Open top menu
Thursday, March 20, 2014

රටේ පාලන බලය අධිරාජ්‍යවාදීන්ගෙන් ස්වදේශිකයන් අතට මාරුවී අඩසියවසකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගොස් ඇත. මේ කාලාන්තරයේදී සර්වජන ඡන්ද බලය අත්හදා බැලීමට මෙරට මහජනයාට අවස්ථාව හිමි වුවද නිදහස් හා සාධාරණ මැතිවරණයකට ඇති ඉඩකඩ මැතිවරණයෙන් - මැතිවරණයට ඇහිරී යමින් පවතී.

මැතිවරණ සම්බන්ධයෙන් මහජනයාට තිබූ විශ්වාසය බිඳ වැටීමට වඩා වේගයෙන් දේශපාලනඥයන් කෙරෙහි ඇති සැකය, අවිශ්වාසය වර්ධනය වෙමින්
පවතී. ඊට ප්‍රධාන හේතුව ඔවුන් මැතිවරණවලදී ලබාදෙන පොරොන්දු බලයට පැමිණි පසු අමු අමුවේ කඩ කිරීමය. එය එක් පක්ෂයකට පමණක් සීමා වූවක් නොව, එදා මෙදා තුර බලයේ සිටි සියලුම පක්ෂවලට එල්ලවන චෝදනාවකි.

ඇට අට දීම, පොල් ගෙඩිය සත 35ට දීම, පාන් රාත්තල රුපියල් 3.50ට දීම, පැය විසිහතරෙන් සිංහල රාජ්‍ය භාෂාව කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ජාතික මට්ටමේ ජනප්‍රිය පොරොන්දු ඒ අතර ඕනෑතරම් ඇත. මෙහි සඳහන් කළ හා නොකළ පොරොන්දු අතරින් අති බහුතරය ‘කඩවුණු පොරොන්දුය.’ ඊට කොළ, නිල් හා රතු කියා භේදයක් නැත.

මහජනයා අද දේශපාලනඥයන් දෙන පොරොන්දු කෙරෙහි විශ්වාසය තබන්නේ නැත. විශේෂයෙන් ප්‍රාදේශීය වශයෙන් පවත්නා ගැටලුවලදී දේශපාලනඥයන් වාචිකව ලබාදෙන පොරොන්දු පිළිනොගන්නා මහජනයා ලිඛිත පොරොන්දු ඉල්ලා සිටින අවස්ථා ඕනෑතරම් ඇත.

මාතර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීම පමා කිරීමට හේතුව අදාළ පාසල වසා දැමීමට සැලසුම් කිරීම බව සඳහන් කරමින් ඊට විරෝධය පෑ මවුපියන් හමුවට පැමිණි දකුණු පළාත් හිටපු අධ්‍යාපන ඇමැතිවරයා එම විදුහල වසා නොදමන බවට පොරොන්දුවක් ලබා දී තිබිණි. එහෙත් හිටපු ඇමැතිවරයා ලබාදුන් පොරොන්දුව පිළිගැනීමට මවුපියන් සූදානම් වූයේ නැත. අවසානයේ පළාත් අධ්‍යාපන බලධාරීන් ලබාදුන් පොරොන්දුව පිළිගනිමින් මවුපියන් විසිර ගොස් ඇත.

ජාතික වශයෙන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විවිධ පක්ෂ නියෝජනය කළ දේශපාලනඥයන් ලබාදුන් මැතිවරණ පොරොන්දු දෙස බැලූ විට පෙනී යන්නේ ඒවා ඉටු කිරීමට වඩා කඩකර ඇති සංඛ්‍යාව විශාල බවයි. ගමට යන මාර්ගය සාදා දෙන බවට පොරොන්දු වී ඡන්ද ගන්නා ඇතැම් දේශපාලනඥයන් ඊළඟ මැතිවරණයේදී ද ලබාදෙන පොරොන්දුව වන්නේ ඒ මාර්ගයම සාදා දෙන බවය. ප්‍රශ්න විසඳීම වෙනුවට හිඟන්නාගේ තුවාලය මෙන් ප්‍රශ්න පාර - පාරා තබා ගැනීමට දේශපාලනඥයන් කැමැතිය. දේශපාලනඥයන්ගේ ‘කැරට්’වලට අඩ සියවසක් තිස්සේ රැවටී හෙම්බත්වී සිටින මහජනයා තවදුරටත් රැවැටීමට සූදානම් නැති බව දේශපාලනඥයන්ගේ පොරොන්දු හමුවේ ඔවුන් හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නට තිබේ. එය සුබ ලකුණකි.

ඉගෙන ගන්නා ක්‍රම කිහිපයක් ඇති බව මහ ලේඛක පියදෝර් ‍ෙදාස්තොවුස්කි කියා ඇත. ඔහුට අනුව ඇතැමුන් ඉගෙන ගන්නේ පොතපතිනි. සමහරකු ඉගෙන ගන්නේ ජීවිතයෙනි. එහෙත් මේ ක්‍රම දෙකෙන්ම ඉගෙන නොගන්නා පිරිසක්ද සිටිති. ඔවුන් ඉගෙන ගන්නේ කෙළවා ගැනීමෙන් පමණි.

මෙරට ඡන්ද දායක ජනතාවද කෙළවා ගැනීමෙන් ඉගෙන ගන්නා බව පෙනේ. ඉගෙන ගන්නේ නම් මේ රටේ ජනතාවට මෙතෙක් සිදුවී ඇති දේවල් හොඳටම ප්‍රමාණවත්ය.
එහෙත් දේශපාලනඥයන් මවා පෙන්වන කුමන හෝ ඇස්බැන්දුමකට සැලකිය යුතු පිරිසක් රැවටෙති. ඇට අට, හාල් සේරු දෙක එවැනි මවාපෑම්ය. මේ කාලයේ පෙන්වන මැජික් අතර දේශප්‍රේමය, ජිනීවා තර්ජනය, ජනප්‍රිය බව පෙනේ. ‘දූෂණයට, වංචාවට එරෙහි පිරිසුදු දේශපාලනයද අද එබඳු ඇස්බැන්දුමක්වී ඇත. එහෙත් මේ මැජික්වලට නොරැවටී තක්කඩියන්ගේ මේ මැජික් දේශපාලනය’ අවබෝධ කරගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට මහජනයා සූදානම් වේ නම් රටේ අනාගතයට එය සුබදායක වන්නේය.

ප්අඉසප් -
Different Themes
Written by lankateam

ඔබ අදහස් සහ අපට එවන්න.

0 comments

Popular Posts

Popular Posts