Header Ads

ජයලලිතාට නීතිය වැරදීම හෙවත් 'එව්වා සුම්මා'

තව පොඩ්ඩෙන් රජිව් ගාන්ධි දෙවැනි වරටත් මිය යන්නේය. එහෙත් ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුව ඉදිරිපත් වී ඔහු බේරා ගත්තේය.

රජිව් ගාන්ධි මැරූ පිරිසෙන් පණපිටින් අල්ලා ගත හැකිවූ කිහිප දෙනාට මරණ දඬුවම දෙන බව ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුවේ සුප්‍රීම් උසාවිය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි. ඉන්පසු එම දණ්‌ඩනය ජීවිතාන්තය දක්‌වා සිර දණ්‌ඩනයකට පරිවර්තනය විය. මේ කාලය තුළදී ගාන්ධි ඝාතනයේ විත්තිකාරියක වූ නාලිනී නමැති කොටි කාන්තාව හමුවීම සඳහා සිර ගෙදරට ගිය ප්‍රියංකා ගාන්ධි (අගමැති රජිව් ගාන්ධිගේ දියණිය) නාලිනීට සමාව දීමට තමා සූදානම් බව කීවාය. මේවා හින්දු බහුතරයක්‌ තිබෙන කොංග්‍රස්‌ පක්‍ෂයට දෙමළ ඡන්ද දිනා දීම පිණිස කළ පොඩි- පොඩි ෂෝ වැඩය. ප්‍රියංකාගේ සමාව අධිකරණය විසින් පිළිගනු නොලැබේ. මියගිය රජිව් ගාන්ධි ආපසු නැගිට විත් නාලිනීට සමාව දෙන්නැයි කීවත් අධිකරණය එය කරන්නේ නැත. එය ප්‍රියංකා ගාන්ධිද දන්නේය. මෙය හරියටම සමාන වන්නේ තම ස්‌වාමියා වූ විජය කුමාරණතුංග ඝාතනය කළැයි ඡේ.වී.පී. යට බැණ බැණ සිටි චන්ද්‍රිකා අන්තිමේදී ඡේ.වී.පී. ය සමග සන්ධාන ගතවීම හා සමාන කටයුත්තකි.

කෙසේ වුවද නාලිනී ඇතුළු රජිව් ඝාතක ත්‍රස්‌ත පිරිස දිගටම සිරගෙදර සිටියහ. මේ අතර එම ඝාතකයන් සියලු දෙනා නිදහස්‌ කිරීමට තමා තීරණය කළ බව පසුගියදා ජයලලිතා ප්‍රකාශයට පත් කළාය. එය තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ තීන්දුවකි. ඉන්පසු ඉන්දියන් මධ්‍යම රජයේ ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට පණිවුඩයක්‌ යෑවූ ඇය අපරාධකරුවන් නිදහස්‌ කිරීමට දින තුනක්‌ කල් ලබා දුන්නේය.

මෙය ජයලලිතාට නීතිය වැරදීමකි. ලොක්‌කාට වැරදුණු විට ගෝලයන්ටද වැරදීමේ සරල න්‍යායයට අනුව කැබිනට්‌ මණ්‌ඩලයට මේ අනුව නීතිය වැරදී ගියේය. ඉන්දියන් නීතියට අනුව පවතින නීතියක්‌ යටතේ දණ්‌ඩනයට ලක්‌ වූ අයකු හෝ අයවලුන් නිදහස්‌ කිරීමට එම දණ්‌ඩනයට මුල්වූ තීන්දුව ප්‍රකාශ කළ 'අදාළ රජයට' පුළුවන. ගාන්ධි ඝාතන නඩු තීන්දුවේදී අදාළ රජය වූයේ තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුව නොව ඉන්දියානු මධ්‍යම ආණ්‌ඩුවය. මේ නිසා රජිව් ඝාතකයන් නිදහස්‌ කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුවට නොහැක. කෙසේ වුවද ජයලලිතාගේ තීරණයට එරෙහිව ඉන්දියන් මධ්‍යම ආණ්‌ඩුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස්‌ ඇත. අපරාධකරුවන් නිදහස්‌ කිරීම දැනට අත්හිටුවා තිබෙන අතර ඊළඟ නඩු දිනය මාර්තු 6 වැනිදාය.

කෙසේ වුවද ජයලලිතා මේ 'ෂොට්‌ එක' දුන්නේ ඉන්දියන් මධ්‍යම ආණ්‌ඩුවට පමණක්‌ නොව ශ්‍රී ලංකා රජයටත් එක්‌කය. අපට මේ 'ෂොට්‌ එක' වදින විට දෙමළ ජාතික සන්ධානය ඇතුළු කොටි හිතවාදීන් බෙර ගසන්නට පටන් ගන්නා බවත්, ඒ බෙර හඬට අනුව තමිල්නාඩුවේ දෙමළ ඡන්ද නටන්නට පටන් ගන්නා බවත් ජයලලිතා දන්නේය. සමහර විට නීතිය වරද්දගෙන රජිව් ඝාතකයන් නිදහස්‌ කරන තීන්දුව ජයලලිතා විසින් ගනු ලබන්නට ඇත්තේ දැන දැනමය. ජයලලිතාගේ තීන්දුවට ඉන්දියන් රජය විරුද්ධ වන විට ළඟ එන මහ මැතිවරණයේදී තමිල්නාඩුවේ දෙමළ ඡන්ද ටික ආණ්‌ඩුවට විරුද්ධව යන බව ඇය පළපුරුද්දෙන් දනී. ලංකාවේ මුහුදු සීමාවට හොරෙන් විත් මාළු බාන ඉන්දියන් ධීවරයකු අත්අඩංගුවට ගත් විට පවා ඉන්දියාවේ දෙමළ ඡන්ද සෙලවෙයි. මේ අනුව ජයලලිතා හදන්නේ සෝනියා ගාන්ධිට මෙන්ම මහින්ද රාජපක්‍ෂටත් පාඩමක්‌ උගැන්වීමටය. 'එව්වා සුම්මා' බව කියමු.

divaina-

No comments

Powered by Blogger.