Header Ads

ජිනීවා සමුළුවෙන් අවසරයි... කොටි හමුදා නායකයාගේ බිරිඳ සමුළුව අමතයි

"උතුරේ සෑම ගෙයක්‌ ළඟම හමුදා භටයකු සිටිනවා. සෑම පාසලක්‌ ළඟම හමුදා භටයන් සැරිසරනවා. පාසල්වල සියලුම කටයුතුවලට හමුදාව මැදිහත් වෙනවා."
- උතුරු පළාත් සභා මන්ත්‍රිනි ආනන්දි සසිතරන්.

උතුරු පළාත් සභාව නියෝජනය කරමින් මම ජිනීවා සමුළුව අමතනවා. සුමන්තිරන් පසුගියදා මට ජිනීවාහිදී කතා කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඔහු කිව්වා මගේ සැමියා කොටින්ට සම්බන්ධ බව තානාපතිවරුන්ට හෙළිවෙයි කියා යෑයි ත්‍රිකුණාමල කොටි හමුදා නායකයකුව සිටි එලිලන්ගේ බිරිය වූ ආනන්දි සසිතරන් ජිනීවාහිදී ප්‍රකාශ
කළාය. ඇය යාපනයේදී ද්‍රවිඩ මාධ්‍ය අමතමින් තමා මානව හිමිකම් සමුළුව අමතන්නේ උතුරු පළාත් සභාවේ නියෝජිතවරිය ලෙස යෑයි වහසිබස්‌ දෙඩුවාය.

එහෙත් ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරියට ඇය ගෙන ආවේ සී. එෆ්. ඒ. එච්. (CFAH) හෙවත් අප්‍රිකානු කාන්තාවන්ගේ සාමුහිකත්වය නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය උතුරු පළාත් සභාව පිළිගන්නේ නෑ. ඒ නිසා ආනන්දි ජිනීවා එනවිට කොටි ඩයස්‌ පෝරාව සියලු කටයුතු සූදානම් කර තිබිණ. සී. එෆ්. ඒ. එච්. නමැති බෙල්ජියානු රාජ්‍ය නොවන සංවිධානය අමතමින් ඇය මෙලෙස කියා සිටියාය.

උතුරේ තත්ත්වය ඔබලා දන්නේ නැහැ. සෑම ගෙයක්‌ ළඟම හමුදා සෙබළෙක්‌ සිටිනවා. සෑම පාසලක්‌ ළඟම හමුදා සෙබළුන් සිටිනවා. සිංහල ආණ්‌ඩු වසර හැටක්‌ තිස්‌සේ ද්‍රවිඩයන්ව සංහාරය කළා. තවමත් සංහාරය කිරීම් කරනවා. හමුදාව මෑතකදී මවක්‌ හා දුවක්‌ අත්අඩංගුවට ගත්තා. ඊළාම් ද්‍රවිඩ ළමුන්ව තවදුරටත් සංහාරය කෙරෙනවා මේවා නතර කිරීමට ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍යයි.

මේ අන්දමට බොරු රැසක්‌ ඇය විදෙස්‌ නියෝජිතයන් හමුවේ කියා සිටියාය. එහෙත් ඇගේ අතීතය වසන් කෙරුණු මාවිල්ආරු සොරොව්ව වසා මානව හිමිකම් උල්ලංඝණය කළේ ඇගේ සැමියායි. වන්නියේ පාතිමා දෙව්මැඳුරේ රැකවරණ ලබා සිටි සරණාගතයන් රැසකට වෙඩි තබා මරා දැමුවේ ද ඇගේ සැමියා වූ එලිලන්ය. ආනන්දි තම සැමියාගේ අපරාධ වසන් කළාය. කොටි සංවිධානය සම්බන්ධ තොරතුරු ද වසන් කරමින් කිළිනොච්චි දිසාපති කාර්යාලයේ සේවය කළාය.

ආනන්දි නමැත්තිය ජිනීවා ගියේ කොටි සංවිධානය ප්‍රහාර එල්ල කළ කටුනායක ගුවන්තොටුපළ හරහායි. ඇය ආපසු එන්නේද කටුනායක ඔස්‌සේයි. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහි බේගල් රැසක්‌ ජිනීවාහිදී ඇය ප්‍රකාශයක්‌ කර තිබේ.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ දැන් සිදුවන්නේ කුමක්‌ද? මෙයට පෙර ඇමරිකානු ප්‍රකාශවල ශ්‍රී ලංකාවේ රජය හා කොටි සංවිධානය ජාත්‍යන්තර නීති උල්ලංඝණය කළ බවට සඳහන් විය. එහෙත් කොටි සංවිධානය සිදු කළ අපරාධ පිළිබඳව විමර්ශන පැවැත්විය යුතු බවට කිසිම සඳහනක්‌ දක්‌වා නැත. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික විමර්ශනයන් පැවැත්විය යුතු බවට කොටි ඩයස්‌පෝරාව ඉල්ලීමක්‌ කිරීමයි.

එසේ වුවත් මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ මෙරටට පැමිණි අවස්‌ථාවේ කොටි කළ අපරාධ ගැන ද්‍රවිඩ සංධානය කොටින්ට සම්බන්ධවීම ගැන විමර්ශනය නොකරන්නේ මන්දැයි විමසනු ලැබිණි. මේ පසුබිම මත නවිපිල්ලේ ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ කොටි සංවිධානයේ අපරාධ ගැන ද පරීක්‍ෂණ කළ යුතු බව දන්වා තිබිණි. එහෙත් ඇමරිකානු යෝජනාවේ කොටි අපරාධ ගැන විමර්ශනය කළ යුතු බවට කිසිදු ආකාරයක සඳහන් වී නැත.

මේ ඇමරිකානු යෝජනාව පිළිබඳව විමර්ශනය කරනවිට වැලිවේරිය වෙඩි තැබීම සහ ආගමික ස්‌ථානවලට එල්ලවූ ප්‍රහාර ගැන මුලින්ම දක්‌වා ඊට සම්බන්ධ වූවන්ට දඬුවම් කළ යුතු බවද දක්‌වා ඇත.

මෙකී ඇමරිකානු යෝජනාවේ ප්‍රධානතම වගන්ති අතර අන්තර් ජාතික පරීක්‍ෂණයක්‌ පැවැත්වීම සහ උතුරු පළාත් සභාවට බලය ලබාදිය යුතු බවටද සඳහන් කර තිබේ. එනම් ඉන්දියාව මෙරටට බලයෙන් යොමු කළ 13 වැනි සංශෝධනය අනුව සම්පත් හා බලතල උතුරු පළාත් සභාවට දිය යුතු බවද එකී ඇමරිකානු යෝජනාවෙන් ශ්‍රී ලංකාවට නියෝගයක්‌ කරන ලෙසින් තවදුරටත් සඳහන් කර ඇත.

මින් සනාථ වන්නේ 13 වැනි සංශෝධනය ප්‍රකාර උතුරු පළාත් සභාවට බලතල දිය යුතු යෑයි දක්‌වන වගන්තිය පිටුපස සිටින්නේ ඉන්දියාව බවයි.

පසුගිය සිකුරාදා දහවල් අපි මේ ගැන ඉන්දීය නිලධාරියකුගෙන් විමසූවිට ඔහු කීවේ ඇමරිකානු යෝජනාව ගැන ඉන්දියාව මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැති බවයි. එහෙත් මානව හිමිකම් කවුන්සිලය අද මෙරට සියලුම අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී ඇත.

අන්තර් ජාතික මානුෂීය නීතිය උල්ලංඝණය කළ බවට චෝදනා නගමින් ඇමරිකාව ප්‍රමුඛ මානව හිමිකම් සමුළුව 2014 මාර්තු මස වනවිට මෙරට සිදුවීම් රැසකට Rජුව මැදිහත් වී තිබේ. මෙහිදී 13 වැනි සංශෝධනය උතුරු පළාත් සභාවට දිය යුතු බව ඇමරිකාව පවසන්නේ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම නිසාය. මෙවන් කොමිසමක්‌ ජනතාව ඉල්ලුවේ නැත. එහෙත් විවිධ පුද්ගලයන් ලබාදෙන උපදෙස්‌ නිසා එවන් කොමිසමක්‌ පත්කෙරිණි. අද එය පාරාවලල්ලක්‌ බවට පත් වී ඇත. මේ වාතාවරණය යටතේ මුස්‌ලිම් මහලේකම් කාර්යාලයද නවිපිල්ලේට වාර්තා සපයා ඇත. නෝර්වේ අරමුදල් මත පිහිටවූ රජයේ සාම මහලේකම් කාර්යාලය අහෝසි වුවත් මුස්‌ලිම් මහලේකම් කාර්යාලය අහෝසි වූයේ නැත.

මේ පසුබිම මත 2008 බලයට පත්වූ මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න රැසකට සම්පූර්ණයෙන්ම යොමුවී රට පාලනය කළ යුතු අන්දම ගැන උපදෙස්‌ දෙයි. මෙය නරක පූර්වාදර්ශයක්‌ වේ. මානව හිමිකම් ගැන විමර්ශනය කිරීමට පත්වූ මානව හිමිකම් කවුන්සිලයට රටක සියලු අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් විය හැකිද?

පසුගියදා ඇමරිකාව විසින් පිටු 15 කින් යුත් ශ්‍රී ලංකා වාර්තාව ප්‍රකාශයට පත් කළ ඉන්දියාව ගැනද පිටු 22 කින් යුත් වාර්තාවක්‌ ප්‍රකාශ විය. ශ්‍රී ලංකාවට වඩා ඉන්දීය වාර්තාවේ බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන සඳහන් කර තිබිණි. එහෙත් මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන ඇමරිකානු බලධාරීන්ගෙන් හඬක්‌ නැගී නැත.

මින් පිළිබිඹු වන්නේ ඇමරිකානු යෝජනාවේ සහ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ වාර්තාව පසුපස දියත් වී ඇති භූමිකාවයි. මේ ඇමරිකානු භූමිකාව තේරුම් ගැනීම අපහසු නැත. එම භූමිකාව ගැන ශ්‍රී ලංකාව අරාජික රාජ්‍යයක්‌ බවට පත් කිරීමයි. මේ ක්‍රමවේදය ටියුනිසියාවද, ලිබියාව, හා ඊජිප්තුව වෙත ද දියත් විය. දැන් එම ඇමරිකානු ඉලක්‌කය මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී තිබේ.

එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශන චෙක්‌ එමර්සන් මානව හිමිකම් සමුළුවට වාර්තාවක්‌ සපයමින් ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්වලට එරෙහිව ආණ්‌ඩු මගින් දියත් කෙරෙන ප්‍රහාරවලින් සිවිල්වැසියන් මියයැම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක්‌ නොවන බව කීවේය.

එසේනම් වන්නි මෙහෙයුමේදී සිවිල් වැසියන් මිය යැම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක්‌ යෑයි පවසන්නේ කෙසේද? මේ වාතාවරණය මැද රජය ඇමරිකානු යෝජනාවට එකඟවීම ප්‍රතික්‌ෂෙප කර ඇත.

එහෙත් මෙරට හමුදාව සිදුකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධියට පත් කළ යුතු දැයි මානව හිමිකම් කොමසාරිස්‌ පවසන විට ඇය කටයුතු කරන්නේ කෙසේද යෑයි සිතාගත හැකිය. ලොව කිසිම රටක හමුදා වර්තා ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැත. එය පිළිගත් චාරිත්‍රයකි. එසේ වුවත් හමුදා නීති රීති බිඳ දමමින් මානව හිමිකම් කොමසාරිස්‌වරිය ශ්‍රී ලංකා හමුදාවටත් නියෝග නිකුත් කරන තත්ත්වයට පත්ව සිටී. ඉන් මානව හිමිකම් කොමසාරිස්‌වරිය ශ්‍රී ලංකාව පිළිබඳව පැමිණ ඇති දුර අවබෝධ කරගත හැකිවේ.

එහෙත් ඒ ගැන රටේ බලධාරීහු ඇගෙන් ප්‍රශ්න කරන්නේද? 2009 මැයි 19 දා යුද ජයග්‍රහණයත් සමගම 13 වැනි සංශෝධනය අහෝසි කළ හැකිව තිබිණි. කොටි විනාශවීමත් සමගම කොටි හිතවාදීහු සැඟවුණි. එහෙත් මානව හිමිකම් කවුන්සිලය හා ඇමරිකාව යළි ඔවුන්ට ජීවය දුන්නේය. ශ්‍රීමහා බෝධියේ සිට අරන්තලාව දක්‌වා කොටි ඝාතන සිදුකළහ.

මේ තත්ත්වය මැද රජය ඇමරිකානු හා ඉන්දීය ඉල්ලීම් මත උතුරු පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබීය. එහි ප්‍රතිඵලය දැන් පැහැදිලිය. රජයට අභියෝග කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යෝජනාවක්‌ද ඉදිරිපත් කිරීමටද පියවර ගැනුණි. එසේම ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්ගේ බිරිය අත්අඩංගුවට ගැනීමක්‌ නොවුණි. ඇය පුනරුත්ථාපන කිරීමටද පියවරක්‌ ගත්තේ නැත. කොටි සමග එක්‌ව කටයුතු කළ දමිල්වානි නමැති බ්‍රිතාන්‍ය හෙදියට චෝදනා රහිතව බ්‍රිතාන්‍යයට යැමට ඉඩදී තිබිණි. චැනල් පෝ වීඩියෝ පටයක එක්‌ බොරු සාක්‌ෂිකාරියක්‌ වන්නේද ඇයයි.

මේ තත්ත්වය මැද ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු 26 දා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාවේ ඉලක්‌කය වන්නේ වන්නි මෙහෙයුම නවත්වන ලෙස බටහිර රටවල කළ නියෝගවලට රජය සවන් නොදීම නිසා දඬුවම් කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

1 comment:

  1. මහ කොටියන්ට කැබිනට් ඇමතිකම් මහ ඇමතිකම් ගන්න පුලුවන්නම් මේ ගෑනිට තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න අයිතියක් නැද්ද?

    ReplyDelete

Powered by Blogger.