Open top menu
Sunday, March 16, 2014

නූතන සිංහල ‍ලේඛක ‍ලේඛිකාවන් බොහෝ දෙනෙක් බටහිර ඇතුළු විදෙස් නවකතාකරුවන්ගේ ආභාෂය ලැබ මෙරටට නොගැළපෙන අන්දමේ වස්තු විෂයන් සහ ෙශෙලීන්  යොදාගනිමින්, අනුකාරකවාදී ලෙස නවකතාකරණයෙහි යෙදෙන බවට ඇතැම් ප්‍රවීණ ‍ලේඛකයන්ම පවා චෝදනා නගනවා. මේ ගැන ඔබ මොකද හිතන්නේ?
මා සිතන විදිහට, එය වැරදි අදහසක්. මෑත කාලයේදී තරමක් ඉදිරියට පැමිණ තිබෙන නවකතාකරුවන්ගේ සෑම කෘතියක්ම පාහේ මමත් කියවා තිබෙනවා. නමුත්, මට නම් ඒවායේ වස්තු විෂයන් සම්බන්ධව හෝ ෙශෙලීන් සම්බන්ධව හෝ එවැනි ගැටලුවක් මතු වී නැහැ. ඒවායේ අනුකාරකවාදී බවක්  දකින්නට ලැබි නැහැ. ලංකාවේ ජන ජීවිතය ප්‍රබන්ධයට නැගීමට උත්සාහ ගන්නා බවකුයි ඒවායින් ප්‍රකට වන්නේ. නමුත් එම නවකතාකරුවන් විවිධ ආකෘති සහ ප්‍රතිනිර්මාණ විධි යොදාගන්නවා. එය හොඳ ලක්ෂණයක්.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසරකට නවකතා සිය ගණනක් පළවෙනවා. ඒ සියලු නවකතා මා කියවා නැහැ. නමුත්, ප්‍රධාන පෙළේ ‍ලේඛක ‍ලේඛිකාවන් නම් එකී කාරණා දෙක පිළිබඳවම සැලකිලිමත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒවා කොපමණ දුරට සාර්ථක ද යන්න වෙනත් කාරණයක්. නමුත්, එකී කාරණා පිළිබඳව සැලකිලිමත්වීම තුළින්ම ඔවුන් නවකතාව බරපතළ ලෙස බාරගන්නා බව හැඟෙනවා.
බටහිර හෝ වෙනත් රටවල ‍ලේඛක ‍ලේඛිකාවන් ලියන ආකාරයටම ලියන, ඒ අය අනුකරණය කරන ‍ලේඛක ‍ලේඛිකාවන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙ‍ලේ නවකතාකරුවන්/කාරියන් අතර සිටිනවා යයි කියන්න බැහැ.
විවිධ රටවල සංස්කෘතික සම්ප්‍රදායන්වල වෙනස්කම් තිබුණත්, ඒවායේ ‍පොදු ලක්ෂණත් විශාල වශයෙන් තිබෙනවා. මූලිකව සැලකුවොත් ආහාර, රැකවරණය, ලිංගිකත්වය, ආදරය ආදී කරුණු සෑම රටක සෑම සංස්කෘතියකටම ‍පොදුයි. කුඩා කුඩා අනුෂාංගික දෑ වලින් පමණයි ඔවුන් වෙනස්වන්නේ. ඒ නිසා ඕනෑම නවකතාවක් අරගෙන එය අහවල් රටේ නවකතාවට සමාන යැයි කියන්නට යමෙකුට පුළුවන්. නමුත්, එකී චෝදනාව අන්තර් සංස්කෘතික හුවමාරුවට එරෙහි ප්‍රකාශනයක් ලෙසයි මා දකින්නේ. ඒ වගේම සංස්කෘතික පාරිශුද්ධත්වය  පිළිබඳව අනවශ්‍ය විදිහට සිතන අයගෙන් එල්ලවන චෝදනාවක් විදිහටත් ඔය චෝදනාව සලකන්න පුළුවන්.
මෙම නව ප්‍රවණතාවන් හේතුවෙන්, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ ජයතිලක, ජී.බි. සේනානායක වැනි ‍ලේඛකයන් ගොඩනැගූ නවකතා කලාවේ තිබූ දේශීය අනන්‍යතාව ගිලිහී යමින් පවතින බව ඇතැමුන් පවසනවා ?
නවකතාව මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු ඔබ කියූ ‍ලේඛකයින්ගේ ෙශෙලියටම පවත්වාගෙන යාමට නම් අලුත් ‍ලේඛක ‍ලේඛිකාවන් නවකතා රචනා කළ යුතු නැහැ. උදාහරණ විදිහට සැලකුවොත්, එංගලන්තයේ නූතන ‍ලේඛක ‍ලේඛිකාවන් නවකතා ලියන්නේ චාල්ස් ඩිකන්ස් ලියපු ආකාරයටම නොවෙයි. ඇමෙරිකාවේ ‍ලේඛක ‍ලේඛිකාවන් ලියන්නේ හෙන්රි ජේම්ස් ලියූ ආකාරයට නොවෙයි. ඒවගේම, ඉන්දියාවේ ‍ලේඛකයන් ලියන්නේ ආර්.කේ. නාරායන් ආකාරයට නොවෙයි. මොකද, නවකතාව කියන්නේ ඉතා වේගයෙන් වර්ධනය වන ආඛ්‍යාන ක්‍රමයක්. නමුත්, මාර්ටින් වික්‍රමසිංහ හෝ ගුණදාස අමරසේකර හෝ ජී.බි. සේනානායක හෝ ලියූ ආකාරයට ලියන්න එපා කියලා හෝ ඔවුන් ලියූ දෑ වැරදියි කියා හෝ එයින් අදහස් වන්නේ නැහැ. වික්‍රමසිංහලාගේ පරපුරේ බොහෝ දෙනාත් නවකතාව සඳහා නොයෙක් විදෙස් මූලාශ්‍රවලින් ආභාෂ ලැබුවා මිස එකී කතා කලාව ‘ජාතික’ නවකතා කලාවක් වුණේ නැහැ.
නූතන සිංහල නවකතා මගින් පවතින සමාජ දේශපාලන ගැටළු පිළිබඳ සාකච්ඡා කරනවා මදි කියලත් චෝදනා කරන අය සිටිනවා. මේ තර්කය ඔබ පිළිගන්නවාද?
කිසිදු ‍ලේඛකයකුට සමාජය, දේශපාලනය පිළිබඳ නොලියා සිටීමට අපහසුයි. උදාහරණයක් විදියට අපි සිතමු එක්තරා ‍ලේඛකයෙක් ලියන්නේ මිනිසුන්ගේ සිහින සහ චිත්ත අභ්‍යන්තරය ගැන පමණයි කියා. ඔහු ඒ ගැන පමණක් ලීවත්, මිනිසුන්ගේ චිත්ත අභ්‍යන්තරය කියන්නේත් සමාජයේම එක්තරා පැතිකඩක්. සිහින කියන්නේ පීඩනය, ආසාවන් ආදී වූ සංස්කෘතික කාරණාවල එකතුවක්. ඉතින් ඒ නිසා යමෙකුගේ මනස තුළ තිබෙන දෑ ලිව්වත් එය සමාජ දේශපාලනික විග්‍රහයක් වෙනවා. උදාහරණයක් විදිහට ගතහොත්, සිරිගුණසිංහගේ ‘හෙවනැල්ල’ නවකතාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චිත්ත අභ්‍යන්තරය ගවේෂණය කරන නවකතාවක්. නමුත්, එය ඒ කා‍ලේ සමාජ සංස්කෘතික ව්‍යුහයට අතිශයින් සම්බන්ධ වුණා. නවකතාව කියන කලාවම සමාජ දේශපාලනමය ආඛ්‍යාන කලාවක්. මොකද, එය පුරාණෝක්තියක් හෝ දේවකතාවක් හෝ නොවන නිසා.
නූතන සිංහල නවකතාකරුවන්/කාරියන් අතර ඇතැමුන් තම කෘතීන් ජනප්‍රිය කරවීමේ අරමුණ ඇතිව තම නවකතා තුළින් ලිංගිකත්වය ඉස්මතුකොට දක්වන බවට ඉදිරිපත් වන මතය ගැන ඔබේ අදහස කුමක්ද?
මට නම් එවැන්නක් පෙනෙන්නට නැහැ. උදාහරණයක් විදිහට සැලකුවොත් ශාන්ති දිසානායක තමන්ගේ ‘වාලුකා’ නමැති කෘතියෙන් යම් යම් ලිංගික සිදුවීම් දක්වා තිබෙනවා. ඒ වගේම මොහාන් රාජ් මඩවලත් ‘මාගම් සෝලිය’ නවකතාවෙන් ලිංගික කාරණා ඉදිරිපත්කොට තිබෙනවා. නමුත් එකී කෘතීන් දෙකම ලිංගික කාරණා නිසාම අතිවිශාල වශයෙන් අලෙවි වන බවක් මා දකින්නේ නැහැ. වර්තමාන සමාජයේ තරුණ තරුණියන් විශාල වශයෙන් ලිංගිකව ක්‍රියාකාරී පිරිසක්. මෙරට විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙනුත් ඒ බව දැකගන්නට පුළුවන්. එය එක්තරා දුරකට හොඳ දෙයක්. නමුත්, ඒ අයට නවකතාවකින් ලිංගිකත්වය හඹායෑමට අවශ්‍ය නැහැ. මොකද, ඒ සඳහා අන්තර්ජාලය වැනි මාධ්‍ය ඕනෑ තරම් අද තිබෙනවා.
නව ප්‍රවණතාවන්ගෙන් ‍පෝෂණය වන නූතන සිංහල නවකතාව තවත් ඉදිරියට ගෙන යා හැකි අන්දමේ විචාර කලාවක් වර්තමානයේ අපේ රටේ තිබෙනවාද?
නැහැ. එවැනි විචාර කලාවක් අපේ රටේ නැහැ. දැන් බලන්න, අපේ රටේ කිසිදු පුවත්පතක ස්ථීර සාහිත්‍ය විචාරකයෙක් නැහැ. සාහිත්‍ය කලාව පිළිබඳ විචාර ලිපි ලියන අයට අඩුම තරමේ රුපියල් 1000ක ගෙවීමක්වත් කරන්නේ නැහැ. උදාහරණයක් විදියට මා ලියන විචාර ලිපි සඳහාත් මට කිසිදු මුදලක් ලැබෙන්නේ නැහැ. ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ පමණක් නොවෙයි ඉන්දියාවේ පවා සාහිත්‍ය කලාව ගැන ලියවෙන විචාර ලිපිවලට ප්‍රමාණවත් මුදලක් ගෙවනවා. ඒ නිසා ඒ රටවල පළපුරුදු විචාරකයන් විචාර කලාවේ යෙදී සිටිනවා. නමුත්, එවැනි විචාර කලාවකට සුදුසු සන්දර්භයක් ලංකාවේ අද නැහැ. තවත් කාරණයක් තමයි, ඒ සඳහා වන ශාස්ත්‍රීය මට්ටමේ සඟරා අපේ රටේ නොතිබිම. උදාහරණයක් විදියට ගතහොත් ඇමෙරිකාවේ නම් ඒ සඳහා “ඊඩඥ ව්ධමඥත”, “ඊඩඥ එධපතඤ ඹ්ඪබඥපචබභපඥ” වැනි උසස් මට්ටමේ ශාස්ත්‍රීය සඟරා පළවෙනවා. නමුත් එවැනි දෑ ලංකාවේ දකින්නට නැහැ.
නූතන නවකතාව ‍පෝෂණය
කළ හැකි අන්දමේ විචාර කලාවක් ගොඩනැගීම සඳහා ඔබට කළහැකි යෝජනා මොනවද?
හොඳින් ලාභ උපයන ‍පොත් ප්‍රකාශකයන් ශ්‍රී ලංකාවේ සිටිනවා. ඔවුන් බොහෝ විට නවකතා නිසාම විශාල වශයෙන් ලාබ උපයා ගන්නවා. ඉතින්, එවැනි ආයතන දෙකක් තුනක් හෝ එක්වී ගෞරවනීය ගෙවීමක් යටතේ පුවත්පත් කිහිපයක් සඳහා, පළපුරුදු විචාරකයන් ලවා විචාර ලියවීමේ ක්‍රමයක් ආරම්භ කරනවා නම් අපේ රටේ උසස් විචාර කලාවක් බිහිකිරීමට එවැනි දේ ලොකු උදව්වක් වේවි. පුවත්පත්වල පළකරන වෙළෙඳ දැන්වීම් සඳහා ලක්ෂ ගණනින් මුදල් ගෙවන්න පුළුවන් නම්, මෙවැනි කටයුත්තක් සඳහාත් යම් දායකත්වයක් දක්වන්න බැරිකමක් නැහැ. නමුත් අද සාහිත්‍ය විචාරයකට කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. විචාරයක් ලිවීම යනු ගෞරවනීය කාර්යයක් වුවත්, මෙරට සාහිත්‍යය තුළ විචාරකයන්ට වෘත්තීයමය ලෙස සැලකීමක් නැහැ. ඉතින්, ඒ නිසා විචාරය සඳහා සුදුසු පසුබිමක් ඇති නොකර, ලංකාවේ හොඳ මට්ටමේ විචාර කලාවක් නැති බව කියමින් විචාරකයන්ට දොස් කීමෙන් ඵලක් නැහැ.
ලෝකයේ නව සාහිත්‍ය ප්‍රවණතාවන් මෙරට පාඨකයන්ට හඳුන්වාදීමේදී වර්තමානයේ පරිවර්තකයන් විසින් ඉටුකරනු ලබන කාර්යභාරය ඔබ දකින්නේ කෙසේද?
මට ඒ ගැන නිශ්චිතව කියන්නට බැහැ. මොකද, විශිෂ්ට පරිවර්තකයන් විදිහට මා හඳුනාගෙන සිටින කිහිපදෙනකුගේ පරිවර්තන පමණයි මා සාමාන්‍යයෙන් කියවන්නේ. එසේ නැතිනම් මා එම මුල් කෘති සොයාගෙන කියවනවා. නමුත්, අද වන විට නිශ්චිත සොයාබැලීමකින් තොරව විශාල පරිවර්තන සංඛ්‍යාවක් වෙළෙඳ‍පොළට නිකුත්වන බවක් නම් පෙනෙන්නට තිබෙනවා. නමුත් තරුණ පරපුරේ ඉංග්‍රීසි දැනුම වැඩිකිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ හැකි නම් එය සිංහල සාහිත්‍යය සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති. ශ්‍රී ලංකාව වැනි, ආර්ථික ශක්තියක් නැති, සාපේක්ෂව කුඩා භාෂාවක් තිබෙන රටකට ලෝකයේ තිබෙන සියලු හොඳ දෑ පරිවර්තනය කළ නොහැකියි. ඒ නිසා, සමාජයේ ජාත්‍යන්තර භාෂා දැනුම වර්ධනය කොට, ඔවුන්ට අන්තර්ජාතික භාෂාවලින් ලියවුණ කෘති රසවිඳීමට ඉඩ සැලැස්වීම තුළින් ඔවුන් ස්වතන්ත්‍ර නිර්මාණ කලාව වෙත යොමුකළ හැකියි.
ඔබ සිතන විදිහට, නව ප්‍රවණතාවන් ඔස්සේ වර්ධනය වන නූතන සිංහල නවකතා මෙරට පාඨක ප්‍රජාව විසින් පිළිගනු ලබනවාද?
ඔව්. අද විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයක් නොලැබූ, නිල සාහිත්‍ය ලෝකය තුළ නැති පාඨක පිරිසකුත්  බිහිවී සිටිනවා. ෆේස්බුක්, ජංගම දුරකථන වැනි මාධ්‍ය හරහා නවකතා සහ ‍ලේඛක ‍ලේඛිකාවන්ට ලැබෙන ප්‍රතිචාර තුළින් අපි මෙවැනි ප්‍රවණතා ගැන දකිනවා. සුනේත්‍රා රාජකරුණානායකගේ ‘.‍පොදු    පුරුෂයා’ කියන්නේ මෑත කාලීනව කතාව ඉදිරිපත් කිරීම අතින් අමුතුම ආකාරයක් ගත් නවකතාවක්. නමුත් එම නවකතාවත් මෙරට පාඨකයන් අතරේ විශාල වශයෙන් ජනප්‍රිය වුණා. එම අලුත් නවකතා සඳහා තරුණ පාඨකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ වගේම, කාන්තා පාර්ශ්වයත් කියවීමට බොහෝ සෙයින් යොමුවී සිටිනවා. ඔවුන් බොහෝ විට අලුත් දේවල් සොයාගෙන කියවනවා. එවැනි කාරණා නිසා මෙරට පාඨකයන් ‍පොත් කියවන්නේ නැතැයි යන අදහස සත්‍යයක් නොවන බව කිව හැකියි.

 කිෂාන් කනංකෙ
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts