Header Ads

පිල්ලෙයි මහින්දයි එකට පැරැද්දවීම

මේ දිනවල විග්නේශ්වරන් බරපතළ ප‍්‍රකාශ සිදුකරයි. අලුත්ම ප‍්‍රකාශය උතුරු පළාතෙන් ඉන්දියාවට වෙනම ගුවන් හා නාවුක ගමන් සඳහා අවසර දිය යුතුයි යන්නය. මෙය හුදු ප‍්‍රකාශයක් පමණක්ම නොවේ. උතුරු පළාත් සභාව තුළ යෝජනාවක්ද සම්මත කරගෙන ඇත. ඒ කියන්නේ මෙය විග්නේශ්වරන්ගේ තනි මතයක් පමණක්ම නොවන බවය. එය දෙමළ ජාතික සන්ධානයේම මතය බවය. මේ දිනවල මෙකී යෝජනාව මහත් ආන්දෝලනාත්මක එකක්වීම කිසිසේත් වැළැක්විය නොහැක.

මෙවැනිම වූ තවත් යෝජනාවක් පසුගියදා ඉදිරිපත් කෙරිණි. එනම් දෙමළ ඩයස්පෝරාව සඳහා ද්විත්ව පුරවැසිභාවය ලබාදිය යුතු බවය. ද්විත්ව පුරවැසිභාවය ලබාදීම වෙනම ප‍්‍රශ්නයකි. එහෙත් එය දෙමළ ඩයස්පෝරාව සඳහාම ලබාදීම යන්න තවත් එකකි. විග්නේශ්වරන්ට අමතරව ගජේන්ද්‍ර පොන්නම්බලම්ද බරපතළ ප‍්‍රකාශයක් කළේය. එනම් ජිනීවාවල අවධානය උතුරේ වෙනමන අන්තර්පාලනයක් පිහිටුවීම සඳහා ලබාගත යුතු බවය.

මේ අතරතුර නවනීදම් පිල්ලේ කරුණු 78කින් යුත් ලියවිල්ලක් මානවහිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇත. මේ වනවිට ලංකා ආණ්ඩුව වෙතද එය එවා ඇත. එහි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සංහිඳියාව ගැන යෝජනා ගණනාවක් අඩංගුවී ඇත. ඒ අතරම ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව තදින් අවධාරණය කර ඇත.

ඉන්දියානු ආණ්ඩුව ද පසුගියදා මෙයට සමාන්තර යෝජනාවක් කර තිබුණි. ශ‍්‍රි ලංකාවේ සංහිඳියාව පිළිබඳව තව බොහෝ දේවල් කළ යුතු බව එහි අවධාරණය කර තිබුණි. මේ අතරතුර අමුතුම සිද්ධියක් දකුණු ඉන්දියාවේ සිදුවිය. එය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි. එනම් රජීව් ගාන්ධි ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමය. අද මුළු ඉන්දියාවේ ම ආන්දෝලනාත්මක සිද්ධිය එය වී ඇත. රජීව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි හොඳටම කෝප වී ඇත. තාත්තාගේ මිනීමරුවන්ට ජයලලිතා නිදහස දෙන්නේ වෙන මොකටවත් නොව කොන්ග‍්‍රස් ආණ්ඩුවට රිද්දවන්ටය. ජයලලිතා කියන දේවල්වලට දිල්ලි ආණ්ඩුව එකඟ වූයේ නැත. කච්චතිව් දූපත යළි පවරාගැනීම ගැන අදහස අවසාන සිදුවීමයි. ඉන්දීය කොන්ග‍්‍රස් ඇමැති චිදම්බරම් කච්චතිව් දූපත ශ‍්‍රී ලංකාවට අයිති බවත් එය ඉන්දියාවට නැවත ලබාගැනීමට පියවර ගන්නේ නැත බවත් කිව්වේය. එය එලෙස කියන ගමන් 2014 වසරේදී ලංකාවට දෙන ආධාර මුදලද වැඩිකර ඇති බව පැවැසුවේය. පසුගිය අවුරුද්දේ ඉන්දියානු රුපියල් කෝටි 410ක් වූ එම මුදල කෝටි 500 දක්වා මෙවර වැඩිකර ඇත.

එක පැත්තකින් ඉන්දියන් මධ්‍යම ආණ්ඩුව ලංකාවට සල්ලි දෙන්නේය. අනිත් පැත්තෙන් ජිනීවා යෝජනාවලදී අමෙරිකාව පැත්තේ හිටගන්නේය. මෙයට විරුද්ධව දකුණු ඉන්දීය ජයලලිතාගේ ආණ්ඩුව දිගින් දිගටම හැප්පෙන්නේය. එකට එක කිරීමක් ලෙස ගාන්ධි ඝාතකයන් නිදහස් කරන්නේය. ඉන්දියාව සල්ලි දෙන්නේත් සෘජුවම උතුරේ කටයුතු සඳහාය. අනිත් පැත්තෙන් තව ටිකක් වතුකරයේ වැඩ සඳහාය. වැඩි පංගුව පැහැදිලිවම උතුරේ කටයුතු- වෙනුවෙන්ය.

දෙමළ ජාතික සන්ධානය, දකුණු ඉන්දියාව ඉන්දියන් මධ්‍යම ආණ්ඩුව මේ හැමෝම ලංකාවේ ජාතික ප‍්‍රශ්නය පාවිච්චි කර ගිනිමින් සිටියි. එක එක්කෙනා තම තමන්ගේ න්‍යාය පත‍්‍රයට අනුව මෙය පාවිච්චි කර ගනියි. හැමෝම තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් මෙය යොදාගැනීම ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරනදේද විමසා බැලීම වැදගත්ය. මහින්ද කර ඇත්තේ ජිනීවා ඡන්දයට පසු දිනයේ පළාත් සභා ඡන්දයක් දැමීමය. පසුගිය නිදහස් දින කතාවේ සිට මෙයට අවශ්‍ය කතා පැවැත්වීම ආරම්භ කෙරිණි. ‘මම විදුලි පුටුවේ වාඩිවෙන්න බය නැහැ’ යැයි චණ්ඩි ප‍්‍රකාශද කළේය. මේ කතාව අනුකරණය කරන පුතන්ඩියා නාමල්ගේ කටේද ඇත්තේ මෙයයි. දැන් හම්බන්තොට ඈත ගම්වලට ගිහින් කයිවාරු ගහන්නේ විදුලි පුටුව මතක් කරලාය. ආණ්ඩුවේ ඇමැතිවරු මන්ත‍්‍රීවරු ඔක්කොගෙම කටේ ඇත්තේ මේ පණ්ඩිතකමය පණ්ඩිතකම් කියන ගමන් අනිත් පැත්තට ජිනීවා පරද්දන්න තමන්ට ඡන්ද දෙන්න යැයි කියන්නේය.

රටට එරෙහිව අධිරාජ්‍යවාදීන් යෝජනා ගෙන එනකොට ඒකත් තමන්ගේ ඡන්ද වාසියට පෙරළගන්න තරම් පහත් බංකොලොත් තත්වයට තාත්තලා පුතාලා වැටී ඇති බව මින් පැහැදිලිය. ඡන්දයක් දැම්මම රටේ ජනතාව පක්ෂවලට බෙදෙනවාය. දැනටමත් එය සිදුවී අවසානය. යූ. එන්. පී. කාරයා කොළ කොඩිය අතට ගන්නේ ශ‍්‍රී ලංකාකාරයා නිල් කොඩිය අතට ගන්නේ ජේ. වී. පී. කාරයා රතුකොඩිය අතට ගත්තේය. ඡන්දයකදී එය වළක්වන්නට බැරිය. ජිනීවා ඡන්දයට රටක් ලෙස මුහුණ දෙන්න නම් මුළු රටේම ජනතාව එකට පෙළගැස්විය යුතුය. ඡන්දයක් දැමූ විට ජනතාව තුනට හතරට බෙදෙන්නේය. බෙදුනු ජනතාව ජිනීවාවලට විරුද්ධව එකට සටන් කරන්නේ නැත. දැන් රටේ සිද්ධවී ඇත්තේ එයයි. හරි නම් මේ වෙලාවේ ආණ්ඩුවේ ඇමැතිවරු ජිනීවා ඡන්දයට කැන්වසින් යායුතුය. ඒත් දැන් සිදුවී ඇත්තේ තමන්ගේ දු වෙනුවෙන් පුතා වෙනුවෙන් කැන්වසින් යෑමය. ජීවන් කුමාරතුංග කොරළවැල්ලේ කැන්වසින්ය. ලක්ෂ්මන් යාපා හක්මණ කැන්වසින්ය. මහින්ද කරපු වැඩෙන් රට එකට එක්වී ජිනීවාවලට මුහුණදෙනවා වෙනුවට වෙන වෙන තැන්වලට බෙදී වෙන්වී අවසානය.

ජිනීවාවලින් මහින්ද විදුලි පුටුවට ගෙනියන්ට බැරිය. එහෙම ජාත්‍යන්තර නීතියක් නැත. එහෙව් ජාත්‍යන්තර කිසිදු නීතියකට ලංකාව අත්සන් කරලාත් නැත. දැන් මහින්ද හදන්නේ එහෙව් බිල්ලෙක් පෙන්වන්නටය. විදුලි පුටු බිල්ලා පෙන්වා ජනතාවගේ ඡන්දය මංකොල්ල කන්නයි. ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යට ගහන්නයි. ආණ්ඩුවේ මස්කටු ලෙවකන ඔඩොක්කු කුක්කො කුඩු, එතනෝල්, කැසිනෝ යටකරන්නේ ඒකටය. ඔඩොක්කු කුක්කොම ජනතාවගේ ඇත්ත ජීවත්වීමේ ප‍්‍රශ්නය යටගහන්නටද වැර දරයි. මහින්දගේ ඒකාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී පාලනය යටගහන්නට උත්සාහ දරයි.

මෙවන් තත්වයකදී ඔළුව අවුල් නොකර ගැනීම ජනතාවගේ වගකීමයි. ඉතා පැහැදිලිව අමෙරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යවාදය පැරැද්දවිය යුතුය. එයට දෙගිඩියාවක් නැත. ඒ හරහා එන එන්. ජී.  ඕ. මතවාදය පැරැද්දවිය යුතුය. එයට උඩගෙඩි දෙන ජනතාව බෙදන්න පාර කපන ටී. එන්. ඒ.  මතවාදය ද පැරැද්දවිය යුතුය.

කවර හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් අවසානයේ සේවය කරන්නේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා නොවේය. එය ඉතා පැහැදිලිව අමෙරිකානු දේශපාලන උවමනාව සඳහාම පාවිච්චිවනු ඇත. එබැවින් එම රටට හතුරු මැදිහත්වීම මුළුමනින්ම පරාජය කළ යුතුය. ඒ වගේම අමෙරිකාව ඇතුළු අධිරාජ්‍යවාදීන්ට මැදිහත්වීමට පාර කපන මහින්දගේ ඔලමොට්ටල වැඩද පැරැද්ද විය යුතුය. පිල්ලේ පාවිච්චි කරගනිමින් ගොඩනගන ඒකාධිපතිවාදය ද පැරැද්දවිය යුතුය. අධිරාජ්‍යවාදයට උඩගෙඩි දෙන්නේ රට තුළ ගොඩ නැගෙන ඒකාධිපතිවාදයයි. ඒ නිසා දෙකම පැරැද්දවිය යුතුය. මහින්දව බේරලා අමෙරිකාවට තඩිබාන්නේ මහින්දගේ ඔඩොක්කු කුක්කෝය. අමෙරිකාව බේරලා මහින්දට තඩි බාන්නේ අමෙරිකන් ඔඩොක්කු කුක්කෝය.

සැබැවින්ම අධිරාජ්‍යවාදයත් ඒකාධිපතිවාදයත් දෙකම ජනතා හතුරුය. එසේ නම් ජනතා හතුරන් සියල්ලම පැරැද්දවීම අනිවාර්යයකි. කොයිකාද වඩා හතුරු යැයි සිත සිතා සිටිය යුතු නැත. දෙකම එකවගේ හතුරුය. මේ එකක් අනික මත පෝෂණය වන්නේය. ඇත්තෙන්ම මේ දෙක දෙකක් නොවේය. එකම ක‍්‍රියාවලියක රූපකාය දෙකකි.

උතුරේ ජනතාවද මෙය තේරුම් ගත යුතුවය ඇත. තේරුම් ගන්නේ නැත්නම් තේරුම් කරදීම දකුණේ ජනතාවගේ වගකීමකි. ජනතාව සැබැවින්ම යථාර්ථය තේරුම් ගන්නට කැමතිය. අවාසනාව වී ඇත්තේ ජාතිවාදී පටු බල උවමනාවන් මත ක‍්‍රියාත්මක වන දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරිත්වයයි. එය පැරැද්දවීම ජනතාවගේ වගකීමකි. එයට උතුරේ ජනතාවද එක්විය යුතුය. උතුරේත් දකුණේත් සියලු ජනයා එක්ව රටේ දුක් විඳින මිනිස්සු ලෙස මෙයට මුහුණදිය යුතුය. අමෙරිකාව ඇතුළු අධිරාජ්‍යවාදයත් ඉන්දියාවේ පටු උවමනාවනුත් මහින්දගේ ඒකාධිපති වාදයත් පැරැද්දවීමට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ශ‍්‍රී ලාංකිකයන් එක්විය යුතුයි.

රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස හා ජාතික සමගිය ගොඩනගන්නේ නම් ඔය කොයි කාගෙ කාගෙත් මැදිහත්වීම් පරදා සැබෑ ශ‍්‍රී ලාංකිකයන් ලෙස අලුත් රටක් ගොඩනැගිය හැකිය.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

No comments

Powered by Blogger.