Header Ads

පොලිසිය ගැන හිත හදාගැනීමට බැරි ඇයි?

පොලිසිය ගැන පැය 24 කට වඩා හිත හදා ගැනීමට බැරි තත්ත්වයක්‌ මතුව තිබේ. එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට ගොස්‌ මිය යද්දී පොලිසියටම අයත් තවත් පල්මෝඩයන් එකකු හෝ කිහිපදෙනෙක්‌ අශූචි වළක්‌ කළඹා සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවම ගඳ ගස්‌වති. 2014 පෙබරවාරි 01 වැනිදා ගිරිඋල්ල පොලිසිය මගින් පැහැරගත් පුද්ගලයකු උසාවියට ඉදිරිපත් නොකර දීර්ඝ කාලයක්‌
පොලිසියේ රඳවා තබාගත් බව ඊයේ (18 දා) "දිවයිනේ" 06 වැනි පිටුවේ සඳහන් විය. මෙය අවශ්‍ය අවස්‌ථාවේදී මෙන්ම අනවශ්‍ය අවස්‌ථාවේදී ද ඇතැම් පොලිස්‌ නිලධාරීන් කරන කැත වැඩකි. ඇතැම් ත්‍රස්‌තවාදියකුගෙන් හෝ කප්පම්කාරයකුගෙන්, එහෙමත් නැත්නම් ස්‌ත්‍රී දූෂකයකුගෙන් හෝ කුඩු කාරයකුගෙන් සත්‍යය දැනගැනීමට අවශ්‍ය වූ විට නීතිය ඉක්‌මවා යන්නට පොලිසියට සිදු වේ. එය සාධාරණ තත්ත්වයකි. ඉහත සඳහන් ශ්‍රේණියේ අපරාධකරුවන්ගෙන් සත්‍යය දැනගැනීමට පැය 24 ක්‌ නොව 48 කුත් නොව ඇතැම් විට සතියකටත් වැඩි කලක්‌ ගත වේ. උන් ඇත්ත කියන්නේ සුවඳ පැනින් නහවා පවුඩර් මලකින් පවුඩර් දමා චිකන් බුරියානි කන්නට දීමෙන් යෑයි කිසිවකු සිතුවොත් එය මුලාවකි. උන්ගේ සිරුරු 2Ü4 පොලුවලින් මසාඡ් කළ යුතු ය. එහෙත් පොලිසිය තමන් අල්ලාගෙන එන හැම කෙනකුටම 2Ü4 පොලු සංග්‍රහය දීම පුරුද්දක්‌ කරගෙන තිබේ. රැයක්‌ එළිවනතුරු පොලිසියක සිටින අහිංසකයකුට කසිප්පු ගැසූ පොලිස්‌කාරයන්ගෙන් ගුටිකෑමට සිදුවීම අනිවාර්ය ය. දවල් දවස තිස්‌සේ කසිප්පු අල්ලන පොලිසියේ ස්‌වල්ප දෙනකු රෑ එළිවන විට ඒවා පානය කරමින් එහි අඩංගු මධ්‍යසාර ප්‍රමාණය ගණනය කිරීමට උත්සාහ කරති. එය රස පරීක්‍ෂක සතු කාර්යයක්‌ මිස රාළහාමිලා හෝ සාජන්ලා සතු කාරියක්‌ නොවේ.

පොලිසිය එදාට වඩා අද විනීත බව එහිම උසස්‌ නිලධාරීන් කියනු අප අසා ඇත්තෙමු. ඔවුන් විනීත වන්නේ ජනතාවට "මහත්මයා" යනුවෙන් ඇමතීමෙන් පමණි. එහෙත් "මහත්මයා" තම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ විට ඔහුට කනට දෙකක්‌ ගසා කූඩුවට දමනු ලැබේ. එතැන් සිට ඔහුට කතා කරනු ලබන්නේ තිත්ත කුණුහරුපයෙනි. අද වන විට මේ තත්ත්වය පොලිසිය තුළින් මහපාරට ද පැමිණ තිබෙන අතර ට්‍රැµsක්‌ රාළහාමිලා වැඩි දෙනෙක්‌ ඉතා පරිහානියට පත්ව මිනිසුන්ට හිරිහැර කරති. "නඩුවක්‌" අපේක්‍ෂාවෙන් පාරට විත් කෙළ හල හලා බලා සිටින ට්‍රැµsක්‌ රාළහාමි කෙනකු දෙස පරීක්‍ෂාවෙන් බැලූ විට ඔහු අසන්නේ "මොකද බලන්නේ", නොම්බරේ ලියාගන්නද?" යනුවෙනි. පොලිසිය යනු මේ රටේ තිබෙන විශාලතම සිවිල් ආයතනයයි. එය මහජනයා සමඟ වැඩියෙන්ම සම්බන්ධ වන ආයතනයයි. මහජනයා සමඟ අනවශ්‍ය ගැටුම්වලට ගොස්‌ ප්‍රශ්න හදාගෙන ඔවුන්ට වධ දීම පොලිසියේ චර්යාව නොවිය යුතු ය. නිරායුධ අසරණ මිනිසුන් අල්ලාගෙන ගොස්‌ බාල්කවල එල්ලා තබා දවස්‌ ගණන් රඳවාගෙන පහර දීමෙන් වැළකිය යුතු ය. පොලිසිය නිරුවත් වනචාරී ආයතනයක්‌ නොව ඇඳුම් ඇඳගත් ශිෂ්ට ආයතනයක්‌ බවට පත්කිරීමේ අවශ්‍යතාව පොලිස්‌පතිතුමාට තිබෙන බව අපි දනිමු. එහෙත් පොලිසියේ සෙසු අය තුළ ද එම අවශ්‍යතාව නැතොත් විශාල අවුලක්‌ හටගනී. ගිරිඋල්ලේ පොලිසිය හා සම්බන්ධ සිද්ධිය එවන් එක්‌ සිද්ධියක්‌ වෙයි.

1 comment:

  1. //ඇතැම් ත්‍රස්‌තවාදියකුගෙන් හෝ කප්පම්කාරයකුගෙන්, එහෙමත් නැත්නම් ස්‌ත්‍රී දූෂකයකුගෙන් හෝ කුඩු කාරයකුගෙන් සත්‍යය දැනගැනීමට අවශ්‍ය වූ විට නීතිය ඉක්‌මවා යන්නට පොලිසියට සිදු වේ. එය සාධාරණ තත්ත්වයකි//

    මේක සාධාරණයි කියනවා නම්, මේ මාතෘකාවේ එන ප්‍රශ්නය ඇසිය යුත්තක් නෙමෙයි. නීතිය ඉක්මවා යොදන බලය සාධාරණීකරණය කරන්න මේ වගේ දේවල් ලියවෙනකම්, ඔය දේ සිද්ධ වෙනවා. යම් කිසි අවස්ථාවක නියමිත කලට වඩා රඳවා ගැනීමට අවශ්‍ය නම්, හේතු දක්වා අධිකරණයකින් අවසර ගත හැකියි.

    ReplyDelete

Powered by Blogger.