට පත් කළාය. එය තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ තීන්දුවකි. ඉන්පසු ඉන්දියන් මධ්‍යම රජයේ ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට පණිවුඩයක්‌ යෑවූ ඇය අපරාධකරුවන් නිදහස්‌ කිරීමට දින තුනක්‌ කල් ලබා දුන්නේය.

මෙය ජයලලිතාට නීතිය වැරදීමකි. ලොක්‌කාට වැරදුණු විට ගෝලයන්ටද වැරදීමේ සරල න්‍යායයට අනුව කැබිනට්‌ මණ්‌ඩලයට මේ අනුව නීතිය වැරදී ගියේය. ඉන්දියන් නීතියට අනුව පවතින නීතියක්‌ යටතේ දණ්‌ඩනයට ලක්‌ වූ අයකු හෝ අයවලුන් නිදහස්‌ කිරීමට එම දණ්‌ඩනයට මුල්වූ තීන්දුව ප්‍රකාශ කළ 'අදාළ රජයට' පුළුවන. ගාන්ධි ඝාතන නඩු තීන්දුවේදී අදාළ රජය වූයේ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුව නොව ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුවය. මේ නිසා රජිව් ඝාතකයන් නිදහස්‌ කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුවට නොහැක. කෙසේ වුවද ජයලලිතාගේ තීරණයට එරෙහිව ඉන්දියන් මධ්‍යම ආණ්‌ඩුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස්‌ ඇත. අපරාධකරුවන් නිදහස්‌ කිරීම දැනට අත්හිටුවා තිබෙන අතර ඊළඟ නඩු දිනය මාර්තු 6 වැනිදාය.

කෙසේ වුවද ජයලලිතා මේ 'ෂොට්‌ එක' දුන්නේ ඉන්දියන් මධ්‍යම ආණ්‌ඩුවට පමණක්‌ නොව ශ්‍රී ලංකා රජයටත් එක්‌කය. අපට මේ 'ෂොට්‌ එක' වදින විට දෙමළ ජාතික සන්ධානය ඇතුළු කොටි හිතවාදීන් බෙර ගසන්නට පටන් ගන්නා බවත්, ඒ බෙර හඬට අනුව තමිල්නාඩුවේ දෙමළ ඡන්ද නටන්නට පටන් ගන්නා බවත් ජයලලිතා දන්නේය. සමහර විට නීතිය වරද්දගෙන රජිව් ඝාතකයන් නිදහස්‌ කරන තීන්දුව ජයලලිතා විසින් ගනු ලබන්නට ඇත්තේ දැන දැනමය. ජයලලිතාගේ තීන්දුවට ඉන්දියන් රජය විරුද්ධ වන විට ළඟ එන මහ මැතිවරණයේදී තමිල්නාඩුවේ දෙමළ ඡන්ද ටික ආණ්‌ඩුවට විරුද්ධව යන බව ඇය පළපුරුද්දෙන් දනී. ලංකාවේ මුහුදු සීමාවට හොරෙන් විත් මාළු බාන ඉන්දියන් ධීවරයකු අත්අඩංගුවට ගත් විට පවා ඉන්දියාවේ දෙමළ ඡන්ද සෙලවෙයි. මේ අනුව ජයලලිතා හදන්නේ සෝනියා ගාන්ධිට මෙන්ම මහින්ද රාජපක්‍ෂටත් පාඩමක්‌ උගැන්වීමටය. 'එව්වා සුම්මා' බව කියමු.

divaina-
Read more
රට කාදමන දේශපාලන මෝල්ලු

දකුණු සහ බස්නාහිර පළාත් සභා ඡන්දය සඳහා දැන් සියල්ල සූදානම්ය. අපේක්‍ෂකයන්ගේ මනාප අංක පවා නිකුත් කර තිබේ. මේ මනාප අංක නිකුත් වෙන්නටත් පෙර ගාල්ලේ අපේක්‍ෂකයන් තම මනාප අංකය ප්‍රදර්ශනය කර තිබේ. එක්කෝ ඡන්ද ලොක්කාගෙන් ඔහු මනාප අංකය හොරකම් කර ඇත. නැත්නම් අංජනම් එළි බලා අංකය කලින් සොයාගන්නට ඇත.

ලොකුම විහිළුව නම් නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගම්පහට ඉදිරිපත් කළ ලැයිස්තුවේ නම් 15ක්ම ව්‍යාජ අංක වීමය. ත්‍රීවීල් පක්‍ෂ තමන්ගේ පාඩුවේ විරෝධතා දැක්වීම පමණක් නොකර බැරි ඡන්දවලට ගියාම වෙන්නේ ඔවැනි වින්නැහිය. ඔහු නම් කියන්නේ මොකක්දෝ ගුරු සංගමයකින් දුන් නම් ලැයිස්තුවෙන් මේ හොර වැඩේ සිදුකර ඇති බවයි.

අනේ බාහු උන්නැහේ තමන්ගේ බාහුව පරිස්සම් කර ගත්තොත් හොඳයි නේද?
යූ.ඇන්.පී.යට නම් කිසි ප්‍රශ්නයක් නැත. නාම යෝජනා පලහිලව්වක් නිසා රනිල් වික්‍රමසිංහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයාගෙන් ගුටි නොකා අනූනවයෙන් බේරුණේය. ඔහු තවමත් සිදුවූ දෙයින් කම්පාවට පත්ව සිටින බව නම් කිව යුතුය. කරු ජයසූරිය පරණ කරු වාරුවෙන් යම්තම් එහෙ මෙහේ යයි.
මේ අතර තම පක්‍ෂයේ වුවද වැරැදිකරන අපේක්‍ෂකයන්ට ඡන්දය නොදිය යුතු බව ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා පවසයි. එය හොඳ ප්‍රකාශයකි. මාධ්‍යවේදියෙක් හැටියට කලක් කටයුතු කර ඇති ඩලස්ට හොඳ නරක කියා දිය යුතු නැත.

ශ්‍රී  ලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා නම් කියන්නේ අද බොහෝ දෙනා දේශපාලනයට එන්නේ හරි හම්බ කරගන්නට බවය. නැත්නම් ඇමැතිතුමෝ වෙන මොන බම්බුවටද දේශපාලනයට එන්නේ. අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන දේශපාලනයට එන එකා හදන්නේ මුළු සනුහරේටම හරි හම්බ කර කන්නට නේද?
මෛත්‍රි නම් එසේ නැත. ඔහු පොළොන්නරුවේ සිට බස් එකේ කොළඹට පැමිණ ඩාලි පාරේ ශ්‍රී  ලනිප මූලස්ථානයට ගොස් කැප කළ කාලයෙන් දැන් උපරිම ප්‍රතිඵල ලබාගෙන තිබේ. ඔහොම යං. ඔහොම යං.

මෛත්‍රිගේ කොළඹ ගෙවත්තේ කිලෝ පහළොවක අලයක් බැහැලලු. අනේ අනේ බන් ඇති අයට අලත් බැහැලා.
වික්‍රමබාහු උන්නැහේට බොරු ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට සිදුවීම නම් ඛේදජනකය. අපට කලින් කීවා නම් ඔය පෙව්මන්ට් එකේ සිටින හිඟන්නන්ගේ ලැයිස්තුවක් ගෙන දෙන්නට තිබිණි. කෝ ආචාර්යතුමා හිතුවක්කාරයිනේ. මේ පාර නම් ඒකට උත්තර ලැබේවි.

මොකද සෝමේ අයියා විරෝධතා රැස්වීම්වල බාහු මහත්තයාට මාර සෙනඟක් ඉන්නවනේ. ඔය ඡන්ද ලැයිස්තුවට ඒ ගොල්ලන්ගෙන් විස්සක් තිහක් දැම්ම නම් ඉවරයිනේ. ඊයේ උදේ හමු වූ පරණ සමසමාජකාරයෙක් වූ ජස්ටින් මගෙන් විමසීය.
‘ඒ මිනිසුන් එයාගේ පාටියේ අය නෙවිනේ. කාගේ හරි විරෝධතාවකට ගිහින් හොට දැමීම බාහුගේ පරම්පරාගත සිරිතක්.’
‘ඉතිං බම්බුවටද ඔය ගිරිය කැඩෙනකම් රැස්වීම්වල බෙරිහන් දෙන්නේ.’
උඹ දන්නේ නෑ ඒකේ රහස. ඒ විරෝධතාවල පින්තූර පිටරට සංවිධානවලට යැව්වම ලැබෙන්නේ රුපියල් නෙවේ ඩොලර්.
‘අම්මපා එහෙනම් දැන් බාහු වික්‍රමබාහු නෙවී ඩොලර් බාහු.’
‘මේ සැරේ නම් ඩොලර් බාහුට කෙළවෙනවා ෂුවර්.’

‘අනේ පව්.’
එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහට නම් මේ ඡන්ද දෙක පාරාවළල්ලක් වෙන එක වළක්වන්නට බැරිය. දකුණු පළාත් සභාවට නීතිඥ මෛත්‍රි ගුණරත්න වැනි වටිනා මිනිසකු නොදා හාල්පාරුවන් ටිකකට නාම යෝජනා දීමෙන් ඔහුට මෙවර දකුණෙන් හිමිවන්නේ මීහරක් ටිකක් පමණි. බස්නාහිරින් බු-- බු-- ගාන නඩයක් හිමිවනු ඇත.
මෛත්‍රි ගුණරත්න හොඳ යූ.ඇන්.පී. කාරයෙකි. නැත්නම් ඔහුට මෙවර ෆොන්සේකාගේ පක්‍ෂයට ගියා නම් උඩින් දිනන්නට තිබිණි. කමක් නෑ මෛත්‍රි ඉක්මන් බුදුන් බුදු වුණාවේ.

රනිල් වික්‍රමසිංහ මේ දිනවල කල්පනා කරන්නේ වෙනින් කවුරුවත් ගැන නොව කරු ජයසූරිය ගැන. මේ ඡන්දයෙන් එ.ජා.ප.ය පරදින බව රනිල් දනී. එහි වගකීම කරු පිට පවරා ඔහු පැත්තකට කිරීම රනිල්ගේ අරමුණය. ඡන්දයක් තිබියදී ඔහු පිටරට යන්නේ එයට කරුණු රැස්කිරීමටය.
ඊයේ උදේ ගාල්ලේ මගේ පැරැණි මිත්‍රයෙක් හමුවිය.

‘මොකක්ද සෝමේ මේ දේශපාලනේ. යූ.ඇන්.පී.ය නම් අනාගෙන ෆොන්සේකාගේ වල්ගේ පාගාගෙන. ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ආපස්සට යන හැඩයි. ඒ ගොල්ලන් හදන්නේ රට හදන්න නෙවේ. ඒ ගොල්ල හැදෙන්න.’
‘ඒක ඇත්ත. ජනාධිපතියි මෛත්‍රිපාල වගේ තව දෙතුන් දෙනකුයි හැරෙන්න අනෙක් ඔක්කොම අණ්ඩපාලලා තමයි.’
‘යූ.ඇන්.පී.යෙන් ඇවිල්ල ඉන්න කට්ටිය නම් හොද්ද බොර කර ගෙන තලු මර මරා කනවා.’

‘ඔව් ඔව් ඒ ගොල්ල දන්නව මේක අන්තිම චාන්ස් එක කියලා. ඉතිං වළ ඉහගෙනම කනවා.’
බලාගෙන ගියාම ජනාධිපතිවරයා කොයිතරම් මහන්සි වුණත් මේ යක්කුත් එක්ක ඒක කරන්න පුළුවන්ද?’
‘ඒක තමයි මාත් කියන්නේ. කන එකා කනවා. බොන එකා බොනවා. අනේ අපේ රටට ගිය කලක්!’

බාල්දිය -
Read more
Thursday, February 20, 2014
දේශපාලන දැනුම නැත්තේ නිළියන්ට විතරක් නොවේ

පළාත් සභා මැතිවරණයට ජනප්‍රිය නිළියන් දෙතුන් දෙනෙකු ඉදිරිපත් වීමට සූදානම් වීමත් සමග ඇති වූ ආන්දෝලනය තවමත් අපේ මතකයෙන් මැකී ගොස් නැත. එලෙස ඉදිරිපත් වූ සමහර නිළියන්ට අද වන විට නාම යෝජනා අහිමි වී ඇති අතර තවත් කිහිප දෙනෙකු නාම යෝජනා ලබා සිටී. මෙවර නිළියන් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වීමත් සමග ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් ගොඩ නැගුණු බවක් පෙනිණි. එහිදී මතු වුණු ප්‍රධානම තර්කයක් වූයේ මෙම නිළියන්ට දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක්, අවබෝධයක්  නොමැතිය යන කාරණයයි. ඔවුන් හුදෙක් නිළියන් ලෙස ලැබූ ජනප්‍රියත්වය පමණක් ප්‍රයෝජනයට ගනිමින් ජනතාවගේ ඡන්ද ඩැහැ ගැනීමට උත්සාහ කරනවාය යන්නයි. මෙහිදී මෙම චෝදනාවට ලක් වූ ඇතැම් නිළියන් විසින් නගන ලද තර්කයක් වූයේ අද ලංකාවේ දේශපාලනය පිළිබඳ දැනුමක් හෝ අවබෝධයක් නැත්තේ නිළියන්ට පමණක්ද යන්නයි. දේශපාලනයට අවතීර්ණ වී සිටින තවත් බොහෝ දෙනෙකුට දේශපාලන අවබෝධයක් නොමැති නමුත් නිළියන්ට පමණක් එම චෝදනාව එල්ල කිරීම කුහකකමක් බවද ඔවුහු පෙන්වා දෙන්නට වූහ.
මෙම තර්කය එකවර පසෙකට දැමිය හැකි තර්කයක් නොවන්නේ ඒ තුළ කිසියම් වලංගු බවක් ඇතැයිද සැලකිය හැකි නිසාය. එම නිසාම අපි කලා ක්‍ෂේත්‍රයට හා දේශපාලනයට සම්බන්ධ කිහිප දෙනෙකුගෙන් මේ ගැන අදහස් විමසුවෙමු.

කීර්ති තෙන්නකෝන් (විධායක අධ්‍යක්ෂ- කැෆෙ මැතිවරණ නිරීක්ෂණ කමිටුව)

කිසිදා පාසල් අධ්‍යාපනයක් ලබා නොතිබූ ඉන්දියාවේ පුලාන් දේවි නමැති කාන්තාව ජනතා  නියෝජිතවරියක ලෙස දේශපාලනය තුළ මතු වූ අන්දම අප බොහෝ දෙනෙකු හොඳින් දන්නවා. දේශපාලනඥයෙක් කියන්නේ යම්කිසි ජන කණ්ඩායමක් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයෙකුට. ඉන්දියාවේ බිහිවූ පුලාන් දේවි තම ජන කණ්ඩායම තුළ පීඩනයට පත්වී ඒ තුළින් නැගී සිට එම ජන කණ්ඩායම නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුණා. නමුත් ඇය පාසල් අධ්‍යාපනයක්වත් ලබා තිබුණේ නැහැ. දේශපාලනඥයකු වීමට නිශ්චිත උපාධියක් වැනි සුදුසුකමක් අවශ්‍ය බවට ලෝකයේ  කොතැනක හෝ සඳහන් වී නැහැ.  තමා නියෝජනය  කරන්නා වූ ජන කණ්ඩායමේ ප්‍රශ්න අවබෝධ කර ගැනීමේ හැකියාව තමයි අවශ්‍ය වන්නේ. එම අවබෝධය ලබා ගැනීමට  එම ජන කණ්ඩායම හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ රැඳී  සිටිමින් ලබාගන්නා වූ අවබෝධය වැදගත්.
වෘත්තීය සමිති, ආගමික සංවිධාන, යම් යම් ජන කොටස් ආදී ක්‍ෂේත්‍රයන් තුළින් මෙබඳු දේශපාලන චරිත මතුවන්නට පුළුවන්. නමුත් අද තියෙන වාතාවරණය තුළ දේශපාලනඥයන්ගේ පවුල්වලින්, දේශපාලනඥයන්ට සම්බන්ධ ව්‍යාපාරික පවුල්වලින් දේශපාලනයට එන නවක පිරිස් ඉන්නවා. නිළියන් වැනි ජනප්‍රිය චරිත දේශපාලනයට පිවිසියේත් මේ පසුබිම තුළ. මේ අය අර මුලින් කී විදිහේ දේශපාලන නියෝජිතයන් ‍නෙවෙයි. මෙවැනි අයගේ දේශපාලන දැනුම හා අවබෝධය ගැන ගැටලු තිබෙන බව අප පිළිගත යුතුයි. ඇත්ත වශයෙන්ම එය නිළියන්ට විතරක් බලපාන තත්ත්වයක් නමෛයි. පසුගියදා නාම යෝජනා ලැබූ අය අතරත් මෙවැනි අය ඕනතරම් සිටිනවා. ඒ විතරක් නමෛයි දැනට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ සිටින අය අතරත් දේශපාලන දැක්මක් නැති අය මොන තරම් සිටිනවාද? අද මේ රටේ හුඟක් අර්බුදවලට හේතුව එය බව අප පිළිගත යුතුයි.

ජනප්‍රිය සංගීත ශිල්පී සුනිල් පෙරේරා

දේශපාලනයට පිවිසෙන කලාකරුවන්ට, විශේෂයෙන් මෑත කාලයේ දේශපාලන කරළියට යොමුවන්නට ආ නිළියන්ට පමණක් දේශපාලන දැනුම නැති බවට චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ. එම චෝදනාව  තව බොහෝ අය කරා පැතිර යා යුතුයි. දේශපාලනයට පිවිසෙන වගේම දැනට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටින අය අතරත් දේශපාලන දැනුම නැති බොහෝ අය සිටිනවා.
විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල ඇතිවන ගැටුම් දිහා  බලපුවාම ඒ අයගේ දේශපාලන දැනුම ගැන පැහැදිලියි. දේශපාලන දැනුම ඇති, අවබෝධය ඇති ඇතැම් අය අද දේශපාලනයට එන්නේ නැහැ. ඒ විදියේ අය ආවත් ඔවුන් අභිබවා අර වගේ බාල දේශපාලනඥයින් වෙනත් විවිධ ක්‍රමවලින්  මතු වන අවස්ථාත් අප දැක තිබෙනවා. සමහර විට මැරබලය, මුදල් බලය, පවුල් බලය වැනි මාර්ගවලින් ඔවුන් මතුවී එනවා.
මෙහිදී විශේෂයෙන් යමක් කිව යුතුමයි. දේශපාලනයට පිවිසෙන හා දැනට එහි නිරත අය අතුරින් බහුතරයකට දේශපාලන දැනුමක් නැති බව පවසා කව්රුවත් ඔවුනට චෝදනා කරන්නේ නැහැ. ඒ  අයව එතැනට යවන්නේත් ජනතාව විසින්මයි. බත් පැකට් එකට, ටොපියට ජනතාව  රැවටෙන  බව දේශපාලනඥයින් දන්නවා. ඔවුන් නිතරම ජනතාව ඇමතීමට බුද්ධිමත් ජනතාව යන යෙදුම යොදා ගත්තත් ජනතාව මෝඩ පිරිසක් බව ඒ අය දන්නවා.  ඒ නිසා ජනතාව රවටා තම බලය තහවුරු කරගැනීමේ හැකියාව දේශපාලනඥයාට තියෙනවා.  නමුත් මෙය වටහා ගැනීමේ හැකියාව නැති ජනතාව හැමදාම රැවටෙනවා.
නිදහස ලබා වසර 66ක් ගතවුණත් ‍පොදු ජනතාව තවමත් ඉන්නේ පහත් අඩියක බව වටහා ගැනීමේ හැකියාව නැති ජනතාව තමයි නැවත නැවත අර මුලින් කී අයව ඔසවා තබන්නේ.  දේශපාලන දැනුමින් යුතු සුදුසු අයකු ඡන්දයට ඉදිරිපත් වී නැතිනම්, කාට හෝ කතිරය ගසනවා වෙනුවට ඡන්ද‍පොළට ගොස් තම ඡන්දය අවලංගු කිරීමේ හැකියාව, අවබෝධය ජනතාවට තිබිය යුතුයි. එවිට අවලංගු  වූ ඡන්ද  අනුව ජනතාව මේ අය ප්‍රතික්‍ෂේප  කරන බව වැටහේවි. දේශපාලනයට පිවිසෙන , දේශපාලනයේ සිටින අයට දේශපාලන දැනුම ඇතිද නැතිද කියන එකට වඩා ඔවුන් තෝරා  පත්කර ගන්නා ජනතාවට දේශපාලන දැනුම හෝ රටේ පවතින වාතාවරණය ගැන දැනුමක්  තියෙනවාද කියන එකයි  වඩා වැදගත් වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාළ

දේශපාලනයට කව්රුන් හෝ පිවිසෙනවා නම් අනිවාර්යයෙන්ම මහජන සේවයක් කිරීමේ ච්ෙතනාවෙන් යුතු, ‍පොළොවේ පය ගසා ජීවත් වන අයකු විය යුතුයි. කවර හෝ දේශපාලන පක්ෂයක් නාම යෝජනා දෙන විට එබඳු අය ඒ සඳහා තෝරාගත යුතුයි. මෑත කාලයේ නිළියන් දේශපාලනයට පිවිසෙන විට නොයෙක් කතිකාවන් ඇතිවූයේ ඔවුන්ගේ
ක්‍ෂේත්‍රය දේශපාලන ක්‍ෂේත්‍රයට වඩා සහමුලින්ම වෙනස් නිසා. උදාහරණ විදියට ගන්නවා නම් නිළිකමට එන කාන්තාවක් තමන්ගෙ රූප සෝභාව ගැන සැලකිලිමත් විය යුතුයි. ඒක ඔවුන්ගේ වෘත්තියේ ස්වභාවය. නමුත් දේශපාලනයට යොමු වූ අප වැනි කාන්තාවක් ඊට වඩා වෙනස්. අනෙක පසුගිය දිනවල දේශපාලනයට  යොමු වූ කලාකාරියන් බොහොමයක් දේශපාලන පසුබිමක් මත නමෛයි මෙයට යොමුවන්නේ. ඔවුන්ට ප්‍රධාන සුදුසුකම්  වුණේ තමා නියෝජනය කරන ක්‍ෂේත්‍රය තුළින් ලද ජනප්‍රියත්වය. නිළියන් නමෛයි මාධ්‍යවේදියෙකු වුවත් තම
ක්‍ෂේත්‍රය තුළ ජනප්‍රිය වූ පමණින් දේශපාලනය තුළ සාර්ථක චරිතයක් වේ යැයි කියන්නට බැරි බවයි මගේ අදහස. කෙසේ වෙතත් මේ විදියේ ජනප්‍රිය චරිත විශේෂයෙන් නිළියන් දේශපාලනයට යොමුවීම බොහෝ කතා බහට හේතු වුණේ ඒ නිසයි.
නිළියන් නොවන, දේශපාලනයට යොමු වූ සෙසු අයට දේශපාලන දැනුම තිබෙනවාද කියන පැනයට දියහැකි පිළිතුර මෙයයි. කවර දේශපාලන
පක්ෂයක් හෝ නාම යෝජනා දිය යුතු වන්නේ ඊට සුදුසු අයටයි. එය ඒ අයගේ මෙන්ම පක්ෂයේත් යහපතට හේතු වනවා. ඉතින් දැනට නාම යෝජනා ලැබූ අයට දේශපාලනයට සුදුසුකම් ඇති. දැනුමක් ඇති. ඒ හින්දයි ඒ අයට අවස්ථා ලැබුණේ  කියල මෙහිදී මම කියනවා. එසේ නොවී, දේශපාලන දැනුමක් නැති, නුසුදුසු අයට නාම යෝජනා ලැබුණ නම් එහි අනිටු ප්‍රතිඵල ඔවුන් බිහිකළ දේශපාලන පක්ෂවලට  අත්විඳින්නට සිදුවේවි.

ප්‍රවීණ කලා ශිල්පී ජයලාල් රෝහණ

දේශපාලනය තුළින් ජනතා නියෝජිතයන් වීමට උගත්කම, සමාජ දැනුම, දේශපාලන දැනුම අවශ්‍ය වෙනවා. මෑත කාලයේ අලුතින් දේශපාලන
ක්‍ෂේත්‍රයට පිවිසි බොහෝ අයට ඔය කියන සුදුසුකම් තිබෙනවාද කියා මා දන්නේ නැහැ. මේ අතර සිටින නිළියන් ගැන අවධානය යොමු වී, ඒ අය ගැන  කතිකා ගොඩනැගුනේ ඒ අය නිළිකම තුළින් ලද ජනප්‍රියත්වය මත දේශපාලනයට පිවිසුණු නිසා. මේ  අනුව නිළියන්ට දේශපාලන දැනුම නැතිනම් නිළියන් නොවී දේශපාලනයට එන වෙනත් අයට ඔය කියන දේශපාලන දැනුම තියෙනවාද කියන ප්‍රශ්නය නැගීම සාධාරණයි. ඒ අය ගැන කියන්න මා දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ පිරිසේ දේශපාලන දැනුම ගැනත් සොයා බැලිය  යුතුයි. ඒ විතරක් නමෛයි දැනට දේශපාලනය තුළ රැඳී සිටින සියලු දෙනාගේ දේශපාලන දැනුම කතෛක් දැයි සොයා බැලීම ඉතා වටිනවා. ඒ සඳහා සුදුසු පරීක්ෂණයක් කරනවා නම් ඉතා හොඳයි.  හැබැයි ඉතින් එබඳු පරීක්ෂණයක් කළොත්  කී දෙනෙක් ඉතුරු වේවිද, කී දෙනෙක් හැලී යාවි දැයි කියන්න බැහැ. මෙවැනි කතා දේශපාලනයේ අතුරු කතා. දැන් අපි දේශපාලනයේ අතුරු කතාවල යෙදී සිටිය යුතු නැහැ. දැන් අපට අවශ්‍ය ප්‍රබල දේශපාලන කතිකාවක්. අද වන විට අපේ රටේ දේශපාලනය අවුල් වියවුල් වී ගිහින්. එය නැවත නගා සිටුවීමට නම් අප රටේ දේශපාලනය ගැන ප්‍රබල  වටිනාකමක් ඇතිවීමයි සිදුවිය යුත්තේ.

ආරියවංශ කුලතිලක
Read more
Wednesday, February 19, 2014
බොත්තම් දෙකම ‘ස්විච් ඕෆ්’

පසුගිය දවසක ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් විපක්‍ෂයේ මන්ත්‍රිවරයකු සමඟ අපූරු කතාවක් කීවේය.
මේ ඒ කතාවය.
‘ජේ.ආර්. කියන්නේ හොඳ මොළකාරයෙක්. සමහරු හිතනවා ජනාධිපතිතුමා ජේ.ආර්.ට වඩා මොළකාරයෙක් කියලා. මේ දෙන්නා දෙවිදියක්. ජේ.ආර්.ට ඒ කාලේ කිව්වේ කපටි නරියා කියලා. ජේ.ආර්. කපටියි. ගේම්කාරයා, මොළෙන් තමයි ගේම ගහන්නේ. ජේ.ආර්.ගේ දක්‍ෂකම මොළය.

මහින්ද ගේම ගහන්නේ මොළෙන් නෙවෙයි. ජනාධිපතිතුමාට දක්‍ෂකම් දෙකක් තියෙනවා. එකක් තමයි දේශපාලන ඉව. අනෙක තමයි පී.ආර්. එක. ජනාධිපතිතුමා මෙතැනට ආවේ මේ දෙක පාවිච්චි කරලා. හොඳට බලන්න 1989 විපක්‍ෂ මන්ත්‍රිවරයෙක් වෙලා ඉඳිද්දී ජනාධිපතිතුමාට ඕනෑ වුණේ හම්බන්තොට ඡන්ද බේස් එක ආරක්‍ෂා කරගන්නයි දකුණේ ශ්‍රී ල.නි.ප. නායකයා හැටියට ඉන්නයි. මේ වැඩේට ප්‍රේමදාසගේ මර්දනයෙන් පස්සේ සී.සී. කඩ ගිය ජේ.වී.පී.කාරයන්ව චූන් කරන්න මොනවා හරි කරන්න ඕනෑ කියලා ජනාධිපතිතුමා හිතුවා. ඒකට මරපු අතුරුදන් වුණ ජේ.වී.පී.කාරයන් ගැන කතා කරන්න ජිනීවා ගියා. දකුණ ජේ.වී.පී. බේස් එක. ඒ බේස් එකේ ඉන්න ඕනෑ කියලා ජනාධිපතිතුමාගේ ඉවට දැනුණා.

1992 පාද යාත්‍රාව යන්න පටන් ගත්තේ ප්‍රේමදාසගේ ආණ්ඩුව පෙරළන්න නෙවේ. ජනාධිපතිතුමාට ඉවට දැනුණා ලලිත් - ගාමිණී එළියට ඇවිත් විපක්‍ෂයේ බලය අල්ලන්න යනවා කියල. මේ විදියට ගියොත් තමන්ටත් ශ්‍රී ල.නි.ප.යටත් තැනක් නැති වෙයි කියලා ජනාධිපතිතුමා බය වුණා. ලලිත් - ගාමිණීලාට වඩා බලයක් පෙන්නන්න පාද යාත්‍රාවක් ගියා. ඒකට ලලිත් - ගාමිණීලා එකතු වුණේ නැත්තේ ජනාධිපතිතුමා ගහන්න යන ගේම දැනගෙන. ජනාධිපතිතුමා හැම තිස්සේම ගියේ අනුර පස්සේ. ඒ කියන්නේ එතුමාගේ ඉවට දැනුණේ නැහැ අනුර පක්‍ෂයෙයි රටෙයි නායකයා වෙයි කියලා. එතුමාගේ ඉවට දැනුණේ අනුර එක්ක හිටියොත් පක්‍ෂයේ නොම්බර දෙක වෙන්න පුළුවන් කියන එකයි. චන්ද්‍රිකා මැඩම් එක්ක ජනාධිපතිතුමාගේ ඇයි හොඳයියක් තිබුණේ නැහැ. හැබැයි අනුර එ.ජා.ප.යට ගියාම ජනාධිපතිතුමා මම අනුරගේ නොම්බර දෙක, මාව පක්‍ෂයේ තියාගන්න ඕනෑ නම් මට හිමි තැන දෙන්න කියලයි පෙන්නුවේ. චන්ද්‍රිකා මැඩම් පක්‍ෂයේ සිංහල බෞද්ධ ජන පදනම වෙනස් කරන්න පැකේජය ගේන කොට ජනාධිපතිතුමා සිංහල බෞද්ධ ජන පදනමේ නායිකාව වුණ මැතිනියව ඉස්සරහ තියාගෙන ඒ ජන පදනමේ නායකයා වුණා.

මැතිනිය නැති වුණාම ඉබේම ඒකෙ නායකයා වුණා. චන්ද්‍රිකා මැඩම්ගේ අධිරාජ්‍ය ගැති ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව පක්‍ෂයේ වාමවාදී ජන පදනමේ වීරයෙක් වුණා. චන්ද්‍රිකා මැඩම් ජ.වි.පෙ. එක්ක සන්ධාන ගහ ගත්තාම සන්ධානයට මන්ත්‍රිකම බිලි දුන්න ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායකයන්ගේ පැත්ත ගත්තා. චන්ද්‍රිකා මැඩම් කොටි එක්ක සුනාමි ගිවිසුම් ගහන කොට ජ.වි.පෙ. සහ හෙළ උරුමයේ වීරයෙක් වුණා. මේකට තමයි ඉව කියන්නේ. අපි නම් මේකට කිව්වේ පල්ස් බට්න්් එක කියල. හැම තිස්සේම ඒ බට්න් එක  ඔබලා දේශපාලනය කියවගන්නවා. අනෙක තමයි පී.ආර්. බට්න් එක. විපක්‍ෂයේ පක්‍ෂ ඔක්කොම කැඩුවේ පී.ආර්. බට්න් එක ඔබලා. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් හරි ආණ්ඩුවේ කොටස්කාර පක්‍ෂයක හරි ඇමැති කෙනෙක් ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්නයක් ඇති කර ගත්තාම ඒක පල්ස් බට්න් එකෙන් දැන ගන්නවා. පට් ගාලා පී.ආර්. එක දානවා. අරලියගහ මන්දිරයට හරි ජනාධිපති මන්දියට හරි කෑමකට එන්න කියලා පී.ආර්. එක දමලා ෂේප් කර ගන්නවා.

‘හැබැයි අද දන්නවාද මොකද වෙලා තියෙන්නේ කියලා...?’
අද කාලයක ඉඳලා පල්ස් බට්න් එක වැඩ කරන්නෙත් නැහැ. පී.ආර්. බට්න් එක වැඩ කරන්නෙත් නැහැ. දැන් වැඩ කරන්නේ එක බට්න් එකයි. ඒක රනිල්ගේ බට්න් එක. ඒකෙන් තමයි දැන් ජනාධිපතිතුමා දේශපාලනය කියවන්නේ. මම දැකල තියෙනවා සමහර ත්‍රීවීල්වල ගහල තියෙනවා ජීවිතේ මල් අම්මා ඉන්න කල් කියලා. මේ ආණ්ඩුව දුවන්නේ ජීවිතේ මල් රනිල් ඉන්න කල් කියල ගහගෙනයි. දැන් ඒකෙන් අන්ධ වෙලා ඉන්නේ. ඇමැතිවරු එළිපිට බනිනවා. ඒක පල්ස් බට්න් එකට දැනෙන්නේ නැහැ. දැනුණත් රනිල් ඉන්නකන් මුන් කොහේ යන්නද කියල හිතනවා ඇති. පල්ස් බට්න් එක වැඩ නැති වුණාම පී.ආර්. බට්න් එක වැඩ කරන්නෙත් නැහැ. ඉතින් කවුරු හරි ඇවිත් ඇමැති කෙනෙක්ගේ ප්‍රශ්නයක් කිව්වොත්’ යනවා නම් යන්න කියනවා. යූ.ඇන්.පී. මන්ත්‍රිවරු ඕනෑ හැටියේ එන්න ඉන්නවා...’ කියල තමයි කියන්නේ. දැන් රටේ තොටේ වෙන ඒවා ගැන හොයන්නේ නැහැ. මාධ්‍යවල ආණ්ඩුවට ගහල ගියත් දැනෙන්නේ නැහැ.

ඒ කාලයේ රනිල්ට විපක්‍ෂයට පන්න පන්නා ගහපු ඇමැතිවරු අද තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නවා. මේ ඔක්කොම බලාගෙන ඉන්නේ රාජපක්‍ෂලා කොතැනක හරි ගිහින් ඇනගන්නකන්. ඇනගෙන තමන්ගේ කකුල් දෙක ළඟට එනකන්. ඉස්සර මේ අය රාජපක්‍ෂ කියන නාඩගමේ වේදිකාවේ චරිත. අද මේ අය ප්‍රේක්‍ෂකයෝ වෙලා. බලන්න මේ ආණ්ඩුව ආරක්‍ෂා කරපු කසකාරයෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් විමල්, අනෙකා චම්පික. මේ දෙන්නා ආණ්ඩුවට එරෙහි රනිල්ටයි හතුරු බළමුළුවලටයි වටකරගෙන ගැහුවා. දැන් රනිල් හතුරෙක් නෙවේනේ. හතුරෝ නැහැ. ඉතින් මේ දෙන්නා කස ගෙදර තියල රෙස්ට් කරනවා. ඉස්සර ආණ්ඩුවේ මුරදේවතාවුන් වගේ ඉන්න විමල්ලා, චම්පිකලා, රාජිතලා, ඩලස්ලා වගේ තව ඇමැතිවරු සතියකට සැරයක් අරලියගහ මන්දිරයේ හම්බවෙලා ගහන්න ඕනෑ කාටද, දිනාගන්න ඕනෑ කාවද කියල ගේම් ප්ලෑන් එක හදනවා. මාර ස්ප්‍රිට් එකක් තිබුණ ටීම් එකක් එතැන හිටියා.

දැන් ඔක්කොම විසිරිලා. ආණ්ඩුවේ මාධ්‍ය ඒ අයව වැද්දගන්නේ නැහැ. ආණ්ඩුවට අයිතිකාරයෝ  වැඩියි කියල බැලන්ස් වෙන්න හදනවා. ආණ්ඩුව රිමෝට් එකෙන් පාලනය කරන නිදහස් මාධ්‍ය ජනාධිපතිවරණයේදී ආණ්ඩුව ගොඩ දාලා දෙන්නම් කියල ආණ්ඩුවට ගහල බැලන්ස් එක පෙන්නනවා. මාධ්‍යවල යන කිසි දෙයක් මොනිටර් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා හිතන් ඉන්නේ මාධ්‍ය ඔක්කොම එයාගේ අතේ කියලා. බලන් ගියාම ආණ්ඩුව සල්ලි දමල දුවන මාධ්‍යත් ආණ්ඩුවටම ගහනවා. මේ, වැටෙන ලකුණු මිසක් ගොඩ එන ලකුණු නෙවේ. ජනාධිපතිතුමාගේ පල්ස් බට්න් එකයි පී.ආර්. බට්න් එකයි ‘ස්වීච් ඕෆ්’ කියන්නේ දේශපාලනයක් නැහැ කියන එකයි. දැන් ඒ දෙකම වැඩ කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව දුවන්නෙත් නැහැ. ඇවිදින්නෙත් නැහැ. පාවෙනවා විතරයි. පාවෙනකොට වැටෙන වෙලාව දන්නේ නැහැ. අපිට තියෙන බය ඒකයි.’

ඇමැතිවරයාගේ මේ කතාව අහනකොට මතක් වන්නේ බණ්ඩාරනායක මැතිනිය ජේ.ආර්.ගේ ආණ්ඩුව ගැන කියන්න ඉන්දියාවෙන් හොයාගත් යාං හෑල්ලකි. මැතිනිය ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අය-වැය විවාදයට සහභාගි වෙමින් කීවේ ඉන්දියාවේ මොරාජි දේශායිගේ ආණ්ඩුවට එරට මාධ්‍ය හදපු යාං හෑල්ලක් ජේ.ආර්.ගේ ආණ්ඩුවටද හොඳින් ගැළපෙන බවය.
‘ඒ යාං හෑල්ල පටන් ගන්නේ ‘ජනතා’ යන නමින් වෙළෙඳපොළට හඳුන්වා දෙන අලුත්ම අලුත් කාර් එකක් සම්බන්ධයෙනි. මේ කාර් එක ගැන පළවූ දැන්වීම් සහ ප්‍රචාරවලට හිත ඇදී ගොස් ප්‍රධාන පෙළේ ගැනුම්කරුවෙක් මේ කාරය මිලදී ගන්නට පැමිණියේය. ඉස්සෙල්ලාම කාර් එක කොහොමද කියල බලන්න රියැදුරෙකුත් සමඟ ගැනුම්කරුට වටයක් ගහන්නට එහෙමත් නැතිනම් ‘ට්‍රයල් රන්’ එකක් යන්න අවස්ථාව ලැබිණි. ටික දුරක් ගොස් වාහනය නතර විය.
‘අලුත් වාහනය නිසා ඇන්ජින් එකේ අප්සෙට් එකක් ඇතිවෙන්න විදියක් නෑනේ. ගෑස් ඉවර වෙලා ඇති’ යැයි කීවේ ගැනුම්කරුවාය.

“නෑ. සර් මම ටැංකිය පිරෙන්න ගෑස් ගැහුවානේ” යැයි රියැදුරා ගත් කටටම කීවේය.
එහෙනම් ඇන්ජින් එකේ වරදක් ඇති යැයි කීවේ ගැනුම්කරුවාය.
‘මොන එන්ජිමක්ද සර්? මේකේ ඇති ඇන්ජිමක් නෑ’ යැයි පිළිතුරු දුන්නේ රියැදුරාය.
ගැනුම්කරුවාගේ ඇස් උඩ ගියේය.
එන්ජිමක් නෑ. එහෙනම් කොහොමද මිනිහෝ මේ කාර් එක දුවවන්නේ? යැයි කෝපාවිෂ්ට වී ඇසුවේ ගැනුම්කරුය.
‘ප්‍රචාරයෙන් සර්’ යැයි රියැදුරා උත්තර දුන්නේ ඇහෙන නොඇහෙන ගානටය.

මැතිනිය කිව්වේ මොරාජිගේ ආණ්ඩුවත් ජේ.ආර්.ගේ ආණ්ඩුවත් දුවන්නේ ප්‍රචාරය කියන එන්ජින් එකෙන් කියලාය. මහින්දගේ ආණ්ඩුව නම් පසුගිය කාලය පුරාම දිව්වේ පල්ස් එක සහ පී.ආර්. එක කියන ඇන්ජිමෙන්ය. හැබැයි දැන් දුවන්නේ රනිල්ගේ ඇන්ජිමෙන්ය.
රනිල් ඉස්සරහින් යයි. මහින්ද පස්සෙන් යයි. රනිල් යන්නේ විනාශයටය. මහින්ද මේ ආණ්ඩුව අරගෙන යන්නෙත් එතැනටද කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Tuesday, February 18, 2014
කොළඹ පචෝරිස්ලා

තිසරණී ගුණසේකර -

‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව මම භාරගමි… එසේ හෙයින් දෙවියනි, මට පිහිට වුව මැන’’ -  ඇමරිකානු පුරවැසි භාවය ලබාගත් සියල්ලන් විසින් කළ යුතු දිව්රුමබොරු ගෙතීම, රාජපක්ෂ රාජ්‍යකරණයේ ජන්ම අංගයකි. ‘‘ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු රටේ ඇති වෙමින් තියෙන සංවර්ධනය ඉවසගෙන ඉන්න බැරි මිනිස්සු බලන්නේ මාව විදුලි පිටුවට අරින්න.’’ යි, මැතිවරණය දෙස ඇස ගසාගෙන, ජනාධිපතිවරයා ගෝරනාඩු කෙළේය. අපරාධයේ බරපතල කම කුමක් වෙතත්, කෙනෙකුට මරණීය දණ්ඩනය පැනවීමේ බලයක් ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණයට’ ඇත්තේ නැත. ජනාධිපති රාජපක්ෂව ලංකාවෙන් බාර දෙන ලදුව, ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ’ නඩු විභාගයකින් පසුව වැරදිකරු කරනු ලැබුවත්, ඔහු විදුලි පුටුවකට යන්නේ නැත. මන්ද යත්, හේග් නුවර එවැනි විදුලි පුටුවක් නැති බැවිනි.

එහෙත් අපේ නළු ජනාධිපතිවරයා දැන් රඟපාමින් සිටින දිවි පිදීමේ වික‍්‍රමාන්විත රංගනයට ඒ ශුද්ධ ඇත්ත ගැළපෙන්නේ නැත. එබැවින් විදුලි පුටුව පිළිබඳ විකට මුසාවක් අවශ්‍ය කෙරේ. ඒ, ආර්ථික බරින් මිරිකී සිටින ඡුන්දදායකයාව රවට මේ මැතිවරණ කාලයේ ඔහුගේ/ඇගේ අනුකම්පාව දිනා ගැනීමට ය.

ඇමරිකානු දේශපාලඥයන් අල්ලසට ගැනීමට රුපියල් මිලියන 100 කුත් වැය කොට අසාර්ථකව තිබිය දී, ලබන මාසයේ ජිනීවා නුවර ලංකාවට එරෙහි තවත් ඇමරිකානු යෝජනාවක් ගෙන ඒමට යද්දී, යැංකින්ට තඩිබෑමේ පුහු ඝෝෂාව නැවතත් කොළඹින් මතුවෙමින් තිබේ. සුපිරි දේශපේ‍්‍රමී ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට, ශ‍්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය නමින් මාතෘභූමි දෙකක් ඇති බව, ‘ඇමරිකානු අතපෙවීමට’ එරෙහිව අද උඩුබුරන රාජපක්ෂලාගේ පාබළ හේවායන් කී දෙනෙකු දන්නේ ද?

ඇමරිකානු පුරවැසි භාවය ලබා ගැනීම සඳහා විදේශිකයෙකු අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ගාස්තුවක් ගෙවිය යුතුය. අනතුරුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමෙන් පසු, ඇමරිකානු ඉතිහාසය සහ ප‍්‍රජාචාරය ගැනත්, ඉංග‍්‍රීසි භාෂාව ගැනත් වාචික පරීක්ෂණයකට පෙනී සිටිය යුතුය. එහි අවසන් අදියර වන්නේ, දිව්රුම් දීමයි. එහි දී, තමන් උපන් දේශයට ඇති සෑම බැඳීමක්ම අතහරින බවටත්, ඇමරිකා එක්සත් ජනපදයට මුළුමණින් පක්ෂපාතී වන බවටත්, ඔහු/ඇය සපථ කර සිටී.

වාර්තා වන පරිදි, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියන් ය. එසේ නම්, ඔවුන් ඒ සඳහා අයදුම් කරන්ට ඇත. ගාස්තුවක් ගෙවන්ට ඇත. සම්මුඛ පරීක්ෂණයට මුහුණදී පුරවැසි පරීක්ෂණයෙන් සහ භාෂා පරීක්ෂණයෙන් සමත් වන්නට ඇත. ඉන් පසු දිව්රුම් දෙන්නටත් ඇත. එහි දී, ශ‍්‍රී ලංකාවට ඇති පක්ෂපාතීත්වය අතහැරීමට ප‍්‍රතිඥා දී, ඇමරිකාවට පක්ෂපාතී වන බවට සපථ කරන්නට ඇත.

ඊටත් පසු අවස්ථාවක, යම් ගාස්තුවක් ගෙවා අවශ්‍ය ලේඛනවලට අත්සන් කොට, ඔවුන් ලංකාවේ පුරවැසි භාන්‍යත් ලබාගන්නට ඇති. (ඒ කවදාදැ යි සොයා බැලීම වටී).

ලංකාවේ උපත ලද්දවුන් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇමරිකානුවන් බවට පත්වුණේ ඔවුන්ගේම කැමැත්තෙනි. ඒ දෙදෙනාගෙන් කිසිවෙක්, වෙන රටක පුරවැසි භාවයක් ඉල්ලන්නට තරම් ලංකාවේ දී කිසි තාඩනපීඩනයකට ලක්ව සිටියේ නැත. දෙන්නාම රට හැර ගියේ සරුබිම් සොයාගෙන ය. ලෝකයේ ධනවත්ම රටේ පුරවැසි භාවය සඳහා ඒ දෙන්නාම තමන්ගේ මව්රට අතහැරියෝය. ඔවුන්ගේ සහෝදරයා ලංකාවේ ජනාධිපති නොවන්නට, ඔවුන් දෙන්නාම තමන්ගේ මුළු ජීවිත කාලයන්ම ගත කරනු ඇත්තේ ඇමරිකාවේ ය.

ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ එක විට ලංකාවේත්, ඇමරිකාවේත් පුරවැසියන් නම්, ඔවුන්ගේ සැබෑ පක්ෂපාතීත්වය ඇත්තේ කුමන රට ද? හදවතින්ම සහ ආත්මයෙන්ම තමන් ශ‍්‍රී ලාංකිකයන් බවත්, වෙන කිසිවෙකු ආදරය කොට නැති තරමට තමන් ඒ මාතෘ භූමියට ආදරයක් කරන බවත් ඔවුන් ප‍්‍රකාශ කරන්නේ නම්, ඇමරිකානු පුරවැසි භාවය ලබා ගැනීමේ දී, ‘‘මෙතෙක් මා අයත් වූ වෙනත් ඕනෑම රටකට මගේ තිබූ සෑම පක්ෂපාතීත්වයක් සහ භක්තියක්ම, මුළුමණින්මත් සදහටමත් මා අතහැරීමට සපථ කරමි’’ යි ඇමරිකානු දිව්රුම දීමේ දී ඔවුන් කියා ඇත්තේ බොරුවක් නොවේ ද? උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ රට වන ඇමරිකාව, චීනය සමග ගැටුමකට ගියොත්, ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂට ‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමටත්’, ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂට ‘ඇමරිකානු සන්නද්ධ සේවාවන් තුළ අ-සංග‍්‍රාමික සේවාවන් සැපයීමටත්‘, තමන් දුන් දිව්රුම් ප‍්‍රකාශය අනුව සිදු වෙතොත්, ඔවුන් කරන්නේ කුමක් ද?

බවර් යුද්ධ සමයේ බි‍්‍රතාන්‍ය හමුදාවන් සඳහා සැපයූ සේවාව වෙනුවෙන් මහත්මා ගාන්ධිට බි‍්‍රතාන්‍ය කිරීටයෙන් ප‍්‍රදානය කොට තිබූ පදක්කම, බි‍්‍රතාන්‍යයේ යටත්විජිත පාලනයට එරෙහි සමාජ ව්‍යාපාරය පටන්ගන්නා අවස්ථාවේ ගාන්ධි විසින් ආපසු කිරීටයට භාර දෙන ලදි. තමන්ගේ ආදරණීය ශී‍්‍ර ලංකාව බෙදීමට සහ විනාශ කිරීමට කුමන්ත‍්‍රණය කරති යි ඔවුන්ම චෝදනා කරන රටක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ තවදුරටත් පුරවැසියන් වශයෙන් සිටින්නේ ඇයි? තමාගේ විශාල ජයග‍්‍රහණය ගැන ඊර්ෂ්‍යාවෙන් උමතු වී, තවත් ඉරිසියාකාර රටවල් සමග එකතුව, ඔවුන්ගේ බලපුලූවන්කාරකමින් තමන්ව විදුලි පුටුවට යැවීමට කැසකවන රටකට තමන්ගේ දෙසොහොයුරන් තවදුරටත් පක්ෂපාතීත්වයෙන් බැඳී සිටීම, ජනාධිපති රාජපක්ෂගේ හිතට තරමකවත් වධයක් හෝ කණාටුවක් වන්නේ නැත් ද?

‘‘දේශපේ‍්‍රමය, ගලක් තරමට අන්ධ ය. හිස සිඳ ගත් කිකිළියක් තරමට අතාර්කික’’ යැයි, ඇමරිකානු ලේඛක ඇම්බ්‍රෝස් බියර්ස් වරක් ලීවේය. හොර වෙද්දුන්ගේ ප‍්‍රථම අවිය එය වීම ඉතිං පුදුමයක් නොවේ.

ජිනීවා යනු රාජපක්ෂගේ ප‍්‍රශ්නයකි

ජනාධිපති රාජපක්ෂ 2012 දී වතිකානුවට ගියේය. එහි දී ඇති වු ‘සුහද සාකච්ඡුාවේ’ දී අපේ ජනාධිපතිරයා සහ පාප් වහන්සේ, ‘‘අදාළ සෑම පාර්ශ්වයකම සුජාත අපේක්ෂාවන්ට අනුගත, ඒකාබද්ධ ජගත් විසඳුමක් සොයා ගැනීමට’’ හැකි වෙතැ යි විශ්වාසය පළ කළහ.

‘ජගත් ඒකාබද්ධ විසඳුමක්’ තුළ පැහැදිළි ජාත්‍යන්තර අඩංගුවක් තිබේ. ‘දේශීය විසඳුමක්’ ගැන තමන් නිරතුරුව ජප කරන මන්ත‍්‍රයට පටහැනි වූ පාප් වහන්සේගේ ඒ සූත‍්‍රයට ජනාධිපතිවරයා අනුමැතිය පාන්ට ඇත්තේ, දෙකෙන් එකක්වත් කිරීමේ අදහසක් ඔහු තුළ නොතිබුණු නිසා ය. ඒවා සියල්ල, කාලය මැරීමට, එල්ල වන විවේචන වෙනතක හැරැුවීමට, කාගෙත් පැසසුමට ලක්වීමට හෝ, මේ කියන අවස්ථාවේ දී නම්, දේශපාලනික වශයෙන් ප‍්‍රයෝජනවත් ආශීර්වාදයක් ලබා ගැනීමට යොදාගත් උප්පරවැට්ටි ය.

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳ ප‍්‍රශ්නය මතුවූ සෑම අවස්ථාවකම කොටි සංවිධානය දැක්වූ සරළ ප‍්‍රතිචාරයක් තිබුණි: පළමුව, ‘‘අපි ළඟ එක ළමා සොල්දාදුවෙක්වත් නැහැ’’ යන්න ඔවුන්ගේ පිළිතුර විය. ඉන් පසු, ‘‘ළමා සොල්දාදුවෝ එක් කෙනෙක් දෙන්නෙක් ඉන්න එක ඇත්ත. මොකද, යුද්ධයෙන් අනාථ වෙච්ච දරුවෝ අපිට එකතු වෙන්න ඕනේ කියලා බල කරපු නිසා’’ වැනි අනන්මනන් ය. ඊළඟට එන්නේ, ගාම්භීර ප‍්‍රතිඥාව ය: ‘‘හැම ළමා සොල්දාදුවෙක්වම අපි නිදහස් කරනවා අහවල් දවස වෙනකොට’’. මේ සෑම බොරු මාලාවක්ම අවසානයේ දී ලස්සණ කෙරුණේ, ‘‘ඔබලාම ඇවිත් බලාගන්න’’ යන ආරාධනාවන්ගෙනුත්, ‘‘හමුදා සේවයෙන් මුදා හැරීමේ’’ නාටකයන්ගෙනුත් ය. (තොරණ් ගස් ළමුන් දෙතුන් දෙනෙකු හමුදා සේවයෙන් නිදහස් කෙරෙන අතරේ හොර රහසේ තවත් ළමුන් බඳවා ගැනුණි.)

කොටි ගිය පාරේම යන රාජපක්ෂලා

‘උගත් හා සංහිඳියා කොමිසම’ පිහිටුවීමේ අපේක්ෂාව වුණේ, දරුස්මාන් වාර්තාවට එරෙහි ‘විශ්වසනීය’ අලගුවක් වීම පමණි. එය, වගවීමේ ප‍්‍රශ්නයෙන් කට්ටි පැනීමේ ප‍්‍රයෝගයකි. ඒ යුතුකම එම වාර්තාවෙන් උත්කෘෂ්ට ලෙස ඉෂ්ට කෙරුණි. එහෙත් ඒ අතරේ, අවශ්‍ය ‘විශ්වසනීයත්වය’ රැුක ගැනීම සඳහා එම වාර්තාව තුළ ඇතැම් මෘදු විවේචන කිහිපයක් ද, විචාරශීලී නිර්දේශ කිහිපයක් ද ඇතුළත් කෙරුණි. ඒ නිර්දේශ වූ කලී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන අවම පොදු සාධකයන්ට අංශුවකින්වත් වැඩිමනත් කිසිවක් නොවේ. වර්තමාන ‘ජිනීවා අර්බුදය’ පැනනගින්නේ, තමන් විසින්ම පත්කරන ලද කොමිසම නිර්දේශ කළ ඒ අවම මට්ටමේ නිර්දේශ පවා ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අදිමදි කිරීම හේතුවෙනි.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ගැන රාජපක්ෂලාම වවාගත් ප‍්‍රශ්නය සළකා බලන්න. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම තහනම් කිරීම ‘පශ්චාත් ගැටුම් සමගියට හිතකර නොවන ප‍්‍රධාන බාධකයක් වෙනු ඇතැ’ යි අවවාද කළ, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’, ‘එකම වෙලාවේ භාෂා දෙකකින් ජාතික ගීය ගැයීම එක දිගටම පවත්වාගත යුතු සහ උනන්දු කැරැුවිය යුතු පුරුද්දක්’ විය යුතු යැයි නිර්දේශ කෙළේය.

‘සිංහල පමණයි’ ජාතික ගීයක් යළි ස්ථාපිත කිරීම, ජනාධිපති රාජපක්ෂගේ පළිගැනීමේ චෛතසිකයෙන් උපන් පහත් ක‍්‍රියාවකි. තමන් විසින් ඔක්ෆෝඞ් සරසවි ශිෂ්‍ය සංගමය අමතනු ලැබීම, බි‍්‍රතාන්‍ය/යුරෝපා දෙමළ සරණාගතයන්ගේ කොඩි ලෙළදෙන විරෝධතා මගින් දෙවැනි වරටත් වළක්වනු ලැබීමෙන් බලවත් කෝපයට පත් ඔහු, දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම, ‘නිවැරදි කළ යුතු වැරැුද්දක්’ වශයෙන් හෙළාදකිමින්, ‘ජාතික ගීය ගැයීම සඳහා එක භාෂාවකට වඩා යොදාගන්නා වෙනත් රටක් නැතැ’ යි බොරුවක් ද කියමින්, කැබිනට් තීරණයක් හරහා, ඒ භාවිතය තහනම් කෙළේය.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමේ සම්ප‍්‍රදායට ඉඩ හැරීමෙන් ජාතික සමගිය ප‍්‍රවර්ධනය කෙරෙන අතර එය පාලන තන්ත‍්‍රයට ජාත්‍යන්තර වශයෙන් උපකාරයක් ද වනු ඇත. මෙය, හුදු කැබිනට් තීරණයකින්, නොවලහා කළ හැක්කකි. එහෙත් රාජපක්ෂලා එය ප‍්‍රතික්ෂේප කරති. අපේ පාලකයන් ඒ තරමට ළදරුවන් ය.

ජීනීවා ප‍්‍රශ්නය වූ කලී, තමන්ගේම කොමිසමක් යෝජනා කළ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට රාජපක්ෂ සහෝදරයන් පස්ස ගැසීම නිසා ඇති වූ තත්වයකි. ඔවුන්ගේ මේ මුරණ්ඩු ප‍්‍රතික්ෂේපය, මොන විදිහකින්වත්, ජාතික ස්වෛරීත්වය හෝ ජාතික අවශ්‍යතාවන්ට සම්බන්ධ වන්නක් නොව, ‘උගත් හා සංහිඳියා කොමිසමේ’ අවම ප‍්‍රජාතන්ත‍්‍රීය නිර්දේශ පවා තමන්ගේ අත්තනෝමතික පාලන ව්‍යාපෘතියට යා නොදෙන බවට, කල්ගත වී ඔවුන් තුළ හටගත් යම් අවබෝධයක් නිසා ඇති වූවකි.

හුදෙක් බලකාමය, පවුල් අවශ්‍යතා සහ තනිකර කේන්තියත් විසින්ම උසිගන්වන ලද මේ ප‍්‍රතික්ෂේපය සඳහා, මූල්‍යමය වශයෙන් සහ වෙනත් ආකාරයෙන් ද ශ‍්‍රී ලංකාවට ගෙවන්නට සිදුවන්නේය.

*2014 පෙබරවාරි 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Spin-Masters Of Colombo නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Read more
ඡන්ද කොමසාරිස්‌ මෙතරම් නපුරු ඇයි?

දේශපාලනඥයා යනු ඉතා ත්‍යාගශිලී මිනිහෙකි. එය ඔහුගේ ස්‌වභාවික ගුණයයි. උපන් ගෙයි ලකුණයි. පරම්පරාවේ ස්‌වභාවයයි. සංසාරගත පුරුද්දයි.

මේ හොඳ පුරුද්දට රජයේ නිලධාරියා හැම විටම විරුද්ධ ය. උසස්‌ ගුණාංගවලින් සමන්විත දේශපාලනඥයා දිගින් දිගටම පින් කිරීමෙන් පසු මරණින් මතු දෙව් ලොව උපදින්නේ ය යන සැකය සහ ඉරිසියාව රජයේ නිලධාරියා තුළ හැම විටෙකම තිබේ. එසේ උපදින දේශපාලනඥයා දිව්‍යාංගනාවන් වටකර ගෙන පස්‌ගෝරස කා අමෘතය බොන හැටි ගැන කල්පනා කිරීමටවත් ආණ්‌ඩුවේ නිලධාරියා කැමැති නැත. දේශපාලන දිව්‍ය පුත්‍රයා සුදු අසුන් බැඳි, දිව්‍ය රථවල නැගී දෙව්ලොව පිහිටි කන්තෝරුවල සිට ආලෝකයේ වේගයෙන් (තප්පරයට සැතපුම් එක්‌ලක්‍ෂ අසූහයදහයි) ගමන් කරන විට රජයේ නිලධාරියා දිරා ගිය හම් බෑගය තුළ බත් මුල දමාගෙන කෝච්චියේ හෝ බස්‌ එකේ එල්ලී මාර යුද්ධයක්‌ කර කන්තෝරු යයි. ගෙදර එයි.

දේශපාලනඥයන් කෙරෙහි රජයේ නිලධාරීන් තුළ තිබෙන ඉරිසියාව පසුගියදා එළියට පැන්නාක්‌ පමණක්‌ නොව පත්තරවලත් පළ විය. ඒ බස්‌නාහිර සහ දකුණු පළාත්වල ජනයාට රජයේ ඉඩම් බෙදීම, රජයේ නිවාසවල අයිතිය පැවැරීම, වැවිලි කටයුතු සඳහා උපකරණ බෙදාදීම වහාම අත්හිටුවන ලෙස ඡන්ද කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය රජයේ නිලධාරීන්ට දැනුම් දී තිබීමෙනි. රජයේ සම්පත් යොදාගෙන කරන එවැනි උත්සව මගින් දකුණේ සහ බස්‌නාහිර පළාත් සභාවල දේශපාලනඥයන් ප්‍රවර්ධනය වන බවට ඔහුට පැමිණිලි ලැබී තිබේ ලු· ඔහු මෙතැනින් ද නො නැවතී කියා ඇත්තේ දේශපාලන රැස්‌වීම් සඳහා රජයේ ගොඩනැඟිලි ලබා දීම වහාම නවත්වන ලෙස ය. එමතුදු නොව රජයේ කිසිදු ගොඩනැඟිල්ලක, බස්‌නාහිර සහ දකුණු පළාත් සභා කාරයන්ගේ රැස්‌වීම් පැවැත්වීමට ඉඩ නො දෙන ලෙස ය.

බලන්න නපුරුකමක මහත· මේ මොන අපරාධයක්‌ද? දැන් ඉතින් මේ අසරණයන් ඡන්ද කරන්නේ කොහොමද? අපේ රටේ දේශපාලනඥයන් හැමදාම ඡන්ද කළේ මේ විදියටය. ඉතා අරපරෙස්‌සමට මැතිවරණ ප්‍රචාරක වැඩ කළ ඔවුහු සම්පත් අපතේ යනු වැළැක්‌වීම සඳහා ආණ්‌ඩුවේ වාහන පමණක්‌ යොදා ගෙන ඡන්ද කළහ. එය ලංකාව සුබ සාධන රාජ්‍යයකි යන කියමන සැබෑ ලෙසට අර්ථ ගැන්වීමකි. ආණ්‌ඩුව ඉන්ධනවලට, විදුලි බලයට, ආහාරවලට, කිරිපිටිවලට, සහනාධාර සපයනවා නම් දේශපාලකයාටත් ආණ්‌ඩුවේ මුදලින් කීයක්‌වත් ගත්තාට හෙණ ගහනවා ද? මේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන්නේ අනවශ්‍ය වියදමයි. ආණ්‌ඩුවේ වාහනවලින් ඡන්ද කරන විට දේශපාලනඥයන්ගේ වාහන ඉතිරි ය. එවිට එහි වේස්‌ටේඡ් නවතී. එය රටට කොහොම වෙතත් දේශපාලනඥයාට ඉතිරියකි. ආණ්‌ඩුවේ වතුර පොම්ප ටික තමාගේ නමින් බෙදන දේශපාලනඥයාගේ වරදක්‌ අපට නම් පෙනෙන්නේ නැත. ඔහු එය ආණ්‌ඩුවේ ගොඩනැඟිලි තුළ කළත් ඒ සඳහා වැය වන්නේ ඔහුගේ දැත්වල මහන්සියයි. එවිට රජයේ නිලධාරීන් ඒ කාරණයට යෙදවීම අවශ්‍ය නොවේ. දේශපාලනඥයා වතුර පොම්ප බෙදන්නෙ තම හිතවතුන් අතර ය. යූ.එන්.පී. කාරයන්ට හෝ ඡේ.වී.පී.කාරයන්ට මොන වතුර පොම්ප ද? මේ ක්‍රියාමාර්ගය මගින් සන්ධානයේ හිතවතුන් හරියටම හඳුනා ගැනීමට හැකි වනවා පමණක්‌ නොව යූ.එන්.පී. සහ ඡේ.වී.පී. කාරයන්ට පාඩමක්‌ උගැන්වීමට ද හැකි ය. ෙµඩ්න්සේකාගේ මිනිසුන්ට නම් වතුර පොම්ප වුවමනාම නැත. ඔවුන් කරන වගාවක්‌ ද නැත.

ඉහත සඳහන් කාරණා දෙස බැලීමෙන් පාඨකයාට පෙනී යනු ඇත්තේ ඡන්ද කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය සම්පූර්ණ වැරදි චිත්‍රයක්‌ මවා ගෙන හැසිරෙන බවය. ඔහු ඉතා නරක විදියට කටයුතු කිරීමෙන් දේශපාලනඥයන් සම්පූර්ණයෙන් ම කලකිරී බස්‌නාහිර සහ දකුණු පළාත් ඡන්ද නොපැවැත්වීමට පවා ඉඩ තිබේ. එබන්දක්‌ වුවහොත් එහි වගකීම ඔහු භාර ගත යුතුය.

divaina -
Read more
මගේ අතේ හුනු මිසක් කුණු නැහැ..... අපේ රටේ ගුරුවරු ලක්ෂයක් ගත්තොත් පළමුවැනියට ඉන්නේ මං  --- උපුල් ශාන්ත සන්නස්ගල

මොකද්ද සම්පූර්ණ නම?

සන්නස්ගල සන්නස් මුදියන්සේලාගේ උපුල් ශාන්ත සන්නස්ගල.

ඉපදුණේ?

1964 මාර්තු 02.

පියා.

සන්නස්ගල සන්නස් මුදියන්සේ‍.

මව?

උඩගෙදර මුදියන්සේලාගේ පුංචි මැණිකා.

පවුලේ කී දෙනයි ද?

මමත් එක්ක 11 යි. වැඩිමලා පුංචි කාලේම මියගිහින්. ඊට පස්සේ අපි 10 දෙනයි. ගැහැනු පහයි; පිරිමි පහයි. මම පවුලේ බාලයා.

ගම?

හපුතලේ යහලබැද්ද ගැටහැවෙල.

ඒක මොන වගේ ගමක් ද?

අපේ ගමට දීර්ඝ ඉතිහාසයක් නැහැ. සුද්දා උඩරට දුම්රිය මාර්ගය හදනවත් එක්ක තමයි මේ ගම් ජනාවාස වෙන්න පටන්ගත්තේ. විවිධ පළාත්වලින් මිනිස්සු ඇවිත් තිබෙනවා; රේල් පාර හදන්න. ඒ නිසා විවිධාකාර සංස්කෘතීන්ගෙන් සුසැදි ගමක් විදියට අපේ ගම හඳුන්වන්න පුළුවන්. අපේ මුත්තා (ඒ කියන්නේ අප්පච්චිගෙත් අප්පච්චි) ඇවිල්ලා තියෙන්නෙත් රේල් පාර හදන්න.

අපේ ගම පිහිටියේ වැලිමඩ මිටියාවතේ නොඑසේනම් වැලිමඩ සානුවේ පතුලේ. උඩ තිබුණේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ තේ වතු. මතුපිටින් හරි ලස්සනයි. මීදුම තියෙනවා; සීතල තියෙනවා. දිය ඇලි තියෙනවා. හරිම සෞන්දර්යාත්මකයි. හැබැයි මේ පතුල හරිම දුඃඛිතයි. මේක තමයි පාතාලය.

තාත්තා වෘත්තිය වශයෙන් මොනවද කළේ?

අප්පච්චි ගොවියෙක්. හැබැයි අප්පච්චිගේ සහෝදරයා මහාචාර්යවරයෙක්. ඒ පුංචි බණ්ඩාර සන්නස්ගල.

පියා ගොවියෙකු වෙන්නෙත් බාප්පා

මහාචාර්යවරයකු වෙන්නෙත් කොහොම ද?

අපේ මුත්තට ඉවක් තිබුණා, ඒ ඥානය රැස්කිරීමෙන් තමයි ජීවිතය ගොඩගන්න පුළුවන් ය කියන කාරණය. ඒ නිසා මුත්තා තමන්ගේ දරුවන්ට හොඳට ඉගැන්වූවා. ලොකු අප්පච්චි මහාචාර්යවරයෙක් වුණා. නැන්දා කෙනෙක් ලංකාවේ ප්‍රථම විවාහ රෙජිස්ට්‍රාර්වරිය වුණා. ඒත් අපේ අප්පච්චි මුත්තාගේ අරමුණ සාක්ෂාත් කළේ නැහැ. එයා බිව්වා; රේස් දැම්මා, බූරු ගැහැව්වා, සහෝදරයන් එක්ක විරසක වෙලා ඉඩම් නඩු කියලා අන්ත දුගී අසරණ භාවයේ පතුලටම වැටුණා. ඒකයි වුණේ. ඒ නිසා දැන උගත් ඥාතින් අතරත් අප අතරත් ආර්ථික, සාමාජික හා සංස්කෘතික වශයෙන් විශාල පරතරයක් ඇතිවුණා. කොටින්ම ඒක ඥාති සම්බන්ධකම් පවත්වන්න බැරි තරමේ දුරස්ථභාවයක්. ඔය ක්ෂණිකා හිරිඹුරේගම ලොකු අප්පච්චිගේ දුවෙක්. මගේ ඥාති සහෝදරියක්.
එතකොට අම්මා කොහොම කෙනෙක් ද?

අප්පච්චි ආරාජිකවාදී චරිතයක් නම් අම්මා අතිශය හෘද ගෝචරයි. ඇය ධෛර්යසම්පන්න ගැහැනියක්. ඇයට ප්‍රඥාව පහළ වන්නේ අංක එක ආදරය නිසා. ඇය දරුවන්ට තියෙන අප්‍රමාණ, අනන්ත ආදරයත් එක්ක දරුවන් ගොඩනඟන්න උත්සාහ කරනවා.

ඔබේ ගමේ ජීවිතය කොහොම එකක් ද?

කුඩා කාලයේ මම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෙක්. කුසගින්න කියන එක මට හොඳට දැනිච්ච දෙයක්. මම ඉපදෙන කොට අපේ පවුල ආර්ථික වශයෙන් පිරිහිලා ඉවරයි. අම්මත් වයසට ගිහිල්ලා. මම තනේ කටේ ගහගෙන හිටියට අම්මට කිරි එරෙන්නේ නැහැ. ඒත් අදටත් මට ඒ කිරි සුවඳ දැනෙනවා. මාව අනාථ නිවාසයකට දාන්න යෝජනා වෙලාත් තියෙනවා. ඇත්තටම මාව එක්ක යන්න ජීප් එකකුත් ඇවිල්ලා තියෙනවා. මගේ ලොකු අක්කා තමයි මාව තේ පඳුරක් අස්සේ හංගලා මාව බේරගෙන තියෙන්නේ.

ඉස්කෝලේ ගියේ කොහේ ද?

මුලින්ම ගියේ යහලබැද්ද කනිෂ්ඨ විද්‍යාලයට. මගෙ අක්කා කෙනෙක් ඉස්කෝලෙට එක්ක යන අතරවාරයේ තමයි මට අකුරු කියෙව්වේ. පළමු දවසෙම මගේ ජීවිතයට විශාල ප්‍රභාවක් ලැබුණු බව මට දැනුණා. මම ශිෂ්‍යත්වය පාස් වුණා. පාස්වෙලා දියතලාවේ ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයට ආවා. එතැනින් මම සාමාන්‍ය පෙළින් බදුල්ල දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රතිඵල ගත්තා.

ඔබ කොළඹට එන්නෙ?

මම ගෙදරින් පැනලා එනවා. මම කිව්වනේ තාත්තත් එක්ක මගේ ගැටුමක් තිබ්බ කියලා. හරියට ‘සිංහබාහු’ නාට්‍යයේ වගේ. මගේ අයියා කෙනෙක් හිටියා කොළඹ. මම එහෙ ඉඳන් පිළියන්දල සෙන්ට්‍රල් එකට ගියා. ඊට පස්සෙ තමයි ‘තර්ස්ටන්’ එකට ආවේ. එතැනින් මාව කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙනවා.

හැට ගණන්වල ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ තිබුණු විශ්වවිද්‍යාල ජීවිතේ නෙමෙයිනේ ඔබේ යුගයේ තිබුණේ. මොකද්ද ඔබ අත්දැක්ක

යථාර්ථය?

මා ප්‍රමුඛ හුඟක් විශ්වවිද්‍යාල තරුණයන්ට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි කුසගින්න කියන එක. අඩුම ගාණේ පෙම්වතියක්වත් මේන්ටේන් කරගන්න අපිට ආර්ථිකයක් තිබුණේ නැහැ. ඒ නිසා යම් යම් සම්බන්ධකම් මඟහැරුණා. ඊට උත්තර හොයන්න මම විවිධ උපක්‍රම භාවිත කරලා තියෙනවා. මං පොළවල්වල ක්‍රෝට්න් වික්කා. පත්තරවලට නවකතා ලිව්වා. කුමරි පත්තරේට මං ‘සරසවි දියණියෝ’ (ඒක මගේ මුල්ම නවකතාව) ලිව්වා. එක කොටසකට රුපියල් පනහයි. මාසෙට දෙසීයයි. සමහර මාසවල සති පහක් වැටෙනකොට මට හරි ජොලි. මොකද දෙසීය පනහක් හම්බ වෙනවා. මම දෙහිවල සරණංකර පාරේ ළමයි දෙන්නෙකුට ටියුෂන් දෙන්න පටන් ගන්නවා. ඒක තමයි මගේ ටියුෂන්වල පටන්ගැන්ම.

පොඩි කාලේ ඉඳන්ම ඔබ තුළ අරගලකාරයෙක් ජීවත්වුණා ය කියල මම හිතනවා?

ඔව්. මගේ ආතා මැරුණු වෙලාවේ (ආතා කියන්නේ අපේ ගම් පැත්තේ ස්ත්‍රි ලිංග පදයක්. ආතා කිව්වේ අපේ ආච්චිට) පාංශුකූලේ දෙන්න ආපු ලොකු හාමුදුරුවෝ වර්ණනා කළේ ලොකු අප්පච්චිව. නමුත් හැමදේම කරපු අපේ අප්පච්චි ගැන වචනයක් නැහැ. මට මේකට යකා නඟිනවා. මම හාමුදුරුවන්ට කුණු හරුපෙන් බැණලා “මගේ අප්පච්චි මැරුණුදාට මං උඹලව ගෙන්වන්නේ නැහැ” කියලා තියනවා. ඒක තමයි මගේ අරගලය පටන්ගත්තු තැන.

ගමට සාපේක්ෂව ඔබේ කොළඹ ජීවිතේ කොහොම එකක් ද?

කොළඹදී මට විවිධ අය ඇසුරු කරන්න ලැබුණා. පාතාලේ චණ්ඩි, ගණිකාවෝ, සමලිංගිකයෝ, පිංපියෝ, ගංජා කාරයෝ මේ හැම දෙනාම. මේ සියලු චරිතත් එක්ක මම එක්තරා කාලයක් ඉඳලා තියෙනවා. රෑට නිදාගන්න තැනක් නැති වුණාම ගෝල්ෆේස් එක ඉස්සර තියෙන බණ්ඩාරනායක පිළිමේ යට නිදාගෙන තිබෙනවා.

ඔබත් බණ්ඩාරනායක බිහිකළ පනස් හයේ

දරුවෙක්?

ඔව්. ඒක තමයි උත්ප්‍රාසය. දවසක් එතැන හිටපු හිඟන්නෙක් එක්ක මං එක බත් එක දිග හැරගෙන කෑවා. මොකද හිඟන්නට තේරුණා මං බඩගින්නේ ඉන්නෙ කියලා. මං පස්සේ කාලේ ඒ හිඟන්නා හොයාගෙන ගියා. ඒත් හම්බු වුණේ නැහැ. මොකද ඔහු මට මගේ නෑ සනුහරේ කෙනෙක් වගෙයි මට දැනුණේ.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ටියුෂන් වෘත්තිය?

අපේ රටේ නවකතාකාරයන් 25 දෙනෙක් ගත්තොත් ඒ අතර මං ඉන්නවා කියලා මම හිතනවා. අපේ රටේ ගීත රචකයෝ 50 දෙනෙක් ගත්තොත් ඒ අතර මං ඉන්නවා කියල මම හිතනවා. අපේ රටේ විචාරකයෝ 150 දෙනෙක් ගත්තොත් ඒ අතර මං ඉන්නවා කියලා මම හිතනවා. හැබැයි අපේ රටේ ගුරුවරු ලක්ෂයක් ගත්තොත් පළමුවැනියට ඉන්නේ මං කියලා මම විශ්වාස කරනවා. පස්දෙ‍නාගෙන් එක් කෙනෙක් නෙමෙයි පළමුවැන්නා. මම ළමයින්ට උගන්වන්නේ නැහැ; සිලබස් එක හරියට කවර් කරන්නේ නැහැ කියන චෝදනා මට කවදාක්වත් ඇවිල්ලා නැහැ.

ඔබ සිංහල උගන්වපු උසස් පෙළ සිසුන්ගෙන් සියයට කීයක් විතර මේ වන විට පාස්වෙලා තිබෙනවා ද?

විෂයයන් තුනටම ‘ඒ’ ගත්තු සිසුන් විතරක් 13 දාහක් ඉන්නවා.

කෙනෙකුට කියන්න පුළුවන් ඔබ ඒ අය පාස් කරලා තියෙන්නේ ප්‍රශ්න පත්තර හොරකම් කරලා කියලා? මොකද, එහෙම

චෝදනාවක් 2003 දී ඔබට ආවනේ.

ඒක විහිළුවක්නේ. මම දැන් අවුරුදු 25 ක් තිස්සේ ටියුෂන් දෙනවා. ඒ හැම අවුරුද්දකම ප්‍රශ්න පත්තර හොරකම් කරල ද මං ළමයින්ව පාස් කරලා තියෙන්නේ. ඒක සහගහන චෝදනාවක්.

ඔබේ ගෝලයෝ වෙන්නේ කිංස්ලි රත්නායක, මොහාන් රාජ් මඩවල, තමාලි පීරිස්, සෙනේශ් දිසානායක බණ්ඩාර, පබෝධා සංදීපනී, ජයසිරි ජයසේකර, මල්කුමාරි ගීතරාණි, ප්‍රනීතා අබේවික්‍රම වගේ අය. ඔබට පුළුවන් වෙලා තිබෙනව ද මේ අවුරුදු 25 ට එක සිංහල

මහාචාර්යවරයෙක් බිහි කරන්න.

ගෝලයෝ කියනවට වඩා මම කැමැතියි ශිෂ්‍යයෝ කියලා කියන්න. මගේ ශිෂ්‍යයන්ගෙන් හුඟ දෙනෙක් අද ඉන්නේ නීති ක්ෂේත්‍රයේ. විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය මට්ටමිනුත් සමහර අය නැතුවා නෙමෙයි.

ටියුෂන්වලින් ළමයි පාස්වන රටකට පාසල්

අධ්‍යාපනයක් අවශ්‍ය නැහැනේ?

රට ඇතුළේ තියෙන අධ්‍යාපන පුනරුදයේ ගාමක බලවේගයක් විදියට අද ටියුෂන් පවතිනවා කියලා මම විශ්වාස කරනවා.

අද ගුරුවරුත් දූෂිතයි; විදුහල්පතිවරුත් දූෂිතයි. ඒ අය පගා ගහනවා; ලිංගික අල්ලස් ගන්නවා කියලා චෝදනා නැ‍ඟෙනවා.

ගුරුවරුන් විතර ද? අද ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම දූෂිතයි. සමස්තය ඇතුළේ විශාල පිරිහීමක් තියෙන්නේ. එබඳු පසුබිමක ගුරු වෘත්තිය විතරක් ක්ෂේම භූමියක් වෙන්නෙත් නැහැ. ගුරුවරයා උත්තම පුරුෂයෙක් වෙන්නෙත් නැහැ.

බැරි වේලාවක හරි අනාගතයේ ඔබට අධ්‍යාපන ඇමැති ධුරය ලැබුණොත් ඔබ මොනව ද මුලින්ම කරන්නෙ?

මං කොච්චර අමාරුවෙන් ජීවිතේ ගොඩනඟා ගත්ත ද කියන එක තේරුම් අරන් මං වගේ අය වෙනුවෙන් මගේ පළමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. උදේට වට්ටක්කා ගෙඩියක් තම්බලා හතරට කපලා කාලා ඉස්කෝලේ යන දරුවෝ ඉන්නවා. අපි මෙහේ තොරතුරු තාක්ෂණය ගැන කතා කරනවා. පාසලට, ගෙදරට විදුලිය නැතිව ඉගෙන ගන්න ළමයි තාම ගම්වල ඉන්නවා. ඔවුන්ට ප්‍රඥාව සම්පාදනය කරන්න මම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ඔබ සාමාන්‍යයෙන් කඩවසම් පුරුෂයෙක්. ඒත් ටියුෂන් ගුරුවරයකු වශයෙන් ඔබ කිසිමදාක මඩ නාගෙන නැහැ. ඔබ කොහොම ද මේ විනය පවත්වගත්තේ?

මම අත් දෙකේ හුණු ගා ගත්තා මිසක් කුණු ගා ගත්තේ නැහැ. මට මතකයි මං පුංචි කාලේ අම්මා උණු කැවුම් ගෙඩියකින් මගේ අත තවනවා. ඒ තවන ගමන් කියනවා, “මගේ රත්තරන් පුතාට කෝටියක් දේවල් ලියන්න වාසනාව, ශක්තිය ලැබෙන්න” කියලා. ඒ නිසා මේ අත් දෙකින් වැරදි කරන්නෙ නැහැ කියන අදහස මගේ උප විඥානයේ තිබෙනවා. අනෙක ශිෂ්ට සම්පන්නව ජීවත්වෙන්න ඕනැ කියන හැඟීම මට තියෙනවා. රස්සාවක් නැති කාලේ වුණත්, අසීමිතව කුසගිනි දැනුණු වෙලේ වුණත් මම මේ අත් දෙකින් නරක වැඩක් කරල නැහැ. මට සමහර වෙලාවල්වලට සමහරුත් එක්ක මරාගෙන මැරෙන්න හිතිලා තියෙනවා. ඒත් මගෙ අම්මා වම් අතින් පස්ස හෝදන්නයි දකුණු අතින් බත් කන්නයි උගන්වලා තිබුණු නිසා ඒ අවස්ථාවලදී පවා ශිෂ්ට සම්පන්නව හැසිරිලා තියෙනවා.

ඔබ දවසකට තරුණයන් සෑහෙන පිරිසක් ආශ්‍රය කරනවා. ඔබ තේරුම් ගත්තු විදියට ඔවුන්ගේ සිතුම් පැතුම් කොයි වගේ ද?

අද ඉන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ සාහසික කියැවීමක් තියෙනවා. ඔවුන් ඒක පෙන්වන්නේ නැහැ. ඔවුන් සිගරැට් අරක්කු බොන්නෙ නැහැ. ජාතිවාදි නැහැ. ආගම්වාදී නැහැ, කුලවාදි නැහැ. ඔවුන් දන්නෙ නැහැ, තමන් ළඟ ඉන්න යාළුවා සිංහල ද නැද්ද කියලා. ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් දේශපාලනඥයන්, නළු නිළියන්, මීඩියාවල පොරවල් කියලා හිතාගෙන ඉන්න අයට හිනා වෙනවා. මොවුන් මේ අයට හොඳ බයිට් එකක්. මේ කොල්ලන්ට මං ආදරෙයි. මොවුන් පුංචි පුංචි පැළ වගේ. ඒක මහා වනාත්තරයක් දක්වා වගා කිරීමයි අපි කළ යුත්තේ.

මේ වෙනකොට ඔබේ සමාජ කියැවීම මොකද්ද?

ඉස්සර අපිට පුළුවන් සමාජය ගැන අනාවැකි කියන්න. ඒත් අද බැහැ. අද කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණ තියන්න විතරයි. ඊළඟ මොහොතේ වෙන්නෙ මොකද්ද කියන එක ගැන කියවන්න තරම් මෝරා වැඩුණු සමාජ විද්‍යාවක් අපි ළඟ නැහැ. මොකද, සමාජය ඒ තරම්ම සංකීර්ණයි. අපිට පුළුවන් මේ පවතින මොහොත ගැන යමක් කියන්න විතරයි.

ඔබ ජ්‍යෝතිෂය විශ්වාස කරනව ද?

නැහැ. මම මගේ ගෙදරට මුල්ගල තිබ්බේ මමම හදපු බොරු නැකතකට.

ඔබේ බිරිය ඔබත් එක්ක විශ්වවිද්‍යාලයේම හිටපු ශිෂ්‍යාවක්?

ඔව්. ඇය රසාංගනී. එයා බඳිනවා කියලා හිතාගෙන ලව් කරපු ප්‍රථම එක්කෙනා.

ඔබේ දරුවන්?

මට පුත්තු දෙන්නයි. ලොකු පුතා විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ. දෙවැනි පුතා ලබන පෙබරවාරියේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා.

ඔබ ඩ්‍රින්ක්ස් එහෙම ගන්නව ද?

මම බිව්වා. ඒත් බයිපාස් එකෙන් පස්සේ මම කිව්වා; ආයෙ බොන්නෙ නැහැ කියලා. ඒ නිසා මං දැන් හොරෙන් බොනවා. මොකද මට පොඩි ඩ්‍රින්ක් එකක් නැතුව මනෝරාජික ලෝකයකට යන දොර ඇරගන්න බැහැ. ගැහැනුන්ට පුළුවන් නොබී මත් වෙන්න. ඒත් අපිට බැහැ. ගැහැනු ඇස් අඩවන් කරනවා වෙන ස්වරයකින් කතා කරනවා; කොඳුරනවා, අඬනවා. දැක්කම හිතෙන්නේ බීල වගෙ කියලා. තරුණ ජෝඩුවක් අවන්හලක සිසිල් බීම වීදුරුවක් බිබී ඉන්නකොට පෙම්වතියගේ හැසිරීම බලන්න. එක්කෝ කොල්ලගේ ෂර්ට් එකේ දිගට තියෙන අත කොට කරනවා. ඊට පස්සේ ආයේ දික් කරනවා. නැත්නම් ගෑරෙප්පුවක් අරගෙන අතේ ඇඟිලි අතරේ ඇනගෙන ඇනගෙන යනවා. මොන මොන විකාර කරනව ද? දැක්කම හිතෙන්නේ මේකී බීල ද කියලා.

සුනිල් මිහිඳුකුල
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න
Read more

Popular Posts

Popular Posts