Header Ads

අධ්‍යාපනය වෙනුවෙන් අද ඉස්කෝල තිබේද? – මහාචාර්ය සරත් විජේසූරිය

ජනප‍්‍රිය පාසල් බොහොමයක උසස් පෙළ පන්තිවල දරුවන්ගේ පැමිණීම ඉතා දුර්වල බව විදුහල්පතිවරු පවසති. තරුණ දරුවන් සැලකිය යුතු ප‍්‍රමාණයක් කාලයක් තිස්සේ පටන් පාසල් නොයන බව ප‍්‍රකට කාරණයකි. උසස් පෙළ විභාගයට පාසල ඔස්සේ පෙනී සිටීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමේ අරමුණින් පමණක් බොහෝ දරුවන් පාසලට එන තත්වයක් තිබේ.

ඉහළ පන්තිවල දරුවන්නේ පැමිණීම ඉතා පහළ අගයක පවතින නිසා ඉගැන්වීම දුර්වලව තිබෙන බවය ඇතැම් ගුරුභවතුන් පවසන්නේ. දරුවන්ගේ පැමිණීම පහළ අගයක පවතින්නේ පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම අද වන විට ඉහළ ගොස් තිබෙන නිසා බවය ඇතැමුන් පෙන්වා දෙන්නේ.

මේ තත්වය ඇති වී වර්ධනය වීමට අදාළ හේතු දෙකක් විශ්වවිද්‍යාලවලට එන දරුවන්ගේ අදහස්වලින් පැහැදිලි වේ. පළමු හේතුව වන්නේ නිසියාකාරව හා කැපවීමෙන් පාසලේ දී ඉගැන්වීම සිදු නොවීමය. දෙවන හේතුව වන්නේ බහුතරයක් ගුරුභවතුන් ආකර්ෂණීය අන්දමින් ඉගැන්වීමට අසමත් වීමය.

අධ්‍යාපනය හා සම්බන්ධ බරපතළම ගැටලූව මතු වන්නේ ගුරු භූමිකාව ඔස්සේ බව ගැඹුරින් වටහා ගැනීම අත්‍යවශ්‍ය වන්නේය. මේ වූ කලි පළල් අර්ථයෙන් දේශපාලනික කාරණාවකි.

ගුරු පත්වීම් දීම

ගුරුවරයා බඳවා ගැනීම ඉහළ ප‍්‍රමිතියකින්, දේශපාලනී කරණයෙන් වියුක්තව විය යුතුය. බඳවාගත යුත්තේ හැම අංශයකින්ම දීප්තිමත් තරුණ පිරිසකි. ගුරු පත්වීම් දීම අද අවිනීත අන්දමට දේශපාලනී කරණය වී ඇත. ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධ නොමනා තත්වය, ප‍්‍රමිතියකින් තොර තත්වය නිරාකරණය කළ යුත්තේ ද දේශපාලනිකවමය. හුදු විභාග සහතික මත පමණක් ගුරුවරයකු නිර්මාණය කළ නොහැකිය.

උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි වූ, එහෙත් ආසන්න මට්ටමට ලකුණු ලබා සිටි යම් පිරිසක් විද්‍යා පීඨ වෙත බඳවා ගනිමින් ගුරු වෘත්තියට පුහුණු කිරීම කලකට ඉහත දී ගත් හොඳ පියවරකි. එහි ‘හොඳ’ වන්නේ දේශපාලනික අතපෙවීම් අවම තත්වයක තිබීම හා කිසියම් විනිවිදභාවයකින් බඳවාගැනීම නිසාය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප‍්‍රථම වසරේ දී පෙන්වන සුදුසුකම් මත අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමට තෝරා ගැනීම ද (මෙය ලංකාවේ සියලූ විශ්වවිද්‍යාලවල සිදු නොවේ.) එක් අතකින් යහපත්ය. එහි සාධනීය කාරණාව ඔවුන් ලබන අධ්‍යාපනය ගුරු වෘත්තිය අරමුණු කර ගෙන ලැබීමය. ශිෂ්‍ය පිරිස තෝරාගැනීමේ දී ගුරු වෘත්තියට සැබවින්ම සුදුසු පෞරුෂයක් තිබේ ද යන්නත් සලකා බැලීමට විවෘත අවකාශයක් තිබුණි.

මගේ අදහස නම් ගුරුවෘත්තියට බඳවා ගැනීමේ දී මේ තත්වයන් ද සාධනීය නොවන බවයි. මා එසේ පවසන්නේ මේ තත්වයන් ඉහළ ප‍්‍රමිතියකට අනුරූපව කිරීමට තිබෙන අප‍්‍රමාණ දේශපාලනික බාධාවන් නිසාය. අනෙක් කාරණාව නම් පටු දේශපාලන අරමුණක් පෙරටු කර ගනිමින් තොග පිටින් ගුරු වෘත්තියට බඳවා ගැනීමට මෙහිදී තිබෙන අනර්ථකාරී අවකාශයයි.

වත්මනෙහි කවර පාසලක වුව දරුවෝ විවිධාකාර වෙනස්කම් පෙන්වති. සංකීර්ණ පන්ති කාමරයකට යන ගුරුවරයා විභාග සහතිකයක් තිබෙන කෙනෙකු වීම පමණක් කිසිසේත් නොසෑහේ. බාල මට්ටමේ තරග විභාගයකින් සමත්වීම ද ප‍්‍රමාණවත් නොවේ. අවම වශයෙන්වත් පුරා වසරක විධිමත් පුහුණුවක් විද්‍යාත්මක පදනමක පිහිටා ලබා දීම අවශ්‍ය වේ. එහිදී සෑම ගුරුවරයෙකුටම උපදේශනය සම්බන්ධ යම් විනයක් නිසියාකාරව ලබා දිය යුතුය. මේ ශික්ෂණය තොග පිටින් බඳවා ගත් පිරිසකට කෙලෙස හෝ ලබා දීම අසාර්ථකය. ඉගැන්වීම කලාවකි. නිර්මාණශීලීව ඉගැන්වීමට අදාළ මූලධර්ම අද අප‍්‍රමාණව පර්යේෂණ මඟ‘න් සොයා ගෙන තිබේ. පෙළ පොත පමණක් රැුගෙන පන්තියට යන ගුරුවරයා පිළිගැනීමට දරුවකු සූදානම් නැත. එ් අන්දමින් ගුරුවරයෙකු පුහුණු කිරීම වැදගත් කටයුත්තකි. එය කළ නොහැකි කටයුත්තක් නොවන්නේය. එහෙත් මැතිවරණයක් සමීප වන විට තොගයක් බඳවා ගැනීමේ දී මේ සඳහා අවස්ථාවක් නැත.

ගුරුවරයාට ලබා දෙන පුහුණුවෙන් පසුව අධීක්ෂණය ද ක‍්‍රමානුකූලව සිදු කළ යුතුය. දරුවන්ගේ ශික්ෂණ මට්ටම මෙන්ම විභාග ප‍්‍රතිඵල ද අධීක්ෂණය කළ යුතුය. පුහුණු කළ ගුරුවරයා දරුවන් ඉදිරියට ගෙනයන්නෙකු විනා, පසුපසට තල්ලූ කරන්නෙකු නම් අධ්‍යාපන කි‍්‍රයාවලිය අසාර්ථකය. එවැනි ගුරුවරයෙකු කුමකට ද? බඳවා ගත් පසු නොව තත්වය සලකා බැලිය යුත්තේ බඳවා ගැනීමට පෙරාතුවය.

ගුරු වෘත්තියට පමණක් නොව ආණ්ඩුවේ සියලූම වෘත්තීන්ට අද පත්වීම් දෙන්නේ අරලිය ගහ මන්දිරයට කැඳවමිනි. නැතහොත් සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණය වැනි තැනකට එකතු කරමිනි. නිසි සුදුසුකමට ලබා දෙන කිසිම පත්වීමක් එ් අන්දමින් ලබා දීම අවිනීතය. එය පහත් ගණයේ දේශපාලනික අල්ලසකි. එය කෙනෙකුගේ අභිමානයට හානිකරය.

තොග පිටින් ගුරු වෘත්තියට බඳවා ගන්නා ඇතැමුන් කිසි ලෙසකින්වත් ගුරු වෘත්තියට සුදුසු අය නොවීම බරපතළ කාරණාවකි. ඇතැම් විදුහල්පති වරුන් මේ කාරණාවේ දී ඉතා අසරණය. සමහරුන්ට ඉගැන්වීමට කිසිම කුසලතාවක් නැති බව කියැවේ. සමහරුන්ට ගුරුවරයෙකු ලෙස ගොඩ නැෙඟන්නට අවශ්‍ය පෞරුෂය ඇත්තේම නැත. හඬ නඟා කතා කරන්නට අපහසු අය, රාජකාරියට අදාළ විනයට අසංවේදී අය, පමණක් නොව යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් පසු නොවන අයද තොග පිටින් බඳවා ගන්නා විට එක පොකුරට බඳවා ගැනේ. ගුරු වෘත්තියට බඳවා ගැනීමේ දී විධිමත් අන්දමට සලකා බැලිය යුතු එක් කාරණාවක් වන්නේ අදාළ පුද්ගලයා යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් පසු වන්නේ ද යන්නයි. දරුවන් මුහුණ දෙන සමහර ප‍්‍රශ්න ගැන ගැඹුරට කල්පනා කරන විට මේ කාරණාව සුළු කොට තැකීම වරදකි.

පාසලක් විශාල නොවීම

දරුවන්ගේ අනාගතය හා සම්බන්ධ සාධනීය වෙනසක් උදෙසා පාසල කුඩා වීම ඉතා වැදගත්ය. පුද්ගලයෙකුට පාලනය කිරීම අති දුෂ්කර තත්වයේ විශාල ගුරු මණ්ඩලයක් හා විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් පැවතීම නුසුදුසුය. ජනප‍්‍රිය පාසල්වල විදුහල්පතිවරයාගේ පැවැත්ම පවා තීරණය කරන ආදි ශිෂ්‍ය සංගම්/ආදි ශිෂ්‍යාවන්ගේ සංගම් ඇත. එ්වා මග‘න් සිදු කරන අනර්ථකාරී දෙයක් වන්නේ මුදල් හරි හම්බ කිරීමේ විවිධාකාර ව්‍යාපෘතීන් සැලසුම් කරමින් දැවැන්ත භෞතික සංවර්ධන කටයුතු වෙනුවෙන් පියවර ගැනීමයි. මේ තත්වය නිසා අවසානයේ සිදුවන්නේ අධ්‍යාපන කි‍්‍රයාවලිය දුබල වීමය.

පාසල් සංස්කෘතිය අර්ථසම්පන්නව ගොඩ නැඟීමට නම්, ප‍්‍රාථමික අංශය වෙනම පාසලක් ලෙස ගොඩ නැඟීම අවශ්‍යම වේ. සෑම දරුවෙකුම නිවසට ආසන්නයේ ප‍්‍රාථමික පාසලට යන තත්වය යහපත්ය. සුභග දරුවන්ට ගැළපෙන පාසලකට ඇතුළත්වීමට හැකි අන්දමේ පසුබිමක් ද එ් අනුව නිර්මාණය කළ හැකිය. පහ වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා දරුවන් ඉගෙන ගන්නා පාසල තවත් පාසලක් විය යුතුය. උසස් පෙළ දරුවන් ඉගෙන ගන්නා පාසල තවත් පාසලක් විය යුතුය.

පාසලක ව්‍යුහය කොටස් තුනකට පරිවර්තනය කරන විට, විදුහල්පති තනතුර, ගුරු තනතුර හා අනෙක් පරිපාලනය සම්බන්ධ උචිත පුද්ගලයන් විශේෂඥ තලයකින් ගොඩනැඟීමට පුළුවන. ප‍්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ විදුහල්පතිවරයා, ගුරුවරයා, උපදේශකයා මෙන්ම පරිපාලකයා ඊට අදාළ කුසලතා සම්පූර්ණ කර තිබෙන, ඊට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා තිබෙන විශේෂඥයන් වූ කල දරුවන්ට සිදුවන අනර්ථයන් අවම වන අතර අර්ථයන් විශාලය. එලෙස පිබිදෙන දරුවා පා නඟන්නේ එ් වයසට අදාළ දරුවන් ශික්ෂණයට නිස්සන් වෙතටය. එ් නිසා නව යොවුන් විය හා සම්බන්ධව තත්වය යට කී අන්දමින් ගොඩ නැඟිය යුතුය. උසස් පෙළ දරුවන්ට ද එය එ් ආකාරම විය යුතුය.

අනෙක් කාරණාව වන්නේ මිශ‍්‍ර අධ්‍යාපනයේ වැදගත්කම ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. අද පාසල් බාලක බාලිකා වශයෙන් බෙදා ඇත. එ් බෙදීමෙන් කිසිම විනයක් රැුකිය නොහැකිය. අගනුවර හා ප‍්‍රධාන නගරවල තරුණ දරුවන් සැහැසි කටයුතු කරන්නේ, සංවිධානාත්මකව පාසල් කරා ගොස් හබ කරන්නේ අප දරුවන් වෙන්කර ලබා දී තිබෙන විනය යහපත් නිසා ද? පාසල් ගැහැනු දරුවන්ට වෙනමත්, පිරිමි දරුවන්ට වෙනමත් පවත්වමින්, විශ්වවිද්‍යාල දෙපිරිසටම එකට ගොඩනඟා තිබෙන්නේ මන් ද? මා කල්පනා කරන්නේ අධ්‍යාපන කි‍්‍රයාවලියේ දී ගැහැනු පිරිමි වශයෙන් වෙන් කිරීම මොන අන්දමකින්වත් ”වඩාත් සුදුසු” නොවන බවයි.

විෂය නිර්දේශ

අපගේ පාසල්වල භාවිත කෙරෙන සියලූ විෂය නිර්දේශ දරුවන්ට ඔරොත්තු නොදෙන තරම් විශාලය. එ් විෂය නිර්දේශ නිසා දරුවන් පමණක් නොව ගුරු භවතුන් ද විශාල පීඩනයක් ලබන බව පැහැදිලිය. මේ අති විශාල විෂය නිර්දේශයකට ගුරුවරයා යට කර තිබෙන නිසා ගුරුවරයාට දරුවන් සමඟ සතුටින් ගත කිරීමට කාලයක් නැත. ගුරුවරයෙකු දරුවන් සමඟ සතුටින් කාලය ගත කිරීම අධ්‍යාපනයේ සාර්ථකත්වයට හා අධ්‍යාපනය නම් උතුම් කටයුත්ත රසවත් වීමට අදාළ බව පිළිගත් සිද්ධාන්තයකි. දරුවන්ගේ ජීවිතාවබෝධය පුළුල් කිරීම, දරුවන්ගේ ආකල්ප වර්ධනය, දරුවන්ගේ කුසලතා හඳුනා ගැනීම හා එ්වා දීප්තිමත් කිරීම උදෙසා ගුරුවරයා හා දරුවන් අතර මිත‍්‍රශීලී සම්බන්ධය ඉතා වැදගත් වේ. එ් සඳහා සතුටින් ගත කිරීමට කාලයක් අවශ්‍ය වන්නේය. විශාල විෂය නිර්දේශ කාලය සාහසික ලෙස පැහැර ගෙන තිබේ.

අධ්‍යාපන පරිපාලනය

වත්මනෙහි අධ්‍යාපන පරිපාලනය සම්බන්ධ ගැටලූවක් විද්‍යාමාන වන්නේ විෂය අධ්‍යක්ෂ නමැති තනතුර ඔස්සේ බව පළපුරුදු ගුරුභවතුන් සහ විදුහල්පතිවරුන්/විදුහල්පතිවරියන්ගේ අදහස්වලින් පැහැදිලි වේ. කිසිම විද්‍යාත්මක අවශ්‍යතාවක් හෝ පදනමක් නැතිව ගුරු භවතුන්ට පිරවීමට කඩදාසි තොගයක් අද ලබා දෙන තත්වයක් ඇත. ඉගැන්වීම සිදු නොකරම ඒ කඩදාසි ටික හොඳින් සම්පූර්ණ කර හොඳ ගුරුවරයෙකු ලෙස පවතින්නට ද අද පුළුවන. මේ කඩදාසි පිරවීම සමඟ ගුරුවරයාගේ චරිතයෙන් හරි අඩක් ඉවත් කර එ් අඩ ලිපිකරුවෙකුගේ වැඩ කොටසකට පෙරළා ඇත. කඩදාසි පිරවීමට උපදෙස් දෙන විෂය අධ්‍යක්ෂවරුන් බහුතරයක් දේශපාලන පාදඩකරණය නිසා උපන් තානාන්තර බව පැවසීම නිවැරදිය. අද වන විට විෂය අධ්‍යක්ෂවරුන් සෑහෙන සංඛ්‍යාවක් කරන්නේ දේශපාලන කටයුතුය.

අද අපට පාසල් ඇතත් අධ්‍යාපන කි‍්‍රයාවලිය යහපත්ව හා පැහැපත්ව පාසල් තුළ නැත්නම් අතිශය තරඟකාරී මුහුණුවරක පවතින විභාග සඳහා මුහුණ දෙන දරුවන් පාසල් යන්නේ කුමකට ද?

ravaya -

2 comments:

  1. I agree with this article, though not fully; for example, in light of modern technology and methodology a teacher need not shout; shouting distracts a child psychologically. Anyway, this is an eye opening article and the authorities should pay genuine attention sans political views to this article.

    ReplyDelete
  2. අධ්‍යාපනයේ අර්බුදයේ මුල ගුරුවරයා ඉන්නවා.ලොකුම ගැටළුව ගුරුවරයා තවමත් හරිම සම්ප්‍රදායිකයි.වෙනස් වෙන්න හිතන්නේ නෑ.ඔය කොල පුරවන එක මහ දෙයක් වෙලා තියෙන්නේ ඒකයි.මොන ප්‍රතිසංස්කරණය කරත් ගුරුවරුන්ගේ ආකල්ප වෙනස් නොකර මොන දේවත් හරි යන්නේ නෑ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete

Powered by Blogger.