Header Ads

සිපිරි ගෙයක මව් සෙනෙහස

රෝහිත මුණසිංහ විසින් මගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කර තිබූ කුඩා කතාවක් කියැවූ මගේ සිත සසල විය. දින ගණනාවක් යනතුරුම මට එය සිතින් අමතක කළ නොහැකි විය.
කළු ඇමෙරිකානු මවක සහ කළු දරුවෙකු සම්බන්ධ වීම සත්‍ය කතාව, සිංහල අනුවර්තනය කර තිබුණේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසිනි.
ජනමාධ්‍ය මගින්, මනුෂ්‍යත්වයට නිගා දෙන සිදුවීම් උදේ හවා ඇසෙන, කියවන ලොවක, මිනිසත් බව හමුවේ පිදෙන සුවඳ කුසුමක් බඳු මෙවන් කතා, 'නූතන ජාතක කතා' මෙන් සැලකිය හැකිය.
වයස 14ක දරුවෙක් මැර කල්ලියකට බැඳීම සඳහා තම සුදුසුකම පෙන්වීමට තවත් අහිංසක
නව යොවුන් තරුණයකු මරා දැමුවේය. එම මිනීමැරුම් නඩුව අසන විට මියගිය මව තරුණයාගේ නොඉවසිලි බවකින් උසාවියට වී නඩුවට කන්දීගෙන සිටියාය. මිනීමරු දරුවා මරණයට වරදකරු විය. තීන්දුව ප්‍රකාශ කළ පසු එම මව සන්සුන්ව නැගී සිට දරුවා දෙස ජුව බලාගෙන මෙසේ කීවාය:

මම උඹව මරනවා
වේදනාවෙන් පෙළෙන මවගේ මෙම ප්‍රකාශයත් සමගම කලබලයට පත් හිර නිලධාරීහු වහාම වරදකරු ඉවතට ගෙන ගියහ.
පළමු මාස හය ගතවීමෙන් පසුව මරනු ලැබූ දරුවාගේ අම්මා විශේෂ අවසරයක් ලබාගෙන මෙම හිරකාර දරුවා බලන්නට ගියාය. එම මිනීමැරුම කරන්නට පෙර දරුවා ජීවත්වී ඇත්තේ මහ පාරේය. ඔහුට කිසිදු නැදෑයෙක් නොසිටියේය. එබැවින් ඔහු බලන්නට හිරගෙදරට පැමිණි එකම තැනැත්තිය තමා අතින් මරණයට පත්වූ නව යොවුන් තරුණයාගේ ආදරණීය මව පමණි දෙදෙනා ටික වෙලාවක් කතා කරමින් සිටියහ. අනතුරුව පිටත්වන්නට පෙර ඇය ඔහු අත මුදල් ටිකක් සහ සිගරට් කීපයක් තැබුවාය. අනතුරුව,  ඇය නිතර නිතර මිනීමරු ළමා හිරකරුවා බලන්නට යන්නට පටන් ගත්තාය. ආහාර සහ තෑගිබෝග ගෙන ගොස් දුන්නාය. බොහෝ වෙලාවක් ළමා හිරකරුවා සමග කතාබහ කරමින් ගත කළාය.
ඔහුගේ වසර තුනක හිර කාලය අවසන් වන්නට ළං විය. ඒ අතර දිනක්, ඔහු පිටතට ආ කල කරන්නට බලා‍පොරොත්තුව න්නේ කුමක් දැයි එම මව දරුවාගෙන් විමසුවාය. දරුවාට ඊට දෙන්නට පිළිතුරක් නොවීය. ඔහුට යන්නට තැනක්වත් නොවීය. ඔහු උත්තරයක් දීගත නොහැකිව අසරණව බිම බලාගෙන සිටියේය. ඇය ඔහුට තම යහළුවකුගේ කොම්පැනියක රැකියාවක් සොයා දෙන්නට ‍පොරොන්දු වූවාය. ඕ ඔහුගෙන් නතර වන්නට බලා‍පොරොත්තු වන්නෙ කොහේ දැයි විමසුවාය. තමන්ට යන්නට තැනක් නැති බව ඔහු ඉතා අසරණ හඬකින් කීවේය. එවිට, ඒ මව තාවකාලිකව තම නිවසේ නතර වන්නැයි ඔහුට ඇරයුම් කළාය.
මාස අටක් තිස්සේ ඔහු ඇගේ නිවසේ ජීවත්විය. ඈ කරුණාවෙන් පිසින ආහාර බුක්ති වින්දේය. මේ අතර දිනක් ඇය ඔහුව සාලයට කැඳවා තමන් ඉදිරියෙන් අසුන් ගන්නැයි ඇණවූවාය. මඳ වේලාවක් නිහඬව ඔහු දෙස බලාගෙන සිටියාය. අනතුරුව, නිහඬ බව බිඳිමින් කතා කරන්නට පටන් ගත්තාය.
ඔය ළමයට මතකද එදා උසාවියේදී මං කියපු දෙය? 'මම උඹව මරණවා'.
ඔව් මට හොඳට මතකයි, මට ඒ මොහොත කවදාකවත් අමතක වෙන්නෙ නැහැ දරුවා පිළිතුරු දුන්නේය.
ඔව් මං ඒක කළා. ඇය තවදුරටත් කියාගෙන ගියාය. මගෙ පුතා නිරපරාදෙ මරා දාපු කොල්ලා ජීවත්ව ඉන්නව දකින්ඩ මට කොහොමවත් ඕනෑ වුණේ නෑ. මට ඒ මිනීමරු කොල්ල මැරෙනව දකින්ඩයි ඕනෑ කළේ. ඒ හින්දමයි මම ඔයාව බලන්ඩ හිරගෙදරට යන්ඩ පටන් ගත්තෙ. තෑගි, කෑම වර්ග ගෙනිහිල්ල දුන්නෙත් ඒ නිසයි. රැකියාවක් හොයලා දුන්නෙත් ඒ හින්දයි. ගෙදර නවත්ත ගත්තෙත් ඒ හින්දමයි. පුතේ ඔයාව වෙනස් කරන්ඩ මම පටන් ගත්තේ ඒ විදියටයි. දැන් ඒ පරණ මිනීමරු දරුවා නැහැ. මට මගෙ පුතාත් නැහැ මේ ගෙදර එයා හිටිය කාමරයත් තියනවා. මම කැමතියි ඔය පුතා මගේම පුතා වෙනවට. ඉතින්, මම ඔයාගෙන් ඉල්ලා හිටිනව මේ ගෙදර මාත් එක්ක නවතින්ඩ කියල ඔයා දැන් මගෙ ආදරණීය පුතා මම ඔයාගෙ ආදරණීය අම්මා එම විසිවන සියවසේ පටාචාරාව, නූතන කිසාගෝතමිය දරුවාගේ අහිංසක දෑස දෙස එක එල්‍ලේම බලාගෙන කියාගෙන ගියාය.
ඒ ආකාරයෙන් ඕ තම කුසින් බිහිකර, ගත දිවෙන රතු රුහිරු සුදුපාට කිරිකර ‍පොවමින් තම පණටත් වඩා ආදරයෙන් හදා වඩාගත් දරු පැටවා මරා දැමූ, කිසිදාක මවකගෙ උණුසුම හෝ මව්කිරි බිඳක් තොලගා නොතිබූ ඒ අහිංසක දරු පැටවාගේ මව බවට පත්වූවාය.

කපිල කුමාර කාලිංග

1 comment:

  1. very good inspirational story. Hope there will be many of these in your page. Thank you for publishing this

    ReplyDelete

Powered by Blogger.