Header Ads

ඇමැති බන්දුලගේ සීනුව

සාමාජිකයන් සිවුදෙනකු සිටින පවුලකට රුපියල් 2,500ක මුදලකින් මාසයක් ජීවත් විය හැකි යැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය දෙවැනි වන්නේ 'රුපියල බාල්දු වී ඇතැයි කිව නොහැක්කේ රුපියලට ඇති සත සියය වෙනස් වී නැති නිසා යැයි' මහාචාර්ය තිලක් රත්නකාර '80' දශකයේ මුල කළ කුප්‍රකට ප්‍රකාශයට පමණි.

ආර්ථික විද්‍යාඥයකු වූ රත්නකාර මහතා සිය ප්‍රකාශය ගැන කිසිවකු සමඟ වාදයට නොගියද අධ්‍යාපන ඇමැතිවරයා සිය ප්‍රකාශයේ නිවැරැදිභාවය වෙනුවෙන් විවාදයකට ලකලෑස්ති විය. කලෙක ජනප්‍රිය ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයකු වූ ඇමැතිවරයා මේ ප්‍රකාශයේදී ආර්ථික විශේෂඥයකු ලෙස පෙනී සිටියේය. මොනරා පිල් විදහා ගත් විට පශ්චාත්භාගය හොඳ හැටි ප්‍රදර්ශනය වේ. අධ්‍යාපන ඇමැතිවරයාගේ ආර්ථික විද්‍යා දැනුමේ දිග පළල මේ 2,500යේ කතාවෙන් රටටම හෙළි විය.

උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී පමණක් නොව පාසල් වාර විභාගවලද අක්‍රමිකතා දිගින් දිගටම සිදුවුවද අධ්‍යාපන ඇමැතිවරයා ඒ කිසිවක වගකීම භාර ගත්තේ නැත. උණුසුම පහවනතුරු ඇමැතිවරයා කළේ බෝලය පාස් කරමින් සිටීමය. අධ්‍යාපන ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි ඇතැමුන් කී විට බන්දුල ගුණවර්ධන මහතා 'මම ඇමැතිකමෙන් අයින්වෙන්නේ කුමකටදැයි' ප්‍රශ්න කෙළේය. උගත්කම ගණිකා වෘත්තියේ යොදවන්නන් සිටින රටක ලැජ්ජා නැතිකම ඇමැතිකමටත් වඩා ලොකු වීම පුදුමයක් නොවේ.

පහේ ශිෂ්‍යත්ව විභාගය නතර කරන බවට බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය රටේ මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. එහෙත් පසුව කියැවුණේ ඇමැතිවරයාගේ ප්‍රකාශය රජයේ නිල මතය නොවන බවයි. ගලේ පහරපු බළල් තඩියාට සිදුවූ අකරතැබ්බයට මෙහිදී ඇමැතිවරයා පත්විය.

ඉකුත්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති පරිවේණාධිපතිවරුන් හා පිරිවෙන් ගුරුවරුන් සහභාගි වූ උත්සවයකදී පිරිවෙන්වලට 'සීනු' බෙදීමට ගොස් අධ්‍යාපන ඇමැතිවරයා තවත් අකරතැබ්බයකට පත්විය. සිංහල බෞද්ධ සම්ප්‍රදායට අනුව පැවැත්වුණු මේ උත්සවයේදී සීනුව වෙනුවට නිවේදකයා භාවිත කළේ 'බෙල්' නම් ඉංගී්‍රසි නාමයයි. ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂයක ඡන්ද සලකුණ 'සීනුව' වීම මීට හේතුව වූවා විය හැකිය. ජනාධිපතිවරයා ඉදිරියේ 'සීනුව' යන වචනය පාවිච්චි කරන්න එපා යැයි නිවේදකයාට අධ්‍යාපන ඇමැතිවරයා උපදෙස් දුන්නාදැයි, නොඑසේ නම් නිවේදකයා ස්වයං වාරණයක් පනවා ගත්තාදැයි පැහැදිලි නැත. නිවේදකයා 'බෙල්' යැයි පැවසුවද අධ්‍යාපන ඇමැතිවරයා 'බෙල්' ප්‍රදානය කළද උගත් පිරිසකගෙන් පිරුණු සභාව 'සීනුව' ලෙස එය හඳුනාගැනීම වැළැක්විය නොහැකිය. එය නොමිලේ විහිළු සැපයීමකි.

තැනට උචිත නැති වචනයක් පාවිච්චි කිරීම නොව කළ යුතුව තිබුණේ අවශ්‍ය නම් මේ සීනු පරිත්‍යාගය පසුවට කල් තැබීමය. මෙවැනි හාස්‍යජනක අවස්ථා නිර්මාණය වන්නේ බලධාරීන්ගේ අඥාන තීරණ නිසාය.

මෙරට අධ්‍යාපනයේ අර්බුද උත්සන්න වී ඇත. 1970 බලයට පත්වූ සමඟි පෙරමුණු ආණ්ඩුව අධ්‍යාපනය අවුලකට පත් කළ අතර 1977 එ.ජා.ප.යට ආණ්ඩු බලය හිමි වූ පසු ඔවුන් ධවල පත්‍රිකාව ඔස්සේ අධ්‍යාපනය අවුලෙන් අවුලට රැගෙන ගියේය. තවමත් ඒ අවුල් ජාලයේ පැටලි - පැටලී සිටිනවා හැර ඉන් අධ්‍යාපනය ගලවා ගැනීමේ ක්‍රමෝපායක් ගැන අවබෝධයක් හිටපු අධ්‍යාපන ඇමැතිවරුන්ට මෙන්ම මේ අධ්‍යාපන ඇමැතිවරයාටද ඇති බවක් පෙනෙන්නට නැත. ගැලවුම්කාරයා වනවා වෙනුවට ඇමැතිවරයා අධ්‍යාපන අර්බුදයේ කොටස්කාරයකු බවට පත්වී සිටී.

නිදහස් ලංකාවේ මුල්ම අධ්‍යාපන ඇමැතිවරයා වූ සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ට සම කළ හැකි අධ්‍යාපන ඇමැතිවරයකු එදා-මෙදා තුර මෙරට බිහිවී නැත. කෙසේ වුවද අධ්‍යාපන ඇමැතිවරුන් කළ සේවයේ හැටියට පෙළ ගැස්මක් කිරීමේදී බන්දුල ගුණවර්ධන මහතාට හිමිවන ස්ථානය ගැන තීරණය කිරීමට තවමත් කල් වැඩිය. එහෙත් ඒ ලැයිස්තුවේ ඉහළ තැනක් ගුණවර්ධන මහතාට කිසිසේත් හිමිනොවන බව නම්, රජයේ ප්‍රධාන පෙළේ විභාග අක්‍රමිකතා නොමැතිව පවත්වන්නේ යැයි අධ්‍යාපන ඇමැතිවරයා ලබාදෙන සහතිකයකට වඩා ස්ථිරය.
දිගින් දිගටම මෙලෙස අනා ගත්තොත් 'ලොකු පුතා'ගෙන් 'බන්දුල' පරාවර්තනය වීමට ඇති ඉඩකඩ වැඩි බව පෙනෙන්නට තිබේ.
ප්අඉසප් -

No comments

Powered by Blogger.