Header Ads

කන් ඇහෙන ඇස් පේන කෙනෙක් අගමැති කරනවා --- මහාචාර්ය අත්තනායක එම්. හේරත්

රටේ ජනාධිපතිවරයා ජීවිතේ එක වාරයක් පමණක්, ඒ කියන්නේ අවුරුදු හයකට පස්සේ විශ්‍රාම යන්න ඕන. ඒ නිසා මං ජනාධිපති වුණොත් ඉස්සෙල්ලාම කරන්නේ ඒක. ඇමැති මණ්ඩලයට විසි පහයි. ඊළඟට අතීතයේ තිබුණ විදියට අගමැති පාර්ලිමේන්තුවට වගකියන තත්ත්වයට පත් කරනවා. ජනාධිපති නාමික තත්ත්වයට පත් කරනවා.
 අම්බලම් නෑ
ඊළඟට කොට්ඨාස මන්ත්‍රි ක්‍රමය යළිත් ස්ථාපිත කරනවා. ලැයිස්තුවෙන් ගන්නේ ඡන්දවලට එන්න අකැමැති බුද්ධිමතුන් පමණයි. එහෙම නැතිව ඡන්ද දිනාගන්න බැරි අයට අම්බලමක් බවට පත් කරන්නේ නෑ.

 මාවත් විවේචනය කරන්න ඕන

අනෙක් ක්‍රමය තමයි, විරුද්ධ මත දරන්නන් ඉන්නවනේ. විරුද්ධ මත දරන්න තියෙන අයිතිය තහවුරු කරනවා. මිනිසුන්ට තමන්ගේ අදහස් නිදහසේ පළකිරීමට ඒකෙන් හුරුව ලබා දෙනවා. ඉහළම තැන ඉඳන් අනෙක් අයට හුරු කරනවා. මාව වුණත් විවේචනය කළ යුතුයි.
 නමින්ම ස්වාධීන රූපවාහිනි
රූපවාහිනි නාළිකාවල තියෙනවනේ ආණ්ඩුවේ තිරගත වීම්. ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඉවත් කරලා ඒවාට නමින්ම ස්වාධීනව ක්‍රියා කරන්න අයිතිය දෙනවා. ඒකෙ තැන් තැන්වල රටේ ජනාධිපති පුම්බන වැඩසටහන් තියෙන්න බෑ.

 “මව්බිම” වගේ නිදහස් පත්තර ඇතිකරනවා
අනෙක තමයි පුවත්පත්. රජය හිරකරගෙන ඉන්න ලේක් හවුසිය වචනයේ අර්ථයෙන්ම නිදහස් කරනවා තමන්ගේ පක්ෂයට වැඩ කරපු අය ලගින අම්බලමක් බවට පත්කරන්නේ නැතිව. “මව්බිම” වගේ නිදහස් පත්තර ඇතිකරනවා. බය නැතිව අදහස් කියන, අභීත වාර්තාකාරයන්ට, ලේඛකයන්ට, කර්තෘවරුන්ට පවරනවා. ඒ වගේ මාධ්‍යකරුවන් ලංකාවේ ඕන තරම් ඉන්නවා. හොඳම සාක්ෂිය තමයි විරුද්ධ මත දරන, මධ්‍යස්ථ පත්තර තමයි අද වැඩියෙන්ම විකිණෙන්නේ.
 මන්දබුද්ධික වැඩ තහනම්
උගතුන්ට තමන්ගේ කටයුතුවල යෙදෙන්න ඉඩ දීලා පරිපාලනයට ඇතුළත් කරන එකෙන් මුදනවා. උගතෙක් හදන්න සෑහෙන වියදමක් රජයෙන් දරනවානේ. උදාහරණයක් විදියට අපි හිතමු දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්.
ඒ මහාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ උගන්වන ගමන් ඒක පැත්තකින් තියලා රජයේ තැන්වල ලොකු පුටුවකත් ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයා ආචාර්ය උපාධිය අරගෙන ඉන්නේ උගන්වන්නනේ. උගන්වන්නේ නැතිව වෙන කොහේ හරි තනතුරක වැඩ කරනවා කියන එක මහා මන්දබුද්ධික වැඩක්.

 බර්ත් ඩේ පාර්ටි ගෙවල්වලදී විතරයි
තමන්ගේ උපන් දින තියෙනවනේ. ඒවා ගෙදරදී විතරයි සමරන්න පුළුවන්. හන්දිවල කටවුට් ගහලා මම සමරන්නෙත් නෑ. අනෙක් අයට සමරන්න දෙන්නෙත් නෑ. මොකද මගේ දැක්මක් තියෙනවා ගුරා යම් කටයුත්තක් හිටගෙන කළොත් ගෝලයෝ දුව දුව කරනවා කියලා.
 තායිලන්ත සිස්ටම් එක වෙනුවට    
 සිංගප්පූරුවේ සිස්ටම් එක
ඒ වගේම රජයේ විවෘත කිරීම් තියෙනවනේ. ඔය පාරවල් වගේ ඒවා. ඒවාට රටේ ජනාධිපති සහභාගි වෙන්නේ නැහැ. ඒවා හදලා ඉවර වුණ දවසෙම විවෘත කරන්න ඕන. ඒ වගේම මගේ ඡායාරූප කිසිම තැනක ප්‍රදර්ශනය වෙන්න බෑ. ප්‍රදර්ශනය කළොත් දඬුවම් දෙනවා. ඉස්කෝලවල, ඉස්පිරිතාලවල, කණුවල, තාප්පවල රටේ රාජ්‍ය නායකයාගේ ඡායාරූපය ඇලවීම තහනම්. සිංගප්පූරුවේදී මං දැක්කා එහෙම තිබුණේ නෑ. තායිලන්ත රාජ්‍ය නායකයාගේ ඡායාරූප තියලා පහන් පත්තු කරනවා. ඒ නිසා තායිලන්ත ක්‍රමය නෙවෙයි සිංගප්පූරු ක්‍රමය ඇතිකරනවා.

 සනත් ජයසූරියගේ ඇමැතිකම නැති කරනවා

ඇමැති මණ්ඩලයේ විසිපස් දෙනා පත් කරන්නේ මෙහෙමයි. විශේෂඥ වෛද්‍යවරයෙක් පත්වෙලා ආවොත් එයා අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ඇමැති විය යුතුයි. ක්‍රිකට් ක්‍රීඩකයෙක් හරි සුසන්තිකා හරි පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ක්‍රීඩා ඇමැතිකම දෙන්න ඕන එයාට. කවදාවත් තැපැල් නියෝජ්‍ය ඇමැතිකම සනත් ජයසූරියට දෙන්නේ නෑ. ජීවන් කුමාරතුංග වගේ පරිණත නළුවෙක් තැපැල් ඇමැති කරන්නෙත් නෑ.
 තරමක ඒකාධිපතියෙක් වෙනවා      
භික්ෂුන් වහන්සේ ධර්ම දේශනාවලට විතරක් සීමා කරමු. උන්නාන්සේ පාර්ලිමේන්තු ඒම හෝ දේශපාලනඥයන්ට කඩේ යෑම ගෞරවාන්විතව ඉවත් කරනවා. හාමුදුරුවන්ට පන්සලක් බලාගෙන මහජනයාට බණ කියාගෙන ඉන්න වෙනවා. තරමක ඒකාධිපති පාලනයක්.

 මොළේ මදි මන්ත්‍රිවරුන්ට පාඩම් දෙන හැටි

මහා ශෘතින ජාතකය ලංකාවේ වර්තමාන දේශපාලනයට හොඳින්ම ගැළපෙනවා. සමාජ ජීවිතයටත් ගැළපෙනවා. නිසැකවම මන්ත්‍රිවරුන්ට පුහුණුවක් දෙනවා. ඒ පුහුණුවේදී පංචතන්ත්‍රය, රාමායණය, මහා භාරතය, ජාතක කතා පොත අනිවාර්යයෙන් ඉගෙන ගන්න වෙනවා. හරි ලස්සන සරල කතන්දරවලින් දැනුම දෙන පොත් නේ. ඊට වඩා ගැඹුරු දේශපාලන විද්‍යා තියරි ඉගෙන ගන්න දැන් ඉන්න දේශපාලනඥයන්ට මොළය මදි. කතා රසයෙන් තමයි දැනුම දෙන්න ඕන.

 සිලි මලු වෙනුවට පන් මලු
අපිට මුදල් ලැබෙන ක්‍රම තියෙන්න ඕන. ඒ ක්‍රම අයථා මාර්ග නෙවෙයි. ආගමෙන් හරි යම් බාධාවක් එනවානම් අපේ සංවර්ධනයට ඒක තුනී කරන්න ඕන. බලහත්කාර නීති මඟින් හරක් මැරීමවත් තහනම් කළ යුතු නැහැ. ඒක අවබෝධයෙන් කළාට කමක් නැහැ. ආර්ථිකයේ විවෘත භාවය රකින අතර විශේෂයෙන් දේශීය ආර්ථිකය ඇඟලුම් කර්මාන්තය දියුණු කරනවා. ලක්සල වෙත පමණක් යොමු වෙලා තියෙන අපේ ගෘහ ශිල්ප ක්‍රම වැඩි දියුණු කරනවා. සිලි මල්ල වෙනුවට පන් මල්ලට හුරු කරනවා.
 එක නීතියයි
නීතිය සම්පූර්ණයෙන් පොදු ජනතාවට පමණක් බලාත්මක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. පාරේ යනකොට ඇමැතිවරුන්ගේ වාහනවලට කහ ඉර කපන්නයි ඉරි දෙක කපන්නයි ඕන එකක් පුළුවන්. ඒත් සාමාන්‍ය මිනිහා යන බයිසිකලය ඉරක් කැපුවොත් අල්ලනවා. මිනිස්සු තුළ ඇත්තටම අදහසක් තියෙනවා නීතිය බලවතුන්ට නෑ කියලා. රටේ බලවතකුට හිරගෙදරදී තියෙන තැනයි පොල් ගෙඩිය හොරකම් කරන කෙනාට තියෙන තැනයි සමාන වෙන්න ඕන.

 අශෝක රජ්ජුරුවෝ වගේ වෙනවා



අපි සුදු රෙදි එළලා පුටුවල තියලා ගරුකරන භික්ෂුන් වහන්සේ මහපාරේ නිකන් වාඩිවෙන එක අශෝභනයිනේ. අශෝක රජ්ජුරුවොත් මේක කළා. විසිරී ගිය භික්ෂු සමාජය එකතු කළා. ඒ නිසා සංගායනා පවත්වලා හුදෙකලා හාමුදුරුවරු එක රටාවකට ගන්න වෙනවා. නිකාය තුනේ හාමුදුරුවරු නොදැන කිසිම හාමුදුරු නමකට පෙළපාළි යෑම හෝ පාර මැද්දේ උපවාස කිරීම තහනම්.

 අගමැති උෟවෙන්

මගේ අගමැති විදියට නම් කරන්නේ මට වඩා ජනප්‍රිය පුද්ගලයෙක් මිසක් මට වඩා ජනප්‍රිය නැති කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුවේ ඉන්න අයගෙන් කෙනෙක් මගේ අගමැති විදියට තෝරන්න හිතුණොත් මම නම් තෝරන්නේ නිමල් සිරිපාල ද සිල්වා. හේතුව ඔහු උෟව පළාතේ කෙනෙක්. උෟව පළාත 18 කැරැල්ලෙදි සුද්දෝ සමඟ සටන් කරලා සම්පූර්ණයෙන්ම වෙල්ලස්ස සුද්දෝ විනාශ කළා. ඒ විනාශ කරපු වෙල්ලස්සට නිදහසින් පස්සේ වැඩක් කරපු එකම මිනිහා තමයි නිමල් සිරිපාල ද සිල්වා. මමත් උෟවේ කෙනෙක් නිසා මං දන්නේ. හැබැයි මං ඒ මහත්තයාට කවදාවත් ඡන්ද දීලා නෑ. දෙන්නෙත් නෑ. හැබැයි මං ජනාධිපති වුණොත් අගමැති කරනවා.

 කලින් කිව්ව නම් විපක්ෂ නායක කරන්නේ දයාසිරි

මීට මාස කිහිපයකට කලින් මගේ විපක්ෂ නායක නම් කරන්න කිව්ව නම් මං කියන්නේ දයාසිරි ජයසේකර. එයා දැන් අනෙක් පැත්තෙ නිසා මගේ විපක්ෂ නායක විදියට මට ඊළඟට පේන්නේ හරින් ප්‍රනාන්දු. හොඳ තරුණයෙක්. හොඳ කටහඬක්.

 පුටුවේ බලයෙන් උමතු වුණොත්

උමතු වෙන්න කලින් තමයි මම අවුරුදු හයකට වඩා මේකෙ ඉන්න ඕන නෑ කිව්වේ. මෑතකදී මියගිය නෙල්සන් මැන්ඩෙලා, ඒ තරම් විශිෂ්ට පුද්ගලයා හරියටම අවුරුදු හයෙන් මේකෙන් ගියානේ. ඒ මනුස්සයා ලෝකෙට පෙන්නුවා තනතුරෙන් උමතු වෙන්නේ නැති එකෙක් හරි අප්‍රිකාවේ හිටියා කියලා. දෙවැන්නා මං වෙනවා.

 තාත්තගේ රස්නෙ පුතාට වැදුණොත්

එකක් මගේ පුතා මං දැනටමත් ඒ විදියට හදලා නෑ. පුංචි කාලෙත් එයා දඟ කරනකොට මං කියන්නේ “මේ... උප්පැන්න සහතිකෙන් පියා කෑල්ල කුරුටුගානවා” කියලා. අපකීර්තිමත් පුද්ගලයකුගේ පියා වෙනවට වඩා ඒක හොඳයි. ලෝකෙ තාම කවුරුවත් දරුවව දික්කසාද කරලා නෑ. ඒ හින්දා එහෙම පුතෙක් හදන්නෙත් නෑ. එහෙම දේකට අනුබල දෙන්නෙත් නෑ. එහෙම කළොත් දඬුවම් දෙනවා රජයේ නීතිය අනුව.



සුභාෂිණී ගුණරත්න

1 comment:

  1. මෙතුමා කවදා ඉඳලද සූස්ති ගහන්න පටන් ගත්තේ.

    ReplyDelete

Powered by Blogger.