Open top menu
Monday, March 31, 2014
උන් මාර ජනතාවක් මචං

විමලනාත් වීරරත්න
ජනාධිපතිතුමාගෙන් ජනතාව හංදි ගානේ ඉඳන් ප‍්‍රශ්න අහන, ජනාධිපතිතුමා උත්තර බඳින එළකිරි රියැලිටි වැඩසටහන මොකක්ද කියා බලන්නට ඬේවිඞ් කැමරනුත් බැරැුක් ඔබාමාත් ලංකාවට ඇහැ දැමූහ. අත්තනගල්ලේ එක්රැුස්වී සිටි ජනයා අතරින් එක් මුස්ලිම් කාන්තාවක් අඬ අඬා කීවේ කුඩු, ගංජා මෙහේ වැහි වැහැලා සර්, ප‍්‍රභාකරන්ගෙ වැඬේ වගේ කොහොමහරි මේ වැස්සත් නතර කරලා දෙන්න කියාය. ජනාධිපතිතුමා කීවේ මේකෙදි සුදු කොඩි දාගෙන එන එවුන්ට වෙඩි තියන්න විදියක්
Read more
Sunday, March 30, 2014
  පොලිසිය ගැන හිත හදාගැනීමට බැරි ඇයි?

පොලිසිය ගැන පැය 24 කට වඩා හිත හදා ගැනීමට බැරි තත්ත්වයක්‌ මතුව තිබේ. එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට ගොස්‌ මිය යද්දී පොලිසියටම අයත් තවත් පල්මෝඩයන් එකකු හෝ කිහිපදෙනෙක්‌ අශූචි වළක්‌ කළඹා සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවම ගඳ ගස්‌වති. 2014 පෙබරවාරි 01 වැනිදා ගිරිඋල්ල පොලිසිය මගින් පැහැරගත් පුද්ගලයකු උසාවියට ඉදිරිපත් නොකර දීර්ඝ කාලයක්‌
Read more
Saturday, March 29, 2014
අපේ දේශපාලනයේ කාලකණ්‌නිකම ලෝකයට කියූ  වික්‌ටෝරියාගේ සාක්‌කිය

අපේ දේශපාලනයේ කාලකණ්‌නිකම ලෝකයට කියූ 
වික්‌ටෝරියාගේ සාක්‌කිය
පිහිනුම් තටාකයේදී පහර දුන් පිරිසගෙන් මිදී දිවයද්දී මුහුණේ කැපුම් තුවාල සහිතව පෙම්වතා බිම වැටී සිටියා. මම ඔහුව වැළඳගෙන උදව් ඉල්ලා කෑ ගැසුවත්... කිසිවෙකු උදව්වට ආවේ නෑ... යෑයි තංගල්ල හෝටලයකදී ඝාතනයට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය වන වික්‌ටෝරියා
Read more
රට මහා විනාශයක මුවවිට! -- වික්ටර් අයිවන්

ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට ඊට එරෙහිව ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය අතිවිශාලය. නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන් කිරීමෙන් පසු
Read more
Friday, March 28, 2014
යහපත් හෙටක ගත යුතු නිවැරැදි තීන්දුව

තවත් ඡන්දයකි. ජනතාවට අනවශ්‍ය යැයි කියන, දේශපාලනඥයන්ට අත්‍යවශ්‍ය යැයි කියන ඡන්දයකි. ජනතාව උදාසීනව අෑනුම් අරිද්දී, දේශපාලනඥයෝ හිනා කට පුරවාගෙන ගෙයි ‍ෙදාරකඩටම ආහ. අද ඒ තීන්දුව ගන්නා දවසයි.

‘මේක පළාත් සභා ඡන්දයක්නෙ.’
‘මේකෙන් කවුරු දිනුවත් පැරැදුණත් වැඩක් නෑ. ආණ්ඩුව මාරු වෙන්නෙ නෑනෙ.’
‘ඡන්දෙ දාට ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳම වැඩේ.’
ජනතාව ඊයේ හවස් වෙනකම් මෙසේ කීවෝය. ජනතාවගේ මේ කලකිරීම සාධාරණය. ඡන්දවලට රුපියල් කෝටි ගණනින් වැය කළා කියා තමන්ට සිදුවූ සෙතක් නැතැයි ඔවුන් කියන්නේ කරුණු - කාරණා ඇතිවය. හැමදාම ඡන්දය. ප්‍රශ්නත් එහෙමම ය.

ජනතාවගේ පැත්තෙන් ගත්විට මේ කරුණු සියල්ලටම එකඟ විය යුතුය. ඒත් ඡන්දය දැමිය යුතු යැයි අපි යෝජනා කරමු. ඡන්දපොළට යා යුතු යැයි අපි යෝජනා කරමු.
1982දී පැවැති ලාම්පු - කළගෙඩි සෙල්ලමේදී සිද්ධ වුණා වගේ, 1999දී වයඹ පළාත් සභා ඡන්දයේදී සිද්ධ වුණා වගේ, හොර ඡන්දවලින් පෙට්ටි පුරවන්නට දැන් ඉඩක් නැත. සාපේක්‍ෂව ගත්විට එදාට වඩා සාධාරණ මැතිවරණ අද පැවැත්වේ. ඊට අවශ්‍ය කරන සාධනීය වෙනස්කම් රැසක් අපේ මැතිවරණ නීතිවලට එකතු කර ඇත. ඡන්දය පාවිච්චි කිරීමට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම ඉන් එකකි.

එම නිසා ඇතැම් රටවලට තවමත් පූර්ණ අයිතියක් නැති සර්වජන ඡන්ද බලයෙන් ප්‍රයෝජන ගත යුතුය. දකුණු ආසියාවේ මුල්වරට සර්වජන ඡන්ද බලය ලැබුණේ අපටය. එදායින් - එදා පාලකයන් පුටුවලට ගෙනාවේත් - ගෙදර යැව්වේත් ජනතාවය.

ඒත් පසුගිය කාලය  පුරා ජනතාව කෙරෙහි ඡන්දය සම්බන්ධයෙන් තිබූ විශ්වාසය ක්‍රමයෙන් බිඳ වැටුණේය. ඊට ආණ්ඩුවේ මෙන්ම විපක්‍ෂයේ හැසිරීමද හේතු විය. පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ද මනාප ප්‍රතිඵල වෙනස් කළ බව සඳහන් කරමින් ඇමැතිවරයෙක් උසාවි යන්නට පවා සූදානම් විය.

අනෙක් අතට ජනතාවට ඡන්දය එපාවීමට බලපෑ තවත් හේතුවක් වූයේ රටේ ප්‍රධාන විපක්‍ෂය ලෙස එක්සත් ජාතික පක්‍ෂය පෙන්නුම් කළ දුර්වල දේශපාලන හැසිරීමයි. ජනතාවගේ ප්‍රශ්න පැත්තකට දමා, පක්‍ෂය ඇතුළේ ආරවුල් විස¼දා ගැනීමට නොහැකිව කා - කොටා ගන්නා තත්ත්වයකට එ.ජා.ප.ය පත්ව තිබේ.
මෙවැනි තත්ත්වයක් යටතේ ජනතාව ගත් තීරණය වැරැදි යැයි කියන්නට බැරිය.

ඒත් කුමන තත්ත්වයක් යටතේ හෝ කිසිවක් නොකර සිටීමට වඩා කුමක් හෝ කළ යුතුය. එම නිසාය, ඡන්දය භාවිත කළ යුතු යැයි ඡන්දපොළට යා යුතු යැයි අප යෝජනා කර සිටින්නේ.

වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය යටතේ රටේ පාලනයට මැදිහත් වීමට පුරවැසියාට ලැබෙන වටිනාම අවස්ථාව ඡන්දයයි. ඡන්දය මඟින් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ හැකිය. තමන්ව නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පළාත් සභාවට යවන්නේ කවුදැයි බුද්ධිමත්ව තීරණය කළ යුතුය. ඔබ ඡන්දපොළට නොයෑමෙන් සිදුවන්නේ රටට වැඩක් කළ හැකි පාලකයන් බිහිවීම වැළැකීමත්, අල්ලස් චෝදනා ඇති හොරුන්, දූෂකයන් එතැනට යෑමත්ය.

යහපත් හෙටක් සඳහා ගත යුත්තේ නිවැරැදි තීන්දුවකි. කුමන තත්ත්වයක් යටතේ  හෝ නිහඬ වීම යනු අනාගතයට කරන බරපතළම අපරාධයකි.
Read more
Thursday, March 27, 2014
බල්ලෝ බත් කති

කුරුණෑගල ශ්‍රී මත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි බණ්ඩාර දිවිනසා ගනු ලැබුවේ 'ෆේස් බුක්' ගිණුමක ඇයගේ ඡායාරූපයක් පළවී තිබීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා අපහාසාත්මක අන්දමින් කළ චෝදනාවක් නිසා ඇති වූ කලකිරීමක් හේතුවෙනි. මේ ශිෂ්‍යාවගේ මරණයෙන් පසු විදුහල්පතිවරයාට එරෙහිව ඇගේ මවුපියන්, හිතවතුන් හා ආදි ශිෂ්‍යයෝ පිරිසක් පාසල ඉදිරිපිට අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වූහ. ඒ ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි.

උද්ඝෝෂණය හේතුකොටගෙන විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය
Read more
නහන රුපුන් නහමින් යමි ඉදිරිය ට මහණකමත් බණ දහමත් එයයි මට

“ඉතිහාසය පුරා ශ්‍රී  ලංකාවේ ජාතික, ආගමික, සංස්කෘතික වශයෙන් මතුවන ගැටලුසහගත අවස්ථාවන්වලදී ඒවා සමනය කර ගැනීමට අවශ්‍ය අනුශාසනා සහ මාර්ගෝපදේශය ලබාදීමේ ඓතිහාසික උරුමය පැවරී පැවතියේ මල්වතු - අස්ගිරි උභය මහ විහාරයේ මහ සංඝරත්නය වෙතය...”
මේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් විසින් මහින්දට යවනු ලැබූ ලිපියේ මහින්දගේත් ඉහමොළ රත් කරන වචන ටිකය. මේ වචනවලින් මහනායකහිමිවරුන් තමන් වහන්සේලාට පැවරී තිබෙන ඓතිහාසික උරුමය ගැන මතක් කිරීමක් කරනු ලැබ ඇත.

“මතක් කරන්නේ ආණ්ඩුවට අමතක වෙලා යැයි මහානායක හිමිවරු හිතන නිසාද...?”
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ආණ්ඩුවට වඩා හොඳට මහනායකහිමිවරු ජිනීවා යෝජනාවේ අන්තරාය වටහාගෙන තිබෙන බව පැහැදිලිය. ජිනීවා යෝජනාවලින් රට මහා
Read more
Wednesday, March 26, 2014
කුඩු කෑ විත්තිය

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන් පාසල තුළදීම මත්කුඩු මිලට ගෙන පරිහරණය කරන බව දැනගන්නට තිබේ. මෙය හෙළි වී ඇත්තේ සිසු දරුවන් අතර රුපියල් පන්දහසේ කොල ළෙල දෙනු දැක ගුරු භවතුන් විසින් විමසා බලන ලද කල්හි එම මුදල් කුඩු වෙනුවෙන් වැය කරන බව හෙළි ව ඇත. සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල කොළඹ පාසල් බොහොමයක මත්කුඩු ප්‍රශ්නය තිබේ. කොළඹින් පිටත ගැමි පාසල්වල අරක්‌කු ප්‍රශ්නයක්‌ තිබේ. නගරයෙනුත් එහා පිටිසරබද පාසල්වල බීඩි/ සිගරට්‌ ප්‍රශ්නයක්‌
Read more
Tuesday, March 25, 2014
ඇමැති බන්දුලගේ සීනුව

සාමාජිකයන් සිවුදෙනකු සිටින පවුලකට රුපියල් 2,500ක මුදලකින් මාසයක් ජීවත් විය හැකි යැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය දෙවැනි වන්නේ 'රුපියල බාල්දු වී ඇතැයි කිව නොහැක්කේ රුපියලට ඇති සත සියය වෙනස් වී නැති නිසා යැයි' මහාචාර්ය තිලක් රත්නකාර '80' දශකයේ මුල කළ කුප්‍රකට ප්‍රකාශයට පමණි.

ආර්ථික විද්‍යාඥයකු වූ රත්නකාර මහතා සිය ප්‍රකාශය ගැන කිසිවකු සමඟ වාදයට නොගියද අධ්‍යාපන ඇමැතිවරයා සිය ප්‍රකාශයේ නිවැරැදිභාවය වෙනුවෙන් විවාදයකට ලකලෑස්ති විය. කලෙක ජනප්‍රිය ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයකු වූ ඇමැතිවරයා මේ ප්‍රකාශයේදී ආර්ථික විශේෂඥයකු ලෙස පෙනී සිටියේය. මොනරා පිල් විදහා ගත් විට පශ්චාත්භාගය හොඳ හැටි ප්‍රදර්ශනය වේ. අධ්‍යාපන ඇමැතිවරයාගේ ආර්ථික විද්‍යා දැනුමේ දිග පළල මේ 2,500යේ කතාවෙන් රටටම හෙළි විය.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී පමණක් නොව පාසල් වාර විභාගවලද අක්‍රමිකතා දිගින් දිගටම සිදුවුවද අධ්‍යාපන ඇමැතිවරයා ඒ කිසිවක වගකීම භාර ගත්තේ නැත. උණුසුම පහවනතුරු ඇමැතිවරයා කළේ බෝලය පාස් කරමින් සිටීමය. අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ඇතැමුන් කී විට බන්දුල ගුණවර්ධන මහතා 'මම ඇමැතිකමෙන් අයින්වෙන්නේ කුමකටදැයි' ප්‍රශ්න කෙළේය. උගත්කම ගණිකා වෘත්තියේ යොදවන්නන් සිටින රටක ලැජ්ජා නැතිකම ඇමැතිකමටත් වඩා ලොකු වීම පුදුමයක් නොවේ.

පහේ ශිෂ්‍යත්ව විභාගය නතර කරන බවට බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය රටේ මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. එහෙත් පසුව කියැවුණේ ඇමැතිවරයාගේ ප්‍රකාශය රජයේ නිල මතය නොවන බවයි. ගලේ පහරපු බළල් තඩියාට සිදුවූ අකරතැබ්බයට මෙහිදී ඇමැතිවරයා පත්විය.

ඉකුත්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති පරිවේණාධිපතිවරුන් හා පිරිවෙන් ගුරුවරුන් සහභාගි වූ උත්සවයකදී පිරිවෙන්වලට 'සීනු' බෙදීමට ගොස් අධ්‍යාපන ඇමැතිවරයා තවත් අකරතැබ්බයකට පත්විය. සිංහල බෞද්ධ සම්ප්‍රදායට අනුව පැවැත්වුණු මේ උත්සවයේදී සීනුව වෙනුවට නිවේදකයා භාවිත කළේ 'බෙල්' නම් ඉංගී්‍රසි නාමයයි. ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂයක ඡන්ද සලකුණ 'සීනුව' වීම මීට හේතුව වූවා විය හැකිය. ජනාධිපතිවරයා ඉදිරියේ 'සීනුව' යන වචනය පාවිච්චි කරන්න එපා යැයි නිවේදකයාට අධ්‍යාපන ඇමැතිවරයා උපදෙස් දුන්නාදැයි, නොඑසේ නම් නිවේදකයා ස්වයං වාරණයක් පනවා ගත්තාදැයි පැහැදිලි නැත. නිවේදකයා 'බෙල්' යැයි පැවසුවද අධ්‍යාපන ඇමැතිවරයා 'බෙල්' ප්‍රදානය කළද උගත් පිරිසකගෙන් පිරුණු සභාව 'සීනුව' ලෙස එය හඳුනාගැනීම වැළැක්විය නොහැකිය. එය නොමිලේ විහිළු සැපයීමකි.

තැනට උචිත නැති වචනයක් පාවිච්චි කිරීම නොව කළ යුතුව තිබුණේ අවශ්‍ය නම් මේ සීනු පරිත්‍යාගය පසුවට කල් තැබීමය. මෙවැනි හාස්‍යජනක අවස්ථා නිර්මාණය වන්නේ බලධාරීන්ගේ අඥාන තීරණ නිසාය.

මෙරට අධ්‍යාපනයේ අර්බුද උත්සන්න වී ඇත. 1970 බලයට පත්වූ සමඟි පෙරමුණු ආණ්ඩුව අධ්‍යාපනය අවුලකට පත් කළ අතර 1977 එ.ජා.ප.යට ආණ්ඩු බලය හිමි වූ පසු ඔවුන් ධවල පත්‍රිකාව ඔස්සේ අධ්‍යාපනය අවුලෙන් අවුලට රැගෙන ගියේය. තවමත් ඒ අවුල් ජාලයේ පැටලි - පැටලී සිටිනවා හැර ඉන් අධ්‍යාපනය ගලවා ගැනීමේ ක්‍රමෝපායක් ගැන අවබෝධයක් හිටපු අධ්‍යාපන ඇමැතිවරුන්ට මෙන්ම මේ අධ්‍යාපන ඇමැතිවරයාටද ඇති බවක් පෙනෙන්නට නැත. ගැලවුම්කාරයා වනවා වෙනුවට ඇමැතිවරයා අධ්‍යාපන අර්බුදයේ කොටස්කාරයකු බවට පත්වී සිටී.

නිදහස් ලංකාවේ මුල්ම අධ්‍යාපන ඇමැතිවරයා වූ සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ට සම කළ හැකි අධ්‍යාපන ඇමැතිවරයකු එදා-මෙදා තුර මෙරට බිහිවී නැත. කෙසේ වුවද අධ්‍යාපන ඇමැතිවරුන් කළ සේවයේ හැටියට පෙළ ගැස්මක් කිරීමේදී බන්දුල ගුණවර්ධන මහතාට හිමිවන ස්ථානය ගැන තීරණය කිරීමට තවමත් කල් වැඩිය. එහෙත් ඒ ලැයිස්තුවේ ඉහළ තැනක් ගුණවර්ධන මහතාට කිසිසේත් හිමිනොවන බව නම්, රජයේ ප්‍රධාන පෙළේ විභාග අක්‍රමිකතා නොමැතිව පවත්වන්නේ යැයි අධ්‍යාපන ඇමැතිවරයා ලබාදෙන සහතිකයකට වඩා ස්ථිරය.
දිගින් දිගටම මෙලෙස අනා ගත්තොත් 'ලොකු පුතා'ගෙන් 'බන්දුල' පරාවර්තනය වීමට ඇති ඉඩකඩ වැඩි බව පෙනෙන්නට තිබේ.
ප්අඉසප් -
Read more
Monday, March 24, 2014
සිපිරි ගෙයක මව් සෙනෙහස

රෝහිත මුණසිංහ විසින් මගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කර තිබූ කුඩා කතාවක් කියැවූ මගේ සිත සසල විය. දින ගණනාවක් යනතුරුම මට එය සිතින් අමතක කළ නොහැකි විය.
කළු ඇමෙරිකානු මවක සහ කළු දරුවෙකු සම්බන්ධ වීම සත්‍ය කතාව, සිංහල අනුවර්තනය කර තිබුණේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසිනි.
ජනමාධ්‍ය මගින්, මනුෂ්‍යත්වයට නිගා දෙන සිදුවීම් උදේ හවා ඇසෙන, කියවන ලොවක, මිනිසත් බව හමුවේ පිදෙන සුවඳ කුසුමක් බඳු මෙවන් කතා, 'නූතන ජාතක කතා' මෙන් සැලකිය හැකිය.
වයස 14ක දරුවෙක් මැර කල්ලියකට බැඳීම සඳහා තම සුදුසුකම පෙන්වීමට තවත් අහිංසක
Read more
Sunday, March 23, 2014
තුන්නානට මර බිය

ටිරන් කුමාර බංගගමආරච්චි - 
දැන් මේ ගම්වල පිරිමි පුළුටක් නැහැ. ඔක්කෝම බයට ගමෙන් පිටවෙලා හැංගිලා ඉන්නේ. ගම හැමතැනම සීඅයිඞීකාරයෝ. මේ කතා කරන්නෙත් බයෙන්. නම්, ගම් මුකුත් දාන්න එපා. අපිව ත‍්‍රස්තවාදීන්ට අන්ත කරලා තියෙන්නේ.’’

මේ තුන්නාන ගමේ ඇත්තෙකි. වයසක උන්දෙකි. මේ ගම් හතර අතේම ගෙවල්වල සිටිනුයේ වයසක පිරිමි සහ ගැහැනුය. පහළොව දහසයේ තරුණයාගේ සිට සියල්ල ගම හැර ගොස්ය. ඒ ගමේ ප‍්‍රශ්නයට විසඳුම් සොයන්නට ගොස් නැති ප‍්‍රශ්නයක් ඔවුන්ගේ හිස මත කඩා වැටී ඇති නිසාය. බොරැුල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ මරණයත් සමග සියල්ල කණපිට පෙරළී ගොස්ය. කොටින්ම තුන්නාන අවට ගම්මානවල ජනයාට අද සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාටත් වඩා අකරතැබ්බකි.

පහත්ගම, හංවැල්ල, තුන්නාන ප‍්‍රදේශවල මේ දිනවල රජ කරනුයේ අන්ධකාරය මුසු බියකි. හැම නිවසක්ම තම පිරිමි දරුවා, ස්වාමියා රැුගෙන යාදෝ බියකින් වෙලී වෙව්ලයි. අපේ අනන්‍යතාව තුන්හතර පොළකින්ම තහවුරු කොට බැලූවේද එබැවිනි.

‘‘තරහවෙන්න එපා. දැන් අපිට කාවවත් විශ්වාස නැහැ. ඒකයි මාධ්‍ය හැඳුනුම්පත ඉල්ලූවේ.’’ තරුණියක් අපෙන් සමාව අයැදීය.
සැබැවින්ම පහත්ගම අවට ගම්මානවල මේ බිය ලොකු අනතුරක සේයාවක් බව එහි ගිය අපට තහවුරු විය. ගම්මු එදිරි වූ ෆැක්ටරිය ආරක්ෂා කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පුරවා ගත් ට‍්‍රක් රථයක්ද, පොලිස් කැරලි මර්දන ඒකකයේ දස දෙනකුගෙන් පමණ යුක්ත කැබ් රථයක්ද, පොලිසිය පුරවාගත් පොලිස් රථ දෙකක්ද ෆැක්ටරිය දොරකඩ පාර මුර කරයි. මේ සාමකාමී උද්ඝෝෂණයක නියැළි පෙදෙසක්ය. එය එක්වරම යකා නටා සුණුවිසුණු කළේද මේ පිරිසමය. අද ඔවුන් ඒ බිම්කඩ බදුගෙන ඇත. ටික දුරක් එනවිට වත්තේ කඬේ පහුකරන සැණින් හමුවන රබර් වත්තෙහි කපා බිම හෙළුෑ රබර් ගස් දෙකක කඳේ යට කොටස්ය. ඒ පොලිස් නිලධාරියා මතට පතබෑවුණු ගස් දෙකය. එහි ඉහළින් මියගිය පොලිස් නිලධාරියාගේ රුව රැුගත් ලොකු දැන්වීමකි.

‘‘ඔය ගස්දෙක කපලා දාලා තිබුණේ. ඒත් වයර්වලට බරවෙලා බිමටම වැටිලා නැහැ. මිනිස්සුන්ට ගහලා එලවලා පාර සුද්ද කරනකොට ඔය ගස් දෙකේ අතු කපලා තියෙන්නේ පොලිසියේ අයමයි. එතකොට මියගිය රාළහාමි ඒ කඳ යටින් රිංගලා. රිංගන කොටම අර කපන ගහ රාළහාමිගේ ඇඟට වැටිලා. මේ කපන වෙලේ ඇතැම් පොලිස් කට්ටිය යන්න එපා කියලත් තියෙනවා. ඒත් මේ රාළහාමි අහන්නේ නැතිව යටින් රිංගලා. ඕක එතන හිටපු රාළහාමිලා දන්නවා. තව දෙන්නෙක් තුවාල වුණා කියනවා. ඒ අතු කප කපා හිටපු දෙන්නා. ඒ දෙන්නාට ලොකු තුවාලයක් වෙලා නැහැ කියලයි ආරංචි. මේ මුකුත් අද කියන්නේ නැහැ. අද කියනවා ගමේ මිනිස්සු ගහක් කපලා පොලිස් නිලධාරියාගේ ඇඟට දැම්මා කියලා. මේවා හෙණ ගහන කතා මහත්තයෝ. අපේ කොල්ලෝ බිලිගන්න කියන කතා.’’ ඔහුගේ වයසට වේදනාව ඔරොත්තු නොදෙන ගාණය. සැබැවින්ම සිදුවූයේ මියගිය පොලිස් නිලධාරියා කඳ යටින් රිංගීම බව ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුම අපට කී මුත් මොවුන් එකී රහස තමා සන්තකයේම තබාගන්නේ පොලිසියට අවශ්‍ය පොලිස් නිලධාරියාගේ මරණයට අදාළව බිලි කිහිපයක් ගැනීම පමණක් බව හොඳාකාරවම දන්නා නිසාය.

‘‘අපි ෆැක්ටරියෙන් යන එන සේවකයකුටවත් අවහිර නොවන විදිහට උපවාසය කළේ. ඒ බව පාදුක්කේ පොලිසියත් දන්නවා. ඒත් ඉහළින්ම ආපු නියෝගයකට එකපාර පොලිසියයි විශේෂ කාර්ය බලකායේ කට්ටියයි කැරලි මර්දන අයයි ඔක්කොම පලයන් කියලා කෑගහලා කුණුහරුපයෙන් බැන්නා. පොඩි අය වඩාගෙන හිටපු ගෑනු හිටන් තල්ලූ කරලා එකපාරම ගහන්න පටන් ගත්තා. මිනිස්සු ඔළුව හැරුණු අතේ දිව්වා. ගෑනුන්ට විතරක් නෙමෙයි පොඩිවුන්ටත් ගැහැව්වා. ගෑනුන්ට ගහනකොට එක රාළහාමි කෙනෙක් කෑගැහැව්වා ගෑනුන්ට ගහන්න එපා කියලා. ඇහැව්වේ නැහැ. පන්න පන්න ගැහැව්වා. සමහරුන්ට අමාරුයි. ඒත් ඉස්පිරිතාලයටවත් යන්න බෑ අත්අඩංගුවට ගත්තොත්. එදා කට්ටියක් පන්සලට දිව්වා. දුවලා බුදුගෙයි හැංගුණා. බුදුගෙයි දොරට පයින් ගහලා ඇරගෙන ඇවිත් ඇතුළේ අයට එතනදීම ගැහැව්වා. ඔය මියගිය රාළහාමිත් බුදුගෙට රිංගලා මිනිස්සුන්ට හොඳටම ගැහැව්වා.’’

ඇය කර්මය ගැනද සිහිකරන්නට වූවාය. එදා රතුපස්වලදී පල්ලියේ සැඟවුණු මිනිසුන් සොයා පල්ලියට පැන දොරගුළු බිඳ පල්ලියටද වෙඩි තබා එහි හැංගී සිටියවුන්ට නොසෑහෙන්නට පහරදී යකා නැටූවුන් මෙදා තුන්නාන ගමේදීත් එසේම කළෝය. මේ පල්ලිය වෙනුවට පන්සලය.

වතුර

රතුපස්වල නම ලංකාවම දැනගත්තේ වතුර ඉල්ලා මියැදුණු මිනිසුන් විසූ ගමක් ලෙසය. තමන් ස්වාභාවිකව ලද පානීය ජලය කර්මාන්තශාලාවක් නිසා අපිරිසිදු වූ කල ලෙඩ රෝග බෝවන්නට පටන් ගත් කල මිනිස්සු තම ජීවිතයට අත්‍යවශ්‍ය වූ පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළහ. එහි ප‍්‍රතිඵල ලෙස ජීවිත තුනක්ද බිලිවිය. ඒ මේ වත්මන් ආණ්ඩුවේ මර්දනීය ස්වභාවයේ වෙඩි උණ්ඩවලටය. කොටින්ම අවම බලය පාවිච්චි කිරීම නිසාය.

තුන්නාන සිදුවන්නේද එයමය. එනම් කර්මාන්තශාලාව නිසා තම ස්වාභාවික ජලය අපවිත‍්‍ර වීමය. බැලූ බැල්මට එකම ගැටලූවය. එපමණක්ද නොව මේ කර්මාන්තශාලාවද නිවුන් සොහොයුරන්ය. රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව ඉවත් කරන්නට සිදුවිය. එය තුන්නාන ගමෙත් සිදුවුවහොත් කුමක් සිදුවේද? එනිසා වෙනම උපායකින් මැදිහත්වීමට ආණ්ඩුව සිතීය. වයස් භේදයක් නොසලකා පන්න පන්නා පහරදීමෙනි. එයට ප‍්‍රතිචාර ලෙස ගම්මුන්ද ගල්මුල් එල්ල කොට ඇත. එක පේළියට පාර අද්දර රබර් ගස් පිරුණු මේ පෙදෙසේ රබර් ගස් කපා පාරට හෙළනුයේ උද්ඝෝෂණයේ රඟ රටට පෙන්වන්නටය. එය නිවැරදියැ’යිද වැරදියැ’යිද අපි නොකියමු. කිසිදු උද්ඝෝෂණයක් සාමකාමී නොවන බැවිනි. ජිනීවාවලට බැණ වදිනමෙරට උද්ඝෝෂණ සාමකාමීද? පානීය ජලය ඉල්ලා උපවාසයේ නියැලෙනවුන්ට පන්න පන්නා පහරදෙන කල කට අයා අතපය හකුළුවාගෙන සිටිත්ද?

අද මාධ්‍ය ඔස්තාද්ලා ජනතාවට ප‍්‍රශ්න විසඳන්න (උද්ඝෝෂණ හරහා) දී සිටීම උචිත නැතැ’යි යන තැන සිට ලියති. එදා රතුපස්වල මියගිය තිදෙනාට නොහෙළුෑ කඳුළු මෙදා පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙළති. මේ ලියවිලි කාටද? අපට ජනතාවගේ ලේ කෝප කිරීමේ යටි අරමුණක් නැත. එහෙත් මේ ලෙස ජනයා පීඩාවට පත්කිරීම නම් අනුමත කළ නොහැකිය. ජනතාවගේ මූලික අවශ්‍යතාව ජලයය. තම ස්වාභාවික ජලය අපිරිසිදු වන්නේ නම් එයට සාධාරණයක් ඉල්ලීම වරදක්ද? වතුර ඉල්ලූ ජනයාට පොලිස් කැරලි මර්දන ඒකකය අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කිරීම අනුමත කළ හැකිද? වතුවලට පැන කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළ හැකියැ’යි ඇත්තේ කුමන නීතියකද යන්න ප‍්‍රශ්න නොකර සිටිය හැකිද? පොලිස් නිලධාරියා මිය ගියේය. ඔහු එම ස්ථානයට ආවේ මේ ගම්මුන්ට නොසෑහෙන්න බැටදී එලවන්නටය. කපා දමා තිබූ ගහක් ඉවත් කිරීමේදී මේ සිද්ධිය වී ඇතැ’යි ප‍්‍රසිද්ධ රහස වුවත් එය වෙනතකට ගෙන ගම්මුන් දඩයම් කොට කර්මාන්තශාලාව බේරාගැනීමේ තැතක් හීනියට ක‍්‍රියාත්මක වන බව පැහැදිලිය. අද තුන්නාන ජල ප‍්‍රශ්නයක් නැත. ඇත්තේ මියගිය පොලිස් නිලධාරියකුගේ ප‍්‍රශ්නයකි. ඒ තුන්නානෙන් පිට ප‍්‍රශ්නය ව්‍යාප්ත වී ඇති සැටිය.

ෆැක්ටරිය

ලෝකයේ බොහෝ රටවල් අතර මෙරට රබර් අත්වැසුම් නිෂ්පාදනයට හිමිව ඇත්තේ 5%ක කොටසකි. එයද අයත් වනුයේ හේලීස් සමාගමටය. එය මෙරට සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේය. ඔහු සහ ආණ්ඩුව අතර ඇත්තේ දැඩි බැඳීමකි. එබැවින් හේලීස් සමාගමට අයත් රබර් ආශ‍්‍රිත නිෂ්පාදන කරන ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම රැුකගැනීම ආණ්ඩුවේද පරමාර්ථය වී ඇති බව බැලූ බැල්මට පැහැදිලිය.

වැලිවේරිය රතුපස්වල, පහත්ගම තුන්නාන සහ කොට්ටාව බ‍්‍රාහ්මණගම මේ ඩිප් ප්‍රොඩක්ට්ස් ආයතනයේ කර්මාන්තශාලා ඉදිව ඇත. මේවා හරහා ලොකු ආදායමක් මෙරටට ගෙන එනවාද විය හැකිය. ඒ ගැන විවාදයක් නැත. මේ හරහා රැුකීරක්ෂා විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇතැ’යි යන්නද ගැටලූවක් නොවේ. එය වෙනත් දෑකට වුණත් එසේමය. එසේ කියා අතිබහුතර මිනිස් ප‍්‍රජාවකගේ අයිතීන් අහිමි කළ හැකිද? ඕනෑම සමාගමක් මුලින් ආරම්භ කරනුයේ පරිසර හිතකාමී ස්වභාවයකිනි. එහෙත් කල්යත්ම එවැනි ක‍්‍රමවලින් හීනියට ලිස්සා යනුයේ එවැනි ක‍්‍රම මිල අධික බැවිනි.
මධ්‍යම පරිසර අධිකාරිය තුන්නානේදී කියනුයේ මේ ජලය අපිරිසිදු වන්නේ ෆැක්ටරිය නිසා නොව වැසිකිළි හරහා මතුවන ඊකොයිල් බැක්ටීරියාව නිසා බවය. වැසිකිළි වළවලින් එන බැක්ටීරියාවට පවා කර්මාන්තශාලාව බියවනුයේ ඇයි? රතුපස්වල තත්ත්වය තුන්නානට උදාකර නොගන්නටය. මේ පරිසර අධිකාරියේ තීන්දු ගම්මු පිළිනොගනිති. ගම්මු කී කල ගම්මුන් කවුදැ’යි පරිසර අධිකාරියට විමසිය හැකිය. ගම්මු වූ කලි ඔය හැම ක්ෂේත‍්‍රයකම පිරිස්වල එකමුතුවකි. ඔවුන් කළ බාහිර පරීක්ෂණවල තීන්දුව පරිසර අධිකාරියේ තීන්දුවලට පටහැනිය. එබැවින් තම පරම්පරා වෙනුවෙන් ජලය රැුකගැනීමට මිනිස්සු පාරට බැස්සෝය.

දේශපාලනය

ජනතාව මුලින් මේ ගැටලූවට එකතු වන විට එහි පෙරමුණ ගෙන තිබුණේ ගමේ පන්සලේ හාමුදුරුවන් බවත් ඒ හිමිද රතුපස්වල තෙරිපැහැ හිමි මෙන් මරාගෙන මැරෙන තැන සිටි බවත් පවසන ගම්මු අද හාමුදුරුවන් ෆැක්ටරිය වෙනුවෙන් අදහස් ප‍්‍රකාශ කරන තැනට පත්ව සිටින බවත් කියතිි. කෙසේ වෙතත් මුල් රැුස්වීම පාදුක්ක පොලිසියේ සහභාගිත්වයෙන් ගමේ දේශපාලකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී මේ සඳහා නඩුවක් ගොනු කළයුතුයැ’යි ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ දේශපාලකයන්ය. ඒ පක්ෂ පාට භේදයකින් තොරවය. ඒ සඳහා (නඩුවට) මුල් ගාස්තුව ලෙස රු. 10,000 මුදලක් පිරිනමා ඇත්තේ අවිස්සාවේල්ල ආසනයේ ආණ්ඩුවේ සංවිධායක සාලිය සොයිසාය. (විජිත් විජයමුණි සොයිසාගේ සහෝදරයාය.) ගම්මු පෙරට එන්නේ ඒ හයියෙනි. පොලිසියේ රැුකවරණයෙනි. මුල් උද්ඝෝෂණය මීට මාස කිහිපයකට පෙර කර්මාන්තශාලාව ඉදිරිපිට සිදුකරද්දී එයටද පාට පක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් සහභාගි වී ඇත. එහිදී ජවිපෙ ක‍්‍රියාධරයකු වන ලාල්කාන්ත මහතාද එක්වී ඇත. අද මේ උද්ඝෝෂණ පිටුපස කුමන්ත‍්‍රණයක් ඇතැ’යි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කෑමොර දෙන්නේ එබැවිනි. ගම්වල මිනිසුන් විවිධ දේශපාලන අදහස් දරනු ඇතිමුත් ජලය අවශ්‍යතාව වෙනුවෙන් පෙනීසිටීමේදී ඔවුන් සිටිනුයේ එක මතයකය. එනම් සැමට පිරිසිදු ජලය අවශ්‍යය යන තැනය. එහෙත් දැන් සිදුව ඇත්තේ වතුර වෙනුවට ඇෙඟ් ලේ වතුර කරගෙන ජීවත්වීමටය. ඒ පොලිස් නිලධාරියාගේ මරණය පෙරට විත් මොවුන් දඩයම් කරන බැවිනි.

එක් පොලිස් නිලධාරියකු පවසා තිබුණේ ඔවුන් බලා සිටියදීම ‘චේන් සෝ’ (ගස් කපන ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය) එකකින් තුන්දෙනෙක් ගස් කැපූ බවය. එසේ නම් එය දැක දැක එතනට ගියේ මන්ද? අනෙක් අතට මෙතරම් පොලිස් බලකායක් ඇස්පනාපිට එවැනි චණ්ඩිකමක් කළහැකි නම් ඒ තිදෙනා අද ජීවතුන් අතරය. ජල ප‍්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර සියල්ලට මුහුණදීගත නොහැකිව සී සී කඩ දිවූ පන්සලේ සැඟවුණු මිනිසුන් අතර මේ යෝධයන් තිදෙනා පොලිසිය සතයකට මායිම් නොකොට ගස කපා දැමුවා යන බේගල් කාට ඇදබාන්නේද? මේ බේගල් හරහා මෙල්ල කරනුයේ බියවද්දනුයේ තුන්නාන ජනයාය. ඒ හරහා යටපත් කරනුයේ ඔවුන්ගේ ජල ප‍්‍රශ්නය නොවේද? පොලිස් ආරක්ෂාව මතින් ෆැක්ටරිය වැඩය. ඊට සහායට කැරලි මර්දනයද විශේෂ පොලිස් බලකායද සිටිති. පොලිස් රථ නිතර නිතර එහාට මෙහාට තුවක්කු රැුගෙන රථවලින් ඉගිලෙයි. මේ මෙහෙයුම හරහා ෆැක්ටරිය සුරැුකි ගම්මු අනාරක්ෂිතව වල්වැදී ඇත්තෝය. ආණ්ඩුවේ අභිප‍්‍රාය දැන් ඉටුවී හමාරය. රතුපස්වලට අණ දුන් අයකු නැතිවා සේම තුන්නානටද අණදුන් කෙනකු නැතුවා විය හැකිය.

දඩයම

පොලිස් දේහය ඉදිරියට ගෙන තුන්නාන දඩයම පටන් ගෙන ඇත. දැන් සොයනුයේ උද්ඝෝෂකයන් නොව ගස් කැපූවුන්ය. ඇතැම් පුවත්පත් තවත් ගස් තිහක් බාගෙට කපා ඇතැ’යි කෙප්ප ලියති. ඇසින් දැක බලා ලියන්නේ නම් මෙවැනි දේ නොලියනු ඇත. ඇතැම්විට අප එහි ගියද අප නොදැක්කා විය හැකිය. එවැන්නක් ඒ පැත්තේ මිනිස්සුද නොදනිති. කපා දැමූ ගස් කපා දමා අහවරය. ඒවායේ යටි කඳ ඒ තැන්වලමය. මේ කෙප්ප හරහා ගස් කැපූවුන් යන සැකය මුල්කරගෙන ගම්මුන් පැහැර ගන්නට නියමිතය.

ආණ්ඩුවේ එකම පරමාර්ථය ෆැක්ටරිය රැුකගැනීමය. එය මේ ගම් කිහිපයක ජනයාට වඩා මිල අධිකය. කොටින්ම වටිනේය. එබැවින් රතුපස්වල පරාජය තුන්නාන තුළ ආණ්ඩුව අත් නොවිඳනු ඇත. එයට පොලිස් නිලධාරියාගේ මරණය ආණ්ඩුව ආශිර්වාදයක් කරගෙන ඇත.

තුන්නාන, පහත්ගම අවට වැසියන්ට සැඟවෙමින් දිවිගෙවන්නට සිදුව ඇත. එළිපිටට එන කලටද මුනිවතින් සිටින්නට සිදුවනු ඇත. දැන් ෆැක්ටරිය ජයගෙන ඇත. ආණ්ඩුව ජයගෙන ඇත. එහෙත් රතුපස්වල ජනයා කළ දේ තුන්නාන ජනයාට කළහැකිදැ’යි යන්න ගැටලූසහගතය. ජලය කෙසේ වෙතත් ඔවුන් මේ දිනවල ඉන්නේ පණ බයෙන්ය.
ravaya -
Read more
ඔබේ ඡන්දයට අරුතක්‌ හා අගයක්‌

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලට හරියටම තිබෙන්නේ තව දින හයක්‌ වැනි කාලයකි. මේ වන විට මැතිවරණ සටනේ ප්‍රතිඵල ලෙස මිනිස්‌ ඝාතන එකක්‌ ද කලකෝලහල, ප්‍රචණ්‌ඩ ක්‍රියා, දේපළ අලාභහානි ගණනාවක්‌ ද සිදු වී තිබේ. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ප්‍රකාශ කරන පරිදි ඔවුන්ට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාවම 750 කට වැඩි ය.

දේශපාලන ප්‍රචණ්‌ඩත්වය, මනුෂ්‍ය ඝාතනය, මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම දැන් මේ රටේ දේශපාලනයේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. මැතිවරණ
Read more
කක්කා කරන ප්ලාස්ටික් පුටුව

2014/03/23 පළවු ලිපියක් - 
මෑතක පටන් කොළඹ ප්‍රදේශයේ නිවෙස් අසලට පැමිනෙන වාහනයකින් නිවේදනය කරන්නේ ඔබගේ කැඩුනු ප්ලාස්ටික් පුටුවට බේසමක් ලබා දෙන බවයි. ඒ නිසා දැන් නිවසේ කැඩුනු ප්ලාස්ටික් පුටු ඇති අයට ඒවා ලබා දී ඒ වෙනුවට ප්ලාස්ටික් බේසම් ලබා ගන්නට පුළුවන. ඒ කතාව පසකින් තබාගෙන අපි අපේ කක්කා ප්‍රශ්ණය දෙසට අවධානය යොමු කරමු.

පසුගිය කලායේ වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී හඩ නැගුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර සහෝදරයා පමණක් බව දැන ගන්නට ලැබුනි. ඒ අනුව වෛද්‍ය උපාධිය මුදලට විකුණනවාට ඇත්තටම අජිත් විරුද්ධවීම විප්ලවාදීය.

පසුගිය දිනෙක මහනුවර මහ රෝහලේ අංක 33 වාට්වුටේ නේවාසික රෝගීයෙකු
Read more
Saturday, March 22, 2014
ක්‍රිමියාවේ සිදු වූ දේ ශ්‍රී ලංකාවටත් අනතුරු හැඟවීමක්‌! - ආචාර්ය දයාන් ජයතිලක

ජාතීන්ගේ ස්‌වයංතීරණ අයිතිය පිළිබඳ සංකල්පය මත කුඩා රටවල් බලවත් රටවල් සමඟ ඈඳුනු අවස්‌ථා ගණනාවක්‌ ලෝක ඉතිහාසය තුළ හමුවේ. පසුගියදා යුක්‍රේනයේ සිදුවූයේ ද එබඳු පෙරළියකි. ජනමත විචාරණයකින් ක්‍රිමියාව රුසියාව හා එක්‌වීමේ සිදුවීම් මාලාව ශ්‍රී ලංකාවද පාඩමකට ගත යුතු බව පවසන ආචාර්ය දයාන් ජයතිලක යුරෝපා සංගමයේ හා ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන මැද රුසියාව සිය බලය මෙහෙයවා ක්‍රිමියාව තුළ සිය ආධිපත්‍ය පැතිරීම සහ එහිදී චීනය කටයුතු කළ ආකාරයද ශ්‍රී ලංකාව ප්‍රවේශමෙන් අධ්‍යයනය කළ යුතු බව මෙම
Read more
ජිනීවා සමුළුවෙන් අවසරයි... කොටි හමුදා නායකයාගේ බිරිඳ සමුළුව අමතයි

"උතුරේ සෑම ගෙයක්‌ ළඟම හමුදා භටයකු සිටිනවා. සෑම පාසලක්‌ ළඟම හමුදා භටයන් සැරිසරනවා. පාසල්වල සියලුම කටයුතුවලට හමුදාව මැදිහත් වෙනවා."
- උතුරු පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි සසිතරන්.

උතුරු පළාත් සභාව නියෝජනය කරමින් මම ජිනීවා සමුළුව අමතනවා. සුමන්තිරන් පසුගියදා මට ජිනීවාහිදී කතා කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඔහු කිව්වා මගේ සැමියා කොටින්ට සම්බන්ධ බව තානාපතිවරුන්ට හෙළිවෙයි කියා යෑයි ත්‍රිකුණාමල කොටි හමුදා නායකයකුව සිටි එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් ජිනීවාහිදී ප්‍රකාශ
Read more
Thursday, March 20, 2014
දේශපාලනඥයන්ගේ මැජික් ජනතාව ඉගෙන ගැනීම

රටේ පාලන බලය අධිරාජ්‍යවාදීන්ගෙන් ස්වදේශිකයන් අතට මාරුවී අඩසියවසකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් ඇත. මේ කාලාන්තරයේදී සර්වජන ඡන්ද බලය අත්හදා බැලීමට මෙරට මහජනයාට අවස්ථාව හිමි වුවද නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති ඉඩකඩ මැතිවරණයෙන් - මැතිවරණයට ඇහිරී යමින් පවතී.

මැතිවරණ සම්බන්ධයෙන් මහජනයාට තිබූ විශ්වාසය බිඳ වැටීමට වඩා වේගයෙන් දේශපාලනඥයන් කෙරෙහි ඇති සැකය, අවිශ්වාසය වර්ධනය වෙමින්
Read more
Wednesday, March 19, 2014
පුටින් කළ දේ මෝඩි ලංකාවටත් කරයිද?

ජේ. ආර්. කියන්නේ ජේ‍යාතිෂය එහෙමට විශ්වාස කරපු නායකයකු නොවේ. 1977 ජේ. ආර්. පළමු ඇමැති මණ්ඩලය දිවුරුම් දුන්නේ රාහු කාලයේය. හොඳ වේලාවක් බලන්න යැයි ජේ. ආර්.ගේ සමීපතමයන් උපදෙස් දුන්නත් ජේ. ආර්. කීවේ හැම වේලාවක්ම හොඳ වේලාවක් බවය. හැබැයි ජේ.ආර්.ගේ දෙවැනි නිල කාලයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දුන්නේ හොඳ වේලාවක් බලලාය. ජේ. ආර්.ගේත් ආණ්ඩුවේත් නරක කාලය ආවේ ඒ දිවුරුමෙන් පසුවය. ජේ. ආර්. පසු කාලයේ ජේ‍යාතිෂය ගැන උනන්දු වූයේ ජේ. ආර්.ට ජේ‍යාතිෂවේදියකු පළ කළ අනාවැකියක් නිසාය. මේ ඒ අනාවැකියය.

“ඔබතුමා දැන් හිතන්නේ ඔබතුමාට අභියෝග කරන්න කවුරුත් නැහැ කියලනේ. ඔබතුමාගේ ලොකුම තර්ජනය වෙච්ච මැතිනියට ඡන්ද කරන්න බැහැ. ෆීලික්ස් ඩයස් ගෙදර. ශ්‍රී  ල.නි.ප.ය දෙකට තුනට කැඩිලා. බණ්ඩාරනායක පවුල අවුල්. විජය හිරේ. ජ.වි.පෙ. තහනම්. හැබැයි ඔබතුමාට දෙවැනි නිල කාලයේ ලොකු තර්ජනයක් එනවා. ඒ එන්නේ රට ඇතුළෙන් නෙවේ. පිටතින්. ඒකෙන් ඔබතුමාගේ ආණ්ඩුව විනාශ වෙලා යනවා. නරක කාලය එන කොට තර්ජනය කොහෙන් හරි එනවා. ඒක වළක්වන්න බැහැ...”


මේ ජේ‍යාතිෂවේදියා කී අනාවැකිය හරියටම හරි යැයි ජේ.ආර්.ට තේරුණේ 1983 ජූලි කෝලහාලවලට පසු ඉන්දියාව උතුරේ යුද්ධය නිර්මාණය කරද්දීය.
ජේ.ආර්. බලයට ආවේ 1977දීය. 1977 සිට 1983 තෙක් ජේ.ආර්. විපක්‍ෂය විනාශ කළේ දෙවැනි නිල කාලයේ නිදහසේ රට පාලනය කරන්නටය. ඒකට ජේ.ආර්. මැතිනියගෙයි ෆීලික්ස් ඩයස්ගෙයි ප්‍රජා අයිතිය අහෝසි කළේය. මැතිනිය සහ මෛත්‍රි හැප්පුවේය. මැතිනිය සහ අනුරව හැප්පුවේය. මැතිනිය සහ විජය - චන්ද්‍රිකා කෙටෙව්වේය. විජයව අත්අඩංගුවට ගත්තේය. 1982 ජනමත විචාරණයක් පවත්වා ශ්‍රී  ල.නි.ප.යේ තරුණ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවට ඒම වැළැක්වූයේය. ජ.වි.පෙ. තහනම් කළේය.

ඒත් ජේ. ආර්.ගේ දෙවැනි නිල කාලය පටන් ගත්තේම මහා විනාශයකිනි. ඒ 83 ජූලි කලබලවලිනි. එතැන් සිට ජේ. ආර්.ට ඉන්දියාව එක්ක හැප්පෙන්න සිදු වූවා පමණක් නොව උතුරේත්, දකුණේත් යුද්ධ දෙකකට මුහුණදෙන්න සිදුවිය. ඒ, ජේ.ආර්.ගේ අවසානය විය.
“මහින්ද අවසන් වෙන්න යන්නෙත් ඒ විදියටද....?”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉස්සරහ තියෙන ලංකාවට එරෙහි යෝජනාවයි, ඉන්දියාවේ මහ මැතිවරණයයි දිහා බලන කොට මහින්ද ලොකු අමාරුවක වැටෙන්න යන බව පැහැදිලිය. මහින්ද බලය ගත්තේ 2005දීය. මහින්දත් ජේ.ආර්. වගේ 2005 සිට දෙවැනි නිල කාලය තෙක් කළේ විපක්‍ෂය විනාශ කරලා දෙවැනි නිල කාලයේ නිදහසේ රට පාලනය කරන්න ඉඩකඩ හදා ගැනීමය. මහින්ද යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන් බාගෙන ඒ පක්‍ෂය දෙකඩ කළේය. ජ.වි.පෙ. දෙකඩ කළේය. ෆොන්සේකා හිරේට දැම්මේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හදාගෙන තුන්වැනි වරට ජනාධිපතිවරණය තරග කරන්න අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේය.
හැබැයි මහින්දටත් ජේ.ආර්. වගේම බලාපොරොත්තු වුණ නිදහස දෙවැනි නිල කාලයේ ලැබී නැත. ජේ.ආර්.ගේ විනාශය 83 කෝලාහලය. මහින්දගේ විනාශය යුද්ධයේදී සිදු වූවාය කියන අපරාධය.

“1983න් පස්සේ ජේ.ආර්. ගේ ඔළුව වැඩ කළේ රට ඇතුළේ දේශපාලනයට නොවේ. ජේ.ආර්. හැම තිස්සේම හිතුවේ ඉන්දියාව සල්ලන් කරන්නේ කොහොමද කියලයි. ජේ. ආර්.ගේ වැටීමේ ආරම්භය එතැනයි...”
මේ ජේ.ආර්.ගේ සමීපතමයෙක් කී කතාවය.
“අද මහින්දට වෙලා තියෙන්නෙත් ඒකමයි. උදේ, දිවා, රෑ හිතන්නේ ඇමෙරිකාව, පිල්ලේ සල්ලන් කරන්නේ කොහොමද කියලයි. රට ඇතුළේ දේශපාලනය ඔළුවට එනවා අඩුයි...”

මේ මහින්දගේ සගයෙක් කී කතාවය.
ජේ.ආර්.ගේ විනාශය 1983 කෝලාහලයය.
ඉන් පස්සේ ඉන්දියාව හොට දමන්න ගත්තේය. 1983 සිට 1986 දක්වා අවුරුදු තුනක් ජේ. ආර්. කොහොමහරි ඇදගෙන ගියේය. ඉන්දියාව ජේ. ආර්.ව නට්ටන් කළේ 1987දීය.

මහින්දගේ විනාශය සේ පෙනෙන යුද අපරාධ චෝදනා එළියට ආවේ 2010දීය. ඒ බෑන් කී මූන්ගේ කමිටු වාර්තාවෙන්ය. එතැන් සිට අවුරුදු තුනක් ඒ කියන්නේ 2013 තෙක් මහින්ද ජේ.ආර්. වගේ කොහොමහරි ඇදගෙන ගියේය.

මේ 2014ය. ජේ.ආර්. වගේම මහින්දත් කොටු වෙලා තියෙන වර්ෂයය. මහින්ද කොටුවෙලාය කියන්නේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තියෙන යෝජනාව නිසාම නොවේ. ඒ යෝජනාවට අනුව පිල්ලේ පත් කරන නියෝජිතයාට හෝ කමිටුවට ලංකාවට එන්න මහින්ද අවසර නොදුන්නොත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවනු ඇත. එතකොට වදින්නේ මිනිසුන්ගේ බඩටය.

මහින්ද ඇත්තටම කොටුවෙලා තියෙන්නේ ඒ යෝජනාවටත් වඩා ඉන්දීය මහ මැතිවරණය නිසාය. ඉන්දීය මහ මැතිවරණයෙන් මෝඩි බලයට එන්නේ තනිවම නොවේ. මෝඩි එන්නේ ජයලලිතාවත් කරේ තියාගෙනය. ජයලලිතා සිය ඡන්ද සටන දියත් කරමින් මාර කතාවක් කළාය.
“කොංග්‍රස් ආණ්ඩුව ඉන්දියාව දුර්වල රටක් කරලා. අසල්වැසි රාජ්‍ය අතර බයගුල්ලෙක් කරලා. අපි බලයට ආවොත් හමුදාව ශක්තිමත් කරලා ඉන්දියාවේ අභිමානය බලවත්කම ලොවට පෙන්වනවා....”

මේ ඇගේ ඒ කතාවය.
“මම බලයට ආවොත් ලංකාව ගැන තීන්දු තීරණ ගනිද්දී තමිල්නාඩුවේ මතය විමසනවා...”
මේ මෝඩි කී කතාවය.
මෝඩිගේ භාරතීය ජනතා පක්‍ෂය ඇමෙරිකානු වන්දනාවේ යන පක්‍ෂයකි. 2001 රනිල්ගේ ආණ්ඩු පෙරළියට මෙන්ම නෝර්වේ සාම ප්‍රයත්නයටත් ඉන්දියාව සහාය පළ කළේ ඇමෙරිකානු හිතවාදී භාරතීය ජනතා පක්‍ෂ ආණ්ඩුවක් බලයේ හිටි නිසාය.

“හොඳයි මෝඩි ජයලලිතාගේ කරුවෙන් බලයට එනවා. එතකොට විග්නේශ්වරන් පළාත් සභාවට බලය දෙන්න කියලා උතුරේ මහ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් කරනවා. ආණ්ඩුව ඒ සත්‍යග්‍රහ ව්‍යාපාරය මර්දනය කරනවා. රතුපස්වල වගේ තත්ත්වයක් ආවොත් මිනිසුන් මැරෙයි. ජයලලිතා මෝඩිට කියනවා අපේ මිනිස්සු ආරක්‍ෂා කරලා දීපන් කියලා. මෝඩි උතුරට ඉන්දීය සාම සාධක හමුදාව යවන්න තීරණය කරනවා”
මේ ඉන්දු - ලංකා සබඳතා ගැන විශේෂඥයෙක් කී කතාවය.

“මෝඩිට එහෙම කරන්න පුළුවන්ද....”
මාධ්‍යවේදියෙක් ඔහුගෙන් එසේ ඇසුවේය.
“මොකද බැරි...? අද මහින්දගේ ආණ්ඩුවට එරෙහිව තියෙන ලෝක ජනමතය 87දී ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව තිබුණේ නැහැ. ඒත් ඉන්දියාව ලෝක ජනමතය ගණන් නොගෙන හමුදාව යවන්න තීරණය කළා. අද ලෝකය එකතු වෙලා උතුරට බලය දෙන්න යූ.එන්. කොමිසමේ යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා. 87 ගාන්ධිට වඩා අද මෝඩිට වැඩේ ලේසියි...

මේ ඔහු කී කතාවය.
“දැන් රුසියාවේ පුටින් යුක්රේනයේ තමන්ගේ ජනතාව ආරක්‍ෂා කර ගන්න කියලා හමුදාව යැව්වේ. මහින්දගේ ආණ්ඩුවත් ඒ වැඩේ හරි කියන්නා වගේ නිවේදනයක් නිකුත් කළේ. පුටින්ට පුළුවන් නම් මට බැරි ඇයි කියලා මෝඩි අහයි. එතකොට මහින්දගේ ආණ්ඩුව එපා කියන්නද...?”
මේ ඔහු අන්තිමට කී වචනය.

“ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ. ඕනෑවට වඩා කපටි වුණාමත් කපටි සූට් එක බේරාගන්න අමාරුයි. මහින්ද මට වුණෙත් ඒකමයි”
ජේ.ආර්.ට වළෙන් නැඟිටින්න පුළුවන් නම් මහින්දගේ කනට කරලා ඔය ටික නොකිව්වොත් පුදුමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
ලංකාව සම්බන්ධයෙන් ගෙන එන්නට නියමිත මානව හිමිකම් කවුන්සිල යෝජනාව මෙහෙමයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් මාර්තු මස අගදී සම්මතකරගන්නට උත්සාහ කරන යෝජනාවේ මුල් කෙටුම්පත පසුගිය මාර්තු 2වැනිදා මානව හිමිකම් කවුන්සිල සාමාජික රටවල් අතර බෙදාහරිනු ලැබුවේ එහි වචන, අදහස්, පියවර ආදිය සම්බන්ධයෙන් සාමාජික රටවල ප‍්‍රතිචාර ගෙන එයට ඔවුන්ගේ කැමැත්ත ලබාගැනීම සඳහාය. එක්සත් ජනපදය. එක්සත් රාජධානිය, මොන්ටෙනීග්‍රෝ, මැසි ඩෝනියාව සහ මොරිෂස් යන රාජ්‍යවල යෝජනාවක් ලෙස සාමාජිකයන් අතර බෙදාහැර ඇති මෙයින් ලංකාවේ මානව හිමිකම් හා මානුෂික නීති උල්ලංඝනය ගැන පරීක්‍ෂණයක් පැවැත්වීමේ වගකීම මානව හිමිකම් මහකොමසාරිස් නවි පිල්ලෙයි වෙත පවරා තිබේ. එය මෙතෙක් පැවැති, ‘ලංකාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොමිසමක් පත්කිරීමේ’ අදහසට වෙනස් එකකි. ඇය සිය පරීක්‍ෂණයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ලබන සැප්තැම්බරයේදී පැවැත් වෙන 27වැනි සැසිවාරයට වාචික වාර්තාවක්ද, 2015 වසරේ මාර්තුවේදී පැවැත්වෙන 28වැනි සැසිවාරයට විස්තරාත්මක වාර්තාවක්ද ඉදිරිපත්කළ යුතුයැ’යි යෝජනාව කියයි. ඒ අනුව බලන විට සිය කටයුතු නිවැරදි කරගැනීම සඳහා ලංකාවට තවත් අතිරේක කාලයක් ලැබී තිබේ. යෝජනා කෙටුම්පතේ සිංහල අනුවාදය මෙසේය.

ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉහළ නැංවීම මානව හිමිකම් මණ්ඩලය 25/1.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ පරමාර්ථ සහ මූලධර්ම නැවත තහවුරු කිරීම මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයත්,
මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ සහ අනෙකුත් අදාළ ආයතනයන්හි ම`ග පෙන්වීම මත 2006 මාර්තු 15 60/251 මහාමණ්ඩල යෝජනාව සිත්හි තබාගෙන,
2007 ජූනි 18 ආයතන ගොඩනැගීම පිළිබඳ 5/1 දරන මානව හිමිකම් මණ්ඩල යෝජනා සහ 5/2 දරන චර්යාවන් පිළිබඳ නීති කි‍්‍රයාවලි සඳහා බල ධාරීන්ගේ යෝජනා සිහියට න`ගා ගෙන,
2012 මාර්තු 22, 19/2 දරන මානව හිමිකම් යෝජනාද 2013 මාර්තු 21, 22/1 යෝජනාද සිහිපත් කර, ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව සහ වගවීම ඉහළට නැංවීම සඳහා මෙම යෝජනාව ගෙන එනු ලැබේ.

තම මුළුමහත් ජනතාව සියලූ මානව හිමිකම් සහ මූලික නිදහස භුක්ති විඳීම සහතික කිරීම සෑම රාජ්‍යයකම වගකීම බව තරයේ ප‍්‍රකාශ කර සිටිමු. එමෙන්ම ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේදී ගන්නා ඕනෑම පියවරකදී රාජ්‍යයන් ජාත්‍යන්තර නීතියට, විශේෂයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට, ජාත්‍යන්තර අනාථයන් පිළිබඳ නීතියට සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතියට යටත්ව කටයුතු කළ යුත්තේය. ඇදහීම්, විශ්වාස හෝ වාර්ගික කිසිම භේදයකින් තොරව සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට තමන්ගේ හිමිකම් භුක්තිවිඳීමට මානව හිමිකම් කවුන්සිලය සහාය දීම පිළිගැනේ.

ශී‍්‍ර ලංකා රජය විසින් යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේදී, බිම්බෝම්බ ඉවත්කිරීමේදී අභ්‍යන්තර අවතැන්වූවන් බහුතරයක් නැවත පදිංචි කරවීමේදී දැක්වූ ප‍්‍රගතිය පිළිගෙන අගයකරන අතර අධිකරණය, සංහිඳියාව, නිර්හමුදාකරණය සහ ජීවනෝපායයන් සලසාදීම පිළිබඳ ඉදිරියේදී කිරීමට බොහෝ කටයුතු ඇති බව මතක් කරමු. විශේෂයෙන් මේ කටයුතු සඳහා සිවිල් සමාජ සහ සුළු වාර්ගික නියෝජිතයන් ඇතුළත් දේශීය ජනතාව සහභාගි කරගත යුතු බව ද අවධාරණය කරමු. 2013 සැප්තැම්බර් 21 සාර්ථක ලෙස උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම අගය කරන අතර පළාත් තුනේම විශාල ජන කොටසක් ඊට සහභාගි වන ලදි. කෙසේ වෙතත් මැතිවරණ ආශි‍්‍රත ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ ඡුන්දාදායකයන් සහ අපේක්ෂකයන්ට බලපෑම් කිරීම පිළිබඳව කනගාටුව පළකරමු.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියට ශී‍්‍ර ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසීම සහ 2013 අගෝස්තුහිදී ඇය පිළිගැනීම අපි අගය කරන්නෙමු. මහ කොමසාරිස්වරිය හමුවූ සිවිල් සමාජ සාමාජිකයන්ට බලපෑම් සහ හිරිහැර කිරීම පිළිබඳව අපගේ දැඩි කනගාටුව පළකර සිටිමු.

ස්තී‍්‍ර පුරුෂභාවය පදනම්ව කෙරෙන හිංසා, ලිංගික හිංසා, බලහත් කාරයෙන් අතුරුදන් කරවීම්, නීතියට පිටින් කෙරෙන ඝාතන, වධහිංසාකිරීම් සහ සාමකාමීව රැුස්වීමට ඇති අයිතීන් හා කතාකිරීමේ නිදහස ලබානොදීම, මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ට එරෙහිව කරන බලපෑම් සහ මර්දනයන්, සිවිල් සමාජ සාමාජිකයන්ට සහ මාධ්‍යවේදීන්ට කරන හිංසා ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ අධිකරණයේ ස්වා ධීනත්වයට හා නීතියේ පාලනයට තර්ජන එල්ලවීම් ශී‍්‍ර ලංකාව තුළ දිගින් දිගටම වාර්තා වීම පිළිබඳව අපගේ දැඩි කනස්සල්ල ප‍්‍රකාශ කර සිටිමු. හින්දු, මුස්ලිම්, කි‍්‍රස්තියානි ඇතුළත් ආගමික සුළුතරයට ආගම හෝ ඇදහීම පදනම්ව කරනු ලබන හිංසා සහ වෙනස්කම් විශාල ලෙස වර්ධනය වන බව පෙනේ.

සියලූ ජනයාට මානව හිමිකම් භුක්තිවිඳීමට සහ රටේ සංහිඳියාව ඇතිකිරීම සඳහා හේතුවන දේශපාලන බලය විමධ්‍යගත කිරීම ඇතුළු ජනතාවට ඉටුවිය යුතු කරුණු පිළිබඳව ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු කරමු. ශී‍්‍ර ලංකාව තුළ අර්ථවත් ජාතික සංහිඳියාවක් ඇතිකිරීම සඳහා හේතුවෙතැයි පිළිගැනෙන ශී‍්‍ර ලංකාවේ උගත් පාඩම් සහ සංහිඳියා කොමිෂන් වාර්තාව පිළිබඳව සඳහන් කරමු. නීතියට පිටස්තර ඝාතන, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳව පැතිරී ඇති චෝදනා විශ්වසනීය ලෙසින් පරීක්ෂාවට ලක්කිරීම, ශී‍්‍ර ලංකාවේ උතුර නිර්මිලිටරිකරණය කිරීම, අපක්ෂපාතී ඉඩම් ගැටලූ විසඳීමේ යාන්ත‍්‍රණයක් ඇතිකිරීම, රඳවා ගැනීමේ ප‍්‍රතිපත්ති පිළිබඳව නැවත සලකා බැලීම, පෙර පැවති ස්වාධීන සිවිල් ආයතන ස්ථාපිත කිරීම, පළාත් සඳහා බලය විමධ්‍යගත කිරීමට දේශපාලන විසඳුමකට ඒම, සියලූ ජනතාවගේ භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම සහ ඉහළ නැංවීම, නීතියේ පාලනය ඇතිකිරීමට නීති කි‍්‍රයාත්මක කිරීම යන කොමිසමේ සාධනීය යෝජනා සිහියට නගමු. උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා වූ ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම අවධානයට ලක්වන අතර එහි කැපවීම සහ කොමිසමේ යෝජනා පිළිබඳ දක්වන ප‍්‍රතිචාර කෙරේ අවධානය යොමු කරමු. කොමිසමේ ධනාත්මක යෝජනා සලකා බැලීමට ජාතික කි‍්‍රයාකාරී සැලැස්ම ප‍්‍රමාණවත් නොවීම පිළිබඳ කනගාටු වන අතර කොමිෂන් වාර්තාවේ සියලූ කරුණුවලට යොමුවීම සඳහා සැලැස්මේ දැක්ම පුළුල් කරන ලෙසට ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

ජාතික කි‍්‍රයාකාරි සැලැස්ම සහ කොමිෂන් වාර්තාව

ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනයන්, ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය කැඞීම් පිළිබඳ ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම පිළිබඳව කනගාටුව පළකරමු. පුද්ගලිකව නඩු පැවරීම, වන්දි ගෙවීම, සත්‍යය සෙවීම, ආයතනික ප‍්‍රතිසංස්කරණ, රාජ්‍ය සේවකයන් සහ නිලධාරීන් පරීක්ෂාවට ලක්කිරීම, අන්තර් සම්බන්ධීකරණයක් ඇතිකිරීම සහ සංහිඳියාවන් ඉහළ නැංවීම, ආරක්ෂණ පද්ධතිය ස්වාධීනව ස්ථාපිත කිරීම, රාජ්‍ය ආයතන පිළිබඳ විශ්වාසයන් ඇතිකිරීම, ජාත්‍යන්තර මානව අයිති නීතියට අනුකූලව නීතියේ පාලනය ඉහළ නැංවීම ඇතුළත් සංක‍්‍රමණීය සාධාරණත්වයකට අවබෝධාත්මකව ප‍්‍රවිෂ්ට වීම අවධාරණය කෙරේ.

සත්‍යය හා සංහිඳියා කොමිසම වැනි රාජ්‍ය නොවන සංවිධාන ද ඇතුළත් සිවිල් සමාජ වින්දිතයන් ද ඇතුළත් පුළුල් ජාතික පරීක්ෂණ මණ්ඩලයක් අතීතයේ සිදුවූ ලංකාව සම්බන්ධයෙන් උල්ලංඝනයන්ගේ රටාවන්, හේතු සහ ඵලවිපාක සොයා බැලීම සඳහා පත්කිරීම මගින් අධිකරණ කි‍්‍රයාමාර්ගයට උපකාර සැලසිය හැකිය. නීතියට ඉහළින් සිටීම අවසන් කිරීම සඳහා මානව හිමිකම් උල්ලංඝනය කළ සහ ජාත්‍යන්තර මානුෂික නීතිය බරපතළ ලෙස කඩා දැමීම පිළිබඳ වගකිවයුත්තන්ට නඩු පැවරීමේ වගකීම රජය සතු බව සඳහන් කර සිටිමු.
සත්‍යය ලබාදීමටත් සාධාරණය ඉටුකිරීමටත් ජාතික යාන්ත‍්‍රණය දිගින් දිගටම අසමත් වූ බවට මහකොමසාරිස්වරිය කරන නිගමනය පිළිගනිමින් තවදුරටත් පරීක්ෂාකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණ යාන්ත‍්‍රණයක් ඇති කළ යුතු යයි ඇය කරන නිර්දේශය සිිහියට නගන්නෙමු. මේ සඳහා ඇතිකරන දේශීය වගවීම් කි‍්‍රයාවලිය මෙහෙයවීමද ඇතුළත් වේ.

තාක්ෂණික සහාය ලබාගැනීමට අදාළව මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය සහ අදහස් ලබාගැනීමට රජය උනන්දු කරන්නෙමු.

1. සංක‍්‍රමණීය සාධාරණත්වයකට පිවිසීම සඳහාත්, ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව සහ වගවීම ඉහළ නැංවීම සඳහාත් සත්‍ය සෙවීමේ යාන්ත‍්‍රණයක් සහ ජාතික වන්දි ප‍්‍රතිපත්තියක් ඇතිකිරීමද ඇතුළත්ව 2013 සැප්තැම්බර් 25 වාචික අදහස් දැක්වීම් සහ 2014 පෙබරවාරි 24 වාර්තාව පිළිගනු ලැබේ.

2. 2013 අගෝස්තු මහකොමසාරිස්වරියගේ සංචාරය පිළිගනිමින්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂිකවාදී නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව ස්වාධීන විශ්වසනීය පරීක්ෂණයක් කළ යුතු යයි ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.

3. උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ සාධනීය නිර්දේශ සාර්ථකව කි‍්‍රයාත්මක කරන ලෙසත් සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට සාධාරණත්වය, සමානත්වය, වගවීම සහ සංහිඳියාව ලබාදීම සහතික කිරීම සඳහා ඇති නීතිමය බැඳීම් සහ කැපවීම් ඇතිකිරීම සඳහා ගතයුතු සියලූ අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.

4. ආගමික ස්ථාන, කෝවිල්, පල්ලි සහ දේවස්ථානවලට පුද්ගලයන් සහ කණ්ඩායම් එල්ලකරන ප‍්‍රහාර ගැන පරීක්ෂා කරන ලෙසත්, අනාගතයේ එබඳු පහරදීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් පූජනීය ස්ථාන, මාධ්‍යවේදීන් මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සුළු ආගමික කණ්ඩායම් සහ අනෙකුත් සිවිල් සමාජ සාමාජිකයන්ට එල්ල කළ ප‍්‍රහාර පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනෙන ලෙසත් ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටී.

5. 2013 අගෝස්තු 1 දින වැලිවේරියේදී නිරායුධ විරෝධතාකරුවන්ට පහරදීම ඇතුළු ආරක්ෂක හමුදා කරනු ලැබූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳව පරීක්ෂණ වාර්තා හා යුද හමුදා පරීක්ෂණ වාර්තා ප‍්‍රසිද්ධ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

6. ව්‍යවස්ථාවේ 13 සංශෝධනයේ ප‍්‍රකාරව පාලනය කිරීම සඳහා සම්පත් සහ බලතල උතුරු පළාත් සභාවට සහ එහි මහඇමතිවරයාට ලබාදෙන ලෙසට ශී‍්‍ර ලංකා රජය උනන්දු කරවනු ලැබේ.

7. අභ්‍යන්තරව අවතැන්වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ වාර්තාකරුට සහ සංක‍්‍රමණිකයන් පිළිබඳ මානව හිමිකම් වාර්තාකරුට පහසුකම් සැලසීමට ශී‍්‍ර ලංකා රජය ගත් තීරණය අපි අගය කරමු. එමෙන්ම විශේෂ කාර්යභාර බලපත් හිමියන්ගේ ඉල්ලීම්වලට දින වෙන්කිරීම සහ පිවිසීමේ අවසර දීමෙන් සහාය වන ලෙස ඉල්ලා සිටී.

8. විශ්වසනීය සහ ප‍්‍රතිඵලදායි ජාතික කි‍්‍රයාවලියක් නොමැති බැවින් ස්වාධීන විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමේ මහකොමසාරිස්වරියගේ නිර්දේශ සහ නිගමන පිළිගැනේ. වගවීම සහ සංහිඳියාව පිළිබඳ ප‍්‍රගතිය තක්සේරු කරන ලෙසටත් ඒ සඳහා අදාළ ජාතික කි‍්‍රයාකාරීත්වයන් පරීක්ෂා කරන ලෙසටත්, ශී‍්‍ර ලංකාවේ දෙපාර්ශ්වය විසින්ම මානව හිිමිකම් උල්ලංඝනය කිරීම් සහ අවභාවිත කිරීම් සහ ඊට සම්බන්ධිත අපරාධ පරීක්ෂා කරන ලෙසටත් මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව විශේෂ කි‍්‍රයාමාර්ග බලපත් හිමියන්ට මානව හිමිකම් මණ්ඩලයේ 27 සැසියේදී සංක්ෂිප්ත වාර්තාවක් ද 28 සැසියේ යෝජනාවට වාචිකව සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.

9. ඉහත සඳහන් පියවර කි‍්‍රයාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය සහ උපදෙස් ලබාදීමට මහකොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ කි‍්‍රයාමාර්ග බලපත‍්‍රධාරීන් උනන්දු කෙරේ.

10. මෙම යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා මහකොමසාරිස් කාර්යාලයට සහාය දක්වන ලෙස ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ravaya -
Read more
Tuesday, March 18, 2014
රාවය වර්ණවත් කළ අශෝක

අශෝක රාවයේ ආරම්භක කාර්ය මණ්ඩලයට ඇතුළත් තිදෙනාගෙන් කෙනකු වූ අතර, ආරම්භයේ සිට එක
දිගට වසර 20ක් රාවයේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ලෙසද ක‍්‍රියා කළේය. මට ඔහු පළමුවෙන් හමුවන විට ඔහු වැඩ කළේ සර්වෝදය විශ්වලේඛා නමින් පවත්වාගෙන ගිය මුද්‍රණාලයේය. ඔහු සර්වෝදය ව්‍යාපාරයේ උග‍්‍ර අනුගාමිකයකු වූ අතර ඔහුගේ වීරයා වූයේ සර්වෝදයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන්ය. ඒ වනවිට ඔහු විශ්වලේඛා ආයතනයේ සේවය කළේද චිත‍්‍ර ශිල්පියෙකු වශයෙනි. ඔහු සර්වෝදය දර්ශනය කෙරෙහි ඇති කරගෙන තිබූ අතිවිශාල ඇල්ම අත්හරිමින් රාවයේ ක‍්‍රියාධරයකු බවට පත්විය. එකල රාවය ශක්තිමත් ලෙස මුල් බැසගත් ආයතනයක් නොවූවද ලංකාවේ තිබුණු ලොකුම රාජ්‍ය නොවන සංවිධානය වූ සර්වෝදය අතහැර රාවයට එකතුවීමට තරම් ඔහු නිර්භීත වූවේයැ’යිද කිව හැකිය.

ඔහු චිත‍්‍රකලාවේදී ශාස්ත‍්‍රාලයීය උගතකු නොවී සිය සහජ දක්ෂතා ස්වඋත්සාහයෙන් ඔපවත් කරගනිමින් සිටි චිත‍්‍ර ශිල්පියෙක් විය. රාවය සඟරාවේ නම ඇතුළත් ශීර්ෂය අඳින ලද්දේ ඔහු විසිනි. මංගල කලාපයේ පිටකවරය සඳහා මුල් කටු සටහන මගේ උපදෙස් පරිදි අඳින ලද්දේද ඔහු විසිනි. එය රට ලේ හලන අර්බුදයකට තල්ලූ වී යමින් තිබෙන බව සංකේතාත්මක ලෙස පෙන්නුම් කරන පිටකවරයක් විය. එම කටු සටහනට වර්ණ යොදන ලද්දේ විශ්වලේඛා ආයතනයේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියාය. දෙවැනි සඟරාවේ සිට සියලූ පිටකවර මාගේ උපදෙස් මත අශෝක විසින් නිර්මාණය කරන ලද පිටකවර ලෙස සැලකිය හැකිය. දෙවැනි සඟරාවේ කවරයේ කතාව බවට පත්කරගත්තේ මහා පරිමාණයෙන් පළවෙමින් තිබූ අසභ්‍ය පුවත්පත්ය. මා කවරයේ කතාවේ මාතෘකාව ලෙස යොදාගත්තේ ‘බුදු සරණ අතහැර නව සරණ සොයා යන ජාතියක්’ යන්නයි. එහිදී පිටකවරය සඳහා යොදාගත යුතු ආකෘතිය විස්තර කරදීමෙන් පසු ඔහු ඒ වෙනුවෙන් කදිම පිටකවරයක් නිර්මාණය කළේය. ඉන්පසු හැමදාමත් ඔහු අතින් නිර්මාණය වූ පිටකවර ඉතා ආකර්ෂණීය හා උසස් මට්ටමක තිබුණේයැ’යි කිව හැකිය.

අප දැන හෝ නොදැන අතගසා තිබුණේ ඉතාමත් අවදානම්සහගත ව්‍යාපාරයකටය. ජේවීපී දෙවැනි කැරැුල්ල ආරම්භවීමෙන් පසු රට ද්වන්ද්ව පාලනයකට නතුවූ අතර සාමාන්‍ය ජනයා පමණක් නොව විශේෂ වශයෙන් ජනමාධ්‍යද ගිරයකට හසුවූ පුවක්ගෙඩියක තත්ත්වයකට පත්ව තිබුණේය. ජීවිතාරක්ෂාව සඳහා ආණ්ඩුවේ හෝ කැරලිකරුවන්ගේ අසන් තෝෂයට හේතුවන දේවල් වාර්තා කිරීමෙන් හෝ සාකච්ඡුා කිරීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තියක් වෙනත් ජනමාධ්‍ය අනුගමනය කරන විට රාවය ඊට වෙනස්ව කතා කළ යුතුව තිබුණු වැදගත් හැම දෙයක්මත් කතා කරන ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කළේය. එම බිහිසුණු කාලවකවානුවේදී එළැඹෙන ඕනෑම අවදානමක් භාරගනිමින් අප තෝරාගෙන තිබූ මගෙහි ඉදිරියට යෑමට අවශ්‍ය නිර්භීතකම රාවයේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ලෙස ක‍්‍රියා කළ අශෝක පද්මසිරිට සේ ම සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක වශයෙන් ක‍්‍රියා කල උපාලි කොළඹගේටද තිබුණේය. එය බිහිසුණු හා අවලස්සන කාලයක් වුවද එය රාවයේ අපට අලූත් අත්දැකීම් ලබා දුන් කාලවකවානුවක් වීයැ’යි කිව හැකිය. අපට දෙපැත්තේම තහනම් නියෝග ලැබුණු අවස්ථා තිබුණි. සමහරවිට අපි ඒවා පිළිපැද්දෙමු. වැඩි වශයෙන් ඒවා ගණන් නොගෙන අපි අපේ කටයුතුවල නිරතවීමු.

අශෝකගේ ගම හුංගම වීම නිසා කැරැුල්ලට සම්බන්ධ තරුණ කැරලිකරුවන් සමග මිත‍්‍රත්වයක් අශෝකට තිබුණි. ඔවුහු කොළඹ එන අවස්ථාවලදී අශෝක බලන්නට රාවය කාර්යාලයටද ආවෝය. කැරැුල්ල උච්චතම තත්ත්වයට පත්ව තිබෙන අවස්ථාවකදී අශෝක හමුවන්නට පැමිණි තරුණයකු ඔහු මට හඳුන්වා දුන්නේය. හැඳින්වීම අනුව ඔහු හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වඩමාරච්චිය ලෙස හැඳින්වුණු ප‍්‍රදේශයක කැරැුල්ලේ නායකයා වූයේය. හඳුන්වාදීමෙන් පසු මම විජේවීර සේ ම ඔහුගේ ව්‍යාපාරයද ඔහු ඉදිරියේ දැඩි ලෙස විවේචනය කරන තැනකට ගියෙමි. ඔයාගේ නායකයාට හොඳටම පිස්සුයැ’යි කී මම වැඬේ කෙළවර වනු ඇත්තේ විජේවීරගේද ජීවිතය කෙළවර වී විශාල තරුණ සංහාරයකින් බව කියා සිටියෙමි. ඔහු මට උනන්දුවෙන් සවන්දීගෙන සිටියා මිස මා පළ කළ විවේචනයන්ට එරෙහිව ප‍්‍රතිවිවේචනයක් කරන තැනකට ගියේ නැත. සාකච්ඡුාව අවසානයේදී ඔහු මැළවුණු මුහුණකින් යුතුව අශෝක වෙත ගියේය. තවත් සුළු මොහොතකට පසු අශෝක මා වෙත ආවේය. මාගේ කතාවෙන් ඔහු දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත් මේ සියලූ දේවල් අතහැර හොඳ මිනිසකු වීමට ඔහුට අවශ්‍යව තිබෙන බවත් මේ මොහොතේ ඔහුට මොනයම් හෝ රැුකියාවක් ලබාදිය හැකි නම් ඔහු හම්බන්තොට යෑමෙන් වැළකී සිටීමට සූදානම් බවත් අශෝක මට කීවේය. මම මාගේ මිත‍්‍රයෙකුට දුරකතනයෙන් කතා කොට මෙම තරුණයාට ඔහුගේ ආයතනයේ තාවකාලික රැුකියාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එම මිත‍්‍රයා මාගේ ඉල්ලීම ඉටුකර දුන්නේය. ඒ නිසා ඔහුට කැරැුල්ල අවසන් වනවිට සිය ජීවිතය ආරක්ෂා කරගැනීමට හැකිවිය. මේ ආකාරයට අශෝක එම අවලස්සන කාලයේදී විපතට පත්ව සිටි තමන් දන්නා හඳුනන පුද්ගලයන්ට උපරිම ලෙස උදව් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය.

කැරැුල්ල අවසන් වන විට රටට මහා විනාශයක් සිදුව තිබුණද රාවයේ අප කිසිවකුට හානියක් සිදුවී තිබුණේ නැත.
මා පළකර තිබෙන සියලූම පොත්පත්වල පිටු සැකසුම් කර තිබෙන්නේ අශෝකය. ‘කඳුළු සලන පාරාදීසය’ නමින් පළකරන ලද ඡුායාරූප සහිත පොතේ චිත‍්‍ර ශිල්පියා ලෙස ක‍්‍රියා කළේද ඔහුය. මා තවමත් මහජනයා අතරට ගෙන නොගිය එහෙත් තෝරාගත් පිරිසකට පමණක් ප‍්‍රදර්ශනය කළ රටේ ඓතිහාසික ගමන් මග පෙන්නුම් කෙරෙන ඡුායාරූප ප‍්‍රදර්ශනයේ ඡුායාරූප සකස් කොට එහි චිත‍්‍ර ශිල්පියා හා සැලසුම් ශිල්පියා ලෙස ක‍්‍රියා කළේද අශෝකය.

ඔහු රාවයෙන් ඉවත්වීම සිදුවූයේද අපූරු ආකාරයකටය. 2006 පමණ රාවය මුහුණ දී තිබුණු මූල්‍ය අර්බුදය සැලකිල්ලට ගෙන රාවය කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ ඉවත් කිරීමට රාවය කාර්ය මණ්ඩලය තීරණය කොට ඉවත් කළ යුතු පුද්ගලයන් කවුද යන්න තීන්දු කිරීමේ බලය මා වෙත පවරා දෙන ලදි. අශෝක සිටියේ තබාගත යුතු අයගේ ලැයිස්තුවේය. ඔහුගේ මල්ලී සිටියේ ඉවත් කළයුතු අයගේ ලැයිස්තුවේය. ඔහුගේ මල්ලී රාවයට එකතුවී සිටියේ පසුකලකදීය. වෙනත් අංශයකට බැඳී පසුව පරිගණක අංශයට එකතු වී සහාය චිත‍්‍ර ශිල්පියා බවට පත්ව සිටියේය. රාවයට චිත‍්‍ර ශිල්පීන් දෙදෙනකු අවශ්‍ය නොවන නිසාත් ඔහුගේ මල්ලී රාවයට එකතුවීමෙන් පසු රාවයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක හා විවාහ වී දරු දෙදෙනකුගේ පියකු බවට පත්වී සිටීම නිසා එකම පවුලේ දෙදෙනකු රාවයේ තබාගැනීමට නුසුදුසු බව පෙනුණු නිසාත් මල්ලීගේ බිරිඳ සේවයේ තබා ගනිමින් ඇගේ ස්වාමිපුරුෂයා සේවයෙන් ඉවත් කිරීමටත් තීරණය කර තිබුණි.
අශෝක ඒ ගැන දැරූ මතය වූයේ මල්ලීට රක්ෂාව අහිමි වුවහොත් ඔහුට රක්ෂාවක් සොයා ගැනීම පහසු නැති බවය. තමන්ට ජීවත්වීමට අවශ්‍ය වැඩ සොයාගැනීම අපහසු නොවන නිසා මල්ලීට ඉඩදී තමා රාවය අතහැර යෑම සුදුසු බව ඔහු කීවේය. ඒ තෝරාගැනීම ඉදිරියේ මට ගතහැකි පියවරක් නොවීය. රාවය අත්හැරයෑමෙන් පසුත් ඔහු අවශ්‍ය අවස්ථාවලදී කෑලි පදනමක් මත රාවයට වැඩ කළේය.
අශෝක ඉතා ගුණයහපත් මිත‍්‍රශීලී පුද්ගලයෙක් විය. ඔහුගේ මළගෙදර ගිය අවස්ථාවේදී රාවයේ මුල් යුගයේ සිට විවිධ ආකාරයෙන් රාවයට දායකත්වයන් ලබා දුන් සැලකිය යුතු තරම් විශාල පිරිසක් එහි පැමිණ සිටින බව දකින්නට ලැබුණි. සමහරුන්ගේ පෙනුම හඳුනාගත නොහැකි තරමට වෙනස් වී තිබුණි. ඒ සියලූදෙනා රාවයේ ඉතිහාසයේ තමන්ගේ අත්දැකීම් ගැන කතා කළේ හැඟීම්බර ආකාරයකිනි. එවැනි හැඟීම්බර අත්දැකීමක් ඊට සතියකට පමණ ඉහතදීද අත්දකින්නට ලැබුණි. රාවය සහයෝගිතා ව්‍යාපාරය සෙනසුරාදා දිනයකදී රාවයට මුදලින් දායකවූවන්ගේ රැුස්වීමක් කැඳවා තිබුණි. පැමිණ සිටි පිරිස හැත්තෑවක් පමණ වීයැ’යි කිව හැකිය. ඒ අයගෙන් වැඩි පිරිසක් රාවයේ මුල් යුගයේ සිටම රාවය කියවන පාඨකයන් වීයැ’යි කිව හැකිය. සමහරකු පැමිණ තිබුණේද අනුරාධපුරය, පොළොන් නරුව, මහියංගණය, මහනුවර, හුංගම වැනි දුර බැහැර ප‍්‍රදේශවලිනි. ඔවුන්ට තිබුණු ළැදියාව හා උනන්දුව මගේ පුදුමයට හේතුවිය. එම රැුස්වීමට සහභාගි වූ වෘත්තීය සමිති ක‍්‍රියාධරයෙකු රැුස්වීමෙන් පසු මගේ මිත‍්‍රයකුට කියා තිබෙනුයේ එම රැුස්වීම තමන්ට ලැබුණු අලූත් අත්දැකීමක් බවත් සාමාන්‍යයෙන් දැන් මිනිසුන් රැුස්වීම්වලට එන්නේ යන එන ගමන් වියදම් ලබාදීමෙන් පසුව බවත් එසේ එන අයට පවා කන්නට බොන්නටද දෙන්නට සිදුවන බවත් එහෙත් මේ පිරිස රාවයට මුදලින් ආධාර කිරීමෙන් නොනැවතී තමන්ගේ ක‍්‍රියාව යුක්තිසහගත කිරීම සඳහා තමන්ගේම වියදමින් දුර බැහැර සිට එහි පැමිණ සිටි බවත් මෙය අද කාලයේ දක්නට නොලැබෙන විශේෂ දෙයක් බවත් ඔහු කියා තිබුණි. ඔහුගේ එම විග‍්‍රහය නිවැරදිය. රාවයට ඇලූම් කරන විශේෂ පිරිසක් රටේ සිටින්නේය. එහෙත් අවාසනාවකට ඒ අය සමග හැඟීම්බර සම්බන්ධයක් ඇතිකර ගැනීමට රාවය සමත් වී නැත. එය අශෝකගේ මරණ ගෙදරදීද අත්දකින්නට ලැබුණු තත්ත්වයකි. රාවය වඩා ජවසම්පන්න වනු ඇත්තේ ඒ සියලූදෙනා සමග ආත්මීය සම්බන්ධයක් ඇති කර ගැනීමට සමත් වූ විටය.

අශෝක මිය යායුතුව තිබුණේ මට පසුව මිස මට පෙර නොවේ. පුදුමයකට මෙන් ඔහු මියගියේද ඔහු උපන් දිනයේම ඔහුගේ උපත සිදුවූ වෙලාවට ආසන්න වේලාවකදීය. ඔහු තමා මිය යන්නට ආසන්න තත්ත්වයක සිටි බව දැන සිටි බවද පෙනෙන්නට තිබේ. ඔහු සිය ණයකරුවන් හමුවී ණය බේරූ බව අසන්නට ලැබුණි. ඔහු පමණක් නොව අප සියලූදෙනා කිසියම් අවස්ථාවකදී මරණයට පත්වන්නේය. නොමැරී මරණය ජයගත් කිසිවෙක් නැත. අපට කළහැක්කේ කවදා හෝ මැරෙන බව දැනගෙන ප‍්‍රයෝජනවත් හා යහපත් පුරවැසියන් ලෙස ජීවත්වීමය. අශෝකට සදාකාලික සුව නින්දක් ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරමි.

ravaya -
Read more
Monday, March 17, 2014
අඬුව තිබියදී අත පුච්චා ගැනීම

හංවැල්ල තුන්නානේ පැවැති මහජන උද්ඝෝෂණය අවසන් වූයේ එය මැඬලීමට ගිය පොලිස් නිලධාරියකු මරණයට පත් කරමිනි. පොහෝ දිනට පෙර දින පස්වරුවේ ඇරැඹි මේ උද්ඝෝෂණය පෝ දා පෙරවරුව දක්වා අඛණ්ව පැවැති අතර පොලිසිය ඊට මැදිහත්වීම නිසා උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරෙමින් ගස් කපා දමමින් හයිලෙවල් මාර්ගය අවහිර කර ටයර් ගිනි තැබීම නිසා තත්ත්වය වඩාත් උණුසුම් වී තිබිණි.
Read more
Sunday, March 16, 2014
රතුපස්වල සිට තුන්නානට

ලෝකය අද පාරිසරික අර්බුදයකට මුහුණදී සිටී. මිනිස් ක්‍රියාකාරකම් මේ පාරිසරික විනාශයට ප්‍රධාන හේතුව වී ඇත. ඔවුන්ගේ ඊනියා සංවර්ධන කටයුතු පාරිසරික ප්‍රශ්න රැසක් ජනිත කර තිබේ. ලංකාවට ද ඉන් ගැලවීමක් නැත.

ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්නයක් මතු වීමට හේතු වූයේ රබර් අත්වැසුම් කම්හලකින් පිටවන විස සහිත අපජලය, ජල මූලාශ්‍රවලට මිශ්‍රවීම හේතුවෙනි. දිනෙන් දිනම උග්‍ර වූ මේ ජල ප්‍රශ්නයට විසඳුමක් නොලැබීම නිසා අවසානයේ ප්‍රදේශවාසීහු මහපාරට බැස උද්ඝෝෂණ ආරම්භ කළහ.

උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ පියවර හේතුවෙන් ජීවිත තුනක් අහිමි වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. පසුව කම්හල එම ප්‍රදේශයෙන් ඉවත් කෙරුණු නමුත් පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැත. විස මිශ්‍ර වූ ජල මූලාශ්‍ර පිරිසුදු කිරීම පහසුවෙන් කළ නොහැකිය.

රතුපස්වල සිද්ධියට පසු පිළියන්දල ප්‍රදේශයේ කම්හලක ඇති වූ විස රසායන කාන්දුවක් නිසා ප්‍රදේශවාසීන් රෝගාතුර වීම හේතුකොට ගෙන කම්හලට එරෙහිව උද්ඝෝෂණයක් ඇති විය. යළිත් එවැනි කම්හලකට එරෙහිව ඊයේ ඇතිවූ උද්ඝෝෂණයක් නිසා පොලිස් නිලධාරියකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇත.
පාදුක්ක, හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන කම්හලක අපජලය හා විස සහිත දුම හේතුවෙන් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටි ප්‍රදේශවාසීන්ගේ දුක් ගැනවිල්ල මීට මාස එකහමාරකට පමණ පෙර දිනපතා 'මව්බිම' මඟින් අනාවරණය කෙරිණි. පානීය ජලය විස රසායන ද්‍රව්‍යවලින් අපවිත්‍ර වීම, විවිධ රෝගාබාධ ඇතිවීම, රතුපස්වලට මෙන් තුන්නානටත් පොදු කාරණා වී තිබිණි.

කම්හල ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් ප්‍රදේශවාසීන් අවසානයේ උද්ඝෝෂණයක නිරත වූයේ හයිලෙවෙල් පාරද අවහිර කරමිනි. උද්ඝෝෂකයන් විසින් මාර්ගය අවහිර කිරීම සඳහා කපා දමනු ලැබූ ගසකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු මියයෑමෙන් පසු උද්ඝෝෂණය අවසන් විය.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබුණේ තමන් මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් අදාළ කම්හලේ හිමිකරුවන් දිගින් දිගටම දැනුම්වත් කළද ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබුණු බවය. කම්හලේ හිමිකරුවන් මෙන්ම පාරිසරික බලධාරීන්ගෙන් විසඳුමක් නොලැබෙන විට ජනතාවට ඉතිරි වන එකම විකල්පය උද්ඝෝෂණ කිරීම බව පැහැදිලිය.

ආවේගශීලී වූ මහජනයා මහපාරට පැමිණි පසු ඕනෑම දෙයක් විය හැකිය. උද්ඝෝෂකයන් අතින් රජයේ දේපළවලට හෝ පෞද්ගලික දේපළවලට හෝ හානි සිදුවීමටත්, උද්ඝෝෂණ මැඬපැවැත්වීමට යෑමේදී ආරක්ෂක අංශවලින් ඔවුන්ට තුවාල සිදුවීමටත් හැකියාව ඇත. මරණය පවා අත්වීමට ඉඩ තිබේ. රතුපස්වලදී එය අත්දැකීමට හැකිවිය. මෑතකදී පුද්ගලයකු පැහැර ගෙන යෑමට එරෙහිව මහා මාර්ගය අවහිර කරමින් වනාතමුල්ලේ පැවැති විශාල මහජන උද්ඝෝෂණයක් මැඬපැවැත්වීමට පියවර ගැනීම වෙනුවට කුමක් හෝ හේතුවක් නිසා ආරක්ෂක අංශ උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කළහ. අතුරුදන් වූ පුද්ගලයා විනාඩි 45ක් ඇතුළත සොයාදීමට පොලිසිය පොරොන්දු විය. පොරොන්දු ප්‍රකාරව පැහැරගෙන ගොස් සිටි පුද්ගලයා නිරුපද්‍රිතව යළි පැමිණීම නිසා කිසිදු කලබලයකින් තොරව පොලිසියත්, උද්ඝෝෂකයෝත් විසිර ගියහ. එහෙත් හංවැල්ල තුන්නාන උද්ඝෝෂණය මැඬපැවැත්වීමේදී ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටත්, උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමටත් පසුබට වී නැත. අවසානයේ මිනිස් ජීවිතයක්ද අහිමි විය.

ජනාවාස ආශි්‍රතව කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉඩදීම මෙවැනි ප්‍රශ්න මතුවීමට මූලික හේතුවය. විශේෂයෙන් රබර් නිෂ්පාදන කර්මාන්ත වැනි විස රසායන ද්‍රව්‍ය යෙදා ගන්නා කර්මාන්තශාලා ජනාකීර්ණ ප්‍රදේශවල පිහිටුවීමට ඉඩදීම භයානකය. රතුපස්වලින් ඔප්පු වූයේ ඒ ඇත්තය. තුන්නානද තවත් රතුපස්වලක් බව මෙතෙක් ලැබී ඇති තොරතුරුවලින් පැහැදිලිය. මෙවැනි කම්හලකට බලපත්‍ර ලබාදීම වැරැදි සහගතය. අදාළ කම්හල්වල පාරිසරික ප්‍රමිති සහතිකය වාර්ෂිකව අලුත් කිරීමේදී පවතින තත්ත්වය පරික්ෂා කර නොබලන්නේද යන්න ප්‍රශ්නයකි. අදාළ ආයතන වගකීම් සහිතව කටයුතු කරන්නේ නම් මෙවැනි පාරිසරික ගැටලු මතුවිය හැකිද යන්න ප්‍රශ්නයකි. පාරිසරික සහතිකය ලැබුණද නොලැබුණද ඇතැම් කම්හල් හිමියන් අඛණ්ඩව තම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන අවස්ථා ඕනෑ තරම් තිබේ. ඒ දේශපාලන හස්තවල ශක්තියෙනි. රතුපස්වල කම්හල පිටුපස එවැනි දේශපාලන හස්තයන් තිබූ බව කියැවිණි.

බහුජාතික සමාගම්වලට අවශ්‍ය වන්නේ උපරිම ලාබ පමණි. මෙරට පරිසරය ආරක්ෂා කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත. ඒ පිළිබඳ ඕනෑකම තිබිය යුත්තේ අපටය. අපේ ජල සම්පත, වනසම්පත, සත්ත්ව සම්පත ඇතුළු පාරිසරික උරුමය ආරක්ෂා නොවන සංවර්ධනයකින් රටට පලක් නැත. රතුපස්වල ප්‍රශ්නය ඇති වූ පසු සියලු කම්හල්වල කටයුතු යළි අධීක්ෂණය කළා නම් තුන්නාන ප්‍රශ්නය මතු නොවීමට ඉඩ තිබිණි.
මහපොළොව, ගහකොළ හා මිනිසුන්ගේ ජීවිත අනිවාර්යයෙන් ආරක්ෂා කළ යුතුය. සැබෑ දේශප්‍රේමීන් වන්නේ මිනිස් සම්පත ඇතුළු මවුබිමේ උරුමය රැකගැනීමට කැපවන්නන් මිස ඊනියා දේශද්‍රෝහීන්ට බැන අඬගසන ඝෝෂාකාරීහු නොවෙති.
 මවුබිම -
Read more
ලිංගික කාරණා ඇතුළත් කළ පලියට අද කා‍ලේ නවකතාවක් ජනප්‍රිය කරවන්න බැහැ ---- ආචාර්ය ලියනගේ අමරකීර්ති

නූතන සිංහල ‍ලේඛක ‍ලේඛිකාවන් බොහෝ දෙනෙක් බටහිර ඇතුළු විදෙස් නවකතාකරුවන්ගේ ආභාෂය ලැබ මෙරටට නොගැළපෙන අන්දමේ වස්තු විෂයන් සහ ෙශෙලීන්  යොදාගනිමින්, අනුකාරකවාදී ලෙස නවකතාකරණයෙහි යෙදෙන බවට ඇතැම් ප්‍රවීණ ‍ලේඛකයන්ම පවා චෝදනා නගනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
මා සිතන විදිහට, එය වැරදි අදහසක්. මෑත කාලයේදී තරමක් ඉදිරියට පැමිණ තිබෙන නවකතාකරුවන්ගේ සෑම කෘතියක්ම පාහේ මමත් කියවා තිබෙනවා. නමුත්, මට නම් ඒවායේ වස්තු විෂයන් සම්බන්ධව හෝ ෙශෙලීන් සම්බන්ධව හෝ එවැනි ගැටලුවක් මතු වී නැහැ. ඒවායේ අනුකාරකවාදී බවක්  දකින්නට ලැබි නැහැ. ලංකාවේ ජන ජීවිතය ප්‍රබන්ධයට නැගීමට උත්සාහ ගන්නා බවකුයි ඒවායින් ප්‍රකට වන්නේ. නමුත් එම නවකතාකරුවන් විවිධ ආකෘති සහ ප්‍රතිනිර්මාණ විධි යොදාගන්නවා. එය හොඳ ලක්ෂණයක්.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරකට නවකතා සිය ගණනක් පළවෙනවා. ඒ සියලු නවකතා මා කියවා නැහැ. නමුත්, ප්‍රධාන පෙළේ ‍ලේඛක ‍ලේඛිකාවන් නම් එකී කාරණා දෙක පිළිබඳවම සැලකිලිමත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒවා කොපමණ දුරට සාර්ථක ද යන්න වෙනත් කාරණයක්. නමුත්, එකී කාරණා පිළිබඳව සැලකිලිමත්වීම තුළින්ම ඔවුන් නවකතාව බරපතළ ලෙස බාරගන්නා බව හැඟෙනවා.
බටහිර හෝ වෙනත් රටවල ‍ලේඛක ‍ලේඛිකාවන් ලියන ආකාරයටම ලියන, ඒ අය අනුකරණය කරන ‍ලේඛක ‍ලේඛිකාවන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙ‍ලේ නවකතාකරුවන්/කාරියන් අතර සිටිනවා යයි කියන්න බැහැ.
විවිධ රටවල සංස්කෘතික සම්ප්‍රදායන්වල වෙනස්කම් තිබුණත්, ඒවායේ ‍පොදු ලක්ෂණත් විශාල වශයෙන් තිබෙනවා. මූලිකව සැලකුවොත් ආහාර, රැකවරණය, ලිංගිකත්වය, ආදරය ආදී කරුණු සෑම රටක සෑම සංස්කෘතියකටම ‍පොදුයි. කුඩා කුඩා අනුෂාංගික දෑ වලින් පමණයි ඔවුන් වෙනස්වන්නේ. ඒ නිසා ඕනෑම නවකතාවක් අරගෙන එය අහවල් රටේ නවකතාවට සමාන යැයි කියන්නට යමෙකුට පුළුවන්. නමුත්, එකී චෝදනාව අන්තර් සංස්කෘතික හුවමාරුවට එරෙහි ප්‍රකාශනයක් ලෙසයි මා දකින්නේ. ඒ වගේම සංස්කෘතික පාරිශුද්ධත්වය  පිළිබඳව අනවශ්‍ය විදිහට සිතන අයගෙන් එල්ලවන චෝදනාවක් විදිහටත් ඔය චෝදනාව සලකන්න පුළුවන්.
මෙම නව ප්‍රවණතාවන් හේතුවෙන්, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ ජයතිලක, ජී.බි. සේනානායක වැනි ‍ලේඛකයන් ගොඩනැගූ නවකතා කලාවේ තිබූ දේශීය අනන්‍යතාව ගිලිහී යමින් පවතින බව ඇතැමුන් පවසනවා ?
නවකතාව මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ඔබ කියූ ‍ලේඛකයින්ගේ ෙශෙලියටම පවත්වාගෙන යාමට නම් අලුත් ‍ලේඛක ‍ලේඛිකාවන් නවකතා රචනා කළ යුතු නැහැ. උදාහරණ විදිහට සැලකුවොත්, එංගලන්තයේ නූතන ‍ලේඛක ‍ලේඛිකාවන් නවකතා ලියන්නේ චාල්ස් ඩිකන්ස් ලියපු ආකාරයටම නොවෙයි. ඇමෙරිකාවේ ‍ලේඛක ‍ලේඛිකාවන් ලියන්නේ හෙන්රි ජේම්ස් ලියූ ආකාරයට නොවෙයි. ඒවගේම, ඉන්දියාවේ ‍ලේඛකයන් ලියන්නේ ආර්.කේ. නාරායන් ආකාරයට නොවෙයි. මොකද, නවකතාව කියන්නේ ඉතා වේගයෙන් වර්ධනය වන ආඛ්‍යාන ක්‍රමයක්. නමුත්, මාර්ටින් වික්‍රමසිංහ හෝ ගුණදාස අමරසේකර හෝ ජී.බි. සේනානායක හෝ ලියූ ආකාරයට ලියන්න එපා කියලා හෝ ඔවුන් ලියූ දෑ වැරදියි කියා හෝ එයින් අදහස් වන්නේ නැහැ. වික්‍රමසිංහලාගේ පරපුරේ බොහෝ දෙනාත් නවකතාව සඳහා නොයෙක් විදෙස් මූලාශ්‍රවලින් ආභාෂ ලැබුවා මිස එකී කතා කලාව ‘ජාතික’ නවකතා කලාවක් වුණේ නැහැ.
නූතන සිංහල නවකතා මගින් පවතින සමාජ දේශපාලන ගැටළු පිළිබඳ සාකච්ඡා කරනවා මදි කියලත් චෝදනා කරන අය සිටිනවා. මේ තර්කය ඔබ පිළිගන්නවාද?
කිසිදු ‍ලේඛකයකුට සමාජය, දේශපාලනය පිළිබඳ නොලියා සිටීමට අපහසුයි. උදාහරණයක් විදියට අපි සිතමු එක්තරා ‍ලේඛකයෙක් ලියන්නේ මිනිසුන්ගේ සිහින සහ චිත්ත අභ්‍යන්තරය ගැන පමණයි කියා. ඔහු ඒ ගැන පමණක් ලීවත්, මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරය කියන්නේත් සමාජයේම එක්තරා පැතිකඩක්. සිහින කියන්නේ පීඩනය, ආසාවන් ආදී වූ සංස්කෘතික කාරණාවල එකතුවක්. ඉතින් ඒ නිසා යමෙකුගේ මනස තුළ තිබෙන දෑ ලිව්වත් එය සමාජ දේශපාලනික විග්‍රහයක් වෙනවා. උදාහරණයක් විදිහට ගතහොත්, සිරිගුණසිංහගේ ‘හෙවනැල්ල’ නවකතාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චිත්ත අභ්‍යන්තරය ගවේෂණය කරන නවකතාවක්. නමුත්, එය ඒ කා‍ලේ සමාජ සංස්කෘතික ව්‍යුහයට අතිශයින් සම්බන්ධ වුණා. නවකතාව කියන කලාවම සමාජ දේශපාලනමය ආඛ්‍යාන කලාවක්. මොකද, එය පුරාණෝක්තියක් හෝ දේවකතාවක් හෝ නොවන නිසා.
නූතන සිංහල නවකතාකරුවන්/කාරියන් අතර ඇතැමුන් තම කෘතීන් ජනප්‍රිය කරවීමේ අරමුණ ඇතිව තම නවකතා තුළින් ලිංගිකත්වය ඉස්මතුකොට දක්වන බවට ඉදිරිපත් වන මතය ගැන ඔබේ අදහස කුමක්ද?
මට නම් එවැන්නක් පෙනෙන්නට නැහැ. උදාහරණයක් විදිහට සැලකුවොත් ශාන්ති දිසානායක තමන්ගේ ‘වාලුකා’ නමැති කෘතියෙන් යම් යම් ලිංගික සිදුවීම් දක්වා තිබෙනවා. ඒ වගේම මොහාන් රාජ් මඩවලත් ‘මාගම් සෝලිය’ නවකතාවෙන් ලිංගික කාරණා ඉදිරිපත්කොට තිබෙනවා. නමුත් එකී කෘතීන් දෙකම ලිංගික කාරණා නිසාම අතිවිශාල වශයෙන් අලෙවි වන බවක් මා දකින්නේ නැහැ. වර්තමාන සමාජයේ තරුණ තරුණියන් විශාල වශයෙන් ලිංගිකව ක්‍රියාකාරී පිරිසක්. මෙරට විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙනුත් ඒ බව දැකගන්නට පුළුවන්. එය එක්තරා දුරකට හොඳ දෙයක්. නමුත්, ඒ අයට නවකතාවකින් ලිංගිකත්වය හඹායෑමට අවශ්‍ය නැහැ. මොකද, ඒ සඳහා අන්තර්ජාලය වැනි මාධ්‍ය ඕනෑ තරම් අද තිබෙනවා.
නව ප්‍රවණතාවන්ගෙන් ‍පෝෂණය වන නූතන සිංහල නවකතාව තවත් ඉදිරියට ගෙන යා හැකි අන්දමේ විචාර කලාවක් වර්තමානයේ අපේ රටේ තිබෙනවාද?
නැහැ. එවැනි විචාර කලාවක් අපේ රටේ නැහැ. දැන් බලන්න, අපේ රටේ කිසිදු පුවත්පතක ස්ථීර සාහිත්‍ය විචාරකයෙක් නැහැ. සාහිත්‍ය කලාව පිළිබඳ විචාර ලිපි ලියන අයට අඩුම තරමේ රුපියල් 1000ක ගෙවීමක්වත් කරන්නේ නැහැ. උදාහරණයක් විදියට මා ලියන විචාර ලිපි සඳහාත් මට කිසිදු මුදලක් ලැබෙන්නේ නැහැ. ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ පමණක් නොවෙයි ඉන්දියාවේ පවා සාහිත්‍ය කලාව ගැන ලියවෙන විචාර ලිපිවලට ප්‍රමාණවත් මුදලක් ගෙවනවා. ඒ නිසා ඒ රටවල පළපුරුදු විචාරකයන් විචාර කලාවේ යෙදී සිටිනවා. නමුත්, එවැනි විචාර කලාවකට සුදුසු සන්දර්භයක් ලංකාවේ අද නැහැ. තවත් කාරණයක් තමයි, ඒ සඳහා වන ශාස්ත්‍රීය මට්ටමේ සඟරා අපේ රටේ නොතිබිම. උදාහරණයක් විදියට ගතහොත් ඇමෙරිකාවේ නම් ඒ සඳහා “ඊඩඥ ව්ධමඥත”, “ඊඩඥ එධපතඤ ඹ්ඪබඥපචබභපඥ” වැනි උසස් මට්ටමේ ශාස්ත්‍රීය සඟරා පළවෙනවා. නමුත් එවැනි දෑ ලංකාවේ දකින්නට නැහැ.
නූතන නවකතාව ‍පෝෂණය
කළ හැකි අන්දමේ විචාර කලාවක් ගොඩනැගීම සඳහා ඔබට කළහැකි යෝජනා මොනවද?
හොඳින් ලාභ උපයන ‍පොත් ප්‍රකාශකයන් ශ්‍රී ලංකාවේ සිටිනවා. ඔවුන් බොහෝ විට නවකතා නිසාම විශාල වශයෙන් ලාබ උපයා ගන්නවා. ඉතින්, එවැනි ආයතන දෙකක් තුනක් හෝ එක්වී ගෞරවනීය ගෙවීමක් යටතේ පුවත්පත් කිහිපයක් සඳහා, පළපුරුදු විචාරකයන් ලවා විචාර ලියවීමේ ක්‍රමයක් ආරම්භ කරනවා නම් අපේ රටේ උසස් විචාර කලාවක් බිහිකිරීමට එවැනි දේ ලොකු උදව්වක් වේවි. පුවත්පත්වල පළකරන වෙළෙඳ දැන්වීම් සඳහා ලක්ෂ ගණනින් මුදල් ගෙවන්න පුළුවන් නම්, මෙවැනි කටයුත්තක් සඳහාත් යම් දායකත්වයක් දක්වන්න බැරිකමක් නැහැ. නමුත් අද සාහිත්‍ය විචාරයකට කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. විචාරයක් ලිවීම යනු ගෞරවනීය කාර්යයක් වුවත්, මෙරට සාහිත්‍යය තුළ විචාරකයන්ට වෘත්තීයමය ලෙස සැලකීමක් නැහැ. ඉතින්, ඒ නිසා විචාරය සඳහා සුදුසු පසුබිමක් ඇති නොකර, ලංකාවේ හොඳ මට්ටමේ විචාර කලාවක් නැති බව කියමින් විචාරකයන්ට දොස් කීමෙන් ඵලක් නැහැ.
ලෝකයේ නව සාහිත්‍ය ප්‍රවණතාවන් මෙරට පාඨකයන්ට හඳුන්වාදීමේදී වර්තමානයේ පරිවර්තකයන් විසින් ඉටුකරනු ලබන කාර්යභාරය ඔබ දකින්නේ කෙසේද?
මට ඒ ගැන නිශ්චිතව කියන්නට බැහැ. මොකද, විශිෂ්ට පරිවර්තකයන් විදිහට මා හඳුනාගෙන සිටින කිහිපදෙනකුගේ පරිවර්තන පමණයි මා සාමාන්‍යයෙන් කියවන්නේ. එසේ නැතිනම් මා එම මුල් කෘති සොයාගෙන කියවනවා. නමුත්, අද වන විට නිශ්චිත සොයාබැලීමකින් තොරව විශාල පරිවර්තන සංඛ්‍යාවක් වෙළෙඳ‍පොළට නිකුත්වන බවක් නම් පෙනෙන්නට තිබෙනවා. නමුත් තරුණ පරපුරේ ඉංග්‍රීසි දැනුම වැඩිකිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ හැකි නම් එය සිංහල සාහිත්‍යය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති. ශ්‍රී ලංකාව වැනි, ආර්ථික ශක්තියක් නැති, සාපේක්ෂව කුඩා භාෂාවක් තිබෙන රටකට ලෝකයේ තිබෙන සියලු හොඳ දෑ පරිවර්තනය කළ නොහැකියි. ඒ නිසා, සමාජයේ ජාත්‍යන්තර භාෂා දැනුම වර්ධනය කොට, ඔවුන්ට අන්තර්ජාතික භාෂාවලින් ලියවුණ කෘති රසවිඳීමට ඉඩ සැලැස්වීම තුළින් ඔවුන් ස්වතන්ත්‍ර නිර්මාණ කලාව වෙත යොමුකළ හැකියි.
ඔබ සිතන විදිහට, නව ප්‍රවණතාවන් ඔස්සේ වර්ධනය වන නූතන සිංහල නවකතා මෙරට පාඨක ප්‍රජාව විසින් පිළිගනු ලබනවාද?
ඔව්. අද විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයක් නොලැබූ, නිල සාහිත්‍ය ලෝකය තුළ නැති පාඨක පිරිසකුත්  බිහිවී සිටිනවා. ෆේස්බුක්, ජංගම දුරකථන වැනි මාධ්‍ය හරහා නවකතා සහ ‍ලේඛක ‍ලේඛිකාවන්ට ලැබෙන ප්‍රතිචාර තුළින් අපි මෙවැනි ප්‍රවණතා ගැන දකිනවා. සුනේත්‍රා රාජකරුණානායකගේ ‘.‍පොදු    පුරුෂයා’ කියන්නේ මෑත කාලීනව කතාව ඉදිරිපත් කිරීම අතින් අමුතුම ආකාරයක් ගත් නවකතාවක්. නමුත් එම නවකතාවත් මෙරට පාඨකයන් අතරේ විශාල වශයෙන් ජනප්‍රිය වුණා. එම අලුත් නවකතා සඳහා තරුණ පාඨකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම, කාන්තා පාර්ශ්වයත් කියවීමට බොහෝ සෙයින් යොමුවී සිටිනවා. ඔවුන් බොහෝ විට අලුත් දේවල් සොයාගෙන කියවනවා. එවැනි කාරණා නිසා මෙරට පාඨකයන් ‍පොත් කියවන්නේ නැතැයි යන අදහස සත්‍යයක් නොවන බව කිව හැකියි.

 කිෂාන් කනංකෙ
Read more
Saturday, March 15, 2014
රජුන් තනන්නේ ජනතාවය

1977 බලයටපත් එ.ජා.ප. ආණ්ඩුවේ පසමිතුරන් එය හැඳින්වූයේ ජේ.ආර්. - තොණ්ඩමාන් ආණ්ඩුව නමිනි. ඊට හේතුව වූයේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ආණ්ඩුවට හවුල් වී සිටීමය. ලක්ෂ කිහිපයක වතු දෙමළ ‘ඡන්ද මල්ල’ සහ තොණ්ඩමාන්ට ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් හිමිවී තිබිණි. 1977න් පසු පැවැති ජනාධිපතිවරණය ඇතුළු
Read more
අධ්‍යාපනය වෙනුවෙන් අද ඉස්කෝල තිබේද? – මහාචාර්ය සරත් විජේසූරිය

ජනප‍්‍රිය පාසල් බොහොමයක උසස් පෙළ පන්තිවල දරුවන්ගේ පැමිණීම ඉතා දුර්වල බව විදුහල්පතිවරු පවසති. තරුණ දරුවන් සැලකිය යුතු ප‍්‍රමාණයක් කාලයක් තිස්සේ පටන් පාසල් නොයන බව ප‍්‍රකට කාරණයකි. උසස් පෙළ විභාගයට පාසල ඔස්සේ පෙනී සිටීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමේ අරමුණින් පමණක් බොහෝ දරුවන් පාසලට එන තත්වයක් තිබේ.

ඉහළ පන්තිවල දරුවන්නේ පැමිණීම ඉතා පහළ අගයක පවතින නිසා ඉගැන්වීම දුර්වලව තිබෙන බවය ඇතැම් ගුරුභවතුන් පවසන්නේ. දරුවන්ගේ පැමිණීම පහළ අගයක පවතින්නේ පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම අද වන විට ඉහළ ගොස් තිබෙන නිසා බවය ඇතැමුන් පෙන්වා දෙන්නේ.

මේ තත්වය ඇති වී වර්ධනය වීමට අදාළ හේතු දෙකක් විශ්වවිද්‍යාලවලට එන දරුවන්ගේ අදහස්වලින් පැහැදිලි වේ. පළමු හේතුව වන්නේ නිසියාකාරව හා කැපවීමෙන් පාසලේ දී ඉගැන්වීම සිදු නොවීමය. දෙවන හේතුව වන්නේ බහුතරයක් ගුරුභවතුන් ආකර්ෂණීය අන්දමින් ඉගැන්වීමට අසමත් වීමය.

අධ්‍යාපනය හා සම්බන්ධ බරපතළම ගැටලූව මතු වන්නේ ගුරු භූමිකාව ඔස්සේ බව ගැඹුරින් වටහා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. මේ වූ කලි පළල් අර්ථයෙන් දේශපාලනික කාරණාවකි.

ගුරු පත්වීම් දීම

ගුරුවරයා බඳවා ගැනීම ඉහළ ප‍්‍රමිතියකින්, දේශපාලනී කරණයෙන් වියුක්තව විය යුතුය. බඳවාගත යුත්තේ හැම අංශයකින්ම දීප්තිමත් තරුණ පිරිසකි. ගුරු පත්වීම් දීම අද අවිනීත අන්දමට දේශපාලනී කරණය වී ඇත. ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධ නොමනා තත්වය, ප‍්‍රමිතියකින් තොර තත්වය නිරාකරණය කළ යුත්තේ ද දේශපාලනිකවමය. හුදු විභාග සහතික මත පමණක් ගුරුවරයකු නිර්මාණය කළ නොහැකිය.

උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ, එහෙත් ආසන්න මට්ටමට ලකුණු ලබා සිටි යම් පිරිසක් විද්‍යා පීඨ වෙත බඳවා ගනිමින් ගුරු වෘත්තියට පුහුණු කිරීම කලකට ඉහත දී ගත් හොඳ පියවරකි. එහි ‘හොඳ’ වන්නේ දේශපාලනික අතපෙවීම් අවම තත්වයක තිබීම හා කිසියම් විනිවිදභාවයකින් බඳවාගැනීම නිසාය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප‍්‍රථම වසරේ දී පෙන්වන සුදුසුකම් මත අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමට තෝරා ගැනීම ද (මෙය ලංකාවේ සියලූ විශ්වවිද්‍යාලවල සිදු නොවේ.) එක් අතකින් යහපත්ය. එහි සාධනීය කාරණාව ඔවුන් ලබන අධ්‍යාපනය ගුරු වෘත්තිය අරමුණු කර ගෙන ලැබීමය. ශිෂ්‍ය පිරිස තෝරාගැනීමේ දී ගුරු වෘත්තියට සැබවින්ම සුදුසු පෞරුෂයක් තිබේ ද යන්නත් සලකා බැලීමට විවෘත අවකාශයක් තිබුණි.

මගේ අදහස නම් ගුරුවෘත්තියට බඳවා ගැනීමේ දී මේ තත්වයන් ද සාධනීය නොවන බවයි. මා එසේ පවසන්නේ මේ තත්වයන් ඉහළ ප‍්‍රමිතියකට අනුරූපව කිරීමට තිබෙන අප‍්‍රමාණ දේශපාලනික බාධාවන් නිසාය. අනෙක් කාරණාව නම් පටු දේශපාලන අරමුණක් පෙරටු කර ගනිමින් තොග පිටින් ගුරු වෘත්තියට බඳවා ගැනීමට මෙහිදී තිබෙන අනර්ථකාරී අවකාශයයි.

වත්මනෙහි කවර පාසලක වුව දරුවෝ විවිධාකාර වෙනස්කම් පෙන්වති. සංකීර්ණ පන්ති කාමරයකට යන ගුරුවරයා විභාග සහතිකයක් තිබෙන කෙනෙකු වීම පමණක් කිසිසේත් නොසෑහේ. බාල මට්ටමේ තරග විභාගයකින් සමත්වීම ද ප‍්‍රමාණවත් නොවේ. අවම වශයෙන්වත් පුරා වසරක විධිමත් පුහුණුවක් විද්‍යාත්මක පදනමක පිහිටා ලබා දීම අවශ්‍ය වේ. එහිදී සෑම ගුරුවරයෙකුටම උපදේශනය සම්බන්ධ යම් විනයක් නිසියාකාරව ලබා දිය යුතුය. මේ ශික්ෂණය තොග පිටින් බඳවා ගත් පිරිසකට කෙලෙස හෝ ලබා දීම අසාර්ථකය. ඉගැන්වීම කලාවකි. නිර්මාණශීලීව ඉගැන්වීමට අදාළ මූලධර්ම අද අප‍්‍රමාණව පර්යේෂණ මඟ‘න් සොයා ගෙන තිබේ. පෙළ පොත පමණක් රැුගෙන පන්තියට යන ගුරුවරයා පිළිගැනීමට දරුවකු සූදානම් නැත. එ් අන්දමින් ගුරුවරයෙකු පුහුණු කිරීම වැදගත් කටයුත්තකි. එය කළ නොහැකි කටයුත්තක් නොවන්නේය. එහෙත් මැතිවරණයක් සමීප වන විට තොගයක් බඳවා ගැනීමේ දී මේ සඳහා අවස්ථාවක් නැත.

ගුරුවරයාට ලබා දෙන පුහුණුවෙන් පසුව අධීක්ෂණය ද ක‍්‍රමානුකූලව සිදු කළ යුතුය. දරුවන්ගේ ශික්ෂණ මට්ටම මෙන්ම විභාග ප‍්‍රතිඵල ද අධීක්ෂණය කළ යුතුය. පුහුණු කළ ගුරුවරයා දරුවන් ඉදිරියට ගෙනයන්නෙකු විනා, පසුපසට තල්ලූ කරන්නෙකු නම් අධ්‍යාපන කි‍්‍රයාවලිය අසාර්ථකය. එවැනි ගුරුවරයෙකු කුමකට ද? බඳවා ගත් පසු නොව තත්වය සලකා බැලිය යුත්තේ බඳවා ගැනීමට පෙරාතුවය.

ගුරු වෘත්තියට පමණක් නොව ආණ්ඩුවේ සියලූම වෘත්තීන්ට අද පත්වීම් දෙන්නේ අරලිය ගහ මන්දිරයට කැඳවමිනි. නැතහොත් සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණය වැනි තැනකට එකතු කරමිනි. නිසි සුදුසුකමට ලබා දෙන කිසිම පත්වීමක් එ් අන්දමින් ලබා දීම අවිනීතය. එය පහත් ගණයේ දේශපාලනික අල්ලසකි. එය කෙනෙකුගේ අභිමානයට හානිකරය.

තොග පිටින් ගුරු වෘත්තියට බඳවා ගන්නා ඇතැමුන් කිසි ලෙසකින්වත් ගුරු වෘත්තියට සුදුසු අය නොවීම බරපතළ කාරණාවකි. ඇතැම් විදුහල්පති වරුන් මේ කාරණාවේ දී ඉතා අසරණය. සමහරුන්ට ඉගැන්වීමට කිසිම කුසලතාවක් නැති බව කියැවේ. සමහරුන්ට ගුරුවරයෙකු ලෙස ගොඩ නැෙඟන්නට අවශ්‍ය පෞරුෂය ඇත්තේම නැත. හඬ නඟා කතා කරන්නට අපහසු අය, රාජකාරියට අදාළ විනයට අසංවේදී අය, පමණක් නොව යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් පසු නොවන අයද තොග පිටින් බඳවා ගන්නා විට එක පොකුරට බඳවා ගැනේ. ගුරු වෘත්තියට බඳවා ගැනීමේ දී විධිමත් අන්දමට සලකා බැලිය යුතු එක් කාරණාවක් වන්නේ අදාළ පුද්ගලයා යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් පසු වන්නේ ද යන්නයි. දරුවන් මුහුණ දෙන සමහර ප‍්‍රශ්න ගැන ගැඹුරට කල්පනා කරන විට මේ කාරණාව සුළු කොට තැකීම වරදකි.

පාසලක් විශාල නොවීම

දරුවන්ගේ අනාගතය හා සම්බන්ධ සාධනීය වෙනසක් උදෙසා පාසල කුඩා වීම ඉතා වැදගත්ය. පුද්ගලයෙකුට පාලනය කිරීම අති දුෂ්කර තත්වයේ විශාල ගුරු මණ්ඩලයක් හා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් පැවතීම නුසුදුසුය. ජනප‍්‍රිය පාසල්වල විදුහල්පතිවරයාගේ පැවැත්ම පවා තීරණය කරන ආදි ශිෂ්‍ය සංගම්/ආදි ශිෂ්‍යාවන්ගේ සංගම් ඇත. එ්වා මග‘න් සිදු කරන අනර්ථකාරී දෙයක් වන්නේ මුදල් හරි හම්බ කිරීමේ විවිධාකාර ව්‍යාපෘතීන් සැලසුම් කරමින් දැවැන්ත භෞතික සංවර්ධන කටයුතු වෙනුවෙන් පියවර ගැනීමයි. මේ තත්වය නිසා අවසානයේ සිදුවන්නේ අධ්‍යාපන කි‍්‍රයාවලිය දුබල වීමය.

පාසල් සංස්කෘතිය අර්ථසම්පන්නව ගොඩ නැඟීමට නම්, ප‍්‍රාථමික අංශය වෙනම පාසලක් ලෙස ගොඩ නැඟීම අවශ්‍යම වේ. සෑම දරුවෙකුම නිවසට ආසන්නයේ ප‍්‍රාථමික පාසලට යන තත්වය යහපත්ය. සුභග දරුවන්ට ගැළපෙන පාසලකට ඇතුළත්වීමට හැකි අන්දමේ පසුබිමක් ද එ් අනුව නිර්මාණය කළ හැකිය. පහ වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන් ඉගෙන ගන්නා පාසල තවත් පාසලක් විය යුතුය. උසස් පෙළ දරුවන් ඉගෙන ගන්නා පාසල තවත් පාසලක් විය යුතුය.

පාසලක ව්‍යුහය කොටස් තුනකට පරිවර්තනය කරන විට, විදුහල්පති තනතුර, ගුරු තනතුර හා අනෙක් පරිපාලනය සම්බන්ධ උචිත පුද්ගලයන් විශේෂඥ තලයකින් ගොඩනැඟීමට පුළුවන. ප‍්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ විදුහල්පතිවරයා, ගුරුවරයා, උපදේශකයා මෙන්ම පරිපාලකයා ඊට අදාළ කුසලතා සම්පූර්ණ කර තිබෙන, ඊට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා තිබෙන විශේෂඥයන් වූ කල දරුවන්ට සිදුවන අනර්ථයන් අවම වන අතර අර්ථයන් විශාලය. එලෙස පිබිදෙන දරුවා පා නඟන්නේ එ් වයසට අදාළ දරුවන් ශික්ෂණයට නිස්සන් වෙතටය. එ් නිසා නව යොවුන් විය හා සම්බන්ධව තත්වය යට කී අන්දමින් ගොඩ නැඟිය යුතුය. උසස් පෙළ දරුවන්ට ද එය එ් ආකාරම විය යුතුය.

අනෙක් කාරණාව වන්නේ මිශ‍්‍ර අධ්‍යාපනයේ වැදගත්කම ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. අද පාසල් බාලක බාලිකා වශයෙන් බෙදා ඇත. එ් බෙදීමෙන් කිසිම විනයක් රැුකිය නොහැකිය. අගනුවර හා ප‍්‍රධාන නගරවල තරුණ දරුවන් සැහැසි කටයුතු කරන්නේ, සංවිධානාත්මකව පාසල් කරා ගොස් හබ කරන්නේ අප දරුවන් වෙන්කර ලබා දී තිබෙන විනය යහපත් නිසා ද? පාසල් ගැහැනු දරුවන්ට වෙනමත්, පිරිමි දරුවන්ට වෙනමත් පවත්වමින්, විශ්වවිද්‍යාල දෙපිරිසටම එකට ගොඩනඟා තිබෙන්නේ මන් ද? මා කල්පනා කරන්නේ අධ්‍යාපන කි‍්‍රයාවලියේ දී ගැහැනු පිරිමි වශයෙන් වෙන් කිරීම මොන අන්දමකින්වත් ”වඩාත් සුදුසු” නොවන බවයි.

විෂය නිර්දේශ

අපගේ පාසල්වල භාවිත කෙරෙන සියලූ විෂය නිර්දේශ දරුවන්ට ඔරොත්තු නොදෙන තරම් විශාලය. එ් විෂය නිර්දේශ නිසා දරුවන් පමණක් නොව ගුරු භවතුන් ද විශාල පීඩනයක් ලබන බව පැහැදිලිය. මේ අති විශාල විෂය නිර්දේශයකට ගුරුවරයා යට කර තිබෙන නිසා ගුරුවරයාට දරුවන් සමඟ සතුටින් ගත කිරීමට කාලයක් නැත. ගුරුවරයෙකු දරුවන් සමඟ සතුටින් කාලය ගත කිරීම අධ්‍යාපනයේ සාර්ථකත්වයට හා අධ්‍යාපනය නම් උතුම් කටයුත්ත රසවත් වීමට අදාළ බව පිළිගත් සිද්ධාන්තයකි. දරුවන්ගේ ජීවිතාවබෝධය පුළුල් කිරීම, දරුවන්ගේ ආකල්ප වර්ධනය, දරුවන්ගේ කුසලතා හඳුනා ගැනීම හා එ්වා දීප්තිමත් කිරීම උදෙසා ගුරුවරයා හා දරුවන් අතර මිත‍්‍රශීලී සම්බන්ධය ඉතා වැදගත් වේ. එ් සඳහා සතුටින් ගත කිරීමට කාලයක් අවශ්‍ය වන්නේය. විශාල විෂය නිර්දේශ කාලය සාහසික ලෙස පැහැර ගෙන තිබේ.

අධ්‍යාපන පරිපාලනය

වත්මනෙහි අධ්‍යාපන පරිපාලනය සම්බන්ධ ගැටලූවක් විද්‍යාමාන වන්නේ විෂය අධ්‍යක්ෂ නමැති තනතුර ඔස්සේ බව පළපුරුදු ගුරුභවතුන් සහ විදුහල්පතිවරුන්/විදුහල්පතිවරියන්ගේ අදහස්වලින් පැහැදිලි වේ. කිසිම විද්‍යාත්මක අවශ්‍යතාවක් හෝ පදනමක් නැතිව ගුරු භවතුන්ට පිරවීමට කඩදාසි තොගයක් අද ලබා දෙන තත්වයක් ඇත. ඉගැන්වීම සිදු නොකරම ඒ කඩදාසි ටික හොඳින් සම්පූර්ණ කර හොඳ ගුරුවරයෙකු ලෙස පවතින්නට ද අද පුළුවන. මේ කඩදාසි පිරවීම සමඟ ගුරුවරයාගේ චරිතයෙන් හරි අඩක් ඉවත් කර එ් අඩ ලිපිකරුවෙකුගේ වැඩ කොටසකට පෙරළා ඇත. කඩදාසි පිරවීමට උපදෙස් දෙන විෂය අධ්‍යක්ෂවරුන් බහුතරයක් දේශපාලන පාදඩකරණය නිසා උපන් තානාන්තර බව පැවසීම නිවැරදිය. අද වන විට විෂය අධ්‍යක්ෂවරුන් සෑහෙන සංඛ්‍යාවක් කරන්නේ දේශපාලන කටයුතුය.

අද අපට පාසල් ඇතත් අධ්‍යාපන කි‍්‍රයාවලිය යහපත්ව හා පැහැපත්ව පාසල් තුළ නැත්නම් අතිශය තරඟකාරී මුහුණුවරක පවතින විභාග සඳහා මුහුණ දෙන දරුවන් පාසල් යන්නේ කුමකට ද?

ravaya -
Read more
Friday, March 14, 2014
රටක ඉරණම පවුල් පෙළපෙතකින් පෙළගැසෙන විට - නිරූපමා සුබ්‍ර​මනියම්

චන්ද්‍රිකා කුමාරණතුංගගේ අතීත මතක සටහන් අතර, ඇය එකොළොස් වියැතිව සිටියදී ගත් එක් පින්තූරයක් තිබේ. එහි සිටින්නේ විසිවැනි සියවසේ දශක පහක කාල පරාසයක් තුළ දකුණු ආසියාවේ විවිධ රටවල අගමැති ධුරයට පත්වූ පුද්ගලයන් පස් දෙනෙකි:

ඇගේ පියා, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක, ඇගේ මව, සිරිමාවෝ බණ්ඩාරනායක, ජවහර් ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ චන්ද්‍රිකා කුමාරණතුංග (1994 දී ජනාධිපති වීමට පෙර ඇය ලංකාවේ අගමැතිවරිය වශයෙන් පත්ව සිටියාය) ඒ අයවළුන්ය. 1956 දී ශ‍්‍රී ලංකාවට ගිය මේ ගමනේ දී, ඉන්දිරා ගාන්ධි තම පුත් රජිව් ගාන්ධිවත් එක්කරගෙන ගොස් සිටියේ නම්, එම පින්තූරයේ අගමැතිවරුන් පස් දෙනෙකු සිටින්නට තිබුණි.

නේරු-ගාන්ධි පවුල් වංශයේ තවත් උරුමක්කාරයෙක් ඔහුගේ පක්ෂයේ මැතිවරණ සටනකට නායකත්වය සැපයීමට දැන් සැරසෙමින් සිටී. එය සාර්ථක වුවහොත්, ඔහු එම පවුලෙන් පත්වෙන ඉන්දියාවේ හතරවැනි අගමැතිවරයා වනු ඇත. එවැනි උසස් තනතුරක් සඳහා වන ඔහුගේ සුදුසුකම් ගැන මතුවන සියලූ සැකසාංකා, ‘වෙනත් විකල්පයක් නැතැ’ යි යන මහා පර්වතයේ බිඳී නැසී යයි. අනිත් අතට, වෙනත් විකල්පයක් තිබුණත්, එය පවා ඇත්තේ එම පවුල තුළම බවට වන විශ්වාසයක් ද තිබේ.

රාහුල් ගාන්ධි යනු, දකුණු ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල්වල මේ රාජවංශික පවුල් පැවැත්මේ ඇති යම් නොවැළැක්විය හැකි ගතියක් පෙන්නුම් කරන අළුත්ම නිදර්ශනයක් පමණි. ඝාතනය වූ සැමියා වෙනුවෙන් බිරිඳ කරළියට ඒම, ඝාතනය වූ බිරිඳ වෙනුවෙන් සැමියා කරළියට ඒම, ඝාතනය වූ පියා වෙනුවෙන් දියණියක් කරළියට ඒම සහ අම්මාගේ තනතුරට පුතෙකු පත්වීම, මේ රටවල්වල සාමාන්‍ය සංසිද්ධියකි. ඉන්දියාවේ මේ තත්වය දකින්ට ඇත්තේ, කොන්ග‍්‍රස් පක්ෂය තුළ පමණක් නොවේ. ඉන්දියාවේ සෑම තැනකම – ජාතික සම්මේලනය වේවා, අකාලි දාල් වේවා, සමාජවාදී පක්ෂය වේවා, ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂය වේවා, ජාතික කොන්ග‍්‍රස් පක්ෂය වේවා, රාෂ්ටී‍්‍රය ජනතා දාල් වේවා, ෂිව් සේනා වේවා – ඒ සෑම තැනකම සම්මත චාරිත‍්‍රය වන්නේ, මේ කියන රාජවංශික උන්නතියයි. එය නැත්තේ, වාමාංශික පක්ෂවල සහ භාරතීය ජනතා පක්ෂයේ පමණි. මේ රෝගබීජය, පක්ෂයක නායකත්වයට පමණක් නොව, ඒවායේ පහළ සාමාජිකත්වයට ද රූරන්නේය. ඒ අංශයෙන් ගත් විට, භාරතීය ජනතා පක්ෂය පවා නිදොස් නොවේ. ඒ අයවළුන් තම තමන්ගේ ආසන සළකන්නේ, පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දිය හැකි, තමන්ගේ නින්දගම් වශයෙනි. පාකිස්තානයේදීත්, එරටේ ‘පාකිස්තාන ජනතා පක්ෂයේ’ බූතෝලා, ෂරීෆ්ලා සහ වෙනත් පවුල්, ඉන්දියාවේ ගාන්ධිලාට වෙනස් නොවෙත්.

පක්ෂයක දීර්ඝ කාලීන පැවැත්ම තුළ, අධිකාරී පවුල් නායකත්වයකින් ලැබෙන ප‍්‍රතිලාභ ක්ෂය වන යම් මොහොතක් ද පැමිණිය යුතු යැයි කෙනෙකුට සිතේ. එවිට, උරුමයෙන් පිටස්තර කෙනෙකු නායකත්වයට වඩාත් සුදුසු බව පෙනෙන්ට පිළිවන. එහෙත්, තිබෙන අත්දැකීම් අනුව, ඒ මොහොතට තවමත් ඉන්දියාව පැමිණ නැති බව කිව යුතුය.

පසුගිය වසර පහ තුළ මුහුණදුන් මැතිවරණ පරාජයන් තිබියේ වී නමුත්, නායකත්වය තුළ පැහැදිළිව ස්ථානගත වීමට පොල්මක්කාර පවුලම පවා අසාර්ථකව සිටියේ වී නමුත්, තමන්ගේ ගැලවීම ඇත්තේ ගාන්ධි පවුල තුළම යැයි තවමත් කොන්ග‍්‍රස් පක්ෂය සිතයි. ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂයත්, එහි නායක පවුලේ සාමාජිකයන් පක්ෂ නායකත්වය සඳහා ඇනකොටා ගනිද්දිත්, මහළු වියට පත්වෙමින් සිටින එහි ගෝත්‍රික පියාට ඒ රණ්ඩුසරුවල් බේරුමක් කර දීමට නොහැකිව තිබියදීත්, එම පක්ෂය කටයුතු කරන්නේ ද, එකී පවුලේ අභිමතයට යටත්ව ය. ඊට එරෙහිව යම් කසුකුසුවක් ඇතොත් එය යටපත් කරනු ලැබේ. ප‍්‍රශ්නය වන්නේ, මෙවැනි රාජවංශික පවුල්, නායකත්ව හැකියාවන් සහිත, තමන්ගෙන් ‘පිටස්තරයන්’ කිසිවෙකු දේශපාලනය තුළ පුහුණු කරවනු නොලැබීමයි. එය, ඔවුන්ගේ අභිවෘද්ධියට සහ චිරස්ථිතියට පෙරලා තුඩුදෙයි. තීරණාත්මක මොහොත පැමිණි විට, නායකත්වයට එම පවුලෙන්ම හැර වෙනත් විකල්පයක් නැතැ යි කියන්නේ, එසේ ඇති කරගත් සන්දර්භයක් තුළ ය.

ව්‍යතිරේකයක්
එසේ වතුදු, පුදුමයකට මෙන්, ඇතැම් දේශපාලනික හේතූන් සහ පෞද්ගලික තේරීම් නිසා මෙවැනි පාරම්පරික පාලක පවුලක් දේශපාලනයෙන් සමුගත් එක් අවස්ථාවක් දකුණු ආසියාවෙන් හමුවෙයි. තමන් විසින් තව වසර හතරකින් ලෝකයේ ප‍්‍රථම පවුල් පාලන පෙළපත ආරම්භ කරනු ඇතැ යි, චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඉහත පින්තූරය 1956 දී ගන්නා අවස්ථාවේ, බණ්ඩාරනායකලාට දැනගන්ට ක‍්‍රමයක් නොවුණි. 1959 දී බණ්ඩාරනායක ඝාතනයේ සොවින් තැවෙමින් සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීමට බලකෙරුණි. එයින් හැට වරසක් ගිය තැන, ඇගේ අනුප‍්‍රාප්තිකාව, තමන්ගේම පවුල ගොඩනංවන ලද සහ පෝෂණය කරන ලද පක්ෂයේ පාලනය අතහැර දේශපාලනයෙන් පසුබැසීමට තීරණය කළ, දකුණු ආසියාවේ ප‍්‍රථම සහ, සමහර විට එකම තැනැත්තිය ද වුණි. මීට ප‍්‍රතිපක්ෂයේ නිදර්ශනයෙන් පිරී ඇති දේශපාලනික භූදර්ශනයක් තුළ, මෙවැනි නිදසුනක් ගැන වැඩියෙන් කතාබහ වන්නේ නැත.

මවගේ ඇවෑමෙන් පක්ෂයේ නායිකාව බවට පත්වූ චන්ද්‍රිකා කුමාරණතුංග, 2005 වන තෙක්, දෙවරක්ම ජනාධිපති ධුරය ද හෙබවූවාය. ඇගේ අභිමතය පරිදි කරුණු සිද්ධ වුණි නම්, ඈ ඊට වැඩි කාලයක් රටේ නායකත්වයේ සිටින්නට තිබුණි. එහෙත් එදා පැවති ව්‍යවස්ථාව තුළ, ජනාධිපති ධුරය වාර දෙකකට සීමා වී තිබුණි. අගමැතිවරයා විධායකය වන වෙස්ට්මින්ස්ටර් මාදිලියේ පාලන ක‍්‍රමයක් හඳුන්වා දෙමින් එහි අගමැති ධුරයේ තවදුරටත් රැුඳී සිටීමට ඇය තුළ පැවති කැමැත්ත, පක්ෂය ඇතුළේම සිටි ඇගේ විරුද්ධවාදීන් සේම විපක්ෂය ද විසින් ව්‍යර්ථ කරන ලදි. ඇත්තෙන්ම, මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පැකේජය තුළ පැවති උතුරු නැගෙනහිරට බලය බෙදා හැරීමේ යෝජනාව පවා ක‍්‍රියාත්මක කළ නොහැකි වුණේ, නව ක‍්‍රමය තුළ ඇති කෙරෙන අගමැති ධුරය කෙරෙහි ඇය තුළ පැවති අභිලාෂය නිසා යැයි කියැවේ.

දෙවැනි වාරය සඳහා තමා දිව්රුම් දී ඇත්තේ, ඡන්දයෙන් තේරී පත්වීමෙන් වසරකට පසුව (2000) යැයි කියන තර්කය යටතේ, තව අවුරුද්දක් බලයේ සිටීමට ඇත්තෙන්ම ඇයට උවමනා විය. එහෙත් අධිකරණය ඊට හරස් විය. ඇගේ අනුප‍්‍රාප්තිකත්වයට වසර ගණනාවක් තිස්සේ ඇස ගසාගෙන සිටි මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තේය. ඒ තත්වය තුළ, දේශපාලනික වශයෙන් මෙන්ම නීතිමය වශයෙන් ද තමා වටකොට ඇතැ යි තේරුම්ගත් චන්ද්‍රිකා කුමාරණතුංග බලය අතහැරියාය. ඒ වන විට, පක්ෂ නායිකාව වශයෙන් ඇගේ ජනප‍්‍රියත්වය, 1994 දී ඇගේ මව විසින් ඇයව පක්ෂ නායකත්වයට තෝරාගත් අවස්ථාවේ පැවති ජනප‍්‍රියත්වයට සමාන නොවීය. එසේ හෙයින්, රාජපක්ෂ කෙරෙහි වන තමාගේ අමනාපය පසෙකින් තැබූ ඈ, තමාගේ සහෝදරයා වන අනුරව ඊළඟ නායකත්වයට පත්කරගත හැකිව තිබියදීත්, රාජපක්ෂගේ අපේක්ෂකත්වයට සහයෝගය දැක්වූවාය. පවුලේ උරුමය ගැන වඩාත් තද ආශාවකින් පෙලූණු අනුර, අනිත් අතින්, තමාගේ උන්නතිකාමී ජවය හැංගුවේ නැත. ඊට පෙර, මව විසින් පක්ෂයේ නායකත්වයට තමා අතහැර චන්ද්‍රිකාව පත්කර ගැනීම ගැන උරණව, ඔහු කෙටි කාලයකට එක්සත් ජාතික පක්ෂයට ද ගොස් තිබුණි. කෙසේ වෙතත්, එක දිගටම අවිවාහකව සිටි ඔහු, 2008 දී මියගියේය. පවුලේ වැඩිමහල් දියණිය වූ සුනේත‍්‍රා, ඊට බොහෝ කලකට පෙර සිටිම දේශපාලනයෙන් ඈත්ව සිටියාය.

පක්ෂයේ සිටි සිය හිතවතුන් හරහා තම පවුලේ බලපෑම දිගටම පක්ෂය කෙරෙහි අභ්‍යාස කිරීමට චන්ද්‍රිකා උත්සාහ කෙළේ නැත. කොන්ග‍්‍රස් පක්ෂය කෙරෙහි තිබූ පවුලේ බලය කිසි විටෙක අතනොහැරිය ගාන්ධි පවුල මෙන් නොව, තමා වෙනුවෙන් හෝ තම පවුලේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂයේ යම් ස්ථානයක් රැුකගත යුතුව ඇතැ යි ඈ කල්පනා නොකළාය. ඒ වෙනුවට, ඈ ඉතා පහසුවෙන්ම පෞද්ගලික දිවියකට පිලිපන්නාය. එසේම, අනුප‍්‍රාප්තිකයා ගැන පැහැදුනු සිතක් නැතිව සිටියේ වී මුත්, ඈ තමන්ගේ වැඩක් බලාගෙන කල් ගෙව්වාය.

බලයෙන් විශ‍්‍රාම ගැනීමට ඈ ගත් තීරණය, සමහර විට, තමාගේ කිසි දරුවෙකු දේශපාලනයට ගෙන නොඒමට මුල සිටම ඈ ගෙන තිබූ තීරණයක් නිසා, වඩාත් පහසු වන්නට ඇත. ඈ බලයෙන් ඉවත් වන විට ඔවුන් අඩු වයසක සිටියා නොවේ – ඇගේ දියණිය, එවකට එංගලන්තයේ වෛද්‍යවරියක වශයෙන් සේවය කරිමින් සිටි යසෝධරාට, එවිට වයස 25 ක් විය. පශු වෛද්‍යවරයෙකු වීමට උගනිමින් සිටි පුතා විමුක්තිට, වයස 23 ක් විය. ඇගේ එක දරුවෙකුවත් නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් නොවීම ගැන යමෙකු විස්මය පළකළ හැම විටකම ඇය කියන්නේ, ඔවුන් කුඩා කල සිටම තමා ඔවුන්ගේ ‘‘මොළ සේ දූ ’ බවයි. අද ඔවුන් දෙන්නාම තම තමන්ගේ වෘත්තීන්හි නියැලෙමින්, ලංකාවෙන් පිට අප‍්‍රකටව වෙසෙති. පියා සහ සැමියා යන දෙන්නාම මිනීමරුවන්ගේ වෙඩි පහරට ලක්ව මියගොස් සිටි සහ තමා ද එවැනි ප‍්‍රයත්නයකින් දිවි ගලවාගෙන සිටි තත්වයක් තුළ, තමාගේ දරුවන් ද එවැන්නකට බිලි විය හැකිය යන තමන් තුළ වන බිය චන්ද්‍රිකා කිසි විටෙක වසං කෙළේ නැත.

බණ්ඩාරනායකලා වෙනුවට තමාගේ විස්තීරණ පවුල් ගස, බල මර්මස්ථාන තුළ පැලපදියම් කරගෙන සිටින ජනාධිපති රාජපක්ෂ ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළම කෝන්තර ලියලමින් තිබෙන තත්වයක් මධ්‍යයේ, චන්ද්‍රිකා නැවත වරක් දේශපාලනයට පිවිසීමට යන්නේය යන හාහෝව පසුගිය සති කිහිපයේ ලංකාවේ පැතිරෙමින් තිබේ. එහෙත් ඇයටවත්, ඇගේ දරුවන්ටවත් පක්ෂයේ නායකත්වය ගන්නැ යි කරන බලවත් ඉල්ලීමක් ඇත්තේ නැත. නැවත දේශපාලනයට ඒමට ඈ තීරණය කළත්, එය කලින් සිටි පක්ෂයම නොවීමටත් ඉඩ තිබේ.

නායකත්වයේ සුජාත භාවය දිනා ගැනෙන්නේ ද මැතිවරණවලට තරග වැදීම තුළින්ම නම්, තමන් යම් බලයක් පවුලෙන් උරුම කර ගැනීම ප‍්‍රශ්නයක් වන්නේ කෙසේදැ යි, දකුණු ආසියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල බලය හොබවන අධිපති පාලකයෝ බොහෝ විට අසති. එම ප‍්‍රශ්නයට පිළිතුර සැපයෙන්නේ තවත් ප‍්‍රශ්නයකිනි: ස්ටැලින් හෝ ඕමාර් හෝ රාහුල් හෝ අකිලේෂ්, යම් අධිපති පාලක පවුලක කොටසක්කරුවන් නොවුණි නම්, ඔවුන් ලද නායකත්ව අවස්ථාව ඒ ආකාරයෙන්ම ඔවුන්ට ලැබන්නට ඉඩ තිබුණි ද? කකුල් දෙකම දොරකඩ තබා ගැනීමට හැකිවීමේ පවුල් වරප‍්‍රසාදය ඔවුන් පාවිච්චි කරන විට සිදුවන්නේ, එම අවස්ථාව සඳහා ඊට වඩා සුදුසුකම් ඇති අනිත් සියල්ලන්ට එම දොරටුව වැසීයාමයි.

රාහුල් ගාන්ධි මෙය වටහාගෙන ඇති බව දකින්ට ලැබීම අපූරුවකි: තමාගේ පියා (රජිව් ගාන්ධි), ආච්චි අම්මා (ඉන්දිරා ගාන්ධි), සහ මීමුත්තා (ජවහර්ලාල් නේරු) නොවන්නට, තමා අද සිටින තත්වයේ නොසිටිනු ඇතැ යි ඔහු වරක් ප‍්‍රකාශ කෙළේය. හැබැයි, එසේ කී පමණින්, එම වංශයේ වරප‍්‍රසාදිත තත්වයට ඔහු පස්ස හැරෙව්වේ නැත. එසේ කළ හැකි දැ යි පෙන්විය හැක්කේ, කුමාරණතුංග කෙනෙකුට පමණි.

*2014 පෙබරවාරි 28 වැනි දා ‘ද හින්දු’ පුවත්පතේ පළවූ When A Dynasty Read The Futur නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Read more
Thursday, March 13, 2014
සෙල්ලමේ ඉත්තෝ  --  තිසරණී ගුණසේකර

ඇත්තේ හොඳ හා නරක ලෙසින් ඇති ජර්මනි දෙකක් නොවේ. කපටිකම තුළින් හොඳම දේ දුෂ්ඨත්වයට හැරවූ එකක් පමණි. (තෝමස් මාන්, ජර්මනිය හා ජර්මානුවෝ)

2011දී ඇරඹී පෙරදිග සිට අපරදිග දක්වා හමාගිය අසහන රැුල්ල ගැන ජෝශප් ස්ටිග්ලිට්ස්ගේ අදහස් දැක්වීම ඇරඹුණේ, ‘‘ආර්ථික හා දේශපාලන පද්ධතීන්ගේ අසමත්වීම පොදුවේ තේරුම්ගත හැක්කේ ඒ දෙකම මූලිකවම අසාධාරණ නිසා බවය’’ යන ප‍්‍රකාශයෙනි. 2011 ශ‍්‍රී ලංකාවට නම් නිහඬ වසරක් විය. සිංහල ජනතාවගෙන් බහුතරයක් පාලකයන් යුද ජයග‍්‍රහණය කළා සේ ම සංවර්ධනයේ ප‍්‍රතිලාභද ලබාදෙනු ඇතැ’යි සිහින දකිමින් සිටියහ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණයකින් හෙළිවූයේ 2011දී සිංහලයන් 70%ක විශාල බහුතරයක් ඉදිරි වසර දෙකේදී සාමාන්‍ය ආර්ථික තත්ත්වය යහපත් වනු ඇතැ’යි දැඩි ලෙස බලාපොරොත්තු වූ බවය. මෙසේ විශ්වාසයක් ඇතිවූයේ බහුතරයක් සිංහල ජනතාව තමන්ගේ ආර්ථික තත්ත්වය මෙන්ම රටේ ආර්ථිකයත් යුද්ධයෙන් පසු දියුණු වනු ඇතැ’යි තිබූ පිළිගැනීම මතය.

මේ සුබසාධනය පිළිබඳ හැඟීම, විශ්වාසය සහ අපේක්ෂා ඊළඟ වසර දෙක තුළදී වාෂ්පවීමට පටන් ගනී. එහෙත් මේ වනවිට රාජපක්ෂලා ජනතාවගේ අතෘප්තිය වාර්ගික ආගමික අංශ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි. ඉදිරි වසර දෙක තුළදී අලූත් දේශපාලන ආර්ථික හා සමාජයීය අදහස් ජනතාවගේ සිත්සතන් තුළට බහාලීමට බොදු බල සේනාව සහ තවත් එවැනි අන්තවාදී සංවිධාන පාලක සහෝදරයන්ගේ පූර්ණ අනුග‍්‍රහය යටතේ පියවර ගත්හ. මින් සෑහෙන දුරට ජනතාව වල්මත් කිරීමට හැකිවිය. දේශපාලන හා ආර්ථික ක‍්‍රම තුළ අසාධාරණත්වයක් ඇත්තේ සුළු ජාතීන් නිසා බවද සිංහල ජාතියේ ආරක්ෂාවට සුළු ජාතීන්ගේ තර්ජන ඇති බැවින් සාමයේ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට නොහැකි වී ඇති බවද පවසන ලදි. ප‍්‍රධාන ප‍්‍රශ්නය රාජපක්ෂලාගේ වැරදි පාලනය නොව සුළු ජාතීන් වරප‍්‍රසාද ලැබීම හෝ මංකොල්ලකෑම බවට පත්විය.

ශ‍්‍රී ලංකාව තුළ තරුණ විරැුකියාව 25%-30%ක ඉහළ මට්ටමක පවතී. උගත් විරැුකියා මට්ටම 10.2%කි. රාජපක්ෂ ආර්ථික ප‍්‍රතිපත්ති තුළින් ජාතික වශයෙන් රැුකියා අවස්ථා හෝ ආදායම් හෝ ජනනය නොවන බැවින් තරුණයන් වාර්ගික හා ආගමික ලෙසින් වෙන් කිරීමට සහෝදර කල්ලිය කාලය හා උත්සාහය යෙදුවෝය. ඔවුන් එකිනෙකා භේද කරන ලදි. තමන්ට පොදු අවාසනාවක් උදාකළ උන්ට විරුද්ධව එක්සත්වීම වැළැක්වීමට මීට වඩා හොඳ උපායක් තිබේද? ශ‍්‍රී ලංකාව තවත් රටක් සමග දේශ සීමාවකින් වෙන්වී තිබුණේ නම් ලේසියෙන්ම දේශසීමා අර්බුද ඇවිළවීමට තිබුණි. ඉන්දීය නැත්නම් බටහිර ආක‍්‍රමණයක් ගැන බියක් ඇවිලවීමට උත්සාහ දැරුවත් විමල් වීරවංශගේ උපවාසය තනිකර විහිළුවක් වූයෙන් එය සාර්ථක වූයේ නැත. සුළු ජාතික භීතිකාව බලගතු එකකි. එයින් වෙනස් හා නොතේරෙන දෙයට ඇති මානව විකර්ෂණය යොදාගත හැක්කේය. අතීතයේද එය සාර්ථක වී තිබේ.

ස්වභාෂා, හර්තාල් සහ සිංහල පමණයි.

‘සිංහල පමණයි’ උමතුව ඇතිවීමට, එය නැවත නැවත උත්සන්නවීමට සහ සුළු වාර්ගික භීතිකාවන් ඇතිකර ගැනීමට නිසඟ හෝ අනිවාර්ය හේතුවක් නොමැත. 1953 හර්තාලයෙන් ඉස්මතු වූ සමාජ ආර්ථික අසහනය වසර දෙකකට පසුව වාර්ගික හා ආගමික අසහනයක් බවට පෙරළන ලද්දේ කෙසේද? ඒ වෙනස් කිරීම තේරුම් ගැනීම වැදගත්වන්නේ රාජපක්ෂ ලාගේ උත්සාහයද ලංකාව ඒ සමානම ප‍්‍රපාතයකට ඇදගන යෑම වන බැවිනි.

1953 හර්තාලයේදී සියලූ වාර්ගික හා ආගමික ලාංකිකයෝ තමන්ගේ පාලකයන්ට එරෙහිව නැගීසිටියහ. එය ජාතිවාදයක් අසලකවත් නැති අව්‍යාජ ජනතා නැගිටීමක් විය. එහි ජවය හා දිශාව එලෙසින්ම ඉදිරියට ගියේ නම් 1956 හානිය හා ඉන් ඇතිවූ විපත් මෙන්ම 30 වසරක යුද්ධයද වළක්වා ගත හැකිව තිබුණි. නිදහස සඳහා කරන ලද අරගලය තුළත් ඉන් පසුවත් විශේෂයෙන් මධ්‍යම පන්තිය තුළ ඉංග‍්‍රීසිය වෙනුවට දේශීය භාෂා ක‍්‍රමිකව ආදේශ කිරීමේ වුවමනාව තිබිණ. ඉහළ පෙළැන්තියේ බහුතරයක් මීට එකඟව සිටියහ. 1955 වන තෙක් තිබුණේ ‘සිංහල පමණක් ඉල්ලීම’ නොව ‘ස්වභාෂා’ ව්‍යාපාරයයි. ‘සිංහල පමණයි’ බලෙන් දමිළ ජනතාව වෙත පැටවීමට පෙර බොහෝ දමිළයෝ සිංහල ඉගෙන ගැනීමේ අවශ්‍යතාව පිළිගෙන සිටියහ.

1938 සහ 1940දී හින්දු අධ්‍යාපන මණ්ඩලයට උතුරේ පාසල්වල සිංහල අනිවාර්ය විෂයයක් ලෙස හඳුන්වා දෙන ලදී. රට පුරාම පාසල්වල සිංහල හා දෙමළ භාෂාවන් අනිවාර්ය කළයුතුයැ’යි යාපනේ තරුණ සම්මේලනය ඉල්ලා සිටියේය. 1943දී ජේ.ආර්. ජයවර්ධන සිංහල පමණක් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ප‍්‍රධාන ජනවර්ග තුනේ නායකයන් තිදෙනෙකු වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර, වී නල්ලයියා සහ ටී.බී. ජයා පනතෙහි භාෂා සමානත්වයක් ඇතිවන පරිදි සංශෝධන ඉදිරිපත් කළහ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සමභාෂා ප‍්‍රතිපත්තිය පිළිගත් අතර 1952 මැතිවරණය තරග කළේ ඒ පදනම මතය. එහිදී ලැබූ අනපේක්ෂිත පරාජයද බණ්ඩාරනායකට ස්වභාෂා ප‍්‍රතිපත්තිය ඉවත දමා සිංහල පමණක් ප‍්‍රතිපත්තියට යෑමට හේතු නොවීය. ඊට මාරුවූයේ 1955දීය. බණ්ඩාරනායක නිල වශයෙන්ම හර්තාලයෙන් ඉවත් වී සිටි අතර හර්තාලය කෙළින්ම වාමාංශික පක්ෂ ලැබූ ජයග‍්‍රහණයකි. 1952 මැතිවරණයේදී ලසසපය ශ‍්‍රීලනිපය ආසන්නයටම ඡුන්ද ලබාගත් අතර පොදුවේ වම ලැබූ ඡුන්ද සංඛ්‍යාව ශ‍්‍රීලනිපය ලැබූ ඡුන්ද සංඛ්‍යාවට වඩා වැඩිවිය. හර්තාලයේ සාර්ථකත්වය මත වාමාංශික පක්ෂවලට ඊළඟ මැති වරණයේදී එජාපය පරදවා සභාග ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සැබෑ හැකියාවක් තිබුණි. මින් එජාපයට විකල්පයක් වීමේ ශ‍්‍රීලනිප වුවමනාව හා බණ්ඩාරනායකගේ අගමැති වීමේ සිහිනය බිඳවැටීමට ඉඩ තිබුණි. මෙහිදී බණ්ඩාරනායක සිංහල පමණක් ප‍්‍රතිපත්තියට මාරුවී විපක්ෂ අවකාශය තුළ ජාතිවාදී බලවේගවලට ප‍්‍රමුඛත්වයක් ලබාගැනීමට ඉඩ සැලැසුවේය. එජාපය මේ මාරුවීමට එරෙහිව සටන් කිරීම වෙනුවට කළේ මාස කීපයකදී ඒ අවස්ථාවාදයට යටවීමය. වාමාංශය සමතැන් ප‍්‍රතිපත්තියේ සිටියත් සිංහල ජාතිවාදීන් වූ ශ‍්‍රීලනිප, එජාප හවුල හා මැතිවරණ ගිවිසුමකට ගියේය. එම ප‍්‍රතිපත්ති විරහිත ගිවිසුම හේතුවෙන් බණ්ඩාරනායක ජය ගත්තේය.

ඒ අනුව 1956 සිංහල පමණයි තුළ කිසිදු නොවැළැක්විය හැකි හෝ අනිවාර්යභාවයක් තිබුණේ නැත. 1955 තෙක්ම ‘සිංහල පමණයි’ ජනතාව සහ ඉහළ පෙළැන්තිය පසෙකට දමා තිබූ සටන් පාඨයක් විය. ස්වභාෂා වෙනුවෙන් පැවති ජනතා ඉල්ලීම බලයට කෑදර සුළු පිරිසක් තමන්ගේ උන්නතිය සඳහා ‘සිංහල පමණයි’ බවට හරවන ලදි. එය සාර්ථක කරගැනීමට හැකිවුණේ දකුණේ කිසිම ප‍්‍රධාන පක්ෂයක් ඊට විරුද්ධ නොවීම නිසාය.

මෙම බෙදීම හේතුවෙන් සිංහල හා දෙමළ ජාතිකවාද පොදු ශ‍්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැගීම සඳහා එක් දිශාවකට ගමන් කරනු වෙනුවට එකිනෙකාට එරෙහිව විරුද්ධත්වය තුළින් ශක්තිය රැුස්කර ගන්නා බලවේග බවට පත්විය. 1956දී ‘සිංහල පමණයි’ වෙනුවට ස්වභාෂා ප‍්‍රතිපත්තියේ සිටියේ නම් රටට හා එහි ජාතීන්ට අත්වූ ඉරණම මෙතරම් ලේ හලන එකක් නොවීමට ඉඩ තිබුණි.

ආර්ථික ප‍්‍රශ්න උග‍්‍රවී ජනතා අසහනය වැලිවේරියේ හෝ වනාතමුල්ලේ මෙන් මතුවී එනවිට වෙනත් භාෂාවක් කතා කරන වෙනත් දෙවියකු අදහන සතුරෙකු පිළිබඳ මිථ්‍යාවක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් රාජපක්ෂලාට හටගනී. විදේශ කටයුතු ඇමතිවරයා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරයා සමග පල්ලි සහ මුස්ලිම් දේවස් ථානවලට කරනු ලබන පහරදීම් සාධාරණීකරණය කරමින් කතා කළේ රාජපක්ෂලාගේ සුළු ජාතික භීතිකාව තහවුරු කිරීමටය. ‘ජනයා කුපිත කළ සිදුවීම්වලට සම්බන්ධ ස්ථාන ඇමතිවරයා විසින් නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ ඒවා පල්ලි නොව තාවකාලික යාඥා මධ්‍යස්ථාන බවය.’

බොබ් ඩිලන් මෙඞ්ගාර් ඉවෑන්ස්ගේ ඝාතකයා පිළිබඳ ගීතයෙන් ඉතිහාසය විසින් ඝාතකයන් ‘සෙල්ලමේ ඉත්තන්’ පමණක් බවට තීන්දු කරන බව කියයි. නැවත වරක සිංහලයන්ගේ සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම එයම නොවේවා.

ravaya -
Read more
චන්ද්‍රිකාගේ හතරවරං

"චන්ද්‍රිකා ඇයි හිටි හැටියේම රනිල්ව හමුවෙන්න ගියේ...?"

"ආගමික සංහිඳියාව ඇති කරන්නනේ..."
"මෙච්චර කල් ඉඳල හිටි හැටියේම ආගමික සංහිඳියාව ඇති කරන්න රනිල් හමුවුණේ ඇයි...?
"අනික ඡන්දයක් කට ළඟ තියෙද්දී..."
"බණ්ඩාරනායකලාට බේස් එක තියෙන ගම්පහ ඡන්දයත් තියෙන වෙලාවේම යන්නේ...?"

මේ චන්ද්‍රිකා රනිල් හමුව ගැන මිනිස්සු කියන කතාය.
මේ වගේම මංගල සහ ශ්‍රී පති 2007දී 'සිහිනයේ අභියෝගය' නමැති රට හදන ප්‍රතිපත්ති ප්‍රකාශනය අරගෙන රනිල් හමුවෙන්න රනිල්ගේ කාර්යාලයට ගියහ. වැඩි දවසක් ගියේ නැත. රනිල් - මංගල සහ ශ්‍රී පති එකට එක්වී 2008 අය - වැයෙන් ආණ්ඩුව වට්ටන්න සාකච්ඡා ආරම්භ කළහ.
"රනිල් - චන්ද්‍රිකා හමුවෙන් පස්සෙත් ඒකම වෙයිද...?"

කියන්න දන්නේ නැත.
'දේශපාලනය ගැන කිසිම දෙයක් කතා කළේ නැහැ...'
චන්ද්‍රිකා එළියට ඇවිත් මාධ්‍යයන්ට කීවාය.

"මම ආගමික සංහිඳියාව ගැන සාකච්ඡා කරන්න ජනාධිපතිගෙනුයි ඇමැතිවරුන්ගෙනුයි අවස්ථාව ඉල්ලල තියෙනවා. තවම ප්‍රතිචාර නැහැ..."
චන්ද්‍රිකා කියා තිබුණි.
ආගමික සංහිඳියාව කියන මාතෘකාව ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික බලවේග එක තැනකට ගෙන එන්න හොඳ මාතෘකාවකි. රනිල්ව හමුවීමටත් කලින් චන්ද්‍රිකා මහානායක හිමිවරුන් හමුවී මේ ගැන සාකච්ඡා කළ බව ඇය මාධ්‍යයන්ට කියා තිබිණි. ඊළඟට ඇයට කතෝලික, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයන් හමුවී මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන. විපක්‍ෂයේ මෙන්ම ආණ්ඩුවේ පක්‍ෂ ශ්‍රී ල.නි.ප.යේම මැති ඇමැතිවරුන් හමුවී ඇයට මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන. ඒ වගේම නීතිඥ, වෛද්‍ය ඇතුළු විද්වත් සංවිධාන පමණක් නොව මාධ්‍ය පවා හමු වී සාකච්ඡා කරන්න මෙය හොඳ මාතෘකාවකි.

ආගමික සංහිඳියාව යන මාතෘකාව යටතේ චන්ද්‍රිකා සතියෙන් සතිය මාධ්‍යයන්ට නිවුස් හදන කොට බිත්තර තම්බන ගාණට රත් වෙන්නේ මහින්දගේ පපුවය. චන්ද්‍රිකාගේ මේ හමුවීම් නතර කරන්න මහින්දට බැරිය. ඇය ආගමික සංහිඳියාව ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් ඉල්ලපුවාම මහින්ද කල්යල් බලන්නේ සංහිඳියාවට මුවාවෙලා ආණ්ඩුවේ ඇමැතිවරු හිඳින්න චන්ද්‍රිකා හැටහතර මායම් දානවාද කියා හිතල විය යුතුය. මහින්ද චන්ද්‍රිකා හමු වූ විට මේ වැඩේට රාජ්‍ය පිළිගැනීමක් ලැබේ. ඉන්පසු චන්ද්‍රිකා ඇමැතිවරුන් හමු වන විට එය නතර කරන්න මහින්දට බැරිය. චන්ද්‍රිකා එක්ක කතා කරන ඇමැතිවරුන් ගැන මහින්ද ඉන්නේ ඇහැ ගහගෙනය. මේ නිසාම ඇමැතිවරුන් චන්ද්‍රිකා එක්ක කතා කරන්න පණ බයය. ඒත් මේ වගේ වැඩක් අස්සේ ඇමැතිවරුන්ට චන්ද්‍රිකා හමුවී නිවී සැනසිල්ලේ කතා කරන්න පුළුවන.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලය පමණක් නොව රටේ විවිධ බල කණ්ඩායම් හමු වී සාකච්ඡා කොට චන්ද්‍රිකා ඉදිරිපත් කරන යෝජනාවලිය රටේම කතාබහට ලක් වෙන යෝජනාවලියක් විය හැකිය.

'පොදු අපේක්ෂකයා එන්නේ ඒ යෝජනාවලිය තුළින්ද...?'
ඒක නම් තවම කියන්න බැරිය. හැබැයි චන්ද්‍රිකා මේ වැඩේට බැහැල තියෙන්නේ නිකම්ම නිකන් කාලයක නොවේ. ඇය යූ.ඇන්.පී.යේ 17ත් වසරක ආණ්ඩුව වෙනස් කොට හරියටම වසර 20ක් පිරෙද්දීය.
1994 හරියටම මේ වගේ මාර්තු මාසයකදී චන්ද්‍රිකා හිටියේ දකුණේය. ඇය දකුණේ ගම් නියම්ගම් පුරා යමින් මහ රෑ එළිවෙන ජාමෙටත් රැස්වීම් තියමින් වසර 17කට පසු යළි ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් බලයට ගෙන එන්න දරදිය ඇද්දාය. චන්ද්‍රිකා රැල්ල කියල රැල්ලක් හැදුණේ ඒ කාලයේය. යූ.ඇන්.පී. ය හාන්සි වුණේ ඒ රැල්ලෙන්ය. චන්ද්‍රිකා දකුණට ගිහින් කීවේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ අවසානයක ආරම්භය සහතික කරල දෙන්න කියලාය. දකුණේ ජනතාව ඒ වැඩේ කරල දුන්නේය. දකුණ දිනලා චන්ද්‍රිකා රටම දින්නේ 1994 ජූලි මහ මැතිවරණයෙන්ය.

ඒ මෙයට හරියටම වසර 20කට කලින්ය. මෙයට හරියටම වසර 10කට කලින් චන්ද්‍රිකා 2001දී තමාට අහිමි වුණ ආණ්ඩුව යළි ලබා ගත්තාය. ඒත් හරියටම 2004 පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුව විසුරුවල අප්‍රේල් ඡන්දය තියලාය. ඇය යළි තමාට ආණ්ඩු බලය දෙන්න යැයි කියමින් රට වටා ගියේ හරියටම මේ වගේ 2004 මාර්තු මාසයේය. හැබැයි තමා බලය ඉල්ලන්නේ තමාට හිමි ශ්‍රී .ල.නි.ප. නායකත්වයත් නැති කරගෙන මහින්දව ජනාධිපති කරන ආණ්ඩුවක් පිහිටුවන්න යැයි චන්ද්‍රිකා එදා හීනෙන්වත් නොහිතන්න ඇත.
ඇත්තටම 2004 පාර්ලිමේන්තුව විසුරුවාලීම වළක්වා චන්ද්‍රිකා සහ එවකට අගමැති රනිල් අතර සංහිඳියාවක් ඇති කොට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න චන්ද්‍රිකාගේ විශ්වාසවන්තයා වූ මනෝ තිත්තවැල්ල සහ රනිල්ගේ විශ්වාසවන්ත මලික් සමරවික්‍රම අතර සාකච්ඡා ආරම්භ විය. එම සාකච්ඡාවලට ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහාය පළ කළහ. සාකච්ඡා පටන් ගන්නකොට චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක්ම අරගෙන තිබුණි. රාජ්‍ය ආරක්‍ෂක, පොලිස් සහ මාධ්‍ය එම අමාත්‍යංශ තුනය.

"මම ජේ.වී.පී. එක්ක ගිවිසුම් ගහනවාට වඩා මේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳන්න යූ.ඇන්.පී. එක්ක ගිවිසුමකට එන්න කැමැතියි. ඔයා රනිල්ට ගිහින් කියන්න මම ගත්ත අමාත්‍යංශ තුනම එක පාර දෙන්න බෑ. එතකොට මම විහිළුවක් වෙනවා. පොලිසිය භාර අමාත්‍යංශයයි, මාධ්‍ය එකයි මම දෙන්නම්. මම රනිල් එක්ක එකතු වෙලා සාම වැඩපිළිවෙළ ගැන එකඟතාවකට ආවාට පස්සේ ආරක්‍ෂක අමාත්‍යංශය දෙන්නම්. එතෙක් රනිල් එක්ක සාකච්ඡා කරල ආරක්‍ෂක අමාත්‍යංශයේ වැඩ කරගෙන යමු..."
මේ චන්ද්‍රිකා මලික්ට කී කතාවය. ඒත් රනිල් කීවේ පළමුව චන්ද්‍රිකා කරපු වැරැද්ද නිවැරැදි කරන්න ඕනෑ කියාය. සාකච්ඡා දිග්ගැස්සෙද්දී මංගලලා, කදිරගාමර්ලා සහ ජ.වි.පෙ. පාර්ලිමේන්තුව විසුරුවන ලෙස චන්ද්‍රිකාට බලපෑම් කළහ. චන්ද්‍රිකා ඔවුන්ගේ හඬට යට විය. එදා චන්ද්‍රිකා සහ රනිල් අතර සංහිඳියාව ඇති වුණා නම් අද මහින්ද මේ රටේ ජනාධිපති නොවේ. එහෙනම් මහින්දට අගමැතිකමවත් නැත. එහෙම වුණා නම් මහින්ද අදටත් විපක්‍ෂ නායකය.

එදා චන්ද්‍රිකා - රනිල් සංහිඳියාවට එරෙහි වූ මංගලලාත් ඒ කරපු ඓතිහාසික වරද ගැන කනගාටුව පළ කර ඇත. ජ.වි.පෙ. දෙකඩ වුණෙත් ඒ ඓතිහාසික වැරැද්ද නිසාය. ඒ වැරැද්ද නොකළා නම් අද ශ්‍රී .ල.නි.ප. - ජ.වි.පෙ. සන්ධාන විපක්‍ෂයේ විපක්‍ෂ නායකයා ජ.වි.පෙ.න්. බිහි වීමට ඉඩ තිබුණි. මහින්දට එහෙම නම් විපක්‍ෂ නායකකමත් නැත.
'ආගමික සංහිඳියාව හරහා චන්ද්‍රිකා ඒ ඓතිහාසික වැරැද්ද නිවැරැදි කරන්න යනවාද...?'

ඒක ගැන තවම කියන්න කල් වැඩිය. හැබැයි චන්ද්‍රිකා ආ වෙලාවේ රනිල් කීවේ එජාපයට පක්ෂයක් ලෙස සංහිඳියාවට එක් වෙන්න බැරි බවය.
'නොකියා කීවේ චන්ද්‍රිකා අපේක්ෂිකාව වුණොත් යූ.එන්.පී. සහාය නැති බවද?'
ඒක දන්නේ රනිල් විතරය.
කොහොම වුණත් 1994, 2004 වගේම 2014ත් චන්ද්‍රිකාට තීරණාත්මක විය යුතුය. මොකද හතර කියන්නේ චන්ද්‍රිකා පෙරළි කරන හතර පෙරළියේ වසරය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු
Read more
Wednesday, March 12, 2014
සයිරන් හඩවමින් යන ප‍්‍රභූ ප‍්‍රභූ ආරක්ෂක රථ වල යනවුන්ගේ නිරුවත -- උදුල් ප්‍රේමරත්න

එදා, සුද්දා අශ්වකරත්තයෙන් පාරේ යන කල ස්වදේශීකයන් අමුඩ ලේන්සුව කරෙන් ගෙන දෙකට නැමී පාරෙන් ඉවත් වී ඊට ඉඩ දිය යුතු විය. එසේ නොවුනහොත් අශ්වයාට තලන කසයෙන් සුද්දා ස්වදේශිකයන්ටද තැලීය.

සුද්දා වෙනුවට අද පාරේ ,පරන් භූන්, කියා ජාතියක් යති. ඔවුන්ගේ ගමනද එදා සුද්දා ගිය ගමනට වඩා වෙනසක් නැති බව මම අනුභූතිකව දැනගතිමි. අනුභූතික ලෙස දැන ගැනීම යනු පංචේන්ර්්  යන්ගෙන් යමක් දැන ගැනීමයි. මෙම දැනගැනීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ,අනුභූතික දැනගැනීමක්, වුයේ ඇස, කණ, නාසය, දිව, සම යන පංචඉන්ද්රීවයන් ම එකවර
Read more
මේ පලාපල සහ අනාවැකි කීමේදී ‍ජ්‍යොතිෂවේදීන් ප්‍රවේසම් විය යුතු කාලයක්  ‍

ජ්‍යොතිර්වේදී ශාස්ත්‍රාචාර්ය  අමරසේන වේගිරිය
වෛද්‍ය චමල් සංජීව මහතා එදිනෙදා සිදුවන ග්‍රහ මාරු සම්බන්ධ කර ගෙන ‍ජ්‍යොතීර්වේදීන් පවසන පලාපල පිළිබඳව දක්වන අභියෝගාත්මක තර්ක ගැන මා සහ ‍ජ්‍යොතීර්වේදී සුමනදාස නාමරත්න මහතා පෙබරවාරි 23 ඉරිදා ලක්බිම පුවත්පතෙන් කරුණු දක්වා ඇත.
මාර්තු 2 ඉරිදා ලක්බිම පුවත්පතින් වෛද්‍යාචාර්යතුමා ඒවාට පිළිතුරු සපයා ඇත. මා මුල් ලිපියෙන්ද සඳහන් කළ පරිදි මෙය අප අතර සිදුවන විවාදයක් හෝ අභියෝගයක් නොවන බවත් උගතුන්ගේ බුද්ධිමතුන්ගේ සුහද සංවාදයන් තුළින් ප්‍රඥාව  සහ යථාර්ථය  ඉස්මතු කර ගැනීමට දරන උත්සාහයක් ලෙසත් සැලකිය යුතුවේ.
අනාගත මහා පරිහානියක සලකුණු ලෙස දේශපාලනය නීතිය, සදාචාරය , ගුරුකම, වෙදකම ඇතුළු සියලු ක්‍ෂේත්‍රයන්හි මහා කඩා වැටීමක් අද වන විට  සමාජය තුළ ව්‍යාප්තව ඇති බව දකින්නට හැක.
මේ කඩා වැටීම ,පරිහානිය පිළිබඳව ‍ජ්‍යොතීර්වේදීන්ගේ පාර්ශ්වයෙන්ද සිදුවන බලපෑම සුළු පටු නොවේ. වෙනත් ක්‍ෂේත්‍රයන් මෙන්ම ‍ජ්‍යොතිෂයේ අව භාවිතයද මේ සඳහා බලපාන කාරණාවන් ලෙස මම  අදහස් කරමි.
වෛද්‍යවරයෙකු රෝගයක්
පිළිබඳව විනිශ්චය කිරීමේ දී සිය දැනුම , අත්දැකීමේ පරීක්ෂණ හා නිරීක්ෂණ ඒ සඳහා පාදක කර ගන්නා බව වෛද්‍යාචාර්යතුමා සඳහන් කරයි. සුළු වැරදීමකින් හෝ රෝගියාගේ ජීවිතය අවසන් විය හැක.
භෞතික ජීවිතයක් ආරක්ෂා කිරීම පිළිබඳව වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන බැරෑරුම් තත්ත්වය එලෙසින්  වෙදදුරුතුමා පවසයි.
පුද්ගලයෙකුගේ මනසට ඇතුල් වන වැරදි අදහසක්, ආකල්පයක් හෝ අනාවැකියක් නිසා සිදුවිය හැකි විනාශයද සුළු පටු නොවේ. පුද්ගලයෙකුගේ මනසට ඇතුල් කරන ඇඟවීමක් තුළින් ඔහු තුළ විශාල පරිවර්තනයක් සිදු කළ හැකි බව අධි මානසික විද්‍යාව තුළින් මනාව ඔප්පු කර තිබේ. මෙය යහපත් පැත්තට මෙන්ම අයහපත් පැත්තටද යොමු කළ හැකි සාධකයකි.
පලාපල හා අනාවැකි පැවසීමේ දී ‍ජ්‍යොතීර්වේදීන් වඩාත් ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. වර්තමාන හා එහි දියුණුව අනුව පුද්ගලයෙකු මෙන්ම මුළු මහත් සමාජයක් සුමගට හෝ නොමගට යැවිය හැකි  ශක්තියක් මෙය තුළ තිබේ. ශ්‍රව්‍ය, දෘෂ්‍ය හා මුද්‍රිත මාධ්‍ය තුළින් මේ සඳහා සිදුවන බලපෑම සුළු පටු නොවේ.
මුදල් ගෙවා රූපවාහිනියෙන් නම ගොඩ නගාගත් එක්තරා ‍ජ්‍යොතීර්වේදියෙකු යැයි නම සඳහන් අයෙකු මීට මාසයකට පෙර විශාල මුදලක් අයකර  කළ පලාපලයන් සියයට සියයක් සාර්ථක වූ පුද්ගලයෙකු  මට මහ රෝහලකදී මුණ ගැසුනි. පවු‍ලේ සියලු දෙනා සමග ඔහු බරපතළ රිය අනතුරකට මුහුණ පා තිබුණි. පලාපල
විශේෂඥයා කලින් ඔහුට ඒ බව පවසා ඇත. පලාපලය හරියට හරිගොස් තිබේ. මෙවැනි සිදුවීම් මා බොහෝ අවස්ථාවල දැක තිබේ.
මා අඩසියවසකට වැඩි කලක් ‍ජ්‍යොතිෂ කටයුතුවල නිරත වී සිටින්නෙමි. වෙදකමෙහිදී අවශ්‍ය වන ලෙසටම දැනුම, අත්දැකීම්, පරීක්ෂණ හා නිරීක්ෂණ මම ප්‍රයෝජනයට ගන්නෙමි.
ඒ අනුව ඉහත දැක්වූ සිද්ධියේ දී ‍ජ්‍යොතීර්වේදීයා ඔහුට මානසික අහිතකර ඇඟවීමක් ලබා දීම  තුළින් ඒ අනතුරට භාජනය කර ඇති බව මම හඳුනා ගතිමි. සෙනසුරු ඒරාෂ්ඨක නිසා අනතුරු මරණ ආදිය නියතව සිදු වන්නේ නම් වර්තමානයේ කිසිදු ජීවියෙක් දකින්නට නොලැබෙනු ඇත. ජන මාධ්‍ය තුළින් මනසට   රිංගවන අශුභවාදී සෘණ අදහස් නිසා අසරණ භාවයට හා වික්ෂිප්ත භාවයට පත්වූ විශාල පිරිස් මට මුණ ගැසී ඇත.
දොස්තර මහතා ‍ජ්‍යොතිෂ පුවත්පත්වල පළ වූ අනාවැකි පිළිබඳව පරීක්ෂණ කර ඇති බවත් ඒවායින් ඉටු නොවූ  අනාවැකි බහුල බවත් සඳහන් කර ඇත. මෙහි වඩාත්ම අවාසනාවන්ත කාරණය වන්නේ අනාවැකි 10ක් පවසා 9 ක්ම ඉටු නොවුණත් ‍ජ්‍යොතීර්වේදියාගේ වාසනාවකට එයින් 1 ක් ඉටු වුවහොත් බොරු 9 යටපත් වී 1 ඉස්මතු කර පෙන්වීමයි. මේ මුලාව පිළිබඳව ජනමාධ්‍ය ප්‍රමුඛව වගකිව යුතුව ඇත.
එසේ ජනනායකයෙකුගේ මරණයක් පිළිබඳව අනාවැකි පවසා නීතියට හසුවූ, ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලංකාවට සුපිරි ජය ලැබේ යැයි පැවසූ, කතරගම දෙවිඳුන් ජීවමානව වැඩම කරවන බව පැවසූ ‍ජ්‍යොතීර්වේදීන් ඒවා පට්ටපල් බොරු බවට පත්වීමෙන් පසුවද නැවතත් ජනතාව අභියස විරාජමාන වන්නේ ජනමාධ්‍යවල අවභාවිතය නිසා බව පැහැදිලි සත්‍යයකි.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ නොතිත් ආශාවෙන් හා කැපවීමෙන් යුක්තව ජනාධිපතිවරයා සහ වර්තමාන  රජය කටයුතු කරනු දක්නට ලැබේ. භෞතික සංවර්ධනය හා ආටෝප වලින් පමණක් මේ සිහිනය සැබෑකර ගැනීම අපහසුයි.
පුද්ගලයින් තුළ දැඩිව ව්‍යාප්ත වන සෘණ මානසිකත්වය දුරලා ධනාත්මක මානසික තත්ත්වයක් ගොඩ නැගීම සඳහා උනන්දු විය යුතුවේ.
අධ්‍යාපන, ආගම, ධර්මය, නීතිය, දේශපාලනය, ගුරුකම, වෙදකම යනාදී සෑම අංශයකටම සම්බන්ධ වූ ධනාත්මක  මානසික සංවර්ධනයක් ගොඩ නංවා ගත යුතුව ඇත.
‍ජ්‍යොතීර්වේදීන්ට මේ සඳහා කළ හැකි විශාල කාර්ය භාරයක් පවතී. ඔහුට පෙර රජ දවස ඇමැති මණ්ඩලයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිව  තිබූ බව පෙනේ. නිසි කලට කළ යුතු  දෙය හා අනිසි කලට නොකළ යුතු දෙය පිළිබඳව ඔහු රජුට උපදෙස් දී ඇත.
අද වන විට මේ උතුම් ශාස්ත්‍රය ඉබාගාතේ යන තත්ත්වයට පත්ව  ඇති බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය.
නව වසරක් උදාවේදී, මාසය උදාවේදී තමාගෙත් ලග්නයට ඉදිරි මාසය තුළ සිදුවන පලාපල දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති.  එහෙත් මේවා ‍පොදු පලාපල ප්‍රකාශන විනා එක් එක් පුද්ගලයාට එක එල්‍ලේ පැවසෙන පලාපල බව නොසිතිය යුතුය. සිදුවිය හැකි හෝ සිදු නොවිය හැකි කරුණු සම්බන්ධ දළ සම්භාවිතාවක් මෙන්ම එක් එක් පුද්ගලයාගේ සමාජ පරිසරය, රැකියාව, උගත්කම වැනි කරුණු රාශියන් අනුව කිසිසේත්ම සිදු නොවිය හැකි  කාරණාවක්ද පවතී.
මීට පෙරදීද මා සඳහන් කර ඇති පරිදි පලාපලයන් යනු උත්පත්ති කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම, එහි බල දුබලතා, ගවෛන දශානු දශා. ඒ අවස්ථාවල පවතින ග්‍රහ ගෝචර අනුව පිළියෙල කරන පුද්ගලානුබද්ධ කාරණාවක් විනා කිසිසේත් ‍පොදු එකක් නොවනු  බවද සැලකිය  යුතුය.
වර්තමානයේ බහුලව  එළිදක්වන ‍ජ්‍යොතිෂ පුවත්පත් හා ඒ පිළිබඳව කරන අනවශ්‍ය ප්‍රචාර, රූපවාහිනි නාලිකා, ජංගම දුරකථනවලට  දෙන කෙටි  පණිවුඩ ආදිය මගින් කෙරෙන බලවත් ඛිෙදවාචකය  නම් ජන මනස කොලොප්පම් වීමයි.
මා මීට කලින්ද සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ සියලුම දෙනා කිසියම් ආගමකට සම්බන්ධ වුවෝ වෙති. ඒ සෑම ආගමකම සිය අභිවෘද්ධිය හා සහනය  පිණිස පිළිපැදිය යුතු පිළිවෙත් හා පුද  පූජාවන් සඳහන්ව ඇත.
‍ජ්‍යොතිෂය අතිරේක දෙයක් හා සංස්කෘතික කටයුත්තක් ලෙස යොදා ගෙන කටයුතු කිරීම සහනයට හේතුවේ. සිය ආගම අතහැර ‍ජ්‍යොතිෂය ආගමක් ලෙස ඇදහීමට සිතුවොත් ඔබ මංමුලා වනු ඇත. අඳුරට පත්වනු  ඇත.
කේන්ද්‍ර සටහන යනු ඔබ සසර පුරා රැස් කළ කුසල් අකුසල් හා ඒවා පල විපාක  දෙන ආකාරය පිළිබඳව දැක්වෙන සටහනකි.  පුනර්භවය පිළිගන්නා බෞද්ධයින් හා හින්දුන් ‍ජ්‍යොතිෂය සමග බැඳී ඇත්තේ මේ නිසාය. දේව නිර්මාණවාදීන් වන කිතුනුවන් හා ඉස්ලාම් බැතිමතුන් ‍ජ්‍යොතිෂය තරයේ ප්‍රතික්‍ෂේප කරති. එසේ වුවද ඔවුන් බොහෝ දෙනෙකු සිය ආගමට අදාළ පිළිවෙත් හා පූජා මගින් විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව පෙනේ.
කිං කරිස්සති තාරකා තාරකාවන්ට කළ හැක්කේ කුමක්ද? අප්‍රමාදීවන්න ධම්මේ හවෙ රක්ඛති ධම්මචාරී දහම දැහැමියා රකී. මනො පුබ්බංගමා ධම්මා සියල්ල සිත පෙරටු කොට සිටි.
මේ ශේ්‍රෂ්ඨ බුදු වදන් නිසි ලෙස අවබෝධ කර ගෙන කටයුතු  කිරීම ජීවිතය ජය ගැනීමේ  මාවත වේ. කේන්ද්‍රය තුළින් පුද්ගලයාගේ පුණ්‍ය ශක්තිය හා දුබලකම් හඳුනා ගත හැකි වුවද දැහැමිව සිය මනස සකස් කර ගෙන ධාර්මික ජීවිකාවක් පවත්වාගෙන යෑම සියලු ග්‍රහ බලවේගවලින් මිදී ජීවිතය ජය ගැනීමේ ඒකායන මාර්ගය බව අවබෝධ කරගත යුතුය. එසේ දැහැමිව ජීවිතය ජය ගත්තවුන් පිළිබඳ නිදර්ශන සමාජය තුළ බහුලව තිබේ.
සඳහන් කළ යුතු වැදගත්ම කාරණය නම් කිසිවෙකු ආගම මෙන්ම, ‍ජ්‍යොතිෂය, ගුරුකම හා වෙදකම වැනි උතුම් ශාස්ත්‍ර, වැරදි ලෙස භාවිතා කරමින් අහිංසක ජනතාවගේ ඉහ මොළ සූරාකෑමට අදහස් කරන්නේ නම් ඔහුට, ඇයට හෝ කිසියම් ආයතනයකට ස්වභාවධර්මය  මගින් ලබාදෙන බරපතළ දඬුවම්වලට මුහුණ පෑමට සිදුවීමද ඒකායනය.
ඉතිහාසය තුළ ඒ පිළිබඳ බහුල සාක්ෂි අඩංගු වී තිබේ.

Read more

Popular Posts

Popular Posts