Header Ads

අලුත් පංච මහා බලවේගය

දැන් පංච මහා බලවේගය එහෙම පිටින්ම කණපිට ගොස් තිබේ. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට පළමුවත්, දෙවැනිවත්, තෙවැනිවත් දේශපාලනය ආදේශ වී තිබේ. ඒ දේශපාලනය මඟිනි, රටේ අනාගතය පිළිබඳ තීන්දු-තීරණ ගන්නේ රටේ ප්‍රතිපත්ති හදන්නේ.

කන්නන්ගර මහත්තයා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමය කණපිට ගසන අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේත් ඔවුන්ගේ වුවමනාවටය. ඒ වුවමනාව විසින් නිර්මාණය කනු ලැබ ඇත්තේ සිතන්නට උගන්වන්නේ නැති යාන්ත්‍රික අධ්‍යාපන ක්‍රමයකි. ඒ කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමය මඟින් සදාචාරය, සංස්කෘතිය, ගෞරවය යනාදී හැදියාවන් විනාශ කර ඇත්තේ මෙසේය.

'වැලිකන්දේ සිසුවාගෙන් විදුහල්පතිට පොලු පහරක්.'
'කුරුණෑගල නියෝජ්‍ය විදුහල්පති ගුරුවරයකුට පහර දෙයි.'
'ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවෙක් එල්ලී මැරෙයි.'
'මාතර සිදුවූ රිය අනතුරකට අධ්‍යාපන ඇමැතිගේ පුතා අත්අඩංගුවට.'

මේ එකම දිනයක වාර්තා වූ සිදුවීම් පෙළකි. අසූව දශකයට එපිටින් මේ වර්ගයේ සිද්ධියක් ඉතා දුර්ලභය. ඒ නිසාම එවැනි සිද්ධි ගැන කවි කොළ ලියැවුණේය. ඒත් දැන් තත්ත්වය වෙනස්ය. කවි කොළකාරයන්ට මේ සිද්ධි ගැන ලියන්නට ගියහොත් පොත් පුරවන්නට සිදුවනු ඇත.
කවි කොළය යටගොස් ෆේස් බුක් මතුවීමත් සමඟ තත්ත්වය වෙනස් වන්නේය. කුරුණෑගල වෙනූෂා සියදිවි නසා ගත්තේ ඒ නිසාය. ෆේස් බුක් ප්‍රේමයක් අහිමි වීම නිසා ඇල්පිටියේ තරුණියක එල්ලී මියයන්නේ ඒ නිසාය.

මේ ෆේස්බුක් පරපුරට දරාගන්නට නොහැකිය. ඔවුන් ජීවත් වන්නේ ක්‍ෂණික තීරණ මතය. මොන සේනාව ආවත්, මොන බලය ආවත් ඒ සදාචාරය නැවත එන්නේ නැත. එය දිරාපත්ව යන්නට ඉඩහැර තිබේ.
යල් පැනගිය තාක්‍ෂණය තවදුරටත් බදාගෙන සිටිය යුතුය යන්න එමඟින් අදහස් නොවේ. අපි විසි එක් වැනි සියවසේ ජීවත් විය යුතු වෙමු. නවීන තාක්‍ෂණය සමඟ බද්ධව ඒ ගමන යන්නට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් මෙරටට හඳුන්වා දිය යුතුය.

මෙය 'සාහිත්‍ය කන්නදැයි' ඇසූ දේශපාලකයන් සිටි රටකි. එසේ කියා ඉතිහාසයත්, සාහිත්‍යයත් වේලාවක් තිබුණහොත් පමණක් කරන්න යැයි කියා අතිරේක විෂයයන්වලට දැමූ රටකි.
ඒත් බටහිර රටවල අධ්‍යාපනඥයන් නිර්දේශ කරන්නේ කියැවීමය. සංවාද කිරීමය. එමඟින් තාර්කික බුද්ධිය වර්ධනය කිරීමය. තාර්කික බුද්ධියෙන් වර්ධනය වූ සිසුවා ක්‍ෂණික තීරණ ගන්නේ නැත. දෙපාරක් හිතන්නේය.

අනෙක් අතට මේ සියලු තත්ත්වයන්ට සාමාන්‍ය ජනතාව මත පැටවෙන පීඩනය බලපාන්නේය. නිවෙසේ ආර්ථික දුෂ්කරතා ඍජුවම බලපාන්නේ දරුවාගේ ඔළුවටය. ඒ හරහා මවුපියන්ගේ මෙන්ම දරුවන්ගේද ඔළු යකාගේ කම්මල් වේ. නිරන්තරයෙන් ගිනි ගන්නා මේ ඔළුවලින් මෛත්‍රිය, කරුණාව, දයාව, බුද්ධිමත් තීරණ අපේක්‍ෂා කළ හැකිද...?
ඒ අතරවාරයේය, තෙල වැඩි වූ ඇමැති පුත්තු මහමඟ මිනිසුන් යට කරන්නේ. ඔවුන්ගේ ඔළුවලට දරාගන්නට නොහැකි වී ඇත්තේ හදිසියේ පාත් වූ සුඛෝපභෝගීත්වයයි. එම නිසා මේ සියල්ලම දරා ගැනීමේ ශක්තිය හීන වීම නිසා සිදුවන දේය. ඒ දරාගැනීමේ ශක්තිය ගොඩනංවන අධ්‍යාපනයේ ඇති හිල් නිසා සිදුවන දේය. කන්නන්ගර මහත්තයා යළි යළිත් මරා දමා මේ දේශපාලකයන් හදන්නේ තමන්ගේ බලය පවත්වා ගන්නටය.
ඒත් මේ පීඩිතයන් හැමදාම එල්ලෙන්නේ නැත. ඔවුන් බඩගිනි වෘකයක් මෙන්ය. අලුත් පංච මහා බලවේගය හැදෙන්නේ ඒ වෘකයන්ගෙනි.

mawbima -

No comments

Powered by Blogger.