Header Ads

සිංහලයෝ මත් පැන් නොබොති - මස් මාළු නොකති එනිසා මාළු රංචු පිටින් ගංගාවල පීනා යති

නිල්ලඹේ කැරැල්ල ඇතිවීම නිසා අපට බලවත් ආහාර හිඟයකට මුහුණදීමට සිදුවිය. ආහාර සලාකයක් ලබාදීමට රජු ක්‍රියා කළේ මාස දෙකකට පමණ පසුවය. එහෙත් සිංහලයාගේ බොරු කීමේ සිරිත ඉස්මතු වෙමින් පොරොන්දු වූ පරිදි අපට නිදහස ලබාදීමට රජු කිසිම ක්‍රියාමාර්ගයක් නොගත්තේය. කැරැල්ල නිමවීමෙන් පසු අපට අලුත් ප්‍රදේශවල නවාතැන් සැපයීමට සැලසුම් කිරීම නිසා හතර කෝරළයට අයත් හඳපාන්දුන්න මගේ අලුත් වාසස්ථානය විය. ගම්වැසියන්ගේ උදවු උපකාරයෙන් එහි නිවෙසක් ගොඩනැඟුවෙමි. මෙතෙක් මා ගෙවන තනිකඩ ජීවිතය ගැන අවධානය යොමුකළ එගම් වැසියෝ මගේ එදිනෙදා කාර්යයන් කර ගැනීමට පහසුවන පිණිස මෙරට තරුණියක් විවාහ කරගන්නා ලෙසද උපදෙස් දුන්හ.

සිංහලයෝ අල්ලස් ලබාගන්නා ආකාරයද මට මෙහිදී දැකගත හැකිවිය. අපගේ නාවික සිරකරුවකුට ස්වදේශිකයකු පහරදුන් අතර එය අපගේ ජාතියටම කරන ලද බලවත් නින්දාවක් ලෙස සැලකුවෙමු. අධිකරණයේ පිහිට බලාපොරොත්තු වූ අපි චූදිතයා අධිකරණයට ඉදිරිපත් කරන දිනයේ සියලුම සිරකරුවන්ද සමඟ එහි ගියෙමු. එහෙත් පහරදුන් අය අධිකාරමට අල්ලසක් දීම නිසා වංචනික ගති පැවතුම් ඇති අධිකාරම වරදකරුට දඬුවම් දීම ප්‍රමාද කළේය. නමුත් අප පහරකෑ තැනැත්තාට සිදුවූ තැළීම් සෙසු අධිකරණ නිලධාරීන්ට හා චූදිතයාට පෙන්වීමෙන් පසු ඔහුට නිසි දඬුවම් දීමට අධිකාරමට සිදුවිය.

මෙරට රජු උපක්‍රමශීලී බවෙන් හා තීක්‍ෂණ බුද්ධියෙන් යුක්තය. මේ වන විට ඕලන්ද ජාතිකයන් සතුව තිබූ බිබිලේගම බලකොටුව බිඳ හෙළීමට රජු විදේශිකයන්ගේ ආධාර අපේක්‍ෂා නොකළ නමුදු ඔවුහු සටනකින් තොරවම බලකොටුව උඩරට රජුට පවරා දුන්හ. එහෙත් බලකොටුව බිඳ හෙළීමට යෙදවීම සඳහා අපේක්‍ෂා කළ විදේශීය ජාතිකයන්ට රජු විසින් පිරිනමන ලද තාන්න මාන්න හා තෑගිබෝගවලින් නිසි පලප්‍රයෝජන ගැනීමට උපක්‍රමශීලී වූ රජු ඔවුන්ව රජවාසල මුරකිරීම සඳහා යෙදවීය.

මම මෙරටට ගොඩබසින අවධියේ මෙරට භූමියෙන් හතරෙන් එකක් පමණ ප්‍රදේශයක් ලන්දේසි පාලනයට නතුව පවතින බව දැනගතිමි. ඔවුන් හැරුණුවිට වෙනත් විදේශීය ජාතිකයෝද මෙරට ජීවත් වෙති. ඔවුන් අතුරින් එක් ජන කොටසක් වන මලබාර්වරු උඩරට රජුට බදු ගෙවමින් මෙරට වාසය කරති. තමන්ටම අයත් වූ ඉඩකඩම් නොමැති මුස්ලිම්වරු කොටසක් ලන්දේසීන්ට අයත්ව පවතින නැව්තොටවලට බඩු භාණ්ඩ ගෙන යෑමේ නිරත වෙති. ආවාහ විවාහ නිසා මිශ්‍ර වූ මලබාර් මුස්ලිම් ජාතිකයන්ගේ වාසස්ථාන මුහුදට ආසන්නව ඇත. ඔවුන්ගෙන් සමහර අය කළු පැහැයෙන් යුතුය. ඔවුන් කුරුසිය හා පබළු වැල් ගෙලෙහි පලඳින ජන කොටසකි. එම පිරිස අතර සිටින සමහරු ලන්දේසින්ට කප්පම් ගෙවති. එසේම බාල මහලු පෘතුගීසි ස්ත්‍රීන් රජුගේ මුළුතැන්ගෙයි සේවයට කැපවූ ස්ත්‍රීන් අතර සිටිනුද ඔබට දැකිය හැකිය.

සිංහලයෝ
මෙරට පාරම්පරික ස්වදේශීන් කොටස් දෙකකි. ඒ ශීලාචාර මිනිසුන් වන සිංහලයන් හා වනචාරි මිනිසුන් වන වැද්දන් වශයෙනි. මා සිංහලයන්ගේ සම්භවය ගැන විමසීමේදී ඔවුන් යකුන්ගෙන් පැවැත එන ජන කොටසක් බවට විශ්වාසයක් ඇතැයි දැනගන්නට ලැබිණි. මෙරට ස්වදේශිකයන් වූ ඔවුන් පිළිබඳ මා පෘතුගීසි ජාතිකයකුගෙන් විමසූ විට ඔහු දැන සිටි අන්දමට මෙරට ස්වදේශීන් චීන ජාතිකයන්ගෙන් පැවත එන බව අසන්නට ලැබුණු නමුත් සිංහලයාගේ පරම්පරාව පිළිබඳ එම කතාව විශ්වාස කිරීම උගහටය. කෙසේ වුවද සිංහලයාගේ සම්භවය පිළිබඳ පිළිගත හැකි නිවැරැදි තොරතුරු දැනගැනීමට නොලැබිණි. සිංහලයාගේ පෙනුමද, ඔහුගේ කථන භාෂාවද, පරිභෝජනය කරන ආහාර රටාවද අනුව ඔවුහු කිසිසේත්ම චීන ජාතිකයන්ට සමාන නොවූහ.

බොහෝදුරටම සිංහලයා මලබාර් ප්‍රදේශයෙන් මෙරටට පැමිණි අයගෙන් පැවැත එන බව මගේ අදහසයි. මෙරට වාසය කරන මලබාර්වරුන් හා සිංහලයන් අතර දක්නට තිබෙන්නේද සුළු වෙනස්කම් කීපයක් පමණි. එමෙන්ම මා මෙතෙක් දැක ඇති වෙනත් ජාතීන්ට වඩා සිංහලයා යුරෝපා ජාතීන්ට සමානය. ඉන්දියාවේදී මා දුටු මිනිසුන්ට වඩා මෙරට ස්වදේශී සිංහලයා බෙහෙවින්ම කාරුණිකය. ඔවුහු දුසිරිත්වලින්ද තොරය. සොරකම් නොකරන අතර ඔවුහු අන්සතු දේවලට අත තැබීමවත් නොකරති. අප මෙරටට ගොඩබට අවස්ථාවේ අපගේ නැවියන් නැවෙන් ගෙනැවිත් ගබඩා කර තිබූ රෙදිපිළි තොගය ඒවා ගබඩා කර තිබූ නිවෙස සමඟම දිරාපත් වනතුරු එහි තිබූ බව පසු කලෙකදී නුවර වැසියන්ගෙන් මම දැනගතිමි.

මත්වතුර පානය නොකිරීමද ඔවුන්ගේ යහගුණයකි. එමෙන්ම ඔවුහු මස් මාංස අනුභවයෙන්ද තොර නිසා ගංගාවල මසුන් රංචු පිටින් පීනා යන දර්ශනය ඔබව කුල්මත් කරනු ඇත. මෙරට ගංගාවල මසුන් මෙතරම් රාශියක් දක්නට ඇත්තේ සිංහලයා මාළු ඇල්ලීමට අදක්‍ෂ නිසා යැයි මා සිතුවද ඔබ ඊට එකඟ නොවනු ඇත. සිංහලයා ප්‍රාණඝාතය කිරීමට ඇති බිය නිසා මසුන් මැරීමෙන් වැළකෙන බව ඔබ සිතනු නොඅනුමානය. ඔවුන් සතු උපාය ඥාන හා තීක්‍ෂණ බුද්ධිය පිළිබඳ වැටහීමක් ලබාගත්තේ මෙරට සිංහලයෝ අප ඇතුළු නාවික පිරිස උපක්‍රමශීලීව රට තුළට කැඳවාගත් අන්දම සිහිපත් කිරීමෙනි. මෙරටට ආගන්තුකයන් වූ අපට කළ සැලකුම් පිළිබඳ සිතන විට ඔවුන් සතු යහපත් ගති පැවතුම් හා සුචරිතවත් බව පිළිබඳ මනා වැටහීමක් ලැබෙයි. ඔවුන්ගේ කතා විලාසය බෙහෙවින්ම සිත්ගන්නාසුලුය. ප්‍රශංසා කිරීමටද දක්‍ෂය.

එමෙන්ම අලංකාරයටද කැමැතිය. ඔවුන්ගේ ජීවන රටාවට අනුව නින්දට එතරම් ගිජු නොවේ. රළු ආහාර රටාවකට හුරුවී සිටින අතර වියළි කාලගුණික තත්ත්වයකට මුහුණ දීම ඔවුන්ට අපහසු නැත. එකිනෙකා සමඟ කලහ නොකරන ඔවුන් අතර මනා සහජීවනයක්ද වෙයි. එහෙත් සමහර අවස්ථාවල ඔවුන් බෙහෙවින්ම ප්‍රයෝගකාරී වන අතර වංචනික ගති පැවතුම්වලින්ද යුක්ත බව අපි අධිකරණය හමුවට ගිය අවස්ථාවේ අවබෝධ කර ගතිමු. ගමන් බිමන් යන අවස්ථාවලදී අන් අය සමඟ සතුටු සාමීචියේ යෙදීමටද සිංහලයෝ ඉතාමත්ම කැමැතිය. ඉතා පටු අඩිපාරවල් ඔස්සේ තම ගමනට අවශ්‍ය උපකරණ කර තබාගෙන ඔවුහු තම ගමන නිමවන තෙක්ම එකිනෙකා සමඟ කතාබස් කරමින් අදහස් හුවමාරු කරගනිති.





No comments

Powered by Blogger.